පාඨකයන්ගෙන් ප්‍රශ්න
සුවඳ විලවුන්වලට සංවේදී සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවද?
සුවඳ විලවුන් පාවිච්චි කරන්න හුඟක් අය කැමතියි. ඒත් සුවඳ විලවුන්වලට සංවේදී ඒ කියන්නේ ඒවා නිසා අපහසුතාවට පත් වෙන අයත් ඉන්නවා. ඒ ප්‍රශ්නෙට දවස ගානෙම වගේ මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද සුවඳ විලවුන් පාවිච්චි කරන අයව එදිනෙදා කටයුතුවලදී මුණගැහෙන එක වළක්වන්න ඒ අයට බැහැ. ඒත් රැස්වීම්වලට, සමුළුවලට සහෝදර සහෝදරියන් එද්දී සුවඳ විලවුන්, කොලෝන් වගේ දේවල් පාවිච්චි නොකර ඉන්න පුළුවන්ද කියලා ඒ අය අහලා තියෙනවා.
රැස්වීම්වලට එන කාවවත් අපහසුතාවට පත් වෙන දේවල් කරන්න කිසිම සාක්ෂිකරුවෙක් කැමති නැහැ කියලා නම් ස්ථිරයි. රැස්වීම් තියෙන්නේ අපි හැමෝටම දිරිගැන්වීමක් ලබන්න. (හෙබ්‍රෙ. 10:24, 25) සුවඳ විලවුන්වලට සංවේදී අයට රැස්වීමේ ඉන්න බැරි තරමට අපහසුතාවක් දැනෙනවා නම් ඒ අයට පුළුවන් සභාවේ වැඩිමහල්ලන් එක්ක කතා කරන්න. සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා කියලා රැස්වීම් එන අයට නීතියක් දාන්න බයිබලේ පදනමක් නැහැ. ඒ වගේම ඒක සුදුසු දේකුත් නෙමෙයි. ඒත් ඒ ගැන සභාවේ අයව දැනුවත් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ඒ කාරණය ගැන අපේ සඟරා, පොත්වල පළ වුණ තොරතුරු සේවා රැස්වීමේ සභා අවශ්‍යතා කොටසේදී කතා කරන්න නැත්නම් කාගෙවත් හිත රිදෙන්නේ නැති විදිහට ඒ ගැන නිවේදනයක් දෙන්න වැඩිමහල්ලන් තීරණයක් ගනියි. * ඒත් ඒ ගැන දිගින් දිගටම සභාවේ නිවේදනය කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද උනන්දුව දක්වන අය, අලුත් අය අපේ රැස්වීම්වලට එනවා. ඒ අය මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නේ නැහැ. සමහරවිට අලුතින් එන ඒ අයත් සුවඳ විලවුන් පාවිච්චි කරනවා ඇති. ඒ නිසා ඒ අයව අපහසුතාවට පත් වෙන දෙයක් කරන්න අපි කැමති නැහැ.
සභාවේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් යමක් කරන්න වැඩිමහල් මණ්ඩලය තීරණය කරයි. ඔවුන් ඒ වගේ තීරණයක් ගද්දී ප්‍රදේශයට අනුව තියෙන පහසුකම් ගැනත් සැලකිල්ලට ගන්නවා. උදාහරණෙකට නමස්කාර මධ්‍යස්ථානයේ පහසුකම් තියෙනවා නම් ඒ වගේ අයට වෙනම ඉඳගන්න සැලැස්මක් යොදන්න පුළුවන්. එහෙම කරලත් සමහරුන්ට දිගටම අපහසුතාවක් දැනෙනවා නම් ඒ අයට නිවසේ ඉඳන් දුරකථනයෙන් රැස්වීම් අහන්න සැලසුම් කරන්න, නැත්නම් රැස්වීම් පටිගත කරලා ඒ අයට දෙන්න සභාවට පුළුවන්.
අවුරුදු කීපයක ඉඳන්ම ‘අපගේ රාජ්‍ය සේවාවේ’ තුන්දින සමුළු ගැන සිහිගැන්වීම් දෙන කොටසේ සැර සුවඳ විලවුන් පාවිච්චි කරද්දී අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න කියලා මතක් කරලා තියෙනවා. හුඟක් රටවල සමුළු පැවැත්වෙන්නේ වායුසමනය කළ ගෘහස්ථ ක්‍රීඩාංගණවල නැත්නම් විශාල ශාලාවල. ඒ නිසා සුවඳ විලවුන්වලට සංවේදී අයට වෙනම ඉන්න තැනක් සකස් කරන්න ඒ වගේ තැන්වල අමාරුයි. ඒ වගේ සිහිගැන්වීමක් තුන්දින සමුළු සඳහා දීලා තියෙන්නේ ඒ නිසයි. කොහොමවුණත් සමුළු සඳහා දීලා තියෙන ඒ සිහිගැන්වීම නීතියක් කරගෙන සභා රැස්වීම්වලටත් අදාළ කරන්න උත්සාහ කරන එක සුදුසු දෙයක් නෙමෙයි.
අපිට පාපය උරුම වෙලා තියෙන නිසා විවිධ ලෙඩ රෝගවලට, අපහසුතාවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. අපි අද්දකින අපහසුතා අඩු කරගන්න අනිත් අය සහය දෙද්දී අපි ඒක හුඟක් අගය කරනවා. වෙන කෙනෙක් වෙනුවෙන් සුවඳ විලවුන්, කොලෝන් වගේ දේවල් පාවිච්චි නොකර ඉන්න එක සමහරුන්ට කැප කිරීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක අපේ සහෝදරයෙක්ට, සහෝදරියකට රැස්වීම්වලට ඇවිත් ප්‍රයෝජන ගන්න උදව්වක් වෙනවා නම් අපි ඒ කැප කිරීම කරන්නේ සතුටින්. ඒකෙන් අපි ඒ අයට ඇත්තටම ආදරෙයි කියලත් ඔප්පු වෙනවා.
පොන්තියුස් පිලාත් ගැන බයිබලේට අමතරව වෙනත් පොත්වලත් සඳහන් වෙනවද?
යේසුස්ට මරණ දණ්ඩනය නියම කළේ පොන්තියුස් පිලාත් නිසා බයිබලේ කියවන අය නම් ඔහු ගැන දන්නවා. (මතෙ. 27:1, 2, 24-26) ඉතිහාස වාර්තාවලත් ඔහු ගැන සඳහන් වෙනවා. එක පොතක සඳහන් වෙන විදිහට “යුදයේ සිටි වෙන කිසිම රෝම ආණ්ඩුකාරයෙකුට වඩා පොන්තියුස් පිලාත් ගැන සඳහන් වෙන වාර්තා වැඩියි.”—The Anchor Bible Dictionary.
යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ගේ වාර්තාවලත් පිලාත් ගැන සඳහන් වෙනවා. යුදයේ ආණ්ඩුකාරයා විදිහට සේවය කළ කාලයේදී පිලාත්ට විවිධ අර්බුදවලට මුහුණ දීමට සිද්ධ වුණා. ඒ වගේ අර්බුදකාරි අවස්ථා තුනක් ඒවා සිද්ධ වුණ අනුපිළිවෙළට ජොසීෆස් වාර්තා කරලා තියෙනවා. හතරවෙනි අර්බුදය ගැන සඳහන් කරලා තියෙන්නේ ෆිලෝ කියන යුදෙව් ඉතිහාසඥයයි. රෝම ලේඛක ටැසිටස්ගේ වාර්තාවක ටයිබීරියස්ගේ පාලන සමයේ පිලාත් යේසුස්ව මරණයට පත් කරන්න අවසර දුන්නා කියන කාරණය සඳහන් වෙනවා.
1961දී සිසේරියේ අතීත රෝම රංග භූමියක කැනීම් කළ අයට පිලාත්ගේ නම ලතින් භාෂාවෙන් සඳහන් කරපු ගල් පුවරුවක් හම්බ වුණා. ගල් පුවරුවේ අකුරුවලට හානි සිද්ධ වෙලා තිබුණත් එතන සඳහන් වුණේ මේ වගේ දෙයක් කියලා විශ්වාස කරනවා. “යුදයේ ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් විසින් (මෙය) අතිඋතුම් දෙවිවරුන්ට එනම් ටයිබීරියස් දෙවියාට කැප කරන ලදි.”
සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී ඇය එක්ක ප්‍රචාරකයෙක් ඉන්නවා නම් ඇය හිස වසාගත යුතුද?
2002 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කොටසේ සඳහන් වුණේ සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී ඇය එක්ක ප්‍රචාරකයෙක් එයට හවුල් වෙනවා නම් නැත්නම් ප්‍රචාරකයෙක් ඒ අසල ඉන්නවා නම් ඔහු බව්තීස්ම වුණ කෙනෙක් වුණත් නැතත් ඇය හිස වසාගත යුතුයි කියලයි. ඒත් ඒ කාරණය ගැන තවත් තොරතුරු සොයා බලද්දී කලින් දීපු ඒ මඟ පෙන්වීමේ යම් වෙනසක් කරන්න ඕනෙ කියලා පැහැදිලි වුණා.
සහෝදරියක් බයිබල් පාඩමක් කරන වෙලාවේදී ඇය එක්ක පාඩමට හවුල් වෙන ප්‍රචාරකයා බව්තීස්ම වුණ කෙනෙක් නම් ඇය අනිවාර්යයෙන්ම හිස වසාගන්න ඕනේ. ඒ ඇයි? ඒ වෙලාවේ ඇය කරන්නේ සාමාන්‍යයෙන් සහෝදරයන්ට පැවරිලා තියෙන වගකීමක්. ඒ නිසා ක්‍රිස්තියානී සභාවේ මූලිකත්වය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දීලා තියෙන සැලැස්මට ගෞරවය කරනවා කියන දේ පෙන්නන්න ඇය හිස වසාගන්නවා. (1 කොරි. 11:
ඒත් ඇය එක්ක පාඩමට හවුල් වෙන කෙනා බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් නම් ඒ වගේම ඔහු ඇගේ සැමියාත් නෙමෙයි නම් ඇය හිස වසාගන්න ඕනෙ නැහැ. ඒක බයිබලේ ප්‍රතිපත්ති කඩ කිරීමක් නෙමෙයි. ඒ වුණත් තමන්ගේ හෘදය සාක්ෂිය පොලඹවන නිසා ඒ වගේ අවස්ථාවකදී වුණත් හිස වසාගන්න සමහර සහෝදරියන් තීරණය කරනවා නම් ඒකෙ වරදක් නැහැ.
^ 4 ඡේ. වැඩි විස්තර දැනගන්න 2000 අගෝස්තු 8 ‘පිබිදෙව්!’ කලාපයේ 8-10 පිටු බලන්න.