Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු

යෙහෝවා දෙවි හුඟක් ත්‍යාගශීලියි. (යාකො. 1:17) තරු පිරි විශ්වයේ ඉඳන් අලංකාරවත් බුමුතුරුණු හා සමාන නිල්වන් තණකොළ දක්වා තියෙන හැම නිර්මාණයක්ම නිහඬවම කියන්නේ දෙවිගේ ත්‍යාගශීලීකමයි.—ගීතා. 65:12, 13; 147:7, 8; 148:3, 4.

දෙවිගේ නිර්මාණ ගැන හිතද්දී ගීතිකාකරුගේ හිතේ මොන තරම් අගයක් ඇති වුණාද කියනවා නම් ඔහු ඒ ගැන අලංකාර ගීතිකාවක් රචනා කළා. 104වෙනි ගීතිකාව කියවද්දී ඔයාටත් හැඟෙන්නේ මෙහෙමද? “දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි. ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.”—ගීතා. 104:33.

ත්‍යාගශීලීකමේ උතුම්ම ආදර්ශය

යෙහෝවා දෙවි කැමති අපිත් ඔහු වගේ ත්‍යාගශීලී වෙනවටයි. එහෙම වෙන්න ඕනෙ ඇයි කියලා ඔහු කියන්නේ මෙහෙමයි. “පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට අහංකාර නොවී සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න. එමෙන්ම යහපත් දේවල් කිරීමටත් යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත් ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටීමටත් ඔවුන්ට අවවාද කරන්න. එසේ කිරීමෙන් අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක් ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට ඔවුන්ට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් ඔවුන් සමත් වනු ඇත.”—1 තිමෝ. 6:17-19.

පරිත්‍යාග කරද්දී අපිට තියෙන්න ඕන ආකල්පය ගැන පාවුල් මෙහෙම කියනවා. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” (2 කොරි. 9:7) දේවල් දෙද්දී ඒක ලබන කෙනාගේ අවශ්‍යතාව සැපිරෙනවා වගේම දෙන කෙනාටත් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා.—2 කොරි. 9:11-14.

පාවුල් විස්තරය අවසන් කරන්නේ යෙහෝවා දෙවි ඔහුගේ ත්‍යාගශීලීකම පෙන්නපු ශ්‍රේෂ්ඨතම විදිහ ගැන කතා කරලයි. ඔහු කිව්වේ “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි ඒ දීමනාව ගැන ඔහුට ස්තුති වේවා” කියලා. (2 කොරි. 9:15) යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවි ඔහුගේ සේවකයන්ට දෙන හැම යහපත් දෙයක්ම ඒ දීමනාවට ඇතුළත්. දෙවිගේ ඒ ත්‍යාගශීලීකම විස්තර කරන්න වචන නැහැ.

යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරපු, කරන්න යන හැම දේටම අපේ අගය පෙන්නන්නේ කොහොමද? අපේ කාලය, ශක්තිය වගේම අපි ළඟ තියෙන වටිනා දේවල් යෙහෝවා දෙවිගේ නමස්කාරය වෙනුවෙන් පරිත්‍යාග කරලා අපිට ඒක කරන්න පුළුවන්. අපේ පරිත්‍යාගය ලොකු දෙයක් වුණත් පුංචි දෙයක් වුණත් දෙවි ඒක අගය කරනවා.—1 ලේක. 22:14; 29:3-5; ලූක් 21:1-4.