Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට ආදරේ කරන්න යෞවන දරුවාට උදව් කරන්න

යෙහෝවා දෙවිට ආදරේ කරන්න යෞවන දරුවාට උදව් කරන්න

“යේසුස් ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද වැඩුණේය.”—ලූක් 2:52.

ගීතිකා: 41, 89

1, 2. (අ) යෞවන දරුවන් ගැන දෙමාපියන් කනස්සලු වෙන්නේ ඇයි? (ආ) යෞවනයන්ට ජීවිතේ හොඳින් ගත කරන්න පුළුවන් කොහොමද?

තමන්ගේ දුව, පුතා බව්තීස්ම වෙද්දී අම්මායි තාත්තායි කොයි තරම් සතුටු වෙනවද! බෙරිනිස් ඒ සතුට අද්දැක්කා. එයාගේ දරුවෝ 4දෙනා වයස 14 වෙන්නත් කලින්ම බව්තීස්ම වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “අපේ දරුවෝ එයාලගේ ජීවිත දෙවිට කැප කරනවා දකින එක තරම් සතුටක් තවත් නැහැ. ඒත් යෞවන වයසේ ඉන්න එයාලට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා කියලත් අපි දැනං හිටියා.” ඔයාටත් යෞවන වයසේ දුවෙක්, පුතෙක් ඉන්නවා නම් එයාලට මුහුණ දෙන්න වෙන අභියෝග ගැන ඔයාත් ඉන්නේ හිතේ කරදරෙන් වෙන්න ඇති.

2 විශේෂඥයෙක් කියන විදිහට දරුවෙක් යෞවන වයසට ආවම ඒ කාලය දරුවාට වගේම දෙමාපියන්ටත් අභියෝග පිරුණු කාලයක්. ඒත් යෞවන වයසේ දරුවන් වැඩ කරන්නේ කිසි බරක් පතළක් නැතුව මෝඩ විදිහට කියලා දෙමාපියෝ හිතන්න හොඳ නැහැ. මොකද යෞවන වයස අලුත් විදිහට හිතන, ප්‍රබල මත තියෙන, හැඟීම් පිරුණු, යාළුවන් එක්ක වැඩිපුර ගැවසෙන්න කැමති කාලයක් කියලත් ඔහු කියනවා. ඒ දේවල් දෙවි වෙනුවෙන් යොදවන්න යෞවනයන්ට පුළුවන්. යෙහෝවා දෙවි එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්න, දෙවිට කරන සේවයේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න, දෙවිට ජීවිතේ කැප කරලා ඔහුට දිගටම කීකරුව ඉන්න තීරණයක් ගන්න ඒ කාලෙදී එයාට පුළුවන්. යේසුත් යෞවන කාලෙදී ඒ දේවල් කළා. (ලූක් 2:52 කියවන්න.) දෙවි ගැන ආදරයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? යේසුස් ඔහුගේ ගෝලයන්ව පුහුණු කරද්දී ආදරෙන්, නිහතමානීව, ඒ අයව හොඳින් වටහාගෙන ඒක කළා. ඔයාත් ඔහුව ආදර්ශයට ගන්න.

දරුවාට ආදරේ පෙන්නන්න

3. නියෝජිතයන්ට යේසුස් තමන්ගේ යාළුවෙක් කියලා හිතුණේ ඇයි?

3 යේසුස් නියෝජිතයන්ට සැලකුවේ කිට්ටු යාළුවන් විදිහට මිසක් ස්වාමියෙක් දාසයන්ට සලකන විදිහට නෙමෙයි. (යොහන් 15:15 කියවන්න.) ඒ කාලේ ස්වාමිවරු දාසයන් එක්ක පෞද්ගලික කාරණා ගැන, තමන්ට හැඟෙන විදිහ ගැන කතා කළේ නැහැ. ඒත් යේසුස් ඔහුගේ නියෝජිතයන් එක්ක කාලය ගත කළා. ඔහුට හැඟෙන දේ එයාලට කිව්වා. ඒ අයගේ හිතේ තියෙන දේවල් ගැන කියද්දී ඒවාට ඇහුම්කන් දුන්නා. (මාක් 6:30-32) ඒ නිසා යේසුස් සහ නියෝජිතයන් අතර ඇති වුණේ කිට්ටු බැඳීමක්. ඒක ඉදිරියේ තිබුණු කාර්යයට හොඳින් සූදානම් වෙන්න ඒ අයට ලොකු උදව්වක් වුණා.

4. දරුවාගේ හොඳ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 දරුවන් ඉන්නේ ඔයා යටතේ. එහෙම වුණා කියලා එයාලගේ යාළුවෙක් වෙන්න ඔයාට බැරිකමක් නැහැ. හොඳ යාළුවෝ එකට කාලය ගත කරනවා. රැකියාවට, වෙනත් දේවලට යොදවන කාලය ටිකක් අඩු කරලා දරුවා එක්ක වැඩි කාලයක් ගත කරන්න පුළුවන්ද කියලා යාච්ඤා කරලා හිතන්න. සාමාන්‍යයෙන් යාළුවෝ එක වගේ දේවලට ආසයි. ඔයාගේ දරුවා ආස දේවල් ගැනත් දැනගන්න. එයා ආස සින්දු, චිත්‍රපටි, ක්‍රීඩා මොනවද කියලා දැනගෙන ඔයාටත් ඒවාවලින් සතුටු වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඉලාරියා මෙහෙම කියනවා. “මං කැමති සින්දු අම්මලත් ආසාවෙන් ඇහැව්වා. තාත්තා තමයි මගේ හොඳම යාළුවා. හිතේ තියෙන ඕන දෙයක් එයාට කියන්න මං පොඩ්ඩක්වත් බය වුණේ නැහැ.” දරුවාගේ යාළුවෙක් වෙලා එයාට යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න උදව් කරන්න. එහෙම කරද්දී අම්මා තාත්තා විදිහට ඔයාට තියෙන අධිකාරිය අඩු වෙන්නේ නැහැ. (ගීතා. 25:14) ඔයා එයාට ආදරේ කරනවා, ගෞරවය කරනවා කියලා දැනෙද්දී හිතේ තියෙන ඕනම දෙයක් කියන්න දරුවා ඔයා ළඟට එයි.

5. යෙහෝවා දෙවිට සේවය කරලා ලබන සතුට අද්දකින්න යේසුස් ගෝලයන්ට උදව් කළේ කොහොමද?

5 උද්‍යෝගයෙන්, හිතේ කැමැත්තෙන් සේවයේ හවුල් වෙනවා නම් තමන්ගේ අනුගාමිකයන්ට ලොකු සතුටක් අද්දකින්න පුළුවන් කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා යේසුස් එයාලව ඒකට දිරිගැන්නුවා. උදව් කරනවා කියලා පොරොන්දු වුණා.—මතෙ. 28:19, 20.

6, 7. නමස්කාරයට සම්බන්ධ දේවල් නිතිපතා කරන්න දරුවාව පුහුණු කරද්දී ඔයාගේ ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද?

6 ඔයාට ඕනෙ දරුවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නවා දකින්නයි. දරුවාව පුහුණු කරන, අවශ්‍ය හික්මවීම් දෙන වගකීම දෙවි දීලා තියෙන්නේ ඔයාට. (එෆී. 6:4) ඒ නිසා නමස්කාරයට සම්බන්ධ දේවල් නිතිපතා කරන්න එයාව පුහුණු කරන එක ඔයා කරන්න ඕනෙම දෙයක්. මේ ගැන හිතන්න. ඔයා දරුවාව ඉස්කෝලේ යවන්නේ නැතුව ඉන්නේ නැහැ නේද? ඒ, හොඳ අධ්‍යාපනයක් ලබන එකේ, ඉගෙනගන්න දරුවා තුළ ආසාවක් ඇති කරන එකේ වැදගත්කම ඔයා දන්න නිසයි. එහෙමනම් දරුවා රැස්වීම්වලට, සමුළුවලට, පවුලේ නමස්කාරයට නිතිපතා හවුල් වෙන එක ගැනත් ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද යෙහෝවා දෙවිගෙන් ලබන අධ්‍යාපනයට පුළුවන් එයාගේ ජීවිතේ ආරක්ෂා කරන්න. ඒ නිසා දෙවි ගැන ඉගෙනගන්න එකෙන් සතුටක් ලබන්න දරුවාව පුහුණු කරන්න. දෙවිට පුළුවන් දරුවාට ඥානවන්තව වැඩ කරන්න මඟ පෙන්නන්න. ඒක තේරුම්ගන්න එයාට උදව් කරන්න. (හිතෝ. 24:14) යේසුස් ගෝලයන්ට උදව් කළා වගේ නිතිපතා සේවයේ හවුල් වෙන්නත් බයිබලේ තියෙන තොරතුරු උගන්වන්න ආසාවක් ඇති කරගන්නත් දරුවාව පුහුණු කරන්න.

7 නමස්කාරයට සම්බන්ධ දේවල නිතිපතා හවුල් වෙන එක යෞවනයෙක්ට උදව් වෙන්නේ කොහොමද? එරින් මෙහෙම කියනවා. “බයිබල් පාඩම ගැන, රැස්වීම්, සේවයේ යන එක ගැන අපි නිතරම වගේ කන්කෙඳිරි ගෑවා. පවුලේ නමස්කාරය තියෙන දවසේ මොනවා හරි කරලා ඒකට හවුල් වෙන්නේ නැතුව ඉන්න අපි හැදුවා. ඒත් අම්මායි තාත්තයි ඒකට ඉඩ දුන්නේ නැහැ.” නමස්කාරයට සම්බන්ධ දේවල වැදගත්කම තේරුම්ගන්න ලැබුණු ඒ පුහුණුව එරින් හුඟක් අගය කරනවා. අදටත් මොකක් හරි දෙයක් නිසා රැස්වීමකට, සේවයේ යන්න බැරි වුණොත් එයාට ඒක දැනෙන්නේ ලොකු අඩුවක් වගේ.

නිහතමානී වෙලා ආදර්ශයක් වෙන්න

8. (අ) යේසුස්ගේ නිහතමානිකම පැහැදිලි වුණේ කොහොමද? (ආ) ඒක ගෝලයන්ට උදව් වුණේ කොහොමද?

8 යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් යෙහෝවා දෙවිගේ උදව් නැතුව කිසිම දෙයක් කරන්න බැහැ කියලා ඔහු නිහතමානීව ගෝලයන්ට කිව්වා. (යොහන් 5:19 කියවන්න.) ගෝලයන්ට යේසුස් ගැන තිබුණු ගෞරවය ඒකෙන් අඩු වුණාද? නැහැ. යේසුස් දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා දකිද්දී ඔහු ගැන ඒ අයට තිබුණු විශ්වාසයත් තව වැඩි වුණා. ගෝලයොත් ඔහුගේ නිහතමානිකම ආදර්ශයට ගත්තා.—ක්‍රියා 3:12, 13, 16.

9. ඔයා වැරදි පිළි අරන් සමාව ඉල්ලද්දී ඒක දරුවාට උදව් වෙන්නේ කොහොමද?

9 යේසුස් වගේ අපි පරිපූර්ණ නැහැ. ඒ නිසා අපි නිහතමානී වෙන්න ඕනේ. ඔයාට කරන්න බැරි හුඟක් දේවල් තියෙනවා කියලා මතක තියාගන්න. ඔයා අතින් වෙන අඩුපාඩු පිළිගන්න. (1 යොහ. 1:8) ඒක දකිද්දී දරුවාත් එයාගේ අඩුපාඩු පිළිගනියි. ඔයාට තියෙන ගෞරවයත් තව වැඩි වෙයි. මෙහෙම හිතන්න. ඔයා වැඩියෙන්ම ගෞරව කරන්නේ කවදාවත් සමාවෙන්න කියලා කියන්නේ නැති ප්‍රධානියෙක්ටද නැත්නම් තමන්ගේ වැරදි පිළිගන්න ප්‍රධානියෙක්ටද? දරුවන් 3දෙනෙක් ඉන්න රෝස්මරි මෙහෙම කියනවා. “මමයි මහත්තයායි අපි අතින් වැරැද්දක් වුණාම ඒක පිළිගත්තා. ඒ නිසා දරුවොත් එයාලට ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට ඒ ගැන අපිත් එක්ක කතා කරන්න බය වුණේ නැහැ. ඒ වෙලාවලදී අපිට හිතෙන දේ කියනවට වඩා අපේ ප්‍රකාශනවල ඒ ගැන කියන්නේ මොනවද කියලා හොයාගන්න එයාලට උදව් කළා. එයාලත් එක්ක යාච්ඤා කළා.”

10. යමක් කරන්න කියලා ගෝලයන්ට කියපු වෙලාවලදී යේසුස් නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

10 කරන්න ඕනෙ මොනවද නැත්තේ මොනවද කියලා ගෝලයන්ට කියන්න යේසුස්ට අධිකාරියක් තිබුණා. ඒත් ඔහුගේ නිහතමානිකම නිසා යමක් කරන්න ඕනෙ ඇයි කියලත් පැහැදිලි කරලා දුන්නා. උදාහරණෙකට දෙවිටත් දේවරාජ්‍යටත් මුල් තැන දෙන්න කියලා කියද්දී එහෙම කළොත් ‘ඔබට අවශ්‍ය සියලු දේම දෙනු ලැබෙයි’ කියලත් කිව්වා. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න” කියලා කිව්වට පස්සේ යේසුස් මෙහෙම පැහැදිලි කළා. “එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.”—මතෙ. 6:31–7:2.

11. නීතියක් දාන්න, තීරණයක් ගන්න හේතුව පැහැදිලි කරන එක දරුවාට උදව් වෙන්නේ කොහොමද?

11 ඔයා දරුවාට බලපාන තීරණයක් ගත්තම, නීතියක් දැම්මම ඒකට හේතුව එයාට කියන්න අමතක කරන්න එපා. හේතුව තේරුම්ගද්දී හුඟක් වෙලාවට එයා කැමැත්තෙන්ම කීකරු වෙයි. දරුවන් 4දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වන බැරී මෙහෙම කියනවා. “හේතු පැහැදිලි කරද්දී ඔයා ගැන දරුවාගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා.” තීරණයක් ගත්තේ, නීතියක් දැම්මේ ඔයාට අධිකාරියක් තියෙන නිසාම නෙමෙයි ඒකට සාධාරණ හේතුවක් තියෙන නිසයි කියලත් දරුවා තේරුම්ගනියි. එයා දැන් පුංචි දරුවෙක් නෙමෙයි. එයා ඉන්නේ දේවල් කිරලා මැනලා තීරණ ගන්න පුරුදු වෙන වයසක. (රෝම 12:1) “හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව, හොඳට හිතලා තීරණයක් ගන්න දරුවා පුරුදු වෙන්න ඕනෙ” කියලා බැරී කියනවා. (ගීතා. 119:34) ඒ නිසා ඔයා තීරණයක් ගත්තේ මොන හේතු නිසාද කියලා නිහතමානීව දරුවාට කියලා දෙන්න. එතකොට එයාත් තීරණ ගන්න කලින් හොඳට හිතන්න පුරුදු වෙයි. ඔයා එයාට පුංචි දරුවෙකුට වගේ සලකන්නේ නැහැ කියලත් එයාට ගෞරව කරනවා කියලත් එයා තේරුම්ගනියි.

යෞවන දරුවාව වටහාගන්න

12. යේසුස් පේතෘස්ව වටහාගත්ත නිසා එයාට උදව් කරන්න පුළුවන් වුණේ කොහොමද?

12 ගෝලයන්ගේ හිතේ තිබුණු දේ වටහාගත්ත නිසා එයාලට උදව් ඕන පැති යේසුස් තේරුම්ගත්තා. මේ සිද්ධිය බලන්න. තමන්ගේ මරණය ගැන යේසුස් කියපු වෙලාවේ ‘ඔයා ගැනත් ටිකක් හිතන්න’ කියලා පේතෘස් ඔහුට කිව්වා. පේතෘස් තමන්ට හුඟක් ආදරෙයි කියලා යේසුස් දැනගෙන හිටියා. ඒත් පේතෘස් හිතපු විදිහ වැරදියි කියලත් ඔහු තේරුම්ගත්තා. ඒ නිසා ඔහු පේතෘස්ව නිවැරදි කළා. කරන්න තියෙන දේ අමාරු නිසා දෙවිගේ කැමැත්තට විරුද්ධ වෙන අයට වෙන දේ ගැනත් ඔහු ගෝලයන්ට පැහැදිලි කළා. ඒ වගේම අනිත් අය ගැන හිතලා වැඩ කරන අයට දෙවි ආශීර්වාද කරනවා කියලත් ඔහු කිව්වා. (මතෙ. 16:21-27) ඒ පාඩම පේතෘස් හිතට ගත්තා.—1 පේතෘ. 2:20, 21.

13, 14. (අ) විශ්වාසය ශක්තිමත් කරගන්න දරුවාට උදව් ඕනෙ කියලා ඔයා තේරුම්ගන්නේ කොහොමද? (ආ) දරුවාට මොන වගේ උදව්ද ඕනෙ කියලා දැනගන්නේ කොහොමද?

13 දරුවාව හොඳින් වටහාගන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්න. (ගීතා. 32:8) සමහරවිට දරුවා ඉන්නේ කලින් වගේ සතුටින් නෙමෙයි වෙන්න ඇති. එයා නිතරම සහෝදරයන්ගේ අඩුපාඩු කතා කරනවා ඇති. නොකියන මොකක් හරි ප්‍රශ්නයක් එයාගේ හිතේ තියෙනවා කියලා ඔයාට තේරෙනවා ඇති. ඒවා දරුවාගේ විශ්වාසය ටිකක් දුර්වල වෙලා කියලා පෙන්නන ලකුණු. ඒත් එයා රහසින් බරපතළ වරදක් කරනවා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. * අනිත් අතට එයාගේ ප්‍රශ්නේ නිකම්ම මඟහැරිලා යයි කියලා හිතන්නත් එපා. එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඔයාගේ උදව් ඕනෙ කියලා වටහාගන්න.

සභාවේ හොඳ යාළුවන්ව හොයාගන්න දරුවාට උදව් කරන්න (14 ඡේදය බලන්න)

14 දරුවාට උදව් කරන්නේ කොහොමද කියලා වටහාගන්න හොඳම විදිහ එයාගෙන් ප්‍රශ්න අහන එක. ඒත් ඒක ආදරෙන් කරන්න. ළිඳකින් වතුර අදිද්දී වේගයෙන් ඇද්දොත් වතුරවලින් වැඩි හරියක් හැළෙන්න පුළුවන්. ඒ වගේ දරුවාගෙන් දේවල් අහද්දී ඉවසීමෙන් ඒක කළේ නැත්නම් උත්තර දෙන්න කියලා බල කළොත් දරුවාගේ හිතේ තියෙන දේ දැනගන්න බැරි වෙයි. (හිතෝපදේශ 20:5 කියවන්න.) යෞවන වයසේදී ඉලාරියාට ඕන වුණේ වැඩි කාලයක් පන්තියේ යාළුවන් එක්ක ගත කරන්නයි. ඒත් ඒක වැරදියි කියලත් එයා දැනගෙන හිටියා. එයාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා අම්මායි තාත්තායි තේරුම්ගත්තා. ඉලාරියා මෙහෙම කියනවා. “මං ඉන්නේ ටිකක් දුකෙන් කියලා එයාලට තේරුණා කියලා අම්මායි තාත්තායි දවසක් මට කිව්වා. එහෙම කියද්දී මට ඇඬුණා. මට තිබුණු ප්‍රශ්නේ ගැනත් ඒකට උදව් කරන්න කියලත් මං එයාලට කිව්වා. එයාලා මාව ආදරෙන් බදාගෙන මගේ ප්‍රශ්නේ තේරෙනවා කියලත් මට උදව් කරනවා කියලත් කිව්වා.” කිව්වා වගේම සභාවෙන් හොඳ යාළුවන් හොයාගන්න එයාලා ඉලාරියාට උදව් කළා.

15. යේසුස් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරපු තවත් විදිහක් පැහැදිලි කරන්න.

15 වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරලා ගෝලයන්ගේ හොඳ පැති යේසුස් හඳුනගත්තා. යේසුස් නාසරෙත්වල කෙනෙක් කියලා දැනගත්තම “නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ” කියලා නතානියෙල් ඇහුවා. (යොහ. 1:46) ඔයා එතන හිටියා නම් නතානියෙල් ගැන ඔයාට මොනවද හිතෙන්නේ? මිනිසුන්ව පහත් කරන, හැම දේකම නරක පැත්ත දකින, විශ්වාසයක් නැති කෙනෙක් විදිහටද ඔයා එයාව දකින්නේ? යේසුස් එහෙම හිතුවේ නැහැ. නතානියෙල් අවංක කෙනෙක් කියලා ඔහු වටහාගත්තා. “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (යොහ. 1:47) හිතේ තියෙන දේ වටහාගන්න යේසුස්ට තිබුණු හැකියාව ඔහු යොදාගත්තේ අනිත් අය තුළ තිබුණු හොඳ ගුණාංග දකින්නයි.

16. හොඳ ගතිගුණ වර්ධනය කරගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

16 අනිත් අයගේ හිත් කියවන්න ඔයාට බැරි වුණත් දරුවාව හොඳින් වටහාගන්න ඔයාට පුළුවන්. දරුවාගේ හොඳ ගුණාංග තේරුම්ගන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි. ඔයා බලාපොරොත්තු වෙන විදිහට දරුවා දේවල් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එයා නරක කෙනෙක්, කරදරකාරයෙක් කියලා එයාට කියන්න එපා. එහෙම හිතන්නවත් එපා. ඒ වෙනුවට ඔයා දකින එයාගේ හොඳ පැති ගැන කියන්න. හරි දේ කරන්න එයා තුළ කැමැත්තක් තියෙනවා කියලා ඔයාට විශ්වාසයි කියලත් කියන්න. අඩුපාඩු හදාගෙන හොඳ දේවල් කරන්න උත්සාහ කරද්දී එයාව අගය කරන්න. පුළුවන් වෙලාවලදී යම් යම් වගකීම් භාර දෙන්න. හොඳ ගුණාංග වර්ධනය කරගන්න ඒක එයාට උදව්වක්. යේසුත් එහෙම කළා. නතානියෙල්ව (බාතොලමෙව්) මුණගැහිලා අවුරුදු එකහාමාරකට විතර පස්සේ යේසුස් ඔහුට ලොකු වගකීමක් භාර දුන්නා. ඒ ඔහුගේ නියෝජිතයෙක් වෙන්න. නතානියෙල් ඒ වගකීම විශ්වාසවන්තව කළා. (ලූක් 6:13, 14; ක්‍රියා 1:13, 14) දරුවාට කිසිම දෙයක් හරියට කරන්න බැහැ කියලා දැනෙන්න සලස්වනවා වෙනුවට එයාව අගය කරන්න. දිරිගන්වන්න. ඔයාවත් යෙහෝවා දෙවිවත් සතුටු කරන්න එයාට පුළුවන් කියන විශ්වාසය එයා තුළ ඇති කරන්න. එයාගේ හැකියාවන් දෙවිගේ සේවය වෙනුවෙන් යොදවන්න පුළුවන් කියලා තේරුම්ගන්න උදව් කරන්න.

හොඳින් පුහුණු කළොත් හොඳ ප්‍රතිඵල

17, 18. යෙහෝවා දෙවිට සේවය කරන්න දරුවාව හොඳින් පුහුණු කළොත් ලැබෙන ප්‍රතිඵල මොනවද?

17 ඔයාටත් දැනෙන්නේ පාවුල්ට දැනුණා වගේද? යෙහෝවා දෙවි ගැන දැනගන්න පාවුල් හුඟක් අයට උදව් කළා. පාවුල් තමන්ගෙම දරුවන්ට වගේ ඒ අයට ආදරේ කළා. ඒ අයගෙන් සමහරු දිගටම දෙවිට සේවය කරන එකක් නැහැ කියලා හිතද්දීත් ඔහුට දැනුණේ ලොකු වේදනාවක්. (1 කොරි. 4:15; 2 කොරි. 2:4) දරුවන් 3දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වන වික්ටර් මෙහෙම කියනවා. “යෞවන කාලෙදී දරුවන්ව පුහුණු කරන එක ලේසි වුණේ නැහැ. සෑහෙන්න අභියෝග තිබුණා. ඒත් අපි ලබපු සතුට ඊට වඩා වැඩියි. දෙවි උදව් කරපු නිසා දරුවෝ එක්ක යාළුවෝ වගේ ඉන්න අපිට පුළුවන් වුණා.”

18 අම්මේ තාත්තේ, ඔයා දරුවාට හුඟක් ආදරෙයි කියලා අපි දන්නවා. ඒ නිසයි එයාව පුහුණු කරන්න ඔයා මෙච්චර මහන්සි වෙන්නේ. ඒ උත්සාහය අත්හරින්න එපා. දරුවා ජීවිතේ දෙවිට කැප කරලා විශ්වාසවන්තව සේවය කරන්න තීරණය කරද්දී ඔයාගේ වෙහෙස සතුටට පෙරළෙයි.—3 යොහ. 4.