Skip to content

පටුනට යන්න

පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න

පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න

‘යහපත් දේවල් කිරීමට ඔවුන්ට අවවාද කරන්න. එසේ කිරීමෙන් සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට ඔවුන් සමත් වනු ඇත.’—1 තිමෝ. 6:18, 19.

ගීතිකා: 125, 40

1, 2. (අ) ඔයා පාරාදීසයේදී කරන්න ආසාවෙන් ඉන්නේ මොන වගේ දේවල්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පාරාදීසයේදී අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ මොන දේ නිසාද?

“සදාකාල ජීවනය” ලබාගන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. පාවුල් ඒ ජීවිතය හැඳින්නුවේ “සැබෑ ජීවිතය” කියලයි. (1 තිමෝති 6:12, 19 කියවන්න.) අපෙන් වැඩිදෙනෙක්ට ඒ ජීවිතේ ලැබෙන්නේ මේ පොළොවෙමයි. පොඩ්ඩක් හිතන්න, එදාට අවදි වෙන හැම උදෑසනකම ඔයාට දැනෙන සතුට, තෘප්තිය, හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන නිසා දැනෙන ප්‍රබෝදය කොයි වගේද කියලා? (යෙසා. 35:5, 6) පවුලේ අය, යාළුවෝ එක්ක, ඔයා ආදරේ කරපු අය නැවත නැඟිට්ටම ඒ අය එක්ක කාලේ ගත කරද්දී කොයි තරම් සතුටක් දැනෙයිද? (යොහ. 5:28, 29; ක්‍රියා 24:15) අලුත් අලුත් දේවල් ඉගෙනගන්න, ඔයාට තියෙන දක්ෂකම් තව දියුණු කරගන්න ඕන තරම් කාලේ තියෙනවා. උදාහරණෙකට සංගීත භාණ්ඩ වාදනය කරන්න, ඔයාගෙම ගෙදර ලස්සනට සැලසුම් කරන්න, පරිසරය ගැන දේවල් ඉගෙනගන්න ඔයාට පුළුවන්.

2 ඒ දේවලින් අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන් වුණත් එදාට අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන එකෙනුයි. දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් වෙලා, හැම කෙනෙක්ම දෙවිව තමන්ගේ පාලකයා විදිහට පිළිගන්නවා දකිද්දී අපිට මොන තරම් තෘප්තියක් දැනෙයිද! (මතෙ. 6:9, 10) පොළොව නිර්මාණය කරද්දී දෙවිට තිබුණු අරමුණ ඉටු වෙලා මේ පොළොව පරිපූර්ණ මිනිසුන්ගෙන් පිරෙනවා දකිද්දී දැනෙන සතුට කියාගන්න බැරි වෙයි. අපි ක්‍රමානුකූලව පරිපූර්ණ අය වෙද්දී යෙහෝවා දෙවි එක්ක අපේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගෙන ඔහුට ළං වෙන්න අපිට කොච්චර ලේසි වෙයිද!—ගීතා. 73:28; යාකො. 4:8.

3. අපි දැන් ඉඳන්ම සූදානම් වෙන්න ඕනෙ මොන දේටද?

3 යෙහෝවා දෙවි මේ පුදුමාකාර දේවල් හැම එකක්ම කරනවා කියලා අපිට විශ්වාසයි. මොකද “දෙවිට සියල්ල කළ හැකියි.” (මතෙ. 19:25, 26) ඒත් පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අපිට ඕනෙ නම් මේ කාලෙදීම අපි ඒ “සැබෑ ජීවිතය තදින් අල්ලගන්න” උත්සාහ කරන්න ඕනේ. අවසානය ළඟ ළඟම එනවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි ජීවත් වෙන්න ඕනෙ ඒක ඕනම මොහොතක එන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්. ඒ වගේම අනාගත පාරාදීසයේ ජීවත් වෙන්න දැන් ඉඳන්ම සූදානම් වෙන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු.

සූදානම් වෙන්නේ කොහොමද?

4. පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

4 පාරාදීසයේ ජීවිතේට දැන්ම සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? වෙන රටක පදිංචියට යන්න ඔයා ලෑස්ති වෙනවා කියලා හිතන්න. එහෙමනම් ඒ රටේ ජීවිතේට ඔයා කලින්ම සූදානම් වෙන්නේ නැද්ද? උදාහරණෙකට ඔයා ඒ රටේ භාෂාව ඉගෙනගනියි. සිරිත් විරිත් ගැන හොයලා බලයි. පුළුවන් නම් ඒ රටේ කෑම බීමත් රස බලයි. පාරාදීසයේ ජීවිතේටත් අපිට ඒ වගේම සූදානම් වෙන්න පුළුවන්. අපි දැනටමත් පාරාදීසයේ ඉන්නවා කියලා හිතාගෙන දේවල් කරනවා නම් ඒ ජීවිතේට දැන්ම සූදානම් වෙන්න අපිට පුළුවන්. ඒක කරන්න පුළුවන් විදි කීපයක් බලමු.

5, 6. දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඉගෙනගන්න එක පාරාදීසයේ ජීවිතේට සූදානම් වෙන්න පුළුවන් එක විදිහක් කියන්නේ ඇයි?

5 තමන් කැමති, තමන්ට හරියි කියලා හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන් කියන අදහස සාතන් මිනිසුන්ගේ හිතේ ඇති කරලා තියෙනවා. හුඟක් අය හිතන්නෙත් දෙවිට කීකරු වෙන්නේ නැතුව තමන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන එක වැදගත් කියලා. ප්‍රතිඵලේ දුක් වේදනාවලින් පිරුණු, සතුටක් නැති ජීවිතයක්. (යෙරෙ. 10:23) ඒත් යෙහෝවා දෙවි අපිට ආදරේ කරන පාලකයෙක්. පාරාදීසයේදී හැමෝම ඔහුට කීකරු වෙද්දී ඒ ජීවිතේ මොන තරම් ලස්සන එකක් වෙයිද!

6 ඒ කාලෙදී මේ පොළොව පාරාදීසයක් කරන්නත් නැවත නැඟිටින අයට උගන්වන්නත් අවශ්‍ය කරන මඟ පෙන්වීම් දෙවිගේ සංවිධානයෙන් අපිට ලැබෙයි. එදාට යෙහෝවා දෙවි අපිට හුඟක් වැඩ භාර දෙයි. ඒත් හිතන්න, අපි කරන්න ඒ තරම් ආස නැති වැඩක් ඒ කාලේ පෙරමුණ ගන්න අය අපිට භාර දුන්නා කියලා. අපි ඒකට කීකරු වෙයිද? ඒ පැවරුම සතුටින්, හොඳට කරන්න අපි උපරිමෙන් උත්සාහ කරයිද? අපි දැන් යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් ඒකෙන් පෙන්නන්නේ පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අපි දැන් ඉඳන්ම සූදානම් වෙනවා කියලයි.

7, 8. (අ) පෙරමුණ ගන්න අයට අපි සහයෝගය දෙන්න ඕනෙ ඇයි? (ආ) සමහරු මුහුණ දීලා තියෙන්නේ මොන වගේ අභියෝගවලටද? (ඇ) පාරාදීසයේ ජීවිතය ගැන අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක්ද?

7 පාරාදීසයේ ජීවිතේට දැන්ම සූදානම් වෙන්න නම් දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා වගේම අපිට දෙන ඕනම දෙයක් සතුටින් භාර අරන් ඒ ගැන සෑහීමට පත් වෙන එකත් වැදගත්. ඒ වගේම අනිත් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් අපි ඉගෙනගන්න ඕනේ. හිතන්න, ඔයාට අලුත් පැවරුමක් ලැබුණා කියලා. ඒක වටින එකක් විදිහට සලකලා සතුටින් කරන්න ඔයාට පුළුවන්ද? එහෙම කරලා පෙරමුණ ගන්න සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අද ඉඳන්ම ඔයා ඉගෙනගත්තොත් පාරාදීසයේදීත් ඔයාට ඒක ලේසියෙන් කරන්න පුළුවන්. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වුණාම ඒ එක් එක් පවුල පදිංචි වුණේ ඔවුන්ට දීපු කොටසේ. (ගණන්. 26:52-56; යොෂු. 14:1, 2) පාරාදීසයේදී අපිට කොහේ පදිංචි වෙන්න කියයිද කියලා අපි දන්නේ නැහැ. ඒත් දැන් ඉඳන්ම අපි සෑහීමට පත් වෙන්නත් සහයෝගයෙන් වැඩ කරන්නත් ඉගෙනගෙන තියෙනවා නම් පාරාදීසයේදී අපිට කොහේ ජීවත් වෙන්න ලැබුණත් අපි සතුටින් දෙවිගේ කැමැත්ත කරයි.

8 දේවරාජ්‍යයේ පාලනය යටතේ දෙවිට සේවය කරන්න ලැබෙන එක මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ ගැන හිතද්දී දැන් දෙවිගේ සංවිධානය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න, අපිට දෙන ඕනම පැවරුමක් සතුටින් කරන්න අපි පෙලඹෙනවා. සමහර අවස්ථාවලදී අපිට දීලා තියෙන පැවරුම් වෙනස් වෙනවා. උදාහරණෙකට ඇමරිකාවේ බෙතෙල් එකේ සේවය කරපු සමහරුන්ව පුරෝගාමි සේවයට යැව්වා. වයස නිසා නැත්නම් වෙනත් හේතු නිසා සමහර චාරිකා සේවකයන්ට විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න පැවරුම් ලැබුණා. තමන්ට ලැබුණු අලුත් පැවරුම් ඒ අය සතුටින් කරනවා. යෙහෝවා දෙවිත් ඒ අයට ආශීර්වාද කරනවා. දෙවිගේ උදව් ඉල්ලලා යාච්ඤා කරනවා නම්, පුළුවන් උපරිමයෙන් ඔහුට සේවය කරනවා නම්, ලැබෙන ඕනම පැවරුමක් භාර අරන් සතුටින් කරනවා නම් අපිටත් ලොකු තෘප්තියක් වගේම යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් නොඅඩුව ලැබෙයි. (හිතෝපදේශ 10:22 කියවන්න.) හිතන්න, පාරාදීසයේදී එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන්න ඔයා ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඔයාට වෙනත් ප්‍රදේශයකට යන්න කියලා කියනවා. ඒ ගැන ඔයා දුක් වෙයිද? නැහැ. එදාට අපිට වැඩියෙන් වටින්නේ ජීවත් වෙන තැනවත් ලැබුණු පැවරුමවත් නෙමෙයි. පාරාදීසයේ ජීවත් වෙන්න ලැබුණු අවස්ථාවම මොන තරම් වටිනවද කියලා අපිට හිතෙයි.—නෙහෙ. 8:10.

9, 10. (අ) ඉවසීම කියන ගුණාංගය අපිට පාරාදීසයේදීත් ඕන වෙන්නේ ඇයි? (ආ) අපි දැන් ඉවසීමෙන් වැඩ කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

9 පාරාදීසයේදීත් සමහර දේවල් වෙන කල් අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙයි. උදාහරණෙකට සමහරුන්ගේ පවුලේ අය, යාළුවෝ නැවත නැඟිටලා නිසා එයාලා කොච්චර සතුටු වෙනවද කියලා ඔයාට ආරංචි වෙයි. ඒත් ඔයා ආදරේ කරපු අය නැවත නැඟිටින කල් ඔයාට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙයි. එහෙම ඉවසීමෙන් ඉන්න අතරේ සතුටු වෙන අය එක්ක සතුටු වෙන්න ඔයාට පුළුවන්ද? (රෝම 12:15) දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න දැන් ඉඳන්ම අපි ඉගෙනගන්නවා නම් පාරාදීසයේදීත් ඉවසීමෙන් බලන් ඉන්න ඒක උදව් වෙයි.—දේශ. 7:8.

10 පාරාදීසයේ ජීවිතේට සූදානම් වෙන්න පුළුවන් තව විදිහක් තමයි බයිබලේ කාරණා ගැන අපිට තියෙන අවබෝධය තව පැහැදිලි කරලා දෙද්දී කලබල වෙන්නේ නැතුව, ඉවසීමෙන් ඒ ලිපි අධ්‍යයනය කරලා, හොඳට හිතන එක. සමහරවිට ඒ වෙනස්කම් අපිට සීයට සීයක් පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන්ද ඉවසීමෙන් බලාගෙන ඉන්න? දැන් ඉඳන්ම අපි එහෙම කරනවා නම් පාරාදීසයේදී යෙහෝවා දෙවි අපිට කරන්න අලුත් වැඩ භාර දෙද්දී ඒවා හොඳින් කරන්න අපිට පුළුවන්.—හිතෝ. 4:18; යොහ. 16:12.

11. සමාව දෙන්න අපි දැන් ඉඳන්ම ඉගෙනගන්න ඕනෙ ඇයි? පාරාදීසයේදී ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

11 සමාව දෙන්න ඉගෙනගන්න එකත් පාරාදීසයේ ජීවිතේට සූදානම් වෙන්න පුළුවන් තව විදිහක්. යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලය ඇතුළත හැමෝම පරිපූර්ණ පුද්ගලයන් වෙනවා. ඒත් ඒකට සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. (ක්‍රියා 24:15) දිගටම එකිනෙකාට ආදරෙන් සලකන්නත් සමාව දෙන්නත් අපිට පුළුවන් වෙයිද? අපි දැන් ඉඳන්ම අනිත් අයට සමාව දෙන්න ඉගෙනගන්නවා නම් ඒ අයව හොඳ යාළුවන් කරගන්නවා නම් පාරාදීසයේදීත් ඒක කරන්න අපිට ලේසි වෙයි.—කොලොස්සි 3:12-14 කියවන්න.

12. පාරාදීසයේ ජීවිතේට අපි දැන් ඉඳන්ම සූදානම් වෙන්න ඕනෙ ඇයි?

12 පාරාදීසයේදී අපිට ඕන දේවල් හැම වෙලාවෙම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒක ලැබෙන කල් අපිට කාලයක් බලන් ඉන්න වෙයි. අපිට ගත කරන්න ලැබෙන ජීවිතේ සමහරවිට අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක අගය කරන එක, සෑහීමට පත් වෙන එක හුඟක් වැදගත්. යෙහෝවා දෙවි මේ කාලෙදී අපි තුළ වර්ධනය කරගන්න උගන්වන ගුණාංග අපිට ඒ කාලෙදීත් ප්‍රයෝජනවත්. අපි ඒ ගුණාංග දැන් ඉඳන්ම අපේ ජීවිතවලට අදාළ කරගද්දී ඒකෙන් ඔප්පු වෙන්නේ අපි බලාපොරොත්තුවෙන් ඉන්න පාරාදීසය අපිට කොච්චර ඇත්තක්ද කියන එකයි. සදාකල් ජීවත් වෙන්න අපි සූදානම් වෙනවා කියන එකයි. (හෙබ්‍රෙ. 2:5; 11:1) පොළොවේ හැමෝම යෙහෝවා දෙවිට කීකරු වෙන කාලෙක ජීවත් වෙන්න අපි තුළ කොච්චර වුවමනාවක් තියෙනවද කියලත් ඒකෙන් පේනවා.

දැන් ඉඳන්ම දෙවිගේ සේවයට මුල් තැන දෙන්න

උද්‍යෝගයෙන් දේශනා කරන්න

13. පාරාදීසයේදී අපි මුල් තැන දෙන්නේ මොන දේටද?

13 පාරාදීසයේදී සතුටින් ජීවත් වෙන්න ඕන කරන හැම දේම අපිට තියෙයි. ඒත් අපි එදාට වැඩියෙන්ම සතුටු වෙන්නේ යෙහෝවා දෙවි එක්ක තියෙන කිට්ටු බැඳීම නිසයි. (මතෙ. 5:3) එදාට යෙහෝවා දෙවි වෙනුවෙන් කරන්න අපිට ගොඩක් වැඩ තියෙනවා. ඔහු වෙනුවෙන් සේවය කරලා අපි ලොකු සතුටක් අද්දකියි. (ගීතා. 37:4) දැන් ඉඳන්ම අපේ ජීවිතවල මුල් තැන යෙහෝවා දෙවිගේ සේවයට දෙනවා නම් අපි කරන්නේ පාරාදීසයේ ජීවිතේට සූදානම් වෙන එකයි.—මතෙව් 6:19-21 කියවන්න.

14. දෙවිට වැඩි සේවයක් කරන්න යෞවනයන්ට තියන්න පුළුවන් ඉලක්ක මොනවද?

14 යෙහෝවා දෙවිට සේවය කරලා ලබන සතුට තවත් වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ඉලක්ක තියලා ඒවා ජය ගන්න එක. ඔයා යෞවනයෙක් නම් දෙවිට වැඩියෙන් සේවය කරන්න පුළුවන් පැති ගැන හිතන්න. පූර්ණකාලීන සේවයට ඇතුළත් වෙන්නේ මොන වගේ දේවල්ද කියලා අපේ ප්‍රකාශනවලින් හොයලා බලන්න. ඊටපස්සේ ඒවාවලින් එකක් තෝරගෙන ඒ ඉලක්කය ජය ගන්න උත්සාහ කරන්න. * අවුරුදු ගාණක් පූර්ණකාලීනව සේවය කරන අය එක්ක කතා කරලා බලන්න. දෙවිට වැඩියෙන් සේවය කරද්දී ලැබෙන පුහුණුව මිල කරන්න බැහැ. පාරාදීසයේදී ඒ පුහුණුව ඔයාට ලොකු උදව්වක් වෙයි.

දෙවිට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියලා ඒවා ජය ගන්න

15. අපිට තියන්න පුළුවන් තවත් ඉලක්ක මොනවද?

15 දෙවිට කරන නමස්කාරයේ අපිට තියන්න පුළුවන් තවත් හුඟක් ඉලක්ක තියෙනවා. ඒ වගේ ඉලක්කයක් තමයි දේවසේවයේ මේ වෙනකොට ඔයා හවුල් වෙලා නැති අංගයක් අත්හදා බලලා ඒක තව දියුණු කරගන්න එක. බයිබල් ප්‍රතිපත්ති සහ ඒවා ජීවිතේට අදාළ කරගන්න පුළුවන් පැති හොඳින් තේරුම්ගන්නත් ඉලක්කයක් තියාගන්න පුළුවන්. රැස්වීම්වලදී ශබ්ද නඟා කියවීම තවත් දියුණු කරගන්න, දක්ෂ විදිහට කතා දෙන්න, අදහස් දක්වන්න ඉලක්ක තියාගන්න පුළුවන්. සේවය ගැන ඔයාට තියෙන උද්‍යෝගය වැඩි කරගන්නත් පාරාදීසයේ ජීවිතේට සූදානම් වෙන්නත් ඒ වගේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න එක ඔයාට උදව්වක්.

ගත කරන්න පුළුවන් හොඳම ජීවිතේ!

යෙහෝවා දෙවිගෙන් ලැබෙන දේවල් අගය කරන්න

16. යෙහෝවා දෙවිට සේවය කරන එක ජීවිතේ ගත කරන්න පුළුවන් හොඳම විදිහ කියන්නේ ඇයි?

16 පාරාදීසයේ ජීවිතේට සූදනම් වෙන්න දැන් අපි කාලය යොදවන නිසා අපි දැන් ගත කරන ජීවිතේ යම් දේවල් අපිට අහිමි වෙනවද? නැහැ. යෙහෝවා දෙවිට සේවය කරන එක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් හොඳම විදිහ. අපි දෙවිට සේවය කරන්නේ කවුරුවත් බල කරන නිසාවත් මහත් පීඩාවෙන් බේරෙන්න තියෙන වුවමනාව නිසාවත් නෙමෙයි. දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙද්දී අපේ ජීවිත අර්ථවත් වගේම සතුටින් පිරිලා. එහෙම ජීවත් වෙන්න තමයි දෙවි අපිව නිර්මාණය කළේ. යෙහෝවා දෙවිගේ ආදරේ, ඔහුගේ මඟ පෙන්වීම් ලබමින් ගත කරන ජීවිතේ වෙන කිසිම දේකට සම කරන්න පුළුවන්ද? (ගීතාවලිය 63:1-3 කියවන්න.) මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරද්දී ලබන සතුට දැනුත් අද්දකින්න අපි හැමෝටම පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ දෙවිට සේවය කරන අයගෙන් ඒ ගැන අහන්න. එයාලා කියයි යෙහෝවා දෙවිට සේවය කරමින් ගත කරන ජීවිතේ තමයි මේ කාලේ ගත කරන්න පුළුවන් හොඳම ජීවිතේ කියලා.—ගීතා. 1:1-3; යෙසා. 58:13, 14.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් පතන්න

17. අපි ආස කරන දේවලට, විනෝදයට පාරාදීසයේදී අපේ ජීවිතවල ලැබෙන්නේ මොන වගේ තැනක්ද?

17 පාරාදීසයේදී අපි ආස කරන දේවල් කරන්න, විනෝද වෙන්න අපි යම් කාලයක් යොදවයි. මොකද යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ සතුටක් ලබන්න තියෙන අවශ්‍යතාව ඇතුවයි. ඒ වගේම ඔහු “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා පොරොන්දු වෙලා තියෙනවා. (ගීතා. 145:16; දේශ. 2:24) අපිට විවේකය, විනෝදය ඕනෙ තමයි. ඒත් අපේ ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දුන්නොත් විතරයි අපිට ඒ දේවලින් තවත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. පාරාදීසයේදීත් ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා අපි දැන් ඉඳන් ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන’ එකත් දෙවිට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද ගැන නිතරම හිතන එකත් කොච්චර වටිනවද!—මතෙ. 6:33.

18. පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අපි දැන් ඉඳන්ම සූදානම් වෙනවා කියලා පෙන්නන්නේ කොහොමද?

18 පාරාදීසයේ ජීවිතය අපිට හිතාගන්නවත් බැරි තරම් ලස්සන ජීවිතයක් වෙයි. ඒ “සැබෑ ජීවිතයට” දැන් ඉඳන්ම සූදානම් වෙලා ඒක ලබාගන්න අපි කොච්චර ආසාවෙන් ඉන්නවද කියලා පෙන්නමු. දෙවි අපිට උගන්වන ගුණාංග අපි අපේ ජීවිත තුළ වර්ධනය කරගන්න අතරේ උද්‍යෝගයෙන් දේශනා කරමු. ජීවිතේ මුල් තැන දෙවිගේ නමස්කාරයට දෙද්දී ලබන සතුට අද්දකිමු. පාරාදීසයේදී යෙහෝවා දෙවි ඔහුගේ හැම පොරොන්දුවක්ම ඉෂ්ට කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි දැනටමත් පාරාදීසයේ ඉන්නවා කියලා හිතාගෙන හැම දවසක්ම ගත කරමු.