Skip to content

පටුනට යන්න

ලැබිලා තියෙන වටිනා දේ ඔයා අගය කරනවද?

ලැබිලා තියෙන වටිනා දේ ඔයා අගය කරනවද?

“දෙවිගේ බලය ලබා ඇති නිසා දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.”—1 කොරි. 2:12.

1. තමන්ට තියෙන දේවල් ගැන හුඟක් අයට හැඟෙන්නේ කොහොමද?

‘මොනවා හරි දේක වටිනාකම තේරෙන්න ඒක නැති වෙන්නම ඕනේ.’ සමහරු එහෙම කියනවා ඔයාත් අහලා ඇති. සමහරවිට ඔයා ඒක අද්දැකලත් ඇති. පොහොසත් පවුලක හැදී වැඩුණු කෙනෙක් ගැන හිතන්න. හැම දේම මහන්සියක් නැතුව ලැබෙන නිසා තමන්ට තියෙන දේවල වටිනාකම එයාට තේරෙන්නේ නැහැ. සමහර යෞවනයොත් ඒ වගේ. අද්දැකීම් අඩු නිසා ජීවිතේ වැඩියෙන්ම වටින්නේ මොනවද කියලා එයාලට තේරෙන්නේ නැහැ.

2, 3. (අ) දෙවිට සේවය කරන යෞවනයෙක් පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ සිතුවිලිවලින්ද? (ආ) අපිට උරුම වෙලා තියෙන දේවල් අගය කරන්න උදව් වෙන්නේ මොකක්ද?

2 යෞවනයෙක් විදිහට ඔයාට වැඩියෙන් වටින්නේ මොනවද? හුඟක් යෞවනයන්ට නම් පවුල් බැඳීම්, මිත්‍රකම්වලට වඩා වටින්නේ හොඳ රස්සාවක්, ලොකු ගෙයක්, අලුත්ම ඉලෙක්ට්‍රොනික් උපකරණ වගේ දේවල්. ඒ දේවල්වලට මුල් තැන දෙන නිසා ජීවිතේ වටිනාම දේ වන දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න තියෙන අවස්ථාව ඒගොල්ලන්ට අහිමි වෙලා. ඔයා ඇතිදැඩි වුණේ යෙහෝවා දෙවිට නමස්කාර කරන දෙමාපියන් යටතේද? එහෙමනම් යෙහෝවා දෙවිගේ මිතුරෙක් වෙලා ඔහුට සේවය කරන්න ලැබිලා තියෙන්නේ මිල කරන්න බැරි තරම් වටින අවස්ථාවක් කියලා ඔයාට තේරෙනවද? (මතෙ. 5:3) ඒක හරියට දෙමාපියන්ගෙන් ලැබිලා තියෙන උරුමයක් වගේ. ඒක වටිනා දෙයක් විදිහට සැලකුවේ නැත්නම් ඔයාගේ ජීවිතේම අඳුරු වෙයි.

3 එහෙම දෙයක් ඔයාට වෙනවට අපි කැමති නැහැ. ලැබිලා තියෙන ඒ උරුමය වටිනා එකක් විදිහට සලකන්න උදව් වෙන බයිබල් චරිත කීපයක් ගැන දැන් බලමු. ඒ චරිතවලින් පාඩම් ඉගෙනගන්න පුළුවන් තරුණ අයට විතරක් නෙමෙයි. යෙහෝවා දෙවිගෙන් අපිට උරුම වෙලා තියෙන වටිනා දේවල් අගය කරන්න බයිබලේ සඳහන් ඒ වාර්තා අපි හැමෝටම උදව් වෙනවා.

ලැබුණ දේ අගය නොකරපු අය

4. 1 සාමුවෙල් 8:1-5 සාමුවෙල්ගේ පුත්තු ගැන කියන්නේ මොනවද?

4 දෙවිගේ මිත්‍රයෙක් වෙන්න අවස්ථාව ලැබිලත් ඒක අගය නොකරපු කීපදෙනෙක් ගැන බයිබලේ සඳහන් වෙනවා. සාමුවෙල් කියන්නේ පුංචි කාලේ ඉඳන්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. (1 සාමු. 12:1-5) ඒත් යෝවෙල් සහ අබියා කියන එයාගේ පුත්තු දෙන්නා නම් තාත්තා වගේ වැඩ කළේ නැහැ. ඔවුන් දෙවිට අකීකරු වුණා.—1 සාමුවෙල් 8:1-5 කියවන්න.

5, 6. යොෂියාගේ පුතුන් සහ මුනුබුරා ඔහුට වඩා වෙනස් විදිහට වැඩ කළේ කොහොමද?

5 යොෂියාට හිටපු පුත්තුත් ඒ වගේ. යොෂියා කියන්නේ යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරපු, දෙවිට විශ්වාසවන්තව වැඩ කරපු රජ කෙනෙක්. දෙවිගේ නීතිය ඇතුළත් ලියවිල්ල හම්බ වුණාට පස්සේ ඒකේ තියෙන දේ යොෂියාට ඇහෙන්න කියවද්දී ඔහු හොඳින් ඇහුම්කන් දුන්නා. ඊටපස්සේ දෙවි කියලා තිබුණ විදිහටම කළා. ඔහු රූප නමස්කාරය, භූතවාදී දේවල් දේශයෙන් අයින් කරලා දෙවිට කීකරු වෙන්න මිනිසුන්ට උදව් කළා. (2 රාජා. 22:8; 23:2, 3, 12-15, 24, 25) ඒ වගේ තාත්තා කෙනෙක් ඉන්න දරුවන් විදිහට යොෂියාගේ පුතුන්ට දෙවිට සේවය කරන්න ලැබිලා තිබුණේ මොන තරම් වටිනා අවස්ථාවක්ද! ඒත් රජ වෙන්න අවස්ථාව ලැබුණ ඔහුගේ පුත්තු තුන්දෙනාත් එක මුනුබුරෙකුත් ඔවුන්ට ලැබුණ වටිනා උරුමය අගය කළේ නැහැ.

6 යෙහෝයහාෂ් කියන යොෂියාගේ එක පුතෙක් රජ වුණාට පස්සේ ‘යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළා.’ ඔහුට රජකම් කරන්න ලැබුණේ මාස 3ක් විතරයි. පාරාවෝ රජ ඔහුව අල්ලගෙන හිර කළා. පස්සේ කාලෙකදී ඔහු මිය ගියේ තමන්ගේ පවුලේ අයගෙන් හුඟක් ඈත රටක හිරකාරයෙක් විදිහටයි. (2 රාජා. 23:31-34) ඊළඟට රජ වුණේ ඔහුගේ සහෝදරයා වුණ යෙහෝයාකිම්. ඔහුත් තමන්ගේ තාත්තාගෙන් ලැබුණ උරුමය අගය කරනවා වෙනුවට කළේ දෙවිව අසතුටු කරන දේවල්. ඒ නිසා යෙරෙමියා ඔහු ගැන මෙහෙම කිව්වා. ‘මිය ගිය බූරුවෙකුව ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’ (යෙරෙ. 22:17-19) යොෂියාගේ තවත් පුතෙක් වුණ ශෙදකියාත් යෙහෝයාකින් කියන මුනුබුරාත් යොෂියාව ආදර්ශයට ගන්නවා වෙනුවට යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරලා තමන්ට ලැබුණ උරුමයට පයින් ගැහුවා.—2 රාජා. 24:8, 9, 18, 19.

7, 8. (අ) ලැබුණ උරුමය ගැන සලමොන්ට තිබුණ අගය අඩු වුණේ කොහොමද? (ආ) තමන්ට ලැබුණ විශේෂ උරුමය අගය නොකරපු අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

7 සලමොන් රජත් තමන්ගේ තාත්තාගෙන් යෙහෝවා දෙවි ගැන හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒත් කාලයක් යද්දී තමන්ට ලැබුණ ඒ උරුමය ගැන ඔහුගේ හිතේ තිබුණ අගය ටිකෙන් ටික අඩු වෙලා ගියා. “වයස්ගත වෙද්දී සලමොන් රජ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය. ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.” (1 රාජා. 11:4) ඒ නිසා යෙහෝවා දෙවිගේ මිත්‍රයෙක් විදිහට හැමදාටම ඉන්න තිබුණ අවස්ථාව ඔහුට අහිමි වුණා.

8 යෙහෝවා දෙවිව දැන හඳුන ගෙන හරි දේ කරන්න ඒ හැම කෙනෙක්ටම අවස්ථාව තිබුණා. ඒත් ඔවුන්ට ලැබුණ ඒ වටිනා අවස්ථාව නිරපරාදේ ඔවුන් නැති කරගත්තා. ඒ වුණත් එහෙම නොකරපු යෞවනයොත් හිටියා.

ලැබුණ දේ අගය කරපු අය

9. නෝවාගේ පුත්තු අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 නෝවාගේ පුත්තු 3දෙනා අපිට හොඳ ආදර්ශයක්. නැව හදන්න නෝවාට උදව් කරන්න ලැබුණ අවස්ථාව ඔවුන් හුඟක් අගය කළා. යෙහෝවා දෙවිට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගත්ත ඔවුන්, ජල ගැල්මට කලින් නැව ඇතුලට ගියා. (උත්. 7:1, 7) උත්පත්ති 7:3 කියන විදිහට ඔවුන් සතුන්වත් ඔවුන් එක්ක නැවට අරන් ගියේ “උන් නොනැසී දිගටම පොළොව පුරා තම වර්ගයා බෝ කරන පිණිසයි.” සත්තු විතරක් නෙමෙයි මිනිස් වර්ගයාව විනාශ නොවී බේරගන්නත් ඔවුන්ගේ කීකරුකම උදව් වුණා. තමන්ට ලැබුණ උරුමය වටිනා එකක් විදිහට සලකපු නිසා යෙහෝවා දෙවිට විතරක් කරන පවිත්‍ර නමස්කාරය නැවත ඇති කරන්න ඔවුන්ට පුළුවන් වුණා.—උත්. 8:20; 9:18, 19.

10. හෙබ්‍රෙව් යෞවනයන් 4දෙනා තමන්ට ලැබුණ උරුමය අගය කළා කියලා පැහැදිලි වුණේ කොහොමද?

10 ඊට අවුරුදු සිය ගාණකට පස්සේ හිටපු හනනියා, මිෂායෙල්, අෂරියා, දානියෙල් කියන හෙබ්‍රෙව් යෞවනයන් 4දෙනාගෙනුත් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඔවුන්ව වහලුන් විදිහට ගෙනාවත් ඔවුන් හුඟක් දක්ෂ, හොඳ පෙනුමක් තිබුණ යෞවනයන් වුණ නිසා බැබිලෝනියේ උසස් ජීවිතයක් ගත කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා. ඒත් තමන් මොන වගේ සෙනඟකට අයිති අයද කියලත් පුංචි කාලේ ඉඳන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්ත දේවලුත් ඔවුන් අමතක කළේ නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ට ආශීර්වාද කළා.—දානියෙල් 1:8, 11-15, 20 කියවන්න.

11. යේසුස් තමන්ගේ තාත්තාගෙන් ඉගෙනගත්ත දේවල් නිසා අනිත් අය ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

11 තමන්ට ලැබුණ උරුමය අගය කරපු අය අතරින් හොඳම ආදර්ශය යේසුස්. තමන්ගේ තාත්තා උගන්වපු දේවල් ගැන යේසුස්ට තිබුණේ ලොකු අගයක්. “පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන්නා” කියලා යේසුස් කියපු දෙයින් ඒක පැහැදිලියි. (යොහ. 8:28) තමන් තාත්තාගෙන් ඉගෙනගත්ත දේවලින් අනිත් අයත් ප්‍රයෝජන ලබනවා දකින්න යේසුස් කැමති වුණා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ලූක් 4:18, 43) කොහොමවුණත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක්ට දෙවි කියලා දෙන සත්‍ය තොරතුරු ගැන අගයක් නැහැ. ඒක දැනගෙන හිටපු නිසා ‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන්න’ කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා.—යොහ. 15:19.

ඔයාට තියෙන වටිනා දේ අගය කරන්න

12. (අ) 2 තිමෝති 3:14-17 සඳහන් දේ අද ඉන්න යෞවනයන් සම්බන්ධයෙන් ඇත්තක් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) යෞවනයන් හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

12 ඔයාගේ අම්මායි තාත්තායි දෙවිට නමස්කාර කරන අය නම් ඒ අයගෙන් ඔයාට ලැබිලා තියෙන්නේ මිල කරන්න බැරි උරුමයක්. බයිබලේ තිමෝති ගැන කියන දේ ඔයාටත් අදාළයි. (2 තිමෝති 3:14-17 කියවන්න.) යෙහෝවා දෙවි ගැනත් ඔහුව මිත්‍රයෙක් කරගන්න විදිහ ගැනත් ඔයාගේ දෙමාපියන් ඔයාට පුංචි කාලේ ඉඳන් උගන්වලා ඇති. දෙමාපියන්ගෙන් ඉගෙනගත්ත ඒ දේවල් නිසා ‘ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය’ ඇති කරගන්නත් හොඳ අවබෝධයක් ලබාගන්නත් ඔයාට පුළුවන් වෙන්න ඇති. ගැලවීම ලබාගන්න ඒ විශ්වාසයත් අවබෝධයත් ඔයාට උදව් වෙනවා. ඒ වගේම දෙවිට සේවය කරන්න “සැදී පැහැදී” ඉන්නත් දෙමාපියන්ගෙන් ලැබුණ පුහුණුව ඔයාට උදව්වක්. ඒත් වැදගත්ම ප්‍රශ්නේ, ලැබිලා තියෙන ඒ දේ ඔයා අගය කරනවද කියන එකයි. මෙහෙම අහලා බලන්න. ‘අතීතයේ හිටපු විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ගැන මට හැඟෙන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණ එක ගැන මං ආඩම්බර වෙනවද? දෙවි තමන්ගේ කිට්ටු මිතුරන් කරගෙන ඉන්න ටිකදෙනාගෙන් කෙනෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණ එක ගැන මට කොහොමද හැඟෙන්නේ? මට තියෙන්නේ මිල කරන්න බැරි වරප්‍රසාදයක් කියලා මට දැනෙනවද?’

ඔයාත් දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් නේද? (9, 10, 12 ඡේද බලන්න)

13, 14. සමහර යෞවනයන් කරන්න පෙලඹෙන්නේ මොකක්ද? ඒත් ඒක මෝඩ දෙයක් වෙන්නේ ඇයි? ඒක ජෙනර්ගේ අද්දැකීමකින් පැහැදිලි වෙන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවිට සේවය කරන දෙමාපියන් යටතේ හැදුණු වැඩුණු යෞවනයන්ගෙන් සමහරුන්ට දෙවිගේ සෙනඟ කොයි තරම් ආලෝකයක් අද්දකිනවද කියලත් සාතන්ගේ ලෝකෙ කොයි තරම් අඳුරෙද කියලත් තේරෙන්නේ නැහැ. ඒ නිසා සමහරු සාතන්ගේ ලෝකෙ තියෙන දේවල රස බලන්න පෙලඹෙනවා. ඔවුන් කරන දේ කොච්චර භයානකද කියනවා නම් ඒක හරියට තමන්ට අනතුරක් වෙයිද නැද්ද කියලා දැනගන්න වේගයෙන් එන වාහනයක් ඉදිරියට පනිනවා වගේ දෙයක්.—1 පේතෘ. 4:4.

14 ජෙනර් කියන යෞවනයා හැදී වැඩුණේ යෙහෝවා දෙවිට නමස්කාර කරන පවුලක. බව්තීස්ම වෙද්දී එයාට වයස 12යි. ඒත් යෞවන වයසට එද්දී මේ දුෂ්ට සමාජයේ දේවල රස බලන්න, නිදහස හොයාගෙන යන්න එයා තුළ ආසාවක් ඇති වුණා. එයා සමහර දේවල් ගැන ගෙදරට බොරු කිව්වා. වයස 15ක් වෙද්දී යාළුවෝ එක්ක එකතු වෙලා බොන එක, නරක වචන කියන එක එයාට සාමාන්‍ය දෙයක් වුණා. බිලියඩ් ක්‍රීඩා කරලා, ගහ මරාගන්න කොම්පියුටර් ගේම්ස් ගහලා ගෙදර ආවේ හොඳටම රෑ වෙලා. ඒත් ඒ දේවලින් තමන් කිසි සතුටක් ලබන්නේ නැහැ කියලා කාලයක් යද්දී ජෙනර්ට තේරුණා. ඒ නිසා එයා ආයෙත් දෙවිට සේවය කරන්න පටන්ගත්තා. “ඉඳලා හිටලා තාමත් මගේ හිත ලෝකෙ තියෙන දේවලට ඇදිලා යනවා” කියලා ජෙනර් කියනවා. ඒත් ඒ හැම දේටම වඩා යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය දැන් එයාට වටිනවා.

15. දෙවිට සේවය කරන දෙමාපියන් යටතේ හැදී වැඩුණත් නැතත් අපි හැමෝම මතක තියාගන්න ඕනෙ මොකක්ද?

15 සමහරවිට ඔයාගේ දෙමාපියන් දෙවිට සේවය කරන්නේ නැතුව ඇති. ඒත් අපිව නිර්මාණය කරපු දෙවිව අඳුනගන්නත් ඔහුට සේවය කරන්නත් ලැබුණ අවස්ථාව මොන තරම් වටිනවද! බිලියන ගාණක් සෙනඟ අතරින් දෙවි ගැන සත්‍යය කියලා දෙන්න ඔහු තෝරගෙන ඉන්න ටිකදෙනාගෙන් ඔයාත් කෙනෙක්. ඒක මොන තරම් ආශීර්වාදයක්ද! (යොහ. 6:44, 45) අපිට දෙවි ගැන දැනගන්න ලැබුණේ අපේ දෙමාපියන්ගෙන් වුණත් නැතත් මේ වෙනකොට ඒ වටිනා උරුමය ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ නේද? (1 කොරින්ති 2:12 කියවන්න.) “මේ විශ්වයේම අයිතිකරු වන යෙහෝවාගේ යාළුවෙක් වෙන්න මං කවුද? ඒත් දෙවි මට ඒ අවස්ථාව දීලා තියෙනවා” කියලා ජෙනර් කියනවා. (ගීතා. 8:4) තවත් සහෝදරියක් කියන දේ බලන්න. “පාසැලේ ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ව හොඳට අඳුනගෙන එයාව කිට්ටුවෙන් ආශ්‍රය කරනවා නම් ඒ ශිෂ්‍යයාට ඒක ලොකු ආඩම්බරයක්. ඒ විදිහට බලද්දී විශ්වයේ උදාර උපදේශකයා වන යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක කොච්චර වටිනවද!”

ඔයාගේ තීරණය මොකක්ද?

16. යෞවනයන්ට ගන්න පුළුවන් ඥානවන්ත තීරණය මොකක්ද?

16 ඔයාට ලැබිලා තියෙන වටිනා උරුමය ගැන හිතන්න. යෙහෝවා දෙවිට සේවය කරන එක ඔයාගේ අධිෂ්ඨානය කරගන්න. අතීතයේ දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයව ආදර්ශයට ගන්න. කිසිම තේරුමක් නැති දේවල් පස්සේ යන යෞවනයෝ වගේ වෙන්න එපා. මොකද ඒ අයට අනාගතයක් නැහැ.—2 කොරි. 4:3, 4.

17-19. දුෂ්ට සමාජයේ මිනිසුන්ට වඩා වෙනස් විදිහට වැඩ කරන එක ඥානවන්ත වෙන්නේ ඇයි?

17 ඇත්ත, ඔයා වටේ ඉන්න අයට වඩා වෙනස් විදිහට ජීවත් වෙන එක ලේසි නැහැ. ඒත් කරන්න පුළුවන් ඥානවන්තම දේ ඒකයි. ඔලිම්පික් ක්‍රීඩා තරඟයකට සුදුසුකම් ලබපු ක්‍රීඩකයෙක් ගැන හිතන්න. ඒ තත්වයට එන්න එයාගේ වයසේ ඉන්න හුඟක් අයට වඩා වෙනස් විදිහට දේවල් කරන්න එයාට සිද්ධ වුණා. එයාගේ කාලය, අවධානය සම්පූර්ණයෙන්ම ක්‍රීඩාවට දෙන්න ඕන නිසා ඒකෙන් ඈත් කරන හුඟක් දේවල් එයා නොකර ඉන්න ඇති. එයා එහෙම කළේ තමන්ගේ ඉලක්කය ජය ගන්න එයාට තිබුණ අධිෂ්ඨානය නිසයි.

18 තමන් කරන වැරදි දේවල් නිසා ඇති වෙන නරක ප්‍රතිඵල ගැන හුඟක් මිනිසුන් හිතන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවිගේ සෙනඟ ඒ මොහොත ගැන හිතලා වැඩ කරන අය නෙමෙයි. අපි මේ දුෂ්ට සමාජයේ මිනිසුන්ට වඩා වෙනස් නිසා දෙවි එක්ක අපිට තියෙන බැඳීම නැති කරන අනාචාරය වගේ වැරදි දේවලින් අපි වළකිනවා. මොකද අපිට ඕනෙ ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්නයි.’ (1 තිමෝ. 6:19) කලින් සඳහන් කරපු සහෝදරිය මෙහෙම කිව්වා. “මේ සමාජය ගේන දේවල් හරියට ලොකු රැල්ලක් වගේ. ඒත් ඔයා විශ්වාස කරන දේ පාවා දෙන්නේ නැතුව ඒකට තදින් ඇලිලා ඉන්නවා නම් ඔයාට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. සමාජයේ රැල්ලට අහු වෙලා ගහගෙන යන්නේ නැතුව ඉන්න තරම් ශක්තියක් ඔයාට තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා. ඒ හැම දේටම වඩා වටිනාම දේ තමයි යෙහෝවා ඔයා දිහා බලලා සතුටු වෙනවා කියලා ඔයාට දැනෙන එක. ලෝකෙ අයට වඩා වෙනස් වෙන එක කොච්චර වටිනවද කියලා එතකොට ඔයාට තේරෙයි.”

19 ඔයාට දැන් ලබාගන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතලා වැඩ කරලා ඔයාගේ වටිනා ජීවිතේ අපතේ යවාගන්න එපා. (දේශ. 9:2, 10) ඔයාගේ ජීවිතේට අරමුණක් තියෙනවා. සදාකාලයටම ජීවත් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ දේවල් තේරුම්ගත්තොත් හොඳ තීරණ ගන්නත් මේ සමාජයේ ‘මිනිසුන් ජීවිත ගත කරන’ විදිහට ජීවිතේ ගත නොකර ඉන්නත් ඔයාට පුළුවන්.—එෆී. 4:17; මලා. 3:18.

20, 21. දැන් අපි හරි තීරණ ගත්තොත් අපේ අනාගතය මොන වගේ එකක් වෙයිද? යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

20 අපි හරි තීරණ ගත්තොත් දැන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා වගේම පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. අපිට හිතාගන්නවත් බැරි තරමට එදාට යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරනවා. (මතෙ. 5:5; 19:29; 25:34) ඒත් ඒ ආශීර්වාද දෙවි හැමෝටම දෙන්නේ නැහැ. ඔහුට කීකරු වෙන අයට විතරයි ආශීර්වාද ලැබෙන්නේ. (1 යොහන් 5:3, 4 කියවන්න.) ඒ නිසා යෙහෝවා දෙවිට සේවය කරන්න මේ කාලෙදී අපි දරන වෙහෙස ඇත්තටම වටිනවා.

21 යෙහෝවා දෙවි දැනටමත් අපිට කොයි තරම් නම් දේවල් දීලා තියෙනවද! ඔහුගේ වචනය ගැන නිවැරදි දැනුමක්, ඔහු ගැන ඔහුගේ අරමුණ ගැන හොඳ අවබෝධයක් අපිට දීලා තියෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ඔහුගේ නම දරන්න ලැබිලා තියෙන එක මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ වගේම අපි ළඟින්ම ඉඳලා අපිට උදව් කරනවා කියලත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (ගීතා. 118:7) ඒ නිසා තරුණ, මහලු අපි හැමෝම අපිට ලැබිලා තියෙන වටිනා උරුමය අගය කරන්න අදිටන් කරගමු. යෙහෝවා දෙවිට “සදහටම ප්‍රශංසාවත් ගෞරවයත්” දෙමු.—රෝම 11:33-36; ගීතා. 33:12.