Skip to content

පටුනට යන්න

‘ජීවිතයේ දුෂ්කර දවස්වලදී’ පවා දෙවිට සතුටින් සේවය කරන්න

‘ජීවිතයේ දුෂ්කර දවස්වලදී’ පවා දෙවිට සතුටින් සේවය කරන්න

“ඉස්සර කරපු දේවල් මට දැන් කරන්න බෑ. එන්න එන්නම මං දුර්වල වෙනවා” කියලා අවුරුදු 70 ගණන්වල ඉන්න අර්නස්ට් කියනවා. * ඔබටත් එහෙම හිතිලා තියෙනවාද? කෙනෙක් වයසට යද්දී එයාගේ ශක්තිය හීන වෙනවා. ශරීර සෞඛ්‍යය පිරිහෙනවා. දේශනාකාරයා 12:1 ඒ කාලය “දුෂ්කර දවස්” කියලා හඳුන්වන්නේ ඒ නිසයි. ඒත් දුක් වෙන්න එපා. ඔයා මහලු වුණත් ඔයාට පුළුවන් යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කරන්න.

දිගටම විශ්වාසවන්තව ඉන්න

මහලු සහෝදර සහෝදරියනි, ඔබ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන බව ඇත්ත. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් පවා විවිධ දුෂ්කරතා අද්දැක්කා. උදාහරණයකට වයසට යද්දී ඊසාක්ගේ, යාකොබ්ගේ සහ අහියාගේ පෙනීම නැති වුණා. (උත්. 27:1; 48:10; 1 රාජා. 14:4) දාවිත්ද අපහසුතාවලට මුහුණ දුන්නා. (1 රාජා. 1:1) බාසිල්ලයිට කෑමවල රස දැනුණේවත් සංගීතය රස විඳින්න පුළුවන් වුණේවත් නැහැ. (2 සාමු. 19:32-35) ආබ්‍රහම්ට බිරිඳගේ, නායොමිට පුරුෂයාගේ වියෝව දරාගන්නත් සිද්ධ වුණා.—උත්. 23:1, 2; රූත් 1:3, 12.

එවැනි දුෂ්කර තත්වයන් යටතේදී පවා ඒ හැම කෙනෙක්ම දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. ප්‍රීතියෙන් සේවය කළා. ආබ්‍රහම්ට මහලු වියේදීත් දෙවිගේ පොරොන්දු ගැන “ශක්තිමත් විශ්වාසයක්” තිබුණා. (රෝම 4:19, 20) එවැනි විශ්වාසයක් ඇතුව ඉන්න අපේ වයස, හැකියාවන් හා තත්වයන් බලපාන්නේ නැහැ. උදාහරණෙකට යාකොබ්ගේ පෙනීම දුර්වල වෙලා තිබුණත්, ඇඳටම වෙලා ඉන්න වුණත් දෙවිගේ පොරොන්දු ගැන ඔහුට තිබුණු විශ්වාසය අඩු වුණේ නැහැ. (උත්. 48:1-4, 10; හෙබ්‍රෙ. 11:21) අදත් ඒ වගේ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය ඉන්නවා. ඉනෙස්ට අවුරුදු 93යි. මාංශ පේශී දුර්වල වීමේ රෝගයක් තියෙන ඇය මෙහෙම කියනවා. “හැම දවසකම පාරාදීසය ගැන හිතද්දී මට ජීවිතයට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියලා හැම දවසකම දැනෙනවා.”

දිගටම යාච්ඤා කරනවා නම්, බයිබලය අධ්‍යයනය කරනවා නම් හා රැස්වීමවලට යනවා නම් විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන්. දානියෙල් මහලු වයසේදී පවා දවසකට තුන් වරක් දෙවිට යාච්ඤා කළා. දේවවචනය අධ්‍යයනය කළා. (දානි. 6:10; 9:2) මහලු වැන්දඹුවක් වුණු ආනා “එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට” ගියා. (ලූක් 2:36, 37) පුළුවන් හැම වෙලාවකම රැස්වීම්වලට ගිහින් හැකි උපරිමයෙන් ඒවාට සහභාගි වෙනවා නම් ඔබ විතරක් නෙමෙයි අනිත් අයත් ලොකු ප්‍රබෝධයක් ලබනවා. ඔබ කරන යාච්ඤා දෙවි හුඟක් අගය කරනවා කියන එකත් අමතක කරන්න එපා.—හිතෝ. 15:8.

ආගන්තුක සත්කාරය පෙන්වන්න

හැම රැස්වීමකටම යන්න තියෙනවා නම්, පොතක් පතක් කියවගන්න ඇස් හොඳට පේනවා නම් කොච්චර හොඳද කියලා බොහෝදෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට එහෙම කරන්න අමාරු ඇති. නැත්නම් කොහොමටවත් බැරුව ඇති. එහෙමනම් මොනවද කරන්න පුළුවන්. රැස්වීම්වලට යන්න බැරි හුඟදෙනෙක් ඒවාට දුරකථනයෙන් සවන් දෙනවා. අවුරුදු 79ක් වයස ඇස් පෙනීම දුර්වල සහෝදරියකට, රැස්වීමේ සාකච්ඡා කරන ලිපි ලොකු අකුරින් පිටපත් කරලා සහෝදරයෙක් ගෙනත් දෙනවා. ඇය රැස්වීම්වලට සූදානම් වෙන්නේ ඒවා පාවිච්චි කරලයි.

අනිත් අයට කාලය හොයාගන්න එක අමාරු දෙයක් වුණත් ඔබට එහෙම නැතුව ඇති. ඒ නිසා බයිබලය, සඟරා, පොත් පත්, කතා හා නාට්‍යවලට සවන් දෙන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් නම් සහෝදර සහෝදරියන්ට දුරකතන ඇමතුමක් දීලා කතා කරන්න ඒ අයට විතරක් නෙමෙයි ඔබටත් දිරිගැන්වීමක් ලැබෙයි.—රෝම 1:11, 12.

දෙවිට කරන සේවය දිගටම කරන්න

දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න

“කලින් වගේ සේවය කරන්න බැරි වුණාම කලකිරෙනවා” කියලා 80 ගණන්වල ඉන්න සහෝදරි ක්‍රිස්ටා කියනවා. ඒ වගේ තත්වයක් යටතේ වුණත් සතුටින් ඉන්න පුළුවන්. ඒ ගැන අවුරුදු 75ක් වයස පීටර් කිව්වේ මෙහෙමයි. “කරන්න බැරි දේවල් ගැන හිතලා කලකිරෙන්නේ නැතුව පුළුවන් දේ කරලා සතුටු වෙන්න.”

සාක්ෂි දරන්න ඔබට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? 80 ගණන්වල පසුවන සහෝදරි හයිඩිට ඉස්සර වගේ ගෙයින් ගෙට සේවයේ යන්න බැහැ. ඇය කොම්පියුටරයෙන් ලියුම් ලියන්න ඉගෙනගත්තා. තවත් සමහර වයසක අය උද්‍යානවල, බස් නැවතුම්පොළවල්වල තියෙන බංකුවල ඉඳගෙන එතනින් යන එන අයට සාක්ෂි දරනවා. ඔබ ඉන්නේ සාත්තු නිවාසයක නම් ඔබට සාත්තු කරන අයට හා වෙනත් අයට සාක්ෂි දරන්න ඔබට පුළුවන්.

අනිත් අයව දිරිගන්වන්න

මහලු වියේදී පවා දාවිත් නමස්කාරය වෙනුවෙන් දේවල් කළා. ඔහු දේවමාලිගාව හදන්න අවශ්‍ය සම්මාදම් දුන්නා. වැඩකටයුතු සැලසුම් කළා. (1 ලේක. 28:11–29:5) ඔබටත් පුළුවන් ලෝක ව්‍යාප්තව කෙරෙන රාජ්‍ය වැඩකටයුතු ගැන හොයලා බලලා පුළුවන් විදිහට උදව් කරන්න. පුරෝගාමීන් හා උද්‍යෝගිමත් ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. ඔවුන්ගේ සේවය අගය කරලා පුංචි තෑග්ගක් දෙන්න. පොඩි සංග්‍රහයක් කරන්න. ඒ විතරක් නෙමෙයි යෞවනයන්, පූර්ණකාලීන සේවකයන්, අසනීප අය, වගකීම් දරන අය සහ වෙනත් අය වෙනුවෙන් යාච්ඤා කරන්නත් ඔබට පුළුවන්.

ඔබ කරන සේවය හුඟක් වටිනවා. අපේ ස්වර්ගික පියාණන් ඔබට ගොඩක් ආදරේ නිසා ඔබව කවදාවත් අහක දාන්නේ නැහැ. (ගීතා. 71:9) මහලු වයසවත් ඒ දුෂ්කරතාවත් අද්දකින්න වෙන්නේ නැති කාලයක් ළඟදීම එනවා. එදාට කිසිම ලෙඩක් දුකක් නැතුව පරිපූර්ණ සුවයෙන් අපේ ප්‍රේමණීය දෙවි යෙහෝවාට සදාකාලයටම සේවය කරන්න අපිට පුළුවන්!

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.