Skip to content

පටුනට යන්න

බලාපොරොත්තුවෙන් ඉන්න!

බලාපොරොත්තුවෙන් ඉන්න!

“එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න.”—හබ. 2:3.

ගීතිකා: 128, 45

1, 2. යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද?

අතීතයේ ඉඳන්ම යෙහෝවා දෙවිගේ සේවකයන් අනාවැකි ඉටු වෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉඳලා තියෙනවා. බැබිලෝනිය යූදා දේශය විනාශ කරනවා කියන අනාවැකිය ඉටු වෙන කල් කාලයක් බලාගෙන හිටපු යෙරෙමියා, ක්‍රි.පූ. 607දී ඒක ඉටු වෙනවා දැක්කා. (යෙරෙ. 25:8-11) වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිය අයව දෙවි නිදහස් කරගෙන ආයෙත් යූදා දේශයට ගේනවා කියන අනාවැකිය කියපු යෙසායා, යෙහෝවා දෙවි ගැන මෙහෙම කිව්වා. “ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය.” (යෙසා. 30:18) මීකාත් දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් බලාගෙන හිටපු කෙනෙක්. “මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (මීකා 7:7) ඒ අය විතරක් නෙමෙයි පොරොන්දු වුණු ගැලවුම්කරු එන කල් දෙවිගේ සෙනඟ සියවස් ගාණක් බලාගෙන හිටියා.—ලූක් 3:15; 1 පේතෘ. 1:10-12. *

2 අපිත් දෙවිගේ රාජ්‍යය ගැන සඳහන් අනාවැකි ඉටු වෙන කල් බලාගෙන ඉන්නවා. ඒ රාජ්‍යයේ රජු වන යේසුස් ළඟදීම මේ දුෂ්ට සමාජයෙන් අපිව බේරගෙන දුෂ්ටයන්ව විනාශ කරලා දුක් වේදනා සම්පූර්ණයෙන්ම නැති කරනවා. (1 යොහ. 5:19) ඒ දවස කොයි මොහොතක හරි එන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් ඉන්න අතරේ ඒකට සූදානමින් ඉන්න අපිට පුළුවන් හැම දේම කරන්න ඕනේ.

3. අපි කාලයක් තිස්සේ අවසානය එන කල් බලාගෙන ඉන්නවා නම් මතු වෙන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද?

3 දෙවිගේ කැමැත්ත මේ පොළොවේ ඉටු වෙන දවස එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. (මතෙ. 6:10) ඒත් අපෙන් සමහරු අවසානය එන කල් අවුරුදු ගාණක්ම බලන් ඉඳලා තියෙනවා. එහෙමනම් ‘අවසානය දැන් එයි කියන හැඟීමෙන් දිගටම ඉන්න හොඳ හේතු තියෙනවද’ කියලා ඒ අයට හිතෙන්න පුළුවන්.

අවසානය දැන් එයි කියන හැඟීමෙන් දිගටම ඉන්න ඕනෙ ඇයි?

4. ‘සෝදිසියෙන් ඉන්න’ අපිට තියෙන ප්‍රධානම හේතුව මොකක්ද?

4 “සෝදිසියෙන් සිටින්න” කියලත් “අවදිව සිටින්න” කියලත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. අවසානය ළඟදීම එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න අපිට තියෙන ප්‍රධානම හේතුව ඒකයි. (මතෙ. 24:42; ලූක් 21:34-36) දෙවිගේ සංවිධානයත් අපිට නිතරම මතක් කරන්නේ “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න” කියලයි. පාරාදීසයේ ජීවිතය ගැන දිගටම හිතන්න කියලත් මතක් කරනවා.—2 පේතෘස් 3:11-13 කියවන්න.

5. ‘සෝදිසියෙන් ඉන්න’ එක මේ කාලේ හුඟක් වැදගත් ඇයි?

5 යෙහෝවා දෙවිගේ දවස එන කල් මුල් සියවසේ ක්‍රිස්තියානීන් දිගටම බලාගෙන හිටියා නම් අද අපි එහෙම කරන එක ඊට වඩා කොච්චර වැදගත්ද! මොකද අපි ජීවත් වෙන්නේ අවසාන කාලය හඳුනගන්න යේසුස් දුන්න ලකුණ ඉටු වෙන කාලේ. ඒ ලකුණ අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලියි යේසුස් 1914දී දේවරාජ්‍යයේ රජු වීමත් එක්කම “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” පටන්ගත්තා කියලා. යේසුස් කිව්ව විදිහටම මේ ලෝකෙ වාතාවරණය එන්න එන්නම නරක අතට හැරෙනවා. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකෙ අස්සක් මුල්ලක් නෑරම දේශනා කරනවා. ඒ හැම එකක්ම යේසුස් කිව්ව ලකුණට ඇතුළත් දේවල්. (මතෙ. 24:3, 7-14) මේ අවසාන කාලය කොච්චර දිගද කියලා යේසුස් කිව්වේ නැහැ. අවසානය ඕනම වෙලාවක එන්න පුළුවන්. ඒකත් දිගටම සූදානමින් ඉන්න හොඳ හේතුවක්.

6. අවසානය ළං වෙන්න වෙන්න මේ ලෝකෙ තත්වය තවත් නරක අතට හැරෙනවා කියලා අපි දන්නේ කොහොමද?

6 “අවසාන කාලයේදී” මිනිසුන් තව තවත් දුෂ්ට වෙනවා කියලා බයිබලේ කියනවා. (2 තිමෝ. 3:1, 13; මතෙ. 24:21; එළි. 12:12) අද ලෝකෙ තත්වය තවත් නරක අතට මිසක් හොඳ අතට හැරෙන්නේ නැහැ කියලා පැහැදිලියි. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” කියන්නේ දැන් තියෙනවට වඩා හුඟක් දරුණු, දුෂ්ට කාලෙකට කියලා. ඒක ඇත්තද?

7. අවසාන කාලෙදී ලෝකෙ තත්වය ගැන මතෙව් 24:37-39 සඳහන් දේවලින් අපි තේරුම්ගන්නේ මොකක්ද?

7 “මහත් පීඩාවට” කලින් මේ ලෝකෙ තත්වය කොච්චර දරුණු වෙයි කියලද ඔයා හිතන්නේ? හැම රටකම යුද්ධ ඇති වෙයි, හැම ගෙදරකම ඉන්න අයට කන්න නැතුව, අසනීපවලින් දුක් විඳියි කියලා හිතනවද? (එළි. 7:14) ඒක එහෙම වුණොත් බයිබලේ තියෙන අනාවැකි ඉටු වෙනවා කියලා බයිබලේ ගැන කිසිම විශ්වාසයක් නැති අය ඇතුළුව හැම කෙනෙක්ම තේරුම්ගනියි. ඒත් යේසුස් කියපු විදිහට අවසාන දවස්වල ඉන්න හැමෝම ඒක තේරුම්ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ වැඩිදෙනෙක් “සිදු වන දේ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ” කියලයි. ඔවුන් එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරනවා. යෙහෝවා දෙවිගේ දවස පැමිණියම ඔවුන්ට ඒක අදහාගන්න බැරි වෙනවා. (මතෙව් 24:37-39 කියවන්න.) එහෙමනම් මහත් පීඩාවට කලින් මේ ලෝකෙ වාතාවරණය දැන් තියෙනවට වඩා හුඟක් දරුණු, දුෂ්ට තත්වයට පත් වෙයි කියලා හිතන්න හොඳ නැහැ.—ලූක් 17:20; 2 පේතෘ. 3:3, 4.

8. ‘සෝදිසියෙන් ඉන්න’ අයට පැහැදිලි වෙලා තියෙන්නේ මොකක්ද?

8 යේසුස් අවසාන කාලය ගැන ලකුණ ඔහුගේ අනුගාමිකයන්ට දුන්නේ ඔවුන් ජීවත් වෙන්නේ අන්තිම දවස්වල කියලා තේරුම් අරන් සෝදිසියෙන් ඉන්න උදව්වක් විදිහටයි. (මතෙ. 24:27, 42) 1914 ඉඳන් යේසුස් දුන්න ලකුණට අයිති හුඟක් දේවල් ඉටු වෙන්න පටන්ගත්තා. අපි දැන් ජීවත් වෙන්නේ “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේ” කියලා අපිට හොඳටම ස්ථිරයි. මේ දුෂ්ට සමාජය විනාශය කරන දවස යෙහෝවා දෙවි දැනටමත් නියම කරලා ඉවරයි.

9. අවසානය ළඟදීම එයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්න ඕනෙ ඇයි?

9 අවසානය ළඟදීම එයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්න ඕනෙ අපි යේසුස්ට කීකරු වෙන නිසයි. ඒ වගේම අවසාන කාලය හඳුනගන්න යේසුස් දුන්න ලකුණට අයිති දේවල් අපේ ඇස් පනාපිටම ඉටු වෙන නිසයි. අවසානය ළඟයි කියලා අපි විශ්වාස කරන්නේ කවුරුත් කියන හින්දා නෙමෙයි. බයිබලේ සඳහන් අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවා කියලා අපිට ස්ථිර නිසයි. ළඟදීම එන මේ විනාශය ගැන සෝදිසියෙන් ඉඳලා ඒකට සූදානමින් ඉන්න එක අපි කරන්න ඕනම දෙයක්.

තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න ඕනෙද?

10, 11. (අ) ‘සෝදිසියෙන් ඉන්න’ කියලා යේසුස් කිව්වේ ඇයි? (ආ) හිතන තරම් ඉක්මනින් අවසානය ආවේ නැත්නම් මොකක් කරන්න කියලද යේසුස් කිව්වේ? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 අපි අතරේ ඉන්න වැඩිදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් අවසානය එන කල් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. කොච්චර කාලයක් බලන් හිටියා වුණත් අපි දිගටම ඒ දවස ඉක්මනටම එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරන්න යේසුස් එද්දී අපි ඒකට සූදානමින් ඉන්න ඕනේ. මතකද යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කරන්න කියපු මේ දේ? “නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න. තම නිවසින් පිට වී පිටරට සංචාරයක් සඳහා ගිය මිනිසෙකු ගැන සිතා බලන්න. මුලින්ම ඒ මිනිසා තම දාසයන්ට යම් බලතල දී එකිනෙකාට තම තමන් කළ යුතු වැඩ කොටස් පවරා දුන්නා. ඉන්පසු ඔහු සෝදිසියෙන් සිටින්න කියා දොරටු පාලකයාට අණ දී තම ගමන සඳහා පිටත් වුණා. ඒ හා සමානව ඔබත් සෝදිසියෙන් සිටින්න. නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ. ඔහු හදිසියෙන්ම එන විට ඔබ නිදා සිටිනවා ඔහුට දකින්න ඉඩ තියන්න එපා. ඔබ සෝදිසියෙන් සිටිය යුත්තේ ඒ නිසයි. මා ඔබට කියන දේ සියලුදෙනාටම කියන්න කැමතියි. එනම් සෝදිසියෙන් සිටින්න.”—මාක් 13:33-37.

11 යේසුස් 1914දී රජ වුණා කියලා ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තම ඔවුන් දැනගත්තා අවසානය ඕනම මොහොතක එන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් ඒකට සූදානම් වුණා. ඒ දේශනා සේවයේ උපරිමයෙන් හවුල් වෙලයි. යේසුස් කිව්වේ ඔහු සමහරවිට “කුකුළා හඬලන වේලාවේදී” නැත්නම් “හිමිදිරි උදෑසනින්” එන්න පුළුවන් කියලයි. ඒක එහෙමනම් ඔහුගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවද? යේසුස් ඔවුන්ට කිව්වේ “ඔබ සෝදිසියෙන් සිටින්න” කියලයි. සෑහෙන කාලයක් බලන් හිටියා කියලා අපිට දැනුණත් ඒකෙන් අවසානය තව දුරයි කියලවත් ඒක අපේ ජීවිත කාලේ ඇතුළත එන එකක් නැහැ කියලවත් අදහස් කරන්නේ නැහැ.

12. හබක්කුක් යෙහෝවා දෙවිගෙන් ඇහුවේ මොකක්ද? දෙවි ඔහුට කිව්වේ මොකක්ද?

12 යෙරුසලමේ විනාශය ගැන දේශනා කරපු හබක්කුක් ගැන බලමු. ඔහු දේශනා කරන්න පටන්ගන්න අවුරුදු ගාණකට කලින් ඉඳන්ම අනාගතවක්තෘවරුන් ඒ පණිවිඩේ දේශනා කරලා තිබුණා. ඔහුත් ඒ අනාවැකිය ඉටු වෙන කල් සෑහෙන කාලයක් ඉවසීමෙන් බලන් හිටියා. ඒත් මිනිසුන්ගේ දුෂ්ටකම් වෙන කවරදාකටත් වඩා වැඩියි කියලා දැක්කම හබක්කුක් දෙවිගෙන් ඇහුවේ “යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද” කියලයි. දෙවි ඔහුට ඒ විනාශය එන දවස කවදද කියලා කිව්වේ නැතත් “එය ප්‍රමාද නොවන්නේය” කියලා සහතික වුණා. ඒ නිසා “ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න” කියලා ඔහුට කිව්වා.—හබක්කුක් 1:1-4; 2:3 කියවන්න.

13. හබක්කුක්ට අනතුරක් වෙන්න තිබුණේ ඔහු කොහොම හිතුවා නම්ද? ඒ ඇයි?

13 බලාගෙන ඉඳලා ඉඳලා ඇති වෙලා හබක්කුක් මෙහෙම හිතුවා නම් මොකද වෙන්නේ? ‘යෙරුසලම විනාශ වෙන කල් මං දැන් අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉන්නවා. මට පේන්නේ තව කාලෙකට ඒක වෙන එකක් නැහැ. මං ඒ ගැන දේශනා කරන එක තේරුමක් නැහැ. ඒක කරන්න වෙන අයට පුළුවන්.’ හබක්කුක්ට එහෙම හිතුණා නම් ඔහුට දෙවිගේ අනුමැතිය නැති වෙන්න තිබුණා. අවසානය එද්දී ඒකට සූදානමින් හිටියේ නැති නිසා ඔහුට ජීවිතය අහිමි වෙන්නත් තිබුණා.

14. දිගටම බලාපොරොත්තුවෙන් ඉන්න එක ගැන අපිට පසුතැවෙන්න වෙන්නේ නැත්තේ ඇයි?

14 ටිකක් හිතන්න ඔයා ඉන්නේ පාරාදීසයේ කියලා. අවසාන දවස් ගැන යෙහෝවා දෙවි කියලා තිබුණු අනාවැකි අකුරක් නෑර ඉටු වෙලා. ඔයාට මොනවද හිතෙන්නේ? වෙන කවරදාකටත් වඩා යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් ඔයාගේ හිතේ ඇති වෙලා තියෙයි. ඔහු පොරොන්දු වෙලා තියෙන ඉතුරු ටිකත් ඒ විදිහටම ඉටු කරයි කියලා ඔයාට කිසිම සැකයක් නැහැ. (යොෂුවා 23:14 කියවන්න.) ඒ වගේම දෙවි නියම කරපු වෙලාවෙදී අවසානය ගෙනාපු එක ගැනත් දිගටම සෝදිසියෙන් ඉන්න කියලා ඔහුගේ සෙනඟට අනතුරු අඟවපු එක ගැනත් ඔයා හුඟක් දෙවිට ස්තුති කරයි.—ක්‍රියා 1:7; 1 පේතෘ. 4:7.

බලාගෙන ඉන්න අතරතුරේ දේශනා කරමු

ඔයා උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරනවද? (15 ඡේදය බලන්න)

15, 16. මේ අවසාන කාලෙදී උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙන්න ඕනෙ ඇයි?

15 දෙවිගේ සංවිධානය අපිට දිගින් දිගටම මතක් කරන්නේ දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න කියලයි. දිගටම කරන ඒ මතක් කිරීම් නිසා සේවයේ වැඩි වැඩියෙන් යෙදෙන්න විතරක් නෙමෙයි දේශනා කරන කාර්යය කල් දාන්න පුළුවන් එකක් නෙමෙයි කියලා තේරුම්ගන්නත් අපිට පුළුවන්. මේ වෙනකොටත් අවසානය හඳුනගන්න යේසුස් දුන්න ලකුණ ඉටු වෙනවා කියලත් අවසානය අත ළඟයි කියලත් අපිට හොඳටම ස්ථිරයි. ඒ නිසා යෙහෝවා දෙවිට අපේ ජීවිතවල මුල් තැන දෙමු. අත් නෑර ශුභාරංචිය දේශනා කරමු.—මතෙ. 6:33; මාක් 13:10.

16 මිනිසුන්ට දේශනා කරද්දී අපි කරන්නේ ළඟදීම එන විනාශයෙන් බේරෙන්න ඒ අයට උදව් කරන එක. 1945දී විල්හෙල්ම් ගුස්ට්ලෝෆ් කියන නැව මුහුදුබත් වීම මිනිස් ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුම නාවික අනතුරුවලින් එකක්. එදා මිනිසුන් දහස් ගාණක් මිය ගියා. බේරුණු අය අතර අපේ සහෝදර යුවළකුත් හිටියා. “නැව ගිලෙනවා කියලා දැක දැකත් එක කාන්තාවක් ‘අනේ මගේ සූට්කේස් එක! අනේ මගේ රත්තරන් බඩු ටික! ඒවා ඔක්කොම නැවේ කාමරේ. මට හැම දේම නැති වුණා’ කියකිය හොඳටම ඇඬුවා” කියලා ඒ සහෝදරිය කියනවා. ඒත් එතන හිටපු වැඩිදෙනෙක් වඩා වැදගත් වෙන්නේ මොනවද කියලා තේරුම් අරන් මිනිසුන්ගේ ජීවිත බේරගන්න ඒ අයට පුළුවන් හැම දේම කළා. අදත් මිනිසුන්ගේ ජීවිත තියෙන්නේ අනතුරේ. අපිත් එදා අනතුර වෙලාවේ තමන් ගැන හිතන්නේ නැතුව මිනිසුන්ගේ ජීවිත බේරගන්න වෙහෙසුණු අය වගේ වෙන්න ඕනේ. දේශනා කරන එක කල් දාන්න බැහැ කියලා අපි තේරුම්ගන්න ඕනේ. විනාශයෙන් බේරෙන්න මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන් හැම දේම කරමු.

දේශනා සේවය කල් දාන්න පුළුවන් කාර්යයක් නෙමෙයි කියලා ඔයා ගන්න තීරණවලින් පෙන්නන්න (17 ඡේදය බලන්න)

17. අවසානය ඕනම වෙලාවක එන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි?

17 බයිබලේ සඳහන් අනාවැකි ඉටු වෙනවා කියලත් මේ දුෂ්ට සමාජයේ අවසානය අත ළඟයි කියලත් අපිට හොඳටම පැහැදිලියි. “අං දසය” සහ “මෘගයා” අසත්‍යය උගන්වන ආගම්වලට ප්‍රහාරය එල්ල කරන කල් අපි බලාගෙන ඉන්නවා. (එළි. 17:16) ඒක වෙන්න තව ටික කාලයක් යයි කියලා හිතන්න හොඳ නැහැ. අසත්‍යය උගන්වන ආගම්වලට පහර දෙන්න කියන අදහස යෙහෝවා දෙවි “ඔවුන්ගේ මනස් තුළට” ඕනම වෙලාවක, ක්ෂණිකව දාන්න පුළුවන්. (එළි. 17:17) සාතන්ගේ දුෂ්ට සමාජයේ විනාශය ළඟ ළඟම එනවා. ඒ නිසා යේසුස් කිව්ව මේ දේට අපි කීකරු වෙන්න ඕනේ. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි.” (ලූක් 21:34, 35; එළි. 16:15) දිගටම සෝදිසියෙන් ඉන්න අතරේ “තමන් කෙරෙහි බලාපොරොත්තු තබන අයගේ පිහිටට පැමිණෙන” යෙහෝවා දෙවිට වෙහෙස මහන්සි නොබලා සේවය කරමු.—යෙසා. 64:4.

18. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

18 මේ දුෂ්ට සමාජයේ අවසානය එන කල් බලාගෙන ඉන්න අතරේ බයිබලේ තියෙන මේ අවවාදයත් අපේ හිතට ගමු. “ප්‍රේමණීය සහෝදරයෙනි, ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත ඔබේ විශ්වාසය ගොඩනඟාගන්න. දෙවිගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට එකඟව යාච්ඤා කරන්න. එසේ කරමින් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න. ඒ අතරතුර ඔබට සදාකාල ජීවනය ලබාගැනීමට මඟ පාදන අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව ගැන අපේක්ෂාවෙන් සිටින්න.” (යූද් 20, 21) ඒත් මේ පොළොව පාරාදීසයක් වෙන දවස අත ළඟයි කියලා අපිට ස්ථිරයි කියලත් ඒ දිහා අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලත් අපි ජීවත් වෙන විදිහෙන් ඔප්පු කරන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 1 ඡේ. ගැලවුම්කරු ගැන කියපු සමහරක් අනාවැකි සහ ඒවා ඉටු වුණු විදිහ ගැන දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 200වෙනි පිටුව බලන්න.