Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

දෙවිගේ ආශීර්වාදය මට සැබෑ වස්තුවක්!

දෙවිගේ ආශීර්වාදය මට සැබෑ වස්තුවක්!

මම ඉපදුණේ 1927දී කැනඩාවේ සස්කැචුවාන්වල වාකා කියන පුංචි නගරයේ. අපේ පවුලේ දරුවෝ 7දෙනාගෙන් 3දෙනෙක් ගෑනු ළමයි 4දෙනෙක් පිරිමි ළමයි. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම අනිත් අය එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා මම ඉගෙනගත්තා.

1930 ගණන්වල ලෝක ආර්ථිකය බිඳ වැටුණ එක අපේ පවුලටත් යම් දුරකට බලපෑවා. ඒත් අපිට කෑම හිඟයක් නම් තිබුණේ නෑ. මොකද කිකිළියෝ ටිකදෙනෙකුයි එළදෙනෙකුයි හිටිය පුංචි ගොවිපොළක් අපිට තිබුණා. ඒ නිසා කිරි, බිත්තර, චීස්, බටර්වලින් අඩුවක් වුණේ නෑ. අපි හැමෝටම කරන්න වැඩ කොටසකුත් තිබුණා.

ඒ කාලේ හරිම සුන්දරයි. ගොවිපොළෙන් ලැබුණු දේවල් අරගෙන තාත්තා නගරෙට යනවා ඒවා විකුණන්න. ආපහු තාත්තා ගෙදර එන්නේ පවුලටම ඇති තරම් අලුත්ම ඇපල් පිරුණ පෙට්ටියක් අරගෙන. අපිට හැම දවසෙම කන්න හොඳම ඇපල් තිබුණා.

අපිට සත්‍යය ලැබුණ විදිහ

මට වයස අවුරුදු 6දියි මගේ දෙමව්පියන්ට සත්‍යය ලැබුණේ. ඒක වුණේ මෙහෙමයි. මගේ වැඩිමල් අයියා ජොනී ඉපදිලා ටික දවසකින් මැරිලා. දුකෙන් හිටිය අම්මායි තාත්තායි “ජොනී දැන් ඉන්නේ කොහෙද” කියලා පූජකයෙක්ගෙන් අහලා තියෙනවා. බබාව ක්‍රිස්තියානි කෙරුවේ නැති නිසා එයා දැන් ඉන්නේ ශුද්ධගිනිස්ථානයේ. මට සල්ලි දුන්නොත් ජොනී වෙනුවෙන් යාච්ඤා කරලා එයාව ස්වර්ගයට යවන්න පුළුවන් කියලා පූජකයා කිව්වලු. ඒ වෙලාවේ අම්මායි තාත්තායි කොච්චර කලකිරුණාද කියනවා නම් ආයේ ජීවිතේටවත් ඒ පූජකයා එක්ක කතා කෙරුවේ නෑ. ඒත් ජොනී කොහෙද ඉන්නේ කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණා.

මැරුණ අය ගැන සාක්ෂිකරුවන් පළ කරපු පුංචි පොතක් දවසක් අම්මාට හම්බ වෙලා ඒක ආසාවෙන් කියෙව්වා. තාත්තා ගෙදර ආවාම ඒක දීලා “ජොනී ඉන්නේ කොහෙද කියලා දැන් මං දන්නවා. එයා ඉන්නේ නිදාගෙන. ඒත් දවසක එයා ආපහු නැඟිටිනවා” කියලා අම්මා කිව්වා. එදාම තාත්තා ඒක කියෙව්වා. මැරුණ අය නිදාගෙන ඉන්නවා කියලත් ඒ අය අනාගතයේදී නැවත නැඟිටිනවා කියලත් බයිබලයේ කියලා තියෙනවා කියලා දැනගත්තාම අම්මාටයි තාත්තාටයි දැනුණේ පුදුම සහනයක්!—දේශ. 9:5, 10; ක්‍රියා 24:15.

ඒකෙන් අපේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. අම්මායි තාත්තායි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්නත් රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා. වාකාවල තිබුණ ඒ පුංචි සභාවේ වැඩි හරියක් හිටියේ යුක්රේනියානු පසුබිමක් තියෙන අය. වැඩි කල් යන්න කලින් අම්මායි තාත්තායි දේශනා සේවයෙත් හවුල් වුණා.

ටික කාලෙකට පස්සේ අපි කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවල පදිංචියට ගියාම එහේ සභාවේ අය අපිව ආදරෙන් පිළිගත්තා. ඉරිදා රැස්වීමේ ‘මුරටැඹ’ පාඩමට පවුලක් හැටියට අපි ආසාවෙන් ලෑස්ති වුණ විදිහ මට තාමත් මතකයි. ඒ කාලෙදී යෙහෝවා දෙවිට ළං වෙන්නත් බයිබල් සත්‍යයන්වලට ඇලුම් කරන්නත් අපි ඉගෙනගත්තා. දෙවිට තව තවත් ළං වෙද්දී අපි ආශීර්වාද අද්දැක්කා.

අපේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන එක පුංචි අපිට ලේසි වුණේ නෑ. ඒත් මාසෙට නියමිත ඉදිරිපත් කිරීම ලෑස්ති වෙලා ඊවා නංගියි මමයි සේවා රැස්වීමේදී කරපු නිරූපණවලින් අපිට පුහුණුවක් ලැබුණා. ඒ නිසයි ලැජ්ජා නොවී බයිබල් සත්‍යයන් අනිත් අයට කියන්න පුළුවන් වුණේ. දේශනා සේවයට අපිව පුහුණු කරපු ඒ විදිහට මං හරි ආසයි.

පුංචි කාලෙදී අපේ ගෙදර පූර්ණකාලීන සේවකයන් නැවතුණ එක අපිට විශේෂ දෙයක්. චාරිකා සේවක, ජැක් නේතන් අපේ සභාවට ආවාම නැවතුණේ අපේ ගෙදර. එයා කිව්ව කතන්දරවලින් අපිට ලැබුණේ ලොකු දිරිගැන්වීමක්. එයා අපිව හුඟක් අගය කරපු එක දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න උදව් වුණා.

මට මතකයි “මම ලොකු වුණාම සහෝදර නේතන් වගේ වෙනවා” කියලා හිතුව විදිහ. එයාගේ ආදර්ශය මට පූර්ණකාලීන සේවකයෙක් වෙන්න උදව් වෙයි කියලා එදා මම දැනගෙන හිටියේ නෑ. අවුරුදු 15දී මම තීරණය කළා යෙහෝවා දෙවිට සේවය කරන්න. 1942දී ඊවායි මායි බව්තීස්ම වුණා.

විශ්වාසය පරීක්ෂණයට ලක් වෙයි

මිනිස්සු ජාත්‍යාලයෙන් උමතු වුණ 2වෙනි ලෝක මහා යුද්දේ කාලෙදී ස්කොට් කියන අන්තවාදී පාසැල් ගුරුතුමිය මගේ නංගිලා දෙන්නාවයි එක මල්ලි කෙනෙක්වයි ඉස්කෝලෙන් අස් කෙරුවා. ඒ, කොඩියට ආචාර කළේ නැති හින්දා. එයා මගේ ගුරුතුමියටත් කිව්වා මාව අස් කරන්න කියලා. එතකොට ගුරුතුමිය කිව්වා “මේක නිදහස් රටක්. දේශානුරාගී දේවලින් වළකින්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා” කියලා. ස්කොට් ගුරුතුමිය කොච්චර බල කෙරුවත් මගේ ගුරුතුමිය කිව්වේ “මේක මගේ තීරණය” කියලයි.

එතකොට ස්කොට් ගුරුතුමිය මෙහෙම කිව්වා. “නෑ, ඒක ඔයාගේ තීරණයක් නෙමෙයි. ඔයා මෙලිටාව ඉස්කෝලෙන් අස් කළේ නැත්නම් මං ඔයා ගැන ඉහළට පැමිණිලි කරනවා.” ඊටපස්සේ මගේ ගුරුතුමිය අම්මාටයි තාත්තාටයි කිව්වා එයා කරන දේ වැරදි දෙයක් වුණත් එයාගේ රස්සාව නැති වෙන හින්දා මාව අස් කරන්න වෙනවා කියලා. ඉතින් අපි පොත් පත් අරගෙන ගෙදර ඉඳන් පාඩම් කෙරුවා. ටික කාලෙකට පස්සේ කිලෝමීටර් 32කට එහායින් තියෙන තැනක පදිංචියට ගියාම එහේ තිබුණ ඉස්කෝලෙකට අපිව ගත්තා.

යුද්දේ කාලෙදී අපේ පොත් පත් තහනම් කළත් අපි බයිබලය විතරක් අරගෙන ගෙයින් ගෙට සේවයේ ගියා. ඒ නිසා බයිබලයෙන්ම ශුභාරංචිය අනිත් අයට උගන්වන්න අපි දක්ෂ වුණා. ඒක දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න විතරක් නෙමෙයි ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්නත් දෙවිගේ උපකාර ලබාගන්නත් උදව්වක් වුණා.

පූර්ණකාලීන සේවය පටන්ගත්තා

කොණ්ඩා සැකසීමට දක්ෂ නිසා මට සම්මානත් ලැබුණා

ඊවායි මායි පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ පුරෝගාමි සේවය පටන්ගත්තා. සේවයට මුදල් හොයාගන්න මුලින්ම මම කෑම විකුණන තැනක වැඩ කෙරුවත් මාස 6ක කොණ්ඩා සැකසීමේ පාඨමාලාවකුත් හැදෑරුවා. ඊටපස්සේ සතියකට දවස් 2ක් සැලුන් එකක වැඩ කරන්නත් මාසෙට දෙපාරක් ඒක අනිත් අයට උගන්වන්නත් හම්බ වුණා. ඒ නිසා දිගටම පූර්ණකාලීන සේවය කරගෙන යන්න පුළුවන් වුණා.

1955දී ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයෙයි ජර්මනියේ නියුරම්බර්ග්වලයි පවත්වපු “ජයග්‍රාහක රාජ්‍යය” කියන එක්දින සමුළුවට යන්න මට ඕන වුණා. ඒත් යන්න කලින් ලෝක මූලස්ථානයෙන් ආව සහෝදර නේතන් නෝර්ව මුණගැහුණා. ඒක වුණේ මෙහෙමයි. සහෝදර නෝර් සහ එයාගේ භාර්යාව ආවේ කැනඩාවේ වැන්කුවර්වල තිබුණ සමුළුවට යන්නයි. ඔය අතරේ මට අවස්ථාව ලැබුණා සහෝදරී නෝර්ගේ කොණ්ඩේ කපලා මෝස්තරයක් දාන්න. ඒක දැක්ක සහෝදර නෝර්ට ආස හිතිලා එයාට ඕන වුණා මාව අඳුරගන්න. අපි කතා කරකර ඉද්දී මං කිව්වා ජර්මනියට යන්න කලින් බෘක්ලින්වලටයි යන්නේ කියලා. එතකොට එයා කිව්වා දවස් 9ක් බෘක්ලින් බෙතෙල් එකේ වැඩ කරන්න එන්න කියලා.

ඒ ගමන මගේ ජීවිතය වෙනස් කෙරුවා. නිව් යෝර්ක්වලදී මට තියඩෝර් (ටෙඩ්) ජැරස් කියන තරුණ සහෝදරයාව මුණගැහුණා. ටික වෙලාවකට පස්සේ එයා මගෙන් ඇහුවා “ඔයා පුරෝගාමියෙක්ද” කියලා. මම “නෑයි” කියලා කියද්දිම මගේ යාළුවා, ලවොන් කිව්වා “ඔව් එයා පුරෝගාමියෙක් තමයි” කියලා. ඒ නිසා ටෙඩ් ලවොන්ගෙන් ඇහුවා “ඒක හරියටම දන්නේ ඔයාද, මෙයාද” කියලා. එතකොට මම කිව්වා කලින් පුරෝගාමි සේවය කෙරුවා තමයි. සමුළුවලට ගිහින් ඇවිත් ආපහු පටන්ගන්නවා කියලා.

විවාහ වුණේ දෙවිට ආදරේ කෙනෙක් එක්ක

ටෙඩ් ඉපදුණේ 1925 ඇමරිකාවේ කෙන්ටකීවල. එයා යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණේ අවුරුදු 15දී. එයාගේ පවුලේ කිසි කෙනෙක් සත්‍යයට ආවේ නැතත් ඊට අවුරුදු 2කට පස්සේ එයා ස්ථාවර පුරෝගාමියෙක් වුණ. එදා පටන්ගත්ත පූර්ණකාලීන සේවය එයා අවුරුදු 67ක්ම කෙරුවා.

1946 ජූලිවලදී ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 7වෙනි පන්තියෙන් පැවරුමක් ලැබෙද්දී එයාට අවුරුදු 20යි. ඊටපස්සේ එයා ඔහයෝ ක්ලීව්ලන්ඩ්වල සංචාරක සේවකයෙක් විදිහට සේවය කෙරුවා. අවුරුදු 4කට පස්සේ ඕස්ට්‍රේලියාවේ ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක හැටියට පැවරුමක් ලැබුණා.

ජර්මනියේ නියුරම්බර්ග්වල සමුළුවට ටෙඩ් ආව වෙලාවේ අපි කතාබහ කරලා අඳුරගත්තා. ඊටපස්සේ ආදරේ කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිට සේවය කරන්න මුළු ජීවිතේම කැප කරන්න එයාට තිබුණ ඉලක්කය ගැන මං සතුටු වුණා. එයාගේ කැප වීම ගැන බැරෑරුම්ව හිතුවත් එයා කාරුණික, මිත්‍රශීලී කෙනෙක්. තමන් ගැන හිතනවාට වඩා එයා අනිත් අය ගැනයි සැලකිලිමත් වුණේ. ඒ සමුළුවෙන් පස්සේ ටෙඩ් ඕස්ට්‍රේලියාවට ගියා. මම ආපහු වැන්කුවර්වලට ගියා. එදා ඉඳන් අපි ලියුම්වලින් කතාබහ කළා.

අවුරුදු 5ක් ඕස්ට්‍රේලියාවේ හිටිය ටෙඩ් ආපහු ඇමරිකාවට ආවා. ඊටපස්සේ වැන්කුවර්වල පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. මගේ පවුලේ අය එයාට ගොඩක් කැමති වුණා. මගේ මයිකල් අයියා මාව නිතරම ආරක්ෂා කළා. තරුණ සහෝදරයෙක් මං ගැන පොඩි උනන්දුවක් පෙන්නුවාම අයියා ඒ ගැන හොයලා බැලුවා. ඒත් ටෙඩ්ව නම් අයියාගේ හිතට ඇල්ලුවා. අයියා කිව්වේ “මෙලිටා, ඔයාට හම්බ වෙලා ඉන්නේ හොඳ කෙනෙක්. එයාට හොඳින් සලකන්න. එයාව නැති කරගන්න එපා” කියලයි.

1956දී විවාහ වුණාට පස්සේ අපි අවුරුදු ගාණක් සතුටෙන් පූර්ණකාලීන සේවය කළා

මමත් ටෙඩ්ට හුඟක් කැමැත්තෙනුයි හිටියේ. 1956 දෙසැම්බර් 10වෙනිදා අපි විවාහ වුණා. අපි දෙන්නා වැන්කුවර්වලත් කැලිෆෝර්නියාවෙත් පුරෝගාමි සේවය කෙරුවා. ඊටපස්සේ මිසූරිවලටයි ආර්කන්සාස්වලටයි චාරිකා සේවයේ යන්න පැවරුමක් ලැබුණා. එක්සත් ජනපදයේ අවුරුදු 18ක් තිස්සේ හුඟක් ප්‍රදේශවල සේවය කරද්දී හැම සතියෙම අපි නැවතුණේ වෙන වෙන ගෙවල්වල. සේවයේදී අපිට හොඳ අද්දැකීම් ලැබුණා විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රයත් භුක්ති විඳින්න ලැබුණා. අමාරුකම් අමතක කරලා සතුටින් සංචාරක සේවය කරන්න පුළුවන් වුණේ ඒ නිසයි.

ටෙඩ් මොහොතකටවත් දෙවි එක්ක තිබුණ බැඳීම සුළු කෙරුවේ නෑ. විශ්වයේ ශ්‍රේෂ්ඨතම කෙනාට පිරිනමන පරිශුද්ධ සේවය එයා හුඟක් අගය කෙරුවා. අපි දෙන්නා එකට බයිබලය කියවලා අධ්‍යයනය කරන්න හුඟක් ආස වුණා. නින්දට යන්න කලින් දෙන්නාම ඇඳ ළඟ දණගැහුවා. ටෙඩ් අපි දෙන්නා වෙනුවෙන් යාච්ඤා කෙරුවා. ඊටපස්සේ අපි වෙන වෙනමත් යාච්ඤා කෙරුවා. ටෙඩ්ගේ ඔළුවේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවට එයා කෙරුවේ ඇඳෙන් බැහැලා දණගහගෙන හුඟක් වෙලා යාච්ඤා කරපු එකයි. ලොකු කාරණාවලදී විතරක් නෙමෙයි පුංචි දේවලදිත් එයා දෙවිට යාච්ඤා කරපු එක මං හුඟක් අගය කළා.

අපි විවාහ වෙලා අවුරුදු කීපයකට පස්සේ සිහි කිරීමේ සංකේත ගන්නයි ඉන්නේ කියලා ටෙඩ් මට පැහැදිලි කෙරුවා. එයා කිව්වේ මෙහෙමයි. “මම කරන්න යන්නේ යෙහෝවා දෙවි කැමති දේද කියලා දැනගන්න මම හුඟක් යාච්ඤා කළා.” ස්වර්ගයේ සේවය කරන්න දෙවිගේ බලයෙන් එයාව අභිෂේක කරලා තියෙනවා කියලා දැනගත්ත එක මට එච්චර පුදුමයක් නෙමෙයි. මම හිතන්නේ ඒක යේසුස්ගේ සහෝදරයෙකුට සහයෝගය දෙන්න ලැබුණු ප්‍රස්තාවක් හැටියට.—මතෙ. 25:35-40.

පරිශුද්ධ සේවයේ අලුත් දොරක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවය කරන්න කියලා 1974දී ආරාධනාවක් ලැබුණාම අපි පුදුම වුණා. ඊටපස්සේ බෘක්ලින් බෙතෙල් එකට ගියා. ටෙඩ් පාලක මණ්ඩලයේ වගකීම් දරද්දී මම කාමර පිරිසිදු කරන කෙනෙක් විදිහටත් සැලුන් එකෙත් වැඩ කළා.

ටෙඩ්ගේ වගකීම්වලට විවිධ ශාඛා කාර්යාලවලට යන එකත් ඇතුළත් වුණා. දරඳඩු කොමියුනිස්ට් පාලනය තිබුණු රටවල දේශනා සේවය ගැන එයා හුඟක් උනන්දු වුණා. අපි නිවාඩුවක් අරගෙන ස්වීඩනයට ගිහින් ඉද්දී ටෙඩ් කිව්වා “මෙලිටා, පෝලන්තයේ දේශනා සේවය තහනම් කරලා. මං ආසයි ගිහින් ඒ සහෝදරයන්ට උදව් කරන්න” කියලා. ඉතින් අපි වීසා අරගෙන පෝලන්තයට ගියා. අපේ සේවය ගැන බලා කියා ගන්න සහෝදරයන් කීපදෙනෙක්ව හම්බ වුණ ටෙඩ් ඒගොල්ලන් එක්ක ඈතට ඇවිදගෙන ගියේ කාටවත් ඒ සංවාදය ඇහෙන්නේ නැති වෙන්නයි. දවස් හතරක් තිස්සේ සහෝදරයන් එක්ක විශේෂ රැස්වීම් කීපයක්ම පැවැත්තුව ටෙඩ් සහෝදර සහෝදරියන්ට උදව් කරන එකෙන් ලබන සතුට දැකලා මමත් සතුටු වුණා.

අපි ආපහු පෝලන්තයට ගියේ 1977 නොවැම්බර්වලදී. එෆ්. ඩබ්ලිව්. ෆ්‍රාන්ස්, ඩැනියෙල් සිඩ්ලික් සහ ටෙඩ් පාලක මණ්ඩලයේ සාමාජිකයන් හින්දා පාලක මණ්ඩලයේ සැලැස්මට අනුව මුලින්ම එහෙට ගියේ ඒගොල්ලනුයි. අපේ වැඩකටයුතු තහනම් කරලා තිබුණත් මේ තුන්දෙනා වැඩිමහල්ලන්ට, පුරෝගාමීන්ට සහ ගොඩක් කල් සත්‍යයේ හිටපු සාක්ෂිකරුවන්ට දිරිගැන්වීම් හා මඟ පෙන්වීම් දුන්නා.

මොස්කව්වල අධිකරණ අමාත්‍යාංශයේදී අපේ වැඩකටයුතු නීත්‍යනුකූල කරපු වෙලාවේ ටෙඩ් සහ තවත් කීපදෙනෙක්

අපේ සේවයට දාලා තිබුණ තහංචි ලිහිල් කරන ලකුණු දැක්ක මිල්ටන් හෙන්ෂල් සහ ටෙඩ් ඊළඟ අවුරුද්දේ පෝලන්තයට ගිහින් එහේ බලධාරීන්ව හම්බ වුණා. ඊටපස්සේ 1982දී පෝලන්ත රජය අපේ සහෝදරයන්ට එක්දින සමුළුවක් පවත්වන්න අවසර දුන්නා. 1983දී ඊට වඩා විශාල සමුළු පැවැත්තුවා. වැඩි හරියක් පැවැත්තුවේ කුලියට ගත්ත ශාලාවල. 1985දී තහංචි තිබුණත් ලොකු ක්‍රීඩාංගනවල සමුළු 4ක් පවත්වන්න අපිට ඉඩ දුන්නා. 1989 මැයිවලදී ඊටත් වඩා ලොකු සමුළු පවත්වන්න සැලසුම් කරද්දී පෝලන්ත රජයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නීතික වශයෙන් පිළිගත්තා. ටෙඩ්ට දැනුණේ කියලා නිම කරන්න බැරි සතුටක්!

පෝලන්තයේ සමුළුවක්

අසනීප මැද්දේ

2007දී අපි දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයක කැප කිරීමකට යන අතරතුර එංගලන්තයේදී ටෙඩ්ගේ ප්‍රෙෂර් එක වැඩි වුණ හින්දා දොස්තර කිව්වා ගමන යන්න එපා කියලා. ටෙඩ්ට ටිකක් හොඳ වුණාම අපි ආපහු එක්සත් ජනපදයට ගියත් සති කීපයකට පස්සේ අංශභාගේ හැදිලා ටෙඩ්ගේ දකුණු පැත්ත පණ නැති වුණා.

ටෙඩ් සනීප වුණේ හෙමින් හෙමින් නිසා මුලදී කාර්යාලයට ගිහින් වැඩ කරන්න බැරි වුණත් එයාට කතා කරන්න පුළුවන්කම තිබුණ එක ලොකු දෙයක්. එයා කාමරේ ඉඳලා දුරකථනයෙන් සතිපතා පාලක මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වුණා.

බෙතෙල් එකෙන් ලබා දුන්න ප්‍රතිකාර ටෙඩ් හුඟක් අගය කළා. ඒ ප්‍රතිකාරවලින් යම් දුරකට සුව වුණ හින්දා සේවයට සම්බන්ධ සමහර වැඩකටයුතු ගැන බලන්න එයාට පුළුවන් වුණා. එයා කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්නයි උත්සාහ කෙරුවේ.

අවුරුදු තුනකට පස්සේ එයා ආපහු ලෙඩ වෙලා 2010 ජූනි 9වෙනි බදාදා මැරුණා. ටෙඩ්ට පොළොවේ ගත කරන ජීවිතය අවසන් කරන්න සිද්ධ වෙනවා කියලා මං දැනගෙන හිටියත් එයා නැති වෙද්දී දැනුණ වේදනාවත් එයා නැති පාළුවත් විස්තර කරන්න මට වචන නෑ. ටෙඩ්ට උදව් කරන්න පුළුවන් වුණ එක ගැන අදටත් මම හැමදාම ස්තුති කරනවා. අපි දෙන්නා අවුරුදු 53කට වඩා වැඩි කාලයක් එකට සේවය කරලා තියෙනවා. ස්වර්ගික පියාණන්ට ළං වෙන්න ටෙඩ් මට උදව් කරපු එක ගැන යෙහෝවා දෙවිට මං ස්තුති කරනවා. එයා දැන් කරන පැවරුමෙන් ලොකු සතුටක්, තෘප්තියක් ලබනවා කියලා මට විශ්වාසයි.

අලුත් අභියෝග

බෙතෙල් සැලුන් එකේ වැඩ කරපු එකත් අනිත් අයව පුහුණු කරපු එකත් සතුටක්

මගේ මහත්තයා එක්ක සතුටෙන් අවුරුදු ගාණක් සේවය කරපු මට දැන් තියෙන අභියෝගවලට මුහුණ දෙන්න ලේසි නෑ. ටෙඩ්වයි මාවයි බලන්න බෙතෙල් එකේ අයයි සභාවේ අයයි ආවාම අපි හුඟක් සතුටු වුණා. දැන් මගේ ටෙඩ් මා ළඟ නෑ. මගේ අත පයත් එච්චර වාරු නෑ. කලින් තරම් අනිත් අයව ආශ්‍රය කරන්න හම්බ වෙන්නෙත් නෑ. ඒත් බෙතෙල් එකෙයි සභාවෙයි සහෝදර සහෝදරියන් එක්ක ඉන්න ලැබෙන එක මට ලොකු සතුටක්. බෙතෙල් එකේ දිනචර්යාව එච්චර ලේසි නැති වුණත් මේ විදිහට දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන එක ලොකු දෙයක්. දේශනා සේවයට තියෙන මගේ ආසාව පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. මට හුඟක් වෙලා හිටගෙන ඉන්න බැරි වුණත් වීදි සේවයෙනුත් බයිබල් පාඩම් කරන එකෙනුත් සතුටු වෙන්න පුළුවන්.

මේ ලෝකේ සිද්ධ වෙන දුෂ්ට දේවල් දිහා බලද්දී මගේ ආදරණීය මහත්තයා එක්ක යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! ඇත්තෙන්ම දෙවිගේ ආශීර්වාදය මට සැබෑ වස්තුවක්!—හිතෝ. 10:22.