Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යයේ පාලනය යටතේ ගෙවුණු සියවස

දේවරාජ්‍යයේ පාලනය යටතේ ගෙවුණු සියවස

‘සමාදානයේ දෙවි ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔබට සපයන්න කියා ඉල්ලමි.’—හෙබ්‍රෙ. 13:20, 21.

ගීතිකා: 136, 14

1. යේසුස්ට දේශනා සේවය කොයි තරම් වැදගත් වුණාද? පැහැදිලි කරන්න.

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් කතා කළේ හරිම ආසාවෙන්. පොළොවේ ඉද්දී ඔහු වැඩිපුරම කතා කළේ දේවරාජ්‍යය ගැනයි. සේවය කරපු කාලය ඇතුළත 100 වතාවකටත් වඩා ඔහු ඒ ගැන සඳහන් කළා. දේවරාජ්‍යය යේසුස්ගේ හිතට මොන තරම් සමීපද කියලා ඒකෙන් පැහැදිලියි.—මතෙව් 12:34 කියවන්න.

2. යේසුස් මතෙව් 28:19, 20 සඳහන් ආඥාව දෙද්දී කීදෙනෙක් එතන ඉන්න ඇද්ද? එහෙම කියන්න තියෙන හේතුව මොකක්ද?

2 යේසුස්ව නැවත නැඟිටෙව්වට පස්සේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙන්න හැකියාවක් තිබුණු 500දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී හිටියා. (1 කොරි. 15:6) “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” දේශනා කරන්න කියන ආඥාව යේසුස් දෙන්න ඇත්තේ ඒ වෙලාවේ වෙන්න ඇති. * ඒ පිරිස ඉදිරියේ තිබුණේ බැරෑරුම් කාර්යයක්. ඒක දීර්ඝ කාලයක් පුරා ඒ කියන්නේ “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” කරන්න ඕනෙ කියලා යේසුස් ඒ අයට කිව්වා. අද ඔයාත් ශුභාරංචිය දේශනා කරද්දී ඒ අනාවැකිය ඉටු කරන්න හවුල් වෙනවා.—මතෙ. 28:19, 20.

3. ශුභාරංචිය දේශනා කරන්න දෙවි අපිට උදව් කරලා තියෙන්නේ මොන පැතිවලින්ද?

3 දේශනා කරන්න කියන ආඥාව දුන්නට පස්සේ ‘මම ඔබ සමඟ සිටිමි’ කියලා යේසුස් පොරොන්දු වුණා. (මතෙ. 28:20) ඒකෙන් පැහැදිලි වෙන්නේ පොළොව පුරාම දේශනා කිරීමේ කාර්යය කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් සහ උදව් යේසුස් දෙනවා කියන එකයි. යෙහෝවා දෙවිගේ උදව්වත් අපිට තියෙනවා. දේශනා කිරීමේ කාර්යය කරන්න “අවශ්‍ය සෑම යහපත් දෙයක්ම” ඔහු අපිට ලබා දෙනවා. (හෙබ්‍රෙ. 13:20, 21) ඒ යහපත් දේවල් අපි පැති 3කින් සලකා බලමු. (1) ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල්. (2) ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන විවිධ ක්‍රම. (3) හොඳින් දේශනා කරන්න අවශ්‍ය පුහුණුව.

ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වුණු දේවල්

4. ශුභාරංචිය දේශනා කරන්න විවිධ දේවල් අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

4 යේසුස් දේවරාජ්‍යයේ පණිවිඩය විවිධ පස් වර්ගවල වපුරන බීජවලට සමාන කළා. (මතෙ. 13:18, 19) බීජ වපුරන්න කලින් ගොවියෙක් පස සකස් කරන්න විවිධ උපකරණ භාවිත කරනවා. මිනිසුන්ගේ හදවතත් පසකට සමාන කරන්න පුළුවන්. ශුභාරංචිය පිළිගන්න මිනිසුන්ගේ හිතේ ආසාවක් ඇති කරන්න උදව් වෙන හුඟක් දේවල් අපේ රජ අපිට දීලා තියෙනවා. ඒවාවලින් සමහරක් අපි භාවිත කළේ යම් කාලෙකට විතරයි. තවත් ඒවා අදටත් පාවිච්චි කරනවා. ඒ කොහොමවුණත් දක්ෂ විදිහට දේශනා කරන්න ඒ හැම දෙයක්ම අපිට උදව් වුණා.

5. සාක්ෂිපත් කියන්නේ මොනවද? සේවයේදී ඒක පාවිච්චි කළේ කොහොමද?

5 දේශනා කරන්න අපිට උදව් වුණු දේවලින් එකක් තමයි සාක්ෂිපත්. සාක්ෂිපතක් කියන්නේ අපේ පණිවිඩය කෙටියෙන් ලියලා තිබුණු පොඩි කාඩ් එකකට. ප්‍රචාරකයන් 1933 ඉඳන් සාක්ෂිපත් දේශනා සේවයේදී යොදාගත්තා. කාලෙන් කාලෙට අපේ පණිඩිඩය වෙනස් විදිවලින් ලියලා ඒ කාඩ් මුද්‍රණය කළා. සාක්ෂිපතක් මුලින්ම දේශනා සේවයේ යොදාගද්දී සහෝදර එර්ලන්මෙයට වයස 10යි. එයා මෙහෙම කියනවා. “අපි ගෙදරකට ගිහින් කාඩ් එක දීලා ‘මේක කියවලා බලන්න කැමතිද’ කියලා අහනවා. එයා ඒක කියෙව්වට පස්සේ අපේ ප්‍රකාශනයක් දීලා එතනින් එනවා.”

6. දේශනා කරන්න සාක්ෂිපත් උදව් වුණේ කොහොමද?

6 ප්‍රචාරකයන්ට සාක්ෂිපත් හුඟක් විදිවලින් උදව් වුණා. උදාහරණෙකට දේශනා කරන්න ආසාවකින් හිටියත් සමහර ප්‍රචාරකයන් හරිම ලැජ්ජාශීලියි. ගෙදරකට ගිහින් කතා කරන එක එයාලට ලොකු අභියෝගයක් වුණා. තවත් අය ගෙදරකට ගියාම හිතන්නේ බලන්නේ නැතුව තමන් දන්න හැම දේම මිනිත්තු කීපයක් ඇතුළත කියනවා. අපේ පණිවිඩය පැහැදිලිව, සරලව මිනිසුන්ට කියන්න ඒ හැමෝටම සාක්ෂිපත් උදව් වුණා.

7. සාක්ෂිපත් පාවිච්චි කරද්දී තිබුණු අභියෝග මොනවද?

7 සාක්ෂිපත් පාවිච්චි කරද්දී අභියෝග තිබුණේ නැතුවමත් නෙමෙයි. සහෝදරි ග්‍රේස් ඒ ගැන මෙහෙම කිව්වා. “සමහර වෙලාවට එයාලා අපෙන් අහනවා ‘මොකක්ද ඕකේ තියෙන්නේ? ඔයාට ඒක කියන්න බැරිද’ කියලා.” තව අය කියවන්න දන්නේ නැහැ. සමහරු කාඩ් එක අරගෙන දොර වහනවා. ඔය අතරේ අපේ පණිවිඩයට කැමති නැති අය කාඩ් එක අරන් කෑලිවලට ඉරලා දැම්මා. ඒ වගේ අභියෝග තිබුණත් අසල්වැසියන්ට දේශනා කරන්නත් ශුභාරංචිය දේශනා කරන අය විදිහට තමන්ව හඳුන්වලා දෙන්නත් සාක්ෂිපත් ප්‍රචාරකයන්ට උදව් වුණා.

8. තැටි වාදන යන්ත්‍ර සේවයේදී පාවිච්චි කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 1930ට පස්සේ ප්‍රචාරකයන් දේශනා කරන්න පාවිච්චි කරපු තවත් දෙයක් තමයි එහේ මෙහේ ගෙනියන්න පුළුවන් තැටි වාදන යන්ත්‍ර. ප්‍රචාරකයා වෙනුවට ශුභාරංචිය ගැන කියන්න ඒක යොදාගත්ත නිසා සමහරු ඒකට කිව්වේ ආරොන් කියලා. (නික්මයාම 4:14-16 කියවන්න.) කවුරු හරි කෙනෙක් කැමති වුණොත් ප්‍රචාරකයා කෙටි බයිබල් දේශනයක් වාදනය කරලා ඊටපස්සේ අපේ ප්‍රකාශන දෙනවා. සමහර වෙලාවට පවුල් පිටින් ඇවිත් දේශනවලට ඇහුම්කන් දෙනවා. 1934දී වොච් ටවර් සමිතිය ලේසියෙන්ම ගෙයින් ගෙට ගෙනියන්න පුළුවන් වෙන විදිහට තැටි වාදන යන්ත්‍ර නිෂ්පාදනය කරන්න පටන්ගත්තා. කාලයත් එක්කම විවිධ මාතෘකාවලින් බයිබල් දේශන 92ක් පටිගත කරලා තිබුණා.

9. තැටි වාදන යන්ත්‍ර සේවයේදී කොයි තරම් දුරට සාර්ථක වුණාද?

9 තැටිගත කරපු දේශනයකට සවන් දුන්න හිලරි ගොස්ලන්, සහෝදරයන්ගෙන් ඒ යන්ත්‍රය සතියකට ඉල්ලගත්තා. එයාට ඕන වුණේ අසල්වැසියන්ටත් බයිබල් පණිවිඩය ගැන දැනුම් දෙන්නයි. ප්‍රතිඵලයක් විදිහට කීපදෙනෙක්ම පණිවිඩය ගැන උනන්දු වෙලා පස්සේ බව්තීස්ම වුණා. කාලයත් එක්කම සහෝදර ගොස්ලන්ගේ දුවලා දෙන්නෙක් ගිලියද් පාසැලට සහභාගි වෙලා මිෂනාරීන් විදිහට සේවය කළා. සාක්ෂිපත් සහ තැටි වාදන යන්ත්‍ර හුඟක් ප්‍රචාරකයන්ට දේශනා සේවය පටන්ගන්න උදව් වුණා. සේවයේදී දක්ෂ විදිහට කතා කරන්න තම සෙනඟට උගන්වන්න පස්සේ කාලෙකදී යෙහෝවා දෙවි සේවා පාසැල යොදාගත්තා.

පුළුවන් හැම ක්‍රමයක්ම යොදාගන්නවා

10, 11. පුවත්පත් සහ ගුවන්විදුලිය මාර්ගයෙන් ශුභාරංචිය දැනුම් දුන්නේ කොහොමද? ඒ ක්‍රම සාර්ථක වුණා කියන්නේ ඇයි?

10 දේවරාජ්‍යයේ රජුගේ මඟ පෙන්වීම යටතේ පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවිගේ සෙනඟ විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. අද තරම් ප්‍රචාරකයන් හිටපු නැති ඒ කාලවලදී ඒ ක්‍රම හුඟක් ප්‍රයෝජනවත් වුණා. (මතෙව් 9:37 කියවන්න.) පණිවිඩය පුවත්පත්වල පළ කරන එක ඒ වගේ එක ක්‍රමයක්. සහෝදර රසල් හැම සතියකම බයිබල් දේශනයක පිටපතක් පුවත්පත් සමාගමකට යැව්වා. ඊටපස්සේ ඒ සමාගම කැනඩාවේ, යුරෝපයේ සහ ඇමරිකාවේ පුවත්පත්වල ඒක පළ කළා. 1913 වෙනකොට සහෝදර රසල්ගේ දේශන පුවත්පත් 2,000 පළ වුණු අතර ලක්ෂ 150ක සෙනඟක් ඒවා කියෙව්වා.

11 ගුවන්විදුලිය තවත් ක්‍රමයක්. 1922 අප්‍රියෙල් 16වෙනිදා සහෝදර රදෆර්ඩ් ගුවන්විදුලිය හරහා දුන්න බයිබල් දේශනයට 50,000ක විතර සෙනඟක් සවන් දීලා තිබුණා. ටික කාලෙකින් අපිට අපේම ගුවන්විදුලි සේවයක් පටන්ගන්න පුළුවන් වුණා. ඒක හැඳින්නුවේ WBBR කියලා. මුලින්ම ඒක විකාශනය වුණේ 1924 පෙබරවාරි 24වෙනිදා. ඒ ගැන 1924 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මේ වගේ දෙයක්. “ශුභාරංචිය දැනුම් දෙන්න අපි පාවිච්චි කරලා තියෙන ක්‍රමවලින් වඩාත් සාර්ථක, අඩුම මුදලක් වැය වෙන ක්‍රමය ගුවන්විදුලියයි.” ප්‍රචාරකයන් අඩු පළාත්වල හිටපු හුඟක් මිනිසුන්ට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න පුවත්පත් වගේම ගුවන්විදුලියත් ලොකු උදව්වක් වුණා.

මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමෙන් සහ අපේ වෙබ් අඩවිය ගැන දැනුම් දීමෙන් ප්‍රචාරකයන් ලොකු සතුටක් ලබනවා (12 සහ 13 ඡේද බලන්න)

12. (අ) මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න යොදාගන්න විදිවලින් ඔයා කැමතිම මොන එකටද? (ආ) මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න අපි තුළ බයක් තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද?

12 මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන එක තවත් ක්‍රමයක්. බස් නැවතුම්පොළවල, දුම්රිය ස්ථානවල, විශාල රථ ගාල්වල, ප්‍රසිද්ධ මංසන්ධිවල, වෙළඳසැල්වල ගැවසෙන සෙනඟට ශුභාරංචිය දැනුම් දෙන්න මේ ක්‍රමය හරහා පුළුවන් වෙලා තියෙනවා. මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න ඔයාගේ හිතේ තවමත් පොඩි බයක්, චකිතයක් තියෙනවද? එහෙමනම් ඒ ගැන යාච්ඤා කරන්න. ඒ වගේම චාරිකා සේවකයෙක් කියපු මේ දේ ගැනත් හොඳට හිතන්න. “දේශනා සේවය කරන්න අලුත් ක්‍රමයක් හඳුන්වලා දෙද්දී අපි ඒක සලකන්නේ යෙහෝවා දෙවිට සේවය කරන්න අපිට ලැබෙන තවත් ප්‍රස්තාවක් විදිහටයි. දෙවිට අපි කොච්චර ළැදිද කියලා ඔප්පු කරන්න ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම දෙවිට විශ්වාසවන්තව ඉන්න තියෙන අපේ අධිෂ්ඨානය ශක්තිමත්ද නැද්ද කියලා ඔප්පු කරන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ඕනම දෙයක් හරිම කැමැත්තෙන් කරන්නයි අපිට ඕනේ.” හිතේ තියෙන බය ජය අරන් දේශනා කරන්න හඳුන්වලා දෙන අලුත් ක්‍රම අත්හදා බලද්දී යෙහෝවා දෙවි ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම දක්ෂ විදිහට දේශනා කරන්නත් අපිට පුළුවන්.—2 කොරින්ති 12:9, 10 කියවන්න.

13. ශුභාරංචිය දැනුම් දෙන්න jw.org වෙබ් අඩවිය සාර්ථක ක්‍රමයක් කියන්නේ ඇයි? ඒක පාවිච්චි කරලා ඔයා ලබපු අද්දැකීමක් කියන්න.

13 හුඟක් ප්‍රචාරකයන් අපේ වෙබ් අඩවිය වන jw.org ගැන මිනිසුන්ට කියනවා. අපේ ප්‍රකාශන භාෂා 700කට වඩා වැඩි ගාණකින් ඒ වෙබ් අඩවියෙන් කියවන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැම දවසකම ලක්ෂ 16කට වැඩිදෙනෙක් අපේ වෙබ් අඩවියට පිවිසෙනවා. ප්‍රචාරකයන් නැති ප්‍රදේශවල අයට ශුභාරංචිය දැනුම් දෙන්න අතීතයේදී ගුවන්විදුලිය උදව් වුණා වගේ අද ඒ කාර්යය අපේ වෙබ් අඩවියෙන් සිද්ධ වෙනවා.

ශුභාරංචිය දැනුම් දෙන අයට ලැබෙන පුහුණුව

14. ප්‍රචාරකයන්ට අවශ්‍ය වුණේ මොන වගේ පුහුණුවක්ද? ඒ අයට හොඳ ගුරුවරුන් වෙන්න උදව් වුණේ මොන පාසැලද?

14 සේවයේදී අපි යොදාගත්ත දේවලින් සහ පාවිච්චි කරපු ක්‍රමවලින් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ වුණත් ශුභාරංචිය දේශනා කරන්න ප්‍රචාරකයන්ව හොඳින් පුහුණු කරන එක අත්‍යවශ්‍ය වුණා. උදාහරණෙකට තැටිගත කරපු දේශනයක තිබුණු කාරණයක් ගැන නිවැසියා එකඟ වුණේ නැහැ කියලා හිතන්න. එහෙම නැත්නම් නිවැසියෙකුට බයිබලේ තියෙන කාරණා ගැන තවත් ඉගෙනගන්න ඕනෙ වුණා කියලා හිතන්න. ඒ වගේ වෙලාවලදී කාරණා තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න, හදවතට කාවදින විදිහට උගන්වන්න ප්‍රචාරකයන් හොඳින් පුහුණු වෙලා ඉන්න ඕනේ. ප්‍රචාරකයන්ව පුහුණු කරන එක කොච්චර වටිනවද කියලා දෙවිගේ බලයේ උදව්වෙන් සහෝදර නෝර් තේරුම්ගත්තා. 1943 ඉඳන් සේවා පාසැල පටන්ගත්තේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ පාසැල නිසා හැමෝටම හොඳ ගුරුවරුන් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

15. (අ) සේවා පාසැලේ කතාවක් දෙද්දී සමහරු මුහුණ දුන්නේ මොන වගේ දේවලටද? (ආ) ගීතාවලිය 32:8 සඳහන් දෙවිගේ පොරොන්දුව ඔයා අද්දැකලා තියෙන්නේ කොහොමද?

15 හුඟක් සහෝදරයන්ට පිරිසක් ඉදිරියේ කතා කරලා පුරුද්දක් තිබුණේ නැහැ. සහෝදර රාමූ එයාගේ පළවෙනි කතාව දුන්නේ 1944දී. එයාට කතාව තිබුණේ දොවෙග් කියන බයිබල් චරිතය ගැන. ඒ දවස එයා මතක් කරන්නේ මෙහෙමයි. “මගේ ජීවිතේ පළවෙනි වතාවට වේදිකාවක කතාවක් දුන්නේ එදායි. මගේ කකුල් දෙක ගැහෙන්න පටන්ගත්තා. අත් වෙවුලුවා. දත් කටකට ගාලා ගැහෙන්න ගත්තා. ඒත් මම කොහොමහරි කතාව දුන්නා.” ලේසි නැති වුණත් දරුවනුත් සේවා පාසැලේ කතා දුන්නා. පොඩි පිරිමි ළමයෙක් එයාගේ පළවෙනි කතාව දෙද්දී වුණු දෙයක් ගැන සහෝදර මනෙරා මෙහෙම කියනවා. “වේදිකාවට ගියාම එයා කොච්චර බය වුණාද කියනවා නම් එයා ඉකිගහන්න පටන්ගත්තා. ඒත් අතරමඟදී එයා කතාව නතර කළේ නැහැ. ඉකිගගහා මුළු කතාවම දුන්නා.” ඔයාත් ලැජ්ජාව නිසා නැත්නම් හැකියාව නැහැ කියලා හිතලා රැස්වීම්වලදී අදහස් දෙන්නේ නැති, පැවරුම් ඉදිරිපත් කරන්නේ නැති කෙනෙක්ද? එහෙමනම් බය නැති කරගන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. සේවා පාසැල පටන්ගත්ත කාලේ කතා දෙන්න බයෙන් හිටිපු අයට උදව් කළා වගේ දෙවි ඔයාටත් උදව් කරයි.—ගීතාවලිය 32:8 කියවන්න.

16. (අ) ගිලියද් පාසැල පටන්ගද්දී ඒකේ අරමුණ වුණේ මොකක්ද? (ආ) 2011 ඉඳන් ඒකේ අරමුණ මොකක්ද?

16 දෙවිගේ සංවිධානයෙන් පුහුණුව ලබා දෙන තවත් පාසැලක් තමයි ගිලියද් පාසැල. ශිෂ්‍යයන්ගේ හිතේ දේශනා සේවය ගැන ලොකු ආසාවක් ඇති කරන එක ඒ පාසැලේ එක අරමුණක්. 1943 පාසැල ආරම්භ කරපු දා ඉඳන් ඒකෙන් පුහුණුව ලබපු 8,500ක පිරිසක් රටවල් 170කට සේවය කරන්න යවලා තියෙනවා. 2011 ඉඳන් මේ පාසැලට ආරාධනා කරන්නේ විශේෂ පුරෝගාමීන්ට, චාරිකා සේවකයන්ට, බෙතෙල් සේවකයන්ට සහ ගිලියද් පාසැලට සහභාගි වෙලා නැතත් දැනට මිෂනාරි සේවයේ යෙදෙන අයටයි.

17. ගිලියද් පාසැලේ පුහුණුව නිසා ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

17 ගිලියද් පාසැලේ පුහුණුව නිසා හුඟක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. උදාහරණෙකට 1949 අගෝස්තු මාසේ වෙනකොට ජපානයේ ප්‍රචාරකයන් 10දෙනෙක්වත් හිටියේ නැහැ. ඒත් ඒ අවුරුද්ද අවසන් වෙද්දී ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු මිෂනාරිවරුන් 13දෙනෙක්ව එහෙට යැව්වා. අද වෙනකොට ජපානයේ ප්‍රචාරකයන් 2,16,000ක් ඉන්නවා. ඒ අයගෙන් භාගයක් විතර පුරෝගාමීන්.

18. අපිට තියෙන තවත් පාසැල් මොනවද?

18 ගිලියද් පාසැලට අමතරව පත් කළ සහෝදරයන් සඳහා පාසැල, පුරෝගාමි පාසැල, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල, චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල, ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල වගේ පාසැල් අපිට තියෙනවා. ඒ පාසැල්වලට සහභාගි වෙන සහෝදර සහෝදරියන්ට හොඳ පුහුණුවක් ලැබිලා තියෙනවා වගේම එයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් ඒ පාසැල් උදව් වෙලා තියෙනවා. දේවරාජ්‍යයේ රජු තම සෙනඟව දිගටම පුහුණු කරනවා කියන දේට ඒ පාසැල් හොඳ සාක්ෂියක් නෙමෙයිද?

19. දේශනා කිරීමේ කාර්යය ගැන සහෝදර රසල් කිව්වේ මොකක්ද? ඒක ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

19 දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් දැන් සියවසක් ගත වෙලා. ඒ කාලය පුරාම අපේ රජ වන යේසුස් දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්වලා තියෙනවා. ශුභාරංචිය දේශනා කරන කාර්යය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වෙයි කියන විශ්වාසයෙන් හිටපු සහෝදර රසල් 1916දී මෙහෙම කිව්වා. “අපේ වැඩේ වේගයෙන් සිද්ධ වෙනවා. ඉස්සරහට මීටත් වඩා වේගයෙන් ඒක වෙයි. මොකද ‘දේවරාජ්‍යය ගැන ශුභාරංචිය’ මුළු ලෝකෙ පුරාම දේශනා කරන්න ඕනේ.” මේ වෙනකොට ඒ කාර්යය ලෝකෙ පුරාම සිද්ධ වෙනවා. සමාදානයේ දෙවි වන යෙහෝවා ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම අපිට දීලා තියෙන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද!

^ 2 ඡේ. එතන හිටපු පිරිසගෙන් වැඩිදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා කියලා හිතන්න පුළුවන්. මොකද පාවුල් ඒ අය ගැන කතා කළේ “සහෝදරයන් පන්සියදෙනෙකු” කියලයි. ඒ වගේම “ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති” කියලත් පාවුල් කිව්වා. දේශනා කරන්න කියන ආඥාව යේසුස් දෙද්දී එතන හිටපු 500දෙනාගෙන් වැඩිදෙනෙක්ව පාවුල් සහ ඒ කාලේ හිටපු අනිත් ක්‍රිස්තියානීන් හොඳින් දැන අඳුන ගෙන හිටියා කියලා ඒකෙන් පැහැදිලියි.