Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ඔයාව උසුලයි

යෙහෝවා දෙවි ඔයාව උසුලයි

“ඔහු අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වනු ඇත.”—ගීතා. 41:3.

ගීතිකා: 23, 138

1, 2. දෙවි අතීතයේදී කළේ මොනවද? අසනීපෙන් ඉද්දී සමහරුන්ට කොහොම හිතෙන්න පුළුවන්ද?

ඔයා කවදා හරි බරපතළ විදිහට අසනීප වෙලා තියෙනවද? පවුලේ කෙනෙක්, යාළුවෙක් අසනීපෙන් ඉඳලා තියෙනවද? ඒ වෙලාවලදී ‘මේ අසනීපේ හොඳ වෙයිද’ කියලා ඔයාට හිතෙන්න ඇති. ඇත්ත, නිරෝගී සෞඛ්‍යයක් තියෙනවට හැමෝම කැමතියි. බරපතළ විදිහට අසනීප වුණු වෙලාවලදී ඒක හොඳ වෙයිද කියලා දැනගන්න ආසාවෙන් හිටපු අය ගැන බයිබලෙත් තියෙනවා. අහසියා රජ හා බෙන්-හාදද් රජ ඒ වගේ දෙන්නෙක්.—2 රාජා. 1:2; 8:7, 8.

2 යෙහෝවා දෙවි බරපතළ අසනීප සුව කරපු අවස්ථා ගැනත් මිය ගිය අයව නැවත නැඟිටවපු අවස්ථා ගැනත් බයිබලේ සඳහන් වෙනවා. (1 රාජා. 17:17-24; 2 රාජා. 4:17-20, 32-35) ‘දෙවි ඒ වගේ මාවත් සුව කරයිද’ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්.

3-5. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් බලය තියෙන්නේ මොනවා කරන්නද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 මිනිසුන්ට අසනීපවලින් දඬුවම් කරන්න, ලෙඩවලින් ආරක්ෂා කරන්න වගේම සුව කරන්නත් යෙහෝවා දෙවිට බලය තියෙනවා. ආබ්‍රහම්ගේ කාලේ හිටපු පාරාවෝත් මෝසෙස්ගේ සහෝදරියත් අසනීප වුණේ දෙවි දුන්න දඬුවමක් නිසයි. (උත්. 12:17; ගණන්. 12:9, 10; 2 සාමු. 24:15) ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වුණු වෙලාවලදී දෙවි ඔවුන්ට “වසංගත හා රෝගවලින්” දඬුවම් කළා. (ද්වි. 28:58-61) දෙවි ඔවුන්ව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරපු අවස්ථා ගැනත් බයිබලේ තියෙනවා. (නික්. 23:25; ද්වි. 7:15) දෙවි සමහරුන්ගේ අසනීප සුව කරපු අවස්ථා ගැනත් සඳහන් වෙනවා. යෝබ්ව සුව කරපු අවස්ථාව ඒකට උදාහරණයක්.—යෝබ් 2:7; 3:11-13; 42:10, 16.

4 අසනීප සුව කරන්න දෙවිට පුළුවන් කියලා අපිට නිසැකයි. යේසුස්ටත් ඒ දේ කරන්න බලය තියෙනවා. ලාදුරු, මීමැස්මොරය වගේ ලෙඩ තිබුණු හුඟක් අයව ඔහු සුව කළා. අන්ධ අයට පෙනීම දෙන්න, අංශභාග රෝගීන්ව සුව කරන්න ඔහුට පුළුවන් වුණා. (මතෙව් 4:23, 24 කියවන්න; යොහ. 9:1-7) යේසුස් පාරාදීසයේදී කරන්න යන පුදුමාකාර දේවල් දිහා ආසාවෙන් බලාගෙන ඉන්න ඒ ආශ්චර්යයන් අපිට උදව්වක්. එදාට “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැහැ.”—යෙසා. 33:24.

5 ඒත් මේ කාලෙදී අපි බරපතළ විදිහට අසනීප වුණොත් යෙහෝවා දෙවි ආශ්චර්යයක් කරලා අපිව සුව කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ප්‍රතිකාර ක්‍රම තෝරගද්දී හිතන්න ඕන මොන පැති ගැනද?

යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න

6. මුල් සියවසේ ක්‍රිස්තියානීන් කරපු ආශ්චර්යයන් ගැන බයිබලේ කියන්නේ මොනවද?

6 මුල් සියවසේදී සමහරුන්ට ආශ්චර්යයන් කරන්න යෙහෝවා දෙවි බලය දුන්නා. (ක්‍රියා 3:2-7; 9:36-42) සුව කරන්න, විවිධ භාෂාවලින් කතා කරන්න ඒ අයට පුළුවන් වුණේ ඒ නිසයි. (1 කොරි. 12:4-11) ඒත් බයිබලේ කියලා තිබුණු විදිහටම කාලයක් ගියාට පස්සේ ඒ හැකියාවන් නැතුව ගියා. (1 කොරි. 13:8) ඒ නිසා අද අපිව, අපි ආදරේ කරන අයව දෙවි ආශ්චර්යයක් කරලා සුව කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

7. ගීතාවලිය 41:3 කියන දේ අපිට ශක්තියක් වෙන්නේ කොහොමද?

7 ඒත් ඒකෙන් අදහස් කරන්නේ අසනීප වුණාම යෙහෝවා දෙවි ඔයාව අත්හරිනවා කියන දේ නෙමෙයි. ඒ වෙනුවට දෙවි ඔයාට උදව් කරනවා. සහනයක් වෙනවා. දාවිත් කියන දේ බලන්න. “අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය. මන්ද ඔහු දුක් කරදරවලට මුහුණ දෙන විටදී යෙහෝවා දෙවි ඔහුට ගැලවීමට මාර්ගයක් සලසා දෙන්නේය. යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කර ඔහුගේ ජීවිතය රැක දෙන්නේය.” (ගීතා. 41:1, 2) අසරණ අය ගැන සැලකිලිමත් වුණු යහපත් අය මිය යන්නේ නැතුව ආශ්චර්යවත් විදිහට සදහටම ජීවත් වෙනවා කියලා දාවිත් අදහස් කළේ නැහැ. ඔහු අදහස් කළේ ඒ වගේ යහපත් අය අමාරු දේවලට මුහුණ දෙද්දී දෙවි ඒ අයව උසුලනවා කියන එකයි. දාවිත් මෙහෙම කියනවා. “ඔහු අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වනු ඇත. දෙවි ඔහුව රැකබලා ගනු ඇත.” (ගීතා. 41:3) තමන්ගේ සේවකයන් විඳින වේදනාව දෙවිට තේරෙනවා. ඔහු ඒ අයව කවදාවත් අමතක කරන්නේ නැහැ. අවශ්‍ය ශක්තිය, දිරිය, ප්‍රඥාව දීලා උදව් කරනවා. දෙවි මිනිස් සිරුර නිර්මාණය කළෙත් ලෙඩ රෝගවලින් සුව වීමේ හැකියාව ඇතුවයි.

8. ගීතාවලිය 41:4 තියෙන විදිහට දාවිත් අසනීපෙන් ඉද්දී දෙවිගෙන් ඉල්ලුවේ මොකක්ද?

8 දාවිත් ඔහු බරපතළ විදිහට අසනීප වෙලා, දුර්වල වෙලා හිටපු කාලය ගැනත් 41වෙනි ගීතිකාවේ සඳහන් කළා. පේන විදිහට ඒ, අබ්සලොම් ඔහුගෙන් රජකම පැහැරගන්න හදපු කාලයයි. ඒ කාලේ දාවිත් හිටියේ අසනීපෙන් නිසා අබ්සලොම්ව නතර කරන්න තරම් ශක්තියක් ඔහුට තිබුණේ නැහැ. ඔහු දෙවිට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි.” (ගීතා. 41:4) මේ තරම් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ බැත්-ෂෙබා එක්ක අනාචාරයේ යෙදිලා කරපු වරද නිසයි කියලා දාවිත් අමතක කළේ නැහැ. (2 සාමු. 12:7-14) ඒ වරදට දෙවි සමාව දුන්නා කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා අසනීපෙන් ඉද්දී යෙහෝවා දෙවි ඔහුව උසුලනවා කියලත් ඔහුට පිළිසරණක් වෙනවා කියලත් දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් ඔහු බලාපොරොත්තු වුණේ දෙවි ආශ්චර්යයක් කරලා ඔහුව සුව කරයි කියලද?

9. (අ) යෙහෝවා දෙවි හෙසකියා වෙනුවෙන් කළේ මොකක්ද? (ආ) දාවිත් දෙවිගෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද?

9 අසනීපෙන් හිටපු සමහරුන්ව යෙහෝවා දෙවි සුව කළා තමයි. උදාහරණෙකට හෙසකියා රජු අසනීප වෙලා මරණාසන්නව ඉද්දී දෙවි ඔහුව සුව කළා. ඊටපස්සේ ඔහු තව අවුරුදු 15ක් ජීවත් වුණා. (2 රාජා. 20:1-6) ඒත් දාවිත්, දෙවි ආශ්චර්යයක් කරලා තමන්ව සුව කරයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු බලාපොරොත්තු වුණේ ‘අසරණ අය ගැන සැලකිලිමත් වන කෙනෙකුට’ දෙවි උදව් කරන විදිහටම ඔහුටත් උදව් කරයි කියලා. සාමාන්‍යය විදිහට සුවය ලබන්න උදව් කරන්න කියලයි ඔහු දෙවිගෙන් ඉල්ලුවේ. දාවිත්ට දෙවි එක්ක තිබුණේ කිට්ටු බැඳීමක්. අසනීපෙන් ඉද්දී ඔහුව රැකබලා ගන්න, ඔහුට පිළිසරණක් වෙන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. අපිටත් දෙවිගෙන් ඒ දේම ඉල්ලන්න පුළුවන්.—ගීතා. 103:3.

10. ත්‍රොෆිමස් සහ එපෆ්‍රොදිතස් සම්බන්ධ සිද්ධීන්වලින් අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද?

10 පාවුල්ට සහ ඒ කාලේ හිටපු තවත් අයට අසනීප සුව කරන්න හැකියාව තිබුණත් අසනීප වුණු දෙවිගේ හැම සේවකයෙක්වම ඒ අය සුව කළේ නැහැ. (ක්‍රියා 14:8-10 කියවන්න.) පාවුල්, උණ සහ අතීසාරයෙන් පෙළුණු පබ්ලියස්ගේ තාත්තා “ළඟට ගොස් යාච්ඤා කර ඔහු පිට අත් තබා ඔහුව සුව කළා.” (ක්‍රියා 28:8) ඒත් පාවුල් එක්ක මිෂනාරි ගමනකට හවුල් වුණු ඔහුගේ යාළුවෙක් වුණු ත්‍රොෆිමස් අසනීප වුණාම පාවුල් ආශ්චර්යයක් කරලා ඔහුව සුව කළේ නැහැ. (ක්‍රියා 20:3-5, 22; 21:29) ඒ වෙනුවට ත්‍රොෆිමස් මිලේටස්වල නතර වෙලා සුව වෙන කල් විවේක ගත්තා. (2 තිමෝ. 4:20) පාවුල්ගේ තවත් යාළුවෙක් වුණු එපෆ්‍රොදිතස් මැරෙන තරමටම අසනීප වුණත් ආශ්චර්යයක් කරලා පාවුල් ඔහුව සුව කළා කියලා බයිබලේ කියන්නේ නැහැ.—ෆිලි. 2:25-27, 30.

හැම යෝජනාවක්ම පිළිගන්න ඕනෙද?

11, 12. ලූක් ගැන අපි දන්නේ මොනවද? ඔහු පාවුල්ට උපකාර කරන්න ඇත්තේ කොහොමද?

11 පාවුල් එක්ක මිෂනාරි ගමන්වලට හවුල් වුණු ලූක්, වෛද්‍යවරයෙක්. (ක්‍රියා 16:10-12; 20:5, 6; කොලො. 4:14) ගමන් අතරතුරේ පාවුල් සහ ඔහුත් එක්ක හිටපු අනිත් අය අසනීප වුණාම ලූක් එයාලට බේත්හේත් කරන්න ඇති. (ගලා. 4:13) යේසුත් කිව්වේ ‘රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ’ උදව් ඕනෙ කියලයි.—ලූක් 5:31.

12 ලූක් වෛද්‍යවරයෙක් විදිහට පුහුණුව ලැබුවේ කොහේද, කොයි කාලෙද කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒත් පාවුල් කොලොස්සි සභාවට ලියද්දී ලූක් ඒ හැමෝවම ආදරෙන් මතක් කළා කියලා සඳහන් කළා. ඒ අය ලූක්ව දැනගෙන හිටියා කියලා ඒකෙන් පැහැදිලියි. කොලොස්සියට කිට්ටුවෙන් තිබුණු ලවෝදිසියේ වෛද්‍ය විද්‍යාලයක් තිබුණා. ලූක් පුහුණු වෙන්න ඇත්තේ ඒ පාසැලෙන් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලූක් පොත සහ ක්‍රියා පොත ලියද්දීත් වෛද්‍ය විද්‍යාවේ යොදාගන්න වචන ලූක් පාවිච්චි කරලා තියෙනවා. යේසුස් මිනිසුන්ව සුව කරපු සිද්ධීන් ගැන ඔහුගේ වාර්තාවල හුඟක් සඳහන් වෙනවා. ඒ දේවලින් පැහැදිලි වෙන්නේ ඔහු හොඳින් පුහුණු වුණු වෛද්‍යවරයෙක් කියලයි. එහෙම නැතුව යම් ප්‍රතිකාර ගැන උඩින් පල්ලෙන් දැනගෙන උපදෙස් දුන්න කෙනෙක් නෙමෙයි.

13. ශරීර සෞඛ්‍යය ගැන උපදෙස්, යෝජනා දෙද්දී සහ ලැබෙද්දී මතක තියාගන්න ඕනෙ මොකක්ද?

13 ආශ්චර්යයක් කරලා අසනීප සුව කරන්න අද ඉන්න සහෝදරයන් කාටවත් බැහැ. ඒත් උදව් කරන්න තියෙන කැමැත්ත නිසා සමහරු අපි ඇහැව්වේ නැතත් ඒවා ගැන යම් උපදෙස්, යෝජනා දෙන්න පුළුවන්. ඒවාවලින් සමහරක් පොදුවේ හැමෝම වගේ කරන, හානියක් නොවෙන දේවල් වෙන්න පුළුවන්. උදාහරණෙකට තිමෝතිට තිබුණු උදරාබාධයකට ප්‍රතිකාරයක් විදිහට වයින් ටිකක් බොන්න කියලා පාවුල් කිව්වා. සමහරවිට අපිරිසිදු වතුර නිසා තිමෝතිට ඒ අසනීපේ හැදෙන්න ඇති. * (1 තිමෝති 5:23 කියවන්න.) ඒත් ලැබෙන යෝජනා ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. යම් ඖෂධයක්, ආයුර්වේද ප්‍රතිකාරයක් ගැන නිතරම කියලා ඒක ලබාගන්න අපි තුළ කැමැත්තක් ඇති කරන්න සහෝදරයෙක් උත්සාහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කෑම කන්න හොඳයි කියලත් තවත් ඒවා කන්න එපා කියලත් කියයි. ඒ විදිහට කරලා එයාගේ පවුලේ කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලැබුණා කියලත් කියයි. ඒත් කෙනෙකුට සාර්ථක වුණු දෙයක් අනිත් අයටත් ඒ විදිහටම සාර්ථක වෙයි කියලා හිතන්න බැහැ. ගොඩක් අය අතරේ ජනප්‍රිය වුණු ඖෂධයකින්, ප්‍රතිකාරයකින් වුණත් හානියක් වෙන්න පුළුවන් කියන දේත් මතක තියාගන්න.—හිතෝපදේශ 27:12 කියවන්න.

කිරලා මැනලා බලන්න

14, 15. (අ) අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ අයගෙන්ද? (ආ) හිතෝපදේශ 14:15න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 හැමෝටම ඕනෙ හොඳ ශරීර සෞඛ්‍යයක් ඇතුව ඉන්න. එතකොට සතුටින් ජීවත් වෙන්නත් යෙහෝවා දෙවිට වැඩිපුර සේවය කරන්නත් පුළුවන්. ඒත් අපි කවුරුත් පරිපූර්ණ නැහැ. ඒ නිසා ලෙඩ රෝග හැදෙන එක වළක්වන්න බැහැ. රෝගයකට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙන්න පුළුවන්. අපි තෝරගන්නේ මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා තීරණය කරන්න අපිට අයිතියක් තියෙනවා. එතනදී අපි පරෙස්සම් වෙන්න ඕනේ. අපේ ලෙඩ සුව කරන්න පුළුවන් ප්‍රතිකාර තමන් ළඟ තියෙනවා කියලා සමහර පුද්ගලයන්, ආයතන ප්‍රචාරය කරනවා. තවත් අය සුවය ලබන්න නම් මිල අධික ඖෂධ පාවිච්චි කරන්න ඕනෙ කියන අදහස ප්‍රචලිත කරනවා. එහෙම කරන්නේ වැඩියෙන් ලාභ ලබාගන්නයි. තමන්ගෙන් හුඟක් අය ප්‍රතිකාර ගන්නවා කියලත් ඒ අය සුව වුණා කියලත් ඔවුන් ප්‍රසිද්ධ කරනවා. අපි ඉන්නේ අසනීපෙන් නම් ඒක හොඳ කරගෙන තව වැඩි කාලයක් ජීවත් වෙන්න උදව් වෙන ඕනම ප්‍රතිකාරයක් ගන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒත් බයිබලේ දෙන මේ උපදෙස මතක තියාගන්න. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝ. 14:15.

15 අපි සිහිබුද්ධියෙන් වැඩ කරන අය නම් අනිත් අය කියන දේවල් පිළිගන්න කලින් දෙපාරක් හිතනවා. විශේෂයෙන්ම යෝජනා දෙන කෙනා ඒ ප්‍රතිකාර ක්‍රමය ගැන හොඳ පුහුණුවක් ලබලා නැත්නම් අපි පරෙස්සම් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘අහවල් විටමින් එක, ආයුර්වේද බෙහෙත, ආහාර පාලන ක්‍රමය නිසා හුඟක් අයට ප්‍රයෝජන ලැබිලා තියෙනවා කියලා කිව්වත් ඒක ඇත්තක් කියලා පිළිගන්න සාක්ෂි තියෙනවද? ඒකෙන් අනිත් අයට ප්‍රයෝජන ලැබුණට ඒක මට හරියයි කියලා හරියටම කියන්න පුළුවන්ද? ඒ ගැන තව විස්තර හොයලා බලන එක හොඳ නැද්ද? මගේ ලෙඩේට ප්‍රතිකාර කරන්න හොඳින් පුහුණු වුණු කෙනෙක්ගෙන් ඒ ගැන අහන එක හොඳ නැද්ද?’—ද්වි. 17:6.

16. සෞඛ්‍යයට සම්බන්ධ තීරණ ගද්දී හිතලා බලන්න ඕනෙ මොන පැති ගැනද?

16 කරන්න ඕනෙ මොන වගේ පරීක්ෂණයක්ද ප්‍රතිකාරයක්ද කියලා තීරණයක් ගද්දී ඒක “හොඳ සිහිකල්පනාවෙන්” කරන්න ඕනේ. (තීත. 2:12) විශේෂයෙන්ම ඒ පරීක්ෂණය, ප්‍රතිකාරය සාමාන්‍යයෙන් කරන ඒවාට වඩා වෙනස් නම් කල්පනාකාරී වෙන්න. ඒක කරන්න කියලා නිර්දේශ කරන වෛද්‍යවරයාට ඒ ගැන හොඳින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ පැහැදිලි කිරීමේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට හිතෙනවද? ඒ ප්‍රතිකාරයෙන් හුඟක් අය සුව වෙනවා කියලා වෛද්‍යවරු වැඩිදෙනෙක් පිළිගන්නවද? (හිතෝ. 22:29) සමහරවිට ඒ ප්‍රතිකාරය හොයාගෙන තියෙන්නේ ඈත පළාතක නිසා තාමත් හුඟක් වෛද්‍යවරු ඒ ගැන දන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒකෙන් සුව වෙනවා කියන්න සාක්ෂි තියෙනවද? සමහරු ප්‍රතිකාරවලට භාවිත කරන ඖෂධ ගැන හෙළි කරන්න කැමති නැහැ. නොදන්න බලවේගවල උදව්වෙන් කරන ප්‍රතිකාරත් තියෙනවා. ඒවා හුඟක් භයානකයි. මන්තර ගුරුකම්වලට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්න එපා කියලා යෙහෝවා දෙවි කියලා තියෙනවා.—ද්වි. 18:10-12; යෙසා. 1:13.

“ඔබ සැමට අපගේ සුබ පැතුම්!”

17. අපි හැමෝටම තියෙන ආසාව මොකක්ද?

17 වැළකෙන්න ඕනෙ යම් දේවල් ගැන සඳහන් කරලා එදා හිටපු පාලක මණ්ඩලය සභාවන්ට ලියුමක් යැව්වා. ඒක අවසන් කළේ මෙහෙමයි. “ඔබ සැලකිලිමත් වෙමින් ඒ දේවලින් වැළකී සිටීමට උත්සාහ දරනවා නම් එයින් ඔබට යහපතක් සිදු වනු ඇත. ඔබ සැමට අපගේ සුබ පැතුම්!” (ක්‍රියා 15:29) ලිපියක් අවසානයේදී සුබ පතන එක සාමාන්‍යය දෙයක්. “සුබ පැතුම්” කියද්දී ඒකට ‘නිරෝගී සුවය ලැබෙන්න’ කියන ප්‍රාර්ථනයත් ඇතුළත් වුණා. ඒකෙන් තේරෙන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් ඇතුව ඉන්න තියෙන ආසාව වැරදි නැහැ කියලයි. නිරෝගීව ඉද්දී දෙවිට වැඩි සේවයක් කරන්නත් පුළුවන්.

අපි හැමෝම ආස නිරෝගීව ඉන්නයි. එතකොට දෙවිට වැඩි සේවයක් කරන්න පුළුවන් (17 ඡේදය බලන්න)

18, 19. පාරාදීසයේ ජීවිතය මොන වගේ එකක්ද?

18 පව්කාරකම උරුම කරගත්ත අය නිසා අපිට ලෙඩ රෝග හැදෙනවා. ඒත් යෙහෝවා දෙවි ආශ්චර්යයක් කරලා අපිව සුව කරයි කියලා මේ කාලෙදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ දෙවි අපිට සම්පූර්ණ සුවයක් ලබා දෙන ලස්සන අනාගතය දිහායි. හැම කෙනෙක්ටම සුවයක් ගෙන දෙන “ජීවන වතුර” සහ “ජීවන වෘක්ෂ” ගැන එළිදරව් 22:1, 2 කතා කරනවා. දැනුත් අනාගතයෙදීත් අපිට සුවයක් ලබාගන්න උදව් වෙන ඖෂධයක් ඒවාවලින් නියෝජනය කරන්නේ නැහැ. ඒ වෙනුවට සදාකාල ජීවනය ලබා දෙන්න යෙහෝවා දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කරන හැම දෙයක්ම ඒවාවලින් නියෝජනය වෙනවා.—යෙසා. 35:5, 6.

19 ඒ පොරොන්දුව ඉටු වෙන දවස එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒත් ඒ අතරතුරේ අසනීප නිසා අපි විඳින වේදනාව දෙවි තේරුම්ගන්නවා කියලා අපිට ස්ථිරයි. මොකද අපි එක් එක් කෙනා ගැන දෙවිට තියෙන්නේ නොමියන ආදරයක්. යෙහෝවා දෙවි අපිව අත්හරින්නේ නැහැ කියලා දාවිත්ට වගේ අපිටත් නිසැකයි. මොන අමාරු තත්වයකට මුහුණ දුන්නත් විශ්වාසවන්ත අයව දෙවි උසුලනවා.—ගීතා. 41:12.

^ 13 ඡේ. උණසන්නිපාතය වගේ භයානක රෝගවලට හේතු වෙන ක්ෂුද්‍ර ජීවීන් වයින්වලින් විනාශ වෙනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා.—The Origins and Ancient History of Wine.