Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න

දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න

“විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.”හෙබ්‍රෙ. 11:1.

1, 2. (අ) දෙවිගේ අරමුණ දේවරාජ්‍යය මගින් ඉටු වෙනවා කියන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් කොහොමද? (ආ) එෆීස 2:12ට අනුව ගිවිසුම් ගැන දැනගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

මිනිසුන්ගේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි කියලා අපි උද්‍යෝගයෙන් මිනිසුන්ට දැනුම් දෙනවා. ඒත් දේවරාජ්‍යය ඇත්තම එකක් කියලත් දෙවිගේ අරමුණ ඉටු වෙන්නේ දේවරාජ්‍යය මගින් කියලත් අපිට විශ්වාසද? දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න අපිට පුළුවන් මොන හේතු නිසාද?හෙබ්‍රෙ. 11:1.

2 දේවරාජ්‍යය පිහිටෙව්වේ මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ඉටු කරන්නයි. ඒක පිහිටුවලා තියෙන්නේ මේ විශ්වය පාලනය කරන්න අයිතිය ඇති එකම තැනැත්තා වන යෙහෝවා දෙවියි. ඒ නිසා ඒ රාජ්‍යය කවදාවත් බිඳ වැටෙන්නේ නැහැ. දේවරාජ්‍යයේ රජු කවුද? ඒ රජුත් එක්ක රජකම් කරන්නේ කවුද? ඒ අයගේ පාලනය යටතේ තියෙන්නේ මොකක්ද? ඒ පාලනයේ යටත්වැසියන් කවුද? ඒ වැදගත් කාරණා යෙහෝවා දෙවි කලින්ම යම් ගිවිසුම් මගින් තහවුරු කළා. ඒ ගිවිසුම් යෙහෝවා දෙවි හෝ යේසුස් විසින් ඇති කරගත්ත නීතිමය සහතික නැත්නම් දිවුරුම් කියලා කියන්න පුළුවන්. අපි දැන් ඒ ගිවිසුම් ගැන බලමු. යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු වෙන විදිහ ගැන තව පැහැදිලිව තේරුම්ගන්න එතකොට අපිට පුළුවන්. දේවරාජ්‍යය සැබෑ, ස්ථිර එකක් කියන විශ්වාසය ඇති කරගන්නත් අපිට පුළුවන්.එෆීස 2:12 කියවන්න.

3. මේ ලිපියේ සහ ඊළඟ ලිපියේ අපි බලන්නේ මොනවා ගැනද?

 3 දේවරාජ්‍යයට සම්බන්ධ ගිවිසුම් 6ක් ගැන බයිබලයේ තියෙනවා. (1) ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම, (2) දාවිත් සමඟ ඇති කරගත්ත ගිවිසුම, (3) මෙල්කිසදෙක් හා සමාන පූජකයෙකු සඳහා ඇති කරගත්ත ගිවිසුම, (4) මෝසෙස්ට දුන්න නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම, (5) අලුත් ගිවිසුම, (6) රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුම. දැන් අපි ඒ ගිවිසුම් එකින් එක බලමු. ඒවා දේවරාජ්‍යයට සම්බන්ධ වෙන විදිහ ගැනත් මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ඉටු කරන්න ඒවා දායක වෙන විදිහ ගැනත් දැනගන්න එතකොට අපිට පුළුවන්. 12වෙනි පිටුවේ තියෙන තොරතුරු බලන්න.

දෙවිගේ අරමුණ ඉටු වෙන විදිහ හෙළි කරපු පොරොන්දුවක්

4. උත්පත්ති පොතේ සඳහන් වෙන විදිහට මිනිසුන් සම්බන්ධයෙන් දෙවි ගත්ත තීරණ තුන මොනවද?

4 යෙහෝවා දෙවි මිනිසුන්ට ජීවත් වෙන්න මේ පොළොව නිර්මාණය කළාට පස්සේ තීරණ තුනක් ගත්තා. (1) මිනිසුන්ව තමන්ගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරන්න. (2) මුළු පොළොවම ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පුරවලා මේ පොළොව පාරාදීසයක් කරන වගකීම ඒ අයට භාර දෙන්න. (3) ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගහෙන් ගෙඩි කන්න මිනිසුන්ට අවසර නැහැ කියන නීතිය දාන්න. (උත්. 1:26, 28; 2:16, 17) දෙවි ගත්ත ඒ තීරණ තුනෙන් ඔහු මේ පොළොව සහ මිනිසුන්ව නිර්මාණය කරපු අරමුණ හොඳටම පැහැදිලි වුණා. එහෙමනම් ගිවිසුම් ඇති කරගන්න දෙවිට සිද්ධ වුණේ ඇයි?

5, 6. (අ) දෙවිගේ අරමුණට බාධා කරන්න සාතන් උත්සාහ කළේ කොහොමද? (ආ) ඒදන් උයනේ ඇති වුණ කැරැල්ල ගැන දෙවි කළේ මොකක්ද?

5 යෙහෝවා දෙවිටත් ඔහුගේ අරමුණටත් විරුද්ධව සාතන් කැරැල්ලක් පටන්ගත්තා. මිනිසුන් දෙවිට කීකරුව ඉන්නවට ඔහු කැමති වුණේ නැහැ. ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගහෙන් ගෙඩි කන්න කියලා ඔහු ඒවව පෙලඹුවේ ඒ නිසයි. (උත්. 3:1-5; එළි. 12:9) එහෙම කරලා සාතන් දෙවිට අභියෝගයක් කළා. ඔහුට ඕන වුණේ දෙවි හොඳ පාලකයෙක් නෙමෙයි කියලා අඟවලා දෙවිට තමන්ගේ නිර්මාණ පාලනය කරන්න අයිතියක් නැහැ කියලා පෙන්නන්නයි. පස්සේ කාලෙක ඔහු මිනිසුන්ටත් චෝදනාවක් කළා. ඒ තමයි මිනිසුන් දෙවිට සේවය කරන්නේ ඔවුන්ගේ වාසි ප්‍රයෝජනයටයි කියන දේ.යෝබ් 1:9-11; 2:4, 5.

6 ඕනෙ නම් දෙවිට ඒ කැරලිකරුවන්ව විනාශ කරන්න තිබුණා. ඒත් එහෙම කළා නම් ආදම් සහ ඒවගේ දරුවන්ගෙන් මේ පොළොව පුරවන්න දෙවිට තිබුණ අරමුණ ඉටු වෙන්නේ නැහැ. කැරලිකරුවන්ව විනාශ කරනවා වෙනුවට දෙවි විශේෂ පොරොන්දුවක් දුන්නා. ඒක තමයි ඒදන් උයනේදී වුණ පොරොන්දුව. ඒ පොරොන්දුව පොළොව සහ මිනිසුන් ගැන ඔහුගේ අරමුණ ඒ විදිහටම ඉටු වෙනවා කියන දේට සහතිකයක්.උත්පත්ති 3:15 කියවන්න.

7. ඒදන් උයනේදී වුණ පොරොන්දුවෙන් සාතන් ගැනත් ඔහුගෙන් පැවතෙන අය ගැනත් හෙළි කළේ මොකක්ද?

7 දෙවි ඒදන් උයනේදී වුණ පොරොන්දුවෙන් සාතන්ටත් ඔහුගෙන් පැවතෙන අයටත් ඒ කියන්නේ, දෙවිගේ පාලනය පිළිගන්නේ නැතුව සාතන්ගේ පැත්ත ගන්න අයටත් මරණ දණ්ඩනය නියම කළා. ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාට ඒ කැරලිකරුවන්ව විනාශ කරන්න අධිකාරිය දෙනවා කියලත් ඒ පොරොන්දුවෙන් පැහැදිලි වුණා. ඒ විදිහට බලද්දී සාතන් ඇතුළු ඔහුගේ කැරැල්ල නිසා ඇති වුණ හැම නරක ප්‍රතිඵලයක්ම සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා කියලත් ඒක කරන විදිහත් දෙවි ඒ පොරොන්දුවෙන් හෙළි කළා.

8. ස්ත්‍රිය සහ ඇගෙන් පැවතෙන තැනැත්තා ගැන පැහැදිලි වුණේ මොනවද?

8 ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා කවුද? ඔහු මිනිසෙකුට වඩා බලවත් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කියන්නේ ඇයි? ඔහු ළඟදීම මිනිසුන්ට වඩා බලවත්, නොපෙනෙන කෙනෙක් වන සාතන්ව “නැති කර දැමීමට” නියමිතයි. (හෙබ්‍රෙ. 2:14) එහෙමනම් ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා අනිවාර්යයෙන්ම හුඟක් බලවත්, ස්වර්ගයේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ විදිහට බලද්දී ඔහුව බිහි කරන ස්ත්‍රියත් ඇත්ත ස්ත්‍රියක් වෙන්න බැහැ. ඒ ස්ත්‍රියගෙනුත් මිනිසුන්ට වඩා බලවත්, ස්වර්ගයේ තියෙන දෙයක් නියෝජයනය වෙන්න ඕනේ. සර්පයාගෙන්  පැවතෙන අය ගණනින් වැඩි වුණ නිසා ඒ අය කවුද කියලා පැහැදිලිව දකින්න තිබුණා. ඒත් දෙවි පොරොන්දුව දුන්න දවසේ ඉඳන් අවුරුදු 4,000ක් විතර යන කල් ස්ත්‍රිය කවුද කියලත් ඇගෙන් පැවතෙන තැනැත්තා කවුද කියලත් රහසක්ව තිබුණා. ඒ කාලේ ඇතුළත දෙවි ගිවිසුම් කීපයක් ඇති කරගත්තා. ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාව හඳුනගන්නත් සාතන්ගේ කැරැල්ල නිසා ඇති වුණ නරක ප්‍රතිඵල දෙවි හරිගස්සන්නේ කොහොමද කියලා දැනගන්නත් ඒ ගිවිසුම් උදව් වුණා.

ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාව හඳුනගන්න උදව් වුණ ගිවිසුමක්

9. ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම මොකක්ද? ඒක වලංගු වුණේ කවදාද?

9 ඒදන් උයනේදී පොරොන්දුව දීලා අවුරුදු 2,000කට විතර පස්සේ දෙවි ආබ්‍රහම්ට කිව්වා ඌර්වල තිබුණ ඔහුගේ නිවස අත්හැරලා කානාන් දේශයට යන්න කියලා. (ක්‍රියා 7:2, 3) යෙහෝවා දෙවි ඔහුට මෙහෙම කිව්වා. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද ඔබේ පියාගේ නිවසද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න. මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි. ඔබේ නම ගෞරවයට පත් කරන්නෙමි. අන්‍යයන් ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබන්නේය. ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි. පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.” (උත්. 12:1-3) ආබ්‍රහම්ට දෙවි දුන්න ඒ පොරොන්දුව හඳුන්වන්නේ ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම කියලයි. දෙවි ඒ ගිවිසුම මුලින්ම ඇති කරගත්තේ කවදාද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒත් ආබ්‍රහම්ට වයස 75දී හාරන්වල ඉඳන් ඇවිත් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වුණ අවස්ථාවේ ඒ කියන්නේ, ක්‍රි.පූ. 1943දී ඒ ගිවිසුම වලංගු වුණා කියලා නම් අපි දන්නවා.

10. (අ) දෙවිගේ පොරොන්දු ගැන තමන්ට තියෙන විශ්වාසය ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද? (ආ) ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා ගැන යෙහෝවා දෙවි ක්‍රමානුකූලව හෙළි කළේ මොන වගේ තොරතුරුද?

10 යෙහෝවා දෙවි කීප වරක්ම ඒ පොරොන්දුව ගැන ආබ්‍රහම් එක්ක කතා කළා. ඒ හැම වතාවකදීම පොරොන්දුවට තවත් තොරතුරු දෙවි එකතු කළා. (උත්. 13:15-17; 17:1-8, 16)  දෙවිගේ පොරොන්දු ගැන ආබ්‍රහම්ට කොයි තරම් විශ්වාසයක් තිබුණද කියනවා නම් ඔහුගේ එකම පුතාව පූජා කරන්න ඔහු ලෑස්ති වුණා. ආබ්‍රහම්ගේ විශ්වාසය දැකලා ඒ ගිවිසුම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන සහතිකය දෙවි ඔහුට දුන්නා. (උත්පත්ති 22:15-18; හෙබ්‍රෙව් 11:17, 18 කියවන්න.) ක්‍රි.පූ. 1943ට පස්සේ ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා ගැන තොරතුරු ක්‍රමානුකූලව යෙහෝවා දෙවි හෙළි කළා. ඒ තොරතුරුවලට ඒ තැනැත්තා පැමිණෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපතෙන් කියන එක ඇතුළත් වුණා. ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාට එක ප්‍රධාන තැනැත්තෙක් වගේම තව බොහෝදෙනෙක් ඇතුළත් වෙනවා කියන එකත් හෙළි වුණා. ඔවුන් රජවරුන් විදිහට සේවය කරනවා කියන එකත් ඔවුන් දෙවිගේ සතුරන්ව විනාශ කරනවා කියන එකත් මිනිස් වර්ගයාට ඔවුන් මගින් ආශීර්වාද ලැබෙනවා කියන එකත් ක්‍රමානුකූලව හෙළි කළා.

ආබ්‍රහම් දෙවිගේ පොරොන්දු සැක කළේ නැහැ (10 ඡේදය බලන්න)

11, 12. ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුමට ශ්‍රේෂ්ඨ ඉටු වීමක් තියෙනවා කියලා බයිබලයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? ඒ ඉටු වීම අපිට බලපාන්නේ කොහොමද?

11 ආබ්‍රහම්ගෙන් පැවත ආපු අය පොරොන්දු දේශය උරුම කරගන්නවත් එක්කම ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම මුල් වරට ඉටු වුණා. ඒත් ඒ ගිවිසුමට ඊට වඩා වැදගත් ඉටු වීමක් තියෙනවා කියලා බයිබලයේ පැහැදිලි කරනවා. (ගලා. 4:22-25) ආබ්‍රහම්ගෙන් පැවතෙන අය අතරෙන් ප්‍රධානම තැනැත්තා යේසුස් කියලා පාවුල් පැහැදිලි කළා. යේසුස්ට අමතරව අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනෙකුත් ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට ඇතුළත් වෙනවා කියලත් ඔහු කිව්වා. (ගලා. 3:16, 29; එළි. 5:9, 10; 14:1, 4) ඒදන් උයනේදී වුණ පොරොන්දුවේ සඳහන් කරපු ස්ත්‍රියගෙන් නියෝජනය කළේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි. “ඉහළ තිබෙන යෙරුසලම” කියලත් හඳුන්වන ඒ ස්ත්‍රියගෙන් ස්වර්ගයේ ඉන්න, දෙවිට විශ්වාසවන්ත හැම කෙනාවම නියෝජනය වෙනවා. (ගලා. 4:26, 31) ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුමේ සඳහන් විදිහට ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ගෙන් සියලුම මිනිසුන්ට සදාකාලයටම ආශීර්වාද ලැබෙනවා.

12 ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම දේවරාජ්‍යය අනිවාර්යයෙන්ම පිහිටුවනවා කියන දේට නීත්‍යනුකූල සහතිකයක්. දේවරාජ්‍යයට රජ කෙනෙක් සහ ඔහුත් එක්ක හවුලේ පාලනය කරන අය ඉන්නවා කියන කාරණය සනාථ වුණෙත් ඒ ගිවිසුමෙන්. (හෙබ්‍රෙ. 6:13-18) ඒ ගිවිසුම කොච්චර කාලෙකට වලංගුද? උත්පත්ති 17:7 කියන්නේ “එම ගිවිසුම දිගු කාලයක් පුරා” පවතිනවා කියලයි. දේවරාජ්‍යය මගින් දෙවිගේ සතුරන්ව විනාශ කරලා පොළොවේ ඉන්න හැම කෙනෙක්ටම ආශීර්වාද ලැබෙන කල් ඒ ගිවිසුම වලංගුයි. (1 කොරි. 15:23-26) ඒත් ඒ ගිවිසුමෙන් ලැබෙන ආශීර්වාද නම් සදාකාලයටම පවතිනවා. “මුළු පොළොව පුරාම” ධර්මිෂ්ඨ මිනිසුන්ව පදිංචි කරන්න දෙවිට තිබුණ අරමුණ ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන දේ ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුමෙන් හෙළි වුණා.උත්. 1:28.

දේවරාජ්‍යය ස්ථිර ආණ්ඩුවක් කියන දේ සහතික කරන ගිවිසුමක්

13, 14. දාවිත් සමඟ ඇති කරගත්ත ගිවිසුමෙන් දෙවි සහතික කළේ මොකක්ද?

13 ඒදන් උයනේදී වුණ පොරොන්දුවෙනුත් ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුමෙනුත් හෙළි වුණ දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවිගේ පාලනය පදනම් වෙලා තියෙන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මත කියන දේ. ඒ නිසා දේවරාජ්‍යය ක්‍රියාත්මක වෙන්නෙත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මතයි. (ගීතා. 89:14) දේවරාජ්‍යයේ පාලනය කවදා හරි දූෂිත වෙයිද? ඒ පාලනය වෙනුවට වෙනත් පාලනයක් ඕන වෙයිද? ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන තවත් ගිවිසුමක් ගැන දැන් බලමු.

14 ඒ ගිවිසුම හඳුන්වන්නේ දාවිත් සමඟ ඇති කරගත්ත ගිවිසුම කියලයි. (2 සාමුවෙල් 7:12, 16 කියවන්න.) ස්ත්‍රියගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා වන ගැලවුම්කරු පැමිණෙන්නේ දාවිත්ගෙන් කියලා දෙවි දාවිත්ට පොරොන්දු වුණා. (ලූක් 1:30-33) ඒ විදිහට ගැලවුම්කරු පැවතෙන්නේ මොන පවුලෙන්ද කියන දේත් දෙවි හෙළි කළා. දාවිත්ගේ පවුලෙන් එන ඒ තැනැත්තාට දේවරාජ්‍යයේ රජ වෙන්න “නීත්‍යනුකූල අයිතිය” තියනවා කියලා යෙහෝවා දෙවි කිව්වා. (එස. 21:25-27) දාවිත්ගේ  පෙළපතට ලැබෙන රජකම සදාකාලයටම පවතිනවා. “සූර්යයා මෙන් ඔහුගේ සිංහාසනය සැමදා පවතින්නේය” කියලා බයිබලයේ කියනවා. දාවිත්ගෙන් පැවතෙන යේසුස් ‘කිසිදා පහ නොවන’ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (ගීතා. 89:34-37) යේසුස්ගේ පාලනය කවදාවත් දූෂිත එකක් වෙන්නේ නැහැ. මිනිසුන්ට සදාකාලයටම ආශීර්වාද ලැබෙන්නේ ඔහුගේ රාජ්‍යය මගිනුයි.

පූජකයෙක් සඳහා ගිවිසුමක්

15-17. පූජකයෙකු සඳහා ඇති කරගත්ත ගිවිසුමට අනුව ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාට තියෙන අමතර වගකීම මොකක්ද? ඒක අත්‍යවශ්‍ය ඇයි?

15 ආබ්‍රහම් සමඟත් දාවිත් සමඟත් ඇති කරගත්ත ගිවිසුම්වලින් ස්ත්‍රියගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා රජකම් කරනවා කියන කාරණය ස්ථිර කළා. ඒත් සියලුම මිනිසුන්ට හැම අතින්ම ප්‍රයෝජන ලැබෙන්න නම් රජකම් කරනවට අමතරව පූජකයෙක් විදිහටත් සේවය කරන්න ඒ තැනැත්තාට සිද්ධ වෙනවා. මොකද මිනිසුන්ට උරුම වුණ පාපයෙන් ඔවුන්ව නිදහස් කරලා දෙවිගේ දරුවන් වෙන්න ඔවුන්ට උදව් කරන්න නම් පූජාවක් ඔප්පු කරන්න අවශ්‍ය වුණා. ඒක කරන්න පුළුවන් පූජකයෙකුට විතරයි. ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාට පූජකයෙක් විදිහටත් සේවය කරන්න අවස්ථාව දෙන්න දෙවි තවත් ගිවිසුමක් ඇති කරගත්තා. ඒකට කියන්නේ මෙල්කිසදෙක් හා සමාන පූජකයෙකු සඳහා ඇති කරගත්ත ගිවිසුම කියලයි.

16 යෙහෝවා දෙවි යේසුස් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා කියලා දාවිත් මගින් කියලා තිබුණා. ඒ ගිවිසුමට කරුණු දෙකක් ඇතුළත්. (1) හැම සතුරෙක්වම විනාශ කරන්න දෙවි යේසුස්ට බලතල දෙන කල් ඔහු දෙවිගේ “දකුණු පැත්තේ හිඳගන්නවා” කියන කාරණය. (2) යේසුස් “මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරනවා” කියන කාරණය. (ගීතාවලිය 110:1, 2, 4 කියවන්න.) යේසුස් මෙල්කිසදෙක් හා සමාන පූජකයෙක් වෙන එක වැදගත් වුණේ ඇයි? ආබ්‍රහම්ගෙන් පැවතෙන අය පොරොන්දු දේශය යටත් කරගන්න කලින් සාලම් කියන නුවරේ රජ වෙලා හිටියේ මෙල්කිසදෙක්. රජ කෙනෙක් විතරක් නෙමෙයි “මහෝත්තම දෙවිගේ පූජකයා” විදිහට සේවය කළෙත් ඔහුයි. (හෙබ්‍රෙ. 7:1-3) රජ සහ පූජක කියන තනතුරු දෙකටම ඔහුව පත් කළේ යෙහෝවා දෙවියි. යේසුස්ට කලින් ඒ තනතුරු දෙකම දැරුවෙත් ඔහු විතරයි. ඔහුට කලින්වත් ඔහුට පස්සෙවත් එවැනි කෙනෙක් හිටියේ නැහැ. “ඔහු සදහටම පූජකයෙක්” කියලා හඳුන්වන්නේ ඒ නිසයි.

17 ඒ ගිවිසුම මගින් දෙවිම යේසුස්ව පූජකයෙක් විදිහට පත් කළා. ඒ නිසා යේසුස් “මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරනවා.” (හෙබ්‍රෙ. 5:4-6) දෙවිගේ අරමුණ ඉටු කරන්න දෙවි යොදාගන්නේ දේවරාජ්‍යයි කියන දේ ඒ ගිවිසුමෙන් තවත් සනාථ වුණා.

දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක් කියලා ඔප්පු වෙන ගිවිසුම්

18, 19. (අ) අපි සාකච්ඡා කරපු ගිවිසුම් දේවරාජ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? (ආ) ඊළඟ ලිපියේ අපි බලන්නේ මොකක් ගැනද?

18 මේ වෙනකොට අපි ගිවිසුම් කීපයක් ගැන කතා කළා. ඒ ගිවිසුම් දේවරාජ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් දේවරාජ්‍යය ස්ථිරව පිහිටුවන්න ඒ ගිවිසුම් නීත්‍යනුකූල සහතිකයක් සපයන්නේ කොහොමද කියලත් අපි ඉගෙනගත්තා. යෙහෝවා දෙවි ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා මගින් මේ පොළොව සහ මිනිසුන් සඳහා තමන්ට තියෙන අරමුණ ඉටු කරනවා කියලා ඒදන් උයනේදී වුණ පොරොන්දුවෙන් සහතික වුණා. ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා කවුද කියලත් ඔහු කරන්නේ මොන වගේ දේවල්ද කියලත් තේරුම්ගන්න ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම උදව් වුණා.

19 දාවිත් සමඟ ඇති කරගත්ත ගිවිසුමෙන් ගැලවුම්කරු එන්නේ මොන පවුලෙන්ද කියන දේ හෙළි කළා. ඒ වගේම මේ පොළොව සදහටම පාලනය කරන්න යේසුස්ට අයිතිය ලැබුණෙත් ඒ ගිවිසුමෙන්. මෙල්කිසදෙක් හා සමාන පූජකයෙකු සඳහා ඇති කරගත්ත ගිවිසුමෙන් ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා පූජකයෙක් විදිහට සේවය කරනවා කියලා තහවුරු වුණා. ඒත් මිනිසුන්ට පරිපූර්ණ පුද්ගලයන් වෙන්න උදව් කරන්නේ යේසුස් විතරක් නෙමෙයි. රජවරුන් හා පූජකයන් හැටියට සේවය කරන්න තවත් අයව පත් කරනවා. ඒ අය කවුද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.