Skip to content

පටුනට යන්න

පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්

පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්

“ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.”නික්. 19:6.

1, 2. ආබ්‍රහම්ගේ පෙළපත ආරක්ෂා කරගන්න ඕන වුණේ ඇයි?

යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු වෙන විදිහ දැනගන්න නම් දෙවි කියපු පළවෙනි අනාවැකිය තේරුම්ගන්න එක හරිම වැදගත්. ඔහු ඒදන් උයනේදී මෙහෙම කිව්වා. “ඔබ [සාතන්] සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු [ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා] ඔබේ [සාතන්ගේ] හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්. 3:15) සාතන් සහ ස්ත්‍රිය අතර තියෙන වෛරය නිසා ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තාව විනාශ කරන්න සාතන් ඔහුට පුළුවන් හැම දේම කරනවා.

2 ඒ ගැන දෙවිට කරපු අයැදීමක ගීතිකාකරු මේ වගේ දෙයක් කිව්වා. “ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති. දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති. ඔබේ සෙනඟට විරුද්ධව ඔවුහු කුමන්ත්‍රණ කරති. ඔබේ රැකවරණයේ සිටින අයට විරුද්ධව කූට උපා යොදති. ඔවුහු මෙසේ කීවෝය. ‘අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.’” (ගීතා. 83:2-4) සාතන් උත්සාහ කළේ ආබ්‍රහම්ගේ පෙළපතට වෙනත් අපවිත්‍ර ජාතීන් කලවම් කරලා ඒ පෙළපත දූෂ්‍ය කරන්නයි. ඒ වගේම ඒ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්නයි. ඒත් ඒ පෙළපත ආරක්ෂා කරන්නත් දේවරාජ්‍යය අනිවාර්යයෙන්ම පිහිටුවනවා කියන දේ ස්ථිර කරන්නත් යෙහෝවා දෙවි තවත් ගිවිසුම් ඇති කරගත්තා.

 පැවතෙන තැනැත්තාව ආරක්ෂා කළ ගිවිසුම

3, 4. (අ) නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම වලංගු වුණේ කවදාද? ඊශ්‍රායෙල්වරු එකඟ වුණේ මොනවා කරන්නද? (ආ) නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුමෙන් සිද්ධ වුණේ මොන වගේ කාර්යයක්ද?

3 ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවතුණ අයව දෙවි ඊශ්‍රායෙල් ජාතිය විදිහට සංවිධානය කරලා ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමේ මැදිහත්කරු වුණේ මෝසෙස්. දෙවි මෝසෙස් මාර්ගයෙන් නීතිය ලබා දුන්නම සෙනඟ ඒ නීතියට කීකරු වෙන්න එකඟ වුණා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔහු [මෝසෙස්] ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය. ඉන්පසු සෙනඟ, ‘යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා’ කියා පොරොන්දු වූහ. එහෙයින් මෝසෙස් සෙනඟ මත [පූජා කළ ගවයන්ගේ] ලේ ඉසිමින් මෙසේ කීවේය. ‘ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.’”නික්. 24:3-8.

4 මෝසෙස්ට දුන් නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම වලංගු වුණේ ක්‍රි.පූ. 1513දියි. ඒ ගිවිසුම මගින් දෙවි ඊශ්‍රායෙල් සෙනඟව විශේෂ අරමුණක් සඳහා තෝරගත්තා. ඔවුන්ගේ විනිශ්චයකරු, නීතිදායකයා සහ රජ වුණේ යෙහෝවා දෙවියි. (යෙසා. 33:22) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙද්දී ඔවුන් ආශීර්වාද අද්දැක්කා. අකීකරු වෙද්දී දරුණු ප්‍රතිඵල අත්විඳින්න සිද්ධ වුණා. වෙනත් ජාතීන්වල අයව විවාහ කරගන්න එක, වෙනත් දෙවිවරුන්ට වන්දනා කරන එක නීතියෙන් තහනම් කරලා තිබුණා. දෙවි නීතිය ඒ විදිහට සකස් කරලා තිබුණේ ආබ්‍රහම්ගෙන් පැවතෙන පෙළපත ආරක්ෂා කරගන්නයි. ඒ වගේම ඒක වෙනත් අපවිත්‍ර ජාතීන් එක්ක කලවම් නොවී තියාගන්නයි.නික්. 20:4-6; 34:12-16.

5. (අ) නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම නිසා ඊශ්‍රායෙල් ජාතියට ලැබුණේ මොන වරප්‍රසාදයද? (ආ) දෙවි ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කළේ ඇයි?

5 නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමට අනුව ඊශ්‍රායෙල්වරුන් අතරින් පූජකයන් පිරිසක් පත් කළා. ඒ පූජකයන්ගෙන් සංකේතවත් වුණේ අනාගතයේදී තවත් පූජකයන් පිරිසක් මිනිසුන්ට ආශීර්වාද කරන්න ක්‍රියා කරනවා කියන එකයි. (හෙබ්‍රෙ. 7:11; 10:1) ඒ ගිවිසුම නිසා “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වෙන්න ඊශ්‍රායෙල් ජාතියට අවස්ථාව තිබුණත් ඔවුන්ට ඒක ලැබෙන්නේ දෙවිගේ නීතියට කීකරු වුණා නම් විතරයි. (නික්මයාම 19:5, 6 කියවන්න.) ඔවුන් දෙවිට අකීකරු වුණා. ආබ්‍රහම්ගෙන් පැවතුණ ප්‍රධානම තැනැත්තා වන ගැලවුම්කරුව ඔවුන් පිළිගත්තේ නැහැ. ඒ නිසා දෙවිත් ඔවුන්ව ප්‍රතික්ෂේප කළා.

ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වුණා කියලා නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම අසාර්ථක වුණේ නැහැ (3-6 ඡේද බලන්න)

6. නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමේ අරමුණ මොකක්ද?

6 ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වුණ නිසා පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් වෙන්න ඔවුන්ට බැරි වුණා. ඒත් නීතිය අසාර්ථක වුණා කියලා ඒකෙන් අදහස් කළේ නැහැ. පැවතෙන තැනැත්තා එන පෙළපත ආරක්ෂා කරන එක වගේම ගැලවුම්කරුව හඳුනගන්න මිනිසුන්ට උදව් කරන එකත් නීතියේ අරමුණ වුණා. යේසුස් මේ පොළොවට ඇවිත් ගැලවුම්කරු ඔහුයි කියලා මිනිසුන් හඳුනගත්තට පස්සේ ඒ අරමුණ ඉටු වුණා. බයිබලයේ  කියන්නේ “ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය” කියලයි. (රෝම 10:4) එහෙමනම් ඊශ්‍රායෙල්වරුන් නැති කරගත්ත අවස්ථාව ලැබුණේ කාටද? ඒ අවස්ථාව අලුත් ජාතියකට ලබා දෙන්න යෙහෝවා දෙවි තවත් නීත්‍යනුකූල ගිවිසුමක් ඇති කරගත්තා.

අලුත් ජාතියක් බිහි වෙයි

7. යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් කිව්වේ මොකක්ද?

7 නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම අවලංගු වෙන්න හුඟක් කාලෙකට කලින් තමන් ඊශ්‍රායෙල් ජාතිය සමඟ “අලුත් ගිවිසුමක්” ඇති කරගන්නවා කියලා යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් කිව්වා. (යෙරෙමියා 31:31-33 කියවන්න.) ඒ ගිවිසුම නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමට වඩා වෙනස්. මොකද ඒ ගිවිසුමට අනුව කරපු වැරදිවලට සමාව ගන්න සතුන්ව පූජා කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ ඇයි?

8, 9. (අ) යේසුස් වැගිරෙවූ රුධිරය නිසා කරන්න පුළුවන් වුණේ මොනවද? (ආ) අලුත් ගිවිසුමට අයත් අයට ලැබුණේ මොන වරප්‍රසාදයද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 සියවස් ගාණකට පස්සේ ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දුන්නා. එදා යේසුස් ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට මෙහෙම කිව්වා. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” (ලූක් 22:20) යේසුස්ගේ ඒ වචන මතෙව් වාර්තා කරන්නේ මෙහෙමයි. “මෙයින් නියෝජනය වන්නේ පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.”මතෙ. 26:27, 28.

9 යේසුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙන් අලුත් ගිවිසුම වලංගු වුණා. ඔහු වැගිරෙවූ රුධිරය නිසා මිනිසුන්ගේ පව්වලට හැමදාටම සමාව ලබාගන්න මාර්ගය විවෘත වුණා. ඒත් අලුත් ගිවිසුමට යේසුස් ඇතුළත් වුණේ නැහැ. ඔහුට පව්කාරකම උරුම වෙලා තිබුණේ නැති නිසා ඔහුට සමාව ලබාගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ පූජාවෙන් ප්‍රයෝජන ලැබුණේ මිනිසුන්ටයි. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම යොදාගෙන මිනිසුන්ව පාපයෙන් මුදවාගන්න දෙවිට පුළුවන්. ඒ වගේම තම බලය මාර්ගයෙන් විශ්වාසවන්ත සමහරදෙනෙක්ව තමන්ගේ “පුත්‍රයන් ලෙස” අභිෂේක කරන්නත් දෙවිට පුළුවන්. (රෝම 8:14-17 කියවන්න.) කිසිම පාපයක් නැති තම පුතා දිහා බලන විදිහට ඔවුන් දිහා බලන්නත් දෙවිට පුළුවන්. ඒ අභිෂේක ලත් අයට “ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න” අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඊශ්‍රායෙල් ජාතිය නැති කරගත්ත වරප්‍රසාදය ඒ කියන්නේ “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වෙන වරප්‍රසාදය ඔවුන්ට ලැබෙනවා. පේතෘස් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔබ, ‘තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්’ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම’ සඳහාය.” (1 පේතෘ. 2:9) අලුත් ගිවිසුමෙන් මොන තරම් වටිනා කාර්යයක් ඉටු වුණාද! ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා යේසුස් වුණත් ඔහුට අමතරව තවත් පිරිසක් ඒ පෙළපතට අයිති වෙන්න නියමිතව තිබුණා. ඒ අවස්ථාව යේසුස්ගේ අනුගාමිකයන්ට ලැබුණේ ඒ ගිවිසුම නිසයි.

අලුත් ගිවිසුම වලංගු වෙයි

10. අලුත් ගිවිසුම වලංගු වුණේ කවදාද? ඊට කලින් ඒක වලංගු වුණේ නැත්තේ ඇයි?

10 අලුත් ගිවිසුම වලංගු වුණේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වපු දවසේ නෙමෙයි. ඒක වලංගු වෙන්න නම් යේසුස් ආයෙත් ස්වර්ගයට ගිහින් දෙවි ඉදිරියේ පෙනී සිටින්න අවශ්‍ය වුණා. මොකද ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම මිනිසුන් වෙනුවෙන් යොදාගන්න දෙවිට පුළුවන් වුණේ එතකොටයි. ඒ වගේම “ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන” අයව දෙවිගේ බලයෙන් අභිෂේක කරන්නත් අවශ්‍ය වුණා. ඒ විදිහට බලද්දී අලුත් ගිවිසුම වලංගු වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලැබුණ වෙලාවේදියි.

11. අලුත් ගිවිසුම නිසා යුදෙව්වන්ට වගේම වෙනත් ජාතීන්වල අයටත් දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති වෙන්න පුළුවන් වුණේ කොහොමද? අලුත් ගිවිසුමට කීදෙනෙක් ඇතුළත්ද?

11 අලුත් ගිවිසුම ගැන යෙරෙමියා මගින්  දැනුම් දුන්න එකෙන් පැහැදිලි වුණේ නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම යම් කාලෙකදී අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි. අලුත් ගිවිසුම වලංගු වුණත් එක්කම නීතිය අවලංගු වුණා. (හෙබ්‍රෙ. 8:13) අලුත් ගිවිසුම නිසා යුදෙව්වන්ට වගේම චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්වල අයටත් දේවරාජ්‍යයේ උරුමකරුවන් වෙන්න අවස්ථාව ලැබුණා. මොකද ඔවුන්ගේ “චර්මච්ඡේදනය හදවතේ සිදු වන දෙයකි. එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය.” (රෝම 2:29) දෙවි නීතිය ලිව්වේ ඔවුන්ගේ හිත්වලයි. (හෙබ්‍රෙ. 8:10) අලුත් ගිවිසුමට දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු 1,44,000දෙනෙක් ඇතුළත් වුණා. ඊශ්‍රායෙල්වරුන් වෙනුවට දෙවි තෝරගත්ත අලුත් ජාතිය වුණේ ඔවුනුයි. ඒ ජාතිය හඳුන්වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙලය” කියලයි.ගලා. 6:16; එළි. 14:1, 4.

12. නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම සහ අලුත් ගිවිසුම සසඳලා බලද්දී පැහැදිලි වෙන්නේ මොන කරුණුද?

12 නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම සහ අලුත් ගිවිසුම අපි සසඳලා බලමු. නීතිය ඇති කරගත්තේ යෙහෝවා දෙවි සහ ඊශ්‍රායෙල් සෙනඟ අතරයි. අලුත් ගිවිසුම ඇති කරගත්තේ දෙවි සහ දෙවිගේ ඊශ්‍රායෙලය අතරයි. නීතියට මැදිහත්කරු වුණේ මෝසෙස්. අලුත් ගිවිසුමේ මැදිහත්කරු යේසුස්. නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුම වලංගු වුණේ සත්ව ලේ මාර්ගයෙනුයි. අලුත් ගිවිසුම වලංගු වුණේ යේසුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනුයි. නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමට අනුව ඊශ්‍රායෙල් ජාතියේ නායකයා මෝසෙස්. අලුත් ගිවිසුමට ඇතුළත් වෙන අයගේ නායකයා සභාවේ හිස වන යේසුස්.එෆී. 1:22.

13, 14. (අ) අලුත් ගිවිසුම දේවරාජ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? (ආ) දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති අයට යේසුස් සමඟ රජකම් කරන්න නම් අවශ්‍ය වුණේ මොකක්ද?

13 අලුත් ගිවිසුම දේවරාජ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? දේවරාජ්‍යයේ රජවරු සහ පූජකයන් හැටියට සේවය කරන ශුද්ධ ජාතිය බිහි කරන්න පුළුවන් වුණේ ඒ ගිවිසුම නිසයි. ඒ ජාතිය හැදිලා තියෙන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තාට අමතරව ඉන්න අනිත් පිරිසගෙනුයි. (ගලා. 3:29) ඒ නිසා ආබ්‍රහම් සමඟ ඇති කරගත්ත ගිවිසුම ඉටු වෙනවා කියලා අලුත් ගිවිසුමෙන් තහවුරු වුණා.

14 දෙවිගේ ඊශ්‍රායෙලය කියන ශුද්ධ ජාතියට අයිති අයට “ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න” අඩිතාලම දාන්නත් ඒ ගිවිසුම උදව් වුණා. එත් රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න අභිෂේක ලත් අයට පුළුවන් වෙන්නේ කොහොමද? ඒක කරන්න නම් තවත් නීත්‍යනුකූල ගිවිසුමක් ඇති කරගන්න වුණා.

යේසුස් එක්ක රජකම් කරන්න අවස්ථාව දුන්න ගිවිසුමක්

15. යේසුස් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් එක්ක ඇති කරගත්ත ගිවිසුම මොකක්ද?

15 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්තුවට පස්සේ යේසුස් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒකට කියන්නේ රාජ්‍යයක් සඳහා ඇති කරගත් ගිවිසුම කියලයි. (ලූක් 22:28-30 කියවන්න.) අනිත් හැම ගිවිසුමකටම යෙහෝවා දෙවි සම්බන්ධ වුණත් මේ ගිවිසුමට ඔහු සම්බන්ධ වුණේ නැහැ. මේ ගිවිසුම ඇති වුණේ යේසුස් සහ අභිෂේක ලත් අය අතරෙයි. ගිවිසුම ඇති කරගද්දී යේසුස් ‘මගේ පියාණන් මා සමඟ ගිවිසුමක් ඇති කළා සේම මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා’ කියලා කිව්වා. යේසුස් ඒකෙන් අදහස් කළේ “මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්න” යෙහෝවා දෙවි ඔහු එක්ක ඇති කරගත්ත ගිවිසුම ගැන වෙන්න පුළුවන්.හෙබ්‍රෙ. 5:5, 6.

16. රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුම නිසා අභිෂේක ලත් අයට ලැබෙන්නේ මොන වරප්‍රසාදයද?

16 නියෝජිතයන් 11දෙනා දිගටම යේසුස්ට විශ්වාසවන්තව හිටියා. යේසුස් ඔවුන් එක්ක රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුම නිසා ස්වර්ගයේ ඔහු එක්ක රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරනවා කියන සහතිකය ඔවුන්ට ලැබුණා. ඒත් ඒ වරප්‍රසාදය ලැබෙන්නේ ඔවුන්ට විතරක් නෙමෙයි. යේසුස් දර්ශනයකින් යොහන් ඉදිරියේ පෙනී ඉඳලා මෙහෙම කිව්වා. “මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි ඉඳගත් ආකාරයටම ජයගන්නාට මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.” (එළි. 3:21) රාජ්‍යයක් සඳහා ඇති කරගත්ත ගිවිසුමට  1,44,000දෙනාම ඇතුළත්. (එළි. 5:9, 10; 7:4) යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න ඔවුන්ට නීත්‍යනුකූල අයිතිය ලැබෙන්නේ ඒ ගිවිසුම නිසයි. ඒක හරියට රජ කෙනෙක් විවාහ වෙන්න මනාලියක්ව තෝරගන්නවා හා සමාන දෙයක්. විවාහ වුණාට පස්සේ රජ එක්ක පාලනය කරන්න මනාලියටත් අවස්ථාව ලැබෙනවා. බයිබලයේ අභිෂේක ලත් අයව හඳුන්වලා තියෙන්නේ ක්‍රිස්තුස් සමඟ විවාහ වෙන්න පොරොන්දු වෙලා ඉන්න “නිර්මල යුවතිය” සහ ක්‍රිස්තුස්ගේ “මනාලිය” විදිහටයි.2 කොරි. 11:2; එළි. 19:7, 8; 21:9.

දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න

17, 18. (අ) අපි සලකා බලපු දේවරාජ්‍යයට සම්බන්ධ ගිවිසුම් 6 ගැන කෙටියෙන් කියන්න. (ආ) දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න අපිට පුළුවන් ඇයි?

17 බයිබලයේ තියෙන ගිවිසුම් දේවරාජ්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපි 2න් බැලුවා. (12වෙනි පිටුවේ තියෙන තොරතුරු බලන්න.) ඒ ගිවිසුම් නිසා දේවරාජ්‍යය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා පැහැදිලියි. යෙහෝවා දෙවි දේවරාජ්‍යය මගින් තමන්ගේ අරමුණ ඉටු කරනවා කියන දේ ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න අපිට පුළුවන්.එළි. 11:15.

දේවරාජ්‍යය මගින් පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු වෙනවා (15-18 ඡේද බලන්න)

18 මිනිසුන්ට තියෙන හැම ප්‍රශ්නෙකටම විසඳුම දේවරාජ්‍යයයි කියන දේ ගැන අපිට සැකයක් නැහැ. එයින් සියලුම මිනිසුන්ට සදාකාලයටම ආශීර්වාද ලැබෙනවා කියලත් අපිට විශ්වාසයි. ඒ ගැන උද්‍යෝගයෙන් අනිත් අයට දැනුම් දෙන්න අපි අධිෂ්ඨාන කරගමු.මතෙ. 24:14.