Skip to content

පටුනට යන්න

ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?

ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?

“දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”රෝම 12:2.

1. යුද්ධ කාලවලදී ආගමික නායකයන් කරලා තියෙන්නේ මොනවද?

තමන්ගේ සේවකයන් යුද්ධ කරනවට දෙවි කැමතියි කියලා ඔයා හිතනවද? පහුගිය අවුරුදු 100 දිහා බැලුවොත් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හුඟක් අය කරලා තියෙන්නේ ඒ දේ තමයි. කතෝලික අය කතෝලික අයවත් රෙපරමාදු අය රෙපරමාදු අයවත් මරලා දාලා තියෙනවා. ඒ ආගම්වල නායකයන් තමන්ගේ ජාතියට අයිති හමුදාවලටත් ආයුධවලටත් ආශීර්වාද කළා. දෙවෙනි ලෝක මහා යුද්ධ කාලෙදීත් ඒ දේම සිද්ධ වුණා.

2, 3. දෙවෙනි ලෝක යුද්ධ කාලෙදීත් ඊටපස්සෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රියා කළේ කොහොමද? ඒ ඇයි?

2 ඒ කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් කාගෙවත් පැත්තක් අරන් වැඩ කළේ නැහැ. රටවල් අතරේ තිබුණු යුද්ධවලට, ජාතීන් අතරේ තිබුණු මතගැටුම්වලට ඒ අය හවුල් වුණේ නැහැ. මොකද යේසුස් උගන්වපු දේවලට කීකරු වෙන්න, යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන්න ඒ අයට ඕන වුණා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියන යේසුස්ගේ වචන ඒ අයට මතක තිබුණා. (යොහ. 13:35) ඒ වගේම පාවුල් කොරින්තිවරුන්ට කියපු දේක තියෙන ප්‍රතිපත්තියත් ඒගොල්ලෝ තේරුම්ගත්තා. ඒක අදාළ කරගත්තා.2 කොරින්ති 10:3, 4 කියවන්න.

3 සැබෑ ක්‍රිස්තියානීන් දෙයක් හරිද වැරදිද කියලා තීරණය කරන්නේ ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලලයි. බයිබලේ තියෙන්නේ යුද්ධවලට හවුල් වෙන එක වැරදියි කියලා. ඒ නිසා යුද්ධවලට යන්නත් සටන් ඉගෙනගන්නත් ඒ අයගේ හෘදය සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ. බයිබල් ඉගැන්වීම් අදාළ කරගන්න නිසා සාක්ෂිකරුවන්ට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධ කාලේ තරුණ මහලු, ගැහැනු පිරිමි කියලා වෙනසක් නැතුව සාක්ෂිකරුවන්ට සිරගෙවල්වල, බර වැඩ ගත්ත කඳවුරුවල ඉන්න සිද්ධ වුණා. සමහරුන්ව මරලා දැම්මා. ඒ වගේ තත්වයකදී වුණත් යුරෝපයේ හිටපු සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන්න තිබුණු වගකීම අමතක කළේ නැහැ. පුළුවන් හැම තැනම දේශනා කළා. සිරගෙවල්වලත් ගාල් කඳවුරුවලත් දේශනා කළා. * 1994දී රුවන්ඩාවේ ජාතීන් දෙකක් එකිනෙකාව මරා ගද්දී සාක්ෂිකරුවන් ඒකට හවුල් වුණේ නැහැ. ඒ වගේම යුගෝස්ලාවියාවේ යුද්ධය ඇති වුණු වෙලාවෙදීත් ඔවුන් පැති ගන්නේ නැතුව හිටියා.

4. සාක්ෂිකරුවන් යුද්ධවලට හවුල් වෙන්නේ නැති එක ගැන හුඟක් අය කියන්නේ මොකක්ද?

4 යුද්ධවලට හවුල් වෙන්නේ නැති නිසා හුඟක් අය සාක්ෂිකරුවන් ගැන කියන්නේ ඒ අය ඇත්තටම දෙවිටත් අසල්වැසියන්ටත් ප්‍රේම කරන, සැබෑ ක්‍රිස්තියානීන් කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානීන් කියලා කියන්න තියෙන තවත් හේතු මොනවද?

මෙතෙක් කරලා තියෙන ලොකුම කාර්යය

5. යේසුස්ගේ ගෝලයන්ට මුහුණ දෙන්න වුණු අභියෝගය මොකක්ද?

5 දේවරාජ්‍යය ගැන දේශනා කරන එක ලෝකෙ තියෙන වැදගත්ම වැඩේ කියලා යේසුස් පෙන්නලා දුන්නා. ඒක මුලින්ම පටන්ගත්තේ යේසුස්. ඊටපස්සේ ඔහු ගෝලයන් 12දෙනෙක්වත් ටික දවසකින් තවත් 70දෙනෙකුවත් තෝරගෙන ඒ අයව පුහුණු කළා. (ලූක් 6:13; 10:1) ඉස්සෙල්ලාම ඔහු කිව්වේ යුදෙව්වන්ට ශුභාරංචිය දේශනා කරන්න කියලයි. ඊටපස්සේ වෙනත් ජාතීන්වල අයටත් දේශනා කරන්න කියලා කිව්වා. යුදෙව්වන් වෙනත් ජාතීන් එක්ක වැඩි ආශ්‍රයක් තිබුණේ නැති නිසා ඒක යුදෙව් ක්‍රිස්තියානීන්ට ලොකු අභියෝගයක් වුණා.ක්‍රියා 1:8.

6. යෙහෝවා දෙවි එක ජාතියක් තව ජාතියකට වඩා උසස් කරලා සලකන්නේ නැහැ කියලා පේතෘස් තේරුම්ගත්තේ කොහොමද?

6 චර්මච්ඡේදනය වෙලා නැති, වෙනත් ජාතියකට අයත් අයගෙන් මුලින්ම ක්‍රිස්තියානියෙක් වුණේ කොර්නේලියස්. එයාට දේශනා කරන්න කියලා පේතෘස්ට කිව්වේ යෙහෝවා දෙවියි. පේතෘස් එයාගේ ගෙදරට ගිහින් දේශනා කළා. ඒ වෙලාවෙ තමයි පේතෘස්ට තේරුණේ යෙහෝවා දෙවි එක ජාතියක් තව ජාතියකට වඩා උසස් කරලා සලකන්නේ නැහැ කියලා. ඊටපස්සේ කොර්නේලියස් සහ එයාගේ පවුලේ අය බව්තීස්ම වුණා. (ක්‍රියා 10:9-48) එදා ඉඳන් පේතෘස් වගේම යේසුස්ගේ අනිත් ගෝලයොත් හැම ජාතියකටම අයත් අයට දේශනා කරන්න පටන්ගත්තා.

7, 8. මිනිසුන්ට ශුභාරංචිය ගැන කියලා දෙන්න සාක්ෂිකරුවන් කරලා තියෙන්නේ මොන වගේ දේවල්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 සාක්ෂිකරුවන් හොඳින් සංවිධානය වෙලා ඉන්න නිසා දේශනා කරන කාර්යය ලෝකෙ පුරාම සිද්ධ වෙනවා. දැන් සාක්ෂිකරුවන්ගේ ගාණ ලක්ෂ 80කට කිට්ටුයි. ඒ අය භාෂා 600කටත් වැඩි ගාණකින් දේශනා කරනවා. ඒකට තව තවත් භාෂා එකතු වෙනවා. ඒ අය ගෙයින් ගෙට, පාරවල්වල උද්‍යෝගයෙන් දේශනා කරනවා. ප්‍රසිද්ධ ස්ථානවල මේස, ජංගම පුවරු තියාගෙන පොත් පත් ප්‍රදර්ශනය කරලා දෙවිව දැනගන්න මිනිසුන්ට උදව් කරනවා. ඒ විදිහට දේශනා කරන්නේ සාක්ෂිකරුවන් විතරක් නිසා මිනිසුන් ඉක්මනින්ම ඒ අයව අඳුනගන්නවා.

8 බයිබලය සහ බයිබලේ තොරතුරු තියෙන පොත් පත් පරිවර්තනය කරන්න මේ වෙනකොට යෙහෝවා දෙවිගේ සංවිධානය 2,900කට වැඩිදෙනෙක්ව පුහුණු කරලා තියෙනවා. ඔවුන් ප්‍රධාන භාෂාවලට විතරක් නෙමෙයි එච්චර ප්‍රසිද්ධ නැති භාෂාවලටත් බයිබල් පොත් පත් පරිවර්තනය කරනවා. කැටලෝනියානු භාෂාව ඒකට හොඳ උදාහරණයක්. ඒ භාෂාව එච්චර ප්‍රසිද්ධ නැති වුණත් මෑතක ඉඳන් මිලියන ගාණක්දෙනා ඒක කතා කරනවා. ස්පාඤ්ඤයේ ඉන්න සාක්ෂිකරුවන් ඒ භාෂාවටත් පොත් පත් පරිවර්තනය කරන නිසා ඒක කතා කරන අයට ඒගොල්ලන්ගේ හිතට දැනෙන භාෂාවෙන්ම පොත් පත් කියවන්නත් ඒ භාෂාවෙන් පවත්වන රැස්වීම්වලට හවුල් වෙන්නත් ලැබෙනවා.

9, 10. හැම කෙනෙක්ටම දෙවි ගැන සත්‍යය දැනුම් දෙන්න දෙවිගේ සංවිධානය කැමැත්තෙන් ඉන්නවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

9 මිනිසුන්ට තමන්ගෙම භාෂාවෙන් බයිබලේ තියෙන තොරතුරු උගන්වන්න අවශ්‍ය කරන පොත් පත් දැන් ලෝකෙ පුරාම පරිවර්තනය කරනවා. උදාහරණයකට මෙක්සිකෝවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ වුණත් වැඩිදෙනෙක් ගෙවල්වල කතා කරන්නේ වෙන වෙන භාෂා. මායා කියන්නේ ඒ වගේ භාෂාවක්. මායා භාෂාවට පරිවර්තනය කරන කණ්ඩායමට ඒ භාෂාව කතා කරන පැත්තකම පදිංචි වෙන්න කියලා සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබුණා. මායා භාෂාව කතා කරන්නත් ඒ භාෂාව කතා කරන අයට ඇහුම්කන් දෙන්නත් ඒගොල්ලන්ට අවස්ථාව ලැබෙන නිසා ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට පොත් පත් පරිවර්තනය කරන්න හැකි වෙලා තියෙනවා. නේපාලයේ භාෂා 120ක් විතර තියෙනවා. රටේ ජනගහනයත් කෝටි 3කට කිට්ටුයි. ඒකෙන් කෝටියකටත් වඩා වැඩිදෙනෙක්ගේ මව් භාෂාව නේපාලි. ඉතුරු පිරිසත් ඒ අයගේ දෙවෙනි භාෂාව විදිහට නේපාලි භාෂාව කතා කරනවා. සාක්ෂිකරුවන් නේපාලි භාෂාවටත් පොත් පත් පරිවර්තනය කරනවා.

10 ඒ පරිවර්තන වැඩවලින් ඔප්පු වෙන්නේ දේශනා කරන්න දීලා තියෙන වගකීම යෙහෝවා දෙවිගේ සංවිධානය බැරෑරුම්ව සලකනවා කියලා නේද? මේ වෙනකොට සාක්ෂිකරුවන් පත්‍රිකා, සඟරා මිලියන ගාණක් මුදල් අය කරන්නේ නැතුව බෙදාහරිනවා. ඒ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම කරන සම්මාදම් නිසයි. ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න’ කියලා යේසුස් දුන්න උපදෙස ඒ අය අදාළ කරගන්නවා.මතෙ. 10:8.

පොත් පත් සරල ජර්මන් භාෂාවට පරිවර්තනය කරමින් (10 ඡේදය බලන්න)

සරල ජර්මන් භාෂාවෙන් තියෙන පොත් පත් පැරගුවේ රටේදී යොදාගන්නවා (ලිපියේ මුල් පින්තූරයත් බලන්න)

11, 12. දේශනා කරන්න අපි දරන උත්සාහය දැකලා හුඟක් අය කියන්නේ මොකක්ද?

11 තමන් ඉන්නේ බයිබලේ තියෙන දේවල් නිවැරදිව උගන්වන සත්‍ය ආගමේ කියන දේ ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කිසිම සැකයක් නැහැ. ඒ නිසා හැම ජාතියකම, සංස්කෘතියකම අයට බයිබල් සත්‍යයන් කියලා දෙන්න ඒ අය හුඟක් කැප කිරීම් කරනවා. ඒ සේවය වැඩියෙන් කරන්න හුඟක් අය ජීවිත සරල කරගෙන තියෙනවා. වෙනත් භාෂාවක් ඉගෙනගෙන තියෙනවා. වෙන රටකට ගිහින් ඒ සංස්කෘතියට අනුව හැඩගැහිලා තියෙනවා. දේශනා කරන්න අපි දරන උත්සාහය දැකලා හුඟක් මිනිසුන් කියනවා සාක්ෂිකරුවන් කියන්නේ ඇත්තටම යේසුස්ව අනුගමනය කරන අය කියලා.

12 සාක්ෂිකරුවන් මේ හැම දේම කරන්නේ ඒ අය ඉන්නේ දෙවිගේ අනුමැතිය තියෙන ආගමේ කියන දේ ගැන කිසිම සැකයක් නැති නිසයි. ඒ වගේ විශ්වාසයක් ඇති වෙන්න සහෝදර සහෝදරියන්ට හේතු වෙලා තියෙන තවත් දේවල් මොනවද?රෝම 14:17, 18 කියවන්න.

සත්‍ය ආගම කියලා විශ්වාසයි

13. සාක්ෂිකරුවන් ඒ අයගේ සංවිධානය පවිත්‍රව තියාගන්නේ කොහොමද?

13 තමන් ඉන්නේ සත්‍ය ආගමේ කියන දේ ගැන සැකයක් නැහැ කියලා සහෝදර සහෝදරියන් කියන්නේ ඇයි? කාලයක් තිස්සේ දෙවිට සේවය කරන සහෝදරයෙක් මෙහෙම කිව්වා. “දෙවිගේ සංවිධානය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒක හැම අතින්ම පවිත්‍රව තියාගන්නයි. ඒකට බාධා වෙන විදිහට කවුරු හරි වැඩ කරනවා නම් ඒ කෙනා කවුරු වුණත් කොච්චර වගකීම් තිබුණත් එයාට ඕන උපදෙස්, හික්මවීම් දෙන්න පසුබට වෙන්නේ නැහැ.” යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ ඒ තරම් හොඳ සදාචාර ප්‍රමිති තියෙන්නේ කොහොමද? බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න වගේම යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් ආදර්ශයට ගන්න ඒ අය ලොකු උත්සාහයක් ගන්නවා. හරි වැරැද්ද ගැන දෙවි දීලා තියෙන ප්‍රමිති පිළිගන්නේ නැතුව වැඩ කරලා තියෙන්නේ ටිකදෙනයි. ඒ අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. ඒත් වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙන විදිහේ පවිත්‍ර ජීවිත ගත කරන්නයි. සමහරුන් කලින් දෙවි අනුමත නොකරන විදිහේ ජීවිත ගත කළත් දැන් වෙනස්කම් කරගෙන දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා.1 කොරින්ති 6:9-11 කියවන්න.

14. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු හුඟදෙනෙක් කරලා තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

14 දෙවිට කීකරු වෙන්නේ නැති අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියලා බයිබලේ කියලා තියෙනවා. එහෙම ඉවත් කරපු දහස් ගාණක් පස්සේ කාලෙකදී පසුතැවිලි වෙලා ආයෙත් සභාවේ සාමාජිකයන් විදිහට සේවය කරනවා. (2 කොරින්ති 2:6-8 කියවන්න.) සාක්ෂිකරුවන් බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන නිසා සභාවත් පවිත්‍රයි. ඒ නිසා තමන් ඉන්නේ දෙවිගේ අනුමැතිය තියෙන සංවිධානයේ කියලා හුඟක් අයට ස්ථිරයි. හුඟක් ආගම්වල අය ඒ අයගේ සාමාජිකයන්ට ඕනම දෙයක් කරන්න ඉඩ දුන්නත් සාක්ෂිකරුවන් ජීවත් වෙන්නේ යෙහෝවා දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුවයි. බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් පිළිපදින්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා විශ්වාස කරන්න ඒක හොඳ හේතුවක්.

15. තමන් ඉන්නේ සත්‍ය ආගමේ කියලා ස්ථිර වෙන්න සහෝදරයෙක්ට උදව් වෙලා තියෙන්නේ මොකක්ද?

15 වයස 54ක සහෝදරයෙක් මෙහෙම කියනවා. “මං දෙවිට සේවය කරන්නේ යෞවන කාලේ ඉඳන්. මේක දෙවිගේ අනුමැතිය තියෙන සත්‍ය ආගම කියලා මට කිසිම සැකයක් නැහැ. ඒ වගේ විශ්වාසයක් ඇති වුණේ හේතු 3ක් නිසයි. ඒවා තමයි (1) දෙවි ඇත්තටම ඉන්නවා කියන දේ. (2) බයිබලේ දෙවිම දුන්න පොතක් කියන දේ. (3) මේ පොළොවේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්නේ සාක්ෂිකරුවන් විතරයි කියන දේ. ඒ කාරණා 3 ගැන මට ඇත්තටම විශ්වාසය තියන්න පුළුවන්ද කියලා පහුගිය අවුරුදු ගාණ තිස්සෙම මම විටින් විට හොයලා බැලුවා. ඒ ගැන හොයන තරමට ඒවා කොච්චර ඇත්තද කියලා මට තව තවත් ස්ථිර වුණා. ඒ නිසා මං ඉන්නේ සත්‍ය ආගමේ කියලා මට කිසිම සැකයක් නැහැ.”

16. තමන් ඉන්නේ සත්‍ය ආගමේ කියලා සහෝදරියකට ස්ථිර වෙලා තියෙන්නේ කොහොමද?

16 තමන් ඉන්නේ සත්‍ය ආගමේ කියලා විශ්වාස කරන හේතුව ගැන සහෝදරියක් මෙහෙම කිව්වා. “බයිබලේ 7,000 වාරයක් විතර තියෙන දෙවිගේ නම මිනිසුන්ට කියලා දෙන්නේ සාක්ෂිකරුවන් විතරයි. ඒ වගේම 2 ලේකම් 16:9 තියෙන අදහසත් මට ලොකු දිරිගැන්වීමක් වුණා. එතන කියන්නේ ‘යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි’ කියලා. බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් තේරුම්ගත්ත නිසා පූර්ණ හදවතකින් දෙවිට සේවය කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා දෙවි මාව ශක්තිමත් කරන විදිහ මම අද්දකිනවා. ඒ වගේම යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගත්ත නිසා දෙවිට තව ළං වෙන්නත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. ඒ බැඳීම මම සලකන්නේ මට තියෙන වටිනාම දේ විදිහටයි.”

17. දෙවි කෙනෙක් නැහැ කියලා විශ්වාස කරපු කෙනෙක්ට දැන් ස්ථිර වෙලා තියෙන්නේ මොකක්ද? ඒ ඇයි?

17 දෙවි කෙනෙක් නැහැ කියලා කලින් විශ්වාස කරපු කෙනෙක් මෙහෙම කියනවා. “දෙවි කැමති මිනිසුන් ජීවිතේ සතුටින් ගත කරනවට කියන දේ දෙවිගේ නිර්මාණ දිහා බලද්දී මට පැහැදිලිවම පේනවා. ඒ නිසා මේ දුක් වේදනා දිගටම පවතින්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ලෝකෙ සදාචාරය එන්න එන්නම පිරිහුණත් සාක්ෂිකරුවන් ළඟ තියෙන විශ්වාසය, උද්‍යෝගය, ආදරේ එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේ පුදුම දෙයක් කරන්න පුළුවන් යෙහෝවා දෙවිගේ බලයට විතරයි.”1 පේතෘස් 4:1-4 කියවන්න.

18. තමන් ඉන්නේ සැබෑ ක්‍රිස්තියානීන් අතරේ කියලා සමහරුන්ට නිසැක ඇයි? ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 තවත් සහෝදරයෙක් මෙහෙම කියනවා. “අවුරුදු ගාණක් තිස්සේ බයිබලේ අධ්‍යයනය කරද්දී මම තේරුම්ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි සාක්ෂිකරුවන් පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේ දෙවිට සේවය කරන්න පුළුවන් හැම දේම කරනවා කියන දේ. මම හුඟක් රටවල්වලට ගිහින් තියෙනවා. ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන් කොයි තරම් එක්සත්ව දෙවිට සේවය කරනවද කියලා මම දැක්කා. මට නියම තෘප්තියක්, සතුටක් ලැබුණේ බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් දැනගත්ත නිසයි.” වයස අවුරුදු 60කට වැඩි සහෝදරයෙක් මෙහෙම කියනවා. “යේසුස් ගැන හොඳින්ම අධ්‍යයනය කරන්නේ සාක්ෂිකරුවනුයි. ඒ නිසා යේසුස් මොන තරම් වටින ආදර්ශයක් දීලා තියෙනවද කියලා අපි තේරුම් අරන් තියෙනවා. ඒ ආදර්ශය අනුගමනය කරලා දෙවිට තවත් ළං වෙන්න ඕන නිසා අපි අපේ ජීවිතවල වෙනස්කම් කරගන්නේ හරිම සතුටින්. ගැලවීම ලබාගන්න අපිට අවස්ථාවක් තියෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි කියලා අපි දන්නවා. ඒ වගේම ඔහු නැවත නැඟිට්ටා කියලත් අපි දන්නවා. මොකද නැවත නැඟිට්ට යේසුස්ව ඇස් දෙකෙන්ම දැකපු අයගේ සාක්ෂි අපිට තියෙනවා.”1 කොරින්ති 15:3-8 කියවන්න.

තවත් අයට උදව් කරන්න

19, 20. (අ) ක්‍රිස්තියානීන්ට පාවුල් මතක් කළේ මොන වගකීම ගැනද? (ආ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට අපි කරන්න ඕනෙ මොනවද?

19 සැබෑ ක්‍රිස්තියානීන් අනිත් අයට ඇත්තටම ආදරෙයි. බයිබලෙන් අපි ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම් ඒ අයට කියන්න අපි ලොකු උත්සාහයක් ගන්නේ ඒ නිසයි. දේශනා කරන එක යේසුස්ව අනුගමනය කරන අයගේ වගකීමක් කියලා පාවුල් කිව්වා. ඒ ගැන ඔහු ලිව්වේ මෙහෙමයි. “යේසුස් ස්වාමීන් බව ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ. කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය. ඒ විශ්වාසය නිසා ඔහු ධර්මිෂ්ඨයෙක් වෙයි. නමුත් ඔහු ගැලවීම ලබන්නේ ඒ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.”රෝම 10:9, 10.

20 තමන් ඉන්නේ දෙවිගේ අනුමැතිය තියෙන සත්‍ය ආගමේ කියන එක ගැන සාක්ෂිකරුවන්ට කිසිම සැකයක් නැහැ. ඒ වගේම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියලා දෙන්න ලැබිලා තියෙන වගකීම ඒගොල්ලන් සලකන්නේ තමන්ට ලැබිලා තියෙන ගෞරවයක් විදිහටයි. ඒ නිසා බයිබල් සත්‍යයන් ගැන අනිත් අයට කියලා දෙන අතරෙම ඔයා ඉන්නේ දෙවිගේ අනුමැතිය තියෙන සෙනඟ අතරේ කියන දේ ඔයා ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න.

^ 3 ඡේ. 2003 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 24 පි. 7 ඡේ.-27 පි. 3 ඡේ.; 2004 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 26 පි. 4 ඡේ.-27 පි. 5 ඡේ.; 2006 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 25 පි. 1-2 ඡේ. බලන්න.