Skip to content

පටුනට යන්න

අද දින ඇසෙන හොරණෑ හඬට කීකරු වෙන්න

අද දින ඇසෙන හොරණෑ හඬට කීකරු වෙන්න

මේ “අවසාන කාලයේ” යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්නනවා කියලත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අවශ්‍ය පෝෂණය දෙනවා කියලත් අපිට ස්ථිරයි. (2 තිමෝ. 3:1) ඒත් ඒකෙන් ප්‍රයෝජන ලබන්න නම් අපි ඔහුට කීකරු වෙන්න ඕනේ. අද අපි ඉන්න තත්වය පාළුකරයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ තත්වයට සමානයි. එයාලට සිද්ධ වුණා එයාලට ඇහුණ හොරණෑ හඬට කීකරු වෙන්න.

යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා රිදී තළලා හොරණෑ දෙකක් හදන්න කියලා. එහෙම කිව්වේ “සෙනඟ එකට එක් රැස් කිරීම සඳහාත් කඳවුර වෙනත් තැනකට ගෙන යෑමට සූදානම් කිරීම සඳහාත්” සෙනඟට දැනුම් දෙන්නයි. (ගණන්. 10:2) හොරණෑව පිඹලා දෙන සංඥාවට අනුව සෙනඟ තේරුම්ගත්තා එයාලා මොනවාද කරන්න ඕනෙ කියලා. (ගණන්. 10:3-8) අද ඉන්න දෙවියන්ගේ සෙනඟටත් විවිධ විදිවලින් මඟ පෙන්වීම් ලැබෙනවා. අපිට ඒ මඟ පෙන්වීම් ලැබෙන විදි තුනක් ගැනත් ඒවා හොරණෑ හඬවලින් දුන්න සංඥාවලට සමාන වෙන්නේ කොහොමද කියලත් බලමු. (1) විශාල රැස්වීම් සඳහා ලැබෙන ආරාධනා. (2) වැඩිමහල්ලන්ට ලැබෙන පුහුණු වැඩසටහන්. (3) සභාවේ වැඩකටයුතු කරන විදිහේ සිදු වෙන වෙනස්කම්.

විශාල එක්රැස්වීම්වලට ලැබෙන ආරාධනා

“මුළු සෙනඟම” ඇවිත් ශුද්ධ කූඩාරමේ නැඟෙනහිර පැත්තේ තිබුණ ඇතුල් වෙන ස්ථානයට එකතු වෙන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වාම පූජකයන් හොරණෑ දෙකම පිඹිනවා. (ගණන්. 10:3) ඊශ්‍රායෙල්වරු කූඩාරම් හදාගෙන හිටියේ ශුද්ධ කූඩාරම වටේ. ඒ කොටස් හතරක් විදිහට. හොරණෑ පිඹිද්දී ඒ හඬ හැමෝටම ඇහුණා. ඇතුල් වෙන ස්ථානයට කිට්ටුවෙන්ම හිටපු ගෝත්‍රවල අයට එතනට විනාඩි කීපයක් ඇතුළත එන්න පුළුවන්කම තිබුණා. අනිත් පැතිවල හිටපු අයට එතනට එන්න ඊට වඩා වැඩි කාලයක් ගියා වගේම වැඩි වෙහෙසක් දරන්නත් වුණා. සෙනඟ ඇතුල් වෙන තැනට කිට්ටුවෙන් හිටියත් දුරින් හිටියත් යෙහෝවා දෙවියන්ට ඕනෙ වුණේ ඒ හැමෝම එන්න කියපු අවස්ථාවේ එතනට ඇවිත් දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්නවා දකින්නයි.

අද අපි ශුද්ධ කූඩාරමක් අසල රැස් වෙන්නේ නැහැ. ඒත් දෙවියන්ගේ සෙනඟ එක් රැස් වෙන අවස්ථාවලට සහභාගි වෙන්න අපිට ආරාධනා ලැබෙනවා. ඒවාට තුන්දින සමුළු සහ දෙවියන්ගේ මඟ පෙන්වීම් ලැබෙන වෙනත් විශේෂ අවස්ථාවන් ඇතුළත්. ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟට ඒ වැඩසටහන්වලින් එකම මඟ පෙන්වීම් ලැබෙනවා. ඒ ආරාධනා පිළිගන්න අය ලොකු සතුටක් අද්දකිනවා. ඒවාට සහභාගි වෙන සමහරුන්ට අනිත් අයට වඩා ලොකු දුරක් ගෙවාගෙන යන්න වෙනවා. ඒත් ඒ වෑයම අපතේ යන්නේ නැහැ කියලා එයාලා දන්නවා.

ඒ එක්රැස්වීම් තියෙන තැන්වලට ගොඩක් ඈතින් තියෙන පොඩි පොඩි කණ්ඩායම් ගැන මොනවාද කියන්න පුළුවන්? අලුත්ම තාක්ෂණය නිසා එයාලටත් ඒ රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන්. උදාහරණෙකට ලෝක මූලස්ථාන නියෝජිතගේ පැමිණීම වෙනුවෙන් බෙනින් රටේ ශාඛා කාර්යාලයෙන් විශාල එක්රැස්වීමක් සංවිධානය කළා. ඒ වැඩසටහන නයිජර්වල තිබුණ ආලිට් කියන පොඩි නගරයේ හිටපු කණ්ඩායමකටත් විකාශනය කළා. ආලිට් කියන්නේ සහරා කාන්තාරයේ තිබුණ පොඩි නගරයක්. ආලිට් නගරයේ හිටපු සහෝදර සහෝදරියන් සහ උනන්දුව දක්වපු 21දෙනෙක් ඒ අවස්ථාවට සහභාගි වුණා. එයාලට දැනුණේ බෙනින්වල හිටපු 44,131දෙනාත් එක්ක එකට ඉඳගෙන ඒ වැඩසටහනෙන් ප්‍රයෝජන ලැබුවා වගෙයි. එක සහෝදරයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “ඒ වැඩසටහන සජීවීව විකාශනය කරලා ඒකට හවුල් වෙන්න අපිටත් අවස්ථාව දුන්නාට ගොඩක් ස්තුතියි. ඔයාලගේ හිතේ අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා ඒකෙන් ඔප්පු වුණා.”

වැඩිමහල්ලන් සඳහා තියෙන පුහුණු වැඩසටහන්

පූජකයන් එක හොරණෑවක් පිම්ඹොත් “ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි පත් කර ඇති අධිපතීන්” සම්මුඛ වීමේ කූඩාරම ළඟට එන්න ඕනේ. (ගණන්. 10:4) එතනදී එයාලට මෝසෙස්ගෙන් මඟ පෙන්වීම් සහ පුහුණුව ලැබුණා. ඒක එයාලට උදව් වුණා එයාලගේ ගෝත්‍රවල හිටපු අය වෙනුවෙන් එයාලට කරන්න තිබුණ වගකීම් හොඳින් කරන්න. හිතන්න, ඔයාත් ඒ අධිපතියෙක් කියලා. එතනට ගිහින් ප්‍රයෝජන ලබන්න ඔයා ඔයාට පුළුවන් උපරිමය කරන්නේ නැද්ද?

අද ඉන්න වැඩිමහල්ලන් “අධිපතීන්” නෙමෙයි. එයාලා යටතේ ඉන්න දෙවියන්ගේ රැළට එයාලා අනිසි විදිහට බලය පෙන්නන්නෙත් නැහැ. (1 පේතෘ. 5:1-3) ඒ වුණත් එයාලා දෙවියන්ගේ රැළ රැකබලා ගන්න එයාලගේ උපරිමය කරනවා. පත් කළ සහෝදරයන් සඳහා පාසැල සහ තවත් ඒ වගේ පාසැල්වලට එයාලට එන්න කියලා ආරාධනා කරද්දී එයාලා කැමැත්තෙන්ම ඒවාට සහභාගි වෙනවා. ඒ පුහුණු වැඩසටහන්වලදී සභාවේ වැඩ තවත් හොඳින් කරන්න එයාලා ඉගෙනගන්නවා. ඒ පුහුණුව නිසා වැඩිමහල්ලනුත් සභාවේ ඉන්න හැමෝමත් යෙහෝවා දෙවියන්ට තව ළං වෙනවා. ඔයාට ඒ වගේ පාසැලකට සහභාගි වෙන්න තවමත් අවස්ථාව ලැබිලා නැතත් ඒවාට සහභාගි වුණ අයගෙන් දේවල් ඉගෙනගන්න ඔයාට පුළුවන්.

දැනට තියෙන මඟ පෙන්වීම්වල වෙනස්කම් කරද්දී

ඊශ්‍රායෙල් පූජකයන් සමහර අවස්ථාවලදී උස් හඬක්ද පහත් හඬක්ද නික්මෙන ආකාරයෙන් හොරණෑ පිම්ඹා. ඒ හඬ ඇහෙද්දී සෙනඟ කූඩාරම් ගලවගෙන වෙනත් ස්ථානයකට යන්න පිටත් වෙන්න ඕනේ. (ගණන්. 10:5, 6) සෙනඟ පිටත් වුණේ හරිම පිළිවෙළකට වගේම හරිම සංවිධානාත්මක විදිහට. එහෙම කරන්න එයාලට ලොකු මහන්සියක් දරන්න වුණා. සමහර ඊශ්‍රායෙල්වරු හොරණෑ හඬට කීකරු වෙලා පිටත් වෙන්න ටිකක් අදිමදි කරන්න ඇති. ඒ ඇයි?

සමහරුන්ට මෙහෙම හැඟෙන්න ඇති. ‘වෙන තැනකට යන්න කියලා නිතරම වගේ අපිට කියනවානේ.’ එහෙම නැත්නම් ‘අපිට යන්න කියන්නේ හිතන්නේවත් නැති වෙලාවකනේ’ කියලා එයාලට හිතෙන්න ඇති. “සමහර අවස්ථාවලදී වලා ටැඹ රාත්‍රිය පුරා එහි රැඳී තිබී උදෑසන එතැනින් නැඟී ගියා.” ඒත් තවත් අවස්ථාවලදී ඒ ‘වලා ටැඹ දවස් දෙකක්, මාසයක් හෝ ඊට වැඩි කාලයක්’ එක තැන රැඳිලා තිබුණා. (ගණන්. 9:21, 22) කී පාරක් විතර ඊශ්‍රායෙල්වරුන්ට කඳවුරු ගලවගෙන පිටත් වෙන්න වුණාද? ගණන් කතාව 33වෙනි පරිච්ඡේදයේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගත්ත තැන් 40ක විතර නම් සඳහන් වෙලා තියෙනවා.

සමහර අවස්ථාවලදී සමහර අයට නවතින්න ආරක්ෂාකාරී තැනක් හම්බ වෙන්න ඇති. “භයානක පාළුකරයේ” හිටපු ඒ අයට ඒ වගේ තැනක් හම්බ වුණාම එයාලා සතුටු වෙන්න ඇති. (ද්වි. 1:19) ඒ නිසා ඒ තැන්වලින් පිටත් වෙලා යන්න වුණාම එයාලට හැඟෙන්න ඇති ‘ඊළඟට යන තැන නම් මේ තරම් හොඳ වෙන එකක් නැහැ’ කියලා.

ඊශ්‍රායෙල්වරු කඳවුරු ගලවගෙන පිට වෙලා යද්දී සමහර අයට සිද්ධ වුණා තමන්ගේ අවස්ථාව එන කල් බලන් ඉන්න. හැමෝටම හොරණෑ හඬ ඇහුණත් හැමෝටම එකම වෙලාවේ පිට වෙලා යන්න බැහැ. උස් පහත් හඬින් හොරණෑ පිම්ඹාම නැඟෙනහිර පැත්තේ හිටපු යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන් ගෝත්‍රයේ අය මුලින්ම පිට වෙලා යන්න ඕනේ. (ගණන්. 2:3-7; 10:5, 6) එයාලා පිට වෙලා ගියාට පස්සේ පූජකයන් දෙවෙනි වතාවටත් හොරණෑව උස් පහත් හඬින් පිම්ඹා. එතකොට දකුණු පැත්තේ හිටපු ගෝත්‍ර තුන පිට වෙලා යන්න ඕනේ. ඔය විදිහට කඳවුරේ හිටපු හැමෝම පිට වෙලා යන කල් ඒ දේ සිද්ධ වුණා.

සංවිධානයෙන් කරපු වෙනස්කමකට කීකරු වෙන එක අමාරුයි කියලා හැඟුණ අවස්ථා ඔයාටත් තියෙන්න ඇති. ළඟ ළඟ වෙනස්කම් ගොඩක් වෙනවා කියලා ඔයාට හැඟෙන්න ඇති. එහෙම නැත්නම් යම් සැලැස්මකට ඔයා හුරු වෙලා ඉන්න නිසා ඒක වෙනස් නොවී තිබුණා නම් හොඳයි කියලා ඔයාට හැඟිලා ඇති. ඉවසීමෙන් ඒ වෙනස්කමට හුරු වෙන එක ඔයාට අභියෝගයක් වෙන්න ඇති. ඒ වෙනසට හුරු වෙන්න ඔයාට කාලයක් යන්නත් ඇති. ඒත් වෙනස්කම්වලට කීකරු වෙද්දී ඒ වෙනස නිසා කලින්ට වඩා අපිට ප්‍රයෝජන තියෙනවා කියලා අපි තේරුම්ගනියි. ඒ වෙනසට කීකරු වුණ නිසා යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදත් අපිට අද්දකින්න පුළුවන්.

මෝසෙස්ගේ කාලේදී යෙහෝවා දෙවියන් මිලියන ගාණක් පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන්ට පාළුකරයේදී මඟ පෙන්නුවා. යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්, රැකවරණය එයාලට තිබුණේ නැත්නම් එයාලගේ ජීවිත පවත්වගෙන යන්න එයාලට බැහැ. මේ අවසාන කාලේදී යෙහෝවා දෙවියන් ඔහුට ළං වෙලා ඉන්නත් අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නත් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ නිසා විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරු වගේ අපිත් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අදිටන් කරගමු.