යොවානා අපිට ආදර්ශයක්
යේසුස්ගේ නියෝජිතයන් 12දෙනා ගැන හුඟක් අය දන්නවා. ඒත් ඔහුගේ අනුගාමිකයන් අතර ඔහු එක්ක කිට්ටුවෙන් වැඩ කරපු කාන්තාවනුත් හිටියා. යොවානා, ඒ අයගෙන් කෙනෙක්.—මතෙ. 27:55; ලූක් 8:3.
යොවානා යේසුස්ට උදව් වුණේ කොහොමද? එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?
කවුද මේ යොවානා?
යොවානා, “හෙරොද්ගේ වැඩ භාරව සිටි කූසාගේ බිරිඳ.” යේසුස් සුව කරපු ස්ත්‍රීන්ගෙන් කෙනෙක් වුණු යොවානා, තවත් ස්ත්‍රීන් පිරිසක් එක්ක යේසුස්ගේ දේශනා සංචාරවලට හවුල් වුණා.—ලූක් 8:1-3.
ඒ කාලේ රබ්බිවරුන්ගේ ඉගැන්වීමක් තමයි ස්ත්‍රීන් තමන්ගේ නෑදෑයන් නොවන පුරුෂයන්ව ආශ්‍රය කරන එක සුදුසු නැහැ කියන දේ. ඒ අය එකට ගමන්බිමන් ගියේ නැති තරම්. යුදෙව් පුරුෂයන් ස්ත්‍රීන් එක්ක කතා කළෙත් අඩුවෙන්. ඒත් යේසුස් ඒ සම්ප්‍රදායන්ට යට වුණේ නැහැ. යොවානා ඇතුළු ස්ත්රීන්ට තමන්ගේ කණ්ඩායම එක්ක එන්න ඔහු ඉඩ දුන්නා.
යේසුස්ව සහ නියෝජිතයන්ව ඒ විදිහට ආශ්‍රය කරද්දී සමාජයෙන් කොන් වෙයි, ඇනුම් පද අහන්න වෙයි කියලා යොවානා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි එදිනෙදා තත්වයන්ට අනුව හැඩගැහෙන්නත් යේසුස් එක්ක ගිය අයට සිද්ධ වුණා. ඒ අය ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “මගේ මව සහ මගේ සහෝදරයන් හැටියට මම සලකන්නේ දෙවිගේ පණිවිඩය අසා එය පිළිපදින අයවයි.” (ලූක් 8:19-21; 18:28-30) යේසුස් වෙනුවෙන් කැප කිරීම් කරන අය ගැන ඔහුට හැඟෙන විදිහ දැනගද්දී ඒක දිරිගැන්වීමක් නෙමෙයිද?
තමන් සතු දේවලින් උපස්ථාන කළා
යේසුස්ටත් නියෝජිතයන්ටත් යොවානා ඇතුළු ස්ත්‍රීන් උපස්ථාන කළේ “තමන් සතු දේවලින්.” (ලූක් 8:3) “ස්ත්‍රීන් කෑම හැදුවා, පිඟන් හේදුවා, ඉරුණු ඇඳුම් මැහුවා කියලා ලූක් කියන්නේ නැහැ. ඔවුන් ඒවාත් කරන්න ඇති. ඒත් උපස්ථාන කළා කියද්දී ලූක් අදහස් කළේ ඒක නෙමෙයි” කියලා ලේඛකයෙක් කියනවා. ඒ ස්ත්‍රීන් ඔවුන්ගේ දේපළ, මුදල්, ඔවුන්ට තිබුණු දේවල් යේසුස්ගේ සහ ඔහු එක්ක ගිය අයගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමහගන්න පරිත්‍යාග කළා.
දේශනා සේවය කරපු කාලෙදී යේසුස්වත් නියෝජිතයන්වත් රැකියා කළේ නැහැ. ඒ නිසා 20ක් විතර හිටපු ඔවුන්ගේ කණ්ඩායමට ඕන කරන කෑම බීම ඇතුළු අනිත් දේවල් ලබාගන්න ප්‍රමාණවත් මුදල් ඔවුන් ළඟ නිතරම තියෙන්න නැතුව ඇති. ඔවුන්ට ආගන්තුකසත්කාරය ලැබුණා තමයි. ඒත් ඔවුන් ළඟ “මුදල් පෙට්ටියක්” තිබුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ආගන්තුකසත්කාරය මතම ඔවුන් යැපුණේ නැහැ කියලයි. (යොහ. 12:6; 13:28, 29) යොවානා ඇතුළු ස්ත්‍රීන් වියදම් පියවගන්න ඕන කරපු සම්මාදම් දෙන්න ඇති.
සමහරු ඒකට එකඟ නැහැ. මොකද යුදෙව් කාන්තාවකට මුදල්වත් දේපළවත් තියෙන්න විදිහක් නැහැ
කියලා ඒ අය කියනවා. ඒත් යොවානා හිටපු කාලෙදීම වගේ ලියපු පොත්වල සඳහන් දේවල්වලින් තේරෙන්නේ යුදෙව් ස්ත්‍රියකට වුණත් විවිධ විදිවලින් යම් වත්කමක් ලැබෙන්න හෝ ලබාගන්න හැකිකම තිබුණා කියලා. ඒ විදි තමයි (1) පිරිමි දරුවෙක් නැතුව පියා මිය ගියොත් ඔහුගේ දේපළ දුවට අයිති වුණා, (2) එයාටම කියලා ලැබුණු දේපළක්, (3) දික්කසාදයේදී වන්දියක් හැටියට දෙන්න පොරොන්දු වුණු මුදලක්, (4) මිය ගිය සැමියාගේ වතුපිටිවලින් ලැබෙන ආදායමක්, (5) පෞද්ගලිකව උපයාගත් මුදලක්.යේසුස්ගේ අනුගාමිකයන් ඔවුන්ට පුළුවන් විදිහට දේවල් පරිත්‍යාග කළා කියලා නම් කිසිම සැකයක් නැහැ. ඒ අය අතර ධනවත් කාන්තාවනුත් හිටියා. හෙරොද්ගේ ගෙදර වැඩ බලාගත්ත කෙනාගේ බිරිඳ නිසා යොවානාටත් යහමින් මුදල් තියෙන්න ඇති කියලා සමහරු කියනවා. යේසුස් ඇන්ද මූට්ටුවක් නැති මිල අධික ඇඳුම දෙන්න ඇත්තේ යොවානා වගේ ධනවත් කෙනෙක් වෙන්න ඇති. ලේඛකයෙක් කියන්නේ “ඒ වගේ ඇඳුමක් දෙන්න ධීවරයෙකුගේ බිරිඳකට පුළුවන්කමක් නැහැ” කියලයි.—යොහ. 19:23, 24.
යොවානා මුදල් පරිත්‍යාග කළා කියලා බයිබලේ කෙළින්ම කියන්නේ නැහැ. ඒත් එයා උපරිමය කළා කියලා අපි දන්නවා. යොවානාගෙන් අපිට ඉගෙනගන්න දෙයක් තියෙනවා. ඒ තමයි දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් අපි යමක් දෙනවද නැද්ද, දෙන්නේ මොනවද කියන තීරණය ගන්න ඕනෙ අපි එක් එක් කෙනායි. තීරණය මොකක් වුණත් දෙන දේ සතුටින් දෙනවටයි දෙවි කැමති.—මතෙ. 6:33; මාක් 14:8; 2 කොරි. 9:7.
යොවානා දිගටම යේසුස්ට ළැදිව හිටියා
යේසුස්ව මරණයට පත් කරපු අවස්ථාවේදී එතන ස්ත්‍රීන් පිරිසක් හිටියා. “යේසුස් ගලීලයේ සිටියදී ඔහු සමඟ ගොස් ඔහුට උපස්ථාන කරමින් සිටියේ මොවුන්ය. මීට අමතරව යේසුස් සමඟ යෙරුසලමට ඇවිත් සිටි වෙනත් බොහෝ ස්ත්‍රීහුද එතැනට පැමිණ සිටියහ.” (මාක් 15:41) පේන විදිහට යොවානාත් ඒ අය අතරේ ඉන්න ඇති. යේසුස්ගේ සිරුර වධකණුවෙන් ඉවත් කළාට පස්සේ “ගලීලයේ සිට යේසුස් සමඟ පැමිණි ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගොස් ඔහුගේ දේහය තැන්පත් කර තිබූ ආකාරය දැක බලා ගත්තෝය. ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය.” දේහය බලන්න ගිය “ඒ ස්ත්‍රීන් නම් මග්දලායේ මරියා, යොවානා සහ යාකොබ්ගේ මව වූ මරියාය” කියලා ලූක් කියනවා. ඔවුන් සබත් දවසට පස්සේ ආයෙත් යේසුස්ගේ සොහොන ළඟට ආවා. යේසුස් නැවත නැඟිටලා කියන ආරංචිය දේවදූතයා ඔවුන්ට දැනුම් දුන්නේ ඒ වෙලාවෙදියි.—ලූක් 23:55–24:10.
ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ රැස් වුණු යේසුස්ගේ අනුගාමිකයන් අතරේ යොවානාත් ඉන්න ඇති. (ක්‍රියා 1:12-14) ලූක් ඔහුගේ වාර්තාව ලියද්දී හෙරොද් අන්තිපස් ගැන පෞද්ගලික තොරතුරු ලබාගන්න ඇත්තෙත් යොවානාගෙන් කියලා හිතන්න පුළුවන්. මොකද යොවානාව නමින්ම සඳහන් කරලා තියෙන්නේ ලූක් විතරයි. සැමියා හෙරොද්ගේ නිවසේ සේවය කරපු නිසා යොවානා ඒ තොරතුරු දැනගෙන ඉන්න ඇති.—ලූක් 8:3; 9:7-9; 23:8-12; 24:10.
යොවානාගේ කතාව අපි ගැනම හිතලා බලන්න හොඳ පාඩමක්. යේසුස්ට සේවය කරන්න යොවානා පුළුවන් හැම දේම කළා. විවිධ ප්‍රදේශවලට ගිහින් දේශනා කරපු යේසුස්ටත් නියෝජිතයන් 12දෙනාටත් අනිත් ගෝලයන්ටත් ඒ කාර්යය සාර්ථකව කරන්න තමන් කරන පරිත්‍යාග උදව් වෙනවා කියලා දැනගත්තම යොවානාට ලොකු සතුටක් දැනෙන්න ඇති. එයා යේසුස්ට උපස්ථාන කළා. යේසුස් පීඩා විඳිද්දී ඔහු එක්ක හිටියා. ඒ විතරක් නෙමෙයි ඔහු අවසන් හුස්ම හෙළන කල්ම ඔහුට ළැඳිව හිටියා. අපි අතරේ ඉන්න සහෝදරියන්ට යොවානා කදිම ආදර්ශයක්.