Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!

යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!

“ජනයෙනි, සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.”—ගීතා. 62:8.

1-3. යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලා පාවුල්ට ස්ථිර වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

 පළවෙනි සියවසේ රෝමයේ හිටපු ක්‍රිස්තියානීන් ජීවත් වුණේ භයානක කාලෙක. ඒ කාලේ රෝමවරුන් ක්‍රිස්තියානීන්ට කෲර විදිහට පීඩා කළා. රෝමයේ ඇති වුණු විශාල ගින්න ගැන ඔවුන් වරද පැටෙව්වේ ක්‍රිස්තියානීන්ට. ඒ වගේම ක්‍රිස්තියානීන් මිනිසුන් එක්ක වෛරයෙන් ඉන්නවා කියලත් චෝදනා කළා. ඔය හේතු නිසා හුඟක් ක්‍රිස්තියානීන්ව අත්අඩංගුවට ගත්තා. සමහරුන්ව පණපිටින්ම දරුණු වනසතුන් ඉන්න තැන්වලට දැම්මා. ඒ සතුන් ඔවුන්ව කෑලි කෑලිවලට ඉරලා දැම්මා. තවත් අයව කණුවල ඇණ ගහලා පණපිටින්ම පිච්චුවා. රාත්‍රියේ අඳුර මකන්න පහන් කණු විදිහට යොදාගත්තේ ඇවිළෙන ඔවුන්ගේ සිරුරුයි. හිතන්න ඔයා ඒ කාලේ ජීවත් වුණා කියලා. කොයි වෙලාවේ හරි ඒ දරුණු දේවලට ඔයාටත් මුහුණ දෙන්න වෙනවා කියලා ඔයා දන්නවා. ඔයාට කොහොම හැඟෙයිද?

2 ඔය කාලෙදී තමයි පාවුල්ව රෝමයේදී දෙවෙනි වතාවටත් සිරගත කළේ. ඒ වෙලාවේ සහෝදරයන් තමන්ගේ උදව්වට එයිද කියලා ඔහු කල්පනා කරන්න ඇති. මොකද මීට කලින් සිරගත කරපු වෙලාවේ ඔහුගේ උදව්වට කවුරුත් ආවේ නැහැ. ඒත් ඒ වෙලාවේ ඔහුගේ උදව්වට යේසුස් හිටියා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. ‘ස්වාමීන් මා ළඟ සිටිමින් මාව බලවත් කළේය. මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.’—2 තිමෝ. 4:16, 17. a

3 කලින් අවස්ථාවලදී යෙහෝවා දෙවි තමන්ට උදව් කරපු විදිහ පාවුල් මතක් කරගත්තා. ඒ නිසා මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි ඉදිරියේදී එන ඕනම අමාරු අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි දෙනවා කියලා පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. “ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවාගන්නවා” කියලා ස්ථිරව කියන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. (2 තිමෝ. 4:18) තමන්ට උදව් කරන්න සහෝදරයන්ට බැරි අවස්ථාවලදී වුණත් තමන්ගේ උදව්වට යෙහෝවා දෙවි සහ යේසුස් ඉන්නවා කියලා ඔහු අද්දැක්කා.

යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න

4, 5. (අ) ඕනම වෙලාවක ඔයාගේ උදව්වට ඉන්නේ කවුද? (ආ) යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

4 ප්‍රශ්න ගැටලු එද්දී ‘මං තනි වෙලා, මට උදව් කරන්න කවුරුත් නැහැ’ කියලා ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවද? රැකියාව නැති වුණු වෙලාවක, ඉස්කෝලෙදී ලොකු පීඩනයකට මුහුණ දෙන්න වුණු වෙලාවක, දරුණු අසනීපයක් හැදුණු වෙලාවක නැත්නම් වෙනත් දුෂ්කර අවස්ථාවකදී ඔයාට එහෙම හිතිලා තියෙනවද? වෙන අයගෙන් උදව් ඉල්ලුවත් ඕන කරන උදව් ලැබුණේ නැති නිසා දුකක්, කලකිරීමක් ඇති වෙලා තියෙනවද? අපේ සමහර ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මිනිසුන්ට බැහැ කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඒ වගේ වෙලාවලදී “යෙහෝවා දෙවිව විශ්වාස කරන්න” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 3:5, 6) ඒත් දෙවි ඇත්තටම ඔයාට උදව් කරයිද? ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා. තමන්ගේ සෙනඟට යෙහෝවා දෙවි උදව් කරපු සිද්ධීන් බයිබලේ ඕන තරම් තියෙනවා. දෙවි ගැන අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඒ සිද්ධීන් අපිට උදව්වක්.

5 අනිත් අය ඔයාට උදව් කළේ නැහැ කියලා හිතේ තරහක් ඇති කරගන්න එපා. අමාරු දේකට මුහුණ දෙද්දී ඒ අවස්ථාව යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියන්න ඔයාට ලැබෙන අවස්ථාවක් විදිහට සලකන්න. ඒ වගේම දෙවි ඔයා ගැන කොච්චර සැලකිල්ලක් දක්වනවද කියලා දැනගන්න ලැබෙන අවස්ථාවක් විදිහට ඒක සලකන්න. යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී දෙවි එක්ක තියෙන ඔයාගේ බැඳීම තවත් ශක්තිමත් වෙයි.

ශක්තිමත් බැඳීමකට විශ්වාසය ඕනෙමයි

6. අමාරු ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන එක ලේසි නැත්තේ ඇයි?

6 සමහරවිට හිතට වධ දෙන, අමාරු ප්‍රශ්නෙකට ඔයා මුහුණ දෙමින් ඉන්නවා ඇති. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම ඔයා කරලත් ඇති. ඒ ගැන කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරලත් ඇති. එහෙමනම් ඔහු ඔයාට උදව් කරයි කියන විශ්වාසයෙන් සන්සුන්ව ඉන්න දැන් ඔයාට පුළුවන්ද? ඔව්. (ගීතාවලිය 62:8; 1 පේතෘස් 5:7 කියවන්න.) දෙවිව ඔයාගේ කිට්ටුම යාළුවා කරගන්න නම් ඔහුව විශ්වාස කරලා වැඩ කරන්න ඉගෙනගන්න ඕනේ. ඒත් යෙහෝවා දෙවි සමහර වෙලාවට ඔයා හිතන තරම් ඉක්මනින් ඔයාගේ යාච්ඤාවට උත්තර දෙන්නේ නැති නිසා ඒක ලේසි නැහැ.—ගීතා. 13:1, 2; 74:10; 89:46; 90:13; හබ. 1:2.

7. දෙවි සමහර වෙලාවට අපි හිතන තරම් ඉක්මනින් යාච්ඤාවට උත්තර දෙන්නේ නැත්තේ ඇයි?

7 දෙවි සමහර වෙලාවට අපි හිතන තරම් ඉක්මනින් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? බයිබලේ කියන්නේ යෙහෝවා දෙවි තාත්තා කෙනෙක් වගේ කියලයි. (ගීතා. 103:13) තාත්තා කෙනෙක් දරුවා ඉල්ලන ඉල්ලන හැම දේම අරන් දෙන්නෙවත් ඉල්ලපු ගමන් ඒක අරන් දෙන්නෙවත් නැහැ. සමහරවිට දරුවා යම් දෙයක් ඕනෙ කියලා ඉල්ලුවත් ටික වෙලාවකින් ඒක එයාට ඕනෙ නැති වෙන්න පුළුවන්. දරුවාට හොඳම දේ මොකක්ද කියලත් ඒක දෙන්න ඕන හොඳම වෙලාව මොකක්ද කියලත් තාත්තා දන්නවා. දරුවා ඉල්ලන දේ අරන් දුන්නොත් ඒක අනිත් අයට කොහොම බලපායිද කියලත් තාත්තා හිතනවා. අනික දරුවා ඉල්ලන හැම දේම අරන් දෙන්න ගියොත් තාත්තා දරුවාගේ සේවකයෙක් වෙනවා. අපේ තාත්තා වන යෙහෝවා දෙවි අපිට ආදරෙයි. අපිව නිර්මාණය කරපු කෙනා විදිහට අපිට ඕනෙ මොනවද කියලත් ඒක දෙන්න සුදුසුම වෙලාව මොකක්ද කියලත් ඔහු දන්නවා. ඒ නිසා ඔයාගේ යාච්ඤාවලට දෙවි උත්තර දෙන්නේ කොහොමද කියලා ඉවසීමෙන් බලාගෙන ඉන්න.—යෙසායා 29:16; 45:9 බලන්න.

8. 1 කොරින්ති 10:13 යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දුව මොකක්ද?

8 යම් පීඩාවකට මුහුණ දෙද්දී ‘මීට වඩා නම් මේක දරාගන්න බැහැ’ කියලා සමහරවිට හිතෙන්න පුළුවන්. ඒත් අපි එක් එක් කෙනාට දරාගන්න පුළුවන් සීමාව මොකක්ද කියලා දෙවි දන්නවා. (ගීතා. 103:14) ඒ සීමාව ඉක්මවලා යනවා නම් පීඩාවෙන් ‘ගොඩ ඒමට මඟක් සලසා දෙනවා’ කියලා ඔහු පොරොන්දු වෙනවා. (1 කොරින්ති 10:13 කියවන්න.) අපිට දරාගන්න පුළුවන් කොයි තරම් ප්‍රමාණයක්ද කියලා දෙවි දන්නවා කියන දේ ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා නම් දෙවි උත්තර දෙන කල් බලාගෙන ඉන්න ඒක අපිට උදව්වක්!

9. යාච්ඤාවලට හිතන තරම් ඉක්මනින් උත්තර ලැබුණේ නැත්නම් අපි මොනවද කරන්න ඕනේ?

9 යාච්ඤා කළත් හිතපු තරම් ඉක්මනින් උත්තර ලැබෙන්නේ නැත්නම් අපි ඉවසීමෙන් බලන් ඉමු. යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා කියන දේත් ඒක කරන්න සුදුසුම වෙලාව එන කල් ඔහු බලාගෙන ඉන්නවා කියන දේත් අපි මතක තියාගමු. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි. මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි. ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය.”—යෙසා. 30:18.

“සිංහයන්ගේ කටින්”

10-12. (අ) පවුලේ කෙනෙක් අසනීප වුණාම එයාව බලාගන්න එක අමාරු වෙන්න පුළුවන් ඇයි? (ආ) අමාරු කාලෙදී යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ලින්ඩාගේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

10 ඔයා අද්දකින තත්වය අසීරු නම් පාවුල්ට හිතුණා වගේ ‘සිංහයන්ගේ කටේ’ ඉන්නවා කියලා ඔයාටත් දැනෙයි. (2 තිමෝ. 4:17) ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවිව විශ්වාස කරන එක හරිම වැදගත්. උදාහරණෙකට ඔයාගේ පවුලේ කෙනෙකුට දරුණු අසනීපයක් හැදුණා කියලා හිතමු. හොඳ තීරණ ගන්න, ශක්තිමත්ව ඉන්න උදව් ඉල්ලලා ඔයා යාච්ඤා කරනවා. b එතකොට ඔයා ඉන්න තත්වය යෙහෝවා දෙවි දන්නවා කියලත් ඔයාව දෙවි තේරුම්ගන්නවා කියලත් ඔයාට විශ්වාසයක් ඇති වෙනවා. ඒක ඔයාට ලොකු සහනයක්. ඒ තත්වය දරාගෙන දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහු ඔයාට උදව් කරයි.—ගීතා. 32:8.

11 දෙවි ඔයාට උදව් කරනවා කියලා සමහරවිට එකපාරටම ඔයාට පේන එකක් නැහැ. කරන්න ඕන දේ ගැන වෛද්‍යවරුන් එක එක අදහස් දෙන නිසා තීරණයක් ගන්න අමාරු වෙන්න පුළුවන්. උදව් කරනවා වෙනුවට නෑදෑයන් තත්වය තවත් නරක අතට හරවනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවිගෙන් ශක්තිය ඉල්ලන්න. තව තවත් ඔහුට ළං වෙන්න. (1 සාමුවෙල් 30:3, 6 කියවන්න.) යෙහෝවා දෙවි ඒ අවස්ථාවේදී ඔයාට උදව් කරපු විදිහ ඔයා තේරුම්ගද්දී දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙයි.

12 ලින්ඩා කියන සහෝදරියට දැනුණෙත් එහෙමයි. c අසනීපෙන් හිටපු එයාගේ දෙමාපියන්ව මිය යන කල්ම බලාගත්තේ ලින්ඩා. එයා මෙහෙම කියනවා. “ඒ කාලෙදී මටයි මගේ මහත්තයාටයි මගේ මල්ලිටයි කරන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරුව අසරණ වුණු අවස්ථා තිබුණා. ඒත් ආපහු හැරිලා බලද්දී අපිට තේරෙනවා ඒ කාලේ පුරාම දෙවි අපිත් එක්ක හිටියා කියලා. ඔහු අපිව ශක්තිමත් කළා. කරන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි වෙලාවලදී හරි තීරණ ගන්න ඔහු අපිට උදව් කළා.”

13. කනගාටුදායක දේවලට මුහුණ දෙන්න දෙවි ගැන තිබුණු විශ්වාසය රොන්ඩාට උදව් වුණේ කොහොමද?

13 යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී බලාපොරොත්තු නොවුණු වෙලාවක මුහුණ දෙන්න වෙන කනගාටුදායක සිදුවීම් දරාගන්නත් අපිට පුළුවන්. රොන්ඩාගේ අද්දැකීම බලන්න. එයාගේ සැමියා සාක්ෂිකරුවෙක් නෙමෙයි. එයා රොන්ඩාව දික්කසාද කරන්න තීරණය කළා. ඔය කාලෙදීම තමයි රොන්ඩාගේ මල්ලිට ලූපස් කියන දරුණු ලෙඩේ තියෙනවා කියලා හොයාගත්තේ. ඒක දැනගෙන මාස කීපයක් යද්දී මල්ලිගේ බිරිඳත් මිය ගියා. එක පිට එක ආපු කනගාටුදායක සිදුවීම්වලින් ටිකෙන් ටික ගොඩ එද්දී රොන්ඩා තීරණය කළා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න. ඒ කාලෙදීම වගේ එයාගේ අම්මාත් මිය ගියා. ඒ තරම් කනගාටුදායක දේවලට මුහුණ දෙන්න රොන්ඩාට පුළුවන් වුණේ කොහොමද? එයා මෙහෙම කිව්වා. “මං හැමදාම දෙවිට කතා කළා. පුංචි පුංචි තීරණ ගද්දීත් දෙවිත් එක්ක ඒ ගැන කතා කළා. එහෙම කරද්දී දෙවි සැබෑ කෙනෙක් කියන දේ මට තවත් ඔප්පු වුණා. මං ගැන, අනිත් අය ගැන විශ්වාසය තියලා දේවල් කරනවට වඩා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න මට පුළුවන් වුණා. යෙහෝවා දෙවි මට කිසි දේකින් අඩුවක් කළේ නැහැ. දෙවි මාත් එක්කම ඉඳලා මට උදව් කරපු විදිහ මං අද්දැක්කා.”

දෙවි එක්ක ඔයාට කිට්ටු බැඳීමක් තියෙනවද නැද්ද කියලා මේ වගේ අවස්ථාවකදී ඔප්පු වෙයි (14-16 ඡේද බලන්න)

14. පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළොත් ඒකට මුහුණ දෙන්න දෙවි උදව් කරන්නේ කොහොමද?

14 අපි දැන් වෙනස් විදිහේ කනගාටුදායක සිදුවීමක් ගැන බලමු. හිතන්න, ඔයාගේ පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඒ වගේ කෙනෙක් ගැන බයිබලේ කියන දේ ඔයා දන්නවා. (1 කොරි. 5:11; 2 යොහ. 10) ඒත් එයාට තියෙන ආදරේ නිසා බයිබලේ කියන දේට කීකරු වෙන්න අමාරුයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. d ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවි ඒ අමාරු අවස්ථාවේදී ඔහුට විශ්වාසවන්තව ඉන්න ඕන කරන ශක්තිය නොදී ඉඳියි කියලා ඔයා හිතනවද? මේක දෙවිට තවත් කිට්ටු වෙන්න ලැබුණු අවස්ථාවක් හැටියට ඔයා සලකනවද?

15. ආදම් යෙහෝවා දෙවිට අකීකරු වුණේ ඇයි?

15 ආදම් ගැන හිතන්න. දෙවිට අකීකරු වෙලා දිගටම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ඔහු හිතුවද? නැහැ. “ආදම් රැවටුණේ නැත” කියලා බයිබලේ කියනවා. (1 තිමෝ. 2:14) එහෙමනම් ඔහු අකීකරු වුණේ ඇයි? ඔහු ඒ ගෙඩිය කෑවේ යෙහෝවා දෙවිට වඩා බිරිඳට ආදරේ කරපු නිසයි. දෙවිගේ ආඥාවලට කීකරු වෙනවට වඩා බිරිඳ කියපු දේ අහපු නිසයි.—උත්. 3:6, 17.

16. අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනෙ කාටද? ඒ ඇයි?

16 ආදම්ගේ කතාව අපිට කියලා දෙන්නේ වෙන කිසිම කෙනෙකුට වඩා අපි යෙහෝවා දෙවිට ආදරේ කරන්න ඕනෙ කියන පාඩමයි. (මතෙව් 22:37, 38 කියවන්න.) දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ ශක්තිමත් කරගෙන හිටියොත් විතරයි අපේ පවුලේ අයට උදව් කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ නිසා දිගටම දෙවි ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න. දිගටම ඔහු ගැන විශ්වාසය තියන්න. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු පවුලේ කෙනා ගැන ඔයාගේ හිතේ තියෙන දුක දෙවිට කියන්න. e (රෝම 12:12; ෆිලි. 4:6, 7) කොයි තරම් දුකක් දැනුණත් මේ අවස්ථාව දෙවි එක්ක ඔයාට තියෙන යාළුකම තවත් ශක්තිමත් කරගන්න ලැබුණු අවස්ථාවක් විදිහට සලකන්න. එතකොට ඔහුට කීකරු වුණොත් විතරයි හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ කියන විශ්වාසයෙන් ඉන්න ඔයාට පුළුවන්.

පිළිතුරු ලැබෙන කල් බලා ඉන්න අතරේ

සේවයේ වැඩියෙන් හවුල් වෙලා දෙවි ගැන විශ්වාසය තියනවා කියලා පෙන්නන්න (17 ඡේදය බලන්න)

17. අපේ උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙද්දී අපිට විශ්වාසයෙන් ඉන්න පුළුවන් මොනවා ගැනද?

17 යෙහෝවා දෙවි පාවුල්ව “සිංහයන්ගේ කටින්” බේරගත්තේ ඇයි? දෙවි එහෙම කරපු නිසා “දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වුණා” කියලා පාවුල් කිව්වා. (2 තිමෝ. 4:17) “ශුභාරංචිය” දේශනා කරන කාර්යය යෙහෝවා දෙවි අපිටත් භාර දීලා තියෙනවා. ඒ වගේම ඔහු අපිව සලකන්නේ “හවුල් වැඩකරුවන්” විදිහටයි. (1 තෙස. 2:4; 1 කොරි. 3:9) වෙහෙස මහන්සි නොබලා ඒ කාර්යයේ හවුල් වෙද්දී අපිට අවශ්‍ය කරන හැම දේම දෙවි දෙනවා කියන විශ්වාසය ඇතුව ඉන්න අපිට පුළුවන්. (මතෙ. 6:33) ඒ වගේම අපේ යාච්ඤාවලට දෙවි උත්තර දෙන කල් ඉවසීමෙන් බලන් ඉන්නත් ඒක අපිට උදව්වක්.

18. යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගෙන ඔහුගේ කිට්ටුම යාළුවා වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

18 ගත වෙන හැම දවසක් ගානේම යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න. පීඩා නිසා කනස්සල්ලෙන් ඉද්දී ඒක දෙවිට ළං වෙන්න ලැබුණු අවස්ථාවක් විදිහට සලකන්න. බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතන්න. දිගටම දෙවිට යාච්ඤා කරන අතරේ උපරිමයෙන් ඔහුට සේවය කරන්න. එහෙම කරනවා නම් මේ කාලෙදී වගේම අනාගතයේදීත් එන ඕනම පීඩාවක් දරාගන්න දෙවි ඔයාට උදව් කරනවා කියන විශ්වාසයෙන් ඉන්න ඔයාට පුළුවන්.

a සමහරවිට පාවුල්ව ඇත්තම සිංහයන්ගෙන් බේරගත්තා වෙන්න පුළුවන්. නැත්නම් ඒ හා සමාන අමාරු තත්වයන්ගෙන් බේරගත්තා වෙන්න ඇති.

b අසනීප දරාගන්න අයටත් ඒ වගේ අයව බලාගන්න අයටත් සහනයක් වෙන ලිපි අපේ ප්‍රකාශනවල තියෙනවා. 1997 පෙබරවාරි 8 ‘පිබිදෙව්!’ කලාපයේ 3-13 පිටු; 2009 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ 10-12 පිටු සහ 2010 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ 17-19 පිටු බලන්න.

c නම් වෙනස් කර ඇත.

d මේ කලාපයේ තියෙන “සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්” කියන ලිපිය බලන්න.

e පවුලේ කෙනෙක් යෙහෝවා දෙවිව අත්හරිද්දී ඒ දේට මුහුණ දෙන්න උදව් වෙන ලිපි අපේ ප්‍රකාශනවල තියෙනවා. 2006 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ 17-21 පිටු සහ 2007 ජනවාරි 15 ‘මුරටැඹ’ කලාපයේ 17-20 පිටු බලන්න.