Skip to content

පටුනට යන්න

ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?

ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?

“සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.මතෙ. 25:13.

1, 2. (අ) අවසාන කාලය ගැන යේසුස් කිව්වේ මොනවද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

යේසුස් ඔලීව කන්දේ තැතකට වෙලා ඈතින් පේන දේවමාලිගාව දිහා බලාගෙන යම් දෙයක් කියනවා. පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන් කියන ගෝලයෝ හතරදෙනා ඔහු ළඟින්ම වාඩි වෙලා ඔහු කියන දේ අහගෙන ඉන්නවා. යේසුස් මොනවා කියනවා ඇති කියලද ඔයා හිතන්නේ? යේසුස් මේ කියන්නේ අනාවැකියක්. මේ දුෂ්ට සමාජයේ අවසාන කාලෙදී දේවරාජ්‍යයේ රජු විදිහට ඔහු පාලනය කරනකොට සිද්ධ වෙන දේවල් ගැන අනාවැකියක්. ඒ කාලෙදී පොළොවේ ඔහුව නියෝජනය කරන්න “විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙක්” ඉන්නවා කියලත් ඒ දාසයා තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය නියම වෙලාවට දෙනවා කියලත් යේසුස් කියනවා.මතෙ. 24:45-47.

2 ඔය අනාවැකිය කියන අතරේම යේසුස් අවිවාහක තරුණියන් දහදෙනෙක් ගැන උපමාවක් කිව්වා. (මතෙව් 25:1-13 කියවන්න.) ඔහු ඒ උපමාවෙන් දෙන්න හදපු පණිවිඩය මොකක්ද? විශ්වාසවන්ත අභිෂේක ලත් අය ඒ පණිවිඩය අදාළ කරගෙන තියෙන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? ඒ උපමාව අපි එක් එක් කෙනාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.

උපමාවේ පණිවිඩය මොකක්ද?

3. කලින් අපේ ප්‍රකාශනවල අවිවාහක තරුණියන් දහදෙනාගේ උපමාව පැහැදිලි කළේ කොහොමද? ඒ නිසා මොකක් වෙන්න ඉඩ තිබුණද?

3 විශ්වාසවන්ත දාසයා බයිබලේ සඳහන් සමහර සිද්ධීන් විස්තර කරන විදිහේ යම් වෙනසක් කරලා තියෙනවා කියලා අපි කලින් ලිපියේ බැලුවා. බයිබලේ තියෙන යම් සිද්ධියකින් නියෝජනය වෙන දේ විස්තර කරනවට වඩා ඒකෙන් ගන්න පුළුවන් පාඩම් ගැන දාසයා දැන් වැඩි අවධානයක් දෙනවා. යේසුස් කියපු අවිවාහක තරුණියන් දහදෙනාගේ උපමාව ගැන දාසයා මොනවද කියන්නේ කියලා දැන් අපි බලමු. කලින් අපේ ප්‍රකාශනවල කිව්වේ උපමාවේ සඳහන් පහන්වලින්, තෙල්වලින්, බඳුන්වලින් යම් දේවල් නියෝජනය වෙනවා කියලයි. ඒ හැම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතන එකෙන් යේසුස් දෙන්න හදපු ප්‍රධානම පණිවිඩය යට යන්න ඉඩහැරියා වෙන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට උත්තර දැනගන්න එක වැදගත්.

4. (අ) උපමාවේ සඳහන් මනාලයා කවුද කියලා අපි දන්නේ කොහොමද? (ආ) අවිවාහක තරුණියන් කවුද කියලා අපිට දැනගන්න පුළුවන් කොහොමද?

4 යේසුස් ඒ උපමාවෙන් දෙන්න හදපු ප්‍රධාන පණිවිඩය මොකක්ද? ඉස්සෙල්ලම ඒ උපමාවේ ඉන්න චරිත ගැන හිතන්න. ඒ කියන්නේ මනාලයා සහ අවිවාහක තරුණියන් දහදෙනා ගැන හිතන්න. මනාලයා කියන්නේ යේසුස්. මොකද කලින් අවස්ථාවක යේසුස්ම තමන්ව මනාලයා හැටියට හැඳින්නුවා. (ලූක් 5:34, 35) එතකොට අවිවාහක තරුණියන් දහදෙනා කවුද? ඒ අය තමයි යේසුස්ගේ “කුඩා රැළට” අයිති අභිෂේක ලත් සියලුදෙනා. අපි ඒක දන්නේ කොහොමද? උපමාවේ කියන විදිහට මනාලයා එනකොට ඒ තරුණියන් ඔවුන්ගේ පහන් දල්වාගෙන ලෑස්ති පිට ඉන්න ඕනේ. දැන් ඒක සම්බන්ධ කරන්න යේසුස් අභිෂේක ලත් අයට කියන මේ දේට. “සූදානම් වී සිට ඔබේ පහන් දල්වා තබාගන්න. ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි.” (ලූක් 12:32, 35, 36) පාවුල් සහ යොහන් කියන දෙන්නත් අභිෂේක ලත් අයව නිර්මල තරුණියකට සමාන කළා. (2 කොරි. 11:2; එළි. 14:4) එහෙමනම් මතෙව් 25:1-13 දක්වා තියෙන අවවාද සහ අනතුරු ඇඟවීම් අදාළ වෙන්නේ අභිෂේක ලත් අයට කියලා හොඳටම පැහැදිලියි.

5. උපමාව අදාළ වෙන්නේ කොයි කාලයටද කියලා යේසුස් කියපු දේකින් පැහැදිලි වෙන්නේ කොහොමද?

5 මේ උපමාව අදාළ වෙන්නේ මොන කාලෙටද? ඒක තේරුම්ගන්න උපමාවේ අන්තිම හරියේ යේසුස් කියපු දෙයක් අපිට උදව් වෙනවා. ඔහු එතන කියනවා “මනාලයා පැමිණියා” කියලා. (මතෙ. 25:10) 2013 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන අපි යමක් ඉගෙනගත්තා මතකද? ඒ තමයි මතෙව් 24 සහ 25වෙනි පරිච්ඡේදවල යේසුස්ගේ පැමිණීම ගැන 8 වතාවක් සඳහන් වෙනවා කියන දේ. ඒ අට වතාවෙන්ම යේසුස් අදහස් කළේ මහත් පීඩාව අතරතුර මේ දුෂ්ට සමාජය විනිශ්චය කරන්න යේසුස් පැමිණෙන අවස්ථාවයි. එහෙමනම් මේ උපමාව අදාළ වෙන්නේ අවසාන කාලයට කියලත් මනාලයාගේ පැමිණීම අදාළ වෙන්නේ මහත් පීඩාව අතරතුර යේසුස් පැමිණෙන අවස්ථාවටයි කියලත් අපිට කියන්න පුළුවන්.

6. උපමාවේ දෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද?

6 මේ උපමාවේ දෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? ඒක තේරුම්ගන්න මේ උපමාවට කලින් යේසුස් කතා කළේ මොනවා ගැනද කියලා බලන්න. මතෙව් 24වෙනි පරිච්ඡේදයේ යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන කතා කරනවා. ඒ දාසයා තමයි මේ අවසාන දවස්වල දෙවිගේ සේවකයන් අතරේ මූලිකත්වය අරන් වැඩ කරන අභිෂේක ලත් සහෝදරයන් කීපදෙනෙකුගෙන් සෑදුණු කුඩා කණ්ඩායම. ඔවුන් දිගටම විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලා යේසුස් ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. මතෙව් 25වෙනි පරිච්ඡේදයේ සඳහන් අවිවාහක තරුණියන් දහදෙනාගේ උපමාව යේසුස් කිව්වේ ඊටපස්සෙයි. ඔහු ඒක කිව්වේ අවසාන දවස්වල ඉන්න සියලුම අභිෂේක ලත් අයට යම් පණිවිඩයක් දෙන්නයි. ඒක තමයි “සෝදිසියෙන් සිටින්න” කියන පණිවිඩය. (මතෙ. 25:13) එහෙම හිටියොත් ස්වර්ගයේ ජීවත් වෙන්න ඔවුන්ට තියෙන බලාපොරොත්තුව නැති වෙන්නේ නැහැ.

උපමාව අභිෂේක ලත් අය අදාළ කරගත්තේ කොහොමද?

7, 8. (අ) තරුණියන් පස්දෙනෙක් නුවණ ඇතුව වැඩ කළා කියන්න තියෙන හේතු 2 මොනවද? (ආ) අභිෂේක ලත් අය සූදානමින් ඉන්නේ කොහොමද?

7 යේසුස් උපමාවෙන් කියපු වැදගත් දෙයක් තිබුණා. ඒ තමයි තරුණියන් දහදෙනාගෙන් පස්දෙනෙක් නුවණ ඇතුව වැඩ කළා කියන දේ. ඔවුන් නුවණ ඇතුව වැඩ කළා කියන්න හේතු 2ක් තියෙනවා. එකක් ඔවුන් සූදානමින් හිටියා. අනිත් දේ ඔවුන් සෝදිසියෙන් හිටියා. එදා රෑ ඒ තරුණියන් දහදෙනාම කරන්න ඕන වුණේ ඔවුන්ගේ පහන් දල්වාගෙන ලෑස්ති පිට ඉන්න එකයි. නුවණ ඇති තරුණියන් පස්දෙනා වැඩිපුර තෙල් අරන් ගිය නිසා ඔවුන්ට ඒක කරන්න පුළුවන් වුණා.

8 මේ අවසාන කාලය පුරාම විශ්වාසවන්ත අභිෂේක ලත් අය නුවණ ඇති තරුණියන් වගේ සූදානමින් ඉන්නේ කොහොමද? (1) ඔවුන්ට භාර දීලා තියෙන පැවරුම අවසානය දක්වා ඉටු කරන්න ලෑස්ති පිට ඉන්නවා. (2) දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න නම් සාතන්ගේ ලෝකෙ සැප පහසු ජීවිතය අත්හරින්න වෙනවා කියලා තේරුම් අරන් ඒක කැමැත්තෙන්ම කරනවා. (3) ඔවුන් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න අදිටන් කරගෙන ඉන්නේ විනාශය ළඟ නිසා නෙමෙයි යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ඔවුන් ආදරේ කරන නිසයි කියලා ජීවත් වෙන විදිහෙන් ඔප්පු කරනවා. (4) මේ ලෝකෙ සැප සම්පත්වලට, අනාචාර දේවලට සහ ආත්මාර්ථකාමී හැඟීම්වලට ඔවුන් තුළ තියෙන විශ්වාසය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. නුවණ ඇති තරුණියන් පහන් දල්වාගෙන සූදානමින් හිටියා වගේ ඔවුනුත් ඒ විදිවලින් මනාලයා එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ඔහුගේ පැමිණීම ප්‍රමාදයි කියලා පේන්න තිබුණත් ඔවුන් ඒක කරනවා. ඒ කාලය තුළ ඔවුන් මේ ලෝකෙ බැබළෙන පහන් හා සමානව දිගටම ක්‍රියා කරනවා.ෆිලි. 2:15.

9. (අ) කෙනෙක්ගේ මනස වෙන පැත්තකට යන්න පුළුවන් කියලා යේසුස් උපමාවෙන් පෙන්නුවේ කොහොමද? (ආ) අභිෂේක ලත් අය “මෙන්න මනාලයා ඇවිත්” කියන හඬ තේරුම් අරන් තියෙනවා කියලා අපි දන්නේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

9 නුවණ ඇතුව වැඩ කළා කියලා කියන්න තියෙන දෙවෙනි හේතුව ඒ කියන්නේ සෝදිසියෙන් හිටපු එක ගැන දැන් අපි බලමු. මනාලයා එන්න ප්‍රමාදයි කියලා දැනුණ නිසා ඒ තරුණියන් “සියල්ලන්ම නිදිබර වී නිදාගත්තා” කියලා යේසුස් කියනවා. ඒකෙන් අදහස් කළේ අද ඉන්න අභිෂේක ලත් අයත් නිදිබර වෙන්න පුළුවන් කියන එකද? ඒ කියන්නේ යේසුස් එන කල් බලාගෙන ඉන්න කාලේ අතරතුර ඔවුන්ගේ මනස් වෙන දේවලට යොමු වෙන්න පුළුවන් කියන එකද? ඔව්. කෙනෙක් මොන තරම් කැමැත්තකින්, උනන්දුවකින් හිටියත් උරුම වෙලා තියෙන පව්කාරකම නිසා මනස වෙන පැත්තකට යොමු වෙන්න පුළුවන් කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු ඒ වගේ දෙයක් කිව්වේ. ඒ අනතුරු ඇඟවීම තේරුම්ගත්ත විශ්වාසවන්ත අභිෂේක ලත් අය මේ අවසාන කාලේ සෝදිසියෙන් ඉන්න වෙන කවරදාකටත් වඩා ලොකු උත්සාහයක් දරනවා. “මෙන්න මනාලයා ඇවිත්” කියලා කියද්දී තරුණියෝ දහදෙනාටම ඒක ඇහිලා මනාලයාව පිළිගන්න ලෑස්ති වෙනවා. ඒත් නුවණ ඇති තරුණියන් පස්දෙනා විතරයි මනාලයා එන කල්ම සෝදිසියෙන් හිටියේ. (මතෙ. 25:5, 6; 26:41) ඒ වගේ මේ අවසාන දවස්වල ඉන්න විශ්වාසවන්ත අභිෂේක ලත් අයත් “මෙන්න මනාලයා ඇවිත්” කියන හඬ තේරුම් අරන් තියෙනවා. ඒ කොහොමද? යේසුස්ගේ පැමිණීම අත ළඟයි කියන දේට තියෙන ප්‍රබල සාක්ෂි ඔවුන් අවබෝධ කරගෙන ඔහුව පිළිගන්න ලෑස්ති පිට ඉන්නවා. * දැන් අපි යේසුස්ගේ උපමාවේ අන්තිම කොටස අදාළ වෙන කාල පරිච්ඡේදය ගැන බලමු.

ආශීර්වාද සහ දඬුවම්

10. තෙල් දෙන්න අකමැති වෙන එකෙන් මතු වෙන ප්‍රශ්නේ මොකක්ද?

10 උපමාවේ අවසන් හරියේදී අනුවණ තරුණියන් නුවණ ඇති තරුණියන්ගෙන් තෙල් ඉල්ලනවා. නුවණ ඇති තරුණියන් ඒකට කැමති වෙන්නේ නැහැ. (මතෙව් 25:8, 9 කියවන්න.) ඒත් විශ්වාසවන්ත අභිෂේක ලත් අය උදව් ඕන අයට උදව් කරන්න කැමති පිරිසක් කියලා අපි දන්නවා. එහෙමනම් ඔවුන් ඒ අවස්ථාවේ උදව් කරන්නේ නැත්තේ ඇයි? ඒකට හොඳ හේතුවක් ඇති. ඒක තේරුම්ගන්න අපි උපමාව ඉටු වෙන කාලය ගැන මතක් කරගමු. මනාලයා වන යේසුස් විනිශ්චය කරන්න එන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දියි. එහෙමනම් තෙල් ඉල්ලන සිද්ධිය වෙන්න ඕනෙත් මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දියි. පේන විදිහට ඒ වෙනකොට අභිෂේක ලත් අයට අවසන් මුද්‍රාව ලැබිලා තියෙයි.

11. (අ) මහත් පීඩාව පටන්ගන්න කලින් වෙන්නේ මොකක්ද? (ආ) ගිහින් තෙල් මිල දී ගන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

11 ඒ කියන්නේ මහත් පීඩාව පටන්ගන්න කලින් පොළොවේ ඉන්න විශ්වාසවන්ත අභිෂේක ලත් හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම අවසන් මුද්‍රාව ලැබිලා තියෙයි. (එළි. 7:1-4) ඒක ලැබුණට පස්සේ ඔවුන්ට ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙනවා කියලා ඔවුන් නිසැකවම දන්නවා. ඒත් මහත් පීඩාවට කලින් ගත වුණු අවුරුදුවල සෝදිසියෙන් ඉන්නේ නැතුව අවිශ්වාසවන්ත වුණු අභිෂේක ලත් අය ගැන හිතන්න. ඔවුන්ට අවසන් මුද්‍රාව ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනුවට වෙනත් විශ්වාසවන්ත අයව අභිෂේක කරනවා. මහත් පීඩාවේ ආරම්භයත් එක්කම මහ බැබිලෝනිය විනාශ වෙනවා දකිද්දී ඒ අනුවණ අය කලබල වෙනවා. යේසුස්ගේ පැමිණීමට තමන් සූදානම් නැහැ කියලා ඔවුන්ට තේරෙන්නේ එතකොටයි. ඒ කාලෙදී තමන්ට උදව් කරන්න කියලා ඔවුන් විශ්වාසවන්ත අභිෂේක ලත් අයගෙන් ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඒකට උත්තරේ උපමාවේ තියෙනවා. නුවණ ඇති තරුණියෝ තෙල් දෙන්න කැමති වුණේ නැහැ. ගිහින් තෙල් මිල දී ගන්න කියලා ඔවුන් කියනවා. ඒක “මධ්‍යම රාත්‍රියේ” සිද්ධ වෙන නිසා තෙල් විකුණන්න කිසි කෙනෙක් නැහැ. ඔවුන් ප්‍රමාද වැඩියි.

12. (අ) අවසන් මුද්‍රාව නොලැබුණු අභිෂේක ලත් අය මහත් පීඩාව අතරතුරේදී කරන්නේ මොකක්ද? (ආ) ඔවුන්ට අවසානයේදී වෙන්නේ මොකක්ද?

12 අවිශ්වාසවන්ත වුණු කිසි කෙනෙකුට මහත් පීඩාව අතරතුරේදී උදව් කරන්න විශ්වාසවන්ත අභිෂේක ලත් අයට පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. එහෙමනම් ඒ අවිශ්වාසවන්ත අයට වෙන්නේ මොකක්ද? උපමාවේ තෙල් මිල දී ගන්න ගිය අනුවණ තරුණියන්ට වෙන දේ බලන්න. “ඔවුන් තෙල් මිල දී ගැනීමට පිටත්ව යන අතරතුර මනාලයා පැමිණි අතර සූදානම්ව සිටි තරුණියන් ඔහු සමඟ විවාහ උත්සවයට ගියා. ඉන්පසුව දොර වසා දමනු ලැබුවා.” මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටු වෙද්දී යේසුස් ඇවිත් විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. (මතෙ. 24:31; 25:10; යොහ. 14:1-3; 1 තෙස. 4:17) ඒත් අවිශ්වාසවන්ත අයට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා. එතකොට අනුවණ තරුණියන් වගේ ඔවුනුත් මෙහෙම කියයි. “මහත්මයාණෙනි, මහත්මයාණෙනි, අපට දොර අරින්න.” ඒත් යේසුස් ඔවුන්ට උත්තර දෙන්නේ එළුවන් වැනි අයට දෙන මේ උත්තරේමයි. “ඇත්තෙන්ම මම ඔබව හඳුනන්නේ නැහැ.”මතෙ. 7:21-23; 25:11, 12.

13. (අ) අභිෂේක ලත් අයගෙන් වැඩිදෙනෙක් අවිශ්වාසවන්ත වෙයි කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි? (ආ) අභිෂේක ලත් අය ගැන යේසුස්ට තියෙන නිසැකකම මේ උපමාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

13 අභිෂේක ලත් අයගෙන් වැඩිදෙනෙක් අවිශ්වාසවන්ත වෙනවා කියලත් ඔවුන් වෙනුවට වෙන අයව තෝරගන්නවා කියලත් යේසුස් උපමාවෙන් අදහස් කළාද? නැහැ. මතකද, මතෙව් 24වෙනි පරිච්ඡේදයේ යේසුස් විශ්වාසවන්ත දාසයාට දුන්න අනතුරු ඇඟවීම? ඔහු ඔවුන්ට කිව්වේ දුෂ්ට දාසයෙක් වෙන්න එපා කියලයි. ඒකෙන් අදහස් කළේ ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම වෙනවා කියලා ඔහු බලාපොරොත්තු වෙනවා කියන දේ නෙමෙයි. යේසුස් කිව්ව තරුණියන් දහදෙනාගේ උපමාවත් ඒ වගේම අනතුරු ඇඟවීමක්. පස්දෙනෙක් නුවණ ඇතුවත් පස්දෙනෙක් අනුවණ විදිහටත් වැඩ කළා වගේ තමන් සූදානමින්, සෝදිසියෙන් ඉන්නවද නැද්ද කියන තේරීම කරන්න හැම අභිෂේක ලත් කෙනෙක්ටම අවස්ථාව තියෙනවා. අභිෂේක ලත් අයට දුන්න ඒ වගේම අනතුරු ඇඟවීමක් හෙබ්‍රෙව් පොතෙත් තියෙනවා. (හෙබ්‍රෙව් 6:4-9 කියවන්න; ද්විතීය කතාව 30:19 බලන්න.) පාවුල් එතනදී කළේ ඔවුන්ට ප්‍රබල අනතුරු ඇඟවීමක් දුන්න එකයි. එහෙම නැතුව ඔවුන් අවිශ්වාසවන්ත වෙයි කියලා සැකයක් ඔහුට තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ත්‍යාගය ලබාගනියි කියන නිසැකකම ඔහුට තිබුණා. යේසුස් තරුණියන් දහදෙනාගේ උපමාවෙන් අභිෂේක ලත් අයට අනතුරු ඇඟවීමක් දුන්නත් ඒකෙන් අදහස් කරන්නේ ඔහු ඔවුන්ව සැක කරනවා කියන දේ නෙමෙයි. දිගටම විශ්වාසවන්තව ඉඳලා ඒ පුදුමාකාර තෑග්ග ලබන්න අභිෂේක ලත් හැම කෙනෙක්ටම පුළුවන්කම තියෙනවා කියලා ඔහුට නිසැකයි.

වෙනත් බැටළුවන්ටත් උපමාවෙන් පාඩමක්

14. අවිවාහක තරුණියන්ගේ උපමාව ‘වෙනත් බැටළුවන්ටත්’ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

14 යේසුස් කියපු ඒ උපමාවෙන් “වෙනත් බැටළුවන්ටත්” ප්‍රයෝජන ගන්න පුළුවන්ද? (යොහ. 10:16) ඔව්. ඒ උපමාවෙන් දෙන්න හදපු පණිවිඩය හරිම සරලයි. ඒ තමයි “සෝදිසියෙන් සිටින්න” කියන දේ. යේසුස් එක අවස්ථාවක මෙහෙමත් කිව්වා. “මා ඔබට කියන දේ සියලුදෙනාටම කියන්න කැමතියි. එනම් සෝදිසියෙන් සිටින්න.” (මාක් 13:37) තමන්ගේ හැම අනුගාමිකයෙක්ම සූදානමින්, සෝදිසියෙන් ඉඳියි කියලා යේසුස් බලාපොරොත්තු වෙනවා. දේවසේවයට ජීවිතේ මුල් තැන දෙන අභිෂේක ලත් අයගේ ආදර්ශය හැම ක්‍රිස්තියානියෙකුටම අනුගමනය කරන්න පුළුවන්. අනුවණ තරුණියන් නුවණ ඇති තරුණියන්ගෙන් තෙල් ඉල්ලුවත් ඔවුන්ට ලැබුණේ නැහැ. ඒකෙන් අපි තේරුම්ගන්න ඕනෙ කාරණයක් තියෙනවා. ඒ තමයි දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න එක අපි එක් එක් කෙනාට පැවරිලා තියෙන කාර්යයක් කියන දේ. ඒ වගේම දිගටම සූදානමින්, සෝදිසියෙන් ඉන්න එකත් අපි එක් එක් කෙනාගේ වගකීමක්. අපි වෙනුවෙන් ඒ දේ කරන්න වෙන කෙනෙකුට බැහැ. අපි හැමෝම තනි තනි පුද්ගලයන් විදිහට ධර්මිෂ්ඨ විනිශ්චයකරු වන යේසුස්ට ගණන් දෙන්න ඕනේ. ඒ දේට අපි හැමෝම සූදානමින් ඉමු. ඔහුගේ පැමිණීම අත ළඟයි!

ගිහින් තෙල් මිල දී ගන්න කියන එකෙන් මතක් කරන්නේ අපි වෙනුවෙන් සෝදිසියෙන්, විශ්වාසවන්තව ඉන්න වෙන කාටවත් බැහැ කියලයි

15. ස්වර්ගයේ සිද්ධ වෙන විවාහය ගැන හැම ක්‍රිස්තියානියෙක්ම ප්‍රීති වෙන්නේ ඇයි?

15 තරුණියන් දහදෙනාගේ උපමාවේ සඳහන් විවාහ මංගල්‍යය ගැන හැම ක්‍රිස්තියානියෙක්ම ප්‍රීතියෙන් ඉපිල යනවා. හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ අභිෂේක ලත් අය යේසුස්ගේ මනාලිය විදිහට ඔහුගේ අත ගන්නවා. (එළි. 19:7-9) එදාට පොළොවේ ඉන්න හැම කෙනාටම ප්‍රයෝජන ලැබෙනවා. මොකද ඒ විවාහය නිසා මිනිසුන්ව පාලනය කරන ධර්මිෂ්ඨ පාලනයක් පටන්ගන්නවා. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් දිගටම සූදානමින්, සෝදිසියෙන් ඉන්න අදිටන් කරගමු. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන ලස්සන අනාගතය අපිට ලැබෙනවා නිසැකයි.

^ 9 ඡේ. උපමාවේ “මෙන්න මනාලයා ඇවිත්” කියන හඬ ඇහෙන අවස්ථාවේ (6වෙනි පදය) ඉඳන් මනාලයාගේ පැමිණීම සිද්ධ වෙන අවස්ථාව (10වෙනි පදය) වෙන කල් යම් කාලයක් ගත වුණා. යේසුස් පැමිණ සිටින කාලය ගැන කියපු ලකුණ අවබෝධ කරගත්ත නිසා යේසුස් දේවරාජ්‍යයේ රජු විදිහට පාලනය කරන්න පටන් අරන් කියලා අභිෂේක ලත් අය තේරුම්ගත්තා. ඒ වුණත් ඔහු පැමිණෙන කල් ඒ කියන්නේ මේ අවසාන කාලය පුරාම සෝදිසියෙන් ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔවුන් දන්නවා.