Skip to content

පටුනට යන්න

“අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි”

“අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි”

“පත්තරයක් කියවන්නේ නැති කෙනෙක් මෝඩයෙක්. ඒත් පත්තරේ තියෙන හැම දෙයක්ම විශ්වාස කරන කෙනෙක් ඊටත් වඩා මෝඩයෙක්.”—ජර්මානු ජාතික ඉතිහාසඥයෙක් හා වාර්තාකරුවෙක් වන ඕගස්ට් ෆොන් ෂ්ලොට්සේ (1735-1809).

මීට අවුරුදු 200කට කලින් පත්තරවල තිබුණු හැම ආරංචියක්ම මිනිසුන් විශ්වාස කළේ නැහැ කියලා ඒ කියමනෙන් පැහැදිලියි. අද අන්තර්ජාලය ගැන කියන්න පුළුවන් මොකක්ද? තාක්ෂණයේ දියුණුව නිසා ඕන තරම් තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. සමහර තොරතුරු ඇත්ත. ප්‍රයෝජනවත්. ඒත් තවත් ඒවා විශ්වාස කරන්න බැහැ. ඒ වගේම හානිකරයි. ඒ නිසා අපි කියවන තොරතුරු ගැන ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. අද ඊයේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගත්ත කෙනෙක් තොරතුරු ලැබුණේ අන්තර්ජාලයෙන් නිසා, නැත්නම් යාළුවෙක් ඊ-මේල් එකකින් එවපු නිසා ඒ ආරංචිය ඇත්තක් කියලා හිතන්න පුළුවන්. ඒ ආරංචිය අමුතු එකක් වුණත් ඒක විශ්වාස කරන්න පෙලඹෙනවා. ඒ නිසා බයිබලයේ තියෙන මේ උපදෙස ගැන අපි හැමෝම හිතලා බලමු. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝ. 14:15.

“සිහිබුද්ධිය ඇති අය” විශ්වාස කරන්නේ තමන්ට ඇත්ත කියලා විශ්වාස කරන්න පුළුවන් තොරතුරු විතරයි. අනිත් හැමෝම විශ්වාස කරන පලියට ඕනම තොරතුරක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් ලේසියෙන් රැවටෙන්නෙත් නැහැ. ඔයාටත් සිහිබුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද? මුලින්ම මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘තොරතුරු ලැබුණේ විශ්වාසවන්ත වෙබ් අඩවියකින්ද? නැත්නම් ඕන කෙනෙක්ට තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් වෙබ් අඩවියකින්ද? තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ කවුද කියන එක ගැන කිසිම විස්තරයක් සඳහන් වෙන්නේ නැද්ද? පිළිගත් වෙබ් අඩවියකින් ඒ තොරතුර බොරු එකක් කියලා දැනටමත් කියලා තියෙනවාද?’ * දැන් ඔයාට පුළුවන් “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමේ” හැකියාව පාවිච්චි කරලා හරි තීරණයක් ගන්න. (හෙබ්‍රෙ. 5:14) ඒ වගේම කා ගැන හරි නරක තොරතුරක් කෙනෙක් දාලා තියෙනවා නම් එයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ගැනත් හිතලා බලන්න.

එන එන ඊ-මේල් අනිත් අයට යවනවාද?

සමහර අයට කාගෙන් හරි පණිවිඩයක් ලැබුණු ගමන්ම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අනිත් අයට යවනවා. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගැන හිතන්නෙත් නැහැ. ඒ වගේ අයට ඕන මුලින්ම තොරතුරක් ලැබුණේ තමන්ට කියලා අනිත් අයට පෙන්නන්නයි. (2 සාමු. 13:28-33) ඒත් ‘සිහිබුද්ධියෙන්’ වැඩ කරන කෙනෙක් තමන් යවන පණිවිඩය නිසා පුද්ගලයෙක්ට හරි සංවිධානයකට හරි හානියක් වෙයිද කියලා හිතලා බලනවා.

සමහර අය තමන් යවන තොරතුරු ඇත්තද බොරුද කියලා හොයන්නේ නැත්තේ ඒකට ලොකු කාලයක් වැය වෙන නිසයි. එයාලා හිතන්නේ ඒ පණිවිඩේ ලැබෙන කෙනා ඒ ගැන හොයලා බලයි කියලයි. ඒත් ඒ පණිවිඩය ලැබෙන කෙනාගේ කාලයත් වටිනවා කියලා අමතක කරන්න එපා. (එෆී. 5:15, 16) ඒ නිසා යම් තොරතුරක් ගැන සැක නම් නොයවා ඉන්න එක තමයි හොඳම දේ.

‘මට එන හැම ඊ-මේල් එකක්ම මං අනිත් අයට යවනවාද? වැරදි තොරතුරක් යවලා සමාව ඉල්ලපු අවස්ථා තියෙනවාද? මට ඊ-මේල් එවන්න එපා කියලා කවුරු හරි කියලා තියෙනවාද’ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ඔයාගේ යාළුවන්ටත් අන්තර්ජාල පහසුකම් තියෙන නිසා ඒ අයට අවශ්‍ය තොරතුරු එයාලටම හොයලා දැනගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ, විහිළු කතා, පින්තූර තියෙන ඊ-මේල් ඔයා ඕනෑවට වඩා එයාලට යවන්න ඕනෙ නැහැ. ඒ වගේම පටිගත කරපු බයිබල් දේශන හා ඒවායේ සටහන් යවන එකත් සුදුසු නැහැ. * ඒ විතරක් නෙමෙයි පර්යේෂණ කරලා හොයාගත්තු තොරතුරු, රැස්වීම්වලදී සාකච්ඡා කරන ප්‍රශ්නවලට පිළිතුරු, බයිබල් පද වගේ දේවල් යවන්නත් එපා. එහෙම යැව්වොත් ඔයා කරන්නේ අනිත් අයගේ අධ්‍යයන පුරුදු දුර්වල කරන එකයි.

මම මේක යැව්වට කමක් නැද්ද?

සාක්ෂිකරුවන් ගැන අන්තර්ජාලයේ බොරු තොරතුරක් දැක්කොත් ඔයා මොනවද කරන්නේ? ඒවා කියවන්නවත් ඒ තොරතුරු අනිත් අයට යවලා ඒ අය ඒ ගැන හිතන දේ දැනගන්න හදන්නවත් එපා. මොකද ඒ තොරතුරු යැව්වොත් ඔයා කරන්නේ ඒ බොරුව හැමෝටම පතුරුවන එකයි. ඒ වගේ දෙයක් දැක්ක නිසා ඔයාගේ හිත වධ දෙනවා නම්, හරි දේ කරන්න දෙවිගෙන් ප්‍රඥාව ඉල්ලන්න. ඒ වගේම අවබෝධයෙන් ක්‍රියා කරන සහෝදරයන් එක්ක ඒ ගැන කතා කරන්න. (යාකො. 1:5, 6; යූද් 22, 23) අපි ගැන ඒ වගේ බොරු පතුරුවන එක පුදුමයක් නෙමෙයි. මොකද යේසුස් ගැනත් මිනිසුන් බොරු පැතුරුවා. ගෝලයන් ගැනත් බොරු චෝදනා හා දුෂ්ට දේවල් කියයි කියලත් යේසුස් කිව්වා. (මතෙ. 5:11; 11:19; යොහ. 10:19-21) ඒ නිසා අන්තර්ජාලය හරහා ඔයාට ලැබෙන තොරතුරු ගැන හොඳට හිතලා බලන්න. එහෙම කරනවා නම් ඒ ආරංචිය කවුරු හරි අනිත් අයව රවට්ටන්න කියපු බොරුවක්ද නැද්ද කියලා ඔයාට තේරුම්ගන්න පුළුවන්.—හිතෝ. 2:10-16.

අනිත් අයට ගරු කරන්න

අපි අපේ සහෝදරයන්ගේ තොරතුරු හා ඒ අයගේ අද්දැකීම් ගැන අනිත් අයට කියද්දී පරෙස්සම් වෙන්න ඕනේ. (මතෙ. 7:12) උදාහරණයකට ඔයා දන්න දේ ඇත්ත දෙයක් වුණත් ඒකෙන් තව කෙනෙක් ගොඩනැඟෙන්නේ නැත්නම් ඒ වගේ දෙයක් පතුරුවන එක සුදුසු නැහැ. (2 තෙස. 3:11; 1 තිමෝ. 5:13) අනිත් අතට සමහර අය ආසයි තමන් ගැන යම් තොරතුරක් ටික කාලෙකට කාටවත් නොකියා ඉන්න. ඒ නිසා ඒ වගේ විස්තරයක් අනිත් අයට කියන එක එයාගේ කැමැත්තට පිටින් යෑමක්. ඒ විතරක් නෙමෙයි කලින්ම හෙළි කරන එකෙන් ලොකු හානියක් වෙන්නත් පුළුවන්.

අද කාලේ ඕන ආරංචියක් විදුලි වේගෙන් පැතිරෙනවා. ඔයා දෙයක් කියන්නේ එක් කෙනෙකුට වුණත් ඒ කෙනාට පුළුවන් තත්පර කීපයක් ඇතුළත ලෝකේ පුරාම ඉන්න අයට ඒක දැනුම් දෙන්න. ඒ නිසා ආරංචියක් ලැබුණු ගමන්ම කාට හරි කියන්න ඉක්මන් වෙන්න එපා. ඔයා දන්න හැමෝටම කියන්න යන්නත් එපා. ප්‍රේමණීය කෙනෙක් අනිත් අය කියන දේවල් සැක කරන්නේ නැති වුණත් අද්දැකීම් අඩු කෙනෙක් වගේ හැමදේම විශ්වාස කරන්නෙත් නැහැ. (1 කොරි. 13:7) ඒ නිසා අපේ සහෝදරයන් ගැනත් දෙවිගේ සංවිධානය ගැනත් පතුරුවන බොරු අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ බොරු පතුරුවන අය කරන්නේ “බොරුවේ පියා” වන සාතන්ගේ ආශාව ඉෂ්ට කරන එකයි. (යොහ. 8:44) ඒ නිසා සිහිබුද්ධියෙන් ක්‍රියා කරන අය හැටියට අපිට ලැබෙන තොරතුරු ගැන කල්පනාකාරී වෙමු. බයිබලයේ කියන මේ දේ අපි හිතට ගමු. “අද්දැකීම් අඩු අය හැසිරෙන්නේ මෝඩයන් ලෙසයි. එහෙත් සිහිබුද්ධිය ඇති තැනැත්තා දැනුම ඔටුන්නක් මෙන් පළඳින්නේය.”—හිතෝ. 14:18.

^ 4 ඡේ. පිළිගත් වෙබ් අඩවිවලින් සමහර තොරතුරු බොරුයි කියලා හෙළි කරනවා. ඒත් කාලයක් ගියාට පස්සේ ඒ තොරතුරු මුලින් පළ කරපු අයම ඒවා ටිකක් වෙනස් කරලා ආයෙත් දාන්න පුළුවන්.

^ 8 ඡේ. වැඩි විස්තර දැනගන්න 2010 අප්‍රියෙල් ‘අපගේ රාජ්‍ය සේවාවේ’ “ප්‍රශ්න පෙට්ටිය” බලන්න.