Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

තෘප්තිමත්ම ජීවිතය!

තෘප්තිමත්ම ජීවිතය!

ග්වෙනුයි මමයි නර්තනය ඉගෙනගන්න පටන්ගද්දී අපිට අවුරුදු 5 පිරුණා විතරයි. ඒ වයසේ ඉඳන්ම අපේ අධිෂ්ඨානය වුණේ දක්ෂම බැලේ නැටුම් ශිල්පීන් විදිහට ඉහළටම යන්නයි. අන්තිමේදී අපි ඒක ජය ගත්තා. ඒත් නර්තන ශිල්පීන් විදිහට ජනප්‍රියත්වයේ ඉහළම තැනට ළං වෙලා ඉන්නකොට ඒ ජීවිතේට අපි සමු දුන්නා. එහෙම කළේ ඇයි කියලා අපි කියන්නම්.

ඩේවිඩ්: මම ඉපදුණේ 1945 එංගලන්තයේ ශ්රෝප්ෂියර් ප්‍රාන්තයේ ගම්බද පළාතක. එහේ මගේ තාත්තාට ගොවිපොළක් තිබුණා. ඉස්කෝලෙ ගිහින් ආවට පස්සේ කිකිළියන්ට කන්න දෙන්න, බිත්තර එකතු කරන්න, ගවයන්ව සහ බැටළුවන් බලාගන්න මං පුරුදු වෙලා හිටියා. ඉස්කෝලෙ නිවාඩු කාලේ තමයි මං ආසම කාලේ. මොකද ඒ කාලෙදී අපේ කෙත්වල අස්වැන්න කපන්න උදව් වෙන්නත් ට්‍රැක්ටරේ එළවන්නත් මට පුළුවන් වුණා.

පොඩි කාලේ ඉඳන්ම මම නටන්න දක්ෂයි. සිංදුවක් ඇහෙන්න බෑ නටනවා. තාත්තාට ඒක තේරිලා මාව ඒ පළාතේ තිබුණු නැටුම් පාසැලට යැව්වා. එතකොට මට වයස 5යි. මගේ නැටුම් ගුරුවරයා මගේ හැකියාව දැකලා කිව්වා මට කවදා හරි බැලේ නැටුම් ශිල්පියෙක් විදිහට ඉහළටම යන්න පුළුවන් කියලා. කිව්වා වගේම වයස 15දී මට පුළුවන් වුණා ලන්ඩන් නුවර තියෙන රාජකීය බැලේ පාසැලට ශිෂ්‍යත්වයක් දිනාගන්න. එතනදී තමයි මට ග්වෙන්ව හම්බ වුණේ. මගේ නැටුම් සහකාරිය වුණේ ග්වෙන්.

ග්වෙන්: මම ඉපදුණේ 1944 ලන්ඩන්වල. පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. බයිබලේ කියවන්නත් මං ආසයි. ඒත් ඒක තේරුම්ගන්න නම් මට බැරි වුණා. නැටුම් ඉගෙනගන්න යද්දී මටත් වයස 5යි. ඊට අවුරුදු 6කට පස්සේ මුළු බ්‍රිතාන්‍යයටම විවෘත වුණු නැටුම් තරඟයක් ජය ගත්ත නිසා රාජකීය බැලේ පාසැලට ඇතුල් වෙන්න මට අවස්ථාව ලැබුණා. එතනදී මට මූලික අධ්‍යාපනය වගේම බැලේ නැටුම් ඉගෙනගන්නත් අවස්ථාව ලැබුණා. ලන්ඩන් නුවර රාජකීය බැලේ පාසැලේ ජ්‍යේෂ්ඨ සිසුවියෙක් වෙද්දී මට වයස 16යි. ඔය කාලෙදී තමයි මට ඩේවිඩ්ව හම්බ වුණේ. මාස දෙක තුනක් ඇතුළත ලන්ඩන්වල රාජකීය ඔපෙරා නිවසේ බැලේ නර්තන ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබුණා.

බැලේ නර්තන ශිල්පීන් විදිහට අපි ලෝකෙ පුරාම සංචාරය කළා

ඩේවිඩ්: අපි දෙන්නට පුළුවන් වුණා ලන්ඩනයේ තියෙන ප්‍රධාන නර්තන ආයතනයක් (English National Ballet) එක්ක එකතු වෙලා රාජකීය ඔපෙරා නිවසේ නර්තනයේ යෙදෙන්න. ඔය කාලෙදී තමයි රාජකීය බැලේ පාසැලේ හිටපු නැටුම් අධ්‍යක්ෂක කෙනෙක් ජර්මනියේ ජාත්‍යන්තර නර්තන ආයතනයක් පටන්ගත්තේ. එයා අපිවත් ඒකට සම්බන්ධ කරගත්තා. ඒ නිසා අපිට පුළුවන් වුණා ලෝක ප්‍රසිද්ධ නර්තන ශිල්පීන් එක්ක ලෝකෙ පුරාම තියෙන ප්‍රසිද්ධ ශාලාවල නර්තනයේ යෙදෙන්න. අපේ දක්ෂකම්, අපේ ජනප්‍රියත්වය නිසා අපිට අපි ගැනම ලොකු ආඩම්බරයක් දැනුණා. අපි නර්තනය වෙනුවෙන් අපේ මුළු ජීවිතයම කැප කරලයි තිබුණේ.

ග්වෙන්: අංක එකේ නැටුම් ශිල්පීන් විදිහට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යන්නයි අපිට ඕන වුණේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම වගේ මමත් වාසනාව ගැන විශ්වාස කරපු කෙනෙක්. සමරු පොත් අත්සන් කරන්න, රසිකයන්ගෙන් මල් කලඹවල් ලබන්න, නරඹන්නන්ගේ අත්පොළසන් හඬ අහන්න මං හුඟක් ආස කළා. එත් මගේ වටේ ඉන්න හැමෝම වගේ දුම් බොන, අනාචාරයේ යෙදෙන, මත්පැන් ගන්න අය කියලා මං දැනගෙන හිටියා.

ජීවිත රාටාවේ සම්පූර්ණ වෙනසක්

අපි විවාහ වුණු දවසේ

ඩේවිඩ්: අවුරුදු ගාණක්ම ඔය විදිහට ගෙවිලා යද්දී තැනින් තැනට ගිහින් ගත කරපු ජීවිතෙන් මං හුඟක් වෙහෙසට පත් වුණා. මගේ පුංචි කාලේ ගොවිපොළේ ගත කරපු ජීවිතේ මට නිතරම වගේ මතක් වුණා. මගේ හිතත් ඉල්ලුවේ ඒ වගේ ජීවිතයක්. ඒ නිසා 1967දී නර්තන ජීවිතේට සමු දීලා මගේ දෙමාපියන්ගේ ගෙදරට කිට්ටුවෙන් තිබුණු විශාල ගොවිපොළක වැඩ කරන්න මං තීරණය කළා. ඒ ගොවිපොළේම තිබුණු පොඩි ගෙයක් මං කුලියට ගත්තා. ටික දවසකින් මං ග්වෙන්ට කෝල් එකක් දීලා ඇහුවා මාව බඳින්න කැමතිද කියලා. ඒ වෙනකොට එයා හිටියේ එයාගේ වෘත්තියේ ඉහළම තැනක. එයාට උසස් වීමකුත් ලැබිලා තිබුණා. ඒක අත්හැරලා එන එක එයාට ලේසි වුණේ නැහැ. ඒත් මං වෙනුවෙන් එයා ඒ හැම දේම අත්හැරලා ආවා. ඇවිත් මහන්සි වෙලා වැඩ කරන්න තිබුණු ජීවිතයක් මාත් එක්ක ගත කරන්න එයා කැමති වුණා.

ග්වෙන්: ගොවිපොළේ ජීවිතේට හුරු වෙන එක නම් මට හරිම අමාරු වුණා. අව්ව වැස්ස, සීතල බලන්නේ නැතුව එළදෙනුන්ගෙන් කිරි දොවන්න, ඌරන්ට, කුකුළන්ට කන්න දෙන්න මට සිද්ධ වුණා. මට දැනුණේ හරියට වෙනම ලෝකෙකට ගියා වගේ. ඔය අතරේ ඩේවිඩ් කෘෂිකර්මය ගැන මාස 9ක පාඨමාලාවක් හදාරන්න ගියා. එයා එන කල් උදේ ඉඳන් හවස් වෙන කල් මං හිටියේ පාළුවෙන්. ඔය කාලෙදී තමයි අපේ වැඩිමල් දුව ඉපදුණේ. දවසක් ටවුමට ගිය වෙලාවක මං කාලෙක ඉඳන් අඳුනන කෙනෙක්ව හම්බ වුණා. එයාගේ නම ගේල්.

බැඳපු අලුත ගොවිපොළේ

එයා කිව්වා තේ ටිකක් බොන්න ගෙදර එන්න කියලා. එහෙදී එයාලගේ වෙඩින් ෆෝටෝ බලබල ඉද්දී මං දැක්කා ‘නමස්කාර මධ්‍යස්ථානය’ කියලා ගහලා තිබුණු තැනක ඉඳන් ගත්ත ෆෝටෝ එකක්. මං ගේල්ගෙන් ඇහුවා මේ පල්ලිය මොකක්ද කියලා. එතකොට තමයි මං දැනගත්තේ එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. මගේ නැන්දා කෙනෙකුත් සාක්ෂිකාරයෙක්. නැන්දා සාක්ෂිකාරියක් වුණු එක ගැන මගේ තාත්තා හිටියේ හරිම තරහෙන්. සාමාන්‍යයෙන් මගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. ඒත් ඇයි තාත්තා නැන්දා එක්ක මෙච්චර තරහෙන් හිටියේ කියලා ඒ කාලේ මට හිතුණා.

පල්ලියේ ඉගැන්වීම් සහ නැන්දා විශ්වාස කරපු දේවල් අතරේ තිබුණු වෙනස මට තේරුණේ ගේල් බයිබලෙන් දේවල් පැහැදිලි කළාට පස්සෙයි. ත්‍රිත්වය, අමරණීය ආත්මය වගේ ඉගැන්වීම් බයිබලේ නැහැ කියලා දැනගත්තම මට පුදුම හිතුණා. (දේශ. 9:5, 10; යොහ. 14:28; 17:3) දෙවිගේ නම ජීවිතේ පළවෙනි වතාවට මං දැක්කේ ගේල් ඒක බයිබලෙන් පෙන්නද්දියි.—නික්. 6:3.

ඩේවිඩ්: ගේල්ගෙන් ඉගෙනගන්න දේවල් ගැන ග්වෙන් ගෙදර ඇවිත් මාත් එක්කත් කතා කළා. ටික දවසකින් ගේලුයි එයාගේ මහත්තයායි එක්ක බයිබල් පාඩමක් කරන්න අපි කැමති වුණා. ඒත් මාස 6කට විතර පස්සේ අපේ පදිංචිය මාරු කරන්න අපිට සිද්ධ වුණා. ඒ ඕස්වෙස්ට්‍රිවල අපිටම කියලා ගොවිපොළක් කුලියට ගන්න අවස්ථාව ලැබුණු නිසයි. ඒ පැත්තේ හිටපු ඩියඩ්‍රි කියන සහෝදරිය තමයි ඊටපස්සේ අපේ පාඩම කළේ. ගොවිපොළේ හුඟක් වැඩ තිබුණු නිසා සත්‍යයේ අපිට ඉක්මනින් දියුණු වෙන්න බැරි වුණත් ඒ සහෝදරිය අත්හරින්නේ නැතුව අපිත් එක්ක පාඩම කරගෙන ගියා. ඒත් සත්‍යය ගැන අපේ හිතේ තිබුණු අගය නම් එන්න එන්නම වැඩි වුණා.

ග්වෙන්: මට හුඟක් අමාරු වුණේ මිථ්‍යා දේවල් ගැන තිබුණු විශ්වාසය නැති කරගන්නයි. වාසනාව ගැන විශ්වාසය තියලා වැඩ කරන එකට යෙහෝවා දෙවි සතුටු නැහැ කියලා යෙසායා 65:11 මං දැනගත්තා. වාසනාව ගේනවා කියලා හිතලා ළඟ තියාගත්ත දේවල් අයින් කරන්න සෑහෙන කාලයක් ගියා. ඒක කරන්න ශක්තිය ඉල්ලලා හුඟක් යාච්ඤා කරන්නත් වුණා. කලින් මං ටිකක් ආඩම්බරයි. ඒත් “උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි” කියන දේ ඉගෙනගත්ත නිසා යෙහෝවා දෙවි මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මං තේරුම්ගත්තා. (මතෙ. 23:12) තමන්ගේ එකම පුතාව අපි වෙනුවෙන් දෙන්න තරම් අපිට ආදරේ කරන යෙහෝවා දෙවිට සේවය කරන්න මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. ඒ වෙනකොට අපේ දෙවෙනි දුවත් ඉපදිලයි හිටියේ. අපිට පවුලක් විදිහට පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න ලැබෙනවා කියලා ඉගෙනගන්න ලැබුණු එක තරම් සතුටක් තවත් තිබුණේ නැහැ.

ඩේවිඩ්: මතෙව් 24වෙනි පරිච්ඡේදයෙත් දානියෙල් පොතෙත් තියෙන අනාවැකි ඉටු වෙන විදිහ තේරුම්ගත්තට පස්සේ මේක තමයි සත්‍යය කියලා මට ස්ථිර වුණා. යෙහෝවා දෙවි එක්ක බැඳීමක් තියාගන්න එක තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ කියලා මට තේරුණා. මං ගැන විතරක් හිතන්න මං පුරුදු වෙලා හිටියත් ටිකෙන් ටික ඒ හැඟීම් නැති කරගන්න මට පුළුවන් වුණා. මං වගේම මගේ බිරිඳත් දුවලා දෙන්නත් වටිනවා කියලා මං තේරුම්ගත්තා. විශාල ගොවිපොළක හිමිකරුවෙක් වෙලා ලොකු තැනක් ගන්න තිබුණු ආසාව නැති කරගෙන ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දෙන්න මට උදව් වුණේ ෆිලිප්පි 2:4 තියෙන අදහසයි. දුම් බොන එක මම සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. ඒ දවස්වල සෙනසුරාදා හවස තිබුණු අපේ රැස්වීම්වලට යන්න කි.මී. 10ක විතර දුරක් යන්න තිබුණා. එළදෙනුන්ගෙන් කිරි දොවන්න තිබුණෙත් රැස්වීම් තිබුණු වෙලාවටමයි. ඒත් ග්වෙන්ගේ උදව්වෙන් ඒ වැඩ ටික කරගත්ත නිසා අපි එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. කොච්චර වැඩ තිබුණත් හැම ඉරිදාම අපේ දුවලා දෙන්නා එක්ක සේවයේ යන එකත් අපි අතපසු කළේ නැහැ.

අපි සාක්ෂිකරුවන් වුණු නිසා අපේ නෑදෑයන් හිටියේ හරිම තරහෙන්. ග්වෙන්ගේ තාත්තා එයා එක්ක අවුරුදු 6ක් යන කල් කතා කළේ නැහැ. සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන එක නවත්තන්න මගේ දෙමාපියනුත් නිතරම වගේ උත්සාහ කළා.

ග්වෙන්: ඒ මොන අභියෝග ආවත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒවාට මුහුණ දෙන්න අපිට පුළුවන් වුණා. ඕස්වෙස්ට්‍රි සභාවේ අය හරියට අපේම පවුලේ අය වගේ අමාරු කාලවලදී අපි එක්කම හිටියා. (ලූක් 18:29, 30) අපි බව්තීස්ම වුණේ 1972දී. ඊටපස්සේ මං පුරෝගාමි සේවය පටන්ගත්තා.

තෘප්තියක් ගෙන දීපු කාර්යයක්

ඩේවිඩ්: ගොවිපොළේ වැඩ කරපු අවුරුදු ගාණම අපිට හුඟක් මහන්සි වෙන්න වුණා. ඒත් නමස්කාරයේ වැඩ අතපසු කරන්නේ නැතුව අපේ දුවලාට හොඳ ආදර්ශයක් වෙන්නයි අපිට ඕන වුණේ. ආණ්ඩුවෙන් ගොවිපොළවල්වලට දුන්න සහන අඩු කරපු නිසා අපි ගොවිපොළ ආයෙත් භාර දෙන්න තීරණය කළා. එතකොට අපේ තුන්වෙනි දුවට අවුරුද්දක් විතර ඇති. රස්සාවක්, ගෙයක් දොරක් නැතුව ඉන්න අතරේ යෙහෝවා දෙවිගේ උදව් සහ මඟ පෙන්වීම් ඉල්ලලා අපි හුඟක් යාච්ඤා කළා. පස්සේ අපි තීරණයක් ගත්තා නැටුම් පන්තියක් දාන්න. එතකොට සරල ජීවිතයක් ගත කරන ගමන් දෙවිට මුල් තැන දෙන්න පුළුවන් කියලා අපි හිතුවා. හිතුවා වගේම අපිට ප්‍රතිඵල ලැබුණා. අපේ දුවලා තුන්දෙනාම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ පුරෝගාමි සේවය කරන්න තීරණය කළා.

ලොකු දුවලා දෙන්නා විවාහ වුණාට පස්සේ නැටුම් පන්තිය අපි නවත්තලා දැම්මා. ඊටපස්සේ අපි ශාඛා කාර්යාලයට ලියුමක් ලිව්වා වෙන ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න කැමතියි කියලා. එංගලන්තයේ ගිනිකොන පැත්තට වෙන්න තිබුණු නගරෙකට යන්න අපිට අවස්ථාව ලැබුණේ එහෙමයි. අපිත් එක්ක හිටියේ බාල දුව විතරක් නිසා මමත් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඔහොම අවුරුදු 5ක් විතර ගෙවිලා ගියාට පස්සේ අපෙන් ඇහුවා උතුරට වෙන්න තියෙන නගරෙක සේවය කරන්න කැමතිද කියලා. බාල දුව විවාහ වුණාට පස්සේ ජාත්‍යන්තර ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන්නත් අපිට අවස්ථාව ලැබුණා. අවුරුදු 10ක් විතර සිම්බාබ්වේ, මෝල්දාවියාව, හංගේරියාව, අයිවරි කෝස්ට් වගේ රටවල ඒ සේවය කරන්න ලැබුණු එක අපි ලබපු වරප්‍රසාදයක්. ඊටපස්සේ අපි ආයෙත් එංගලන්තයට ඇවිත් ලන්ඩන් බෙතෙල් එකේ ඉදි කිරීම් වැඩවලට හවුල් වුණා. බෙතෙල් එකේ තිබුණු ගොවිපොළේ වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේ වෙනකොට අපි පුරෝගාමි සේවය කරන්නේ එංගලන්තයේ වයඹ පැත්තට වෙන්න තියෙන ප්‍රදේශයක.

ජාත්‍යයන්තර ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න ලැබුණු එක කියාගන්න බැරි තරම් සතුටක්

ග්වෙන්: මුලින් අපි දෙන්නම අපේ ජීවිත කැප කරලා තිබුණේ බැලේ නැටුම්වලට. ඒකෙන් අපි සතුටක් ලැබුවා. ඒත් ඒක තාවකාලිකයි. ඊටපස්සේ තමයි අපි වැදගත්ම දේට අපේ ජීවිත කැප කළේ. ඒ යෙහෝවා දෙවිට සේවය කරන්න. ඒකෙන් ලැබෙන සතුට වෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැහැ. ඒක සදාකාලිකයි. එදා බැලේ නර්තන යුවළක් විදිහට පටන්ගත්ත ජීවිතේ අද අපි පුරෝගාමි යුවළක් විදිහට සතුටින් ගත කරනවා. දෙවි ගැන ඉගෙනගන්න හුඟක් අයට උදව් කරන එකෙන් අපි ලබන්නේ ලොකු සතුටක්. ඒ අය හරියට අපිට ලැබුණු “සහතිකපත්” වගේ. (2 කොරි. 3:1, 2) ඒ සහතිකපත් ලෝකෙ තියෙන මොනම ජනප්‍රියත්වයකට වඩා අපිට වටිනවා. සත්‍යය ලැබුණේ නැත්නම් අද වෙනකොට අපිට ඉතුරු වෙන්නේ ජනප්‍රිය ජීවිතේ මතකයන් විතරයි. අපිට සිද්ධ වෙන්නේ ෆෝටෝ බලලා ඒ අතීතය සිහි කරන්න විතරයි.

ඩේවිඩ්: යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් ජීවිතේ කැප කරපු නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණා. හොඳ සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක් වෙන්න මට පුළුවන් වුණා. මිරියම්, දාවිත් වගේ අය හිතේ සතුට පෙන්නන්න නටපු විදිහ ගැන බයිබලේ කියනවා. ළඟදීම යෙහෝවා දෙවි දෙන පාරාදීස පොළොවේදී හිතේ හැටියට සතුටින් නටන්න අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.නික්. 15:20; 2 සාමු. 6:14.