Skip to content

පටුනට යන්න

“බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න

“බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න

“දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”ක්‍රියා 14:22.

1. දෙවිට සේවය කරන අයට “බොහෝ පීඩාවලට” මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඇයි?

සදාකාල ජීවිතය කියන වටිනා තෑග්ග ලැබෙන්න කලින් අපිට “බොහෝ පීඩාවලට” මුහුණ දෙන්න වෙන එක පුදුමයක් නෙමෙයි. කාලයක් තිස්සේ දෙවිට සේවය කරන කෙනෙක් වුණත් ළඟදී බව්තීස්ම වුණු කෙනෙක් වුණත් අපි හැමෝටම පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ සාතන්ගේ දුෂ්ට සමාජයේ.එළි. 12:12.

2. (අ) විශේෂයෙන්ම ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) විරුද්ධවාදිකම් පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ ගැන අපි දන්නේ කොහොමද?

2 අපි හැමෝටම ජීවිතේ එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. (1 කොරි. 10:13) ඒවාට අමතරව දෙවිට සේවය කරන නිසාත් අපිට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ එකක් තමයි දැඩි විරුද්ධවාදිකම්. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.’ (යොහ. 15:20) විරුද්ධවාදිකම් හැම එකක්ම පිටිපස්සේ ඉන්නේ සාතන්. සාතන් හරියට දෙවිගේ සෙනඟව “ගිල දැමීමට” මාන බලාගෙන ඉන්න “ගොරවන සිංහයෙක්” වගේ. (1 පේතෘ. 5:8) යෙහෝවා දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම කඩලා දාන්න සාතන් ඔහුට පුළුවන් හැම දේම කරනවා. ඒක තේරුම්ගන්න අපි දැන් පාවුල්ට සිද්ධ වුණු දෙයක් බලමු.

ලිස්ත්‍රාවේදී ඇති වුණු පීඩාව

3-5. (අ) ලිස්ත්‍රාවේදී පාවුල්ට මුහුණ දෙන්න වුණු පීඩාව මොකක්ද? (ආ) පීඩා ගැන පාවුල් කියපු දේ දිරිගැන්වීමක් වුණේ කොහොමද?

3 දෙවිට විශ්වාසවන්තව හිටපු නිසා පාවුල්ට හුඟක් විරුද්ධවාදිකම් ආවා. (2 කොරි. 11:23-27) දවසක් පාවුල් ලිස්ත්‍රාවේදී උපතින්ම කොර වෙලා හිටපු කෙනෙක්ව සුව කළා. ඒක දැක්ක සෙනඟ පාවුල් හා බානබස් කියන්නේ දෙවිවරුන් කියලා හිතලා ඒ දෙන්නට නමස්කාර කරන්න හැදුවා. ඒ දෙන්නාට සිද්ධ වුණා එහෙම කරන්න එපා කියලා ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලන්න. ඒත් ලිස්ත්‍රාවට ආපු යුදෙව්වන් පිරිසක් පාවුල් ගැනත් බානබස් ගැනත් වැරදි අදහස් සෙනඟගේ ඔළුවට දැම්මා. ඒ බොරු විශ්වාස කරපු සෙනඟ පාවුල්ට ගල් ගහලා නුවරෙන් එළියට ඇදලා දැම්මා. ඔවුන් හිතුවේ පාවුල් මිය යන්න ඇති කියලයි.ක්‍රියා 14:8-19.

4 ඒ සිද්ධියෙන් පස්සේ පාවුල් හා බානබස් දර්බයට ගිහින් එහේ ටික දවසක් දේශනා කරලා ‘ලිස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද නැවත ගියා. එහිදී ඔවුන්, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි” කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගන්න දිරිගැන්නුවා’ (ක්‍රියා 14:21, 22) සාමාන්‍යයෙන් “බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි” කියද්දී ඒකෙන් කෙනෙක් අධෛර්යය වෙනවා මිසක් දිරිගැන්වෙන්නේ නැහැ. ඒත් ඒ දේ කියලා ගෝලයන්ව දිරිගන්වන්න පාවුල්ට පුළුවන් වුණේ කොහොමද?

5 ඒකට උත්තරේ පාවුල් කියපු දෙයින්ම අපිට හොයාගන්න පුළුවන්. “අපි බොහෝ පීඩා විඳදරාගන්න අවශ්‍යයි” කියලා ඔහු නිකම්ම කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි” කියලයි. (ක්‍රියා 14:21, 22) එතනදී පාවුල් කාවැද්දුවේ පීඩා විඳදරාගද්දී ලැබෙන ප්‍රතිඵලය ගැනයි. පීඩා ආවත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ආශීර්වාදය නිකම්ම හීනයක් නෙමෙයි. ඒක ඇත්තටම ලැබෙන දෙයක්. යේසුත් ඒ ගැන මෙහෙම කිව්වා. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.”මතෙ. 10:22.

6. පීඩා විඳදරාගන්න අයට ලැබෙන ආශීර්වාදය මොකක්ද?

6 පීඩාවලට හොඳින් මුහුණ දෙනවා නම් අපිටත් ආශීර්වාද ලැබෙනවා. අභිෂේක ලත් අයට ස්වර්ගයේ රජවරුන් විදිහට අමරණීය ජීවිතයකුත් “වෙනත් බැටළුවන්ට” පාරාදීසයේ සදාකල් ජීවිතයකුත් ලැබෙනවා. (යොහ. 10:16; 2 පේතෘ. 3:13) ඒක ලැබෙනකල් අපිට “බොහෝ පීඩාවලට” මුහුණ දෙන්න වෙනවමයි. අපිට එන පීඩා වර්ග 2ක් ගැන දැන් බලමු.

කෙළින්ම එල්ල කරන පීඩා

7. කෙළින්ම එල්ල කරන පීඩාවලට ඇතුළත් වෙන්නේ මොනවද?

7 යේසුස් මෙහෙම කිව්වා මතකද? “මිනිසුන් ඔබව උසාවිවලට භාර දෙයි. සිනගෝගවලදී ඔබට තළයි. ඔබට ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියෙහි පෙනී සිටින්නත් සිදු වෙයි.” (මාක් 13:9) යේසුස් කිව්වේ සමහරුන්ට විරුද්ධවාදිකම් වගේ කෙළින්ම එල්ල වෙන පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලයි. ඒ විරුද්ධවාදිකම් ආගමික නැත්නම් දේශපාලන නයකයන්ගෙන් එල්ල වෙන්න පුළුවන්. (ක්‍රියා 5:27, 28) පාවුල් ගැන හිතන්න. විරුද්ධවාදිකම් එනවා කියලා දැනගත්තම එයා බය වුණාද? නැහැ.ක්‍රියා 20:22, 23 කියවන්න.

8, 9. පීඩා දරාගන්න අදිටන් කරගෙන ඉන්නවා කියලා පාවුල් පෙන්නුවේ කොහොමද? අද ඉන්න සහෝදරයන් කෙළින්ම එල්ල වුණු පීඩා විඳදරාගෙන තියෙන්නේ කොහොමද?

8 සාතන් කෙළින්ම එල්ල කරපු පීඩාවලට පාවුල් නිර්භීතව මුහුණ දුන්නා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි. මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු පැවරුමත් සාර්ථකව නිම කිරීමයි. ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමයි.” (ක්‍රියා 20:24) විරුද්ධවාදිකම් එද්දී බය වෙනවා වෙනුවට ඒවා දරාගන්න පාවුල්ට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. මොන පීඩා ආවත් “ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක්” දෙන එකයි ඔහුගේ අරමුණ වුණේ.

9 අද ඉන්න හුඟක් සහෝදර සහෝදරියනුත් දෙවිට පක්ෂපාතව ඉන්න ලොකු අධිෂ්ඨානයකින් ඉන්නවා. එක රටක සාක්ෂිකරුවන්ව කිසිම නඩු විභාගයක් නැතුව හිරේට දැම්මා. අවුරුදු 20කට කිට්ටු කාලයක් ඒ අය හිරේ දුක් වින්දා. එහෙම වුණේ දේශපාලන වැඩවලට හවුල් වෙන්න අකමැති වුණු නිසයි. ඒ අයව බලන්න අඩුම තරමේ පවුලේ අයටවත් ඉඩ දුන්නේ නැහැ. සමහරුන්ට අමානුෂික වධ හිංසාවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.

10. හිතන්නේ නැති වෙලාවල පීඩා එද්දී බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

10 සමහර සහෝදර සහෝදරියන්ට හිතන්නේ නැති වෙලාවල, එකපාරටම පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාටත් ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් මොකද කරන්නේ? ඒ වෙලාවට බය වෙන්න එපා. යෝසෙප්ට සිද්ධ වුණු දේ මතක තියාගන්න. නොහිතපු වෙලාවක, හරිම කෙටි කාලයක් ඇතුළත එයාව වහලෙක් විදිහට වික්කා. ඒත් ‘දෙවි සියලු පීඩාවලින් ඔහුව ගලවගත්තා.’ (ක්‍රියා 7:9, 10) ඔයාවත් ඒ විදිහට බේරගන්න දෙවිට පුළුවන්. “දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය” කියන දේ හැම තිස්සෙම මතක තියාගන්න. (2 පේතෘ. 2:9) මේ දුෂ්ට සමාජයෙන් ඔයාව බේරගෙන සදාකාල ජීවිතය දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් කියන විශ්වාසයෙන් දිගටම ඉන්න. එහෙම ඉන්නත් ධෛර්යයෙන් පීඩාවලට මුහුණ දෙන්නත් ඔයාට තියෙන හේතු ගැන හිතන්න.1 පේතෘ. 5:8, 9.

හොර රහසේ එල්ල වෙන පීඩා

11. හොර රහසේ එල්ල වෙන පීඩා කෙළින්ම එල්ල වෙන පීඩාවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

11 හොර රහසේ එල්ල වෙන පීඩා දරාගන්නත් අපිට සිද්ධ වෙනවා. ඒවා කෙළින්ම එන පීඩාවලට වඩා වෙනස්. කෙළින්ම එන පීඩා හරියට හදිස්සියෙම කඩා වැදිලා ඔයාගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන කුණාටුවක් වගේ. ඒත් හොර රහසේ එන පීඩා හරියට ගෙදරකට හානි කරන වේයෝ වගේ. වේයෝ ගෙයක් විනාශ කරන්නේ ටිකෙන් ටික. ඒක තේරෙන්නේ ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දියි. එතකොට ප්‍රමාද වැඩියි.

12. (අ) සාතන් හොර රහසේ ගේන ප්‍රබලම පීඩාව මොකක්ද? ඒක ප්‍රබල එකක් කියන්නේ ඇයි? (ආ) අධෛර්යය කරවන හැඟීම් පාවුල්ට බලපෑවේ කොහොමද?

12 සාතන්ට ඕනෙ යෙහෝවා දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම බිඳලා දාන්නයි. විරුද්ධවාදිකම් වගේ කෙළින්ම එල්ල කරන පීඩාවලට අමතරව මනසිකව වැටෙන, අධෛර්යය වෙන දේවල් කරලා හොර රහසේ ඒක කරන්නත් ඔහු උත්සාහ කරනවා. මිනිසුන්ට පීඩා කරන්න සාතන් යොදාගන්න ප්‍රධානම අවිවලින් එකක් තමයි අධෛර්යය කරවන එක. මොකද කෙනෙක් අධෛර්යය වෙලා මානසිකව වැටුණාම දෙවි එක්ක එයාට තියෙන බැඳීම ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. පාවුල් වුණත් අධෛර්යය වුණු වෙලාවල් තිබුණා. එහෙම වෙලාවකදී තමයි ඔහු තමන්වම “කාලකණ්ණි මිනිහෙක්” කියලා හැඳින්නුවේ. (රෝම 7:21-24 කියවන්න.) දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණු, බොහෝදුරට පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු පාවුල් වගේ කෙනෙක් අධෛර්යය වුණේ ඇයි? හරි දේ කරන්න ඔහු කොයි තරම් උත්සාහ කළත් පව්කාරකම නිසා ඔහු අතින් වැරදි අඩුපාඩුකම් සිද්ධ වුණා. ඔයාටත් ඒ වගේ හැඟීම් ඇති වෙනවා නම් ඒක ඔයාට විතරක් තියෙන දෙයක් කියලා හිතන්න එපා. පාවුල්ටත් ඒ වගේ හැඟීම් ඇති වුණා කියලා මතක තියාගන්න. ඒක ඔයාට සහනයක් වෙයි.

13, 14. (අ) දෙවිට සේවය කරන සමහරු අධෛර්යය වෙන්නේ ඇයි? (ආ) දෙවි ගැන අපේ හිතේ තියෙන විශ්වාසය නැති වෙනවා දකින්න කැමති කවුද? ඒ ඇයි?

13 කාලෙන් කාලෙට සහෝදර සහෝදරියන් අධෛර්යය වෙනවා. කනස්සලු වෙනවා. තමන් වටින්නේ නැහැ කියලා හිතනවා. උදාහරණෙකට උද්‍යෝගයෙන් පුරෝගාමි සේවය කරපු සහෝදරියක් කියපු දේ බලන්න. “මගේ අතින් වෙච්ච වැරැද්දක් ගැන මම හැම තිස්සෙම හිතනවා. ඒ වෙලාවට ලොකු කනස්සල්ලක් මගේ හිතේ ඇති වෙනවා. මං කරලා තියෙන වැරදි ගැන හිතද්දී මට හිතෙන්නේ කාගෙවත් ආදරේ ලබන්න මං වටින්නේ නැහැ කියලයි. අඩුම තරමේ යෙහෝවා දෙවිගෙවත්.”

14 දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන අයටත් ඒ වගේ ලොකු දුකක්, වේදනාවක් ඇති වෙන්නේ ඇයි? ඒකට හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. සමහරවිට එහෙම වෙන්නේ ඒ අය තමන් ගැනම අඩුවෙන් හිතන නිසයි. එහෙම නැත්නම් ජීවිතේ අද්දකින ප්‍රශ්න ගැටලු නිසයි. (හිතෝ. 15:15) මානසිකව බලපාන යම් අසනීප නිසාත් සමහරුන්ට අධෛර්යය කරවන හැඟීම් ඇති වෙනවා. මොන හේතුවක් නිසා හරි ඔයාත් මානසිකව වැටිලා ඉන්නවා නම් මේ ගැන හිතන්න. දෙවිට සේවය කරන එක නතර කරන තරමට අපි මානසිකව වැටෙනවා දකින්න කැමති කවුද? සාතන් නේද? සාතන්ව විනාශයට නියම කරලා ඉවරයි. ඔහුට දැන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. සාතන්ට ඕනෙ ඔයාටත් කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා හැඟෙන්න සලස්වන්නයි. (එළි. 20:10) අපේ හිතේ දුකක් ඇති කරලා අපේ උද්‍යෝගය අඩු කරන්නයි සාතන්ට ඕනේ. කෙළින්ම හරි හොර රහසේ හරි පීඩා ගෙනල්ලා සාතන් උත්සාහ කරන්නේ ඔයා දෙවිට කරන සේවය නවත්වන්නයි. ඒ නිසා සාතන්ට පොඩි ඉඩක්වත් දෙන්න එපා. දෙවිට විශ්වාසවන්තව ඉන්න අපි හැමෝටම හැමදාම ලොකු සටනක් කරන්න වෙනවා.

15. 2 කොරින්ති 4:16, 17 කියන විදිහට අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

15 දෙවිට විශ්වාසවන්තව ඉන්න කරන සටන අත්හරින්නේ නැහැ කියන අධිෂ්ඨානයෙන් ඉන්න. ඉදිරියේදී ලැබෙන ආශීර්වාද ගැන නිතරම හිතන්න. පාවුල් කොරින්තිවරුන්ට මෙහෙම කිව්වා. “අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය දිනෙන් දින අලුත් වන බව නිසැකය. අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.”2 කොරි. 4:16, 17.

පීඩාවලට දැන්ම ලෑස්ති වෙන්න

විශ්වාසයන් ගැන බය නැතුව කතා කරන්න සූදානම් වෙමු (16 ඡේදය බලන්න)

16. ඉදිරියේදී එන පීඩාවලට දැන් ඉඳන්ම සූදානම් වෙන එක වැදගත් ඇයි?

16 අපිව අල්ලගන්න සාතන් ළඟ හුඟක් කපටි “උපායන්” තියෙනවා. (එෆී. 6:11) ඒ නිසා 1 පේතෘස් 5:9 තියෙන මේ උපදෙස හිතට ගන්න. එතන කියන්නේ “ස්ථිර විශ්වාසයකින් ඔහුට විරුද්ධව සිටින්න” කියලයි. ස්ථිර විශ්වාසයකින් ඉන්න නම් අපි දැන් ඉඳන්ම අපේ මනසත් හදවතත් හරිදේ කරන්න පුළුවන් විදිහට පුහුණු කරන්න ඕනේ. මෙහෙම හිතන්න, සෙබළෙක් යුද්දෙකට යන්න කාලෙකට කලින් ඉඳන්ම ඒ යුද්දෙට පුහුණු වෙනවා. අපිත් ඒ වගේ තමයි. ඉස්සරහට අපිට මොන වගේ සටනක් කරන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න ඒ තරම් නැති කාලෙදී ඒකට මුහුණ දෙන්න අපි පුහුණු වෙන්න ඕනේ. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි.2 කොරි. 13:5.

17-19. (අ) අපිවම සෝදිසි කරලා බලන්න පුළුවන් කොහොමද? (ආ) ඉස්කෝලෙදි බය නැතුව කතා කරන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

17 ඔයාවම සෝදිසි කරලා බලන්න පුළුවන් එක විදිහක් තමයි ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහලා බලන එක. ‘මම හැමදාම යාච්ඤා කරනවද? වැරදි දේකට අනිත් අය මාව පොලඹවද්දී මම මිනිසුන්ට වඩා දෙවිට කීකරු වෙනවද? මං වරද්දන්නේ නැතුව රැස්වීම්වලට යනවද? මම විශ්වාස කරන දේවල් ගැන බය නැතුව අනිත් අය එක්ක කතා කරනවද? මගේ අතින් වරදක් වුණාම අනිත් අය මට සමාව දෙනවට කැමතියි වගේ මමත් මගේ සහෝදරයන්ට සමාව දෙනවද? වැඩිමහල්ලන්ට මම කීකරුද? සංවිධානයේ පෙරමුණ ගන්න අයගේ මඟ පෙන්වීම්වලට මම කීකරු වෙනවද?’

18 අපේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න අපිට බයක් තියෙනවද කියලා තේරුම්ගන්න ඒ ප්‍රශ්නවලින් ප්‍රශ්න 2ක්ම අපිට උදව් කරනවා. ඉස්කෝලෙදී දෙවි ගැන බය නැතුව කතා කරන්න අපේ සඟරාවල තියෙන තොරතුරු යෞවනයන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. උදාහරණෙකට 2009 ජූලි ‘පිබිදෙව්!’ සඟරාවේ සඳහන් වෙන විදිහට ඉස්කෝලේ යාළුවෙක් ‘ඇයි ඔයා පරිණාමවාදය පිළිගන්නේ නැත්තේ’ කියලා ඇහුවොත් ඔයාට මෙහෙම අහන්න පුළුවන්. ‘ඇයි මම පරිණාමවාදය විශ්වාස කරන්න ඕනේ? ප්‍රවීණයන් කියලා පිළිගන්න විද්‍යාඥයන්වත් තාම ඒ ගැන එකඟ නැහැ. ඒක තාම වාදයක් විතරයි.’ දෙමව්පියනි, දරුවන්ට තමන් විශ්වාස කරන දේවල් ගැන කතා කරන්න පුළුවන් විදි ඒගොල්ලෝ එක්ක පුහුණු වෙන්න. එතකොට ඉස්කෝලෙදී බය නැතැව කතා කරන්න දරුවන්ට පුළුවන්.

19 අපේ විශ්වාසයන් ගැන අනිත් අය එක්ක කතා කරන එක, දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. උදාහරණෙකට මහන්සියෙන් ඉන්න දවසක රැස්වීම්වලට යන එක ලේසි නැහැ. උදෙන්ම නැඟිටලා සේවයේ යන එකත් ලේසි දෙයක් නෙමෙයි. ඒත් දැන් ඔයා ඒ දේවල් ජීවිතේ කොටසක් කරගෙන තියෙනවා නම් අනාගතයේදී ලොකු ලොකු පීඩා එද්දී ඒවාට මුහුණ දෙන්න ඒක ඔයාට උදව්වක්.

20, 21. (අ) යේසුස්ගේ ජීවිත පූජාව ගැන කල්පනා කරලා බලන එක අධෛර්යය කරන හැඟීම්වලින් ගොඩ එන්න උදව් වෙන්නේ කොහොමද? (ආ) අපි අධිෂ්ඨාන කරගන්න ඕනෙ මොකක්ද?

20 අධෛර්යය වෙලා ඉන්න එකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි යේසුස්ගේ ජීවිත පූජාව ගැන හොඳට හිතන එක. පාවුල් කළෙත් ඒකයි. මානසිකව වැටිලා ඉන්න වෙලාවලදී යේසුස් ජීවිතය පූජා කළේ පරිපූර්ණ අය වෙනුවෙන් නෙමෙයි තමන් වගේ පව්කාරයන් වෙනුවෙන් කියලා ඔහු මතක් කරගත්තා. “මේ ජීවිතය මා ඇත්තටම ගත කරන්නේ මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමින්ය” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ගලා. 2:20) පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව පිළිගත්තා විතරක් නෙමෙයි ඒක තමන් වෙනුවෙන්ම දුන්න එකක් කියලා විශ්වාස කළා.

21 යේසුස්ගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි ඔයාටම දුන්න තෑග්ගක් කියලා ඔයාත් හිතනවා නම් අධෛර්යය කරවන හැඟීම්වලින් ගොඩ එන්න ඒක උදව්වක් වෙයි. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ හැඟීම් ඉක්මනින්ම නැති වෙලා යයි කියලා. දේවරාජ්‍යය පොළොව පාලනය කරන දවස එනකල්ම විටින් විට අධෛර්යය කරවන හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒත් සදාකාල ජීවිතය කියන තෑග්ග ලැබෙන්නේ අත්හරින්නේ නැතුව දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අයටයි කියන දේ අපි මතක තියාගන්න ඕනේ. ගත වෙන දවසක් ගානේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන දවසට අපි ළං වෙනවා. එදාට මේ පොළොව පීඩා, ප්‍රශ්න නැති තැනක් වෙනවා. හැම කෙනෙක්ම පරිපූර්ණයි. ඒ නිසා මොන පීඩා ආවත් ඒවාට හොඳින් මුහුණ දීලා දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔයාත් අධිෂ්ඨාන කරගන්න.