Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න

යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න

දෙවි අපිට තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා. ඒක දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. කෙනෙක් බල කිරීම නිසා හරි කරන්න ඕන නිසා හරි ඔහුට කීකරු වෙනවා දකින්න දෙවි කැමති නැහැ. දෙවිට තියෙන ආදරය හා ඔහු කරලා තියෙන දේවල් අගය කරන නිසා කීකරු වෙනවා දකින්නයි ඔහු කැමති. ඒ නිසා කෙනෙක් කැමැත්තෙන්ම සැබෑ නමස්කාරය ව්‍යාප්ත කරන්න, දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්න හා ඔහුගේ අරමුණට එකඟව ක්‍රියා කරන්න පෙලඹෙනවා නම් දෙවි ඒ වගේ අයට හුඟක් ආශීර්වාද කරනවා.

උදාහරණයකට සීනයි පාළුකරයේදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා නමස්කාර කරන ස්ථානයක් ගොඩනඟන්න කියලා. ඒ අවස්ථාවේදී ‘ඔබ යෙහෝවා දෙවිට සම්මාදමක් දිය යුතුයි. සතුටු සිතින් යෙහෝවා දෙවිට යමක් දීමට පෙලඹෙන සියලුදෙනා සම්මාදමක් ගෙනෙන්න’ කියලත් කිව්වා. (නික්. 35:5) ඒ සඳහා තමන්ට කැමති ඕනම දෙයක් කැමති ප්‍රමාණයකින් සම්මාදම් කරන්න ඊශ්‍රායෙල්වරුන්ට හැකියාව තිබුණා. ඔවුන් සම්මාදම් කළේ කොහොමද?

“යෙහෝවා දෙවිට සතුටු සිතින් යමක් දීමට පෙලඹුණු අය” අවශ්‍ය දේවල් “සිය කැමැත්තෙන්ම ගෙනාවා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් හාරිච්චි, කරාබු, මුදු, රන්, රිදී හා තඹ භාණ්ඩ මෙන්ම නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති රෙදි, අගනා ලිනන් රෙදි, එළු රෝම, රතු සායම් දැමූ බැටළු හම්, සීල් මත්ස්‍යයන්ගේ හම්, ෂිටිම් ලී, අනර්ඝ ගල්, බෝල්සම් තෙල් සහ වෙනත් තෙල් ගෙනාවා. “ඔවුන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් සම්මාදම් ගෙනාවා” කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—නික්. 35:21-24, 27-29; 36:7.

ඔවුන් කළ සම්මාදම් ගැන යෙහෝවා දෙවි සතුටු වුණත් ඔහු වැඩියෙන්ම සතුටු වුණේ සැබෑ නමස්කාරය වෙනුවෙන් දේවල් දෙන්න ඔවුන්ට තිබුණු ආශාව ගැනයි. ස්ත්‍රීන් හා පුරුෂයන් තමන්ගේ කාලය හා ශ්‍රමයත් ඒ වෙනුවෙන් යෙදෙව්වා. “වැඩවලට දක්ෂ සියලු ස්ත්‍රීන් නූල් කටින්න පටන්ගත්තා. . . . ඔවුන් එළු රෝමවලින්ද නූල් කටින්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවි බෙසලෙල්ට ‘ප්‍රඥාව, දැනුම හා ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකියාව’ ලබා දුන්නා. බෙසලෙල්ට හා ඔහොලියාබ්ට අවශ්‍ය දක්ෂතාව දෙවි නොඅඩුව ලබා දුන් නිසා ඔවුන්ට තම පැවරුම හොඳින් කරන්න පුළුවන් වුණා.—නික්. 35:25, 26, 30-35.

ඊශ්‍රායෙල්වරුන්ට සම්මාදමක් දෙන්න කියලා කිව්වාම ‘සතුටු සිතින් යමක් දීමට පෙලඹෙන සියලුදෙනා’ එහෙම කරයි කියලා යෙහෝවා දෙවි දැනගෙන හිටියා. දෙවි එහෙම කරපු අයට හුඟක් ආශීර්වාද කළා. ඒ නිසා ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලැබුණු අතර සන්තෝෂයෙන් ඉන්නත් පුළුවන් වුණා. ඒකෙන් පෙන්නුම් කළේ දෙවිගේ සේවකයන් නමස්කාරය වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් කරද්දී හැකියාවන්වලින්වත් කිසි දෙයකින්වත් අඩුවක් වෙන්න දෙවි ඉඩ තියන්නේ නැහැ කියන එකයි. (ගීතා. 34:9) ඔබත් දෙවි වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් කරද්දී ඔහු ආශීර්වාද කරන බව නිසැකයි!