දෙමාපියෙනි, දරුවන්ව රැකබලා ගන්න
“ඔබේ රැළේ තත්වය කෙබඳුදැයි ඔබ හොඳින් දැනගත යුතුයි.”
1, 2. (අ) එඬේරුන්ට තිබුණු සමහර වගකීම් මොනවද? (ආ) දෙමාපියන් එඬේරුන්ට සමාන වෙන්නේ කොහොමද?
අතීතයේ ඊශ්‍රායෙලයේ හිටපු එඬේරුන්ගේ ජීවිත හරිම දුෂ්කරයි. සීත කාලෙදීත් තද රස්නේ කාලෙදීත් ඒ අයට එළිමහනේ වැඩ කරන්න වුණා. වනසතුන්ගෙන්, සොරුන්ගෙන් බැටළුවන්ව ආරක්ෂා කරගන්න වුණා. එක එක බැටළුවාව නිතරම පරීක්ෂා කරලා බලන්නත් උන් අසනීප වෙලා, තුවල වෙලා හිටයා නම් උන්ට අවශ්‍ය සැලකිල්ල පෙන්නන්නත් එඬේරුන්ට හුඟක් මහන්සි වෙන්න වුණා. ඔවුන් විශේෂ අවධානයක් දුන්නේ බැටළු පැටවුන්ටයි. මොකද සාමාන්‍යයෙන් බැටළු පැටවුන් හිටියේ හරිම අසරණ, දුර්වල තත්වයක.
2 දෙමාපියනුත් ඒ එඬේරුන් වගේ වෙන්න ඕනේ. මොකද යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුව දරුවන්ව ඇතිදැඩි කරන එක දෙමාපියන්ට තියෙන ලොකු වගකීමක්. (එෆී. 6:4) ඒක ලේසි දෙයක් නෙමෙයි. සාතන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දරුවන්ගේ මනසට නරක දේවල් දාන්නයි. ඒ වගේම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා දරුවන්ගේ හිත්වල වැරදි ආශාවන් ඇති වෙනවා. (2 තිමෝ. 2:22; 1 යොහ. 2:16) දරුවන්ව රැකබලා ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තුනක් ගැන බලමු. (1) එයාලව හොඳින් තේරුම්ගන්න. (2) බයිබලේ තියෙන තොරතුරුවලින් එයාලව පෝෂණය කරන්න. (3) එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන්න.
දරුවන්ව හොඳින් තේරුම්ගන්න
3. දරුවන්ව හොඳින් දැනගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?
3 හොඳ එඬේරෙක් හැම වෙලාවෙම එයාගේ බැටළුවන් නිරෝගීව ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා. බයිබලේ මෙහෙම කියනවා. “ඔබේ රැළේ තත්වය කෙබඳුදැයි ඔබ හොඳින් දැනගත යුතුයි.” (හිතෝ. 27:23) දෙමාපියනි, ඔයාලගේ රැළ ඔයාලගේ දරුවොයි. දරුවෝ ගැන හොඳට දැනගන්න නම් එයාලා කරන දේවල් ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. එයාලා හිතන විදිහ, එයාලට හැඟෙන විදිහ තේරුම්ගන්න ඕනේ. දරුවෝ එක්ක නිතරම කතාබහ කරන එක ඒගොල්ලන්ව තේරුම්ගන්න පුළුවන් හොඳ විදිහක්.
4, 5. (අ) දරුවෝ හිතේ තියෙන දේ දෙමාපියන්ට කියන්න කැමති නැත්නම් කරන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) දරුවාට ඔයාත් එක්ක ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වෙන්න ඔයා මොනවද කරලා තියෙන්නේ?
4 දරුවෝ යෞවන වයසට ආවම එයාලා එක්ක කතා කරන එක හරි අමාරුයි කියලා හුඟක් දෙමාපියන් හිතනවා. යෞවන දරුවොත් එයාලගේ හැඟීම් ගැන, එයාලා හිතන විදිහ ගැන දෙමාපියන්ට කියන්න කැමති නැහැ. ඔයාගේ පවුලේ තත්වයත් ඒ වගේ නම් මොනවද කරන්න පුළුවන්? දරුවෝ එක්ක කතාබහ කරනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ නැහැ දිග වෙලාවක් අරගෙන, බැරෑරුම් විදිහට කතා කරන්න ඕනෙ කියලා. ඒ වෙනුවට සැහැල්ලුවෙන් ඉන්න වෙලාවලදී එයාලා එක්ක කතා කරන්න. (ද්වි. 6:6, 7) එකට කාලය ගත කරන්න. එයාලා එක්ක ඇවිදින්න යන්න. එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න. එයාලත් එක්ක ගෙදරදොරේ වැඩක් කරන්න. දරුවෝ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවලදී හිතේ තියෙන දේවල් කියන්න තියෙන ඉඩකඩ වැඩියි.
5 එහෙම දේවල් කරලත් දරුවා එයාගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න අකමැති නම් වෙන විදිහකින් උත්සාහ කරන්න. උදාහරණෙකට ‘අද දුව මොනවද කළේ’ කියලා අහනවා වෙනුවට ඔයා කරපු දේවල් දුවට කියන්න. එතකොට එයාගේ දවස ගෙවුණු විදිහ ගැන එයා කියයි. යම් කාරණයක් ගැන දුවට හැඟෙන විදිහ ඔයාට දැනගන්න ඕනෙ නම් ඒක එයාගෙන් කෙළින්ම අහන්න එපා. ඒ වෙනුවට එයාගේ යාළුවන්ට ඒ ගැන කොහොමද හැඟෙන්නේ, ඒ කාරණය ගැන එයා යාළුවන්ට මොනවද කියන්නේ කියලා අහන්න. දෙන උත්තරවලින් එයාගේ හිතේ තියෙන දේ තේරුම්ගන්න ඔයාට පුළුවන්.
6. දරුවාට ඔයාත් එක්ක ඕනම දෙයක්, ඕනම වෙලාවක කතා කරන්න පුළුවන් කියලා දැනෙන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ?
6 ‘අපේ අම්මා, තාත්තා එක්ක ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. එයාලා අපි එක්ක කතා කරන්න කොහොම හරි වෙලාව හොයාගන්නවා’ කියලා දැනුණොත් දරුවෝ ඔය දෙන්නත් එක්ක ඕනම දෙයක් බය නැතුව කතා කරයි. නිදහසේ කතා කරන්න බැරි තරම් ඔය දෙන්නට වැඩ කියලා දැනුණොත් දරුවෝ එයාලගේ ප්‍රශ්න ගැන කියන එකක් නැහැ. ඒ නිසා ‘ඔයාට මාත් එක්ක ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්’ කියලා කියනවට වඩා ඒක කරලම පෙන්නන්න. දරුවා කියන දේවල් අහලා ඔයා කලබල වෙන්නේ නැහැ කියලත් එයාගේ ප්‍රශ්න ඔයාට හුඟක් වැදගත් කියලත් එයාට තේරෙන්න ඕනේ. වයස 19ක් වෙන කේලා මෙහෙම කියනවා. “මට තාත්තා එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. මං මොනවා හරි කියද්දී එයා මැද්දෙන් පැනලා ඒකට බාධා කරන්නේ නැහැ. ඉක්මන් තීරණවලට එන්නෙත් නැහැ. හොඳට අහගෙන ඉඳලා හොඳම උපදෙස දෙනවා.”
7. (අ) යාළු වෙන එක ගැන දරුවා එක්ක කතා කරද්දී සමබර වෙන්න පුළුවන් කොහොමද? (ආ) දෙමාපියන් එක්ක කතා කරන එක වදයක් කියලා දරුවන්ට හැඟෙන්නේ මොන වගේ හේතු නිසාද?
7 දරුවෝ එක්ක කතා කරන්න ටිකක් අමාරුයි කියලා හිතෙන කාරණා ගැනත් ඔයාට කතා කරන්න වෙනවා. උදාහරණෙකට ගැහැනු ළමයි, පිරිමි ළමයි යාළු වෙන එක ගැන කතා කරන්න වුණා කියලා හිතමු. ඒකේ නරක පැත්ත ගැනම කතා කරන්නේ නැතුව ඒ කාරණය එයාට හසුරුවන්න පුළුවන් හොඳම විදිහ ගැන කියලා දෙන්න. මෙහෙම හිතන්න. ඔයා රෙස්ටුරන්ට් එකකට ගිහින් මෙනු කාඩ් එක අරන් බලද්දී ඒකෙ තියෙන්නේ කෑම විෂ වෙන්න පුළුවන් විදි ගැන අනතුරු ඇඟවීම් විතරක් නම් ඔයා මොකද කරන්නේ? එතනින් කෑම කන්නේ නැතුව වෙන රෙස්ටුරන්ට් එකකට යයි. ඒ වගේ තමයි ඔයා දරුවාට මොනවා හරි කාරණයක් ගැන හැම තිස්සේම අනතුරු ඇඟවීම් විතරක් දෙන්න ගියොත් ඒක දරුවාට වදයක් වෙයි. ඊටපස්සේ ඔයා එක්ක ඒ කාරණය ගැන ආයේ කතා කරන එකකුත් නැහැ. (කොලොස්සි 3:21 කියවන්න.) ඒ නිසා සමබර වෙන්න. එමලි කියන තරුණ සහෝදරිය මෙහෙම කියනවා. “පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන එක ගැන කතා කරද්දී මගේ දෙමාපියන් ඒක වැරදි දෙයක් කියන හැඟීම මගේ හිතේ ඇති කරන්න හැදුවේ නැහැ. හරි වයසෙදී බඳින්න පුළුවන් හොඳ කෙනෙක්ව අඳුනගන්න එකේ තියෙන සතුට ගැන එයාලා කතා කළා. ඒ නිසා කාට හරි මගේ හිත ගියොත් ඒක අම්මලාගෙන් හංගනවට වඩා ඒ ගැන එයලා එක්ක කතා කරන්න මං ආසයි.”
8, 9. (අ) දරුවෙක්ට ඉවසීමෙන් ඇහුම්කන් දෙන එක වැදගත් ඇයි? (ආ) ඔයාගේ දරුවන්ට හොඳින් ඇහුම්කන් දෙන එකෙන් ලැබිලා තියෙන හොඳ ප්‍රතිඵල මොනවද?
8 ඉවසීමෙන් දරුවා කියන දේවලට ඇහුම්කන් දෙන්න. එතකොට ඔයාත් එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කියලා දරුවා තේරුම්ගනියි. (යාකොබ් 1:19 කියවන්න.) තනියම තමන්ගේ දුවව ඇතිදැඩි කරන කාට්‍යා මෙහෙම කියනවා. “දුව කතා කරද්දී ඒක ඉවසීමෙන් අහගෙන ඉන්න මට හරි අමාරු වුණා. එයා ඒක ඉවර කරන්නත් කලින් මං මැද්දෙන් පැනලා මොනවා හරි කියනවා. එයා කියන දේවල් එච්චර වැඩක් නැහැ කියලයි මට හිතුණේ. ඒත් දැන් මං වෙනස්. ඒ නිසා දුව ඉස්සරට වඩා දේවල් දැන් මාත් එක්ක කියනවා. මං කියන දේත් අහනවා.”
9 රොනල්ටත් එයාගේ දුව එක්ක තිබුණේ ඒ වගේම ප්‍රශ්නයක්. “එයා ඉස්කෝලේ පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා දවසක් දුව මට කිව්වා. ඒ වෙලාවේ මට හුඟක් කේන්ති ගියා. ඒත් යෙහෝවා දෙවි එයාගේ සේවකයන් ගැන කොච්චර ඉවසනවද, කොයි තරම් සාධාරණව හිතනවද කියලා මං කල්පනා කළා. ඒ නිසා උපදෙස් දෙන්න කලින් හිතේ තියෙන දේවල් කියන්න දුවටත් අවස්ථාව දෙන්න ඕනෙ කියලා මං හිතුවා. එහෙම කරපු එක ගැන මං සතුටු වෙනවා. දුව හිතපු විදිහ මට තේරුණේ එදායි. එයා කතා කළාට පස්සේ එයාට ආදරෙන් දේවල් කියලා දෙන්න මට ලේසි වුණා. පුදුමේ කියන්නේ මං එයාට දීපු උපදෙස් එයා පිළිගත්තා. එයා හැසිරෙන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා එයාම කිව්වා.” නිතරම කතාබහ කළොත් දරුවන් හිතන විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන්. එතකොට එයාලට හරි තීරණ ගන්න උදව් කරන්න ඔයාට පුළුවන් වෙයි. *
දරුවන්ව පෝෂණය කරන්න
10, 11. සත්‍ය නමස්කාරයෙන් ඈත් නොවී ඉන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
10 තමන්ගේ රැළේ ඉන්න බැටළුවෙක් ටිකෙන් ටික ඈතට ගිහින් දන්නෙම නැතුව රැළෙන් මඟහැරෙන්න ඉඩ තියෙනවා කියලා හොඳ එඬේරෙක් දන්නවා. ඒ වගේ දෙයක් දරුවන්ටත් වෙන්න පුළුවන්. එයාලත් ටිකෙන් ටික සත්‍ය නමස්කාරයෙන් ඈතට යන්න ඉඩ තියෙනවා. නරක ආශ්‍රය නිසා, විනෝද වෙන්න තෝරගන්න දේවල් නිසා එහෙම වෙන්න පුළුවන්. (හිතෝ. 13:20) ඒ වගේ දෙයක් ඔයාගේ දරුවාට නොවෙන්න නම් මොනවද කරන්න ඕනේ?
2 පේතෘ. 1:5-8) පවුලේ නමස්කාරය ඒකට හොඳ අවස්ථාවක්. 2008 ඔක්තෝබර් ‘රාජ්‍ය සේවාවේ’ මෙහෙම දෙයක් තියෙනවා. “නිතිපතා අර්ථවත් ලෙස පවුලේ පාඩම කිරීමේ වගකීම දෙවි පවරා තිබෙන්නේ පවුල් මූලිකයන්ටයි.” දරුවන්ව හොඳින් රැකබලා ගන්න ඔයා පවුලේ නමස්කාර වෙලාව හොඳ අවස්ථාවක් කරගන්නවද? හොඳ මඟ පෙන්වීම් දීලා දරුවන්ට උදව් කරන්න ඔයා දරන මහන්සිය දරුවන් අගය කරනවා කියලා මතක තියාගන්න.
12. (අ) නිතිපතා කරන පවුලේ නමස්කාරයෙන් දරුවන් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? (“ ඒක ලොකු ආශීර්වාදයක්!” යන කොටුව බලන්න.) (ආ) පවුලේ නමස්කාරයෙන් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?
12 පවුලේ නමස්කාරයෙන් ප්‍රයෝජන ලබපු කරීසා මෙහෙම කියනවා. “හැමෝටම එකට වාඩි වෙලා කතා කරන්න හම්බ වෙන ඒ වෙලාවට මං හුඟක් කැමතියි. ඒකෙන් අපේ බැඳීම තව වැඩි වෙනවා. ඒවා ජීවිතේ හොඳ මතක සටහන්. මගේ තාත්තා පවුලේ නමස්කාරය වරද්දන්නේ නැතුව කරනවා. එයා ඒක සැහැල්ලුවට ගන්නේ නැහැ. ඒ නිසාම ඒක වැදගත් දෙයක් විදිහයට සලකන්න මටත් ඕන වුණා. පවුලේ නමස්කාරය කරන්න තාත්තා දරපු උත්සාහය නිසා තාත්තා ගැන මගේ හිතේ තිබුණු ගෞරවය තව වැඩි වුණා.” බ්‍රිට්නි කියන යෞවනිය මෙහෙම කියනවා. “පවුලේ නමස්කාරය නිසා මං අම්මාටයි තාත්තාටයි තවත් කිට්ටු වුණා. මට තියෙන ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න එයාලා කැමතියි කියලත් මං ගැන එයාලා හුඟක් සැලකිලිමත් කියලත් මම තේරුම්ගත්තා. පවුලක් විදිහට තව තවත් ආදරෙන් බැඳෙන්න පවුලේ නමස්කාරය අපිට උදව් වුණා.” දෙමාපියෙනි, ඔයාලගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෙ යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවන්ට උගන්වන එකයි. පවුලේ නමස්කාරය ඒක කරන්න පුළුවන් හොඳම විදිවලින් එකක්. *
දරුවන්ට මඟ පෙන්නන්න
13. යෙහෝවා දෙවිට සේවය කරන්න දරුවා තුළ ආශාවක් ඇති කරන්න පුළුවන් කොහොමද?
13 හොඳ එඬේරෙක් තමන්ගේ බැටළුවන්ට මඟ පෙන්නන්නත් උන්ව ආරක්ෂා කරන්නත් සැරයටියක් පාවිච්චි කරනවා. ඔහුට ඕනෙ ඔහුගේ බැටළුවන්ව “ඉතා සරුසාර තණබිම්වලට” ගෙනි යන්නයි. (එස. 34:13, 14) දෙමාපියන් හැටියට ඔයගොල්ලන් කරන්න ඕනෙත් ඒකමයි. යෙහෝවා දෙවිට ළං වෙන්නත් ඔහුට සේවය කරන්නත් දරුවා තුළ ආශාවක් ඇති කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දරුවන්ට දෙන්න ඕනේ. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත” කියලා ගීතිකාකරුට හැඟුණු විදිහටම ඔයාගේ දරුවාටත් හැඟෙනවා දකින්න ඔයා කැමති ඇති. (ගීතා. 40:8) දරුවාට ඇත්තටම ඒ විදිහට හැඟෙනවා නම් ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න එයාම තීරණය කරයි. ඒ වැදගත් තීරණය ගන්න නම් ඒගොල්ලන්ට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දෙවිට සේවය කරන්න අවංක ආශාවක් තියෙන්නත් ඕනේ.
14, 15. (අ) දෙමාපියන්ගේ ඉලක්කේ වෙන්න ඕනෙ මොකක්ද? (ආ) සත්‍ය ඉගැන්වීම් ගැන සැකයන් තියෙනවා කියලා දරුවෙක් කියන්නේ මොන වගේ හේතු නිසා වෙන්න පුළුවන්ද?
14 දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න දරුවා උනන්දු වෙන්නේ නැහැ කියලා දැනුණොත් මොකද කරන්නේ? එහෙමනම් එයාගේ හදවතට කාවදින විදිහට කාරණා පැහැදිලි කරලා දෙන්න. මුළු හිතින්ම දෙවිට ආදරේ කරන්න දරුවාට උදව් කරන්න. යෙහෝවා දෙවි එයා වෙනුවෙන් කරලා තියෙන දේවල් අගය කරන්න එයාට උගන්වන්න. (එළි. 4:11) එහෙම කළොත් නියම වෙලාවෙදී යෙහෝවා දෙවිට සේවය කරනවා කියන තීරණය එයාම ගනියි.
15 සත්‍ය ඉගැන්වීම් ගැන දරුවාගේ හිතේ සැකයන් තියෙනවා කියලා තේරුණොත් මොකද කරන්නේ? ඉවසීමෙන් අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න. යෙහෝවා දෙවිට සේවය කරන එක තමයි කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම තීරණය කියලත් ඒකෙන් හුඟක් ආශීර්වාද ලැබෙනවා කියලත් තේරුම්ගන්න එයාට උදව් කරන්න. සැකයන් තියෙනවා කියලා දරුවා කියන්නේ ඇයි කියලත් හොයලා බලන්න. උදාහරණෙකට එයා එහෙම කියන්නේ බයිබලේ තියෙන ඉගැන්වීම්
පිළිගන්න බැහැයි කියලා එයා ඇත්තටම හිතන නිසාද නැත්නම් ඒ ඉගැන්වීම් ගැන අනිත් අයට පැහැදිලි කරලා දෙන්න තියෙන බය නිසාද? දරුවා සත්‍ය ඉගැන්වීම් සැක කරනවා කියලා කියන්නේ දෙවිගේ නීති, ප්‍රතිපත්ති පිළිපදින එකෙන් ප්‍රයෝජනයක් නැහැයි කියලා එයා ඇත්තටම හිතන නිසාද නැත්නම් ඒවා පිළිපැද්දොත් අනිත් අය එයාව කොන් කරයි කියන බය නිසාද?16, 17. දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?
16 හිතේ සැකයන් නැති කරගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද? හුඟක් දෙමාපියන් මේ වගේ ප්‍රශ්න දරුවන්ගෙන් අහලා එයාලට උදව් කරලා තියෙනවා. “සාක්ෂිකරුවෙක් වෙලා ඉන්න එක ලේසියි කියලා ඔයා හිතනවද? සාක්ෂිකරුවෙක් වෙන එකෙන් මොන වගේ ප්‍රයෝජන ලැබෙයි කියලද ඔයා හිතන්නේ? දෙවිට සේවය කරන නිසා ඔයාට වෙන්න පුළුවන් අවාසි මොනවද? දැනුත් අනාගතයේදීත් අපිට ලැබෙන ආශීර්වාද ගැන ඔයාට මොනවද හිතෙන්නේ? හොඳට හිතලා බලද්දී අවාසිවලට වඩා ආශීර්වාද වැඩියි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?” පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ නැතුව ඒ ප්‍රශ්න ඔයාගෙම වචනවලින්, කරුණිකව එයාගෙන් අහන්න. එයා ගැන සැලකිලිමත් කියලා එයාට දැනෙන විදිහට කතා කරන්න. මාක් 10:29, 30 තියෙන අදහස් එයාත් එක්ක බෙදාගන්න. දෙවිට සේවය කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් ඒකෙන් වෙන්න පුළුවන් අවාසි ගැනත් ලැයිස්තුවක් හදන්න කියලා දරුවාට කියන්න. ඒක දිහා බලද්දී දරුවාට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා තේරුම්ගන්න ඔයාට වගේම දරුවාටත් පුළුවන් වෙයි. එතකොට ඒවාට විසඳුම් හොයාගන්න ලේසියි. අපි උනන්දුව දක්වන අය එක්ක ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත සහ ‘දෙවිගේ ප්‍රේමය’ පොත සාකච්ඡා කරනවා නම් ඊට වඩා කොච්චර වැඩියෙන් අපේ දරුවොත් එක්ක ඒ දේවල් සාකච්ඡා කරන්න ඕනෙද!
17 දරුවා ලොකු වුණාට පස්සේ දෙවිට සේවය කරනවද කියන තීරණය ගන්න ඕනෙ එයාමයි. ඔයා දෙවිට සේවය කරන නිසා දරුවාත් ඉබේම ඒ තීරණය ගනියි කියලා හිතන්න එපා. ඒ තීරණය ගන්න ඔයා දරුවාට උදව් කරන්න ඕනේ. දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න ඕනෙ ඔයායි. (හිතෝ. 3:1, 2) දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න දරුවාට අමාරුයි නම් මොකද කරන්නේ? තමන්ගෙන්ම මේ ප්‍රශ්න අහලා බලන්න කියලා දරුවාව දිරිගන්වන්න. ‘යෙහෝවා දෙවි ඇත්තටම ඉන්නවා කියලා මට ස්ථිර ඇයි? යෙහෝවා දෙවි මං ගැන සැලකිලිමත් කියලා මං දන්නේ කොහොමද? දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති පිළිපැද්දොත් ප්‍රයෝජන ලැබෙන්නේ මටමයි කියලා මං ඇත්තටම විශ්වාස කරනවද?’ දෙමාපියෙනි, දරුවන්ට හොඳ එඬේරුන් වෙන්න. ඉවසීමෙන් එයාලට මඟ පෙන්නන්න. ජීවිතේ කරන්න පුළුවන් හොඳම දේ යෙහෝවා දෙවිට සේවය කරන එකයි කියලා තේරුම්ගන්න එයාලට උදව් කරන්න. *
18. ශ්‍රේෂ්ඨතම එඬේරා වන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?
18 අපි හැමෝටම ඕනෙ ශ්‍රේෂ්ඨතම එඬේරා වන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නයි. (එෆී. 5:1; 1 පේතෘ. 2:25) දෙමාපියන්ට රැකබලා ගන්න තියෙන රැළ එයාලගේ දරුවෝයි. දරුවන්ව හොඳින් තේරුම්ගන්න. දෙමාපියෙනි, දෙවි දෙන ආශීර්වාද ලබාගන්න දරුවන්ට මඟ පෙන්නන්න පුළුවන් ඔයාලටයි. ඒ නිසා දරුවන්ව හොඳට රැකබලා ගන්නත් යෙහෝවා දෙවිට ආදරේ කරන දරුවෝ විදිහට එයාලාව උස් මහත් කරන්නත් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.
^ 12 ඡේ. වැඩි විස්තර දැනගන්න 2009 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “පවුලේ පාඩම අත්‍යවශ්‍ය දෙයක්” කියන ලිපිය බලන්න.