Skip to content

පටුනට යන්න

අවධානය වෙනතකට යන්න දෙන්න එපා!

අවධානය වෙනතකට යන්න දෙන්න එපා!

‘මරියා පුරුදු වී සිටියේ ස්වාමීන්ගේ පාමුල ඉඳගෙන ඔහු ඉගැන්වූ දේවලට සවන් දීමටය. ඒත් මාර්තා ගෙදරදොරේ වැඩකටයුතුවල නිරත වී සිටියාය. ඇගේ අවධානය යොමු වී තිබුණේ ඒ දේවලට පමණි.’—ලූක් 10:39, 40.

ගීතිකා: 94, 134

1, 2. යේසුස් මාර්තාට ප්‍රේම කළේ ඇයි? මාර්තාට තිබුණු දුර්වලකම මොකක්ද?

මාර්තා කියද්දී ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොන වගේ පින්තූරයක්ද? මාර්තා කියන්නේ යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කරපු ඔහුගේ කිට්ටු යාළුවෙක්. යේසුස් ඒ විදිහට ආදරෙන් සලකපු කාන්තාවන් කීපදෙනෙක් ගැන බයිබලේ කතා කරනවා. (යොහ. 11:5; 19:25-27) යේසුස් මාර්තාට ඒ තරම් ප්‍රේම කළේ ඇයි?

2 මාර්තා ආගන්තුක සත්කාරයට කැමති, කරුණාවන්ත, මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. ඒත් ඒ හැම දේටම වඩා යේසුස් මාර්තාට ප්‍රේම කළේ එයා තුළ තිබුණු නොසැලෙන විශ්වාසය නිසයි. යේසුස් උගන්වපු හැම දේම මාර්තා විශ්වාස කළා. ගැලවුම්කරු යේසුස් කියලත් එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. (යොහ. 11:21-27) ඒත් අපි වගේ එයාටත් දුර්වලකම් තිබුණා. දවසක් යේසුස් එයාලගේ ගෙදරට ආපු වෙලාවක මාර්තාට එයාගේ සහෝදරිය එක්ක ටිකක් කේන්ති ගියා. එයා යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදු වෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න.” (ලූක් 10:38-42 කියවන්න.) ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

අවධානය වෙනතකට යොමු වුණා

3, 4. යේසුස් අගය කළේ මරියා කරපු මොන දේද? මාර්තා ඉගෙනගත්තේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 ගෙදරට එන්න කියලා මාර්තා සහ මරියා කරපු ආරාධනාව පිළිගත්ත යේසුස්, ශුද්ධ ලියවිල්ලෙන් වටිනා දේවල් කියලා දෙන්න ඒක අවස්ථාවක් කරගත්තා. උතුම් ගුරුවරයා උගන්වපු කිසිම දෙයක් අතපසු කරගන්න මරියාට ඕන වුණේ නැහැ. ඒ නිසා එයා යේසුස් ළඟින්ම ඉඳගෙන ‘ඔහු ඉගැන්වූ දේවලට සවන් දුන්නා.’ ඕනෙ නම් මාර්තාටත් ඒ දේම කරන්න තිබුණා. එහෙම කළා නම් යේසුස් මාර්තාවත් අගය කරයි.

4 ඒත් මාර්තා අවධානය දුන්නේ යේසුස්ට හොඳින් සලකන එකට. ඒ දේවලට මරියා උදව් කළේ නැති නිසයි මාර්තාට ටිකක් තරහා ගිහින් ඒ ගැන යේසුස්ට කිව්වේ. ඒත් මාර්තා ඕනෑවට වඩා දේවල් ලෑස්ති කරන්න හදනවා කියලා යේසුස් දැක්කා. ඒ නිසා “මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ” කියලා අහපු යේසුස්, කෑමට “එක දෙයක් තිබුණත් ඇති” කියලා ආදරෙන් කිව්වා. ඊටපස්සේ මරියා කරපු දේ අගය කරලා මෙහෙම කිව්වා. “මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” එදා කෑම වේලේ තිබුණේ මොනවද කියලා ටික දවසකින් මරියාට අමතක වෙන්න ඇති. ඒත් එදා ඉගෙනගත්ත දේවල්, යේසුස් එයාව අගය කරපු විදිහ කවදාවත් එයාට අමතක වෙන්න නැතුව ඇති. මාර්තාත් යේසුස් එයාට උගන්වපු පාඩම හිතට අරන් ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා කියලා කිසිම සැකයක් නැහැ. ඒ නිසයි ඒ සිද්ධියෙන් අවුරුදු 60කට වැඩි කාලෙකට පස්සේ ‘යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද බොහෝ සෙයින් ප්‍රේම කළා’ කියලා යොහන් ලිව්වේ.—යොහ. 11:5.

5. වඩා වැදගත් දේවලට අවධානය දෙන්න මේ කාලෙදී හුඟක් අමාරු ඇයි? අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නේ මොකක්ද?

5 යෙහෝවා දෙවිට කරන සේවයෙන් අපේ අවධානය වෙනතකට යොමු කරන හුඟක් දේවල් එදාට වඩා අද තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ ලෝකෙට හඳුන්වලා දෙන දේවල් නිසා අපේ අවධානය වෙනතකට යොමු වෙන්න පුළුවන් කියලා 1958 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ අනතුරු ඇඟෙව්වා. ඒ කාලෙත් හැමදාම වගේ අලුත් අලුත් දේවල් ලෝකෙට හඳුන්වලා දුන්නා. වර්ණවත් සඟරා, ගුවන්විදුලිය, චිත්‍රපටි, TV වගේ දේවල් හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න අපේ “අවධානය වෙනතකට යොමු කරන දේවල් තවත් වැඩි වෙනවා” කියලා ඒ සඟරාවේ කිව්වා. කිව්වා වගේම වෙන කවරදාකටත් වඩා අපේ අවධානය වෙනතකට යොමු කරන දේවලින් අපි වට වෙලා. එහෙමනම් අපේ අවධානය වෙනතකට යන්න දෙන්නේ නැතුව දෙවිගේ සේවයට යොමු කරන්න අපිට පුළුවන් කොහොමද?

උපරිම ලෙස භුක්ති විඳින්න එපා

6. දෙවිගේ සෙනඟ තාක්ෂණයෙන් ප්‍රයෝජන අරන් තියෙන්නේ කොහොමද?

6 ශුභාරංචිය දේශනා කරන්න දෙවිගේ සෙනඟ තාක්ෂණයෙන් හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා. පළවෙනි ලෝක මහ යුද්දෙට කලින් සහ යුද්දේ පැවතුණ කාලෙදී දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප, දර්ශන සහ ශබ්ද ඇතුළත් වැඩසටහනකින් (“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්”) හුඟක් රටවල ඉන්න මිලියන ගාණක් දෙනාට දේශනා කරන්න ඒ අයට පුළුවන් වුණා. ඊට කාලෙකට පස්සේ රේඩියෝව හරහා ඔවුන් මිලියන ගාණකට දේශනා කළා. අද වෙනකොට ඉන්ටර්නෙට් පහසුකම ප්‍රයෝජනයට අරන් ලෝකෙ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කරනවා.

දෙවිට කරන සේවයෙන් හිත වෙනතකට යොමු කරන්න අනවශ්‍ය දේවලට ඉඩ දෙන්න එපා (7 ඡේදය බලන්න)

7. (අ) ලෝකෙ දේවල් උපරිම ලෙස භුක්ති විඳින එකේ තියෙන අනතුර මොකක්ද? (ආ) අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොකක් ගැනද? (පාදසටහන බලන්න.)

7 බයිබලේ අපිට අනතුරු අඟවන්නේ මේ ලෝකෙ තියෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳින්න එපා කියලයි. ඒකට මේ ලෝකෙ හඳුන්වලා දෙන දේවල් වෙනුවෙන් කාලේ වැය කරන එකත් ඇතුළත්. (1 කොරින්ති 7:29-31 කියවන්න.) ඒවාවලින් සමහරක් වැරදි නැති වුණත් ඒවා නිසා අපේ කාලය අපතේ යන්න පුළුවන්. උදාහරණෙකට විනෝදාංශවලට, TV බලන්න, ප්‍රසිද්ධ තැන්වල සංචාරය කරන්න, සාප්පු සවාරි යන්න, අලුත්ම ඉලෙක්ට්‍රෝනික් උපකරණ සහ සැපෙන්, විනෝදෙන් ජීවිතේ ගත කරන්න හඳුන්වලා දෙන අලුත්ම දේවල් ගැන හොයලා බලන්න කාලය හුඟක් වැය වෙනවා. තවත් අය ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන්න, මෙසේජ් යවන්න, ඊ-මේල් යවන්න, අලුත්ම ප්‍රවෘත්ති නැත්නම් ක්‍රීඩා තොරතුරු දැනගන්න හුඟක් කාලය වැය කරනවා. * සමහරු ඒ දේවලට ඇබ්බැහි වෙනවා. (දේශ. 3:1, 6) ඒ තරම් වැදගත්කමක් නැති ඒ දේවලට අපේ කාලය වැය කරනවා නම් මේ කාලේ වඩා වැදගත්ම දේ වන යෙහෝවා දෙවිට කරන නමස්කාරයට වැඩි අවධානයක් දෙන්න අපිට බැරි වෙයි.—එෆීස 5:15-17 කියවන්න.

8. ලෝකෙ තියෙන දේවලට ඇලුම් නොකරන එක වැදගත් ඇයි?

8 දෙවිට කරන සේවයට අපි දෙන අවධානය මේ ලෝකෙ දේවලට යොමු කරන්න සාතන් හැම තිස්සෙම උත්සාහ කරනවා. ඔහු ඒක පළවෙනි සියවසේදීත් කළා. (2 තිමෝ. 4:10) අද ඒක ඊටත් වඩා වැඩියෙන් කරනවා. ඒ නිසා මේ ලෝකෙ දේවල් ගැන අපිට හැඟෙන්නේ කොහොමද කියලා නිතරම සෝදිසි කරලා බලලා හදාගන්න ඕන පැති තියෙනවා නම් ඒවා හදාගමු. මේ ලෝකෙ දේවලට ඇලුම් කරන්න එපා කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. ඒ වෙනුවට අපි කරන්න ඕනෙ දෙවිට තියෙන ආදරේ තවත් වැඩි කරගන්න එකයි. එහෙම කරනවා නම් දෙවිට කීකරු වෙන්නත් ඔහුට තව තවත් ළං වෙන්නත් අපිට පුළුවන්.—1 යොහ. 2:15-17.

වැදගත්ම දේට අවධානය දෙන්න

9. යේසුස් කිව්වේ මොන දේට අවධානය දෙන්න කියලද? ඔහු ඒක ආදර්ශයෙන් පෙන්නුවේ කොහොමද?

9 ඕනෑවට වඩා දේවල් ගැන කරදර වෙලා අවධානය වෙනතකට යොමු කරගන්න එපා කියලා යේසුස් මාර්තාට ආදරෙන් මතක් කළා වගේ ඔහුගේ අනුගාමිකයන්ටත් මතක් කළා. ඔහු ඔවුන්ට කිව්වේ යෙහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ජීවිතේ මුල් තැන දෙන්න කියලා. (මතෙව් 6:22, 33 කියවන්න.) කිව්වා විතරක් නෙමෙයි ඔහු ඒක කරලත් පෙන්නුවා. ඔහු තමන්ටම දේවල් රැස් කරගත්තේ නැහැ. අඩු තරමේ ඔහුටම කියලා ගෙයක්වත් තිබුණේ නැහැ.—ලූක් 9:58; 19:33-35.

10. යේසුස්ගෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද?

10 දේශනා සේවයට බාධාවක් වෙන්න යේසුස් කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ. උදාහරණෙකට ඔහු දේශනා සේවය පටන්ගත්ත අලුත කපර්ණවුමේ හිටපු අයට ඕන වුණා යේසුස්ව ඒ ගමේම තියාගන්න. ඒත් යේසුස් ඔහුගේ අවධානය දෙවි දුන්න පැවරුමෙන් වෙනතකට යන්න ඉඩ දුන්නේ නැහැ. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ලූක් 4:42-44) ඔහු හුඟක් ප්‍රදේශවලට ගිහින් පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කළා. දෙවි ගැන කියලා දුන්නා. පරිපූර්ණ කෙනෙක් වුණත් යේසුස්ට වෙහෙස දැනුණා, ඔහු විවේක ගත්තා කියලා බයිබලේ සඳහන් දේවලින් තේරෙන්නේ ඔහුට භාර දුන්න පැවරුම ඔහු හුඟක් මහන්සි වෙලා ඉටු කළා කියන එකයි.—ලූක් 8:23; යොහ. 4:6.

11. පවුලේ යම් ප්‍රශ්නයක් ගැන කියපු කෙනාට යේසුස් කිව්වේ මොකක්ද? යේසුස් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?

11 තවත් අවස්ථාවක යේසුස් ඔහුගේ ගෝලයන්ට වැදගත් කාරණයක් ගැන උගන්වමින් ඉද්දී කෙනෙක් මැද්දට පැනලා “ගුරුතුමනි, අපේ පියාගෙන් ලැබුණු උරුමය මා සමඟ බෙදාගන්න කියා මගේ සහෝදරයාට කියන්න” කියලා කිව්වා. ඒත් ඒකට මැදිහත් වෙන්න අකමැති වුණු යේසුස්, “ඔබේ විනිශ්චයකාරයා නැත්නම් ඔබ අතරේ දේපොළ බෙදා දෙන තැනැත්තා ලෙස මාව පත් කළේ කවුද” කියලා එයාගෙන් ඇහුවා. මොකද ගෝලයන්ට උගන්වන එකෙන් අවධානය වෙනතකට යොමු කරන්න යේසුස් කැමති වුණේ නැහැ. තමන්ටම දේවල් ලබාගන්න එක ගැන හිතන්න ගියොත් දෙවිට කරන සේවයෙන් අවධානය වෙනතකට යන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම දෙන්න ඔහු ඒක අවස්ථාවක් කරගත්තා.—ලූක් 12:13-15.

12, 13. (අ) යෙරුසලමට ආපු ග්‍රීකවරුන්ගෙන් සමහරුන්ට යේසුස්ව හම්බ වෙන්න කැමැත්තක් ඇති වුණේ ඇයි? (ආ) යේසුස් තමන්ගේ අවධානය වෙනතකට යන්න දුන්නේ නැහැ කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

12 මිනිසෙක් විදිහට ජීවත් වුණු අවසාන දවස්වල යේසුස් හිටියේ ලොකු පීඩනයකින්. (මතෙ. 26:38; යොහ. 12:27) දුක් විඳලා මිය යන්න වෙනවා කියලත් ඊට කලින් හුඟක් දේවල් කරන්න තියෙනවා කියලත් ඔහු දැනගෙන හිටියා. නීසාන් 9වෙනිදා වුණු දේ බලන්න. අනාවැකිවල කියලා තිබුණු විදිහට එදා ඔහු බූරු නාම්බෙක්ගේ පිටේ නැඟලා යෙරුසලමට ඇතුල් වුණා. ඒ වෙලාවේ හුඟක් අය ඔහුව පිළිගත්තේ තමන්ගේ රජු විදිහටයි. (ලූක් 19:38) ඊළඟ දවසේ ඔහු දේවමාලිගාවට ගිහින් වංචනික වෙළඳුන්ව එළවලා දැම්මා.—ලූක් 19:45, 46.

13 පාස්කුව සමරන්න ඇවිත් හිටපු ග්‍රීකවරුන් ඒ දේවල් දැකලා යේසුස්ව හම්බ වෙන්න පුළුවන්ද කියලා ෆිලිප්ගෙන් ඇහුවා. ඒත් තමන්ගේ පැත්ත අරන් වැඩ කරන, සතුරන්ගෙන් තමන්ව ආරක්ෂා කරන පිරිසක්ව එකතු කරගන්න යේසුස්ට ඕන වුණේ නැහැ. ඒ වෙලාවේ වැදගත්ම දේ ඔහුගේ ජීවිතේ පූජා කරන එකට අවධානය දෙන එකයි කියලා යේසුස් තේරුම් අරන් හිටියා. ඒ නිසා තමන් ළඟදීම මිය යනවා කියලා ගෝලයන්ට මතක් කරපු යේසුස්, ඔහුව අනුගමනය කරන අය ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්ති පිට ඉන්න ඕනෙ කියලත් කිව්වා. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “තමාගේ ජීවිතයට තිබෙන ආශාව නිසා එය රැකගන්න උත්සාහ කරන අයට එය නැති වෙයි. නමුත් මේ ලෝකයේ තමන් ගත කරන ජීවිතයට තිබෙන ආශාව අත්හරින්න වුණත් සූදානම් අයට තම ජීවිතය රැකගත හැකියි.” එහෙම කරන අයට ‘පියාණන්ගෙන් ගෞරවය’ ලැබෙනවා වගේම දෙවි ඒ අයට සදාකාල ජීවනය ලබා දෙනවා කියලත් ඔහු පොරොන්දු වුණා. යේසුස් කියපු ඒ වටිනා කාරණය ෆිලිප් ඒ ග්‍රීකවරුන්ට දැනුම් දෙන්න ඇති.—යොහ. 12:20-26.

14. දේශනා සේවයට මුල් තැන දෙන අතරේ යේසුස් කරපු තවත් දේවල් මොනවද?

14 යේසුස් මුල් තැන දුන්නේ දේශනා සේවයට වුණත් ජීවිතේ වෙනත් දේවලටත් කාලය දුන්නා. අඩුම තරමේ ඔහු එක විවාහ උත්සවයකට හරි සහභාගි වුණා. ඒකෙදී වතුර වයින් කරලා උත්සවය සතුටින් පවත්වගෙන යන්න උදව් වුණා. (යොහ. 2:2, 6-10) ඒ වගේම ඔහුගේ යාළුවෝ, පණිවිඩයට උනන්දුව දක්වපු අය කෑමකට එන්න කියලා කරපු ආරාධනාත් ඔහු පිළිගත්තා. (ලූක් 5:29; යොහ. 12:2) ඒ මොන දේ කළත් විවේක ගන්න, ටිකක් තනි වෙලා කල්පනා කරන්න, යාච්ඤා කරන්න කාලය හොයාගන්න යේසුස් අමතක කළේ නැහැ.—මතෙ. 14:23; මාක් 1:35; 6:31, 32.

‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාමු’

15. පාවුල් දුන්න උපදෙස මොකක්ද? ඔහු ආදර්ශයක් වුණේ කොහොමද?

15 ධාවන තරඟයක යෙදිලා ඉන්න පිරිසකට පාවුල් අපිව සමාන කළා. තරඟය නිම කරන්න නම් අපේ වේගය අඩාල කරන, අපිව තරඟයෙන් ඉවත් කරන ඕනම දෙයක් අයින් කරන එක වැදගත් කියලා ඔහු කිව්වා. (හෙබ්‍රෙව් 12:1 කියවන්න.) ඒකට පාවුල් හොඳ ආදර්ශයක්. යුදෙව් ආගමික නායකයෙක් විදිහට ධනවත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඔහුට ඕන තරම් අවස්ථාව තිබුණා. ඒත් “වඩා වැදගත් දේවල්” මොනවද කියලා තේරුම්ගත්ත නිසා ඔහු ඒ හැම දේම පැත්තකට දැම්මා. වෙහෙස නොබලා දේශනා සේවයේ හවුල් වුණු ඔහු ඒ වෙනුවෙන් සිරියාව, කුඩා ආසියාව, මැසිඩෝනියාව, යුදය වගේ හුඟක් ප්‍රදේශවලට ගියා. පාවුල් නිතරම බලාගෙන හිටියේ ඉදිරියේදී යෙහෝවා දෙවි තමන්ට දෙන ආශීර්වාද දිහායි. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “මා අත්හැර දැමූ දේවල් අමතක කර ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි. මගේ ත්‍යාගය ලබාගැනීමේ අදහසින් මම දිගටම දුවමින් සිටින්නෙමි.” (ෆිලි. 1:10; 3:8, 13, 14) පාවුල් තනිකඩව හිටපු නිසා ‘සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කරන්න’ ඔහුට අවස්ථාව ලැබුණා.—1 කොරි. 7:32-35.

16, 17. අපි විවාහ වෙලා හිටියත් නැතත් පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? මාක් සහ ක්ලෙයා ඒ දේ කළේ කොහොමද?

16 දෙවිට වැඩි සේවයක් කරන්න ඕන නිසා අද ඉන්න සමහර දෙවිගේ සේවකයනුත් විවාහ වෙන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. (මතෙ. 19:11, 12) විවාහක අයත් එක්ක බලද්දී තනිකඩ අයට පවුල් වගකීම් අඩුයි. අපි විවාහ වෙලා හිටියත් නැතත් දෙවිට කරන සේවයෙන් අපිව ඈත් කරන, ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාන්න’ අපිට පුළුවන්. ඒකට සමහර පුරුදු වෙනස් කරගන්න එකත් ඇතුළත්. එතකොට කාලය අපතේ යවන්නේ නැතුව යෙහෝවා දෙවිට වැඩි සේවයක් කරන්න අපිට පුළුවන්.

17 වේල්සයේ හැදී වැඩුණු මාක් සහ ක්ලෙයා ඉස්කෝලෙන් අස් වෙනවත් එක්කම පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ දෙන්නා විවාහ වුණාට පස්සෙත් දිගටම පුරෝගාමි සේවය කළා. ඒත් ඒ දෙන්නට ඕන වුණේ දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න. මාක් මෙහෙම කියනවා. “ජාත්‍යන්තර ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න අපිට තිබුණු ආසාව නිසා අපේ කාමර තුනේ ගේ විකුණුවා. සතියට දවස් කීපයක් කරකර හිටපු රස්සාවෙනුත් අස් වුණා.” ගත වුණු අවුරුදු 20 පුරාම අප්‍රිකාවේ හුඟක් ප්‍රදේශවලට ගිහින් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න හවුල් වෙන්න එයාලට අවස්ථාව ලැබුණා. සමහර දවස්වල අතේ තිබුණේ පොඩි මුදලක් විතරයි. ඒත් කිසිම වෙලාවක යෙහෝවා දෙවි එයාලව අත්හැරියේ නැහැ. “ගත වෙන දවසක් ගානේ යෙහෝවා දෙවිට සේවය කරපු එකෙන් අපි ලැබුවේ පුදුම තෘප්තියක්. ගිය ගිය තැන්වල අපිට ගොඩක් යාළුවෝ හම්බ වුණා. අපිට කිසිම දේකින් අඩුවක් වුණේ නැහැ. අපි කැප කළේ හරිම පොඩි දෙයයි. ඒත් අපි ලබපු සතුට ඊට වඩා දහස් ගුණයකින් වැඩියි” කියලා ක්ලෙයා කියනවා. පූර්ණකාලීනව සේවය කරන හුඟක් අයගේ අද්දැකීමත් ඒකමයි. *

18. අපි අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

18 ‘මීට වඩා උද්‍යෝගයෙන් සේවය කරන්න මට පුළුවන්ද? සමහර දේවල් නිසා මගේ අවධානය වෙනතකට යොමු වෙනවද? එහෙමනම් මං කරන්න ඕනෙ මොනවද’ කියන ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි බයිබලේ කියවලා කියවපු දේ ගැන හොඳට හිතන එක. සමහරවිට ඔයා දැනටමත් ඒක කරනවා ඇති. ඒත් ඒක තවත් හොඳට කරන්න පුළුවන් විදිහ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 17 ඡේ. හේඩ්න් සහ මෙලඩී සැන්ඩසන් කියන යුවළ සරුවට කරකර හිටපු ව්‍යාපාරය විකුණලා පූර්ණකාලීන සේවය පටන්ගත්තා. ඉන්දියාවේ සේවය කරද්දී අතේ තිබුණු මුදල් ඉවර වුණාම එයාලා මොනවද කළේ කියලා දැනගන්න 2006 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු එයාලගේ ජීවිත කතාව බලන්න.