Skip to content

පටුනට යන්න

2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’

2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’

ගත වුණු අවුරුදු ගණනාව ඇතුළත ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ‘නව ලොව පරිවර්තනය’ අවස්ථා කීපයකදීම සංශෝධනය කරලා තියෙනවා. ඒත් ප්‍රධානම සංශෝධනය කළේ 2013දී. ඒ පරිවර්තනයේ යොදාගෙන තියෙන වචන ප්‍රමාණය කලින් පරිවර්තනයට වඩා 10%ක් විතර අඩුයි. බයිබලේ තියෙන ප්‍රධාන යෙදුම් කීපයක්ම මේ පරිවර්තනයේ සංශෝධනය කරලා තියෙනවා වගේම සමහර වචන විස්තර කරන්න පාදසටහන් රැසකුත් තියෙනවා. සමහර පරිච්ඡේද කාව්‍යමය ස්වරූපයට වෙනස් කරලා තියෙන එකත් විශේෂ ලක්ෂණයක්.

වෙනස් කරලා තියෙන ප්‍රධාන යෙදුම් මොනවද? කලින් ලිපියේ කිව්වා වගේ “ෂෙයෝල්,” “හේදීස්,” “සෝල්” (ආත්මය) වගේ යෙදුම් වෙනුවට ඒවායේ අදහස සරලව දාලා තියෙනවා. ඊට අමතරව තවත් යෙදුම් කීපයක්ම වෙනස් කරලා තියෙනවා.

උදාහරණෙකට යේසුස්ව මරපු විදිහ විස්තර කරන්න කලින් පාවිච්චි කරලා තිබුණු වචනෙන් (impaled) ‘උල තියෙනවා,’ ‘පසාරු කරගෙන යන්න අනිනවා’ කියන අදහසත් ආවා. ඒත් දැන් යොදාගෙන තියෙන්නේ ‘කණුවක ඇණ ගසනවා’ කියන අදහස දෙන යෙදුමයි. (මතෙ. 20:19; 27:31) “අසෙල්ජෙයියා” කියන ග්‍රීක වචනය සඳහා කලින් යොදලා තිබුණේ ‘සල්ලාලකම’ කියන අදහස දෙන ඉංග්‍රීසි වචනයයි (Loose conduct). ඒත් ඒකෙන් ග්‍රීක වචනේ තිබුණු පහත් හැසිරීම සහ දරදඬු ආකල්ප කියන අර්ථ දෙකම ආවේ නැහැ. ඒ නිසා දැන් ඒක “නින්දිත හැසිරීම” (brazen conduct) හැටියට පරිවර්තනය කරලා තියෙනවා. කලින් යොදලා තිබුණු “ලෝං සෆරින්” කියන වචනෙන් ආවේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳිනවා කියන අදහසයි. ඒත් දැන් ඒකේ නියම අර්ථය දෙන ‘ඉවසීම’ (patience) කියන වචනය යොදලා තියෙනවා. “ඝෝෂාකාරී උත්සව” (wild parties) කියන යෙදුම ඇතුල් කළේ කලින් ඒ සඳහා යොදලා තිබුණු වචනේ (Revelries) දැන් භාවිතයේ නැති නිසයි. (ගලා. 5:19-22) ‘ප්‍රේමණීය කරුණාව’ වෙනුවට දැන් යොදලා තියෙන්නේ “ළැදි ප්‍රේමය” කියන යෙදුමයි. ඒ යෙදුම එක්ක නිතරම වගේ යොදන “විශ්වාසවන්තකම” කියන වචනේට ඒක ගැළපෙනවා.—ගීතා. 36:5; 89:1.

හැම තැනම එකම විදිහට පරිවර්තනය කරපු සමහර යෙදුම් දැන් තැනට අනුව පරිවර්තනය කරලා තියෙනවා. උදාහරණෙකට “ඔහ්ලම්” කියන හෙබ්‍රෙව් වචනේ තිබුණු හැම තැනකම කලින් යොදලා තිබුණේ ‘සදාකාලය’ කියන අර්ථය තියෙන වචනයක් (time indefinite). ඒත් ඒක හැම තැනටම ගැළපෙන්නේ නැහැ. ගීතාවලිය 90:2 සහ මීකා 5:2 ඒකට හොඳ උදාහරණ.

“සීරා” කියන හෙබ්‍රෙව් වචනය සහ “ස්පර්මා” කියන ග්‍රීක වචනය ආපු හැම තැනකම කලින් යොදලා තිබුණේ “සීඩ්” (seed) කියන වචනයයි. ‘බීජ’ සහ ‘පෙළපත’ කියන අදහස් දෙකටම යොදලා තිබුණේ ඒ වචනෙයි. ඒත් ‘පෙළපත’ ගැන කතා කරද්දී ඉංග්‍රීසි භාෂාවේ ඒ වචනේ දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඒ වචන පරිවර්තනය කරලා තියෙන්නේ තැනට ගැළපෙන විදිහට. උදාහරණෙකට උත්පත්ති 3:15; 22:17, 18 සහ එළිදරව් 12:17 යොදලා තියෙන්නේ ‘පෙළපත’ කියන අර්ථය තියෙන වචනය (offspring). තවත් තැන්වලදී ඒ සඳහා වෙනත් වචන දාලා තියෙනවා.—උත්. 1:11; ගීතා. 22:30; යෙසා. 57:3.

වචනානුසාරයෙන් යොදලා තිබුණු සමහර තැන් දැන් වෙනස් කරලා තියෙන්නේ ඇයි? 2013 සංශෝධනය කරපු බයිබලේ උපග්‍රන්ථය A1 මෙහෙම සඳහන් වෙනවා. “වචනයක් නැත්නම් යෙදුමක් වචනානුසාරයෙන්ම පරිවර්තනය කරද්දී ඒක අපැහැදිලි නම්, ඒකෙන් වැරදි අදහසක් එනවා නම් වචනෙට ඇලිලා ඉන්නේ නැතුව අදහස නිවැරදිව පරිවර්තනය කරන එක” හොඳ පරිවර්තනයක දකින්න තියෙන දෙයක්. මුල් භාෂාවේ තිබුණු යම් කියමන් වෙනත් භාෂාවලිනුත් තේරෙනවා නම් ඒක ඒ විදිහටම යොදලා තියෙනවා. උදාහරණෙකට එළිදරව් 2:23 සඳහන් වෙන ‘හෘදයන් විමසන’ කියන යෙදුම හුඟක් භාෂාවලින් පැහැදිලි නිසා ඒක ඒ විදිහටම යොදලා තියෙනවා. ඒත් ඒ පදයේම සඳහන් වෙන ‘වකුගඩු සෝදිසි කරනවා’ කියන යෙදුම හුඟක් අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් දාලා තියෙන්නේ ඒකේ නියම අදහස දෙන ‘ඇතුළාන්ත හැඟීම් සෝදිසි කර බලනවා’ කියන යෙදුමයි. ඒ වගේම ද්විතීය කතාව 32:14 තිබුණු ‘තිරිඟු ඇටවල තරකමින්’ කියන යෙදුම “ඉස්තරම්ම තිරිඟු” කියලා වඩා පැහැදිලිව දාලා තියෙනවා. ‘අචර්මච්ඡේදිත තොල්’ කියන යෙදුම “හොඳට කතා කළ නොහැකි” කියලා වෙනස් කරලා තියෙනවා.—නික්. 6:12.

“ඊශ්‍රායෙල් පුත්‍රයෝ,” ‘පියා නැති පුත්‍රයන්’ වගේ යෙදුම් “ඊශ්‍රායෙල්වරු,” “පියා නැති දරුවන්” හැටියට දාලා තියෙන්නේ ඇයි? හෙබ්‍රෙව් භාෂාවෙන් ගොඩක් වෙලාවට ‘පුත්‍රයා’ කියද්දී යොමු දක්වන්නේ පිරිමි දරුවාටයි. ඒත් සමහර අවස්ථාවලදී පුතා කියද්දී ඒකෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්වම අදහස් කරනවා කියලා අවට පදවලින් පැහැදිලි වෙලා තියෙනවා. උදාහරණෙකට “ඊශ්‍රායෙල් පුත්‍රයෝ” කියද්දී ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලන්ටම අදාළ වුණු තැන්වල දැන් “ඊශ්‍රායෙල්වරු” කියලා දාලා තියෙනවා.—නික්. 1:7; 35:29; 2 රාජා. 8:12.

‘නව ලොව පරිවර්තනයේ’ කලින් කරපු සංශෝධනවලදී උත්පත්ති 3:16 “පුත්‍රයන්” වෙනුවට “දරුවන්” කියලා යොදලා තිබුණේ ඒ ප්‍රතිපත්තියම අදාළ කරගෙන. ඒත් නික්මයාම 22:24 ඒ විදිහට වෙනස් කරලා තිබුණේ නැහැ. අලුත් පරිවර්තනයේ ඒ පදය සඳහන් වෙන්නේ ‘ඔබේ දරුවන් පියා නැති දරුවන්ද වනු ඇත’ කියලයි. ද්විතීය කතාව 10:18, යෝබ් 6:27 සහ දේශනාකාරයා 12:1 ඒ ප්‍රතිපත්තියම අදාළ කරගෙන තියෙනවා. ඒ වෙනස් කිරීම් ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයටත් එකඟයි.

භාවිත කරලා තිබුණු හුඟක් ක්‍රියා පද දැන් සරල විදිහට දාලා තියෙන්නේ ඇයි? හෙබ්‍රෙව් භාෂාවේ ප්‍රධාන ක්‍රියා පද වර්ග 2ක් තියෙනවා. (1) යම් ක්‍රියාවක් අවසන් නොවී දිගටම සිද්ධ වෙද්දී පාවිච්චි කරන ක්‍රියා පද. (2) යම් ක්‍රියාවක් නිශ්චිත අවස්ථාවක අවසන් වෙද්දී පාවිච්චි කරන ක්‍රියා පද. පළවෙනි ක්‍රියා පද වර්ගය හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කරලා තිබුණු හැම තැනකටම කලින් පරිවර්තනයේ ඒක ඒ විදිහටම දාලා තිබුණා. ඒක කළේ ක්‍රියා පදයට උපකාරක පදයකුත් සම්බන්ධ කරලයි. දෙවෙනි වර්ගයේ ක්‍රියා පද යෙදෙන අවස්ථාවලදී ක්‍රියාව තව ස්ථිර කරන්න ‘අනිවාර්යයෙන්ම,’ ‘යුතුයි,’ ‘ඇත්තෙන්ම’ වගේ පද යොදලා තිබුණා.

2013 කරපු සංශෝධනයේදී හෙබ්‍රෙව් භාෂාවේ ක්‍රියා පද පරිවර්තනය කරලා තියෙන්නේ අදහසට ගැළපෙන විදිහට. උදාහරණෙකට “ආලෝකය ඇති කරමි” කියලා දෙවි කියපු අවස්ථාවේ හෙබ්‍රෙව් භාෂාවෙන් පාවිච්චි කරලා තියෙන්නේ පළවෙනි වර්ගයේ ක්‍රියා පදයක්. ඒත් දෙවි ඒක දිගින් දිගටම කියපු දෙයක් නෙමෙයි නිසා ඒක ඒ විදිහට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ. දැන් ඒක දාලා තියෙන්නේ නිශ්චිත අවස්ථාවක අවසන් වුණු ක්‍රියා පදයක ස්වරූපයෙන්. (උත්. 1:3) ඒත් උත්පත්ති 3:9 සඳහන් වෙන්නේ දෙවි ආදම්ට කීප සැරයක්ම කතා කරපු අවස්ථාවක් ගැන නිසා හෙබ්‍රෙව් ක්‍රියා පදය ඒ ස්වරූපයෙන්ම දාලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ මේ සංශෝධනයේ වැඩි අවධානයක් දීලා තියෙන්නේ අදහසට අනුව ක්‍රියාව පරිවර්තනය කරන්න මිසක් හෙබ්‍රෙව් ක්‍රියා පද ඒ ස්වරූපයෙන්ම පරිවර්තනය කරන්න නෙමෙයි කියලා. ඒ නිසා හෙබ්‍රෙව්වලින් වගේ දැන් දේවල් කෙටියෙන් කියන්නත් පුළුවන්.

පරිච්ඡේද ගණනාවක්ම දැන් තියෙන්නේ කාව්‍යමය ස්වරූපයෙන්. ඒක මුල් ලියවිලිවලටත් එකඟයි

තවත් පරිච්ඡේද දැන් කාව්‍යමය විදිහට සකස් කරලා තියෙන්නේ ඇයි? බයිබලේ හුඟක් කොටස් මුලින් ලියලා තියෙන්නේ කාව්‍යමය ස්වරූපයෙන්. දැන් භාවිත වෙන හුඟක් භාෂාවල කාව්‍යමය ස්වරූපය හඳුනගන්නේ එළිසමයෙන්. ඒත් හෙබ්‍රෙව් භාෂාවේ කාව්‍යමය ස්වරූපය හඳුනගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි එකම අදහස දෙවිදිහකින් කියන එක නැත්නම් යම් අදහසක් කියලා ඊටපස්සේ ඒකේ විරුද්ධ අදහස කියන එක. අදහස් තර්කානුකූලව ගොඩනඟන එකත් ඒකේ ලක්ෂණයක්.

කලින් ‘නව ලොව පරිවර්තනයේ’ යෝබ් සහ ගීතාවලිය පොත් සකස් කරලා තිබුණේ කාව්‍යමය විදිහට. මොකද ඒවා ලියලා තිබුණේ ගායනා කිරීමේ අරමුණින්. ඒක මතක තියාගන්නත් පහසු ක්‍රමයක්. 2013 කරපු සංශෝධනයේදී හිතෝපදේශ, සලමොන්ගේ ගීතිකාව සහ අනාවැකි පොත්වල පරිච්ඡේද ගණනාවක්ම කාව්‍යමය ස්වරූපයෙන් සකස් කරලා තියෙනවා. එහෙම කළේ ඒවා මුලින් ලියලා තිබුණේ කාව්‍යමය ශෛලියකින් කියලා පෙන්නන්නයි. තවත් සමහරක් පරිච්ඡේද ඒ විදිහට සකස් කළේ එකම අදහස දෙවිදිහකින් නැත්නම් අදහස එකිනෙකට වෙනස් විදිහට මුල් භාෂාවේ ලියලා තිබුණා කියලා පෙන්නන්නයි. යෙසායා 24:2 ඒකට හොඳ උදාහරණයක්. එතන පේළියෙන් පේළියට කතා කරන්නේ එකිනෙකට වෙනස් කණ්ඩායම් ගැන. ඒක හෙබ්‍රෙව් කාව්‍යමය ශෛලියක් කියලා හඳුනගත්ත එකෙන් පැහැදිලි වෙනවා ලේඛකයා නිකම්ම දේවල් නැවත නැවත කිව්වා නෙමෙයි ඒ වෙනුවට දෙවිගේ විනිශ්චයෙන් ඒ කිසිම කෙනෙක්ට ගැලවෙන්න බැහැ කියන දේ අවධාරණය කරන්නයි එහෙම කිව්වේ කියලා.

යමක් ලියලා තියෙන්නේ රචනා ශෛලියෙන්ද කාව්‍යමය ශෛලියෙන්ද කියලා පැහැදිලිව හඳුනගන්න එක හෙබ්‍රෙව් භාෂාවේ හැම වෙලේම ලේසි නැහැ. ඒ නිසා කාව්‍යමය ස්වරූපයෙන් තියෙන කොටස් පරිවර්තනයෙන් පරිවර්තනයට වෙනස් වෙන්න පුළුවන්. සමහර පරිවර්තනවල රචනා ශෛලියෙන් තියෙන කොටස්වල කාව්‍යමය වචන, රූපාලංකාර, එකම අදහස දෙවිදිහකින් කියන තැන් දකින්න තියෙනවා. එහෙම කරලා තියෙන්නේ අදහස හොඳින් කාවද්දන්නයි.

පොතක් ආරම්භයේ හැම පරිච්ඡේදයකම සාරාංශයක් සඳහන් වෙන එකත් අලුත් අංගයක්. ගීතිකාවල කවුරු කාටද කතා කරන්නේ කියන එක පහසුවෙන් හඳුනගන්න ඒක උදව්වක්. උදාහරණෙකට සලමොන්ගේ ගීතිකාව බලන්න.

මුල් භාෂාවෙන් තියෙන අත්පිටපත් අධ්‍යයනය කරන එක සංශෝධනයට උදව් වුණේ කොහොමද? මුල් ‘නව ලොව පරිවර්තනය’ සඳහා හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිලි, වෙස්කොට්ගේ සහ හෝට්ගේ ග්‍රීක පිටපත මූලිකවම යොදාගත්තා. ඒත් මේ වෙද්දී පුරාණ අත්පිටපත් තවත් වැඩියෙන් අධ්‍යයනය කරන නිසා සමහර බයිබල් පද මුල් භාෂාවේ සඳහන් වෙලා තිබුණේ කොහොමද කියන එක ගැන අවබෝධය තවත් වැඩි වෙලා. මළ මුහුද අසලින් හොයගත්ත ලියවිලිවල පිටපතුත් අධ්‍යයනය සඳහා පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. හුඟක් ග්‍රීක අත්පිටපතුත් මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම හුඟක් අත්පිටපත් පරිගණකගත කරලා තියෙන නිසා එකිනෙක සන්සන්දනය කරලා වෙනස්කම් හඳුනගන්න පහසුයි. මොන අත්පිටපත්ද මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලිවලට කිට්ටුවෙන්ම යන්නේ කියන කාරණය තීරණය කරන්න ඒක උදව්වක්. ඒ හැම පහසුකමක්ම ප්‍රයෝජනයට ගත්ත නව ලොව පරිවර්තන කමිටුව සමහර බයිබල් පදවල වෙනස්කම් කරලා තියෙනවා.

උදාහරණෙකට ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ 2 සාමුවෙල් 13:21 තිබුණු මේ කොටස කලින් ‘නව ලොව පරිවර්තනයට’ ඇතුළත් කරලා තිබුණේ නැහැ. එතන සඳහන් වුණේ මෙහෙමයි. “අම්නොන් දාවිත්ගේ කුලුඳුල් පුත්‍රයා වූ නිසා ඔහු ඔහුට හුඟක් ආදරේ කළේය. ඒ නිසා ඔහු අම්නොන්ගේ සිත රිදෙන කිසිවක් පැවසුවේ නැත.” ඒ කොටස කලින් පරිවර්තයේ සඳහන් වුණේ නැත්තේ හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිලිවල ඒක තිබුණේ නැති නිසයි. ඒත් මළ මුහුද අසලින් හොයාගත්ත ලියවිලිවලත් ඒ කොටස සඳහන් වෙන නිසා අලුත් පරිවර්තනයට ඒක ඇතුල් කළා. ඒ හා සමාන හේතු සැලකිල්ලට අරගෙනයි පළවෙනි සාමුවෙල් පොතේ කලින් දෙවිගේ නම සඳහන් නොවුණු තැන් 5කට ඒක ඇතුළත් කළේ. මතෙව් 21:29-31 අදහස් පෙළගස්සලා තියෙන විදිහ වෙනසක් කරලා තියෙන්නෙත් ග්‍රීක අත්පිටපත් ගැඹුරින් අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි. සමහර වෙනස්කම් කරලා තියෙන්නේ අත්පිටපත් රාශියක් අධ්‍යයනය කරලා ලබාගත්ත සාක්ෂි අනුව මිසක් පිළිගත්ත එක අත්පිටපතකට ඇලිලා ඉඳලා නෙමෙයි කියලා පැහැදිලි.

2013 සංශෝධනය කරපු ‘නව ලොව පරිවර්තනයේ’ කරලා තියෙන වෙනස්කම් කීපයක් විතරයි මේ ලිපියෙන් බැලුවේ. ඒ වෙනස්කම් නිසා දැන් ඒක කියවන්න හරිම පහසුයි. තේරුම්ගන්නත් ලේසියි. ඒක යෙහෝවා දෙවිගෙන් ලැබුණු තෑග්ගක් කියලා අපිට නිසැකයි.