Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පතයි

යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පතයි

“දෙවි ප්‍රේමයයි.”—1 යොහ. 4:8, 16.

ගීතිකා: 18, 91

1. දෙවිගේ ප්‍රධානම ගුණාංගය මොකක්ද? ඒක දැනගත්තම ඔයාට දෙවි ගැන හැඟෙන්නේ කොහොමද?

“දෙවි ප්‍රේමයයි” කියලා බයිබලේ කියනවා. (1 යොහ. 4:8) ආදරේ කියන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රධානම ගුණාංගයයි. ඒක නිකම්ම ඔහු තුළ තියෙන ගුණාංගයක් නෙමෙයි. ආදරේ උල්පත ඔහුයි. දෙවි හැම දේම කළෙත් කරන්නෙත් ඔහු තුළ තියෙන ආදරේ නිසයි. මේ මුළු විශ්වයත් ජීවමාන හැම දෙයක්මත් ඔහු නිර්මාණය කළේ ඒ ආදරේ නිසයි. දෙවි අපිට පෙන්නපු ආදරේට අපි කොයි තරම් ස්තුති කරන්න ඕනෙද!

2. දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 යෙහෝවා දෙවි තමන්ගේ නිර්මාණවලට දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලක්, ආදරයක්. ඒ නිසා දෙවි අරමුණු කරපු හැම දෙයක්ම ඒ විදිහටම ඔහු ඉටු කරනවා කියලා අපිට නිසැකයි. දෙවි ඔහුගේ අරමුණ ඉටු කරද්දී ඔහුට කීකරු වෙන අයට යහපත් ප්‍රතිඵල අද්දකින්න ලැබෙනවා. උදාහරණෙකට දෙවිට කීකරු වෙන අයට තියෙන ආදරේ නිසා “ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කරලා තියෙනවා. ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි.” ඒ යේසුස්. (ක්‍රියා 17:31) ඒක අනිවාර්යයෙන්ම වෙනවා කියලා අපි දන්නවා. ඒ විනිශ්චයේ ප්‍රතිඵලයක් විදිහට දෙවිට කීකරු වෙන අයට සතුටින්, සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

අතීත සිදුවීම්වලින් පැහැදිලි වෙන දේ

3. දෙවි මිනිසුන්ට ආදරේ කළේ නැත්නම් අපේ ජීවිත මොන වගේ වෙයිද?

3 ආදරේ දෙවිගේ ප්‍රධානම ගුණාංගය නොවුණා නම් මිනිසුන්ගේ අනාගතය මොන වගේ එකක් වෙයිද? එහෙම වුණා නම් මිනිසුන් ඔවුන්ට කිසිම ආදරයක් දක්වන්නේ නැති, මේ සමාජයේ දෙවියා වන සාතන්ගේ බලපෑම යටතේ එකිනෙකාව පාලනය කරමින් ඉඳියි. (2 කොරි. 4:4; 1 යොහ. 5:19; එළිදරව් 12:9, 12 කියවන්න.) ඒක මොන තරම් බිහිසුණු අනාගතයක් වෙයිද!

4. දෙවිගේ පාලනයට විරුද්ධව ඇති වුණු කැරැල්ලට දෙවි ඉඩහැරියේ ඇයි?

4 සාතන් යෙහෝවා දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගහලා විතරක් නැවතුණේ නැහැ. ඒකට අපේ මුල් දෙමාපියන්වත් හවුල් කරගත්තා. දෙවි ධර්මිෂ්ඨ පාලකයෙක්ද විශ්වය පාලනය කරන්න දෙවිට අයිතියක් තියෙනවද කියලා ඔහු ප්‍රශ්න කළා. ඔහු පෙන්නන්න උත්සාහ කළේ දෙවිගේ පාලනයට වඩා ඔහුගේ පාලනය යටතේ මිනිසුන්ට ප්‍රයෝජන ලැබෙනවා කියලයි. (උත්. 3:1-5) ඒක ඔප්පු කරන්න දෙවි සාතන්ට යම් කාලයකට ඉඩ දුන්නා. සාතන්ටවත් මිනිසුන්ටවත් හොඳ පාලකයන් වෙන්න බැහැ කියලා මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි.

5. මිනිස් ඉතිහාසයෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?

5 ලෝකෙ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. පහුගිය අවුරුදු 100දී විතරක් කෝටි 10කට වඩා සෙනඟක් යුද්ධ නිසා මිය ගිහින් තියෙනවා. ‘අවසාන කාලයේදී දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙනවා’ කියන අනාවැකිය අපේ ඇස් ඉදිරිපිටම ඉටු වෙනවා. (2 තිමෝ. 3:1, 13) “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.” (යෙරෙ. 10:23) ඒ වචන මොන තරම් ඇත්තක්ද කියලා අතීත සිදුවීම් දිහා බලද්දී පැහැදිලියි. දෙවිගේ මඟ පෙන්වීම් නැතුව මිනිසුන්ට කොහොමටවත් සාර්ථක වෙන්න බැහැ.

6. දෙවි දුෂ්ටකම්වලට ඉඩහැරලා තියෙන්නේ ඇයි?

6 පොළොවේ දුෂ්ටකම් පවතින්න දෙවි යම් කාලෙකට ඉඩ දුන්න එකෙන් යෙහෝවා දෙවිගේ පාලනය හොඳම පාලනයයි කියලා ඔප්පු වෙනවා. අනාගතයේදී දෙවි හැම දුෂ්ට දෙයක්ම විනාශ කළාට පස්සේ ආයෙත් වතාවක් කවුරු හරි දෙවිගේ පාලනය ගැන ප්‍රශ්න කළොත් දෙවි ඒ වෙලාවෙම ඒ කෙනාව විනාශ කරනවා. මිනිස් ඉතිහාසයේ සිදුවීම් යොදාගෙන එහෙම කරන එක සාධාරණයි කියලා ඔප්පු කරන්න එදාට දෙවිට පුළුවන්.

දෙවි ඔහුගේ ආදරේ පෙන්නලා තියෙන විදි

7, 8. යෙහෝවා දෙවි ඔහුගේ ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවි ඔහුගේ ආදරේ අපිට හුඟක් විදිවලින් පෙන්නලා තියෙනවා. උදාහරණෙකට විශ්වයේ විශාලත්වයත් ඒකේ අලංකාරයත් ගැන හිතන්න. බිලියන ගාණක් තියෙන මන්දාකිනි ගැනත් ඒ හැම මන්දාකිනියකම තියෙන බිලියන ගාණක් තරු සහ ග්‍රහලෝක ගැනත් හිතන්න. සූර්යයා අපේ ක්ෂීර පථ මන්දාකිනියේ තියෙන තරුවලින් එකක්. සූර්යයා නැත්නම් පොළොවේ ජීවය පවතින්නේ නැහැ. දෙවිගේ බලය, ප්‍රඥාව, ප්‍රේමය කියන ගතිලක්ෂණ ඒ නිර්මාණවලින් අපි දකින්නේ නැද්ද? “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.”—රෝම 1:20.

8 දෙවි පෘථිවිය විශේෂයෙන්ම නිර්මාණය කළේ ජීවයේ පැවැත්මටයි. පොළොවේ තියෙන හැම දේකින්ම සතුන් සහ මිනිසුන් ප්‍රයෝජන ලබනවා. කිසිම අඩුවක් නැති මනසක් සහ ශරීරයක් ඇතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සදාකල් ජීවත් වෙන්නයි. ඔවුන්ව පදිංචි කළෙත් අවශ්‍ය කරන හැම දේම තියෙන ලස්සන උයනක. (එළිදරව් 4:11 කියවන්න.) ‘සියල්ලන්ට ආහාර සපයා දෙන තැනැත්තාණන්ගේ ප්‍රේමය සදාකල් පවතින්නේය’ කියලා බයිබලේ කියනවා.—ගීතා. 136:25.

9. දෙවිට දුෂ්ටකම් ගැන හැඟෙන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවි ආදරේ උල්පත වුණත් නරක දේට වෛර කරන්න ඔහු පසුබට වෙන්නේ නැහැ. “ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවෙයි. නපුරු දේ කරන්නන්ට ඔබ ද්වේෂ කරන්නෙහිය. ලේ වගුරුවන, රැවටිලිකාර අය යෙහෝවා දෙවි වන ඔබට පිළිකුලකි” කියලා ගීතාවලිය 5:4-6 කියන්නේ ඒ නිසයි.

දුෂ්ටකම්වල නිමාව අත ළඟයි!

10, 11. (අ) දුෂ්ට මිනිසුන්ට වෙන්නේ මොකක්ද? (ආ) යෙහෝවා දෙවි කීකරු මිනිසුන්ට ආශීර්වාද කරන්නේ කොහොමද?

10 යෙහෝවා දෙවි ප්‍රේමය නිසාත් නපුරට වෛර කරන නිසාත් නියමිත කාලෙදී විශ්වයේ තියෙන හැම නපුරක්ම ඉවත් කරනවා. ඒ ගැන දෙවි පොරොන්දු වෙලා තියෙන්නේ මෙහෙමයි. “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය. නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය. තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.” දෙවිගේ සතුරන් “දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.”—ගීතා. 37:9, 10, 20.

11 “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලත් “දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලත් දෙවි පොරොන්දු වෙනවා. (ගීතා. 37:29, 11) අපේ ආදරණීය “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළි. 21:4) දෙවිගේ ආදරේ මුළු හිතින්ම අගය කරන, කීකරු අයට ලැබෙන්නේ මොන තරම් ලස්සන අනාගතයක්ද!

12. “නිර්දෝෂ” අය කවුද?

12 “නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න. සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත. නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය. දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත” කියලා බයිබලේ කියනවා. (ගීතා. 37:37, 38) ‘නිර්දෝෂ කෙනෙක්’ කියන්නේ යෙහෝවා දෙවිවත් යේසුස්වත් හොඳින් දැන හඳුන ගෙන දෙවිගේ කැමැත්ත කරන කෙනෙක්ට. (යොහන් 17:3 කියවන්න.) ඒ වගේම “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය” කියන දේ ගැන ඒ කෙනාට විශ්වාසයි. (1 යොහ. 2:17) මේ දුෂ්ට සමාජයේ අවසානය අත ළඟ නිසා “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන” එක අපි හැම කෙනෙක්ම කරන්න ඕනම දෙයක්.—ගීතා. 37:34.

දෙවිගේ ආදරේට ශ්‍රේෂ්ඨතම සාක්ෂිය

13. දෙවිගේ ආදරේට ශ්‍රේෂ්ඨතම සාක්ෂිය මොකක්ද?

13 පාපය උරුම වෙලා තිබුණත් දෙවිට කීකරු වෙන්න අපිට පුළුවන්. ඒ වගේම දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙන්නත් අපිට පුළුවන්. අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවි ඔහුගේ එකම පුතාව අපි වෙනුවෙන් පූජා කරපු නිසයි. ඒක දෙවිගේ ආදරේ අපිට පෙන්නපු ශ්‍රේෂ්ඨතම විදිහයි. දෙවි ඒ පරිත්‍යාගය කළේ කීකරු මිනිසුන්ට පාපයෙන් සහ මරණයෙන් නිදහස ලබා දෙන්නයි. (රෝම 5:12; 6:23 කියවන්න.) අපිට හිතාගන්නවත් බැරි තරම් කාලයක් යේසුස් ඔහුගේ පියාට කීකරුව ස්වර්ගයේ ජීවත් වුණා. ඒ නිසා පොළොවේ ඉන්න කාලෙදීත් යේසුස් විශ්වාසවන්තව ඉඳියි කියලා දෙවිට කිසිම සැකයක් තිබුණේ නැහැ. තමන්ගේ පුතාට මිනිසුන් කුරිරු විදිහට සලකද්දී ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දෙවිට ලොකු වේදනාවක් දැනුණත් ඔහු ඒ වේදනාව දරාගත්තේ අපිට තියෙන ආදරේ නිසයි. මොන තරම් අමාරු තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් යේසුස් දිගටම විශ්වාසවන්තව ඉඳලා පාලනය කරන්න සුදුසුම තැනැත්තා යෙහෝවා දෙවි කියලා ඔප්පු කළා. ඒ වගේම මොන පීඩා, පරීක්ෂාවකට මුහුණ දෙන්න වුණත් දෙවිට විශ්වාසවන්තව ඉන්න පරිපූර්ණ කෙනෙක්ට පුළුවන් කියන දේත් ඔහු ඔප්පු කරලා පෙන්නුවා.

දෙවි ඔහුගේ පුතාව පොළොවට එව්වේ අපිට තියෙන ආදරේ නිසයි (13 ඡේදය බලන්න)

14, 15. යේසුස්ගේ ජීවිත පූජාව නිසා මිනිසුන්ට ලැබුණේ මොනවද?

14 දරුණුම පීඩාවන් විඳින්න වුණත් මිය යන කල්ම යේසුස් දෙවිට විශ්වාසවන්තව හිටියා. පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. ඒ ගැන අපිට මොන තරම් අගයක් තියෙන්න ඕනෙද! යෙහෝවා දෙවිත් යේසුත් අපිට දක්වපු ආදරේ ගැන පාවුල් මෙහෙම කියනවා. “ඇත්තෙන්ම අප අසරණව සිටි විට ක්‍රිස්තුස් නියමිත කාලයේදී පැමිණ දෙවිට කිසි භක්තියක් නොදක්වන මිනිසුන් උදෙසා මිය ගියේය. සාමාන්‍යයෙන් ධර්මිෂ්ඨ කෙනෙකු උදෙසා යමෙකු තම ජීවිතය පරිත්‍යාග කරන්නේ කලාතුරකිනි. සමහර අවස්ථාවලදී ඉතා යහපත් කෙනෙකු වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට තරම් නිර්භීතකමක් යමෙකු තුළ ඇති විය හැක. නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.” (රෝම 5:6-8) ඒ ගැන යොහන් කියන්නේ මෙහෙමයි. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය. දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය. ඔහු අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන පූජාවක් ලෙස තම පුත්‍රයාව එවීම මගිනි.”—1 යොහ. 4:9, 10.

15 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි” කියලා යේසුස් කිව්වා. (යොහ. 3:16) මොන තරම් වේදනාවක් විඳින්න වුණත් දෙවි තම එකම පුතාව වන්දියක් හැටියට අපි වෙනුවෙන් දුන්නා. දෙවිගේ හිතේ මිනිසුන් වෙනුවෙන් තියෙන ආදරේට හොඳම සාක්ෂිය ඒකයි. ඒක සදා නොමියන ආදරයක්. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “මට එක දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. එනම් මරණයටවත් මේ ජීවිතයටවත් දේවදූතයන්ටවත් ආණ්ඩුවලටවත් දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් කුමන බලවේගයකටවත්, උසස් දෙයකටවත් පහත් දෙයකටවත් සාදා ඇති වෙනත් කිසි දෙයකටවත් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බවයි.”—රෝම 8:38, 39.

දේවරාජ්‍යයේ පාලනය ඇරඹිලා!

16. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ රජු කවුද?

16 දේවරාජ්‍යය යෙහෝවා දෙවි මිනිසුන්ට දක්වන ආදරේට තවත් සාක්ෂියක්. එහෙම කියන්නේ ඇයි? දෙවි දේවරාජ්‍යයේ පාලකයා විදිහට පත් කරලා තියෙන්නේ මිනිසුන්ව පාලනය කරන්න සුදුසුම සහ මිනිසුන්ට ආදරේ කරන පාලකයා වන යේසුස්වයි. (හිතෝ. 8:31) ඒ වගේම ඔහු එක්ක පාලනය කරන්න දෙවි මිනිසුන් අතරින් 1,44,000දෙනෙකුව තෝරගත්තා. ඒ අය පොළොවේ ජීවත් වෙද්දී මිනිසුන් අද්දකින විවිධ අභියෝග, ප්‍රශ්න ගැටලු අද්දැකලා තියෙන නිසා දේවරාජ්‍යයේ රජවරුන් විදිහට පාලනය කරද්දී යටත්වැසියන්ව හොඳින් තේරුම් අරන් උදව් කරන්න ඔවුන්ට පුළුවන්. (එළි. 14:1) යේසුස් පොළොවේ ඉද්දී ඔහු වැඩියෙන්ම ඉගැන්නුවේ දේවරාජ්‍යය ගැනයි. ඒ වගේම “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන්නත් ඔහු ඉගැන්නුවා. (මතෙ. 6:9, 10) ඒ යාච්ඤාව ඉටු වෙන දවස එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

17. මිනිසුන්ගේ පාලනය එක්ක බලද්දී යේසුස්ගේ පාලනය මොන වගේද?

17 යේසුස්ගේ පාලනයෙත් මිනිසුන් කරන පාලනයෙත් වෙනස අහසට පොළොව වගේ. මිනිස් පාලකයන් ඔවුන්ගේ යටත්වැසියන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ඒ නිසයි යුද්ධවලින් මිනිසුන් කෝටි ගාණක් මිය ගිහින් තියෙන්නේ. ඒත් අපේ පාලකයා වන යේසුස් ඔහුගේ යටත්වැසියන්ට ආදරෙයි. ඔහු ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. විශේෂයෙන්ම දෙවිගේ ප්‍රධානම ගුණාංගය වන ආදරය. (එළි. 7:10, 16, 17) “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි” කියලා යේසුස් කිව්වේ ඔහුට අපි ගැන තියෙන ආදරේ නිසා නේද?—මතෙ. 11:28-30.

18. (අ) 1914 ඉඳන් සිද්ධ වෙමින් තියෙන්නේ මොකක්ද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

18 දේවරාජ්‍යයේ පාලනය 1914දී ආරම්භ වුණා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් හොඳටම පැහැදිලියි. එදා ඉඳන් ඒ පාලනයට හවුල් වෙන්න නියමිත ඉතුරු අයවත් පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන ‘මහත් සමූහයවත්’ එක් රැස් කරමින් ඉන්නවා. (එළි. 7:9, 13, 14) මහත් සමූහයට කොයි තරම් පිරිසක් ඇතුළත්ද? යෙහෝවා දෙවි ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.