Skip to content

පටුනට යන්න

ගත්ත තීරණයක් වෙනස් කරන එක හරිද?

ගත්ත තීරණයක් වෙනස් කරන එක හරිද?

චිත්‍රපටියක් ගැන ඉස්කෝලේ ළමයි හැමෝම වගේ කතා වෙනවා. ඒ හැමෝම කියන්නේ ‘ඒක නියම චිත්‍රපටියක්’ කියලයි. ඒ නිසා සාක්ෂිකරුවන් ටිකදෙනෙකුත් ඒක බලන්න සිනමා හලට යනවා. ඒ චිත්‍රපටියේ පෝස්ටර් එතන ගහලා තියෙනවා ඒගොල්ලෝ දකිනවා. ඒවායේ තිබුණේ විවිධ ආයුධ අතේ තියාගෙන ඉන්න නළුවන්ගෙත් අඩ නිරුවත් නිළියන්ගෙත් දර්ශනයි. දැන් ඒ යෞවනයන් මොන වගේ තීරණයක් ගනීද?

අපිට හැමදාම තීරණ ගන්න වෙනවා. සමහරවිට ඒ තීරණවලින් දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් වෙයි. නැත්නම් ඒක දුර්වල වෙයි. ඔයා යම් තීරණයක් ගන්නවා කියලා හිතන්න. ඊටපස්සේ ඒ තීරණය ගැන ආයෙත් හිතද්දී හිත වෙනස් කරගෙන වෙන දෙයක් කරන්න තීරණය කරනවා. ඒකෙන් පේන්නේ ඔයාට කෙළින් තීරණයක් ගන්න බැහැ කියන එකද? නැත්නම් ඔයා හරි තීරණය ගත්තා කියන එකද?

ගත්ත තීරණයක් වෙනස් නොකළ යුතු අවස්ථා

අපි යෙහෝවා දෙවිට හුඟක් ආදරේ නිසා අපේ ජීවිත ඔහුට කැප කරලා බව්තීස්ම වුණා. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා කියලා පොරොන්දු වුණා. අපිට ඕනෙ ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්නයි. ඒත් සාතන් උත්සාහ කරන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට තියෙන අධිෂ්ඨානය නැති කරලා දාන්නයි. (එළි. 12:17) සාතන්ට රැවටිලා, දෙවිට කීකරුව ඉන්න ගත්ත තීරණය අපි වෙනස් කළොත් අපිට අපේ ජීවිත නැති වෙන්නත් පුළුවන්.

නෙබුකද්නෙෂර් රජ විශාල රන් රූපයක් හදලා හැමෝම ඒකට නමස්කාර කරන්න කියලා නීතියක් දැම්මා. එහෙම කළේ නැති අයව ඇවිළෙන ගිනි උදුනට දානවා කියලත් කිව්වා. ඒත් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ කියන තරුණයෝ තුන්දෙනා යෙහෝවා දෙවිගේ හිතට දුකක් දෙන්න කැමති වුණේ නැහැ. ඔවුන් රජ කියපු දේ කළේ නැහැ. ඒ නිසා රජ ඔවුන්ව ඇවිළෙන ගිනි උදුනට දැම්මා. දෙවි ඒ වෙලාවේ ආශ්චර්යයක් කරලා ඔවුන්ව බේරගත්තා තමයි, ඒත් දෙවිට විශ්වාසවන්තව ඉන්න ගත්ත තීරණය වෙනස් නොකර ඉන්න ඔවුන් අධිෂ්ඨාන කරගත්තේ ඊට කලින්.—දානි. 3:1-27.

දානියෙල් කළෙත් ඒ වගේ දෙයක්. තමන් යාච්ඤා කරනවා අනිත් අය දැක්කොත් තමන්ව සිංහ ගුහාවකට දානවා කියලත් වේදනාකාරී මරණයක් අත්විඳින්න වෙනවා කියලත් ඔහු දැනගෙන හිටියා. ඒත් දවසට තුන් වතාවක් දෙවිට යාච්ඤා කරන එක ඔහු නතර කළේ නැහැ. ඒකෙන් ඔහු පෙන්නුවේ දෙවිට විතරක් නමස්කාර කරන්න ඔහු අරන් තිබුණ තීරණය වෙනස් කරන්නේ නැහැ කියන එකයි. අන්තිමේදී දෙවි ඔහුව ‘සිංහයන්ගෙන් බේරගත්තා.’—දානි. 6:1-27.

අද ඉන්න දෙවිගේ සෙනඟත් තමන්ගේ ජීවිත දෙවිට කැප කරද්දී වෙන පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා. මේ උදාහරණෙ බලන්න. අප්‍රිකාවේ පාසැලක උත්සවයක් පැවැත්තුව වෙලාවේ ඒ පාසැලේ හිටපු යෙහෝවා දෙවිට නමස්කාර කරන දරුවන් කීපදෙනෙක් රටේ ලාංඡනයට ආචාර කරන එක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පාසැල් බලධාරීන් ඔවුන්ව පාසැලෙන් අස් කරනවා කියලා තර්ජනය කළා. අධ්‍යාපන ඇමති දරුවන්ගෙන් ඒ ගැන අහද්දී ඔවුන් බය නැතුව, කාරුණිකව ඒ ගැන පැහැදිලි කරලා දුන්නා. ඊටපස්සේ නම් දෙවිට අකීකරු වෙන්න කියලා කිසි කෙනෙක් ඔවුන්ට බල කළේ නැහැ.

ජෝසෆ් කියන සහෝදරයාගේ බිරිඳ පිළිකාවක් නිසා හදිසියේ මිය ගියා. බිරිඳගේ නෑදෑයන් සාක්ෂිකරුවන් නෙමෙයි. ඒගොල්ලෝ මරණ ගෙදර වැඩකටයුතු එයාලාට ඕන විදිහට කරන්න හැදුවා. ඒත් ඒ සමහර චාරිත්‍ර දෙවි අසතුටු කරන දේවල්. ඒ වෙලාවේ වෙච්ච දේවල් ගැන ජෝසෆ් කිව්වේ මෙහෙමයි. “අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් මං ගත්ත තීරණය වෙනස් කරන්නේ නෑ කියලා නෑදෑයන්ට තේරුණාම එයාලා හැදුවේ මගේ දරුවෝ ලවා එයාලාට ඕන දේවල් කරගන්න. ඒත් මගේ දරුවොත් යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. ඒ දවස් ටිකේ අපේ ගෙදර නිදි මරන්නත් නෑදෑයෝ ලෑස්ති වුණා. ඒත් ඒක අපේ ගෙදර කරන්න බෑ කියලා මම එයාලට කිව්වා. ඒ වගේ චාරිත්‍ර මං විශ්වාස කරන දේවලට, මගේ බිරිඳ විශ්වාස කරපු දේවලට එකඟ නෑ කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. එයාලා එක්ක ඒ ගැන සෑහෙන වෙලාවක් කතා කළාට පස්සේ ඒක වෙන තැනක කරන්න එයාලා තීරණය කළා.

“දෙවි අසතුටු වෙන කිසිම දෙයක් නොකර ඉන්න අපිට උදව් කරන්න කියලා ඒ දවස් ටිකේ මං බැගෑපත්ව යෙහෝවාට යාච්ඤා කළා. මොන තරම් පීඩනයක් ආවත් දිගටම විශ්වාසවන්තව ඉන්න දෙවිගේ උදව්වෙන් අපිට පුළුවන් වුණා.” දෙවිට දිගටම කීකරුව ඉන්න තමන් ගත්ත තීරණය වෙනස් කරන එක ගැන ජෝසෆ් සහ දරුවන් හිතුවේවත් නැහැ.

තීරණය වෙනස් කරන්න ඕනෙද කියලා හිතන්න වෙන අවස්ථා

දවසක් ඊශ්‍රායෙල් නොවන කාන්තාවක් ඒ භූතයෙක් වැහිලා හිටපු තමන්ගේ දුවව සුව කරලා දෙන්න කියලා යේසුස්ගෙන් ඉල්ලුවා. කීප වතාවක්ම යේසුස්ට ඒ ගැන කිව්වත් ඔහු උත්තරයක් දුන්නේ නැහැ. ඒ ඇයි කියලා යේසුස් තමන්ගේ ගෝලයන්ට කිව්වේ මෙහෙමයි. “මාව එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට මිස වෙන කිසිවෙකු වෙතට නොවෙයි.” ඒත් ඒ කාන්තාව උත්සාහය අත්හැරියේ නැහැ. දිගටම යේසුස්ට ආයාචනා කළා. ඒ නිසා ඔහු ඇයට මෙහෙම කිව්වා. “දරුවන්ගේ රොටි රැගෙන බලු පැටවුන්ට දැමීම සුදුසු නැත.” ඒ කාන්තාවට තිබුණ විශ්වාසය ඇය කියපු මේ වචනවලින් යේසුස් දැනගත්තා. “ස්වාමීනි, ඔබ කියන දේ හරි. නමුත් බලු පැටවුන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කෑම කනවා නේද?” යේසුස් අරන් තිබුණ තීරණය වෙනස් කරලා ඒ කාන්තාවගේ දුවව සුව කළා.—මතෙ. 15:21-28.

යේසුස් ඒ වෙලාවේ ආදර්ශයට ගත්තේ යෙහෝවා දෙවිව. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු රන් වස්සෙකුට නමස්කාර කරපු වෙලාවේ ඔවුන්ව විනාශ කරන්න යෙහෝවා දෙවි තීරණය කළා. ඒත් මෝසෙස් එහෙම කරන්න එපා කියලා දෙවිට කන්නලව් කළාම දෙවි ඒ තීරණය වෙනස් කළා.—නික්. 32:7-14.

යෙහෝවා දෙවිව සහ යේසුස්ව ආදර්ශයට ගත්ත පාවුල්, සුදුසු අවස්ථාවලදී තමන් ගත්ත තීරණ වෙනස් කරන්න ඕනෙද කියලා හිතලා බැලුවා. ඔහු ගිය පළවෙනි මිෂනාරි ගමනට එකතු වෙලා හිටපු මාක් යම් හේතුවක් නිසා අතරමඟදී ඔහුවයි බානබස්වයි දාලා ගියා. ඒ නිසා ආයෙත් තමන්ගේ ගමන්වලට මාක්ව හවුල් කරගන්නේ නැහැ කියලා පාවුල් තීරණයක් අරගෙන තිබුණා. ඒත් පස්සේ කාලෙකදී මාක් කලින්ට වඩා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා දැනගත්තම පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. “ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න. මන්ද ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.”—2 තිමෝ. 4:11.

ඒ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? යෙහෝවා දෙවි අතින් කවදාවත් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැති වුණත් තමන් ගත්ත තීරණ සුදුසු වෙලාවලදී වෙනස් කරන්න ඔහු සූදානමින් ඉන්නවා. ඒ ඔහු දයාවන්ත, හුඟක් ඉවසන, ආදරණීය කෙනෙක් නිසයි. ඒත් අපි අතින් වැරදි, අඩුපාඩු වෙනවා. අපිට හැම වෙලේම යම් කාරණයක සම්පූර්ණ චිත්‍රය දකින්න බැහැ. ඒ නිසා අපි ගන්න තීරණ, හිතාගෙන හිටපු විදිහ සමහර වෙලාවට වෙනස් කරන්න වෙනවා. උදාහරණෙකට සමහර අයගේ තත්වය ගැන තව හොඳට දැනගත්තම ඒ අය ගැන අපි හිතාගෙන හිටපු විදිහ වෙනස් කරන්න අපි පෙලඹෙනවා.

දෙවිට තව හොඳ සේවයක් කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ගැන අපිට විටින් විට හිතලා බලන්න වෙනවා. අපි බයිබලේ පාඩම් කරනවා ඇති. රැස්වීම්වලට යනවත් ඇති. ඒත් බව්තීස්ම වෙන එක කල් දානවා වෙන්න පුළුවන්. පුරෝගාමි සේවය කරන්න පුළුවන්කම තියෙද්දී ඒක කරන්න අදිමදි කරනවා ඇති. සහායක සේවකයෙක්, වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න අකමැති ඇති. (1 තිමෝ. 3:1) ඔයාත් ඒ වගේ හිතන කෙනෙක්ද? එහෙමනම් හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? යෙහෝවා දෙවි ආරාධනා කරන්නේ ඔහුට වැඩියෙන් සේවය කරන්න තියෙන ඒ වටිනා අවස්ථාවන් අත් කරගෙන දෙවිටත් අනිත් අයටත් සේවය කරලා සතුටක් ලබන්න කියලයි.

ගත්ත තීරණයක් වෙනස් කරන එකෙන් ආශීර්වාද ලැබෙන්න පුළුවන්

අප්‍රිකාවේ බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වෙන එලා මෙහෙම කියනවා. “බෙතෙල් එකට ආව මුල් කාලේ පවුලේ අය නැති පාළුව මට ගොඩක් දැනුණා. යෙහෝවා දෙවිට සේවය කරන්න මං ආසාවෙන් හිටියත් මට නිතරම පවුලේ අයව මතක් වුණා. ඒ නිසා මං හිතුවේ මට දිගටම බෙතෙල් එකේ ඉන්න අමාරු වෙයි කියලයි. ඒත් මාත් එක්ක කාමරේ හිටපු සහෝදරිය නිතරම මාව දිරිගැන්නුවා. ඒ නිසා මම බෙතෙල් එකේ ඉන්න තීරණය කළා. දැන් මම බෙතෙල් එකට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. පුළුවන් තරම් කාලයක් බෙතෙල් එකේ ඉඳලා මගේ සහෝදර සහෝදරියන්ට සේවය කරන එකයි දැන් මගේ ආසාව.”

ගත්ත තීරණයක් අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු අවස්ථා

කලින් ගත්ත තීරණයක් අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න වෙන, නැත්නම් හිතපු විදිහේ වෙනසක් කරගන්න වෙන අවස්ථා තියෙනවා. උදාහරණෙකට කායින්ට එයාගේ සහෝදරයා ගැන ඇති වුණ ඊර්ෂ්‍යාව නිසා එයා හිටියේ හුඟක් කේන්තියෙන්. ඒක දැකපු දෙවි, කේන්තිය නිසා කායින් අතින් නපුරු දෙයක් වෙන්න පුළුවන් කියලා එයාට ආදරෙන් මතක් කළා. දෙවි කිව්වේ “පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය” කියලයි. ඒත් තමන්ට හැඟුණ විදිහ වෙනස් කරගන්නවා වෙනුවට කායින් කළේ දෙවිගේ අනතුරු ඇඟවීම නොසලකාහැරපු එකයි. ඒකේ ප්‍රතිඵලය? කායින් තමන්ගේම සහෝදරයාව මරලා දැම්මා.—උත්. 4:2-8.

කායින් හිතපු විදිහ වෙනස් කරගත්තා නම් . . .

උසියා රජුගේ අවාදර්ශයෙනුත් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. මුලින් එයාට දෙවි එක්ක හොඳ බැඳීමක් තිබුණා. ඒත් කාලයක් යද්දී එයා තමන් ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත්තා. එයා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න දේවමාලිගාවට ගියා. ඒක පූජකයන්ට විතරක් පැවරිලා තිබුණ වගකීමක්. එහෙම කරන්න එපා කියලා පූජකයෝ එයාට අනතුරු ඇඟෙව්වත් එයා තීරණය වෙනස් කළේ නැහැ. රජුට ඒ වෙලාවේ හුඟක් කේන්ති ගියා. ඒ නිසා යෙහෝවා දෙවි එයාට ලාදුරු රෝගය වැලඳෙන්න සැලැස්වුවා.—2 ලේක. 26:3-5, 16-20.

ජාකේම්ගේ අද්දැකීම බලන්න. එයා 1955දී බව්තීස්ම වුණ කෙනෙක්. 1978දී එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. තමන් හිතපු විදිහ වෙනස් කරගෙන, පසුතැවිලා ආයෙත් දෙවිට ළං වෙන්න එයා පියවර ගත්තේ අවුරුදු 20කටත් වඩා වැඩි කාලයක් ගියාට පස්සෙයි. ඒ පියවර ගන්න එයාට එච්චර කාලයක් ගියේ ඇයි කියලා වැඩිමහල්ලෙක් ඇහුවම ජාකේම් මෙහෙම කිව්වා. “මම හිටියේ කේන්තියෙන්. මගේ උඩඟුකම නිසා හිතපු විදිහ වෙනස් කරගන්න මම කැමති වුණේ නෑ. සභාවෙන් ඈත් වෙලා හිටියත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමයි බයිබලේ තියෙන සත්‍යය උගන්වන්නේ කියලා මම දැනගෙන හිටියා. ඒක දැනගෙනත් ආපහු එන්න මෙච්චර කාලයක් ගත්ත එක ගැන දැන් මම දුක් වෙනවා.”

සමහර වෙලාවලදී ගත්ත තීරණයක්, කරන යම් දෙයක් අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න අපිටත් සිද්ධ වෙනවා. අපි ඒ වෙනස කැමැත්තෙන්ම කරද්දී යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙනවා.—ගීතා. 34:8.