Skip to content

පටුනට යන්න

යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් වැඩ කරන්න

යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් වැඩ කරන්න

“ඔබ ක්‍රිස්තුස්ව කිසිදාක දුටුවේ නැතත් ඔබට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇත. දැන් ඔබට ඔහුව නොපෙනුණත් ඔබට ඔහු කෙරෙහි විශ්වාසයක් ඇත.”—1 පේතෘ. 1:8.

1, 2. (අ) ගැලවීම ලබන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? (ආ) ජීවනයට යන මාර්ගයේ දිගටම ඉන්න උදව් වෙන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරන අවස්ථාව දිගු ගමනක ආරම්භයයි. අවසානය දක්වා ඒ ගමන යන්නත් සදාකල් ජීවත් වෙන්නත් අපිට අවස්ථාව ලැබෙන්නේ දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියොත් විතරයි. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි” කියලා යෙසුස් කිව්වේ ඒ නිසයි. (මතෙ. 24:13) අපේ ගමන සාර්ථකව අවසන් කරන්න නම් “අවසානය දක්වාම” ඒ කියන්නේ අපේ ජීවිතේ අවසානය නැත්නම් මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වා අපි දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕනේ. ඒත් ඒක ලේසි නැහැ. මේ ලෝකෙ දේවල් අපිට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. (1 යොහ. 2:15-17) එහෙමනම් ඒ ගමන දිගටම යන්න අපිට පුළුවන් කොහොමද?

2 ඒකට යේසුස්ගේ ආදර්ශය අපිට උදව් වෙනවා. (1 පේතෘ. 2:21) යේසුස් ගැන අධ්‍යයනය කරනවා නම් ඔහු ඒ ගමන ගියේ කොහොමද කියලා දැනගන්න අපිට පුළුවන්. ඒ වගේම ඔහු ගැන අපේ හිතේ ලොකු ආදරයක්, විශ්වාසයක් ඇති වෙයි. (1 පේතෘස් 1:8, 9 කියවන්න.) යේසුස්ව කිට්ටුවෙන් අනුගමනය කරනවා නම් අවසානය දක්වා මේ ගමන යන්න අපිට පුළුවන්. * යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

යේසුස් නිර්භීත කෙනෙක්

3. නිර්භීත කෙනෙක්ව විස්තර කරන්න. අපිට නිර්භීතව වැඩ කරන්න පුළුවන් කොහොමද?

3 නිර්භීත කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක්ට මොන ප්‍රශ්න ආවත් ඒවාට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තියෙනවා. හරි දේ වෙනුවෙන් කතා කරනවා. විරුද්ධවාදිකම් එද්දී සන්සුන්ව ඒවාට මුහුණ දීලා දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා. නිර්භීත කෙනෙක් තුළ දේවගරුබිය තියෙනවා. එයා බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ආදරේ කියන ගුණාංගයත් තියෙනවා. දේවගරුබිය කියන්නේ යෙහෝවා දෙවිව අසතුටු කරන්න තියෙන අකමැත්ත. ඒ දේ අපිට තියෙනවා නම් මිනිසුන්ට බය වෙන්නේ නැතුව දෙවි කැමති විදිහට දේවල් කරනවා. (1 සාමු. 11:7; හිතෝ. 29:25) යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මොන ප්‍රශ්න ගැටලු ආවත් ධෛර්යවත්ව ඒවාට මුහුණ දෙනවා. (ගීතා. 27:14) අපි අපිටත් වඩා යෙහෝවා දෙවිට ආදරේ නම් විරුද්ධවාදිකම් ආවා කියලා පසුබසින්නේ නැහැ. (යොහ. 15:13) යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තියෙනවා නම් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපිට නිර්භීතව වැඩ කරන්න පුළුවන්.—ගීතා. 28:7.

4. යේසුස්ගේ නිර්භීතකම දේවමාලිගාවේ වුණු සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 යේසුස් ඒ ගතිලක්ෂණය පෙන්නුවේ කොහොමද? අවුරුදු 12ක කොලුගැටයෙක්ව හිටපු කාලෙදී ඔහු “දේවමාලිගාවෙහි ගුරුවරුන් සමඟ” කතා කරපු අවස්ථාව මතකද? (ලූක් 2:41-47 කියවන්න.) ඔවුන්ට නීතිය ගැන, යුදෙව් සම්ප්‍රදායන් ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒත් ඔවුන් එක්ක කතා කරන්න යේසුස් බය වුණේ නැහැ. ඔහු දිගටම “ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින්” හිටියා. එදා යේසුස් ඇහුවේ ඔහුගේ වයසේ හිටපු දරුවන් සාමාන්‍යයෙන් අහන විදිහේ ප්‍රශ්න නෙමෙයි. යේසුස් ඒ වෙලාවේ එතන හිටපු ඒ ගුරුවරුන්ගේ නළල් රැලිගැන්වෙන විදිහේ ප්‍රශ්න අහපු හැටි ඔයාගේ හිතේ මවාගන්න පුළුවන්ද? ඔවුන් කපටි විදිහට ප්‍රශ්න අහලා යේසුස්ව වාදයකට හසු කරගන්න උත්සාහ කළා නම් යේසුස් දුන්න උත්තර නිසා ඒක අසාර්ථක වෙන්න ඇති. “ඔහුට තිබුණු අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන ඔහුට සවන් දෙමින් සිටි සියලුදෙනා කොතරම් පුදුම වුණාද කිවහොත් ඔවුන්ට එය අදහාගැනීමටවත් නොහැකි විය.” ඒ විදිහට දේවවචනයේ තියෙන සත්‍යය ගැන කතා කරන්න යේසුස්ට පුළුවන් වුණේ ඔහු නිර්භීත කෙනෙක් නිසා නෙමෙයිද?

5. සේවය කරපු කාලෙදී යේසුස් නිර්භීතකම පෙන්නුවේ කොහොමද?

5 දේශනා කරපු කාලය පුරාම ඔහුගේ නිර්භීතකම විවිධ පැතිවලින් දකින්න තිබුණා. ආගමික නායකයන් බොරු ඉගැන්වීම්වලින් මිනිසුන්ව මුළා කරන හැටි ඔහු පෙන්නලා දුන්නා. (මතෙ. 23:13-36) ඔහුව අධෛර්යය කරන්න, දෙවිගෙන් ඈත් කරන්න දුෂ්ට සමාජයේ දේවලට ඉඩ දුන්නෙත් නැහැ. (යොහ. 16:33) මොන විරුද්ධවාදිකම් ආවත් දේශනා කරන එක නතර කළේ නැහැ. (යොහ. 5:15-18; 7:14) දෙවිට නමස්කාර කරන්න තිබුණු දේවමාලිගාව අපවිත්‍ර කරපු අයව ඔහු දෙවතාවක්ම එතනින් පන්නලා දැම්මා.—මතෙ. 21:12, 13; යොහ. 2:14-17.

6. මිනිසෙක් විදිහට ගත කරපු අවසාන දවසේ යේසුස් නිර්භීතකම පෙන්නුවේ කොහොමද?

6 මිනිසෙක් විදිහට ගත කරපු අවසාන දවසෙත් යේසුස් නිර්භීතව වැඩ කළා. යූදස් තමාව පවා දුන්නට පස්සේ වෙන දේ දැන දැනත් යේසුස් ඔහුට කිව්වේ “ඔබට කරන්න තිබෙන දේ ඉක්මනින් ගොස් කරන්න” කියලයි. (යොහ. 13:21-27) ඊටපස්සේ ඔහුව අත්අඩංගුවට ගන්න ආපු සෙබළුන් ඉදිරියට ගිහින් ඔවුන් හොයන කෙනා තමන් කියලා කිව්වා. ඔහුගේ ජීවිතේ අනතුරේ තිබුණත් ගෝලයන්ගේ ආරක්ෂාව ගැන හිතලා “මේ අයට යන්න දෙන්න” කියලා කිව්වා. (යොහ. 18:1-8) යුදෙව් මහාධිකරණයේදී ප්‍රශ්න කරපු වෙලාවේ තමන් ගැලවුම්කරු කියලත් දෙවිගේ පුත්‍රයා කියලත් නිර්භීතව කිව්වා. ඔහුව මරලා දාන්න උත්තම පූජකයා වරදක් හොයහොයා ඉන්නවා කියලා දැනගෙනත් ඔහු ඒක කියන්න බය වුණේ නැහැ. (මාක් 14:60-65) ඔහු වධකණුවක මිය ගියේ අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව ඉඳලයි. අන්තිම හුස්ම පොද හෙළද්දී ඔහු කිව්වේ “ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලයි.—යොහ. 19:28-30.

යේසුස් වගේ නිර්භීත වෙන්න

7. දරුවෙනි, සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණු එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? ඔයා නිර්භීතයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

7 යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? දරුවෙනි, ඉස්කෝලේ අයට ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන එක නිර්භීත දෙයක්. එහෙම කරන එකෙන් ඔයා පෙන්නන්නේ අනිත් අය ඔයාට විහිළු කළත් සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණු එක ගැන ඔයා ආඩම්බර වෙනවා කියලයි. (ගීතාවලිය 86:12 කියවන්න.) සමහරු පරිණාමවාදය විශ්වාස කරන්න කියලා ඔයාට කියයි. ඒත් බයිබලේ කියන්නේ හැම දේම නිර්මාණය කළේ යෙහෝවා දෙවි කියලයි. ඒක ඇත්තක් කියලා විශ්වාස කරන්න ඔයාට හේතු තියෙනවා. ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව යොදාගෙන ‘ඔයාට තියෙන බලාපොරොත්තුව ගැන විමසන අයට’ උත්තර දෙන්න. (1 පේතෘ. 3:15) බයිබලේ තියෙන සත්‍යය ගැන නිර්භීතව කතා කරද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි.

8. නිර්භීතව දේශනා කරන්න අපිට තියෙන හේතු මොනවද?

8 යෙහෝවා දෙවි අපිට භාර දීලා තියෙන කාර්යය දිගටම නිර්භීතව කරන එක අත්‍යවශ්‍යයි. (ක්‍රියා 14:3) ඒකට හේතු 3ක් බලමු. (1) අපි දේශනා කරන්නේ බයිබලේ තියෙන පණිවිඩයක්. ඒක තමයි සත්‍යය. (යොහ. 17:17) (2) “දෙවිගේ හවුල් වැඩකරුවන්” වන අපිට උදව් කරන්න දෙවි ඔහුගේ බලය දෙනවා. (1 කොරි. 3:9; ක්‍රියා 4:31) (3) යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් අපේ හිතේ තියෙන ආදරේ නිසා උපරිමයෙන් ශුභාරංචිය දේශනා කරන්න අපි පෙලඹෙනවා. (මතෙ. 22:37-39) අපි නිර්භීත නම් දේශනා සේවය නවත්තන්නේ නැහැ. ආගමික නායකයන්ට රැවටිලා “අන්ධ” වෙලා ඉන්න අයට සත්‍යය කියලා දෙන්න අපි තුළ අධිෂ්ඨානයක් තියෙනවා. (2 කොරි. 4:4) අනිත් අය අපේ පණිවිඩය අහන්න අකමැති වුණත් විරුද්ධවාදිකම් තිබුණත් අපි අත් නෑර දේශනා කරනවා.—1 තෙස. 2:1, 2.

9. දුක් කරදරවලට මුහුණ දෙද්දී අපේ නිර්භීතකම පෙන්නන්න පුළුවන් කොහොමද?

9 අපි යෙහෝවා දෙවිව විශ්වාස කරලා දේවල් කරනවා නම් මොන දුක් කරදර ආවත් බලාපොරොත්තු අත්හරින්නේ නැතුව, ධෛර්යවත්ව ඉන්න දෙවි උදව් කරනවා. අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම අපි දුක් වෙනවා, අඬනවා. ඒත් බලාපොරොත්තු අත්හැර ගන්නේ නැහැ. මොකද “සියලු සැනසිල්ලේ දෙවි” ඒ දුක දරාගන්න අවශ්‍ය ශක්තිය අපිට දෙනවා. (2 කොරි. 1:3, 4; 1 තෙස. 4:13) බරපතළ අසනීපයක් හැදුණොත්, අනතුරක් වුණොත් ලොකු වේදනාවක් විඳින්න වෙයි. ඒත් ඒ වෙලාවලදී දෙවි අසතුටු කරන විදිහේ ප්‍රතිකාර ගන්න අපිට ඕනෙ නැහැ. (ක්‍රියා 15:28, 29) පීඩනය නිසා මානසිකව වැටිලා ඉද්දී අපි වටින්නේ නැහැ කියලා “අපගේ සිත් අපට දොස් නැඟුවත්” අපි සටන අත්හරින්නේ නැහැ. (1 යොහ. 3:19, 20) මොකද යෙහෝවා දෙවි “බිඳුණු සිත් ඇති අයට සමීපව” ඉන්නවා කියලා අපිට විශ්වාසයි. *ගීතා. 34:18.

යේසුස් අවබෝධයෙන් වැඩ කරපු කෙනෙක්

10. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ව විස්තර කරන්න.

10 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක් හරි දේ සහ වැරදි දේ අතර තියෙන වෙනස තේරුම් අරන් හරි දේ කරනවා. (හෙබ්‍රෙ. 5:14) හැම වෙලාවෙම ගන්නේ දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙන විදිහේ තීරණ. තමන් කියන දේවලින් අනිත් අයව රිද්දන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ වෙනුවට අනිත් අයට සහනයක්, දිරියක් වෙන විදිහට කතා කරලා යෙහෝවා දෙවිව සතුටු කරනවා. (හිතෝ. 11:12, 13) ඒ වගේ කෙනෙක් ‘ඉක්මනින් කෝප වෙන්නෙත් නැහැ.’ (හිතෝ. 14:29) ඒ කෙනා “හරි මඟෙන් ඉවත්ව නොයයි.” (හිතෝ. 15:21) ඒ කියන්නේ ජීවිත කාලය පුරාම හරි තීරණ ගන්න උත්සාහ කරනවා. ඒ වගේ කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? බයිබලය අධ්‍යයනය කරලා ඒවා ජීවිතේට අදාළ කරගන්නවා නම් ඒක කරන්න පුළුවන්. (හිතෝ. 2:1-5, 10, 11) යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන එකත් ඒකට උදව්වක්.

11. යේසුස් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා ඔහු කතා කරපු විදිහෙන් පැහැදිලි වුණේ කොහොමද?

11 යේසුස් කතා කරපු විදිහෙන් ඔහු අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා ඔප්පු වුණා. ඔහු දේශනා කරද්දී කතා කළේ හොඳට හිතලා බලලා. ඔහු කියපු “සිත්ගන්නා දේවල් ගැන” මිනිසුන් පුදුම වුණා. (ලූක් 4:22; මතෙ. 7:28) ඔහු නිතරම දේවවචනයෙන් කියෙව්වා. නැත්නම් ඒකට යොමු දැක්වුවා. අවස්ථාවට ගැළපෙන ශුද්ධ ලියවිලි පද දැනගෙන හිටියා. (මතෙ. 4:4, 7, 10; 12:1-5; ලූක් 4:16-21) ඔහු ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් පැහැදිලි කරපු විදිහ නිසා ඒවා මිනිසුන්ගේ හදවතටම ගියා. ඔහු නැවත නැඟිට්ටට පස්සේ එම්මාවුස් කියන ගමට යමින් හිටපු ගෝලයන් දෙන්නෙක්ට ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන තිබුණු දේවල් පැහැදිලි කරලා දුන්නා මතකද? ඒ දෙන්නා පස්සේ ඒ ගැන මෙහෙම කිව්වා. “ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!”—ලූක් 24:27, 32.

12, 13. යේසුස් කේන්ති නොගන්න, සාධාරණ කෙනෙක් කියලා ඔප්පු වුණේ මොන වගේ සිද්ධීන්වලින්ද?

12 ‘ඉක්මනින් කේන්ති නොගෙන’ ඉන්න යේසුස්ට පුළුවන් වුණේ ඔහු අවබෝධයෙන් වැඩ කරපු නිසයි. (හිතෝ. 16:32) කේන්තිය වගේ හැඟීම් පාලනය කරගත්ත නිසා ඔහු “මෘදු ගුණැති” කෙනෙක් වුණා. (මතෙ. 11:29) ගෝලයන් අතින් අඩුපාඩු වුණත් ඔහු ඉවසුවා. (මාක් 14:34-38; ලූක් 22:24-27) සතුරන් මොන තරම් වධ හිංසා කළත් සන්සුන්ව හිටියා.—1 පේතෘ. 2:23.

13 අවබෝධයෙන් වැඩ කරපු නිසා සාධාරණව දේවල් දිහා බලන්නත් යේසුස්ට පුළුවන් වුණා. නීතිය නිකම්ම පිළිපදිනවා වෙනුවට ඒක දීලා තිබුණේ ඇයි කියලා ඔහු තේරුම්ගත්තා. ඒ අවබෝධය ඔහු මිනිසුන්ට සලකපු විදිහට බලපෑවා. උදාහරණෙකට ලේ ගැලීමක් නිසා දුක් විඳපු කාන්තාව ගැන හිතන්න. (මාක් 5:25-34 කියවන්න.) ඇය සෙනඟ මැදින් ඇවිත් යේසුස්ගේ ඇඳුමෙන් ඇල්ලුවා. ඒකෙන් ඇය සුව වුණා. ඒත් නීතියට අනුව ඇය කළේ වරදක්. මොකද ඇය අපවිත්‍ර තත්වයක හිටපු නිසා කාවවත් අල්ලන්න ඇයට තහනම්. (ලෙවී. 15:25-27) ඒත් යේසුස් ඇයට බැන්නේ නැහැ. මොකද ඔහු දැනගෙන හිටියා නීතියට තදින් ඇලිලා ඉන්නවට වඩා “දයාව, විශ්වාසවන්තකම” වගේ ගුණාංග පෙන්නන එක වටිනවා කියලා. (මතෙ. 23:23) ඔහු කාරුණිකව ඇයට කිව්වේ “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා” කියලයි.

14. යේසුස් මුල් තැන දුන්නේ මොන දේටද? ඒ දේට මුල් තැන දෙන්න ඔහු කළේ මොනවද?

14 යේසුස් ජීවත් වුණු විදිහෙනුත් ඔහු අවබෝධයෙන් වැඩ කරනවා කියලා පෙනුණා. ඔහු මුල් තැන දුන්නේ ශුභාරංචිය දේශනා කරන්න. (ලූක් 4:43) ඔහු තීරණ ගත්තෙත් ඔහුට භාර දීලා තිබුණු කාර්යය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙන විදිහටයි. උදාහරණෙකට වැඩි කාලයක්, ශ්‍රමයක් දේශනා සේවයට යොදවන්න පුළුවන් වෙන විදිහේ සරල ජීවිතයක් ගත කරන්න ඔහු තෝරගත්තා. (ලූක් 9:58) ඔහුගේ මරණයෙන් පස්සෙත් ශුභාරංචිය දේශනා කරන කාර්යය දිගටම කරගෙන යන්න ඕන නිසා අනිත් අයව පුහුණු කළා. (ලූක් 10:1-12; යොහ. 14:12) “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” තම අනුගාමිකයන් එක්ක ඉඳලා ඔවුන්ට උදව් කරනවා කියලත් පොරොන්දු වුණා.—මතෙ. 28:19, 20.

යේසුස් වගේ අවබෝධයෙන් වැඩ කරන්න

අවබෝධයෙන් වැඩ කරනවා නම් මිනිසුන්ව තේරුම් අරන් ඒ අනුව කතා කරනවා (15 ඡේදය බලන්න)

15. අවබෝධයෙන් වැඩ කරන අය කියලා අපි කතා කරන විදිහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

15 යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? අපි සහෝදර සහෝදරියන් එක්ක කතා කරද්දී ඔවුන්ව අධෛර්යය කරනවා වෙනුවට දිරිගන්වන විදිහට කතා කරන එක වැදගත්. (එෆී. 4:29) දේවරාජ්‍යය ගැන අනිත් අය එක්ක කතා කරද්දී අපේ කතාව “ලුණෙන් රස කළ ආහාරයකට සමානව” තියෙන්න ඕනේ. (කොලො. 4:6) ඒ අයගේ පසුබිම, ඔවුන්ගේ මනසේ තියෙන දේ තේරුම් අරන් ඒ අනුව කතා කරන්න උත්සාහ කරමු. අපි කාරුණිකව කතා කරනවා නම් හුඟක් අය අපේ පණිවිඩයට ඇහුම්කන් දෙයි. ඒ අයගේ හිතට දැනෙන විදිහට කතා කරන්නත් අපිට පුළුවන් වෙයි. අපි විශ්වාස කරන දේවල් ගැන කියද්දී පුළුවන් හැම වෙලාවකදීම බයිබලෙන් ඒ දේවල් පෙන්නන්න උත්සාහ කරමු. මොකද දෙවිගේ වචනයට ලොකු බලයක් තියෙනවා. අපි කියන ඕනම දේකට වඩා ඒකට පුළුවන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න.—හෙබ්‍රෙ. 4:12.

16, 17. (අ) අපි ඉක්මනින් කේන්ති නොගන්න, සාධාරණ අය කියලා ඔප්පු වෙන්නේ කොහොමද? (ආ) සේවයට මුල් තැන දෙන්න පුළුවන් කොහොමද?

16 අපි අවබෝධයෙන් වැඩ කරනවා නම් මොන තරම් පීඩාකාරී අවස්ථාවක වුණත් අපේ හැඟීම් පාලනය කරගෙන, කේන්ති නොගෙන ඉන්න පුළුවන් වෙනවා. (යාකො. 1:19) අනිත් අය කරපු දෙයක් නිසා අපේ හිත රිදුණොත් අපි කේන්ති ගන්න ඉක්මන් වෙන්නේ නැතුව ඒ අය ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරමු. එතකොට ඒ අයට සමාව දෙන්න ලේසියි. (හිතෝ. 19:11) අවබෝධයෙන් වැඩ කරද්දී දේවල් දිහා සාධාරණව බලන්නත් පුළුවන් වෙනවා. සහෝදරයන් අතින් කිසිම අඩුපාඩුවක් වෙන එකක් නැහැ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ මුහුණ දෙන සමහර ප්‍රශ්න අපිට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ කියලා අපි මතක තියාගන්නවා. ඒ අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නත් අපේම මතේ ඉන්නේ නැතුව ඒ අයගේ කෝණයෙන් දේවල් දිහා බලන්නත් උත්සාහ කරමු.—ෆිලි. 4:5.

17 අපිට ලැබුණු ලොකුම ගෞරවය ශුභාරංචිය දේශනා කරන්න ලැබුණු අවස්ථාවයි. ඒ නිසා අපි තීරණ ගන්නේ දේශනා සේවයට මුල් තැන දෙන්න පුළුවන් වෙන විදිහටයි. මේ දුෂ්ට සමාජයේ අවසානයට කලින් පුළුවන් උපරිමයෙන් අපේ කාලය, ශ්‍රමය යොදවලා ශුභාරංචිය දේශනා කරන එකයි අපේ අධිෂ්ඨානය. අපි සරල ජීවිතයක් ගත කරන්න තෝරගන්නේ ඒ නිසයි.—මතෙ. 6:33; 24:14.

18. ජීවනයට යන මාර්ගයේ දිගටම ඉන්න පුළුවන් කොහොමද? ඔයාගේ අදිටන මොකක්ද?

18 යේසුස් තුළ තිබුණු ගතිලක්ෂණ ඉගෙනගද්දී අපිට දැනෙන්නේ මොන තරම් සතුටක්ද! ඔහුගේ අනිත් ගතිලක්ෂණ ගැනත් ඉගෙනගෙන ඔහු වගේ වැඩ කරන්න උත්සාහ කරනවා නම් අපිට මොන තරම් ප්‍රයෝජන ලැබෙයිද! ඒ නිසා අපි දිගටම යේසුස්ව අනුකරණය කරන්න අදිටන් කරගමු. එහෙම කරනවා නම් ජීවනයට යන මාර්ගයේ දිගටම ඉන්නත් යෙහෝවා දෙවිට තව තවත් කිට්ටු වෙන්නත් අපිට අවස්ථාව ලැබෙනවා නොඅනුමානයි.

^ 2 ඡේ. 1 පේතෘස් 1:8, 9 සඳහන් දේ කෙළින්ම අදාළ වෙන්නේ අභිෂේක ලත් අයටයි. ඒත් එතන සඳහන් දේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් අදාළයි.

^ 9 ඡේ. දුක් කරදරවලට ධෛර්යවත්ව මුහුණ දීපු අයගේ අද්දැකීම් ගැන 2006 මැයි 1 ‘මුරටැඹ’ කලාපයේ 15 පිටුව සහ 2000 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ 24-28 පිටු බලන්න.