Skip to content

පටුනට යන්න

දෙවිට තියෙන ආදරේ ඔයා පෙන්නනවද?

දෙවිට තියෙන ආදරේ ඔයා පෙන්නනවද?

“අප අන් අයට ප්‍රේම කරන්නේ දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසාය.”—1 යොහ. 4:19.

ගීතිකා: 56, 138

1, 2. දෙවි ඔහුට ආදරේ කරන්න අපිට උගන්නලා තියෙන්නේ කොහොමද?

අවවාදයට වඩා ආදර්ශය වටිනවා කියලා දන්න තාත්තා කෙනෙක් උත්සාහ කරන්නේ දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න. දරුවන්ට ආදරේ කරලා ආදරේ කරන විදිහ ගැන ඔහු උගන්වනවා. යෙහෝවා දෙවි තරම් අපිට ආදරේ කරන වෙන කිසිම කෙනෙක් නැහැ. “දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසා” ආදරේ කරන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඔහුගේ ආදර්ශය අපිට උදව් වෙනවා.—1 යොහ. 4:19.

2 “දෙවි මුලින්ම අපට ප්‍රේම කළා” කියන්නේ ඇයි? බයිබලේ කියන්නේ “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය” කියලයි. (රෝම 5:8) අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න දෙවි ඔහුගේ පුතාගේ ජීවිතේ දුන්නා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරේ පෙන්නන්නත් දැන් අපිට පුළුවන්. දෙවි ඒ කැප කිරීම කරලා අපිට දුන්නේ ආදර්ශයක්. හිතේ තියෙන ආදරේ පෙන්නන්න නම් තමන් ගැන හිතන්නේ නැතුව පරිත්‍යාගශීලී වෙන්න ඕනෙ කියලා යෙහෝවා දෙවි ආදර්ශයෙන් අපිට ඉගැන්නුවා.—1 යොහ. 4:10.

3, 4. දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්නේ කොහොමද?

3 ප්‍රේමය, යෙහෝවා දෙවිගේ ප්‍රධානම ගුණාංගයක්. උතුම්ම ආඥාව විදිහට “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි” කියන ආඥාව යේසුස් දුන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන්. (මාක් 12:30) දෙවිට ඕනෙ අපි ඔහුට “මුළු හදවතින්ම” ආදරේ කරනවටයි. ඔහුට වඩා වෙන කෙනෙකුට, වෙන දේකට අපි ආදරේ කරද්දී ඔහුට දැනෙන්නේ දුකක්. ඒත් දෙවිට අපි දක්වන ආදරේ නිකම්ම හැඟීම්වලට විතරක් සීමා වෙන්න හොඳ නැහැ. අපි අපේ “මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරයි” කියලත් “මනසේ මුල් තැන” ඔහුට දෙයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා.—මීකා 6:8 කියවන්න.

4 මුළු ජීවිතේමත් අපිට තියෙන හැම දේමත් දෙවි වෙනුවෙන් කැප කරලා අපි ඇත්තටම දෙවිට ආදරෙයි කියලා පෙන්නමු. යෙහෝවා දෙවි ඔහුගේ ආදරේ දැනෙන්න සලස්වන පැති 4ක් ගැන කලින් ලිපියේ බැලුවා. මේ ලිපියෙන් අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්නේ කොහොමද කියලත් ඒක පෙන්නන්නේ කොහොමද කියලත් බලමු.

යෙහෝවා දෙවිට අපේ අගය පෙන්නමු

5. දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතද්දී අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද?

5 කවුරු හරි ඔයාට තෑග්ගක් දුන්නම ඔයා ඒක අගය කරනවා. ඒක හොඳින් පාවිච්චි කරනවා. “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය. අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි. සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත” කියලා යාකොබ් කිව්වා. (යාකො. 1:17) ජීවත් වෙන්න ඕන කරන හැම දේමත් සතුටින් ඉන්න ඕන කරන හැම දේමත් යෙහෝවා දෙවි අපිට දීලා තියෙනවා. ඔහු අපිට කොච්චර ආදරේද කියලා ඒකෙන් තේරෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්. අපිටත් ඕනෙ අපේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරේ ඔහුට පෙන්නන්නයි. ඔයාටත් ඕනෙ ඒක නේද?

6. යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන්න නම් ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද?

6 යෙහෝවා දෙවි සියවස් ගාණක්ම ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තා. ඔවුන්ට ජීවිතේ පවත්වගෙන යන්න ඕන කරපු දේවල් විතරක් නෙමෙයි නීති, මඟ පෙන්වීම් දීලා ඔහු එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් උදව් කළා. (ද්වි. 4:7, 8) ඒ නීති, මඟ පෙන්වීම්වලට කීකරු වෙලා දෙවි ගැන තිබුණු ආදරේ පෙන්නන්න ඔවුන්ට පුළුවන්කම තිබුණා. උදාහරණෙකට ඔවුන්ට දීලා තිබුණු එක නීතියක් තමයි දෙවිට පූජාවක් ඔප්පු කරද්දී “ප්‍රථම ඵලවලින් හොඳම කොටස” දෙවිට දෙන්න ඕනෙ කියන එක. (නික්. 23:19) ඒකට කීකරු වෙලා අස්වැන්නේ හොඳම දේ දෙවිට දෙනවා නම් දෙවි ඔවුන්ට ආශීර්වාද කරනවා කියලා ඊශ්‍රායෙල්වරුන් දැනගෙන හිටියා.—ද්විතීය කතාව 8:7-11 කියවන්න.

7. දෙවිට තියෙන ආදරේ පෙන්නන්න අපි සතු “වටිනා දේවල්” යොදාගන්න පුළුවන් කොහොමද?

7 අපිටත් පුළුවන් අපි සතු “වටිනා දේවල්” යොදාගෙන දෙවිව ගෞරවයට පත් කරලා අපේ ආදරේ පෙන්නන්න. (හිතෝ. 3:9) අපේ සභාවෙත් ලෝකෙ පුරාමත් දේවරාජ්‍යයේ වැඩකටයුතු කරගෙන යන්න සම්මාදම් කරන්න අපිට පුළුවන්. අපිට හුඟක් දේවල් තිබුණත් නැතත් තියෙන දේ දෙවි වෙනුවෙන් දීලා අපේ ආදරේ පෙන්නන්න අපි හැමෝටම පුළුවන්.—2 කොරි. 8:12.

8, 9. ආදරේ පෙන්නන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද? මයික්ගේ අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

8 යේසුස් අපිට ඉගැන්නුවේ කෑම බීම, ඇඳුම් පැළඳුම් ගැන කනස්සලු වෙන්නේ නැතුව දේවරාජ්‍යයේ වැඩවලට මුල් තැන දෙන්න කියලයි. අපිට අවශ්‍ය දේවල් දෙනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (මතෙ. 6:31-33) දෙවි ඒ පොරොන්දුව ඉටු කරනවා කියලා අපිට ස්ථිරයි. ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් ඔයා එයාව විශ්වාස කරනවා නේද? ඒ වගේ දෙවි ගැන විශ්වාසය තියන්න තියන්න අපි පෙන්නන්නේ අපි ඔහුට කොච්චර ආදරේද කියලයි. (ගීතා. 143:8) ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහලා බලමු. ‘මගේ ඉදිරි සැලසුම්වලින්, මගේ කාලය, ශ්‍රමය පාවිච්චි කරන විදිහෙන් මං ඇත්තටම දෙවිට ආදරෙයි කියලා පෙන්නනවද? දෙවි හැම දවසකම මාව රැකබලා ගන්නවා කියන විශ්වාසයෙන්ද මං දේවල් කරන්නේ?’

9 යෞවන කාලේ ඉඳන්ම මයික්ට ඕන වුණේ වෙන රටකට ගිහින් දේශනා කරන්න. විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ලැබුණත් එයාගේ ඒ ආසාව නැති වුණේ නැහැ. ප්‍රචාරකයන් අඩු රටවලට ගිහින් සේවය කරපු අය ගැන අපේ ප්‍රකාශනවලින් කියෙව්වට පස්සේ පවුලක් විදිහට ජීවිතේ තව සරල කරගන්න එයාලා තීරණයක් ගත්තා. එයාලා හිටපු ගේ විකුණලා පොඩි ගේක පදිංචි වුණා. ව්‍යාපාරය තව සුළුවෙන් කරන්න සැලසුම් කළා. ඒක ඉන්ටර්නෙට් එක හරහා වෙන රටක ඉඳන් කරන්න පුළුවන් විදි ගැනත් හොයලා බැලුවා. එහෙම කරපු නිසා වෙන රටකට ගිහින් වැඩි සේවයක් කරලා සතුටක් ලබන්න මයික්ටත් එයාගේ පවුලේ අයටත් පුළුවන් වුණා. “මතෙව් 6:33 තියෙන යේසුස්ගේ වචන දැන් අපි අපේ ජීවිතෙන්ම අද්දකිනවා” කියලා මයික් කියනවා.

දෙවිගේ ඉගැන්වීම් ගැන හිතන්න

10. දාවිත් වගේ අපිත් යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් ගැන හොඳින් හිතන්න ඕනෙ ඇයි?

10 දාවිත් මෙහෙම කිව්වා. “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.” ඊළඟට දෙවිගේ ප්‍රඥාව ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ නීතිය පරිපූර්ණය. එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය. යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්නේය.” දෙවිගේ නිර්මාණ ගැනත් ඔහුගේ නීති ගැනත් හිතන්න හිතන්න දාවිත් දෙවිට ළං වුණා. දෙවිට තිබුණු ආදරේ පෙන්නන්න ලොකු ආසාවක් ඇති වුණා. “මාගේ පර්වතයද මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—ගීතා. 19:1, 7, 14.

11. දෙවිට තියෙන ආදරේ පෙන්නන්න යෙහෝවා දෙවි අපිට ලබා දෙන දැනුම පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 මේ සමාජය මිනිසුන්ව දිරිගන්වන්නේ තව තවත් ඉහළට ඉගෙනගන්න කියලයි. හුඟක් වෙලාවට ඒකෙන් වෙන්නේ දෙවි ගැන ඒ අයගේ හිතේ තියෙන ආදරේ නැති වෙලා යන එක. යෙහෝවා දෙවිත් මේ කාලේ අපිට හොඳ අධ්‍යාපනයක් දෙනවා. ඒ ඔහු ගැන, ඔහුගේ අරමුණ ගැන, ඔහුගේ නිර්මාණ සහ ඔහුගේ වචනය ගැන අපිට උගන්වලයි. ඒත් ඒක දැනුමට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ දැනුම පාවිච්චි කරලා ප්‍රඥාවන්තව වැඩ කරන විදිහ ගැනත් දෙවි අපිට උගන්වනවා. අපි ඉගෙනගන්න දේවල් අපේ වගේම අනිත් අයගේ යහපතට යොදාගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 4:5-7) උදාහරණෙකට අපිට තියෙන “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම” අනිත් අයටත් කියලා දීලා ඒ අයට ගැලවෙන්න උදව් කරයි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (1 තිමෝ. 2:4) දේවරාජ්‍යය ගැනත් ඒකෙන් මිනිසුන්ට ලැබෙන ආශීර්වාද ගැනත් පුළුවන් තරම් දෙනෙකුට කියලා දීලා දෙවිටත් මිනිසුන්ටත් තියෙන ආදරේ අපි පෙන්නමු.—ගීතාවලිය 66:16, 17 කියවන්න.

12. දෙවිගෙන් ලැබුණු තෑග්ගක් ගැන සහෝදරියක් කිව්වේ මොකක්ද?

12 යෙහෝවා දෙවිගෙන් ලැබෙන පෝෂණය ගැන හොඳට හිතනවා නම් යෞවන අයටත් පුළුවන් දෙවි ගැන ලොකු අගයක් හිතේ ඇති කරගන්න. “දිව්‍ය භක්තිය” කියන සමුළුවේදී ලැබුණු විශේෂ තෑග්ග ෂැනන්ට අද වගේ මතකයි. එතකොට එයාට අවුරුදු 11යි. සමුළුවේ එක සැසිවාරයකදී යෞවනයන්ට ඉඳගන්න වෙනම තැනක් වෙන් කරලා තිබුණා. ෂැනනුයි, නංගියි එතන වාඩි වුණා. එතන හිටපු හැම යෞවනයෙකුටම ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ කියන පොත ලැබුණම ඒ හැමෝම ගොඩක් සතුටු වුණා. ඒ තෑග්ග නිසා ෂැනන්ගේ හිතේ දෙවි ගැන ඇති වුණේ මොන වගේ හැඟීමක්ද? එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඇත්තම කෙනෙක් කියලත් එයා මට හුඟක් ආදරෙයි කියලත් එදා මගේ හිතට හොඳටම කාවැදුණා. අපේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවා කිසිම ලෝභකමක් නැතුව ඒ තරම් ලස්සන, වටිනා තෑගි අපිට දෙන එක ගැන අපි මොන තරම් සතුටු වෙනවද!”

උපදෙස් සහ හික්මවීම් පිළිගන්න

13, 14. දෙවිගෙන් ලැබෙන උපදෙස්, හික්මවීම් අපි සලකන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

13 බයිබලේ කියන්නේ “පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි” කියලයි. (හිතෝ. 3:12) දෙවි දෙන හික්මවීම් පිළි අරන් අපිව පුහුණු කරන්න දෙවිට ඉඩ දෙනවා නම් හරි දේ කරන්න අපි ඉගෙනගන්නවා වගේම සමාදානය අද්දකින්නත් අපිට පුළුවන්. ඇත්ත, “හික්මවීම් ලැබෙන අවස්ථාවේදී එය වේදනාකාරී දෙයක් ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ නැහැ.” (හෙබ්‍රෙ. 12:11) ඒත් යෙහෝවා දෙවි දෙන උපදෙස් අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ලැබෙන උපදෙසට අපි කැමති නැත්නම් ඒ ගැන දිගටම අමනාපයෙන්, කලකිරිලා ඉන්න එකත් සුදුසු නැහැ. අපි දෙවිට ආදරේ නම් ඔහු කියන දේ අහලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්නවා.

14 මලාකිගේ කාලේ යුදෙව්වන් වැඩිදෙනෙක් දෙවි කියපු දේවලට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔප්පු කරපු පූජා ගැන දෙවි සතුටු වෙන්නේ නැහැ කියලා හොඳටම දැනගෙන හිටියත් ඔවුන් ඒ ගැන කිසි තැකීමක් කළේ නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ට තදින් අවවාද කළා. (මලාකි 1:12, 13 කියවන්න.) දෙවි නැවත නැවත ඔවුන්ට උපදෙස් දුන්නත් ඔවුන් ඒවා අහන්නවත් කැමති වුණේ නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔබ පිටට ශාපයක් පැමිණෙනු ඇත. ඔබ සෙනඟට ආශීර්වාද කළත් එය ශාපයක් බවට හැරෙනු ඇත.” (මලා. 2:1, 2) අපිත් දිගින් දිගටම යෙහෝවා දෙවි දෙන උපදෙස්වලට ඇහුම්කන් නොදී හිටියොත් ඒවා වැදගත් නැහැ කියලා හිතුවොත් දෙවි එක්ක අපිට තියෙන මිත්‍රත්වය නැති වෙයි.

සමාජයේ රැල්ලට හසු නොවී දෙවිගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගමු (15 ඡේදය බලන්න)

15. කොයි විදිහට හිතන එකෙන්ද අපි වළකින්න ඕනේ?

15 මේ දුෂ්ට සමාජය මිනිසුන්ව පොලඹවන්නේ උඩඟු, ආත්මාර්ථකාමී අය වෙන්නයි. ඒ නිසා තමන්ගේ වැරදි පෙන්නලා දෙනවට හුඟක් අය කැමති නැහැ. කරන්න ඕන දේ කවුරුත් කියනවටත් කැමති නැහැ. සමහරු අවවාද පිළිගන්නේ ඒක පිළි නොගෙන බැරි නිසයි. ඒත් අපි එහෙම අය වෙන්න හොඳ නැහැ. “ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියලා බයිබලෙත් කියනවා. ඒ වෙනුවට අපි උත්සාහ කරන්න ඕනෙ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්න. (රෝම 12:2) දෙවි ඔහුගේ සංවිධානයෙන් අපිට ඕනම කරන වෙලාවට උපදෙස් ලබා දෙනවා. උදාහරණෙකට විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කරද්දී, යාළුවෝ තෝරගද්දී, විනෝදයට කරන දේවල් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕන පැති ගැන අපිට නිතරම මතක් කරනවා. දෙවිගේ උපදෙස්, හික්මවීම් පිළි අරන් අවශ්‍ය වෙනස්කම් කරගද්දී ඒකෙන් ඔප්පු වෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් අපි කොච්චර අගය කරනවද කියලයි. අපිට ඔහු ගැන කොච්චර ආදරයක් තියෙනවද කියලයි.—යොහ. 14:31; රෝම 6:17.

ආරක්ෂාවත් ගැලවීමත් දෙවිගෙන් පතන්න

16, 17. (අ) තීරණ ගන්න කලින් දෙවි හිතන විදිහ තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි? (ආ) දෙවි ගැන විශ්වාසය තියනවා වෙනුවට ඊශ්‍රායෙල්වරු කළේ මොකක්ද?

16 පුංචි දරුවන්ට එයාලගේ දෙමාපියන්ගේ උදව්, රැකවරණය ඕනෙමයි. වැඩිහිටි දරුවොත් සමහර වෙලාවට දෙමාපියන්ගෙන් උදව් ඉල්ලනවා. එහෙම කරන්නේ තමන්ටම තීරණ ගන්න පුළුවන් කියලා දන්නවා වුණත් හොඳ තීරණ ගන්න උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කියලා එයාලා දන්න නිසයි. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවිත් තීරණ ගන්න නිදහස අපිට දීලා තියෙනවා. අපිට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසාත් ඔහුට තියෙන ආදරේ නිසාත් හැම වෙලාවෙම දෙවිගේ උදව් අපි ඉල්ලනවා. ඒ වගේම තීරණයක් ගන්න කලින් දෙවි ඒ ගැන හිතන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී හරි දේ කරන්න දෙවි ඔහුගේ බලය අපිට දෙනවා.—ෆිලි. 2:13.

17 පිලිස්තිවරු එක්ක කරපු සටනකින් ඊශ්‍රායෙල්වරු පැරදුණා. ඊළඟට කරන්න ඕනෙ මොකක්ද කියලා දෙවිගෙන් අහනවා වෙනුවට “අපි ෂීලෝ නුවර තියෙන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන එමු. ඒක ගෙනැවිත් අපි ළඟ තියාගමු. එතකොට අපේ සතුරන්ගෙන් අපිට ආරක්ෂාව ලැබෙයි” කියලා ඔවුන් කිව්වා. ගත්ත ඒ තීරණය නිසා මොකද වුණේ? ‘එදින විශාල සෙනඟක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවා. ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් තිස්දහසක්ම මිය ගියා. දෙවිගේ ගිවිසුම් පෙට්ටියද පිලිස්තිවරු පැහැරගත්තා.’ (1 සාමු. 4:2-4, 10, 11) ගිවිසුම් පෙට්ටිය තමන් ළඟ තියෙද්දී දෙවිගේ උදව් සහ ආරක්ෂාව ලැබෙයි කියලා ඔවුන් හිතුවා. ඒත් ඔවුන් දෙවිගෙන් උදව් ඉල්ලුවේ නැහැ. සටනට යන එක ගැන දෙවි හිතන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඔවුන් උත්සාහ කළෙත් නැහැ. ඔවුන් කළේ ඔවුන්ට හරියි කියලා හිතපු දේයි. ප්‍රතිඵලයක් විදිහට ඔවුන් හුඟක් දුක් වින්දා.—හිතෝපදේශ 14:12 කියවන්න.

18. අපි යෙහෝවා දෙවිව කොච්චර දුරට විශ්වාස කරන්න ඕනෙද?

18 හද පත්ලෙන්ම යෙහෝවා දෙවිට ආදරේ කරපු, නිතරම දෙවිගේ උදව් රැකවරණය ඉල්ලපු ගීතිකාකරු මෙහෙම කියනවා. ‘දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි. ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වූ ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි. අනේ මාගේ දෙවියනි, මාගේ හදවත මහත් වේදනාවකින් දැවෙයි. මට ඔබව සිහි වේ.’ (ගීතා. 42:5, 6) යෙහෝවා දෙවි ගැන ඔයාට හිතෙන්නෙත් එහෙමද? ඔයා දෙවිට ළං වෙලා කියලත් හැම දේකදීම දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා කියලත් ඔයාට දැනෙනවද? මීටත් වඩා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඉගෙනගන්න ඔයාට පුළුවන්. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—හිතෝ. 3:5, 6.

19. ඔයා යෙහෝවා දෙවිට ආදරෙයි කියලා පෙන්නන්නේ කොහොමද?

19 යෙහෝවා දෙවි මුලින්ම අපිට ආදරේ කරලා ආදරේ කරන විදිහ අපිට කියලා දුන්නා. දෙවි අපි වෙනුවෙන් කොයි තරම් දේවල් කරලා තියෙනවද, දෙවි අපිට කොයි තරම් ආදරේද කියලා හැම දවසකම හිතන්න. අපේ මුළු හදවතින්ම ඔහුට ආදරෙයි කියලා පෙන්නමු. මුළු ජීවිතේම දෙවිට කැප කරමු. මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරමු. නිතරම මනසේ මුල් තැන දෙවිට දෙමු.—මාක් 12:30.