Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සදා නොමියන ආදරේ ගැන හිතන්න

යෙහෝවා දෙවිගේ සදා නොමියන ආදරේ ගැන හිතන්න

“දෙවියනි, ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි.”—ගීතා. 77:12.

ගීතිකා: 18, 61

1, 2. (අ) යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට ආදරෙයි කියලා ඔයාට ස්ථිර ඇයි? (ආ) මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ මොන අවශ්‍යතාව ඇතුවද?

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට හුඟක් ආදරෙයි කියලා ඔයාට ස්ථිරද? මේ අද්දැකීම් ගැන හිතන්න. ටෙයිලින්ට හැඟුණේ දෙවි වෙනුවෙන් එයා කරන දේවල් මදි කියලයි. ඒත් පුළුවන් ප්‍රමාණයට වඩා දෙවි එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා තේරුම්ගන්න සහෝදර සහෝදරියෝ කාලයක් තිස්සේ එයාට උදව් කළා. “යෙහෝවා දෙවි මට ආදරේ නැත්නම් මේ තරම් මඟ පෙන්වීම් දීලා මට උදව් කරයිද” කියලා ටෙයිලින් කියනවා. සැමියා මිය ගියාට පස්සේ දරුවෝ දෙන්නෙක් එක්ක තනි වුණු බ්‍රිජට් මෙහෙම කියනවා. “මේ දුෂ්ට සමාජයේ දරුවෝ ඇතිදැඩි කරන එක හරිම අමාරුයි. මහත්තයා නැතුව ඒක තවත් අමාරුයි. පහුගිය කාලේ කාටත් හොරා අඬපු දවස් ඕන තරම් තිබුණා. ඒත් යෙහෝවා දෙවි මං ළඟින්ම ඉඳන් මට උදව් කරපු විදිහ මං අද්දැක්කා. දෙවි මට දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා දුකක් විඳින්න ඉඩ දීලා නැහැ. (1 කොරි. 10:13) දෙවි ඒ හැම දෙයක්ම කළේ මට ආදරේ නිසයි.” සැන්ඩ්‍රාට තිබුණේ බරපතළ ලෙඩක්. දවසක් සමුළුවකදී සහෝදරියක් සැන්ඩ්‍රාට ආදරෙන් සැලකුවා. “අපි එයාව අඳුරන්නෙත් නැහැ. ඒත් එයාගේ ආදරේ, සැලකිල්ල නිසා සැන්ඩ්‍රා එදා හිටියේ හරිම සතුටෙන්. අපේ සහෝදරයෝ ආදරෙන් කරන පුංචි දේවලින් වුණත් යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලා මං අද්දැක්කා” කියලා සැන්ඩ්‍රාගේ සැමියා කියනවා.

2 යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ආදරේ කරන්න, ආදරේ ලබන්න තියෙන අවශ්‍යතාව ඇතුවයි. ඒත් අසනීපවලින් දුක් විඳිද්දී, අර්ථික ප්‍රශ්න එද්දී, සේවයේ හොඳ ප්‍රතිඵල නැහැ කියලා හිතෙද්දී යෙහෝවා දෙවි දැන් මට ආදරේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී ඔහුට අපිව හුඟක් වටිනවා කියලත් ඕනම වෙලාවක උදව් කරන්න ඔහු අපේ දකුණත අල්ලගෙන ඉන්නවා කියලත් මතක් කරගන්න. අපි දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් ඔහු කවදාවත් අපිව අමතක කරන්නේ නැහැ.—යෙසා. 41:13; 49:15.

3. දෙවිට අපි ගැන සදා නොමියන ප්‍රේමයක් තියෙනවා කියන විශ්වාසය ශක්තිමත් කරගන්නේ කොහොමද?

3 අමාරු කාලවලදී යෙහෝවා දෙවි තමන් ළඟින්ම හිටියා කියලා කලින් අද්දැකීම්වල කියපු අයට කිසිම සැකයක් නැහැ. දෙවි අපි ළඟිනුත් ඉඳන් උදව් කරයි කියන විශ්වාසය ඇතුව ඉන්න අපිටත් පුළුවන්. (ගීතා. 118:6, 7) ඒ විශ්වාසය තව ශක්තිමත් කරගන්න උදව් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවිගේ සදා නොමියන ප්‍රේමය ගැන නැත්නම් ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන, අපිට දීලා තියෙන දේවල් ගැන හොඳට හිතන එක. (ගීතාවලිය 77:11, 12 කියවන්න.) ඒවාවලින් 4ක් ගැන දැන් බලමු. (1) දෙවිගේ නිර්මාණ. (2) බයිබලය. (3) යාච්ඤාව. (4) යේසුස්ගේ ජීවිත පූජාව.

දෙවිගේ නිර්මාණ ගැන හොඳට හිතන්න

4. යෙහෝවා දෙවිගේ නිර්මාණ ගැන හොඳට හිතද්දී අපි තේරුම්ගන්නේ මොකක්ද?

4 යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලා ඔහුගේ නිර්මාණවලින් පේනවා. (රෝම 1:20) නිකම්ම ජීවත් වෙනවට වඩා ජීවිතේ සතුටින් ගත කරන්න ඕනෑවටත් වඩා දේවල් ඔහු පොළොව නිර්මාණය කරද්දී අපි වෙනුවෙන් හැදුවා. උදාහරණෙකට ජීවිතේ පවත්වගෙන යන්න මොනවා හරි කෑමක් තිබුණා නම් ඇති. ඒත් දෙවි කොයි තරම් නම් විවිධාකාර කෑම වර්ග නිර්මාණය කරලා ඒවාවලින් සතුටු වෙන්න අපිට අවස්ථාව දීලා තියෙනවද! (දේශ. 9:7) කැතරින් මෙහෙම කියනවා. “අප්‍රියෙල් මාසේ කැනඩාවේ තියෙන්නේ පුදුම ලස්සනක්. එක එක පාටින් මල් පූදින විදිහ, සීත කාලේ වෙනත් රටවලට ගිය කුරුල්ලෝ ආයෙත් ගම රට බලා එන අපූරුව විස්තර කරන්න වචන නැහැ. අපේ මිදුලේ කුරුල්ලන්ට කෑම භාජනයක් තියෙනවා. කාලෙකට වෙන රටකට යන ගුමන කුරුල්ලන්ට ඒ කෑම භාජනය මතක් වෙලා ආයෙත් එන හැටි හරිම පුදුමයි. මේ තරම් ලස්සන දේවල් දීලා අපිව සතුටින් තියන්න යෙහෝවා දෙවිගේ හිතේ අපි ගැන කොච්චර නම් ආදරයක් තියෙන්න ඕනෙද!” දෙවි ඔහුගේ නිර්මාණවලට හුඟක් ආදරෙයි. අපිත් ඒවාවලින් සතුටු වෙනවා දකින්න ඔහු කැමතියි.—ක්‍රියා 14:16, 17.

5. මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන විදිහෙන් දෙවිගේ ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද?

5 දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ වැඩ කරලා සතුටක් ලබන්න පුළුවන් විදිහටයි. (දේශ. 2:24) පොළොව මිනිසුන්ගෙන් පුරවලා ඒක ලස්සන කරන වගකීමත් සතුන්ව රැකබලා ගන්න වගකීමත් යෙහෝවා දෙවි මිනිසුන්ට දුන්නා. (උත්. 1:26-28) ඔහු අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. ඒ නිසා අපිට ඔහුව අනුකරණය කරන්න පුළුවන්.—එෆී. 5:1.

දේවවචනය වටිනා තෑග්ගක්

6. බයිබලේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙන්න ඕනෙ ඇයි?

6 බයිබලේ කියන වටිනා තෑග්ග යෙහෝවා දෙවි දුන්නේ අපිට ආදරේ නිසයි. දෙවි ගැන අපි දැනගන්න ඕන දේවල්, දෙවිට අපි ගැන හැඟෙන විදිහ ඔහු අපිට කියන්නේ බයිබලේ මාර්ගයෙන්. මේ උදාහරණේ බලන්න. නිතරම දෙවිට අකීකරු වුණු ඊශ්‍රායෙල්වරුන් ගැන ඔහුට හැඟුණු විදිහ ගීතාවලිය 78:38 කියන්නේ මෙහෙමයි. “නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය. ඔවුන්ගේ වරදට සමාව දී ඔවුන්ව විනාශ නොකළේය. බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය. ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය.” එතන කියන දේ ගැන හොඳට හිතද්දී දෙවි ඔයාට කොච්චර ආදරේද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?—1 පේතෘස් 5:6, 7 කියවන්න.

7. බයිබලේ අපි වටිනා දෙයක් විදිහට සලකන්න ඕනෙ ඇයි?

7 බයිබලේ අපි වටිනා දෙයක් විදිහට සලකන්න ඕනේ. මොකද දෙවි අපිට කතා කරන්නේ බයිබලේ මාර්ගයෙන්. දරුවෝ දෙමාපියෝ හොඳින් කතාබහ කරද්දී දෙගොල්ලෝ අතරේ තියෙන ආදරේ, විශ්වාසය තව වැඩි වෙනවා. අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවි. ඇත්ත, අපි ඔහුව කවදාවත් දැකලා නැහැ. ඔහු කතා කරනවා ඇහිලත් නැහැ. ඒත් බයිබලේ හරහා ඔහු නිතරම අපිත් එක්ක කතා කරනවා. ඒ හඬ ඔයාට ඇහෙනවද? (යෙසා. 30:20, 21) බයිබලේ කියවද්දී දෙවිව දැන හඳුන ගන්නත් ඔහු කෙරෙහි විශ්වාසය තියන්නත් අපිට පුළුවන්.—ගීතාවලිය 19:7-11; හිතෝපදේශ 1:33 කියවන්න.

යෙහෝෂපාට්ට උපදෙස් දුන්නත් ඔහු කරපු “යහපත් දේවල්” යෙහෝවා දෙවි අමතක කළේ නැහැ (8 සහ 9 ඡේද බලන්න)

8, 9. යෙහෝවා දෙවි කැමති අපි මොන දේ තේරුම්ගන්නවටද? උදාහරණයක් දෙන්න.

8 යෙහෝවා දෙවි අපිට ආදරේ කරනවා කියලා අපි දැනගෙන ඉන්නවට දෙවි කැමතියි. අපි අතින් වෙන අඩුපාඩුවලට වඩා ඔහු බලන්නේ අපේ හොඳ දිහායි. (2 ලේක. 16:9) යෙහෝෂපාට් රජ ගැන මතකද? ආහබ් රජු එක්ක එකතු වෙලා සිරියානු හමුදාව එක්ක යුද්ධ කරන්න යෙහෝෂපාට් තීරණයක් ගත්තා. දුෂ්ට ආහබ් රජුට බොරු අනාගතවක්තෘවරු 400දෙනෙක්ම කිව්වේ ඔහු ඒ සටනින් ජය ගන්නවා කියලයි. ඒත් යෙහෝවා දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයා වුණු මිකායා කිව්වේ ඒ සටනට ගියොත් යෙහෝෂපාට් රජු පරාජය වෙනවා කියලයි. සිද්ධ වුණෙත් ඒකමයි. සටනින් ආහබ් රජ මිය ගියා. යෙහෝෂපාට්ගේ ජීවිතේ බේරුණෙත් අනූනමයෙන්. යෙහෝවා දෙවි යේහු මාර්ගයෙන් යෙහෝෂපාට්ට ඔහුගේ වරද පෙන්නලා උපදෙස් දුන්නා. ඒත් දෙවි දැක්කේ ඔහුගේ වරද විතරක් නෙමෙයි. “ඔබ යහපත් දේවලුත් කර තිබෙනවා” කියලා ඔහුට කිව්වා.—2 ලේක. 18:4, 5, 18-22, 33, 34; 19:1-3.

9 දෙවි ඒ මතක් කළේ ඊට අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක්. ඒ කාලේ යෙහෝෂපාට් රජු අධිපතීන්ව, ලෙවීවරුන්ව හා පූජකයන්ව යූදා රාජ්‍යයේ නුවරවල්වලට යවලා දෙවිගේ නීතිය ගැන ඉගැන්නුවා. ඒක කොච්චර සාර්ථක වුණාද කියනවා නම් යූදා දේශය අවට රාජ්‍යවල හිටපු අයත් යෙහෝවා දෙවි ගැන දැනගත්තා. (2 ලේක. 17:3-10) යෙහෝෂපාට් රජු පස්සේ කාලෙකදී වරදක් කළත් ඔහු කලින් කරපු ඒ යහපත් දේවල් දෙවි අමතක කළේ නැහැ. ඒ සිද්ධිය කියවද්දී අපිටත් ලොකු සහනයක් දැනෙනවා නේද? අපි අතිනුත් වැරදි වෙනවා. ඒත් දෙවි බලාපොරොත්තු වෙන විදිහට සේවය කරන්න අපි පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා නම් ඔහු අපිට ආදරේ කරනවා. අපි කරන යහපත් දේවල් යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ.

දෙවි එක්ක කතා කරන්න තියෙන අවස්ථාව අගය කරන්න

10, 11. (අ) යාච්ඤා කරන්න ලැබිලා තියෙන අවස්ථාව දෙවිගෙන් ලැබුණු තෑග්ගක් කියන්නේ ඇයි? (ආ) යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 දරුවෙක් මොනවා හරි කියන්න තමන් ළඟට දුවගෙන එද්දී ආදරණීය තාත්තා කෙනෙක් හැම වැඩක්ම පැත්තකට දාලා දරුවාට සවන් දෙනවා. තාත්තාට ඕනෙ දරුවාට හැඟෙන දේ තේරුම්ගන්න. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවිත් ඒ වගේ. අපේ හිතේ තියෙන දේවල් දෙවිට කියද්දී ඔහු අපිට සවන් දෙනවා. දෙවි එක්ක කතා කරන්න තියෙන අවස්ථාව අපිට ලැබුණු ලොකු වරප්‍රසාදයක්.

11 යෙහෝවා දෙවි එක්ක කතා කරන්න අපිට ඕනම වෙලාවක පුළුවන්. ඒකට සීමා මායිම්, වැටකඩුලු නැහැ. “හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියන්න අපිට පුළුවන්” කියලා ටෙයිලින් කියනවා. අපේ හිතේ තියෙන, කාටවත් කියාගන්න බැරි දේවල් ගැන අපි දෙවිට කියද්දී සමහරවිට බයිබල් පදයකින්, සඟරාවක ලිපියකින් නැත්නම් සහෝදරයෙක්, සහෝදරියක් කරන දිරිගැන්වීමකින් දෙවි අපිට උත්තර දෙනවා. මහත් ඕනෑකමින් කරන අයැදීම්වලට දෙවි සවන් දෙනවා. කවුරු නැතත් ඔහු අපිව තේරුම්ගන්නවා. අපේ යාච්ඤාවලට ලැබුණු උත්තර ගැන හිතද්දී අපිට පැහැදිලි වෙන්නේ දෙවිගේ සදා නොමියන ප්‍රේමය නේද?

12. බයිබලේ සඳහන් වෙන යාච්ඤා ගැන හිතන්න අපි කාලය ගන්න ඕනෙ ඇයි? උදාහරණයක් දෙන්න.

12 බයිබලේ තියෙන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලින් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒවා ගැන විටින් විට පවුලේ නමස්කාරයේදී අධ්‍යයනය කරන්න. ඒ ගැන හොඳට හිතද්දී අපේ යාච්ඤා තවත් අර්ථවත් කරගන්න පුළුවන්. උදාහරණෙකට යෝනා කරපු යාච්ඤාව ගැන හිතන්න. (යෝනා 1:17–2:10) දේවමාලිගාව දෙවිට කැප කරද්දී සලමොන් කරපු යාච්ඤාව අධ්‍යයනය කරන්න. (1 රාජා. 8:22-53) යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ සඳහන් විවිධ පැති ගැන හොඳට හිතන්න. (මතෙ. 6:9-13) නිතරම අපේ ‘සියලු ඉල්ලීම් දෙවිට පවසද්දී දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට අපිට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය අපේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වෙයි.’ ඒ දේ අද්දකිද්දී යෙහෝවා දෙවි අපිට පෙන්නන සදා නොමියන ආදරේ ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි වෙයි.—ෆිලි. 4:6, 7.

ජීවිත පූජාව මුළු හදින් අගය කරන්න

13. ජීවිත පූජාව නිසා මිනිසුන්ට මඟ විවර වුණේ මොන වරප්‍රසාදයටද?

13 යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව අපිට දුන්නේ “ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය.” (1 යොහ. 4:9) ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “ක්‍රිස්තුස් නියමිත කාලයේදී පැමිණ දෙවිට කිසි භක්තියක් නොදක්වන මිනිසුන් උදෙසා මිය ගියේය. සාමාන්‍යයෙන් ධර්මිෂ්ඨ කෙනෙකු උදෙසා යමෙකු තම ජීවිතය පරිත්‍යාග කරන්නේ කලාතුරකිනි. සමහර අවස්ථාවලදී ඉතා යහපත් කෙනෙකු වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට තරම් නිර්භීතකමක් යමෙකු තුළ ඇති විය හැක. නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.” (රෝම 5:6-8) තමන්ගේ එකම පුතාව අපි වෙනුවෙන් පූජා කරපු එක ගැන හිතද්දී යෙහෝවා දෙවිගේ හිතේ අපි වෙනුවෙන් කොච්චර ආදරයක් තියෙනවද කියලා පැහැදිලියි. අපි වගේ පව්කාර මිනිසුන්ට දෙවි එක්ක කිට්ටු බැදීමක් ඇති කරගන්න මඟ විවර වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.

14, 15. යේසුස්ගේ ජීවිත පූජාව නිසා (අ) අභිෂේක ලත් අයට (ආ) පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලැබෙන්නේ මොන වරප්‍රසාදයද?

14 යේසුස්ගේ ජීවිත පූජාව නිසා කුඩා පිරිසකට දෙවිගේ ආදරේ විශේෂ ආකාරයකින් අද්දකින්න ලැබුණා. (යොහ. 1:12, 13; 3:5-7) දෙවි ඒ පිරිසව ඔහුගේ බලයෙන් අභිෂේක කරපු නිසා ඒ අය දැන් “දෙවිගේ දරුවන්.” (රෝම 8:15, 16) ඒ අයගෙන් සමහරු තවමත් පොළොවේ හිටියත් පාවුල් කියන්නේ “අප සියලුදෙනාවම ඉහළට ඔසවා ස්වර්ගීය ස්ථානවල ක්‍රිස්තුස් සමඟ එකට සිටීමට දෙවි අපට අවස්ථාව ලබා දුන්නේය” කියලයි. (එෆී. 2:6) ඔහු එහෙම කිව්වේ ‘දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන් ඔවුන්ව මුද්‍රා කරපු නිසයි. ඒ බලය ඉදිරියේදී ඔවුන්ට උරුම වන දේට සහතිකයක්.’—එෆී. 1:13, 14; කොලො. 1:5.

15 ඒ කුඩා පිරිසට අයිති නැති, යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන තවත් විශාල පිරිසකටත් දෙවිගේ මිත්‍රයන් වෙන්න අවස්ථාව ලැබිලා. දෙවිගේ දරුවන් විදිහට පාරාදීසයක සදාකල් ජීවත් වීමේ වරප්‍රසාදය ලැබෙන්නේ ඔවුන්ටයි. අපි දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් සතුට පිරුණු ජීවිතයක් පාරාදීසයේදී දෙවි අපිට ලබා දෙනවා. ඒ හැම දේම කරන්න දෙවිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. යෙහෝවා දෙවිගේ සදා නොමියන ප්‍රේමයට යේසුස්ගේ ජීවිත පූජාව මොන තරම් කදිම සාක්ෂියක්ද! (යොහ. 3:16) අපි ජිවත් වෙන විදිහෙන් ඒ පූජාව හුඟක් අගය කරනවා කියලා පෙන්නමු.

දෙවිට තියෙන ආදරේ පෙන්නන්න

16. යෙහෝවා දෙවිගේ සදා නොමියන ආදරේ ගැන හිතද්දී අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද?

16 යෙහෝවා දෙවිගේ හිතේ අපි වෙනුවෙන් තියෙන ආදරේ ගණන් කරන්න බැරි තරම් විදිවලින් ඔහු පෙන්නලා තියෙනවා. “දෙවියනි, ඔබේ අදහස් මට කොතරම් වටින්නේද! ඒ වටිනා අදහස් ගණන් කළ නොහැකි තරම්ය! මා ඒවා එකින් එක ගණන් කළොත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩිය” කියලා දාවිත් කියපු දේ ඇත්ත නේද? (ගීතා. 139:17, 18) දෙවිගේ නොමියන ආදරේ ඔහු අපිට පෙන්නලා තියෙන විදි ගැන හොඳට හිතමු. එතකොට මුළු හදවතින්ම ඔහුට ආදරේ කරන්න, උපරිමයෙන්ම ඔහුට සේවය කරන්න ලොකු ආශාවක් අපේ හිතේ ඇති වෙනවා ස්ථිරයි.

17, 18. දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් මොන විදිවලින්ද?

17 යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්නත් හුඟක් විදි තියෙනවා. ශුභාරංචිය දේශනා කරන එක ඒවාවලින් එකක්. (මතෙ. 24:14; 28:19, 20) පීඩා එද්දී නොසැලී ඒවා දරාගන්න එක තව විදිහක්. (ගීතාවලිය 84:11; යාකොබ් 1:2-5 කියවන්න.) පීඩා මොන තරම් දරුණු වුණත් දරාගන්න බැහැ කියලා හිතුණත් යෙහෝවා දෙවි අපේ දුක දකිනවා කියලත් අපිට උදව් කරනවා කියලත් සැකයක් නැහැ. මොකද අපිව ඔහුට හුඟක් වටිනවා.—ගීතා. 56:8.

18 යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ නිසා ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන නිර්මාණ ගැන හොඳට හිතන්න අපි පෙලඹෙනවා. බයිබලේ හොඳට අධ්‍යයනය කරද්දී ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවිටත් ඔහුගේ වචනයටත් අපේ හිතේ තියෙන ආදරයයි. අපි දෙවි එක්ක නිතිපතා කතා කරද්දී අපි ඔහුට ආදරේ කියලත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ආශාවෙන් ඉන්නවා කියලත් දෙවි දකිනවා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතන්න හිතන්න දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙයි. (1 යොහ. 2:1, 2) ඒවා දෙවිගේ සදා නොමියන ප්‍රේමය ගැන අපේ හිතේ අගය පෙන්නන්න පුළුවන් විදිවලින් කීපයක් විතරයි.