Skip to content

පටුනට යන්න

‘යා යුතු මාර්ගය’ ඔහු දැන සිටියා

‘යා යුතු මාර්ගය’ ඔහු දැන සිටියා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගයි හොලෙස් පියර්ස් 2014 මාර්තු 18වෙනි අඟහරුවාදා පොළොවේ ජීවිතය අවසන් කළා. ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 79යි. ක්‍රිස්තුස්ගේ සහෝදරයෙක් වන ඔහු දැන් ස්වර්ගික ජීවිතයක් ලබා ඇති බවට කිසිම සැකයක් නැහැ.—හෙබ්‍රෙ. 2:10-12; 1 පේතෘ. 3:18.

සහෝදර පියර්ස් ඉපදුණේ 1934 නොවැම්බර් 6වෙනිදා ඇමරිකාවේ කැලිෆෝර්නියාවලයි. ඔහු 1955දී බව්තීස්ම වුණා. සහෝදරී පෙනී සමඟ ඔහු විවාහ වුණේ 1977දීයි. ඔවුන්ට දරුවන් කීපදෙනෙක් හිටියා. තාත්තා කෙනෙක් හැටියට ඔහු ලබපු අද්දැකීම් වෙනත් අයවත් තමන්ගේ දරුවන් හැටියට සලකන්න ඔහුට උදව් වුණා. 1982දී පුරෝගාමි සේවය පටන්ගත් ඔවුන් දෙදෙනා 1986 සිට අවුරුදු 11ක් පුරා ඇමරිකාවේ චාරිකා සේවයේ යෙදුණා.

ඇමරිකාවේ බෙතෙල් නිවසේ සේවය කරන්න 1997දී ඔවුන්ට ආරාධනාවක් ලැබුණා. සහෝදර පියර්ස් මුලින්ම සේවා අංශයේ වැඩ කළ අතර 1998දී බෙතෙල් කමිටුවට උපකාර කරන කෙනෙක් හැටියට සේවය කළා. 1999 ඔක්තෝබර් 2වෙනිදා පැවැත්වූ වාර්ෂික රැස්වීමේදී ඔහුව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට පත් කරලා තියෙනවා කියලා නිවේදනය කළා. පහුගිය වසර කිහිපය තුළදී ඔහු බෙතෙල් කමිටුව, ලේඛන කමිටුව, ප්‍රකාශන කමිටුව හා සම්බන්ධීකාරකයන්ගේ කමිටුව වැනි කමිටුවල කලින් කලට සේවය කළා.

නිතරම සිනහමුසු මුහුණින් සිටි ඔහු හැමෝම එක්ක කතාබහ කළ මිත්‍රශීලී කෙනෙක්. ඒ නිසා විවිධ සංස්කෘති හා පසුබිම්වලට අයිති ඕනම කෙනෙකුගේ සිත් ඔහු වෙතට ඇදිලා ගියා. ඒත් ඒ හැම දේකටම වඩා ඔහු පෙන්නපු ප්‍රේමය, නිහතමානිකම, දෙවිගේ ප්‍රමිතිවලට දැක්වූ ඇල්ම සහ යෙහෝවා දෙවි ගැන ඔහුට තිබුණු විශ්වාසය බොහෝදෙනෙක්ගේ හිත් ගත්තා. හැම දවසකම ඉර පායනවා කියන එකට වඩා දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන එක ගැන ඔහුට විශ්වාසයක් තිබුණා. ඒක ඔහු නිතරම කියපු දෙයක්.

ඔහු වෙහෙස මහන්සි වෙලා දෙවිට සේවය කළ කෙනෙක්. හැම දවසකම පාන්දරින්ම වැඩ පටන්ගන්නා ඔහු ගොඩක් දවස්වල රෑ වෙන කල්ම වැඩ කළා. සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න ඔහු විවිධ රටවල්වලටත් ගියා. කොච්චර කාර්ය බහුල වුණත් ඔහුගේ මඟ පෙන්වීම්, උපදෙස් බලාපොරොත්තු වෙන අයත් එක්ක කතා කරන්න හා ඔවුන්ට උදව් කරන්න ඔහු පසුබට වුණේ නැහැ. අවුරුදු ගණනාවක් ගත වුණත් ඔහු දක්වපු ප්‍රේමණීය සැලකිල්ල සහ බයිබලයෙන් ලබා දුන් දිරිගැන්වීම් ඒ අයට තවමත් මතකයි.

සහෝදර පියර්ස්ගේ බිරිඳට දරුවන්ට මුනුපුරු මිනිපිරියන්ට මී මුනුපුරන්ට සහ ඔහුව ආශ්‍රය කළ අයට ඔහු නැති අඩුව ගොඩක් දැනේවි. ඔහුගේ අවමංගල්‍ය දේශනය 2014 මාර්තු 22වෙනිදා බෘක්ලින් බෙතෙල් නිවසේදී පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන මාක් සැන්ඩසන් ඉදිරිපත් කළා. ඒ දේශනයේදී සහෝදර පියර්ස්ට තිබූ ස්වර්ගික බලාපොරොත්තුව ගැන කතා කරමින් ඔහු යේසුස්ගේ මේ වචන බයිබලයෙන් කියෙව්වා. “මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා. . . . මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා. ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි. දැනටමත් මා යන ස්ථානයට පැමිණිය යුතු මාර්ගය ඔබ දන්නවා.”—යොහන් 14:2-4.

සහෝදර පියර්ස් නැති අඩුව අපිට ගොඩක් දැනෙයි. ඒත් ඔහු ‘යා යුතු මාර්ගය’ දැනගෙන ඔහුට හිමි වාසස්ථානයට ගිය නිසා අපිට සතුටු වෙන්න පුළුවන්.