Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ඔයා දකිනවද?

දෙවිගේ බලය ඔයා දකිනවද?

“යෙහෝවා දෙවි වන මම මාගේ සේවකයන්ට මාගේ බලය දකින්න සලස්වමි.”—යෙසා. 66:14.

ගීතිකා: 65, 26

1, 2. සමහරු දෙවි ගැන හිතන්නේ කොහොමද?

හුඟක් මිනිස්සු හිතන්නේ ඒ අය මොනවා කළත් ඒ අයට මොකක් වුණත් දෙවිට ගානක් නැහැ කියලයි. උදාහරණෙකට 2013දී දරුණු සුළිකුණාටුවකින් පිලිපීනයේ විශාල ප්‍රදේශයක් විනාශ වුණාට පස්සේ නගරාධිපති කෙනෙක් මෙහෙම කිව්වා. “දෙවියන් ඒ වෙලාවේ වෙන කොහේ හරි ඉන්න ඇති.”

2 තවත් අය වැඩ කරන්නේ තමන් මොනවා කළත් දෙවිට ඒවා පේන්නේ නැහැ කියලා හිතාගෙනයි. (යෙසා. 26:10, 11; 3 යොහ. 11) ඒ වගේ අයව පාවුල් හැඳින්නුවේ ‘දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට අකමැති’ අය කියලයි. ඒ අය අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් සහ පව්කාරකමින් පිරුණු අය කියලත් ඔහු කිව්වා.—රෝම 1:28, 29.

3. අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවද?

3 ඒත් අපි ඒ අයට වඩා වෙනස්. අපි කරන හැම දෙයක්ම යෙහෝවා දෙවි දකිනවා කියලත් ඔහුගේ සේවකයන්ට උදව් කරන්න, සතුරන්ව පරාජය කරන්න ඔහු තම බලය යොදාගන්නවා කියලත් අපි දන්නවා. (ද්විතීය කතාව 26:8 කියවන්න.) ඒත් දෙවි පෞද්ගලිකව ඔයාට උදව් කරනවා, ඔයා ගැන සැලකිලිමත් වෙනවා කියලා ඔයාට දැනෙනවද? සමහර අයට “දෙවිව දකින්න” පුළුවන් කියලා යේසුස් කිව්වා. (මතෙ. 5:8) ඒ අය අතරේ ඔයාත් ඉන්නවද? දෙවිව දකින්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ දැකලා ඒක පිළි නොගත්ත අය සහ ඒක තේරුම්ගත්ත අය ගැන බයිබලෙන් උදාහරණ කීපයකින් බලමු. දෙවිගේ බලය දකින්න විශ්වාසය උදව් වෙන විදිහ ගැනත් බලමු.

දෙවිගේ බලය දැක්කත් ඒක පිළි නොගත්ත අය

4. දෙවිගේ බලය දැක්කත් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් ඒක පිළි නොගත්තා කියන්නේ ඇයි?

4 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උදව් කරපු විදිහ අහන්න, දකින්න අතීතයේ හිටපු හුඟක් අයට අවස්ථාව ලැබුණා. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගත්තෙත් පොරොන්දු දේශයේ හිටපු රජවරුන්ව පරාජය කළෙත් හුඟක් ආශ්චර්යයන් කරලා. (යොෂු. 9:3, 9, 10) ඒ දේවල් අහලා, දැකලා තිබුණත් අනිත් රජවරු ‘එකා මෙන් යොෂුවාට සහ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කිරීමට සැරසුණා.’ (යොෂු. 9:1, 2) ඒ සටන්වලදීත් දෙවි තම සෙනඟට උදව් කරනවා කියලා පැහැදිලිව දකින්න පුළුවන් වුණා. එක අවස්ථාවක දෙවිගේ බලය නිසා “ඊශ්‍රායෙල්වරුන් තම සතුරන්ට පහර දී ඔවුන්ව පරාජයට පත් කරන තුරු හිරුද සඳුද නැවතී සිටියා.” (යොෂු. 10:13) ඒත් ඔවුන් දෙවිගේ බලය දැක දැකත් ‘මුරණ්ඩු වී ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරගත්තා.’ (යොෂු. 11:20) ඒ නිසා ඔවුන්ට අත් වුණේ අන්ත පරාජයක්.

5. ආහබ් රජ පිළිගන්න අකමැති වුණේ මොකක්ද?

5 යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ තේරුම්ගන්න ආහබ් රජුටත් ඕන තරම් අවස්ථා ලැබුණා. එක අවස්ථාවක “මා අණ දුන්නොත් මිස ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ” කියලා එලියා ඔහුට කිව්වා. (1 රාජා. 17:1) කියපු විදිහටම ඒ දේ වුණේ දෙවිගේ බලයෙන්. ඒත් ආහබ් ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. එලියාගේ යාච්ඤාවකට යෙහෝවා දෙවි අහසින් ගින්දර එවලා උත්තර දුන්න විදිහත් ආහබ් දැක්කා. දෙවි නියඟය අවසන් කරලා වැසි ලබා දෙනවා කියලා එලියා කිව්ව දේ ඉටු වුණු හැටිත් ආහබ් දැක්කා. (1 රාජා. 18:22-45) එච්චර දේවල් දැකලත් ඒවා වුණේ දෙවිගේ බලයෙන් කියලා පිළිගන්න ආහබ් අකමැති වුණා. මේ කාලෙදීත් දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒත් ප්‍රශ්නේ අපි ඒවා දකිනවද, ඒවා තේරුම්ගන්න අපිට පුළුවන්ද කියන එකයි.

දෙවිගේ බලය දැකලා ඒක තේරුම්ගත්ත අය

6, 7. ගිබියොන්වරු සහ රාහබ් තේරුම්ගත්තේ මොකක්ද?

6 ගිබියොන්වරු අනිත් ජාතීන්ට වඩා හුඟක් වෙනස්. ඊශ්‍රායෙල්වරුන් එක්ක සටනට යනවා වෙනුවට සාමය ඇති කරගන්න ගිබියොන්වරුන්ට ඕන වුණා. මොකද යෙහෝවා දෙවි ගැන, ඔහු කරපු දේවල් ගැන අහන්න ලැබුණු දේවලින් දෙවිගේ බලය ඔවුන් තේරුම්ගත්තා. (යොෂු. 9:3, 9, 10) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා කියලා ගිබියොන්වරු තේරුම්ගත්ත එක මොන තරම් ඥානවන්තද!

7 ඊශ්‍රායෙල් ජාතිකයෙක් නොවුණත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ඊජිප්තුවෙන් ගලවගත්තේ කොහොමද කියලා රාහබ් අහලා තිබුණා. එයාගේ ගෙදරට ආපු ඊශ්‍රායෙල් ජාතිකයන් දෙන්නට “යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි” කියලා රාහබ් කිව්වා. තමන්වත් තමන්ගේ පවුලේ අයවත් ආරක්ෂා කරන්න දෙවිට පුළුවන් කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. කරන්න යන දේ කොයි තරම් අනතුරුදායකද කියලා දැනගෙන හිටියත් රාහබ් දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කළා.—යොෂු. 2:9-13; 4:23, 24.

8. සමහර ඊශ්‍රායෙල්වරු තේරුම්ගත්තේ මොකක්ද?

8 එලියාගේ යාච්ඤාවට උත්තර විදිහට අහසින් ගින්දර එනවා දැකපු වෙලාවේ ඒක කළේ යෙහෝවා දෙවි කියලා ආහබ් රජු පිළිගත්තේ නැහැ. ඒත් එතන හිටපු සමහරු තේරුම්ගත්තා ඒක දෙවිගේ බලයෙන් කරපු දෙයක් කියලා. “යෙහෝවා දෙවි සැබෑ දෙවි” කියලා ඒ අය කිව්වේ ඒ නිසයි.—1 රාජා. 18:39.

9. යෙහෝවා දෙවිව නැත්නම් ඔහුගේ බලය දකින්න අපිට පුළුවන් කොහොමද?

9 යෙහෝවා දෙවිව දකිනවා නැත්නම් දෙවිගේ බලය දකිනවා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තර අපි ඒ ආදර්ශ සහ අවාදර්ශවලින් දැනගත්තා. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ ගතිලක්ෂණ ගැනත් තේරුම්ගන්න තරමට දෙවිව නැත්නම් දෙවිගේ බලය දකින්න අපිට පුළුවන් වෙනවා. ඒ කියන්නේ “අන්ධ වූ ඇස් පැහැදෙන ආකාරයට” අපිට යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ “හොඳින් අවබෝධ කරගැනීමට” පුළුවන් වෙනවා කියන එකයි. (එෆී. 1:18) එතකොට අපි පෙලඹෙනවා දෙවි තම සෙනඟට උදව් කරන විදිහ තේරුම්ගත්ත විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න.

දෙවි තම බලය මාර්ගයෙන් උදව් කරනවා

10. දෙවි මේ කාලෙදීත් තම බලය මාර්ගයෙන් උදව් කරනවා කියලා ඔප්පු වෙලා තියෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 අදත් දෙවි ඔහුගේ සෙනඟට උදව් කරනවා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා. උදව් ඉල්ලලා කරපු යාච්ඤාවලට පිළිතුරු ලැබුණු අයගේ අද්දැකීම් අපිට නිතරම අහන්න ලැබෙනවා. (ගීතා. 53:2) මේ අද්දැකීම බලන්න. පිලිපීනයේ කුඩා දූපතක සේවය කරපු ඇලන්ට කාන්තාවක් මුණගැහුණා. තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා ඇලන් කිව්වම ඒ කාන්තාව අඬන්න පටන්ගත්තා. මොකද “සාක්ෂිකරුවන්ව මුණගස්වන්න කියලා එයා යෙහෝවා දෙවිට යාච්ඤා කරලා තිබුණේ එදා උදේ” කියලා ඇලන් කියනවා. තරුණ කාලෙදී සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළත් විවාහ වෙලා ඒ දූපතට ගියාට පස්සේ ඒක නතර වුණා. යෙහෝවා දෙවි එයාගේ යාච්ඤාවට එච්චර ඉක්මනට පිළිතුරු දුන්න නිසා දෙවි ගැන එයාගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා. අවුරුද්දක් යන්නත් කලින් එයා එයාගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කළා.

යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟට උදව් කරන විදි ඔයා දකිනවද? (11-13 ඡේද බලන්න)

11, 12. (අ) යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට උදව් කරන්නේ කොහොමද? (ආ) ඒමීට දෙවි උදව් කළේ කොහොමද?

11 දුම් බීම, මත්ද්‍රව්‍ය පාවිච්චිය, කාමුක දර්ශන බලන එක වගේ නරක පුරුදු අත්හරින්න යෙහෝවා දෙවි තම බලයෙන් උදව් කරලා තියෙන විදිහ ඔහුගේ සේවකයන් අද්දැකලා තියෙනවා. කොච්චර උත්සාහ කළත් ඒ පුරුදු අත්හරින්න තමන්ගෙම හැකියාවෙන් බැරි වුණා කියලා ඒ අය කියනවා. ඒත් යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවම ඔහු “සාමාන්‍යය ඉක්මවූ බලය” දුන්න නිසා ඒ පුරුදුවලින් ගොඩ එන්න එයාලට පුළුවන් වුණා.—2 කොරි. 4:7; ගීතා. 37:23, 24.

12 අභියෝග, දුෂ්කරතා ජය ගන්නත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උදව් කරනවා. පැසිෆික් දූපතක නමස්කාර මධ්‍යස්ථානයක් සහ මිෂනාරි නිවසක් හදන්න උදව් කරන්න ඒමීට පැවරුමක් ලැබුණා. එයා නැවතිලා හිටියේ පුංචි කාමරේක. එහේ සංස්කෘතිය හරිම වෙනස්. නිතරම වගේ විදුලි බලය, වතුර නැතුව යනවා. ගෙදර අය නැති පාළුවත් එයාට තදින්ම දැනුණා. ඒ විතරක් නෙමෙයි වැඩට යන්න එන්න වුණෙත් වතුරෙන් යට වෙලා තිබුණු පාරවල්වල. දවසක් එයාත් එක්ක වැඩ කරපු සහෝදරියකට එයා කෑගහලා බැන්නා. කරපු දේ කොච්චර නරකයිද කියලා පස්සේ එයාට හිතුණා. වැඩ ඉවර වෙලා කාමරේට ගිහින් යෙහෝවා දෙවිගේ උදව් ඉල්ලලා එයා යාච්ඤා කළා. ගිලියද් පාසැලේ පැවරුම් ලබා දෙන දවසේ පවත්වපු වැඩසටහන ගැන ‘මුරටැඹ’ සඟරාවක තිබුණු ලිපියක් එදා රෑ ඒමී කියෙව්වා. එයා මුහුණ දෙන දුෂ්කරතාවලට සමාන දේවල් ඒ ලිපියේ කතා කරලා තිබුණා. ඒමී මෙහෙම කියනවා. “එදා රෑ යෙහෝවා දෙවි මට කතා කළා කියලා මට දැනුණා. මගේ පැවරුම දිගටම කරගෙන යන්න ඒක ලොකු උදව්වක් වුණා.”—ගීතා. 44:25, 26; යෙසා. 41:10, 13.

13. දේශනා කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න යෙහෝවා දෙවි උදව් කරලා තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

13 ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්නත් දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යානුකූලව තහවුරු කරන්නත් යෙහෝවා දෙවි උදව් කරලා තියෙනවා. (ෆිලි. 1:7) උදාහරණෙකට සමහර ආණ්ඩු දේශනා සේවය තහනම් කරපු අවස්ථාවලදී අපි ඒ ආණ්ඩුවලට විරුද්ධව නඩු දැම්මා. ප්‍රතිඵලයක් විදිහට වර්ෂ 2000 ඉඳලා මේ වෙන කල් මහාධිකරණය ඉදිරියේ නඩු 268ක් විතර අපි දිනලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය ඉදිරියේ ලබපු ජයග්‍රහණ 24ත් ඒකට ඇතුළත්. දෙවිගේ බලයට විරුද්ධව නැඟී සිටින්න කිසිම කෙනෙකුට බැහැ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—යෙසා. 54:17; යෙසායා 59:1 කියවන්න.

14. දෙවි ඔහුගේ සෙනඟට උදව් කරනවා කියලා කියන්න තියෙන තවත් සාක්ෂි මොනවද?

14 ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවි ඔහුගේ බලය ඔහුගේ සෙනඟට දෙන නිසයි. (මතෙ. 24:14; ක්‍රියා 1:8) ඒ විතරක් නෙමෙයි අපි අතරේ විවිධ ජාතීන් හිටියත් අපි එක්සත්ව ඉන්නේ දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උදව් කරන නිසයි. ඒ වගේ එකමුතුකමක් තියෙන්නේ දෙවිගේ සෙනඟ අතරේ විතරයි. දෙවිට නමස්කාර නොකරන අයත් “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා” කියලා පිළිගන්නේ ඒ නිසයි. (1 කොරි. 14:25) දෙවි ඔහුගේ සෙනඟ එක්ක ඉන්නවා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. (යෙසායා 66:14 කියවන්න.) ඒත් ඔයා ගැන කියන්න පුළුවන් මොනවද? දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඔයාට උදව් කරන විදි ඔයා දකිනවද?

දෙවිගේ බලය ඔයාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔයා දකිනවද?

15. සමහර වෙලාවට අපි දෙවිගේ බලය දකින්නේ නැත්තේ ඇයි?

15 යෙහෝවා දෙවිගේ බලය අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා සමහර වෙලාවට තේරුම්ගන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඒ ඇයි? යෙහෝවා දෙවි කලින් අපිට කොච්චර උදව් කරලා තිබුණත් අපි ප්‍රශ්නවලට යට වෙලා ඉද්දී ඒ උදව් අපිට අමතක වෙන්න පුළුවන්. එලියාටත් එහෙම වුණා. එලියා නිර්භීත කෙනෙක් වුණත් යෙසබෙල් රැජින එයාව මරනවා කියලා තර්ජනය කළාම ඔහු බය වුණා. කොච්චර බය වුණාද කියනවා නම් තමන්ව මරලා දාන්න කියලා එලියා දෙවිගෙන් ඉල්ලුවා. (1 රාජා. 19:1-4) දෙවි කලින් උදව් කරපු විදිහ ඒ වෙලාවේ එලියාට අමතක වුණා. ඒත් ඒ තත්වයෙන් ගොඩ ඇවිත් කලින් වගේ නිර්භීතව සේවය කරන්න නම් එලියා කරන්න ඕන වුණේ දෙවිගෙන් උදව් ඉල්ලන එකයි.—1 රාජා. 19:14-18.

16. ප්‍රශ්නවලින් යට වෙලා ඉද්දීත් දෙවිව දකින්න අපිට පුළුවන් කොහොමද?

16 යෝබ් එයාට ආපු ප්‍රශ්න ගැනම හිතලා කලකිරුණා. ඒ නිසා දෙවි දේවල් දිහා බලන විදිහ තේරුම්ගන්න එයාට බැරි වුණා. අපිත් ප්‍රශ්න ගැන විතරක්ම හිතන්න ගියොත් දෙවිව අමතක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් අපි අද්දකින ප්‍රශ්න ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවා දෙවි අපිට තව තවත් සැබෑ කෙනෙක් වෙයි. එතකොට “මම කලින් ඔබ ගැන අසා තිබුණත් දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි” කියලා කියන්න අපිටත් පුළුවන්.—යෝබ් 42:3-6.

අනිත් අයට දෙවිව දකින්න උදව් කරන්න දෙවි ඔයාව යොදාගන්නවද? (17 සහ 18 ඡේද බලන්න)

17, 18. (අ) දෙවිගේ බලය ඔයාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා තේරුම්ගන්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද? (ආ) මේ කාලෙදී දෙවි උදව් කරනවා කියලා ඔප්පු වෙන අද්දැකීමක් කියන්න.

17 යෙහෝවා දෙවිගේ බලය ඔයාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා තේරුම්ගන්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද? මේ ගැන හිතන්න. සත්‍යය හොයාගන්න ඔයාට උදව් කළේ යෙහෝවා දෙවි කියලා ඔයාට හැඟෙනවද? ‘යෙහෝවා දෙවි කතා කළේ මටමයි’ කියලා රැස්වීමකදී අහපු කතාවක් ගැන ඔයාට හිතිලා තියෙනවද? ඔයාගේ යාච්ඤාවකට දෙවි උත්තර දුන්න විදිහ ඔයා අද්දැකලා තියෙනවද? වැඩියෙන් සේවය කරන්න තිබුණු ඉලක්කය ජය ගන්න දෙවි ඔයාට උදව් කරපු විදිහ ඔයා අද්දැකලා තියෙනවද? රැකියාව නිසා නමස්කාර වැඩවලට කාලේ දෙන්න බැහැ කියලා තේරිලා ඒකෙන් අස් වෙන්න තීරණය කළාට පස්සේ “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැහැ” කියලා දෙවි දුන්න පොරොන්දුව ඔහු ඉටු කරපු විදිහ ඔයා අද්දැකලා තියෙනවද? (හෙබ්‍රෙ. 13:5) ඒ දේවල් ගැන හිතද්දී යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඔයාට උදව් කරලා තියෙනවා කියලා ඔයාට ස්ථිර වෙයි. දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් වෙන තරමට යෙහෝවා දෙවිව දකින්න ඔයාට පුළුවන්.

18 සාරා මෙහෙම කියනවා. “මට දැනුණා මාත් එක්ක බයිබලේ පාඩම් කරපු කෙනෙක්ට පාඩම ගැන එච්චර අගයක් නැහැ කියලා. මම ඒ ගැන කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ පාඩම නවත්තන්නද කියලා මං දෙවිගෙන් ඇහුවා. යාච්ඤා කරලා ඉවර වුණු ගමන්ම මට කෝල් එකක් ආවා. ඒ කතා කළේ මාත් එක්ක බයිබලේ පාඩම් කරපු කෙනයි. ‘මාත් ඔයාත් එක්ක ඔයාලගේ රැස්වීමට එන්නද’ කියලා එයා මගෙන් ඇහුවා. ඒක මට අදහාගන්න බැරි වුණා.” හැම දවසකම දෙවිගේ බලය අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරනවා නම් දෙවි අපිට කොච්චර උදව් කරනවද කියලා දකින්න අපිට පුළුවන්. රෝනා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි අපිට උදව් කරන විදිහ තේරුම්ගන්න අපි අපේ පැත්තෙන් උත්සාහයක් දරන්න ඕනේ. දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා එතකොට අපිට දැනෙයි.”

19. යෙහෝවා දෙවිව දකින්න අපි තව කරන්න ඕනෙ මොනවද?

19 යේසුස් කිව්වේ “දෙවිව දකින්න” පුළුවන් වෙන්නේ “නිර්මල සිත් ඇති අයට” කියලයි. (මතෙ. 5:8) අපේ සිත් නිර්මලව තියාගන්න නම් අපි හිතන දේවල් පවිත්‍ර වෙන්න ඕන වගේම වැරදි දේවල් කරන එකෙන් වළකින්නත් ඕනේ. (2 කොරින්ති 4:2 කියවන්න.) දෙවිව දකින්න නම් අපිට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන්න ඕනෙ කියලා අපි මේ ලිපියෙන් බැලුවා. යෙහෝවා දෙවිව වඩාත් පැහැදිලිව දකින්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.