Skip to content

පටුනට යන්න

ඔයාට වගේ අසල්වැසියාටත් ආදරේ කරන්න

ඔයාට වගේ අසල්වැසියාටත් ආදරේ කරන්න

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”—මතෙ. 22:39.

ගීතිකා: 73, 36

1, 2. ආදරේ පෙන්නන එකේ වැදගත්කම බයිබලේ පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද?

ආදරේ යෙහෝවා දෙවිගේ ප්‍රධානම ගුණාංගයයි. (1 යොහ. 4:16) තමන්ගේ පියා මොන තරම් ආදරේ පිරුණු කෙනෙක්ද කියලා ස්වර්ගයේ ජීවත් වුණු අවුරුදු බිලියන ගාණ පුරාම දෙවිගේ මුල්ම නිර්මාණය වුණු යේසුස් දැක්කා. (කොලො. 1:15) ඔහුටත් ඕන වුණේ පියා වගේම ආදරේ පිරුණු කෙනෙක් වෙන්නයි. ස්වර්ගයේදී වගේම පොළොවේදීත් ඔහු ඒ ආදරේ පෙන්නුවා. යෙහෝවා දෙවිත් යේසුත් පාලකයන් විදිහට අපිව ආදරෙන් රැකබලා ගන්නවා කියන දේ ගැන අපිට කිසිම සැකයක් නැහැ.

2 දවසක් කෙනෙක් උතුම්ම ආඥාව මොකක්ද කියලා යේසුස්ගෙන් ඇහුවම ඔහු උත්තර දුන්නේ මෙහෙමයි. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:37-39.

3. “අසල්වැසියා” කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ කවුද?

3 අසල්වැසියාට දක්වන ආදරේ දෙවෙනි වෙන්නේ යෙහෝවා දෙවිට දක්වන ආදරේට විතරයි කියලා යේසුස් දුන්න ඒ ආඥාවෙන් පැහැදිලියි. අනිත් අය එක්ක අපිට තියෙන බැඳීම් රඳා පවතින්නේ ආදරය මත නිසා අනිත් අයට ආදරේ කරන එක අත්‍යවශ්‍යම දෙයක්. ඒත් අපේ “අසල්වැසියා” කවුද? අපි විවාහ වෙලා නම් සැමියා, බිරිඳ අපේ කිට්ටුම අසල්වැසියා. සභාවේ අයත් අපිට හුඟක් කිට්ටුයි. සේවයේදී හම්බ වෙන අයත් අපේ අසල්වැසියෝ. ඒ හැමෝටම අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

සැමියාට, බිරිඳට ඔයාගේ ආදරේ පෙන්නන්න

4. පාපය උරුම වෙලා තිබුණත් අපිට සාර්ථක විවාහයක් ගත කරන්න පුළුවන් කොහොමද?

4 යෙහෝවා දෙවි ඒවව නිර්මාණය කරලා ආදම්ට විවාහ කරලා දුන්නා. ඒක තමයි මුල්ම විවාහය. සතුටින් පවුල් ජීවිතේ ගත කරන අතරේ ඒ දෙන්නගෙන් පැවතෙන අයගෙන් මුළු පොළොවම පිරෙනවා දකින්නයි දෙවිට ඕන වුණේ. (උත්. 1:27, 28) ඒත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා. පාපය සහ මරණය උරුම වුණේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. (රෝම 5:12) ඒක ඒ දෙන්නගේ විවාහයටත් බලපෑවා. අපි හැමෝටම පාපය උරුම වුණත් ඒකෙන් අදහස් කරන්නේ අපිට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ කියන දේ නෙමෙයි. මොකද විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි විවාහ ජීවිතේට අවශ්‍ය හොඳම උපදෙස් බයිබලේට ඇතුළත් කළා.—2 තිමෝති 3:16, 17 කියවන්න.

5. විවාහ ජීවිතේදී ආදරේ තියෙන්නම ඕනෙ ඇයි?

5 ශක්තිමත් බැඳීමකට ආදරේ, සෙනෙහස අත්‍යවශ්‍යයි කියලා බයිබලේ කියනවා. විවාහ ජීවිතේටත් ඒක ඕනෙමයි. සැබෑ ආදරය ගැන පාවුල් මෙහෙම කියනවා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.” (1 කොරි. 13:4-8) පාවුල්ගේ ඒ වචන ගැන හොඳට හිතලා ඒවා අදාළ කරගන්නවා නම් අපිටත් පුළුවන් සතුට පිරුණු යුග දිවියක් ගත කරන්න.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිපැද්දොත් පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් (6 සහ 7 ඡේද බලන්න)

6, 7. (අ) මූලිකත්වය ගැන බයිබලේ කියන්නේ මොකක්ද? (ආ) දෙවිට සේවය කරන සැමියෙක් බිරිඳට සලකන්න ඕනෙ කොහොමද?

6 පවුලේ මූලිකත්වය ගන්න ඕනෙ කවුද කියන තීරණය අරන් තියෙන්නේ යෙහෝවා දෙවි. පාවුල් ඒ ගැන මෙහෙම කියනවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරි. 11:3) ඒත් බැණලා, සැර කරලා මූලිකත්වය ගන්නවා වෙනුවට සැමියෙක් ආදරෙන් මූලිකත්වය ගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. මොකද යෙහෝවා දෙවි දේවල් කරන්නේ ආදරෙන්, කරුණාවෙන් සහ අනිත් අයගේ යහපත ගැන හිතලයි. ඒක හොඳටම දන්න නිසයි යේසුස් දෙවිගේ මූලිකත්වයට ගෞරව කළේ. “මම පියාණන්ට ප්‍රේම කරනවා” කියලා කිව්වෙත් ඒ නිසයි. (යොහ. 14:31) දෙවි යේසුස්ට සැරපරුෂ විදිහට සලකලා තිබුණා නම් දෙවි ගැන යේසුස්ට එහෙම හැඟෙයිද?

7 බිරිඳගේ හිස සැමියා වුණත් බිරිඳට ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා බයිබලේ කියනවා. (1 පේතෘ. 3:7) බිරිඳගේ අවශ්‍යතාවන්, කැමති අකමැති දේවල් ගැන හොයලා බලනවා වගේම යම් තීරණ ගද්දී බිරිඳගේ කැමැත්තටත් ඉඩ දෙනවා නම් සැමියෙකුට ඒ දේ කරන්න පුළුවන්. බයිබලේ කියන්නේ “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න” කියලයි. (එෆී. 5:25) යේසුස් අනුගාමිකයන් වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දුන්නා. සැමියෙක් යේසුස්ව ආදර්ශයට ගද්දී ඔහුට ආදරේ කරන්න, ඔහුගේ තීරණවලට ගෞරව කරන්න බිරිඳක් පෙලඹෙන්නේ නිතැතින්මයි.—තීතස් 2:3-5 කියවන්න.

සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න

8. සහෝදර සහෝදරියන් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

8 යෙහෝවා දෙවිට නමස්කාර කරන මිලියන ගාණක් ලෝකෙ පුරා ඉන්නවා. ඒ අය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? බයිබලේ කියන්නේ “සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු” කියලයි. (ගලා. 6:10; රෝම 12:10 කියවන්න.) පේතෘස් කිව්වේ “සත්‍ය ඉගැන්වීම්වලට කීකරු” වෙන අපිට, සහෝදර සහෝදරියන් ගැන අවංක මෙන්ම අව්‍යාජ ස්නේහයක් තියෙන්න ඕනෙ කියලයි. “අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” කියලත් ඔහු මතක් කළා.—1 පේතෘ. 1:22; 4:8.

9, 10. දෙවිගේ සෙනඟ එක්සත්ව ඉන්නේ ඇයි?

9 වෙන කිසිම සංවිධානයකට වඩා දෙවිගේ සංවිධානය වෙනස්. ඒකට එක හේතුවක් තමයි දෙවිගේ සෙනඟ අතරේ තියෙන අවංක මෙන්ම අව්‍යාජ ආදරේ. යෙහෝවා දෙවිගේ බලය ඔහුගේ සෙනඟ අතරේ තියෙන එකත් තව ප්‍රධාන හේතුවක්. අපි දෙවිට ආදරේ කරන නිසාත් ඔහුගේ නීතිවලට කීකරු වෙන නිසාත් දෙවි ඔහුගේ බලය අපිට දෙනවා. ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ අතරේ මේ තරම් එකමුතුකමක් තියෙන්නේ දෙවි ඔහුගේ බලයෙන් උදව් කරන නිසයි.—1 යොහන් 4:20, 21 කියවන්න.

10 දෙවිගේ සෙනඟ අතරේ ආදරේ තියෙන එකේ වැදගත්කම පාවුල් විස්තර කරන්නේ මෙහෙමයි. “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න. නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.” (කොලො. 3:12-14) ජීවත් වෙන රට, පසුබිම මොකක් වුණත් “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” වන ආදරේ අපි අතරේ තියෙන එක ගැන කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!

11. දෙවිගේ සංවිධානය හඳුනගන්න පුළුවන් ලකුණ මොකක්ද?

11 යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ තියෙන අවංක ආදරයත් එක්සත්කමත් නිසා ඔවුන් ඉන්නේ සැබෑ ආගමේ කියලා හොඳටම පැහැදිලියි. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහ. 13:34, 35) ඒ ගැන යොහන් කියන්නේ මෙහෙමයි. “දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙලෙසය. ධර්මිෂ්ඨකම් නොකරන, තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙකු නොවේ. මන්ද මුල සිටම ඔබට ඇසුණු පණිවිඩය නම් අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි යන්නය.” (1 යොහ. 3:10, 11) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන දේ ඔවුන් අතරේ තියෙන ආදරෙනුත් එක්සත්කමෙනුත් ඔප්පු වෙනවා. දෙවි දේවරාජ්‍යය ගැන ශුභාරංචිය පොළොව පුරා දේශනා කරන්න යොදාගන්නෙත් ඔවුන්වයි.—මතෙ. 24:14.

“මහත් සමූහයක්” එකතු කරයි

12, 13. “මහත් සමූහය” කරමින් ඉන්නේ මොකක්ද? ළඟදීම ඒ අය අද්දකින්නේ මොකක්ද?

12 අද ඉන්න දෙවිගේ සෙනඟගෙන් වැඩිදෙනෙක් ‘මහත් සමූහයට’ අයිති අය. විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට අයිති ඒ අය දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සම්පූර්ණ සහයෝගය දෙනවා. බයිබලේ ඒ අයව විස්තර කරන්නේ “මහත් පීඩාවෙන් බේරී එන අය” විදිහටයි. ඔවුන්ට යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා ‘බැටළු පැටවාගේ රුධිරය මාර්ගයෙන් ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තියෙනවා.’ යෙහෝවා දෙවිටත් යේසුස්ටත් හුඟක් ආදරේ කරන ඒ අය වෙහෙස නොබලා “දිවා රෑ” දෙවිට සේවය කරනවා.—එළි. 7:9, 14, 15.

13 ළඟදීම එන ‘මහත් පීඩාවේදී’ දෙවි මේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (මතෙ. 24:21; යෙරෙමියා 25:32, 33 කියවන්න.) ඒත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආදරේ නිසා විනාශයෙන් ඒ අයව බේරගෙන පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. ඔහු ඔවුන්ට පොරොන්දු වෙන්නේ මෙහෙමයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” දුෂ්ටකම්, දුක වේදනා, මරණය නැති පාරාදීසයේ ජීවත් වෙන්න ඔයාත් ආසාවෙන් බලාගෙන ඉන්නවද?—එළි. 21:4.

14. මහත් සමූහය එන්න එන්නම වර්ධනය වෙනවා කියන්නේ ඇයි?

14 1914දී අවසාන කාලය ආරම්භ වෙනකොට පොළොවේ දෙවිට සේවය කරමින් හිටියේ අභිෂේක ලත් අය ටිකදෙනෙක් විතරයි. තමන්ගේ අසල්වැසියන්ට තිබුණු ආදරේ නිසා, දෙවිගේ බලයේ උදව් ලැබුණු නිසා මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණත් ඒ කුඩා පිරිසට පුළුවන් වුණා දේවරාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කරන්න. ප්‍රතිඵලයක් විදිහට පාරාදීස පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මහත් සමූහයක් එක් රැස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වෙනකොට ලක්ෂ 80ක විතර සෙනඟක් දෙවිට සේවය කරනවා. සභා 1,15,400ක සේවය කරන ඒ අයගේ ගාණ එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණෙකට 2014 සේවා වසරේදී 2,75,500දෙනෙකුට වැඩි ගාණක් බව්තීස්ම වුණා. ඒ කියන්නේ සතියකට 5,300දෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා.

15. දේශනා කිරීමේ කාර්යය අද කොයි තරම් පුළුල්ව සිද්ධ වෙනවද?

15 මේ වෙද්දී ලෝකෙ අස්සක් මුල්ලක් නෑර ඉන්න මිනිසුන්ට ශුභාරංචිය ගැන අහන්න ලැබිලා තියෙනවා. දැන් අපේ ප්‍රකාශන භාෂා 700කට වැඩියෙන් ලබාගන්න පුළුවන්. ලෝකෙ වැඩියෙන්ම බෙදාහරින ‘මුරටැඹ’ සඟරාව හැම මාසෙකම භාෂා 247කින් පිටපත් ලක්ෂ 520කට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරනවා. බයිබලේ තියෙන සත්‍යයන් කියලා දෙන්න පාවිච්චි කරන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත භාෂා 250කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. මේ වෙද්දී ඒක මුද්‍රණය කරලා තියෙන පිටපත් ගාණ ලක්ෂ 2,000ටත් වැඩියි.

16. දෙවිගේ සංවිධානය දිගින් දිගටම වර්ධනය වෙන්නේ මොන හේතු නිසාද?

16 අපේ සංවිධානය දිගින් දිගටම වර්ධනය වෙන්නේ අපිට දෙවි ගැන විශ්වාසයක් තියෙන නිසයි. ඒ වගේම දෙවිගේ මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලේ කියලා අපි පිළිගන්න නිසයි. (1 තෙස. 2:13) සාතන් අපිට මොන තරම් වෛර කළත් මොන පීඩා ගෙනාවත් දෙවිගේ ආශීර්වාද අපිට නොඅඩුව ලැබෙනවා කියන දේ මේ වර්ධනයෙන් පැහැදිලියි.—2 කොරි. 4:4.

අනිත් අයට ආදරේ කරන්න

17, 18. දෙවිට නමස්කාර නොකරන අයට අපි කොහොම සලකනවටද දෙවි කැමති?

17 අපි දේශනා කරද්දී සමහරු අපිට ඇහුම්කන් දුන්නත් තවත් අය ශුභාරංචිය පිළිගන්න කැමති නැහැ. ඒ අයට අපි කොහොම සලකනවටද දෙවි කැමති? බයිබලේ කියන්නේ “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ” කියලයි. (කොලො. 4:6) ශුභාරංචිය ගැන කතා කරන හැම අවස්ථාවකදීම “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට” අපි උත්සාහ කරනවා. ඒ අපි අපේ අසල්වැසියන්ට ආදරේ නිසයි.—1 පේතෘ. 3:15.

18 අපි අපේ අසල්වැසියන්ට ආදරේ පෙන්නන්නේ ලේසි අවස්ථාවලදී විතරක් නෙමෙයි. සමහරු අපි එක්ක කේන්ති අරන් අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කළත් අපි ඒ අයට දිගටම ආදරෙන් සලකනවා. මොකද අපිට ඕනෙ යේසුස් වගේ වෙන්නයි. යේසුස්ට “නින්දා කළ විට ඔහු නින්දා කළේ නැත. වධ හිංසාවලට ලක් වූ විට ඔහු තර්ජනය කළේ නැත.” ඒ වෙනුවට ඔහු දෙවිව විශ්වාස කරලා වැඩ කළා. (1 පේතෘ. 2:23) අපිත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ නිහතමානීව මේ උපදෙස පිළිපදින්නයි. “නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.”—1 පේතෘ. 3:8, 9.

19. අපේ සතුරන්ට අපි සලකන්න ඕනෙ කොහොමද?

19 අපි නිහතමානී නම් යේසුස් දුන්න මේ වටිනා ප්‍රතිපත්තියට කීකරු වෙන්න අපිට පුළුවන්. “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් පවසා ඇති බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.” (මතෙ. 5:43-45) අපේ සතුරන් අපිට කොහොම සැලකුවත් දෙවිගේ සෙනඟ විදිහට අපි ඒ අයටත් ආදරේ කරන්න ඕනේ.

20. හැම කෙනෙක්ම දෙවිටත් අසල්වැසියාටත් ආදරේ කරන දවසක් එනවා කියලා අපි දන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

20 යෙහෝවා දෙවිටත් අපේ අසල්වැසියාටත් ආදරේ කරන එක අපි කරන්න ඕනෙම දෙයක්. සමහරු අපිට කැමති නැති වුණත් අපේ පණිවිඩය අහන්න කැමති නැති වුණත් ඒ අයට උදව් ඕන කරන වෙලාවලදී අපි ඒ අයට උදව් කරන්නේ කැමැත්තෙන්මයි. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න. ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය. මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක. ‘අනාචාරයේ නොහැසිරෙන්න. මිනී නොමරන්න. සොරකම් නොකරන්න. වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න’ යනාදි ආඥා සහ වෙනත් ආඥා ඇතුළත් ඒ නීති මාලාවේ සඳහන් සියල්ල, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන වචන ස්වල්පය තුළ ගැබ් වී තිබේ. ප්‍රේමය පෙන්වන කෙනෙක් තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත. එහෙයින් නීතිය නිසි ලෙස ඉටු කිරීමට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යය.” (රෝම 13:8-10) දුෂ්ට, කුරිරු, බෙදුණු මිනිස් සමාජයක ජීවත් වුණත් දෙවිගේ සෙනඟ ඔවුන්ගේ අසල්වැසියන්ට ආදරේ කරනවා. (1 යොහ. 5:19) සාතන්ගෙත් භූතයන්ගෙත් මේ දුෂ්ට සමාජයෙත් බලපෑම යෙහෝවා දෙවි ඉවත් කළාට පස්සේ මුළු පොළොවම ආදරේ පිරුණු තැනක් වෙයි. එදාට හැමෝම යෙහෝවා දෙවිටත් තමන්ගේ අසල්වැසියන්ටත් ආදරේ කරද්දී ඒක මොන තරම් ලස්සන කාලයක් වෙයිද!