Skip to content

පටුනට යන්න

තේරුම්ගන්න පහසු බයිබල් පරිවර්තනයක්

තේරුම්ගන්න පහසු බයිබල් පරිවර්තනයක්

“දෙවිගේ වදන් ජීවමානය.”—හෙබ්‍රෙ. 4:12.

ගීතිකා: 37, 116

1. (අ) දෙවි ආදම්ට දුන්න පැවරුම මොකක්ද? (ආ) භාෂාව කියන තෑග්ග දෙවිගේ සෙනඟ යොදාගෙන තියෙන්නේ කොහොමද?

භාෂාවක් කතා කරන්න තියෙන හැකියාව යෙහෝවා දෙවි මිනිසුන්ට දුන්න තෑග්ගක්. ඒ තෑග්ග පාවිච්චි කරලා සතුන්ට නම් දාන්න දෙවි ආදම්ට පැවරුමක් දුන්නා. සතුන්ගේ හැසිරීම් රටා බලලා එයාට හැඟුණු දේ වචනවලට පෙරළන්න ආදම්ට උදව් වුණේ ඒ හැකියාවයි. (උත්. 2:19, 20) එදා ඉඳන් දෙවිගේ සෙනඟ භාෂාව කියන තෑග්ග පාවිච්චි කරලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා. දෙවි ගැන අනිත් අයට කියලා දෙනවා. එක භාෂාවක තියෙන දෙයක් තවත් භාෂාවකට පරිවර්තනය කරන්න තියෙන හැකියාව යොදාගෙන බයිබලේ විවිධ භාෂාවලට පරිවර්තනය කරන්නත් මෑත කාලෙදී දෙවිගේ සෙනඟට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා විශාල සෙනඟකට දෙවි ගැන ඉගෙනගන්න දැන් අවස්ථාව ලැබිලා.

2. (අ) නව ලොව පරිවර්තන කමිටුව සැලකිලිමත් වුණේ මොන කාරණා 3 ගැනද? (ආ) මේ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවද?

2 මේ වෙද්දී බයිබල් පරිවර්තන දහස් ගාණක් තියෙනවා. ඒවා අතරින් සමහරක් ඒවා අනිත් ඒවාට වඩා නිවැරදියි. 1940 ගණන්වලදී නව ලොව පරිවර්තන කමිටුව පිහිටෙව්වේ නිවැරදි බයිබල් පරිවර්තනයක් කිරීමේ අරමුණින්. ඔවුන් ඒක කරද්දී ප්‍රධාන කාරණා 3ක් ගැන සැලකිලිමත් වුණා. (1) මුල් ලියවිලිවල දෙවිගේ නම තිබුණු හැම තැනකටම දෙවිගේ නම ඇතුළත් කරලා ඒ නමට ගෞරවයක් ගේන්න. (මතෙව් 6:9 කියවන්න.) (2) පුළුවන් හැම තැනකදීම මුල් ලියවිල්ලේ තිබුණු විදිහටම වචනෙන් වචනේ පරිවර්තනය කරන එක සහ එහෙම කරන්න බැරි තැන්වලදී අදහස නිවැරදිව පරිවර්තනය කරන්න. (3) පහසුවෙන් කියවන්නත් තේරුම්ගන්නත් පුළුවන් භාෂා ශෛලියක් පාවිච්චි කරන්න. * (නෙහෙමියා 8:8, 12 කියවන්න.) ඒ කාරණා 3 අදාළ කරගෙන දැන් ‘නව ලොව පරිවර්තනය’ භාෂා 130කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. 2013දී ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ සංශෝධනය කරද්දීත් ඒක වෙනත් භාෂාවලට පරිවර්තනය කරද්දීත් ඒ කාරණා 3 අදාළ කරගත්තේ කොහොමද කියලා බලමු.

දෙවිගේ නාමය ගෞරවයට පත් කරන පරිවර්තනයක්

3, 4. (අ) දෙවිගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අක්ෂර 4 සඳහන් වෙන්නේ මොන අත්පිටපත්වලද? (ආ) හුඟක් බයිබල් පරිවර්තකයන් කරලා තියෙන්නේ මොකක්ද?

3 මළ මුහුද අසලින් හොයාගත්ත අත්පිටපත් වැනි හුඟක් පැරණි හෙබ්‍රෙව් අත්පිටපත්වල දෙවිගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අක්ෂර 4 සඳහන් වෙනවා. ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ සමහර අත්පිටපත්වලත් ඒ හෙබ්‍රෙව් අක්ෂර 4 දකින්න තියෙනවා. ඒ අත්පිටපත් ක්‍රි.පූ. 2වෙනි සියවසත් ක්‍රි.ව. 1වෙනි සියවසත් අතර කාලයට අයිතියි. දෙවිගේ නම පැරණි අත්පිටපත්වල සඳහන් වෙලා තියෙන වාර ගාණ දැක්කම ඒවා අධ්‍යයනය කරන අයට අදහාගන්න බැහැ.

4 බයිබලේ දෙවිගේ නම තියෙන්න ඕනෙ කියන එක ගැන මොන තරම් සාක්ෂි තිබුණත් හුඟක් පරිවර්තනවලින් දෙවිගේ නම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. උදාහරණෙකට 1901දී මුදාහැරපු “ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්” කියන පරිවර්තනයේ දෙවිගේ නම සඳහන් වුණත් 1952 ඒක සංශෝධනය කළාට පස්සේ දෙවිගේ නම සඳහන් වුණේ නැහැ. ඒකට හේතුව විදිහට ඒ පරිවර්තකයන් කිව්වේ “දෙවිව නමකින් හඳුන්වන එක කොහොමටවත් සුදුසු නැහැ” කියලයි. ඉංග්‍රීසි විතරක් නෙමෙයි වෙනත් භාෂාවලින් තියෙන පරිවර්තනවලිනුත් දෙවිගේ නම ඉවත් කරලා.

5. බයිබල් පරිවර්තනයක දෙවිගේ නම සඳහන් වෙන එක අත්‍යවශ්‍ය ඇයි?

5 බයිබල් පරිවර්තනයකට දෙවිගේ නම ඇතුළත් කරන එක අත්‍යවශ්‍යද? ඔව්. මොකද බයිබලේ කර්තෘ යෙහෝවා දෙවි. ඔහුට ඕනෙ මිනිසුන් ඔහුගේ නම දැනගන්නවට. පොතක කර්තෘ ඒ පොතෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හොඳ පරිවර්තකයෙක් තේරුම්ගන්නවා. ඔහු පරිවර්තනය කරන්නේ ඒ දේ මනසේ තියාගෙනයි. දෙවිගේ නම දැනගන්න එක කොච්චර වැදගත්ද කියලා බයිබලේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. (නික්. 3:15; ගීතා. 83:18; 148:13; යෙසා. 42:8; 43:10; යොහ. 17:6, 26; ක්‍රියා 15:14) ඒ වගේම දෙවිගේ නම වතාවන් දහස් ගාණක් සඳහන් කරන්න යෙහෝවා දෙවි බයිබල් ලේඛකයන්ට මඟ පෙන්නුවා. (එසකියෙල් 38:23 කියවන්න.) දෙවිගේ නම පරිවර්තනවලින් අයින් කරන එක දෙවිට කරන ලොකු අගෞරවයක්.

6. සංශෝධනය කළ ‘නව ලොව පරිවර්තනයේ’ තව තැන් 6ක දෙවිගේ නම සඳහන් වෙන්නේ ඇයි?

6 බයිබලේට දෙවිගේ නම ඇතුළත් කරන්න ඕන කියන දේට සාක්ෂි වෙන කවරදාටත් වඩා අද හොයාගෙන තියෙනවා. 2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ දෙවිගේ නම 7,216 වතාවක් සඳහන් වෙනවා. ඒ කියන්නේ කලින් පරිවර්තනයේ තිබුණට වඩා මේ පරිවර්තනයේ වැඩිපුර අවස්ථා 6ක දෙවිගේ නම සඳහන් වෙනවා කියන එකයි. මළ මුහුදේ ලියවිලි ගැන පළ කරලා තියෙන වාර්තාවලට අනුව 1 සාමුවෙල් 2:25; 6:3; 10:26; 23:14, 16 කියන තැන්වල දෙවිගේ නම සඳහන් වෙනවා. * ඒ නිසා සංශෝධනය කළ බයිබලේ ඒ තැන් 5ට දෙවිගේ නම ඇතුළත් කරලා තියෙනවා. 6වෙනි අවස්ථාව තියෙන්නේ විනිශ්චයකරුවෝ 19:18. ඒ තීරණය ගත්තෙත් විශ්වාසවන්ත පැරණි අත්පිටපත් තවත් හොඳින් අධ්‍යයනය කරලයි.

7, 8. යෙහෝවා කියන නමේ තේරුම මොකක්ද?

7 යෙහෝවා කියන දෙවිගේ නමේ අර්ථය හොඳින් තේරුම්ගන්න එක හුඟක් වැදගත් කියලා යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් අවබෝධ කරගත්තා. නික්මයාම 3:14 දෙවි කියන්නේ “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” කියලයි. ඒ අනුව අපේ ප්‍රකාශනවල දෙවිගේ නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලා පැහැදිලි කළා. * 1984දී කරපු සංශෝධනයේ දෙවිගේ නමේ අර්ථය පැහැදිලි කළේ “දෙවිට ඕනම තත්වයකට පත් වෙලා ඕනෙම දෙයක් කරන්න පුළුවන්” කියලයි. * ඒත් 2013දී කරපු සංශෝධනයේ පැහැදිලි කරන්නේ යෙහෝවා කියන නමේ අර්ථය ඒ අදහසට විතරක් සීමා වෙලා නැහැ කියලයි. ඒ වෙනුවට “ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය අයුරින් ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න දෙවිට හැකියි කියන අදහසත් දෙවිගේ නමේ අර්ථයට ඇතුළත්” කියලා ඒකේ පැහැදිලි කළා.

8 තමන්ගේ අරමුණ ඉටු කරගන්න ඕනම කෙනෙක්ව ඕනම තත්වෙකට පත් කරන්න දෙවිට පුළුවන්. උදාහරණෙකට යෙහෝවා දෙවි නෝවාව දක්ෂ ඉදි කරන්නෙක් කළා. බෙසලෙල්ව දක්ෂ කැටයම්කරුවෙක් කළා. ගිඩියොන්ව දක්ෂ සටන්කරුවෙක් කළා. පාවුල්ව සාර්ථක මිෂනාරිවරයෙක් කළා. යෙහෝවා කියන නමේ අර්ථය තේරුම්ගන්න එක දෙවිගේ සෙනඟගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරනවා. ඒ නිසයි නව ලොව පරිවර්තන කමිටුව දෙවිගේ නම ඒ පරිවර්තනයට ඇතුළත් කළේ.

9. වෙනත් භාෂාවලට බයිබලේ පරිවර්තනය කරන කාර්යයට ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ ඇයි?

9 එන්න එන්නම අද තියෙන බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නම ඉවත් කරනවා. ඒ වෙනුවට ඔවුන් යොදන්නේ “ස්වාමීන්” නැත්නම් ඒ රටේ වැඩිදෙනෙක් අදහන දෙවි කෙනෙක්ගේ නමක්. ඒ නිසයි පාලක මණ්ඩලය ‘නව ලොව පරිවර්තනය’ පුළුවන් තරම් භාෂා ගාණකට පරිවර්තනය කරන්න තීරණය කළේ. ඒකෙන් යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා. (මලාකි 3:16 කියවන්න.) මේ වෙද්දී ‘නව ලොව පරිවර්තනය’ භාෂා 130කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා.

පැහැදිලි, නිවැරදි පරිවර්තනයක්

10, 11. ‘නව ලොව පරිවර්තනය’ වෙනත් භාෂාවලට පරිවර්තනය කරද්දී මුහුණ දීපු ගැටලු මොනවද?

10 ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ වෙනත් භාෂාවලට පරිවර්තනය කරද්දී යම් ගැටලුවට මුහුණ දුන්නා. උදාහරණෙකට ඉංග්‍රීසි පරිවර්තනයේ දේශනාකාරයා 9:10ත් තවත් තැන් කීපයකත් “ෂෙයෝල්” කියන හෙබ්‍රෙව් වචනය ඒ විදිහටම භාවිත කරලා තියෙනවා. ඒක වෙන ඉංග්‍රීසි බයිබල් පරිවර්තනවලත් දකින්න තියෙනවා. ඒත් ඒ හෙබ්‍රෙව් වචනය වෙනත් භාෂාවල ඒ විදිහටම පාවිච්චි කරන්න බැහැ. මොකද වැඩිදෙනෙක් ඒ වචනයේ අදහස දන්නේ නැහැ. ඒ අයගේ ශබ්දකෝෂවල ඒක විස්තර කරලත් නැහැ. සමහරු හිතන්නේ ඒක යම් ස්ථානයක් කියලයි. ඒ නිසා “ෂෙයෝල්” කියන හෙබ්‍රෙව් වචනය සහ ඒ අදහසම තියෙන “හේදීස්” කියන ග්‍රීක වචනය “මිනී වළ” හැටියට පරිවර්තනය කරන්න අවසර ලැබුණා. ඒක නිවැරදි පරිවර්තනයක්. අදහස තවත් පැහැදිලියි.

11 “නෙෆෙෂ්” කියන හෙබ්‍රෙව් වචනය සහ “සීකී” කියන ග්‍රීක වචනය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යොදලා තිබුණේ “ආත්මය” කියන අදහස තියෙන වචනයයි (soul). ඒක සමහර භාෂාවලට පරිවර්තනය කරද්දී ගැටලු මතු වුණා. ඒ වචන කියද්දී හුඟක් අයගේ මනසට ආවේ හොල්මනක් නැත්නම් කෙනෙක් මිය යද්දී සිරුරෙන් පිට වෙන අමරණීය දෙයක්. ඒ හේතුව නිසා ඒ වචන තියෙන තැන අනුව අදහස පරිවර්තනය කරන්න අවසර ලැබුණා. ඒ වගේම දැන් හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල අදහස තේරුම්ගන්න උදව් වෙන තොරතුරු තියෙන්නේ පාදසටහන්වල නිසා බයිබලේ පහසුවෙන් කියවන්න වගේම තේරුම්ගන්නත් ලේසියි.

12. 2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි බයිබලේ තියෙන තවත් වෙනස්කම් මොනවද? (මේ කලාපයේ තියෙන “2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’” යන ලිපියත් බලන්න.)

12 ලෝ පුරා බයිබල් පරිවර්තකයන් එවලා තිබුණු හුඟක් ප්‍රශ්න නිසා ඉංග්‍රීසි බයිබලේ තිබුණු ගැටලුකාරී තැන් හඳුනගන්න පුළුවන් වුණා. ඒ ගැටලු සැලකිල්ලට ගත්ත පාලක මණ්ඩලය 2007 සැප්තැම්බර් මාසෙදී ඉංග්‍රීසි බයිබලය සංශෝධනය කරන්න අවසර දුන්නා. පරිවර්තකයන් එවලා තිබුණු දහස් ගාණක් ප්‍රශ්න පරිවර්තන කමිටුව හොඳින් අධ්‍යයනය කළා. පරණ ඉංග්‍රීසි යෙදුම් වෙනුවට අලුත් යෙදුම් පාවිච්චි කළා. පහසුවෙන් කියවන්න, තේරුම්ගන්න පුළුවන් නිවැරදි පරිවර්තනයක් සකස් කරන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. ඉංග්‍රීසි පරිවර්තනය තවත් හොඳ තත්වෙකට ගේන්න ලොව පුරා හිටපු පරිවර්තකයන්ගෙන් ලැබුණේ නොමඳ සහයක්.—හිතෝ. 27:17.

හද පිරි අගයක්

13. 2013දී සංශෝධනය කරපු බයිබලේ ගැන ගොඩක් අයට හැඟෙන්නේ කොහොමද?

13 සංශෝධනය කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ ගැන අගය පළ කරලා දහස් ගාණක් ලිපි ලෝක මූලස්ථානයට ලැබෙනවා. මේ, ඒ අතර තිබුණු එක අදහසක්. “බයිබලේ හරියට මුතු මැණික්වලින් පිරුණු පෙට්ටගමක් වගෙයි. අලුත් බයිබලේ කියවද්දී මට දැනෙන්නේ හරියට ඒ මැණික් එකින් එක අතට අරන් ඒවායේ ලස්සන, විවිධ පැතිකඩ, විවිධ පාට දිහා හොඳට බලනවා වගෙයි. හරිම සරල භාෂාවකින් ඒක ලියලා තියෙන නිසා යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුන ගන්න දැන් මට පුළුවන්. ඒක කියවද්දී මට දැනෙන්නේ හරියට යෙහෝවා දෙවි ආදරණීය තාත්තා කෙනෙක් වගේ මාව එයාගේ තුරුලේ තියාගෙන ආදරෙන් කතා කරනවා වගේ.” ගොඩක් අයට හැඟෙන්නෙත් ඒ සහෝදරියට හැඟුණු විදිහටමයි.

14, 15. වෙනත් භාෂාවලින් තියෙන ‘නව ලොව පරිවර්තනය’ ගැන හුඟදෙනෙක්ට හැඟෙන්නේ කොහොමද?

14 වෙනත් භාෂා කතා කරන අයත් තමන්ගේ භාෂාවෙන් තියෙන ‘නව ලොව පරිවර්තනය’ ගැන ලොකු අගයකින් කතා කරනවා. බල්ගේරියාවේ ඉන්න මහලු පුද්ගලයෙක් මෙහෙම කියනවා. “මං අවුරුදු ගාණක් තිස්සේ බයිබලේ කියවලා තියෙනවා. ඒත් ‘නව ලොව පරිවර්තනය’ තරම් ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්, හිතට දැනෙන විදිහේ පරිවර්තනයක් මං කවදාවත් කියවලා නැහැ.” ඇල්බේනියාවේ සහෝදරියක් මෙහෙම කියනවා. “මේ පරිවර්තනය හරිම ලස්සනයි. යෙහෝවා දෙවි අපේම භාෂාවෙන් අපිට කතා කරනවා අහන්න ලැබෙන එක කොච්චර වරප්‍රසාදයක්ද!”

15 හුඟක් රටවල බයිබල් හරිම ගණන්. හොයාගන්නත් අමාරුයි. බයිබලයක් හම්බ වෙනවා කියන්නේ නිධානයක් හම්බ වෙනවා වගේ. රුවන්ඩාවෙන් ලැබුණු වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “හුඟදෙනෙක් බයිබලේ පාඩම් කළත් සත්‍යය තුළ දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ එයාලටම කියලා බයිබලයක් නැති නිසයි. පල්ලියෙන් මුද්‍රණය කරන බයිබලයක් ගන්න තරම් වත්කමක් එයාලට නැහැ. ඒක තේරුම්ගන්නත් හරි අමාරුයි.” යෞවන දරුවන් 4දෙනෙක් ඉන්න පවුලක් එයාලගේම භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ ලැබුණම මෙහෙම කිව්වා. “මේ බයිබලේ දුන්න එක ගැන යෙහෝවා දෙවිටත් නුවණ ඇති දාසයාටත් අපි ගොඩක් ස්තුති කරනවා. අපි දුප්පත් නිසා පවුලේ හැමෝටම බයිබලේ ගානේ ගන්න වත්කමක් නැහැ. ඒත් දැන් අපි හැමෝටම බයිබල් තියෙනවා. යෙහෝවා දෙවි අපිට දුන්න වටිනා තෑග්ගට අපේ අගය පෙන්නන්න පවුලක් විදිහට අපි හැමදාම බයිබලේ කියවනවා.”

16, 17. (අ) යෙහෝවා දෙවිගේ ආශාව මොකක්ද? (ආ) අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද?

16 සංශෝධනය කරපු ‘නව ලොව පරිවර්තනය’ ඉදිරියේදී තවත් හුඟක් භාෂාවලින් මුදාහරින්න නියමිතයි. ඒ කාර්යය නවත්තන්න සාතන් කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද පැහැදිලි, තේරුම්ගන්න පුළුවන් විදිහට තමන්ගේ අදහස් මිනිසුන්ට දැනුම් දෙන එක යෙහෝවා දෙවිගේ ආශාවයි. ඒ වගේම ඔහුගේ සෙනඟ ඒවාට ඇහුම්කන් දෙනවා දකින්නත් දෙවි කැමතියි. (යෙසායා 30:21 කියවන්න.) ‘ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී’ ඉතිරී යන දවස වැඩි ඈතක නෙමෙයි.—යෙසා. 11:9.

17 යෙහෝවා දෙවිගේ නමට ගෞරවය ගේන මේ පරිවර්තනය ඇතුළු දෙවි දෙන හැම තෑග්ගක්ම හොඳින් පාවිච්චි කරන්න අපි අදිටන් කරගමු. හැම දවසකම බයිබලේ පිටු අතරින් ඔයාට කතා කරන්න දෙවිට ඉඩ දෙන්න. දෙවිට තියෙන පුදුමාකාර බලය නිසා අපි හැම කෙනෙක්ම කරන යාච්ඤාවලට සවන් දෙන්න ඔහුට පුළුවන්. අපි දෙවිත් එක්ක ඒ විදිහට අදහස් බෙදාගද්දී දෙවිව තවත් හොඳින් හඳුනගන්න පුළුවන් වගේම ඔහු ගැන අපිට තියෙන ආදරේ තව තවත් වැඩි වෙයි.—යොහ. 17:3.

“යෙහෝවා දෙවි අපේම භාෂාවෙන් අපිට කතා කරනවා අහන්න ලැබෙන එක කොච්චර වරප්‍රසාදයක්ද!”

^ 2 ඡේ. 2008 මැයි 1 ‘මුරටැඹ’ කලාපයේ “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” කියන ලිපිය බලන්න.

^ 6 ඡේ. ‘නව ලොව පරිවර්තනය’ සඳහා යොදාගත්ත හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිලිවලට වඩා මළ මුහුදේ ලියවිලි අවුරුදු 1,000කට වැඩියෙන් පරණයි.

^ 7 ඡේ. ඒ පැහැදිලි කිරීම වෙන පොත්වලත් සඳහන් වෙනවා. ඒත් ඒ අදහසට හැම විශාරදයෙක්ම එකඟ නැහැ.

^ 7 ඡේ. ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොතේ 1-5 දක්වා පිටුවල “හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවිගේ නාමය” කියන කොටස බලන්න.