Skip to content

පටුනට යන්න

වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරන්නේ කොහොමද?

වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරන්නේ කොහොමද?

“ඔබ මගෙන් අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න.”—2 තිමෝ. 2:2.

1. (අ) පුහුණුව ලබන එක ගැන අපි සලකන්නේ කොහොමද? ඒක අදට අදාළ වෙන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවද?

 හොඳ පුහුණුවක් ලැබුවොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා දෙවිගේ සෙනඟ දන්නවා. ආබ්‍රහම් එක්ක “සටනට දක්ෂ වූ” මිනිසුන් හිටපු නිසා සටන් කරලා ලොත්ව බේරගන්න ඔහුට පුළුවන් වුණා. ඔවුන් දක්ෂ අය වුණේ හොඳින් පුහුණු වුණු නිසයි. (උත්. 14:14-16) දාවිත්ගේ කාලෙදී “යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා හොඳින් පුහුණුව ලැබූ” පිරිසක් හිටියා. (1 ලේක. 25:7) එදා ආබ්‍රහම් එක්ක හිටපු අයට වගේ අද අපිටත් සටනක් තියෙනවා. සාතන් සහ ඔහුගේ දුෂ්ට සමාජය එක්ක අපි ලොකු සටනක් කරනවා. (එෆී. 6:11-13) දාවිත්ගේ කාලේ හිටපු අය දෙවිට ප්‍රශංසා කළා වගේ අද අපිටත් දෙවි ගැන මිනිසුන්ට කියලා දීලා ඔහුට ප්‍රශංසා කරන වගකීම තියෙනවා. (හෙබ්‍රෙ. 13:15, 16) ඒවා සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ අපි හොඳින් පුහුණු වෙලා හිටියොත් විතරයි. අනිත් අයව පුහුණු කරන වගකීම යෙහෝවා දෙවි භාර දීලා තියෙන්නේ වැඩිමහල්ලන්ට. (2 තිමෝ. 2:2) ඒ සඳහා වැඩිමහල්ලන් යොදාගෙන තියෙන්නේ මොන වගේ ක්‍රමද?

දෙවි ගැන හිතේ තියෙන ආදරේ තවත් වැඩි කරන්න

2. පුහුණුව දෙන්න කලින් වැඩිමහල්ලෙක් කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

2 වැඩිමහල්ලෙක්ව ගොවියෙකුට සමාන කරන්න පුළුවන්. පුහුණුව ලබන්න කෙනෙක්ගේ හිතේ ආසාවක් ඇති කරන එක හරියට බිම සකස් කරනවා වගේ. ගොවියා ඊටපස්සේ පසට පොහොර දානවා. පැළේ සරුවට ඉක්මනින් වැඩෙන්න ඒක උදව්වක්. වැඩිමහල්ලෙකුත් පුහුණුව පටන්ගන්න කලින් පුහුණුවේ වටිනාකම තේරුම්ගන්න සහ ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ඒ සහෝදරයා එක්ක කතා කරන්න ඕනේ. ලැබෙන පුහුණුව අදාළ කරගෙන හොඳින් වගකීම් දරන්න ඒක එයාට උදව්වක්.—1 තිමෝ. 4:6.

3. (අ) පුහුණුව ලබන සහෝදරයා එක්ක සාකච්ඡාවක් පටන්ගන්න මාක් 12:29, 30 යොදාගන්න පුළුවන් කොහොමද? (ආ) වැඩිමහල්ලා පුහුණුව ලබන කෙනා එක්ක කරන යාච්ඤා ඔහුට බලපාන්නේ කොහොමද?

3 පුහුණුව ලබන කෙනාගේ සිතුවිලිවලට, හැඟීම්වලට සත්‍ය ඉගැන්වීම් බලපාලා තියෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එකත් වැදගත්. ඒක කරන්න නම් යෙහෝවා දෙවිට කැප වෙන්න ගත්ත තීරණය එයා එදිනෙදා ගන්න තීරණවලට බලපාලා තියෙන්නේ කොහොමද කියලා අහන්න. එතකොට මුළු හදවතින්ම දෙවිට සේවය කරන එක ගැන එයාත් එක්ක හොඳ සාකච්ඡාවක් පටන්ගන්න ඔයාට පුළුවන්. (මාක් 12:29, 30 කියවන්න.) පුහුණුවෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න දෙවිගේ උදව් ඉල්ලලා එයා එක්ක යාච්ඤා කරන්න. ඔයා එයා වෙනුවෙන් යාච්ඤා කරනවා ඇහෙද්දී තව වැඩියෙන් දේවල් කරන්න එයා තුළ පෙලඹීමක් ඇති වෙයි.

4. (අ) පුහුණුව ලබන කෙනෙක්ට අවබෝධයෙන් වැඩ කරන්න උදව් වෙන බයිබල් වාර්තා මොනවද? (ආ) පුහුණු කරද්දී වැඩිමහල්ලාගේ අරමුණ වෙන්න ඕනෙ මොකක්ද?

4 උදව් කරන්න කැමති, විශ්වාසය තියන්න පුළුවන් වගේම නිහතමානී කෙනෙක් වෙන එකේ තියෙන වැදගත්කම පෙන්නන බයිබල් සිද්ධීන් ඒ කෙනා එක්ක සාකච්ඡා කරන්න. (1 රාජා. 19:19-21; නෙහෙ. 7:2; 13:13; ක්‍රියා 18:24-26) පසට දාන පොහොර වගේ ඒ ගුණාංග පුහුණුවක් ලබන කෙනෙකුට ඕනෙමයි. ඉක්මනින්ම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඒ ගුණාංග උදව් වෙනවා. ප්‍රංශයේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සාන් ක්ලෝඩ් නිතරම උත්සාහ කරන්නේ පුහුණුව ලබන කෙනාට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන හොඳ තීරණ ගන්න උදව් කරන්නයි. එයා මෙහෙම කියනවා. “මට අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මම උත්සාහ කරනවා එයාත් එක්ක බයිබල් පදයක් කියවන්න. එතකොට එකේ තියෙන ‘වටිනා කාරණා’ දිහා ‘දෙනෙත් විවර කර’ බලන්න ඒ කියන්නේ එයා කලින් නොදැක්ක පැත්තක් දකින්න එයාට උදව් කරන්න මට පුළුවන්.”—ගීතා. 119:18.

ඉලක්ක දීලා ඒවාට හේතු පෙන්නන්න

5. (අ) ඉලක්ක ගැන කතා කරන එක වැදගත් ඇයි? (ආ) යෞවන වයසේ ඉන්න අයව පුහුණු කරන එක අත්‍යවශ්‍ය ඇයි? (පාදසටහන බලන්න.)

5 යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න එයාට තියෙන්නේ මොන වගේ ඉලක්කද කියලා අහන්න. ඒ වගේ ඉලක්ක නැත්නම් ජය ගන්න පුළුවන් ඉලක්කයක් ගැන කියන්න. ඔයාට තිබුණු ඉලක්ක ගැනත් ඒවා ජය ගත්තම දැනුණු සතුට ගැනත් කියන්න. ඒ ක්‍රමය සරලයි, හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. වික්ටර් අප්‍රිකාවේ ඉන්න වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “මං තරුණ කාලෙදී වැඩිමහල්ලෙක් මගෙන් ඇහුවා මට තියෙන ඉලක්ක ගැන. ඒ නිසා මගේ සේවය ගැන තව හොඳට හිතන්න මං පෙලඹුණා.” අද්දැකිම් ඇති වැඩිමහල්ලන් නිතරම කියන දෙයක් තමයි සහෝදරයන්ව තරුණ කාලෙදීම පුහුණු කරන එක හුඟක් වටිනවා කියන දේ. අවුරුදු 13, 14 ඉඳන්ම පුහුණුව පටන්ගන්න එක හොඳයි. සභාවේ පොඩි පොඩි වගකීම් එයාලට දෙන්න පුළුවන්. යෞවන කාලෙදීම පුහුණු කරන්න පටන්ගන්නවා නම් එයාගේ මනසේ තියෙන්නේ ඒ ඉලක්ක. වයසින් වැඩෙද්දී දෙවිගේ සේවයට බාධා වෙන දේවල් ආවත් එයාට හොඳ ඉලක්ක තියෙන නිසා ඒ බාධාවලට හසු නොවී ඉන්න පුළුවන් වෙයි.—ගීතාවලිය 71:5, 17 කියවන්න. a

වගකීමක් භාර දෙද්දී ඒක කරන්න ඕනෙ ඇයි කියලා තේරුම් කරලා දෙන්න. එයා ගන්න උත්සාහය අගය කරන්න (5-8 ඡේද බලන්න)

6. අනිත් අයව පුහුණු කරන්න යේසුස් යොදාගත්තේ මොන වගේ ක්‍රමයක්ද?

6 සේවය කරන්න හිතේ කැමැත්තක් ඇති කරන්න නම් කරන්න ඕන දේ ගැන කියලා විතරක් මදි. එහෙම කරන එකේ තියෙන වටිනාකම ගැනත් කියලා දෙන්න ඕනේ. යේසුස් දේශනා කරන්න කියලා ඔහුගේ නියෝජිතයන්ට කියන්න කලින් ඒකට කීකරු වෙන්න ඕනෙ ඇයි කියලත් පෙන්නලා දුන්නා. ඔහු කිව්වේ “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා” කියලයි. (මතෙ. 28:18, 19) යේසුස්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?

7, 8. (අ) පුහුණු කරද්දී වැඩිමහල්ලන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ආ) අගය කරන එක වටින්නේ ඇයි? (ඇ) අනිත් අයව පුහුණු කරන්න වැඩිමහල්ලන්ට උදව් වෙන යෝජනා මොනවද? (“ පුහුණු කරන්නේ කොහොමද?” යන කොටුව බලන්න.)

7 සභාවේ යම් වැඩක් භාර දෙන්න කලින් ඒක කරන එකේ තියෙන වටිනාකම බයිබලෙන් පෙන්නන්න. එහෙම කරද්දී ඒ වැඩේ කරන්න ඕනෙ නීතියක් නිසා නෙමෙයි බයිබල් ප්‍රතිපත්ති නිසයි කියලා එයා තේරුම්ගන්නවා. උදාහරණෙකට නමස්කාර මධ්‍යස්ථානයට ඇතුල් වෙන තැන පිරිසිදුව, ආරක්ෂා සහිතව තියාගන්න වගකීම සහෝදරයෙකුට භාර දෙනවා කියලා හිතන්න. ඔයාට පුළුවන් තීතස් 2:10 පෙන්නලා එයා ඒ වගකීම හරියට කරද්දී ලැබෙන ප්‍රතිඵල ගැන කියන්න. එකක් තමයි “දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම” මිනිසුන් තේරුම්ගන්න එක. ඒ වගකීම හොඳින් කරද්දී මහලු අයට ලැබෙන ප්‍රයෝජන ගැනත් හිතන්න කියලා එයාට කියන්න. එතකොට යම් වගකීමක් ඉටු කරද්දී ඒකෙන් සහෝදරයන්ට ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා වැඩ කරන්න එයා පුරුදු වෙයි. තමන් කරන දෙයින් සහෝදරයන් ප්‍රයෝජන ලබනවා කියලා දකිද්දී ඒ වගකීම හොඳින් ඉටු කරලා එයා ලොකු තෘප්තියක් ලබයි.

8 යෝජනා අදාළ කරගෙන වගකීම් හොඳට කරද්දී එයාව අගය කරන්න. වතුර දානකොට ගහක් දවසින් දවස නිරෝගීව වැඩෙනවා වගේ එයාව අගය කරද්දී දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න එයා පෙලඹෙයි.—මතෙව් 3:17 බලන්න.

තවත් අභියෝගයක්

9. (අ) ධනවත් රටවල ඉන්න වැඩිමහල්ලන්ට සහෝදරයන්ව පුහුණු කරන එක අභියෝගයක් වෙලා තියෙන්නේ ඇයි? (ආ) සමහර යෞවනයන් දෙවිට කරන සේවයට මුල් තැන දීලා නැත්තේ ඇයි?

9 ධනවත් රටවල ඉන්න වැඩිමහල්ලන් මුහුණ දෙන ලොකු අභියෝගයක් තියෙනවා. ඒ තමයි අවුරුදු විසි ගණන්වල, තිස් ගණන්වල ඉන්න සහෝදරයන් වගකීම් භාරගන්න අදිමදි කරන එක. ඒකට ප්‍රධාන හේතුව යෞවන කාලේ ඉඳන්ම දෙවිට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගන්න දෙමාපියන් ඒ අයව දිරිගන්වලා නැති එකයි. දෙවිට වැඩි සේවයක් කරන්න සමහර යෞවනයන් තුළ කැමැත්තක් තිබුණත් දෙමාපියන් දිරිගන්වලා තියෙන්නේ උසස් අධ්‍යාපනය ලබලා හොඳ රැකියාවක් කරන්න. ඒ නිසා ඒ අයගේ ජීවිතවල මුල් තැන වෙලා තියෙන්නේ දෙවිට සේවය කරන එක නෙමෙයි.—මතෙ. 10:24.

10, 11. (අ) වගකීම් භාරගන්න කැමැත්තක් නැති සහෝදරයෙකුට උදව් කරන්න වැඩිමහල්ලෙකුට පුළුවන් කොහොමද? (ආ) එහෙම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් බයිබල් පද මොනවද? ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? (පාදසටහන බලන්න.)

10 සභාවේ වගකීම් භාරගන්න සහෝදරයෙක් ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැත්නම් එයාට උදව් කරන්න ඔයාට ටිකක් මහන්සි වෙන්න වෙයි. ඉවසීමෙන් වැඩ කරන්නත් වෙයි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඇදේට වැවෙන ගහක් ගොවියෙක් කෙළින් කරන්නේ කාලය අරන් ටිකෙන් ටික. ඒ වගේ සහෝදරයෙක්ට වගකීම් දරන්න එයාගේ හිතේ ආසාවක් ඇති කරන්න කාලය අරන් ටිකෙන් ටික එයාට උදව් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

11 මුලින් එයාගේ හොඳ යාළුවෙක් වෙන්න. එයාව සභාවට ඕනෙ කියලා දැනෙන්න සලස්වන්න. ඔය විදිහට කාලයක් යද්දී යෙහෝවා දෙවිට ජීවිතේ කැප කළේ ඇයි කියලා හිතන්න උදව් වෙන බයිබල් පද එයාත් එක්ක සාකච්ඡා කරන්න. (දේශ. 5:4; යෙසා. 6:8; මතෙ. 6:24, 33; ලූක් 9:57-62; 1 කොරි. 15:58; 2 කොරි. 5:15; 13:5) හිතන්න උදව් වෙන මේ වගේ ප්‍රශ්න එයාගෙන් අහන්න. ‘ඔයා යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරපු වෙලාවේ පොරොන්දු වුණේ මොකක්ද? ඔයා බව්තීස්ම වුණු වෙලාවේ යෙහෝවා දෙවිට කොහොම හැඟෙන්න ඇද්ද?’ (හිතෝ. 27:11) ‘ඒ වෙලාවේ සාතන්ට මොනවා හිතෙන්න ඇද්ද?’ (1 පේතෘ. 5:8) ඒ ප්‍රශ්න අහන ගමන් ප්‍රශ්නෙට අදාළ බයිබල් පදත් පෙන්නන්න. එයාගේ හිතටම කතා කරන්න තරම් ලොකු බලයක් බයිබල් පදවල තියෙනවා.—හෙබ්‍රෙව් 4:12 කියවන්න. b

විශ්වාසවන්ත කෙනෙක් වෙන්න

12, 13. (අ) එලිෂාට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? (ආ) එලිෂාගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කළේ කොහොමද?

12 දැන් අපි පුහුණුව ලබන අයට ප්‍රයෝජනවත් වෙන කාරණා කීපයක් ගැන කතා කරමු. ඔයාත් යෞවන සහෝදරයෙක් නම් ඔයාගේ උදව් සභාවට ඕනෙ කියලා මතක තියාගන්න. ඒත් ඒකට ඔයාගේ හිතේ කැමැත්තක් තියෙන්න ඕනේ. ලබන පුහුණුව ගැන ඔයාට තියෙන්න ඕන මොන වගේ ආකල්පයක්ද කියලා එලිෂාගෙන් ඉගෙනගන්න පුළුවන්.

13 මීට අවුරුදු 3,000කට විතර කලින් අනාගතවක්තෘ එලියා තමන්ගේ සහයකයා විදිහට සේවය කරන්න එන්න කියලා තරුණ එලිෂාට කිව්වා. එලිෂා ඒකට එක පයින් කැමති වුණා. ඒ තරම් වැදගත් කියලා සලකන්නේ නැති පොඩි පොඩි දේවල් වුණත් කරලා එලියාට උදව් කරන්න ඔහු තුළ තිබුණේ ලොකු ආසාවක්. (2 රාජා. 3:11) එලිෂා, එලියා යටතේ අවුරුදු 6ක් විතර පුහුණු වුණා. ඊශ්‍රායෙලයේ කරපු සේවය නතර කරන්න කාලය ළං වෙලා කියලා දැනගත්ත එලියා, එලිෂාට කිව්වා තවදුරටත් තමන්ගේ සහායකයා විදිහට සේවය කරන්න ඕනෙ නැහැ කියලා. ඒත් එලිෂා තුන් පාරක්ම කිව්වේ “මම ඔබව අත්හැර යන්නේ නැහැ” කියලයි. පුළුවන් තාක් කල් තමන්ගේ ගුරුවරයා එක්ක ඉන්නයි එලිෂාට ඕන වුණේ. ඔහු විශ්වාසවන්තව කරපු සේවය ගැන දෙවි සතුටු වුණා. එලියාව තද සුළඟක් එක්කම අහසට ඔසවගන්නවා දකින්න දෙවි ඔහුට අවස්ථාව දුන්නා.—2 රාජා. 2:1-12.

14. (අ) පුහුණුව ලබන සහෝදරයන්ට එලිෂාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ආ) දෙන පැවරුම් විශ්වාසවන්තව කරන එක වැදගත් ඇයි?

14 එලිෂා වගේ ඔයාත් ලැබෙන ඕනම පැවරුමක් සතුටින් භාරගන්න. ඒ තරම් වැදගත් නැහැ කියලා පේන්න තියෙන පැවරුමක් වුණත් භාරගන්න අදිමදි කරන්න එපා. ඔයාව පුහුණු කරන වැඩිමහල්ලාව ඔයාගේ යාළුවෙක් විදිහට සලකන්න. එයා ඔයා වෙනුවෙන් කරන දේ ඔයාට හුඟක් වටිනවා කියලා කියන්න. දිගටම එයාගෙන් පුහුණු වෙන්න කැමතියි කියලා පෙන්නන්න. වැදගත්ම දේ දීලා තියෙන පැවරුම් විශ්වාසවන්තව කරන එකයි. එහෙම කළොත් ඔයාට සභාවේ තවත් වගකීම් දෙනවට යෙහෝවා දෙවි කැමැතියි කියලා වැඩිමහල්ලෝ තේරුම්ගනියි.—ගීතා. 101:6; 2 තිමෝති 2:2 කියවන්න.

ගෞරවය දෙන විදිහක්

15, 16. (අ) එලිෂා තමන්ගේ ගුරුවරයාට ගෞරවය පෙන්නුවේ මොන පැතිවලින්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අනිත් අනාගතවක්තෘවරුන්ට එලිෂා ගැන විශ්වාසයක් ඇති වුණේ ඇයි?

15 සහෝදරයන්ට එලිෂාගෙන් ඉගෙනගන්න පුළුවන් තවත් වටින පාඩමක් තියෙනවා. ඒක තේරුම්ගන්න උදව් වෙන සිද්ධියක් බලමු. එලියා සහ එලිෂා යෙරිකෝවේ හිටපු අනාගතවක්තෘවරු පිරිසක් මුණගැහිලා එන ගමන් යොර්දාන් ගඟ ළඟට ආවා. ඒ වෙලාවේ “එලියා තම නිල වස්ත්‍රය ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ” වුණාට පස්සේ ගඟ මැදින් හැදුණු පාර දිගේ දෙන්නා කතා කරකර ගියා. ඒ යන අතරෙත් තමන්ගේ ගුරුවරයා කියපු දේවලට හොඳින් සවන් දුන්න එලිෂා, එලියා වෙන් වෙලා යන කල්ම ඔහුගෙන් ඉගෙනගත්තා. තමන් හැම දේම දන්නවා කියලා එලිෂා හිතුවේ නැහැ. එලියාව සුළඟකින් අහසට ඔසවගත්තට පස්සේ එලිෂා ආයෙත් යොර්දාන් ගඟ ළඟට ආවා. ඔහු එලියාගේ නිල වස්ත්‍රයෙන් වතුරට ගහලා මෙහෙම කිව්වා. “එලියාගේ දෙවි වන යෙහෝවා, ඔබ ඉන්නේ කොහේද?” එතකොට ගඟේ වතුර ආයෙත් දෙකට බෙදුණා.—2 රාජා. 2:8-14.

16 එලිෂා මුලින්ම ආශ්චර්යයක් විදිහට කළේ එලියා අන්තිමට කරපු ආශ්චර්යයමයි කියලා ඔයා දැක්කද? දැන් මුල් තැන අරන් වැඩ කරන්නේ මම නිසා මට ඕන විදිහට කරනවා කියලා එලිෂා හිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු එලිෂා කරපු විදිහටම දේවල් කරලා ඔහුගේ ගුරුවරයාට ගරු කරනවා කියලා පෙන්නුවා. ඒ නිසා අනිත් අනාගතවක්තෘන්ටත් එලිෂා ගැන විශ්වාසයක් ඇති වුණා. (2 රාජා. 2:15) එලිෂා අනාගතවක්තෘ කෙනෙක් විදිහට අවුරුදු 60ක් සේවය කළා. එලියා කළාට වඩා පුදුමාකාර දේවල් කරන්න යෙහෝවා දෙවි ඔහුට බලය දුන්නා. මොකක්ද පාඩම?

17. (අ) පුහුණුව ලබන අයට එලිෂාව ආදර්ශයට ගන්න පුළුවන් මොන විදිහෙන්ද? (ආ) කාලයත් එක්කම පුහුණුව ලබන අයව යෙහෝවා දෙවි යොදාගන්නේ කොහොමද?

17 සභාවේ අලුතෙන් වගකීමක් ලැබෙද්දී ඒක මීට කලින් කළාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කරන්න ඕනෙ කියලා හිතන්න එපා. ඒ වගේ වෙනසක් කරනවා නම් කරන්න ඕනෙ ඒ සඳහා සභාවේ අවශ්‍යතාවක් තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් දෙවිගේ සංවිධානයෙන් ඒ සඳහා මඟ පෙන්වීමක් ලැබුණොත් විතරයි. නැතුව ඔයාට ඕන නිසා වෙනස්කම් කරන්න එපා. එලියා කළා වගේම වැඩ කරලා එලිෂා ඔහුගේ ගුරුවරයාට ගෞරවය පෙන්නුව නිසා ඒ කාලේ හිටපු අනිත් අනාගතවක්තෘවරුන්ට පුළුවන් වුණා එලිෂා ගැන විශ්වාසය තියන්න. එලිෂා වගේ ඔයාත් ඔයාව පුහුණු කරපු වැඩිමහල්ලා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව දේවල් කරපු විදිහටම ඔයාගේ වගකීම කරන්න. ඒක ඒ වැඩිමහල්ලාට ඔයා ගෞරවය පෙන්නන විදිහක්. ඒ වගේම සභාවේ අනිත් අයටත් ඔයා ගැන විශ්වාසයක් ඇති වෙයි. (1 කොරින්ති 4:17 කියවන්න.) වැඩිමහල්ලෙක් විදිහට සේවය කරලා අද්දැකීම් ලබද්දී ඔයාට පුළුවන් වෙයි යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබෙන අලුත්ම මඟ පෙන්වීම් අදාළ කරගන්න සභාවේ අයට උදව් කරන්න. මොකද දෙවිගේ සංවිධානය වේගයෙන් ඉදිරියට යන නිසා කොහොමත් වෙනස්කම් වෙනවා. ඒ වගේම කාලයත් එක්කම ඔයාව පුහුණු කරපු අය කළාට වඩා දේවල් කරන්න යෙහෝවා දෙවි එලිෂාට වගේ ඔයාටත් උදව් කරයි.—යොහ. 14:12.

18. සහෝදරයන්ව පුහුණු කරන එක කල් දාන්න හොඳ නැත්තේ ඇයි?

18 මේ ලිපියෙත් කලින් ලිපියෙත් තිබුණු යෝජනා අදාළ කරගෙන අනිත් අයව පුහුණු කරන්න වැඩිමහල්ලන් තුළ පෙලඹීමක් ඇතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වගකීම් දරන්න සුදුසුකම් තියෙන සහෝදරයන් තුළ පුහුණුවක් ලබන්න ආසාවක් ඇති වෙයි කියලත් ලබපු පුහුණුවෙන් ප්‍රයෝජනය අරගෙන දෙවිගේ සෙනඟට සේවය කරයි කියලත් හිතනවා. අනිත් අයව පුහුණු කරන නිසා ලෝකෙ පුරාම තියෙන සභාවල් තවත් ශක්තිමත් වෙයි. ඒ වගේම ඉදිරියේදී එන අමාරු කාලෙදී දිගටම විශ්වාසවන්තව ඉන්න එකිනෙකාට උදව් කරන්නත් ඒක ප්‍රයෝජනවත් වෙයි.

a කෙනෙක් අවබෝධයෙන් වැඩ කරනවා නම් නිහතමානී නම් සභාවේ වගකීම් දරන්න ඕන කරන ගුණාංග තියෙනවා නම් අවුරුදු 20ක් වෙන්න කලින් වුණත් එයාව සහායක සේවකයෙක් විදිහට නිර්දේශ කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්.—1 තිමෝ. 3:8-10, 12; 2000 මැයි ‘රාජ්‍ය සේවාවේ’ 8වෙනි පිටුව බලන්න.