Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

“අවුරුද්දේ වටිනාම කාලය”

“අවුරුද්දේ වටිනාම කාලය”

1870දී ඇමරිකාවේ පිට්ස්බර්ග් නගරයේ හිටපු චාල්ස් ටේස් රසල් ඇතුළු පිරිසක් බයිබලය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. යේසුස්ගේ ජීවිත පුජාව ගැන අධ්‍යයනය කරද්දී ඔවුන් වැදගත් කාරණයක් තේරුම්ගත්තා. ඒ තමයි දෙවිගේ අරමුණ ඉටු වෙන්න යේසුස්ගේ ජීවිත පුජාව අත්‍යවශ්‍යම දෙයක් කියන දේ. ඒ වෙනකොටත් යේසුස් ගැන අහලා නැති අය ඇතුළු විශාල සෙනඟකට යේසුස්ගේ ජීවිත පුජාව නිසා ගැලවීම ලබාගන්න අවස්ථාව ලැබෙනවා කියලා දැනගත්තම ඔවුන් සතුටු වුණා. ඒ නිසා අවුරුදු පතා යේසුස්ගේ මරණය සිහි කරන්න ඔවුන් තුළ ඇති වුණේ ලොකු උනන්දුවක්.—1 කොරි. 11:23-26.

යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් දක්වපු ආදරයේ උතුම්ම ක්‍රියාව යේසුස්ගේ ජීවිත පුජාව කියලා සහෝදර රසල් ‘සයන්ස් වොච් ටවර්’ (‘මුරටැඹ’) සඟරාවේ සඳහන් කළා. යේසුස්ගේ මරණය සිහි කරන කාලය “අවුරුද්දේ වටිනාම කාලය” විදිහටත් ඒ සඟරාවේ හඳුන්වලා තිබුණා. පිට්ස්බර්ග්වලට ඇවිත් හෝ පෞද්ගලිකව කුඩා කණ්ඩායම් විදිහට යේසුස්ගේ මරණය සිහි කරන්න එහි පාඨකයන්ගෙන් ඉල්ලලා තිබුණා. “දෙන්නෙක් තුන්දෙනෙක් හිටියත් තනියම හිටියත් ස්වාමීන් ඔවුන් අතරේ ඉන්න නිසා ඒක කරන්න” කියලත් උනන්දු කළා.

සිහි කිරීමට පිට්ස්බර්ග්වලට ආපු අයගේ ගණන එන්න එන්නම වැඩි වුණා. බෙදා හැරපු ආරාධනා පත්‍රයේ සඳහන් වුණේ ‘අපි ඔබව හදපිරි සෙනෙහසින් පිළිගන්නෙමු’ කියලයි. පිට්ස්බර්ග්වල හිටපු බයිබල් ශිෂ්‍යයන් පිට පළාත්වලින් ආපු අයට අවශ්‍ය කෑම බීම, ඉඳුම්හිටුම් දීලා ඔවුන්ව බලාගත්තා. 1886දී සිහි කිරීම පවත්වපු කාලයේ ඔවුන් දින කීපයක් පුරා විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ඒ රැස්වීමට “ස්වාමීන් ගැනත් ඔහුගේ සහෝදරයන් ගැනත් ඔහු එළිදරව් කරලා තියෙන සත්‍යය ගැනත් හදපිරි අගයකින් එන්න” කියලා ‘මුරටැඹ’ සඟරාවෙන් ආරාධනා කළා.

“ලන්ඩන් ටැබනැකල්” කියලා හඳුන්වපු ශාලාවේ සිහි කිරීම පවත්වද්දී සංකේත අතිනත යවන්න තිබුණ සැලැස්ම

සිහි කිරීම පවත්වන්න පිට්ස්බර්ග්වලට ආපු අය සඳහා හැම අවුරුද්දකම වගේ බයිබල් ශිෂ්‍යයන් සමුළු පැවැත්වුවා. බයිබල් ශිෂ්‍යයන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙද්දී ලෝකෙ පුරාම සිහි කිරීම පවත්වපු ස්ථානත් සහභාගි වුණ අයගේ ගණනත් වැඩි වුණා. 1910ත් 20ත් අතර කාලයේ පවත්වපු සිහි කිරීම් ගැන මතකයට නඟමින් සහෝදර රේ බෝප් මෙහෙම කියනවා. “සහභාගි වුණ හැම කෙනාම වගේ සංකේත ගත්ත නිසා ඒවා අතිනත යවන්න පැය ගාණක් ගියා.”

ඒ කාලයේ සංකේත විදිහට පාවිච්චි කළේ මොනවද? යේසුස් පාවිච්චි කළේ වයින් කියලා දැනගෙන හිටියත් කාලයක් යන කල් ඔවුන් පාවිච්චි කළේ අලුත් මිදියුෂ නැත්තම් වියළි මිදි තම්බලා ගත්ත යුෂ. වයින් වෙනුවට ඒවා පාවිච්චි කරන්න කියලා ‘මුරටැඹ’ සඟරාව යෝජනා කළේ සමහර අය වයින් ඕනෑවට වඩා අරගෙන මත් වෙන්න ඉඩ තියෙන නිසයි. කොහොමවුණත් පාවිච්චි කරන්න ඕනෙ වයින්මයි කියලා හිතපු අයට ඒවා ලබා දුන්නා. යේසුස්ගේ රුධිරය සංකේතවත් කරන්න පුළුවන් හොඳම දේ රතු වයින් කියලා බයිබල් ශිෂ්‍යයන් පසුව තේරුම්ගත්තා.

නිකරගුවාවේ සිර කඳවුරක සිහි කිරීමට සහභාගි වුණ අයගේ ගණන සටහන් කරන්න මේ පැන්සල සහ කොළ කෑල්ල සිරකුටියෙන් කුටියට යැව්වා

යේසුස්ගේ මරණය සිහි කිරීම තමන්වම සෝදිසි කරලා බලන්න හොඳ අවස්ථාවක් වුණා. සමහරු ඒක සැලකුවේ දුක්බර අවස්ථාවක් විදිහට. සිහි කිරීමේදී දුකෙන්, අඬමින් හිටපු ඔවුන් ඒක අවසන් වුණාම කිසිම කෙනෙක් එක්ක කතා නොකර පිට වෙලා ගියා. ඒත් 1934 පළ වුණ ‘යෙහෝවා’ කියන පොතේ පෙන්නලා දුන්නේ සිහි කිරීමේදී යේසුස්ගේ වේදනාකාරී මරණය ගැන හිතලා දුක් වෙනවා වෙනුවට 1914 ඉඳන් යේසුස් රජකම් කරන එක ගැන සතුටු වෙන්න කියලයි.

1957දී රුසියාවේ මොඩ්විනියාවල තිබුණ කඳවුරක සිහි කිරීමට රැස් වුණ සහෝදරයන්

1935දී එළිදරව් 7:9 සඳහන් “මහත් සමූහය” ගැන තිබුණ අවබෝධය තවත් පැහැදිලි වුණා. ඒ වෙන කල් හිතුවේ “මහත් සමූහය” කියන්නේ දෙවිට කැප වෙලා හිටියත් උද්‍යෝගය ටිකක් අඩු ක්‍රිස්තියානීන් පිරිසක් කියලයි. ඒත් මහත් සමූහයෙන් නියෝජනය කරන්නේ පාරාදීස පොළොවේ ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න, දෙවිට විශ්වාසවන්තව සේවය කරන විශාල පිරිසක් කියන දේ ඔවුන් අවබෝධ කරගත්තා. ඒ ගැන පැහැදිලි කළාට පස්සේ සහෝදර රසල් පෝගන්සි මෙහෙම කිව්වා. “මට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව කියලා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් මගේ හිතට දන්වලා තිබුණේ නැහැ.” ඒ නිසා ඔහු සහ තවත් පිරිසක් සිහි කිරීමේදී සංකේත ගන්න එක නතර කළා. ඒත් දිගටම සිහි කිරීමට සහභාගි වුණා.

සිහි කිරීම පවත්වන කාලයේදී සේවය තව වැඩියෙන් කරන්න විශේෂ සැලසුම් යෙදුවා. යේසුස්ගේ ජීවිත පූජාව වෙනුවෙන් අගය පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක් වුණා. “සිහි කිරීමේදී සංකේත අරගෙන විතරක් මදි. ශුභාරංචිය දේශනා කරන්න හවුල් වෙන එකත් වැදගත්” කියලා 1932දී පළ වුණ ‘රාජ්‍ය සේවාවේ’ * සඳහන් වුණා. එම පත්‍රිකාවේම 1934දී වැඩිදෙනෙක්ට පුරෝගාමි සේවය කරන්න දිරිගන්වමින් “සිහි කිරීමේ කාලය වෙනකොට සහායක පුරෝගාමීන් 1,000ක් ඉඳියිද?” කියලා සඳහන් කළා. “සතුටින් බලාගෙන ඉන්න දේ අද්දකින්න පුළුවන් වෙන්නේ දේශනා කළොත් විතරයි” කියලා එම පත්‍රිකාවෙන් අභිෂේක ලත් අයට මතක් කළා. පොළොවේ හැමදාටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒ දේ අදාළයි කියලා පස්සේ කාලෙකදී තේරුම්ගත්තා.

සිරගත කරලා හිටපු කාලයේ සහෝදර හැරල්ඩ් කිං සිහි කිරීම ගැන කවි සහ ගීතිකා ලිව්වා

යේසුස්ගේ මරණය සිහි කිරීම අවුරුද්දේ වැදගත්ම දවස හැටියටයි යෙහෝවා දෙවිගේ හැම සේවකයෙක්ම සලකන්නේ. මොන දුෂ්කරතා ආවත් ඔවුන් ඒ දවස අනිවාර්යයෙන්ම සමරනවා. 1930දී සිහි කිරීමට සහභාගි වෙන්න පර්ල් ඉංලිෂ් සහ ඇගේ අක්කා කි.මී. 80ක් විතර පයින් ඇවිදගෙන ගියා. චීනයේ මිෂනාරි සේවය කරපු හැරල්ඩ් කිං කියන සහෝදරයා එහේ සිරගත කරලා හිටපු කාලයේ සිහි කිරීම ගැන කවි සහ ගීතිකා ලිව්වා. ඔහු සංකේත හදාගත්තේ බ්ලැක් කරන්ට් පලතුරුවලින් සහ බත්වලින්. යුධමය වාතාවරණයක් තිබුණත් තහංචි දාලා තිබුණත් නැඟෙනහිර යුරෝපයේ, මධ්‍යම ඇමරිකාවේ සහ අප්‍රිකාවේ ජීවත් වුණ ක්‍රිස්තියානීන් නිර්භීතව යේසුස්ගේ මරණය සිහි කළා. අපි කොහේ ජීවත් වුණත් මොන වගේ දුෂ්කරතා අද්දැක්කත් යේසුස්ගේ මරණය සිහි කරන්න හැම අවුරුද්දකම අපි රැස් වෙනවා. අපි එහෙම කරන්නේ යෙහෝවා දෙවිටත් යේසුස්ට අපේ ගෞරවය පෙන්නන්නයි.

^ 10 ඡේ. කලින් ‘බුලටින්’ කියලත් පසුව ‘ඉන්ෆෝමන්ට්’ කියලත් හැඳින්නුවා.