Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 26

“මා ළඟට එන්න”

“මා ළඟට එන්න”

“මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි.”—මලා. 3:7.

ගීතිකාව 102 ‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’

මේ ලිපියෙන් *

1. අක්‍රියාශීලී වුණ කෙනෙක් ආයෙත් දෙවියන්ට සේවය කරන්න පටන්ගද්දී ඒ ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?

අපි කලින් ලිපියේ බලපු විදිහට යෙහෝවා දෙවියන් තමන්ව රැළේ එක් එක් බැටළුවා ගැන සැලකිලිමත් වෙන හොඳ එඬේරෙක්ට සමාන කරනවා. රැළෙන් ඈතට යන බැටළුවන්ව ඔහු හොයනවා. ඔහුව අත්හැරලා ගිය ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි.” අදටත් දෙවියන්ට හැඟෙන්නේ ඒ විදිහටමයි. මොකද “මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා ඔහුම කියනවා. (මලා. 3:6, 7) දෙවියන්ගෙන් ඈත් වුණ ඔහුගේ එක සේවකයෙක් හරි ආයෙත් එද්දී යෙහෝවා දෙවියන්ට, දේවදූතයන්ට ලොකු සතුටක් දැනෙනවා කියලා යේසුස් කිව්වා.—ලූක් 15:10, 32.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 යේසුස් කියපු උපමා තුනක් ගැන අපි බලමු. යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වුණ අයට ආයෙත් දෙවියන් ළඟට එන්න උදව් කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න ඒවා අපිට උදව් වෙයි. අපිට තියෙන්න ඕනෙ ගුණාංග කීපයක් ගැනත් අපි බලමු. අක්‍රියාශීලී වෙලා ඉන්න අයට දෙවියන්ට ආයෙත් සේවය කරන්න උදව් කරන එකෙන් අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන් ඇයි කියලත් අපි බලනවා.

නැති වුණ කාසිය සොයයි

3-4. ලූක් 15:8-10 සඳහන් වෙන ස්ත්‍රිය නැති වුණ කාසිය උනන්දුවෙන් හෙව්වේ ඇයි?

3 යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කැමැත්තෙන් ඉන්න අයව හොයන්න අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. නැති වුණ ඩ්‍රැක්මා කාසියක් හොයන ස්ත්‍රියක් ගැන උපමාවක් යේසුස් කිව්වා. ඒ කාසිය එයාට ගොඩක් වටිනවා. ඒ උපමාවේ අවධානය දෙන්නේ නැති වුණ කාසිය හොයන්න ස්ත්‍රිය ගත්ත උත්සාහයටයි.—ලූක් 15:8-10 කියවන්න.

4 නැති වුණ ඩ්‍රැක්මා කාසිය ආයෙත් හම්බ වුණාම ස්ත්‍රියට හැඟෙන විදිහ යේසුස් විස්තර කරනවා. යේසුස්ගේ කාලේ ඊශ්‍රායෙල් කාන්තාවක් විවාහ වෙන දවසේ සාමාන්‍යයෙන් එයාගේ අම්මා ඩ්‍රැක්මා කාසි දහයක් එයාට දෙනවා. උපමාවේ කතා කරන ස්ත්‍රියට නැති වුණේ ඒ වගේ කාසි දහයකින් එකක් වෙන්න ඇති. ඒකයි ඒක එයාට එච්චරම වටින දෙයක් වුණේ. ඒ ස්ත්‍රිය හිතනවා කාසිය බිම වැටිලා ඇති කියලා. ඒ නිසා එයා පහනක් දල්වාගෙන ඒක හොයනවා. ඒත් ඒක එයාට හම්බ වෙන්නේ නැහැ. පුංචි රිදී කාසිය පේන්න තරම් පහනේ එළිය මදි ඇති. ඒ නිසා එයා පරෙස්සමින් මුළු ගේම අතුගානවා. එතකොට එයා දකිනවා දූවිලි අතරේ එයාගේ වටිනා ඩ්‍රැක්මා කාසිය තියෙනවා. කාසිය හම්බ වුණාම ඒ ගැන කියන්න එයා එයාගේ යාළුවන්ට, අසල්වාසීන්ට එන්න කියනවා.

5. අක්‍රියාශීලී අයව හොයන්න ලොකු වෙහෙසක් දරන්න ඕනෙ ඇයි?

5 යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩමක් තමයි මොකක් හරි නැති වුණාම ඒක හොයාගන්න නම් අපි ලොකු උත්සාහයක් දරන්න ඕනෙ කියන එක. අක්‍රියාශීලී අයව හොයන්නත් අපි මහන්සි වෙන්න ඕනේ. මොකද එයාලගෙන් සමහරදෙනෙක් දෙවියන්ට සේවය කරන එක නවත්තලා දැන් අවුරුදු ගාණක් ගෙවිලා. සමහරවිට එයාලා පදිංචිය මාරු කරලත් ඇති. දැන් ඉන්න ප්‍රදේශයේ සහෝදරයන් එයාලව අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අක්‍රියාශීලී වෙලා ඉන්න සමහරදෙනෙක් ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට එන්න ආසාවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. එයාලට ඕනෙ සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා ආයෙත් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. ඒත් අපේ උදව් නැතුව ඒක කරන්න එයාලට බැහැ.

6. අක්‍රියාශීලී අයව හොයන කාර්යයට සභාවේ හැමෝටම හවුල් වෙන්න පුළුවන් කොහොමද?

6 අක්‍රියාශීලී අයව හොයන කාර්යයට සහය වෙන්න පුළුවන් කාටද? වැඩිමහල්ලන්, පුරෝගාමීන්, අක්‍රියාශීලී වෙලා ඉන්න අයගේ පවුලේ අය ඇතුළුව සභාවේ හැම ප්‍රචාරකයෙක්ටම ඒකට හවුල් වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ කෙනෙක්, යාළුවෙක් සභාවෙන් ඈත් වෙලාද? සේවයේ හවුල් වෙද්දී අක්‍රියාශීලී වුණ කෙනෙක්ව ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ? කවුරු හරි කෙනෙක් ඇවිත් එයාව හම්බ වෙනවාට එයා කැමති නම් එයාගේ ලිපිනය හෝ දුරකථන අංකය සභාවේ වැඩිමහල්ලන්ට දෙන්න ඔයාට පුළුවන් කියලා එයාට කියන්න.

7. තෝමස් කියන වැඩිමහල්ලාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කැමැත්තෙන් ඉන්න අයව හොයන වගකීම විශේෂයෙන්ම තියෙන්නේ වැඩිමහල්ලන්ට. ඒක කරන්න එයාලට පුළුවන් කොහොමද? ස්පාඤ්ඤයේ ඉන්න තෝමස් * කියන වැඩිමහල්ලා කරන දේ බලන්න. මේ වෙද්දී සහෝදර සහෝදරියන් 40කට වඩා වැඩිදෙනෙක්ට ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට එන්න එයා උදව් කරලා තියෙනවා. එයා මෙහෙම කියනවා. “අක්‍රියාශීලී අය දැන් පදිංචි වෙලා ඉන්නේ කොහෙද කියලා දන්නවාද කියලා සහෝදර සහෝදරියන්ගෙන් මං අහනවා. එහෙම නැත්නම් කලින් රැස්වීම් ආපු අයව මතකයිද කියලා මං සභාවේ අයගෙන් අහනවා. සභාවේ අය හරිම කැමැත්තෙන් ඒ තොරතුරු හොයනවා. මොකද අක්‍රියාශීලී අයව හොයන්න එයාලටත් ලොකු ආසාවක් තියෙනවා. මං අක්‍රියාශීලී අයව හම්බ වෙන්න ගියාම එයාලගේ දරුවෝ ගැනත් නෑදෑයන් ගැනත් අහනවා. මොකද ඒ අයගෙන් සමහරු කලින් රැස්වීම් එද්දී එයාලගේ දරුවන්වත් රැස්වීම් අරන් ඇවිත් තියෙනවා. ඒ දරුවෝ ප්‍රචාරකයන් වෙලත් ඉන්න ඇති. යෙහෝවා දෙවියන් ළඟට එන්න ඒ වගේ දරුවන්ටත් උදව් කරන්න ඕනේ.”

නැති වුණ බැටළුවන්ව ආයෙත් ගේන්න

8. ලූක් 15:17-24 සඳහන් උපමාවේ ඉන්න තාත්තා පසුතැවිලි වෙලා ආයෙත් ආපු පුතාට සැලකුවේ කොහොමද?

8 යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කැමැත්තෙන් ඉන්න අයට උදව් කරන්න නම් අපිට තියෙන්න ඕනෙ ගුණාංග මොනවාද? ගෙදර අත්හැරලා ගිය පුතෙක් ගැන යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලන්න. (ලූක් 15:17-24 කියවන්න.) තමන් වැඩ කරලා තියෙන්නේ කොයි තරම් මෝඩ විදිහටද කියලා තේරුම්ගත්තාම පුතා ආයෙත් ගෙදර එන්න තීරණය කරනවා. පුතා එනවා ඈත තියා දකින තාත්තා දුවගෙන ගිහින් එයාව ආදරෙන් වැලඳගන්නවා. තාත්තා එයාට කොච්චර ආදරෙයිද කියලා පුතාට ඒකෙන් දැනෙනවා. තමන් කරපු දේ ගැන දුක් වෙන පුතා තමන්ව පුතෙක් විදිහට සලකන්න වටින්නේ නැහැ කියලා තාත්තාට කියනවා. තාත්තාට එයා ගැන ඇති වෙන්නේ ලොකු අනුකම්පාවක්. ඊටපස්සේ තාත්තා පුතා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පිළියෙල කරලා එයාට හොඳම ඇඳුම් දෙනවා. ඒකෙන් තාත්තා පෙන්නුවා පුතාව කුලීකරුවෙක් හැටියට නෙමෙයි ආදරණීය පුතෙක් හැටියට ආයෙත් පවුලට පිළිගන්නවා කියලා.

9. අක්‍රියාශීලී අයට උදව් කරන්න නම් අපිට තියෙන්න ඕනෙ ගුණාංග මොනවාද? (“ ආයෙත් එන්න කැමැත්තෙන් ඉන්න අයට උදව් කරන්න පුළුවන් කොහොමද?” කියන කොටුව බලන්න.)

9 යෙහෝවා දෙවියන් ඒ උපමාවේ ඉන්න තාත්තා වගේ. අක්‍රියාශීලී වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ඔහු තාමත් ආදරෙයි. එයාලා ආයෙත් ඔහු ළඟට එනවා දකින්නයි ඔහු කැමති. යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්නවා නම් ඒ අයට උදව් කරන්න අපිට පුළුවන්. ඒකට ඉවසීම, අනුකම්පාව, ආදරේ කියන ගුණාංග අපි පෙන්නන්න ඕනේ. ඒ ගුණාංග අපි පෙන්නන්න ඕනෙ ඇයි? ඒ ගුණාංග පෙන්නන්න පුළුවන් කොහොමද?

10. යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කෙනෙක්ට උදව් කරන්න අපිට ඉවසීම තියෙන්න ඕනෙ ඇයි?

10 දෙවියන්ගෙන් ඈත් වුණ කෙනෙක්ට ආයෙත් ඔහු ළඟට එන්න යම් කාලයක් ගත වෙනවා. එහෙම කෙනෙක්ට උදව් කරන්න අපිට ඉවසීම තියෙන්න ඕනේ. අක්‍රියාශීලී වෙලා හිටපු හුඟදෙනෙක් කියන දෙයක් තමයි එයාලා යෙහෝවා දෙවියන්ට ආයෙත් සේවය කරන්න පටන්ගත්තේ වැඩිමහල්ලන් සහ සභාවේ අනිත් අය එයාලව හුඟක් සැරයක් බලන්න ආවාට පස්සෙයි කියලා. ආසියාවේ ජීවත් වෙන සහෝදරි නැන්සි මෙහෙම කියනවා. “සභාවේ මගේ කිට්ටු යාළුවෙක් මට ගොඩක් උදව් කළා. එයා මට එයාගෙම අක්කා කෙනෙක්ට වගේ ආදරේ කළා. ඉස්සර අපි සතුටින් එකට කරපු දේවල් ගැන එයා කතා කළා. මට හැඟුණ විදිහ ගැන කියද්දී එයා ඉවසීමෙන් අහගෙන හිටියා. මට උපදෙසක් දෙන්නත් එයා අදිමදි කළේ නැහැ. ඕනෙම වෙලාවක උදව් කරන්න එයා හිටියේ ලෑස්ති පිට. එයා ඇත්තටම හොඳ යාළුවෙක්.”

11. හිත රිදිලා ඉන්න කෙනෙක්ට උදව් කරන්න නම් අපිට එයා ගැන අනුකම්පාවක් දැනෙන්න ඕනෙ ඇයි?

11 අනුකම්පාව හරියට පෑරුණ හිතක් සුව කරන්න පුළුවන් ඖෂධයක් වගේ. සමහරු අක්‍රියාශීලී වෙන්නේ අවුරුදු ගාණකට කලින් සභාවේ කෙනෙක් කියපු, කරපු දෙයක් නිසයි. ඒ ගැන එයාලා තාමත් ඉන්නේ කේන්තියෙන් වෙන්න පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න එයාලා අදිමදි කරනවා. එයාලට හැඟෙන්නේ එයාලට අසාධාරණයක් වුණා කියලයි. එයාලට හොඳින් සවන් දීලා, එයාලව තේරුම්ගන්න පුළුවන් කෙනෙක්ගේ උදව් එයාලට ඕනේ. (යාකො. 1:19) අක්‍රියාශීලී වෙලා හිටපු මරියා මෙහෙම කියනවා. “මං කියන දේවල් හොඳින් අහගෙන ඉන්න පුළුවන්, මාව සනසන්න පුළුවන්, හොඳ උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්ගේ උදව් මට ඕනෙ වුණා.”

12. යෙහෝවා දෙවියන් පෙන්නන ආදරේ අක්‍රියාශීලී අයව ඔහු වෙතට ඇදලා ගන්නේ කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

12 යෙහෝවා දෙවියන්ට තමන්ගේ සෙනඟ ගැන තියෙන ආදරේ රැහැනකට බයිබලේ සමාන කරලා තියෙනවා. ඒ ඇයි? හිතන්න, බෝට්ටුවක යද්දී ඔයාව මුහුදට වැටිලා ඔයා ගිලෙන්න යනවා කියලා. කවුරු හරි කෙනෙක් ඔයා ළඟට ජීවිත ආරක්ෂක ජැකට් එකක් දානවා. ගිලෙන්නේ නැතුව ඉන්න ඒක ඔයාට උදව් වෙනවා. ඒත් ඔයාගේ ජීවිතේ බේරගන්න නම් ඒ ජැකට් එක දාගෙන විතරක් මදි. ඔයා වතුරෙන් ගොඩට එන්න ඕනේ. ඒකට බෝට්ටුවක ඉන්න කෙනෙක් ඔයා ඉන්න තැනට කඹයක් දාලා ඔයාව බෝට්ටුවට ඇදලා ගන්න ඕනේ. යෙහෝවා දෙවියන් පෙන්නන ආදරේට පුළුවන් අක්‍රියාශීලී වෙලා ඉන්න, මේ සමාජයේ ප්‍රශ්න ගැටලුවල ගිලිලා ඉන්න කෙනෙක්ව ඔහු වෙතට ඇදලා ගන්න. ඔහුගෙන් ඈත් වෙලා ගිය ඊශ්‍රායෙල් සෙනඟ ගැන යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මම ඔවුන්ට කරුණාව හා ප්‍රේමය පෙන්වා මා වෙතට ඇදගන්න උත්සාහ කළෙමි.” (හොෂෙ. 11:4) මේ කාලෙත් යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙලා ගිහින් ඉන්න අය වෙනුවෙන් ඔහු ඒ දේම කරනවා. ඔහුට ඕනෙ ඔහු එයාලට තාමත් ආදරෙයි කියලා එයාලා දැනගන්නවාටයි. එයාලව ආයෙත් ඔහු ළඟට ගන්නයි ඔහුට ඕනේ. ඒ ආදරේ එයාලට දැනෙන්න සලස්වන්න දෙවියන් ඔයාව පාවිච්චි කරයි.

13. අපි පෙන්නන ආදරේ කෙනෙක්ට දෙවියන් ළඟට ආයෙත් එන්න උදව් වෙනවා කියලා පබ්ලෝගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

13 අක්‍රියාශීලී කෙනෙක්ට යෙහෝවා දෙවියන් තාමත් එයාට ආදරෙයි කියලා නිතර නිතර මතක් කරන එක වැදගත්. අපිත් එයාට ආදරෙයි කියලා අපි වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනේ. කලින් ලිපියේ කතා කරපු පබ්ලෝ අවුරුදු 30කට වැඩි කාලයක් අක්‍රියාශීලී වෙලා හිටියා. එයා මෙහෙම කියනවා. “දවසක් මං උදේ ගෙදරින් පිටත් වෙද්දී වයසක, හරිම කරුණාවන්ත සහෝදරියක් මාව හම්බ වෙලා මට කතා කළා. එයාත් එක්ක කතා කරද්දී මං පොඩි ළමයෙක් වගේ අඬන්න පටන්ගත්තා. මාත් එක්ක කතා කරන්න එයාව එව්වේ යෙහෝවා දෙවියන් කියලා මං එයාට කිව්වා. දෙවියන් ළඟට ආයෙත් යන්න මං එදා තීරණය කළා.”

දුර්වල අයට ආදරෙන් උදව් කරන්න

14. ලූක් 15:4, 5 සඳහන් උපමාවට අනුව නැති වුණ බැටළුවාව හම්බ වුණාම එඬේරා කළේ මොකක්ද?

14 අක්‍රියාශීලී වුණ අයව හොයාගත්තාට පස්සේ අපි එයාලට දිගටම උදව් කරන්න ඕනේ. එයාලව දිරිගන්වන්න ඕනේ. යේසුස් කියපු උපමාවේ ගෙදර අත්හැරලා ගිය පුතා වගේ එයාලත් ඉන්නේ ලොකු වේදනාවකින් වෙන්න ඇති. ඒ වේදනාව නැති වෙන්න කාලයක් යයි. යම් කාලයක් එයාලා දෙවියන්ගෙන් ඈත් වෙලා මේ දුෂ්ට සමාජයේ කොටසක් වෙලා හිටිය නිසා දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම දුර්වලයි. යෙහෝවා දෙවියන් ගැන එයාලට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපි එයාලට උදව් කරන්න ඕනේ. නැති වුණ බැටළුවෙක් ගැන යේසුස් කියපු උපමාවේ ඔහු විස්තර කරනවා එඬේරාට බැටළුවාව හම්බ වුණාම එයා මොනවාද කරන්නේ කියලා. එයා බැටළුවාව කරේ තියාගෙන ආයෙත් ඌව රැළට අරන් එනවා. ඒ වෙද්දීත් එඬේරා බැටළුවාව හොයන්න වෙහෙසක්, කාලයක් වැය කරලයි තියෙන්නේ. ඒත් එයා තේරුම්ගන්නවා බැටළුවාට තව උදව් ඕනෙ කියලා. ඌ දුර්වල නිසා රැළට ඇවිදගෙන යන්න ඌට බැහැ. ඒ නිසයි එඬේරා ඌව කරේ තියාගෙන යන්නේ.—ලූක් 15:4, 5 කියවන්න.

15. යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කැමති අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (“ හුඟක් වටින සඟරාවක්” කියන කොටුව බලන්න.)

15 අක්‍රියාශීලී කෙනෙක් ආයෙත් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න නම් අක්‍රියාශීලී වෙන්න හේතු වුණ දෙයින් එයා ගොඩ එන්න ඕනේ. ඒකට එයාට උදව් කරන්න අපි එයා වෙනුවෙන් සෑහෙන කාලයක්, ශක්තියක් වැය කරන්න ඕනේ. යෙහෝවා දෙවියන්ගේ බලයේ උදව් වගේම ඔහුගේ වචනය සහ සංවිධානය ලබා දීලා තියෙන ප්‍රකාශන අපිට තියෙන නිසා අක්‍රියාශීලී වෙලා ඉන්න අයට දෙවියන් එක්ක ආයෙත් කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න අපිට පුළුවන්. (රෝම 15:1) වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ට ආයෙත් සේවය කරන්න තීරණය කරන අක්‍රියාශීලී වෙලා ඉන්න හුඟදෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරන්න ඕනේ. * පාඩම කරන කෙනා අක්‍රියාශීලී වෙලා ඉන්න කෙනාට විශ්වාසය තියන්න පුළුවන් හොඳ යාළුවෙක් වෙන්න ඕනේ.” ඒ වගේ පාඩමක් කරන්න කියලා වැඩිමහල්ලන් ඔයාට කිව්වොත් ඒක සතුටින් භාරගන්න.

ස්වර්ගයේ ඉන්න අයත් පොළොවේ ඉන්න අයත් සතුටු වෙනවා

16. දේවදූතයන් අපිට උදව් කරයි කියලා අපි දන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවියන් ළඟට ආයෙත් එන්න කැමැත්තෙන් ඉන්න අයව හොයන්න දේවදූතයන් කැමැත්තෙන් ඉන්නවා කියලා පැහැදිලි වෙන අද්දැකීම් ඕනෙ තරම් තියෙනවා. (එළි. 14:6) උදාහරණෙකට ඉක්වදෝරයේ ජීවත් වෙන, අක්‍රියාශීලී වෙලා හිටපු සිල්වියෝ එයාට උදව් කරන්න කාව හරි එවන්න කියලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. එයා යාච්ඤා කරකර ඉද්දීම එයාගේ ගෙදර බෙල් එක වැදුණා. ගිහින් බලද්දී වැඩිමහල්ලන් දෙන්නෙක් එයාව බලන්න ගෙදරට ඇවිත්. සිල්වියෝට උදව් කරන්න වැඩිමහල්ලන් දෙන්නා එදාම අවශ්‍ය පියවර ගත්තා.

17. අක්‍රියාශීලී අයට උදව් කරද්දී අපිට කොහොම හැඟෙයිද?

17 දුර්වල වෙලා ඉන්න කෙනෙක්ට ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට එන්න උදව් කරද්දී අපිට ලොකු සතුටක් දැනෙයි. අක්‍රියාශීලී අයට උදව් කරන්න වෑයමක් දරන පුරෝගාමි සහෝදරයෙක් කියන දේ බලන්න. “කලින් අක්‍රියාශීලී වෙලා හිටපු, දැන් යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන අය ගැන හිතද්දී මගේ ඇස්වලට කඳුළු එනවා. යෙහෝවා දෙවියන් එක්ක එකතු වෙලා ඔහුගේ බැටළුවෙක්ව මේ දුෂ්ට සමාජයේ බලපෑම්වලින් බේරගෙන ආයෙත් සභාවට ගේන්න පුළුවන් වෙන එක කොච්චර නම් දෙයක්ද!”—ක්‍රියා 20:35.

18. ඔයා අක්‍රියාශීලී කෙනෙක් වුණත් ඔයාට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

18 ඔයා යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වුණ කෙනෙක් නම් ඔයාට මේ දේ ගැන ස්ථිර වෙන්න පුළුවන්. ඒ යෙහෝවා දෙවියන් ඔයාට තාමත් ආදරෙයි කියන දේ. ඔයා ආයෙත් ඔහු ළඟට එයි කියලා ඔහු බලාගෙන ඉන්නවා. ඔහු ළඟට ආයෙත් එන්න ඔයා උත්සාහ කරද්දී යේසුස් කියපු උපමාවේ ඉන්න තාත්තා වගේ යෙහෝවා දෙවියනුත් ඔයාව ආදරෙන් පිළිගන්නවා.

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ට ඕනෙ සභාවෙන් ඈත් වෙලා ඉන්න අය ආයෙත් ඔහු ළඟට එනවා දකින්නයි. “මා ළඟට එන්න” කියලා යෙහෝවා දෙවියන් කරන ආරාධනය පිළිගන්න කැමති අයව දිරිගන්වන්න අපිට පුළුවන්. ඒ අයට යෙහෝවා දෙවියන් ළඟට එන්න අපිට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 15 ඡේ. අක්‍රියාශීලී වෙලා ඉන්න සමහරදෙනෙක්ට ‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොතේ සමහර කොටස් සාකච්ඡා කරන එක උදව් වෙලා තියෙනවා. තවත් අයට ‘යෙහෝවාට ළං වන්න’ පොතේ පරිච්ඡේද කීපයක් සාකච්ඡා කරන එක උදව් වෙලා තියෙනවා. අක්‍රියාශීලී කෙනෙක් එක්ක පාඩමක් කරන්න සුදුසු කවුද කියලා තීරණය කරන වගකීම තියෙන්නේ සභාවේ සේවා කමිටුවට.

^ 68 ඡේ. පින්තූරයේ අදහස: ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට එන්න ආසාවෙන් ඉන්න සහෝදරයෙක්ට සහෝදරයන් තුන්දෙනෙක් උදව් කරනවා. එයාලා ඒ සහෝදරයා ගැන හොයලා බලලා, එයාලගේ ආදරේ දැනෙන්න සලස්වලා, එයාට හොඳට ඇහුම්කන් දීලා ඒක කරනවා.