Skip to content

පටුනට යන්න

මේ දුෂ්ට සමාජයේ අවසානයට එකා මෙන් මුහුණ දෙමු

මේ දුෂ්ට සමාජයේ අවසානයට එකා මෙන් මුහුණ දෙමු

“අප එකම ශරීරයට අයත් අවයවයන්.”—එෆී. 4:25.

1, 2. දෙවිගේ සෙනඟ අතරේ ඉන්න තරුණ, මහලු හැමෝම දෙවිට කොහොම නමස්කාර කරනවා දකින්නද දෙවි කැමති?

ඔයා යෞවනයෙක්ද? යෙහෝවා දෙවිගේ සංවිධානයේ ඔයාටත් වැඩ කොටසක් තියෙනවා කියලා ඔයා දන්නවද? හුඟක් රටවල බව්තීස්ම වෙන අයගෙන් වැඩිදෙනෙක් යෞවනයන්. ඔයා වගේ තරුණ අය දෙවිට සේවය කරන්න ජීවිත කැප කරනවා දකින එක අපිට ලොකු දිරිගැන්වීමක්!

2 යෞවනයෙක් විදිහට ඔයාගේ වයසේ අය එක්ක කාලය ගත කරන්න ඔයා ආස ඇති. ඒකේ වරදක් නැහැ. අපි හැමෝම කැමතියි යාළුවෝ එක්ක කාලය ගත කරන්න. ඒත් ඒ අය එක්ක විතරක් නෙමෙයි අපි අපේ සහෝදරයෝ ඔක්කොම එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන එක යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ සෙනඟ මොන වයසක හිටියත් මොන පසුබිමකින් ආවත් හැමෝම එකමුතුව ඉන්නවා දකින්න දෙවි කැමතියි. “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” දෙවිගේ කැමැත්ත කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (1 තිමෝ. 2:3, 4) දෙවිට නමස්කාර කරන අයට “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” අයත් වෙනවා කියලා එළිදරව් 7:9ත් කියනවා.

3, 4. (අ) අද ඉන්න හුඟක් යෞවනයන්ට තියෙන වැරදි ආකල්පය මොකක්ද? (ආ) එෆීස 4:25 පාවුල් සභාවේ ඉන්න අයව සමාන කළේ මොකකටද?

3 යෙහෝවා දෙවිට සේවය කරන හා නොකරන යෞවනයන් අතර ලොකු වෙනසක් තියෙනවා. දෙවිට සේවය නොකරන හුඟක් යෞවනයෝ හිතන්නේ තමන් ගැන විතරයි. අද ඉන්න යෞවනයන් වෙන කවරදාකටත් වඩා ආත්මාර්ථකාමී අය කියලා හුඟදෙනෙක් කියනවා. අනිත් අයට, විශේෂයෙන්ම වැඩිහිටියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කතා කරන, අඳින පළඳින විදිහෙන් පේනවා.

4 අපි ඉන්නේ ඒ වැරදි ආකල්පය ඇතුව වැඩ කරන අයගෙන් වට වෙලා. ඒ අය හිතන විදිහට හිතන්නේ නැතුව දෙවි සතුටු වෙන විදිහට වැඩ කරන්න නම් අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. පාවුල්ගේ කාලෙත් ඒ වගේ වැරදි ආකල්ප තිබුණ අය හිටියා. “දෙවිට අකීකරු සියලුදෙනා එම බලපෑමට හසු වී සිටිති” කියලා ඔහු කිව්වා. (එෆීස 2:1-3 කියවන්න.) ඒත් අපේ සභාවල ඉන්න හුඟක් යෞවනයන් එහෙම නැහැ. ඒ අයට ඕනෙ සහෝදරයන් එක්ක එකතු වෙලා දෙවිට සේවය කරන්නයි. පාවුල් කිව්ව විදිහට සභාවේ ඉන්න හැමෝම “එකම ශරීරයට අයත් අවයවයන්” වගේ එකට වැඩ කරන්න ඕනෙ කියලා ඒගොල්ලෝ දන්නවා. (එෆී. 4:25) සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න අපේ සහෝදරයන් එක්ක කිට්ටුවෙන්, එක්සත්ව ඉන්න එක හුඟක් වැදගත්.

ඔවුන් හැම වෙලේම එකට හිටියා

5, 6. ලොත් සහ එයාගේ පවුලේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

5 අතීතයේදී යෙහෝවා දෙවිගේ සෙනඟට හුඟක් භයානක දේවලට මුහුණ දෙන්න වුණා. ඒ වෙලාවලදී ඔවුන් එකමුතුව, එකිනෙකාට උදව් කරගද්දී දෙවි ඒ අයව ආරක්ෂා කළා. ඒ සිද්ධීන්වලින් තරුණ, මහලු අපි හැමෝටම යමක් ඉගෙනගන්න පුළුවන්. මුලින්ම ලොත් ගැන බලමු.

6 යෙහෝවා දෙවි සොදොම් නගරය විනාශ කරන්න ඔන්න මෙන්න කියලයි තිබුණේ. ඊට කලින් ඒ නගරය අත්හැරලා කඳුකරයට ‘ඉක්මන් කර පලා යන්න’ කියලා දෙවි දේවදූතයෝ දෙන්නෙක්ව යවලා ලොත්ට දැනුම් දුන්නා. (උත්. 19:12-22) ඒත් ලොත් සහ එයාගේ දුවලා දෙන්නා ඇරෙන්න පවුලේ අනිත් අය දෙවි කියපු දේ ඇහුවේ නැහැ. විනාශය ගැන දුවලා දෙන්නා විවාහ වෙන්න හිටපු තරුණයෝ දෙන්නාට ලොත් කියද්දී ඒ දෙන්නා ඒක ‘විහිළුවක් විදිහට සැලකුවා.’ ඒ නිසා ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. (උත්. 19:14) ලොත් සහ එයාගේ දුවලා දෙන්නාගේ ජීවිත බේරුණේ වෙන් නොවී, එකට ඉඳලා දෙවි කියපු විදිහට වැඩ කරපු නිසයි.

7. කණ්ඩායමක් විදිහට ඊජිප්තුවෙන් පිට වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන්ට දෙවි උදව් කළේ කොහොමද?

7 ඒ වගේම පාඩමක් ඊශ්‍රායෙල්වරුන්ගෙනුත් අපිට ඉගෙනගන්න පුළුවන්. පොරොන්දු දේශය බලා ගිය අමාරු ගමන ඔවුන් කණ්ඩායමක් විදිහට එකට ගියා මිසක් පොඩි පොඩි කණ්ඩායම් හදාගෙන ඔවුන්ට ඕන ඕන පාරවල ගියේ නැහැ. ඒ වගේම යෙහෝවා දෙවි රතු මුහුදේ වතුර දෙපැත්තට කරපු වෙලාවේ ඒ හරහා මෝසෙස් තනියෙන් ගියාද? නැත්නම් කීපදෙනෙක්ව විතරක් එකතු කරගෙන ගියාද? නැහැ. ඔහු එක්ක මුළු සෙනඟම ගියා. ඒ නිසා දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. (නික්. 14:21, 22, 29, 30) යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කරපු ඊශ්‍රායෙල් නොවන හුඟදෙනෙකුත් එතන හිටියා. ඒ හැමෝම එක රෑනක් වගේ එකට හිටියා. (නික්. 12:38) අපි හිතමු ඔවුන් අතරේ හිටපු සමහරු, සමහරවිට යෞවනයන් පිරිසක් අනිත් අයගෙන් වෙන් වෙලා, තමන්ට හොඳයි කියලා හිතෙන පාරක ගියා කියලා. ඒක මොන තරම් මෝඩ දෙයක් වෙන්න තිබුණද! එහෙම කළා නම් ඔවුන්ට දෙවිගේ ආරක්ෂාව ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද?—1 කොරි. 10:1.

8. යෙහෝෂපාට් රජුගේ කාලයේ හිටපු සෙනඟ එක්සත්ව හිටියේ කොහොමද?

8 යෙහෝෂපාට් රජුගේ කාලයේ වුණ සිද්ධියකිනුත් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. බලවත්, විශාල හමුදාවක් දෙවිගේ සෙනඟට පහර දෙන්න ආවා. (2 ලේක. 20:1, 2) ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු දෙවි ගැන විශ්වාසය තියලා ඔහුගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කළා. (2 ලේකම් 20:3, 4 කියවන්න.) ඔවුන් හැමෝම එකට හිටියා මිසක් වෙන වෙනම තම තමන්ට ඕන විදිහට විසඳුම් හොයන්න ගියේ නැහැ. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “යූදාහි සියලුම වැසියෝ ඔවුන්ගේ භාර්යාවන්, දරුදැරියන් හා ළදරුවන් සමඟ යෙහෝවා දෙවි ඉදිරියෙහි සිටගෙන සිටියෝය.” (2 ලේක. 20:13) තරුණ, මහලු හැමෝම දෙවි ඔවුන්ට කරන්න කියපු දේ කළා. ඔවුන් එකමුතුව හිටපු නිසා දෙවි ඔවුන්ව සතුරු හමුදාවෙන් බේරගත්තා. (2 ලේක. 20:20-27) දෙවිගේ සෙනඟට එන විරුද්ධවාදිකම්වලට කණ්ඩායමක් විදිහට මුහුණ දෙන එක කොච්චර වැදගත්ද කියන දේට ඒක හොඳ උදාහරණයක්.

9. පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීනුත් එක්සත්ව දෙවිට නමස්කාර කළා. උදාහරණෙකට යුදෙව්වන් වගේම යුදෙව් නොවන අයත් ක්‍රිස්තියානීන් වුණාට පස්සේ පිළිගත්තේ එකම ඉගැන්වීම්. ඔවුන් එකට කාලය ගත කළා. එකට කෑම ගත්තා. එකට යාච්ඤා කළා. (ක්‍රියා 2:42) පීඩා ආපු වෙලාවලදීත් ඔවුන් එකට හිටියා. එකිනෙකාගේ උදව් ඕන කළේ ඒ වෙලාවලදියි කියලා ඔවුන් දැනගෙන හිටියා. (ක්‍රියා 4:23, 24) පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී අපිත් එකට ඉඳලා එකිනෙකාට උදව් කරන්න ඕනේ.

දෙවිගේ දවසට කලින්, දැන්ම එක්සත් වෙමු

10. වෙන කවරදාකටත් වඩා අපි එකා වගේ ඉන්න එක අත්‍යවශ්‍ය වෙන්නේ මොන කාලෙදීද?

10 මීට කලින් තිබුණේ නැති විදිහේ අමාරු කාලෙකට මුහුණ දෙන්න ළඟදීම අපිට සිද්ධ වෙනවා. ඒ කාලය යෝවෙල් විස්තර කළේ “වලාකුළුවලින් වැසුණු අඳුරු දවසක්” විදිහටයි. (යෝවෙ. 2:1, 2; ශෙප. 1:14) වෙන කවරදාකටත් වඩා එදාට අපි එකා වගේ ඉන්න ඕනේ. “යම් රාජ්‍යයක භේද ඇත්නම් ඒ රාජ්‍යය නැති වී යයි” කියලා යේසුත් කිව්වා.—මතෙ. 12:25.

11. ගීතාවලිය 122:3, 4 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 අතීත යෙරුසලම් නුවරේ ගෙවල් හදලා තිබුණේ එකකට එකක් කිට්ටුවෙන් තියෙන විදිහටයි. එහෙම කිට්ටුවෙන් ඉද්දී ඔවුන්ට ලොකු ආරක්ෂාවක් දැනුණා. ඕනම වෙලාවක එකිනෙකාට උදව් කරන්නත් පුළුවන් වුණා. ඒ වගේම ඒ ගෙවල් දැක්කම “ඊශ්‍රායෙල් ගෝත්‍ර සියල්ලම” එක ජාතියක් හැටියට එක්සත්ව යෙහෝවා දෙවිට නමස්කාර කරන්න රැස් වුණ විදිහ ගීතිකාකරුට මතක් වෙන්න ඇති. “යෙරුසලම මනාව ගොඩනැඟූ” නුවරක් කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ගීතාවලිය 122:3, 4 කියවන්න.) දැනුත් ඉදිරියේදී එන ඒ අමාරු කාලෙදීත් දෙවිගේ සෙනඟ එකට, එක්සත්ව ඉන්න එක හරිම වැදගත්.

12. දෙවිගේ සෙනඟට විරුද්ධව ගොග් එල්ල කරන ප්‍රහාරයට මුහුණ දෙන්න අපිට උදව්වක් වෙන්නේ මොකක්ද?

12 ඉදිරියේදී “මාගොග් දේශයේ ගොග්” යෙහෝවා දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරනවා කියලා එසකියෙල් 38වෙනි පරිච්ඡේදයේ කියනවා. ඒ කාලය අපි අතරේ බෙදීම් තියාගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ වගේම ඒ කාලෙදී සාතන්ගේ දුෂ්ට සමාජයෙන් අපිට ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන එක තරම් අඥාන දෙයක් තවත් නැහැ. ඒ වෙනුවට අපි තව තවත් අපේ සහෝදරයන්ට කිට්ටු වෙන්න ඕනේ. ඇත්ත, දෙවිගේ සෙනඟ එක්ක හිටියා කියලා අපි ගැලවෙන්නේ නැහැ. අපි එක් එක් කෙනා පෞද්ගලිකව දෙවිව විශ්වාස කරලා, ඔහුට කීකරු වෙන එක අත්‍යවශ්‍යයි. යෙහෝවා දෙවිත් යේසුත් ඒ ප්‍රහාරයෙන් අපිව බේරගෙන පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්නේ එතකොටයි. (යෝවෙ. 2:32; මතෙ. 28:20) දෙවිට කීකරු වෙන්න නම් දිගටම දෙවිගේ සෙනඟ එක්ක ඉන්න එක අත්‍යවශ්‍යයි. තමන්ට ඕන විදිහට වැඩ කරන අයව දෙවි ගලවගන්නේ නැහැ.—මීකා 2:12.

13. බයිබලෙන් අපි බලපු සිද්ධීන්වලින් යෞවනයෙක්ට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවද?

13 ඔයාත් යෞවනයෙක් නම් සහෝදරයන්ව කිට්ටුවෙන් ඇසුරු කරන එක ඥානවන්ත දෙයක් කියලා ඔයාට තේරෙනවද? ඔයාගෙම වයසේ අය එක්ක විතරක් කාලය ගත කරන්න ඇති වෙන ආසාව පාලනය කරගන්න. ඔයාට ආදරේ කරන අයගෙන් දුරස් වෙන්න හිතෙනවා නම් ඒ හැඟීම් නැති කරගන්න. තරුණ වුණත් මහලු වුණත් අපි හැමෝටම ළඟදීම එකිනෙකාගේ උදව් ඕන වෙනවා. ඒ නිසා සහෝදරයන් එක්ක ඔයාට තියෙන බැඳීම තව තවත් වැඩි කරගන්න. ඒ අයත් එක්ක දෙවිට සේවය කරලා සතුටු වෙන්න. යෙහෝවා දෙවිගේ සෙනඟත් එක්කම ඉන්නවා නම් අනාගතයේදී ජීවිතය බේරගන්න ඔයාට පුළුවන් වෙයි.

“එකම ශරීරයට අයත් අවයවයන්”

14, 15. (අ) එක්සත්ව ඉන්න දෙවි අපිව පුහුණු කරන්නේ ඇයි? (ආ) එක්සත්ව ඉන්න උදව් වෙන මොන උපදෙස්ද දෙවි අපිට දීලා තියෙන්නේ?

14 අපේ සහෝදරයන් එක්ක ‘එක්සත්කමින් සේවය කරන්න’ දෙවි අපිට උදව් කරනවා. (ශෙප. 3:8, 9) “ස්වර්ගයෙහි හා පොළොවෙහි තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ එක්සත් කරන” කාලේ ජීවත් වෙන්න ඔහු දැන් ඉඳන්ම අපිව පුහුණු කරනවා. (එෆීස 1:9, 10 කියවන්න.) ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝම එක පවුලක් වගේ දෙවිට නමස්කාර කරන එක දෙවිගේ අරමුණයි. ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. යෞවනයෙනි, සදාකාලයටම ඒ පවුලේ සාමාජිකයෙක් වෙන්න ඔයාලත් කැමති නම් යෙහෝවා දෙවිගේ සංවිධානය එක්ක ඉන්න දැන් ඉඳන්ම අධිෂ්ඨාන කරගන්න.

15 යෙහෝවා දෙවිගෙන් ලැබෙන පුහුණුව නිසා මේ පොළොව පාරාදීසයක් වෙන කාලෙදී හැමෝම එක්ක එකමුතුව ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා. “සියල්ලන්ට එක සමාන සැලකිල්ලක්” දක්වන්න, “එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න,” “එකිනෙකාව සනසවන්න,” “එකිනෙකාව ශක්තිමත් කරන්න” දෙවි ඉවසිලිවන්තව අපිට උගන්වනවා. (1 කොරි. 12:25; රෝම 12:10; 1 තෙස. 4:18; 5:11) අපි පරිපූර්ණ නැති නිසා සමහර වෙලාවට එක්සත්කම බිඳෙන දෙයක් අපි අතින් වෙන්න පුළුවන්. “එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න” කියලා දෙවි අපිට කියන්නේ ඒ නිසයි.—එෆී. 4:32.

16, 17. (අ) අපි එකට රැස් වෙන එකේ තියෙන වැදගත් හේතුවක් කියන්න. (ආ) යෞවනයන්ට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

16 එක්සත්ව ඉන්න යෙහෝවා දෙවි අපිට උගන්වන තව විදිහක් තමයි අපේ රැස්වීම්. අපි එකට රැස් වෙන එකේ තියෙන වැදගත් හේතුවක් ගැන හෙබ්‍රෙව් 10:24, 25 පෙන්නලා තියෙනවා. එතන කියන විදිහට යහපත් දේවල් කරන්න එකිනෙකාව දිරිගන්වන්න රැස්වීම්වලදී අපිට පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවිගේ දවස ළං වෙන්න ළං වෙන්න අපේ සහෝදරයන් එක්ක එක්සත්ව ඉන්න උදව් වෙන රැස්වීම් අතපසු නොකරන්න අපි තව තවත් උත්සාහ කරමු.

17 යේසුස් අපිට හොඳ ආදර්ශයක්. දෙවිගේ සෙනඟ එක්ක රැස් වෙන්න ලැබුණ අවස්ථාවලින් ඔහු ලොකු සතුටක් ලැබුවා. වයස 12දී දෙමාපියන් එක්ක ඔහු දේවමාලිගාවේ තිබුණ විශාල රැස්වීමකට ගියා. ඒ රැස්වීම ඉවර වෙලා එද්දී යේසුස්ගේ දෙමාපියන්ට ඔහුව හොයාගන්න බැරි වුණා. යේසුස් ඒ වෙලාවේ ගිහින් හිටියේ තමන්ගේ වයසේ අය එක්ක කාලය ගත කරන්නද? නැහැ. යේසුස් ඒ වෙලාවේ හිටියේ දේවමාලිගාවේ ගුරුවරුන් එක්ක ශුද්ධ ලියවිලිවල තියෙන දේවල් ගැන කතා කරකරයි.—ලූක් 2:45-47.

18. එක්සත්කම ශක්තිමත් කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

18 එක්සත්කම ශක්තිමත් කරගන්න පුළුවන් තවත් විදිහක් තමයි අපේ සහෝදරයන් ගැන දෙවිට යාච්ඤා කරන එක. ඔවුන්ට උදව් ඕන කරන යම් නිශ්චිත දේවල් ගැන යාච්ඤා කරන්න අපිට පුළුවන්. එහෙම කරන හැම වතාවකම අපි ඇත්තටම ඒ අය ගැන සැලකිලිමත් වෙනවා කියලා අපිට මතක් වෙයි. සහෝදරයන් ගැන අපේ හිතේ ආදරයක් ඇති කරගන්න එක, රැස්වීම්වලදී ඒ අයව දිරිගන්වන්න එක, ඒගොල්ලෝ වෙනුවෙන් යාච්ඤා කරන එක හරිම වැදගත්. එහෙම කරන්න ඕනෙ වැඩිහිටි අය විතරක් නෙමෙයි යෞවන ඔයාලත් එහෙම කරන්න ඕනේ. එතකොට සභාවේ හැමෝගෙම හොඳ යාළුවෝ වෙන්න ඔයාලට පුළුවන් වෙයි. ඉදිරියේදී එන විනාශයෙන් බේරෙන්න නම් අපි කිට්ටු වෙන්න ඕනෙ අපේ සහෝදරයන්ට මිසක් සාතන්ගේ දුෂ්ට ලෝකෙට නෙමෙයි.

සහෝදරයන් වෙනුවෙන් යාච්ඤා කරන්න අපි හැමෝටම පුළුවන් (18 ඡේදය බලන්න)

‘එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු’

19-21. (අ) අපි “එකිනෙකා මත රඳා සිටින අවයවයන්” නිසා අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද? අද්දැකීම් කියන්න. (ආ) විපත්තිවලට මුහුණ දෙද්දී සහෝදරයන් එකිනෙකාට උදව් කරන විදිහෙන් ඔයා ඉගෙනගන්නේ මොනවද?

19 යෙහෝවා දෙවිගේ සෙනඟ එකම ශරීරයක “එකිනෙකා මත රඳා සිටින අවයවයන්” වගේ කියලා ඔප්පු වෙන හුඟක් අද්දැකීම් තියෙනවා. (රෝම 12:5) අපේ සහෝදරයෝ විපත්තිවලින් දුක් විඳිද්දී අපිට ලොකු දුකක් දැනෙනවා. අපිට ඕනෙ ඒ අයට උදව් කරන්න. 2011 දෙසැම්බර් මාසේ පිලිපීනයේ මින්ඩනාඕ කියන දූපතට ප්‍රබල කුණාටුවක් කඩා වැදුණා. ගෙවල් 40,000ක් ගංවතුරෙන් යට වෙන්න ගත වුණේ එක රැයක් විතරයි. ඒ අතරේ අපේ සහෝදරයන්ගේ ගෙවලුත් තිබුණා. ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන සහන සේවා කමිටු දේවල් සැලසුම් කරන්නත් කලින් වෙනත් පළාත්වල හිටපු අපේ සහෝදරයෝ අවශ්‍ය දේවල් ලබා දෙන්න පියවර ගත්තා.

20 ජපානයේ නැඟෙනහිර පැත්තට බලපාපු ප්‍රබල භූමිකම්පාවත් එයින් ඇති වුණ සුනාමි තත්වයත් නිසා අපේ සහෝදරයන්ට හුඟක් දුක් විඳින්න වුණා. වැඩිදෙනෙක්ට ඉතුරු වුණේ ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. යෝෂිකෝ ඒ අයගෙන් කෙනෙක්. එයාගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එයා ජීවත් වුණේ නමස්කාර මධ්‍යස්ථානයට කි.මී. 40ක් විතර එහායින්. “භූමිකම්පාව ඇති වුණ දවසට පහුවෙනිදා චාරිකා සේවක තවත් සහෝදරයෙක් එක්ක ඒ තරම් දුරක් ගෙවාගෙන අපිව බලන්න ආපු එක ගැන අපිට දැනුණේ ලොකු සතුටක්. දෙවි එක්ක අපිට තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ඕන කරන දිරිගැන්වීම්, මඟ පෙන්වීම් විතරක් නෙමෙයි අපිට අවශ්‍ය ඇඳුම්, සපත්තු, බෑග් වගේ දේවලුත් හම්බ වුණා” කියලා යෝෂිකෝ කියනවා. සහන සේවා කමිටුවක සේවය කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “මුළු ජපානෙම හිටපු සහෝදරයෝ ඒ වෙලාවේ එකා වගේ විපතට පත් වුණ සහෝදරයන්ට උදව් කළා. ඇමරිකාවෙනුත් සහෝදරයෝ ආවා. ඒ තරම් දුරක් ගෙවාගෙන ආවේ ඇයි කියලා අහද්දී ඒ අය කිව්වේ ‘ජපානේ ඉන්න සහෝදරයොත් අපේම පවුලේ අය. මේ වෙලාවේ ඒ අයට අපේ උදව් ඕනේ’ කියලයි.” එකිනෙකා එක්ක ඒ තරම් ලොකු ආදරේකින් බැඳුණු සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක මිල කරන්න බැරි තරම් වටිනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපි ඒ වගේ එකමුතුව ඉන්නවා දකිද්දී යෙහෝවා දෙවි කොයි තරම් සතුටු වෙනවා ඇද්ද!

21 සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අපි දැන් ඉඳන්ම පුරුදු වුණොත් ඉදිරියේදී එන අසීරු දේවලට එක්සත්ව මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ කාලෙදී සමහරවිට වෙනත් රටවල ඉන්න සහෝදරයන් එක්ක සම්බන්ධ වෙන්න අපිට බැරි වෙයි. අපි වෙන් වෙලා කියලා අපිට දැනෙයි. ඒ වුණත් අපේ රටේ, අපේ සභාවේ ඉන්න සහෝදරයන්ට පුළුවන් තරම් කිට්ටුවෙන් ඉන්න අපිට පුළුවන්. සුළිසුළඟකින් පීඩාවට පත් වුණ ජපානයේ ඉන්න ෆූමිකෝ කියන සහෝදරිය මෙහෙම කියනවා. “මේ දුෂ්ට සමාජයේ අවසානය හරිම ළඟයි. කිසිම විපතක් නැති කාලේ එන කල් අපි අපේ සහෝදරයන්ට අවශ්‍ය උදව් දෙන එක කොයි තරම් වටිනවද!”

22. අපේ එක්සත්කම අනාගතයේදී අපිට උදව් වෙන්නේ කොහොමද?

22 සහෝදරයන් එක්ක එකමුතුව ඉන්න ඔයාට පුළුවන් හැම දේම කරලා ඉදිරියේදී එන යෙහෝවා දෙවිගේ දවසට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න. අතීතයේදී දෙවි තම සෙනඟව බේරගත්තා වගේ සාතන්ගේ මේ දුෂ්ට සමාජය විනාශ වෙද්දීත් දෙවි තම සෙනඟව බේරගන්නවා. (යෙසා. 52:9, 10) ඔයා යෞවනයෙක් වුණත් මහලු කෙනෙක් වුණත් ඒ විනාශයෙන් බේරෙන්න නම් දෙවිගේ සෙනඟ එක්ක එක්සත්ව ඉන්න එක අත්‍යවශ්‍යයි. අපිට මේ වෙනකොටත් දෙවි දීලා තියෙන දේවල් අපි අගය කරන්න ඕනෙ ඇයි කියලා ඊළඟ ලිපියෙන් බලමු.