Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?

යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකො. 4:8.

1. යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ඕනෙ ඇයි?

 ඔයා බව්තීස්ම වුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ද? එහෙමනම් ඔයා ළඟ හුඟක් වටිනා දෙයක් තියෙනවා. ඒ යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම. ඒත් ඒ බැඳීම කඩන්න සාතන් බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි උරුම වෙලා තියෙන පාපය නිසා දෙවි අකමැති දේවල් ඔයා අතින් වෙලා ඒ බැඳීම දුර්වල වෙන්නත් පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න ඔයා ලොකු උත්සාහයක් දරන්න ඕනේ.

2. (අ) බැඳීමක් ඇති වෙන්නේ කොහොමද? (පාදසටහන බලන්න.) (ආ) යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කොහොමද?

2 යෙහෝවා දෙවි සැබෑ කෙනෙක් කියලත් ඔහු ඔයාගේ කිට්ටු යාළුවෙක් කියලත් ඔයාට දැනෙනවද? එහෙමනම් ඒ යාළුකම තවත් ශක්තිමත් කරගන්න ඔයා කැමතිද? ඒක කරන්න පුළුවන් විදිහ ගැන යාකොබ් 4:8 මෙහෙම කියනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” එතන කියන විදිහට යෙහෝවා දෙවි එක්ක බැඳීමක් ඇති වෙන්නේ ඔයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි. a යෙහෝවා දෙවිට ළං වෙන්න ඔයා පියවර ගද්දී දෙවිත් ඔයාට ළං වෙන්න පියවර ගන්නවා. ඒ බැඳීම තව තවත් ශක්තිමත් කරගද්දී දෙවි ඔයාට සැබෑ කෙනෙක් වෙනවා. දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්නත් ඔයාට පුළුවන් වෙනවා. එතකොට යේසුස්ට තිබුණු මේ නිසැකකම ඔයාටත් තියෙයි. ‘මාව එවූ තැනැත්තා සැබෑ පුද්ගලයෙක්. මම ඔහුව හොඳින් හඳුනනවා.’ (යොහ. 7:28, 29) දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවද?

දෙවි එක්ක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද? (3 ඡේදය බලන්න)

3. යෙහෝවා දෙවි එක්ක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවිව කිට්ටුම යාළුවා කරගන්න නම් ඔයායි යෙහෝවා දෙවියි අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? හිතන්න, ඔයාගේ හොඳම යාළුවා ඉන්නේ වෙන රටක කියලා. ඔය දෙන්නා කොහොමද අදහස් හුවමාරු කරගන්නේ? දෙන්නා ලියුම් ලියයි, කෝල් කරයි. ඒ වගේ යෙහෝවා දෙවි එක්කත් නිතරම කතා කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ යාච්ඤාවයි. (ගීතාවලිය 142:2 කියවන්න.) ඒත් දෙවි ඔයාත් එක්ක කතා කරන්නේ කොහොමද? ඔයා නිතිපතා බයිබලය අධ්‍යයනය කරනවා නම් අධ්‍යයනය කරන දේ ගැන හොඳට හිතනවා නම් ඒ විදිහට තමයි දෙවි ඔයාත් එක්ක කතා කරන්නේ. (යෙසායා 30:20, 21 කියවන්න.) දෙවියි ඔයායි අතරේ තියෙන ඒ අදහස් හුවමාරුව නිසා දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගෙන දෙවිව ඔයාගේ කිට්ටුම යාළුවා කරගන්න පුළුවන්.

බයිබලේ අධ්‍යයනය කරද්දී දෙවි ඔයාට කතා කරයි

4, 5. බයිබලේ අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවි ඔයාට කතා කරන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

4 පොදුවේ හැමෝටම වැදගත් වෙන පණිවිඩයක් බයිබලේ තියෙනවා කියලා අපි දන්නවා. ඒත් පෞද්ගලිකව ඔයාට දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්න බයිබලයට පුළුවන්ද? ඔව්. නිතිපතා බයිබලය කියවලා අධ්‍යයනය කරද්දී ඒ කියවන දේ ගැන ඔයාගේ හිත ඔයාට කතා කරයි. ඒකට සවන් දෙන්න. කියවන දේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. ඔයා එතකොට කරන්නේ ඔයා එක්ක කතා කරන්න දෙවිට අවස්ථාව දෙන එකයි. ඒ දේ දිගින් දිගටම වෙද්දී යෙහෝවා දෙවි ඔයාට උදව් කරන, ඔයාගේ හොඳම යාළුවා වෙනවා. ඔයාත් දෙවිට කිට්ටු වෙනවා.—හෙබ්‍රෙ. 4:12; යාකො. 1:23-25.

5 උදාහරණෙකට “තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න” කියන යේසුස්ගේ වචන කියවද්දී ඔයාගේ හිත ඔයාට මොනවද කියන්නේ? ඔයා මේ වෙනකොටත් ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දීලා තියෙනවා නම් ඔහු ඔයා ගැන සතුටු වෙනවා කියලා ඔයාගේ හිත කියයි. එහෙම නැත්නම් ඒක කියවද්දී ඔයාට හිතෙනවා ජීවිතේ තව සරල කරගෙන දෙවිට කරන සේවයට මීට වඩා වැඩි අවධානයක් දෙන්න ඕනෙ කියලා. ඒ කියන්නේ ඔහුට තව කිට්ටු වෙන්න ඔයා මොනවද කරන්න ඕනෙ කියලා දෙවි ඔයාට මතක් කරනවා කියන එකයි.—මතෙ. 6:19, 20.

6, 7. (අ) බයිබලේ අධ්‍යයනය කරද්දී අපි සහ දෙවි අතරේ තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ කොහොමද? (ආ) අපි බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ මොන අරමුණින්ද?

6 කරගන්න ඕන වෙනස්කම් තේරුම්ගන්න අපිට උදව් කරනවට අමතරව දෙවිව හොඳින් හඳුනගන්නත් බයිබලේ අධ්‍යයනය කරන එක අපිට උදව් වෙනවා. දෙවි කරලා තියෙන දේවල් ගැන, ඔහුගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැන අපි බයිබලෙන් ඉගෙනගද්දී ඔහුට තව තවත් ආදරේ කරන්න අපි පෙලඹෙනවා. අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරේ වැඩි වෙන්න වැඩි වෙන්න දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරෙත් වැඩි වෙනවා. එතකොට දෙවි සහ අපි අතරේ තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා.—1 කොරින්ති 8:3 කියවන්න.

7 එහෙමනම් බයිබලේ අධ්‍යයනය කරද්දී අපේ අරමුණ වෙන්න ඕනෙ මොකක්ද? ‘සදාකාල ජීවනය ලබාගැනීමට නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීම’ කළ යුතුම දෙයක් කියලා යේසුස් කිව්වා. (යොහ. 17:3) ඇත්ත, බයිබලේ අධ්‍යයනය කරද්දී හුඟක් අලුත්, රසවත් තොරතුරු ඉගෙනගන්න පුළුවන් තමයි. ඒත් අපි බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුන ගන්න අරමුණින්.—නික්මයාම 33:13 කියවන්න; ගීතා. 25:4.

8. (අ) දෙවි අෂරියාට දඬුවම් කරපු එක ගැන සමහරුන්ට කොහොම හැඟෙයිද? (ආ) යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා නම් ඒ ගැන ඔයාට කොහොම හැඟෙයිද?

8 යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුන ගද්දී අපිට ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔහු සමහර දේවල් කළේ ඇයි කියලා බයිබලේ හේතු දක්වලා නැතත් ඒ ගැන හිතලා කලබල වෙන්නේ නැහැ. ඔහුව සැක කරන්නේ නැහැ. උදාහරණයක් බලමු. අෂරියා යූදා දේශයේ රජකම් කරපු කාලේ සෙනඟ බොරු දෙවිවරුන්ට වන්දනා කළත් ඔහු ඒවාට හවුල් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු “යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.” (2 රාජා. 15:1-5) ඒත් යෙහෝවා දෙවි දඬුවමක් විදිහට ඔහුට ලාදුරු රෝගය හැදෙන්න සැලැස්සුවා. දෙවි එහෙම කළේ ඇයි? ඒ වාර්තාවේ ඒකට උත්තර නැහැ. යෙහෝවා දෙවි කරපු දේ ගැන ඔයාට හිතෙන්නේ මොනවද? ඒක සාධාරණ නැහැ කියලා හිතෙනවද? ඔයා යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනගෙන ඉන්නවා නම් ඔහු හික්මවීම් දෙන්නේ හොඳ හේතුවක් ඇතුව කියලා ඔයා දන්නවා. ඔහු දඬුවමක් දෙනවා නම් ඒක කරන්නේ “සුදුසු ප්‍රමාණයට” කියලත් දන්නවා. (යෙරෙ. 30:11) ඒ නිසා යෙහෝවා දෙවි අෂරියාට දඬුවම් කළේ ඇයි කියලා ඔයා දන්නේ නැති වුණත් දෙවි කළේ හරි දේ කියලා ඔයාට විශ්වාසයි.

9. දෙවි අෂරියාට දඬුවම් කළේ ඇයි කියලා තේරුම්ගන්න උදව් වෙන තොරතුරු මොනවද?

9 අෂරියාව උසියා කියලත් හැඳින්නුවා. (2 රාජා. 15:7, 32) ඔහු ගැන බයිබලේ අපිට තවත් තොරතුරු දීලා තියෙනවා. ඒ විස්තර සඳහන් වෙන්නේ 2 ලේකම් 26:3-5 සහ 16-21 දක්වා තියෙන කොටසෙයි. ඔහු “යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය” කියලා සඳහන් වුණත් රාජාවලිය පොතේ සඳහන් නොවුණු විස්තරයකුත් එතන තියෙනවා. ඒ තමයි කාලයක් යද්දී ඔහු “උඩඟු ලෙස ක්‍රියා කළේය” කියන දේ. එහෙම කියන්නේ ඇයි? පූජකයන්ට විතරක් පැවරිලා තිබුණු කාර්යයක් ඔහු කරන්න හැදුවා. පූජකයන් 81දෙනෙක් ඒ දේ කරන්න එපා කියද්දී ඔහුගේ උඩඟුකම නිසා පූජකයන් එක්ක ඔහුට කේන්ති ගියා. යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කළේ ඇයි කියලා තේරුම්ගන්න බයිබලේ සඳහන් ඒ විස්තරය අපිට උදව් වෙනවා.

10. යෙහෝවා දෙවි කරන හැම දේකටම හේතු දැනගන්න අපිට අවශ්‍ය නැත්තේ ඇයි? යෙහෝවා දෙවි හැම වෙලේම කරන්නේ හරි දේ කියන විශ්වාසය තව වැඩි කරගන්නේ කොහොමද?

10 යෙහෝවා දෙවි අෂරියාට දඬුවම් කළේ ඇයි කියලා තේරුම්ගන්න අවශ්‍ය තොරතුරු බයිබලේ තිබුණත් සමහර සිද්ධීන් ගැන හැම තොරතුරක්ම බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔයා මොකද කරන්නේ? යෙහෝවා දෙවි කරපු දේ හරිද කියලා සැක කරයිද? එහෙම නැත්නම් දෙවි හැම වෙලේම කරන්නේ හරි දේ කියලා කියන්න අවශ්‍ය කරන තොරතුරු බයිබලේ තියෙනවා කියලා ඔයාට විශ්වාසද? (ද්වි. 32:4) ඔයා යෙහෝවා දෙවිව හොඳින් හඳුනගද්දී ඔයාගේ හිතේ ඔහු ගැන තියෙන ආදරෙත් විශ්වාසෙත් තව වැඩි වෙයි. එතකොට ඔහු කරන කියන හැම දේකටම හේතු දැනගන්න ඔයාට ඕන වෙන්නේ නැහැ. බයිබලේ අධ්‍යයනය කරන්න කරන්න යෙහෝවා දෙවි ඔයාට සැබෑ කෙනෙක් වෙයි. දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා ඔයාට දැනෙයි.—ගීතා. 77:12, 13.

යාච්ඤාවෙන් ඔයාත් දෙවිට කතා කරන්න

11-13. යෙහෝවා දෙවි යාච්ඤා අහනවා කියලා ඔයා දන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 යාච්ඤා කරද්දී අපි යෙහෝවා දෙවිට ළං වෙනවා. යාච්ඤාවෙන් ඔහුට ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න, ඔහුගෙන් උදව් ඉල්ලන්න අපිට පුළුවන්. (ගීතා. 32:8) ඒත් දෙවිව කිට්ටුම යාළුවා කරගන්න නම් දෙවි ඔයාගේ යාච්ඤා අහනවා කියලා ඔයාට ස්ථිර වෙන්න ඕනේ.

12 ඒත් දෙවි යාච්ඤා අහන්නේ නැහැ කියලා සමහරු කියනවා. ඒ වෙනුවට යාච්ඤා කරන එකෙන් වෙන්නේ හිතට සහනයක් දැනෙන එක විතරයි කියලා ඔවුන් කියනවා. ඒ වගේම යාච්ඤාව කියන්නේ ප්‍රශ්න ගැන හොඳට හිතන්නත් ඒවාට පිළිතුරු අපිටම හොයාගන්නත් උදව් වෙන දෙයක් විතරයි කියලා සමහරු කියනවා. යාච්ඤාවෙන් ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයා කරන යාච්ඤා යෙහෝවා දෙවි අහගෙන ඉන්නවා. ඒ ගැන ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

13 මේ ගැන හිතන්න. යෙහෝවා දෙවි ඔහුට සේවය කරන අයගේ යාච්ඤා අහනවා කියලා පොළොවට එන්න කලින් යේසුස් දැක්කා. පොළොවේ ඉන්නකොටත් තමන්ගේ පියාට ඔහුගේ හිතේ තිබුණු හැම දේම කිව්වා. එක අවස්ථාවක මුළු රැයක් පුරා ඔහු යාච්ඤා කළා. (ලූක් 6:12; 22:40-46) යෙහෝවා දෙවි යාච්ඤා අහන්නේ නැහැ කියලා හිතුවා නම් ඔහු ඒ විදිහට යාච්ඤා කරයිද? ඔහු තමන්ගේ අනුගාමිකයන්ටත් යාච්ඤා කරන විදිහ ඉගැන්නුවා. දෙවි යාච්ඤා අහන්නේ නැත්නම් ඔහු එහෙම උගන්වයිද? යෙහෝවා දෙවි යාච්ඤාවලට සවන් දෙනවා කියලා යේසුස් හොඳටම දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු මෙහෙම කිව්වේ. “පියාණෙනි, ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි. ඔබ මගේ ඉල්ලීම් කිසිදාක ප්‍රතික්ෂේප නොකරන බව මට ස්ථිරයි.” යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” කියලා අපිටත් ස්ථිර වෙන්න පුළුවන්.—යොහ. 11:41, 42; ගීතා. 65:2.

14, 15. (අ) යාච්ඤා කරද්දී ඉල්ලීම් නිශ්චිතව සඳහන් කරන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? (ආ) යෙහෝවා දෙවිට තව ළං වෙන්න කැති කරපු යාච්ඤා උදව් වුණේ කොහොමද?

14 ඔයාගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙනවා කියලා හැම වෙලේම පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා යම් නිශ්චිත දෙයක් ගැන යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවි උත්තර දෙන විදිහ තේරුම්ගන්න ඔයාට පහසු වෙයි. දෙවි ඔයාට සවන් දීලා කියලා තේරෙද්දී ඔහු ඔයාගේ කිට්ටුම යාළුවා කියලා ඔයාට දැනෙයි. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම ඔහුට කියද්දී දෙවිත් ඔයාට තව ළං වෙයි.

15 කැතිගේ අද්දැකීම බලන්න. b කැති නිතිපතා දේශනා සේවයේ ගියත් එයා ගියේ කැමැත්තකින් නෙමෙයි. “ඇත්තම කියනවා නම් සේවයේ යන්න මගේ කිසිම ආසාවක් තිබුණේ නෑ” කියලා එයා කියනවා. විශ්‍රාම ගත්තට පස්සේ එයාගේ සභාවේ වැඩිමහල්ලෙක් ස්ථාවර පුරෝගාමි සේවය කරන්න එයාව දිරිගන්වලා අයදුම්පතකුත් දුන්නා. “මමත් හිතුවා පුරෝගාමි සේවය පටන්ගන්න. ඒත් එක්කම සේවය කරන්න මං තුළ ආසාවක් ඇති කරන්න කියලා මං දෙවිට යාච්ඤා කරන්නත් පටන්ගත්තා” කියලා කැති කියනවා. යෙහෝවා දෙවි ඒ යාච්ඤාවට උත්තර දුන්නද? පුරෝගාමි සේවය පටන් අරන් අවුරුදු 3කට පස්සේ දැන් එයා මෙහෙම කියනවා. “සේවයේ වැඩි කාලයක් යෙදෙද්දී අනිත් සහෝදරියන්ගෙන් දේවල් ඉගෙනගද්දී දක්ෂ විදිහට දේශනා කරන්න මට පුළුවන් වුණා. දැන් මං දේශනා කරන්න කැමතියි විතරක් නෙමෙයි ඒක කරන්න මට තියෙන්නේ පුදුම ආසාවක්. ඊටත් වඩා යෙහෝවා දෙවි මගේ කිට්ටුම යාළුවා කියලා දැන් මට දැනෙනවා.” දෙවිට තවත් ළං වෙන්න කැතිට උදව් වුණේ යාච්ඤාවයි.

ඔයා කරන්න ඕන දේ

16, 17. (අ) යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

16 ‘යෙහෝවා දෙවිත් එක්ක මට තියෙන මිත්‍රත්වය වැඩි කරගන්න මීට වඩා කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවෙන් හැම දේම මං කරලයි තියෙන්නේ’ කියලා කියන්න අපිට බැහැ. මොකද ඒ දේ අපිට සදාකාලයටම වුණත් කරන්න පුළුවන්. ඒ නිසා නිතිපතා බයිබලේ අධ්‍යයනය කරලා අපිට කතා කරන්න දෙවිට ඉඩ දෙමු. යාච්ඤා කරලා අපිත් ඔහු එක්ක කතා කරමු. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි අපේ කිට්ටුම යාළුවා කියලා අපිට දැනෙයි. ඒ වගේම ඔහුගේ උදව්වෙන් ඕනම දුක් පීඩාවක් දරාගන්න අපිට පුළුවන් වෙයි.

දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන එක ජීවිත කාලේ පුරාම කරන්න ඕන දෙයක් (16 සහ 17 ඡේද බලන්න)

17 ඒත් කොයි තරම් යාච්ඤා කළත් අපිට තියෙන සමහර ප්‍රශ්නවලට විසඳුමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ටිකෙන් ටික නැති වෙන්නත් පුළුවන්. ‘දෙවි මගේ යාච්ඤා අහන්නේ නැහැ’ කියලත් ‘ඇත්තටම දෙවි මාව මිත්‍රයෙක් හැටියට සලකනවද’ කියලත් අපිට හිතෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හිතෙනවද? එහෙමනම් මොනවද කරන්න පුළුවන් කියලා ඊළඟ ලිපියෙන් බලමු.

a දෙන්නෙක් අතරේ බැඳීමක් ඇති වෙන්න නම් දෙන්නාගෙම පැත්තෙන් දේවල් වෙන්න ඕනේ. දෙන්නට දෙන්නා ගැන හැඟෙන විදිහ, එකිනෙකා වෙනුවෙන් කරන දේවල් ඒ බැඳීමට බලපානවා.

b නම වෙනස් කර ඇත.