Skip to content

පටුනට යන්න

අඳුරු අතීතයෙන් මිදී

අඳුරු අතීතයෙන් මිදී

අඳුරු අතීතයෙන් මිදී

එවුසේබියෝ මෝර්සියෝ

මම 1993 සැප්තැම්බර් මාසයේදී අධි ආරක්ෂිත බන්ධනාගාරයකට ගියා. එදා තමයි බන්ධනාගාරයේ හිටපු මගේ නංගි (මාරිවී) බව්තීස්ම වුණේ. මම තමයි නංගිව බව්තීස්ම කළේ. එහේ හිටපු තවත් සිරකරුවන් වගේම නිලධාරීන් පිරිසකුත් ඇවිත් ඒ දිහා ගොඩක් උනන්දුවෙන් බලාගෙන හිටියා. කොහොමවුණත් මටයි නංගිටයි බන්ධනාගාරයට යන්න වුණේ ඇයි කියලා පැහැදිලි කරන්න කලින් මං ගැන තොරතුරු ටිකක් ඕගොල්ලන්ට කියන්නම්.

මම ඉපදුණේ 1954 මැයි 5වෙනිදා ස්පාඤ්ඤයේදීයි. මම තමයි අපේ පවුලේ වැඩිමලා. මට සහෝදර සහෝදරියන් හත්දෙනෙක් හිටියා. මාරිවී තුන්වෙනියා. අපේ ආච්චි හරිම භක්තිවන්ත කතෝලිකයෙක්. මට තාම මතකයි ආච්චිත් එක්ක හිටපු කාලේ මමත් කොච්චර භක්තිවන්ත ජීවිතයක් ගත කළාද කියලා. හැබැයි අපේ ගෙදර නම් කිසිම ආගමික වාතාවරණයක් තිබුණේ නැහැ. තාත්තා නිතරම අම්මටයි අපිටයි ගැහුවා. ඒ නිසා අපි ජීවත් වුණේ හරිම භයෙන්. අම්මා දුක් විඳිනවා දකිද්දී මට ලොකු වේදනාවක් දැනුණා.

ගෙදරදී විතරක් නෙවෙයි පාසැලේදීත් ගොඩක් අධෛර්ය කරවනසුලු දේවලට මම මුහුණ දුන්නා. ගුරුවරුන් විදිහට කටයුතු කරපු පූජකයන් අපේ පාසැලේ හිටියා. ඉන් එක පූජකයෙක් අපෙන් අහපු ප්‍රශ්නවලට වැරදියට උත්තර දුන්නාම අපේ ඔළු බිත්තියේ හැප්පුවා. තවත් පූජකයෙක් ළමයින්ගේ ගෙදර වැඩ බලන ගමන්ම ඔවුන්ව ලිංගික අතවරයට ලක් කළා. මේ වගේ දේවල්වලින් වගේම කතෝලික ඉගැන්වීම්වල තිබුණු නිරය වැනි ඉගැන්වීම් නිසාත් මට ලොකු භයක් දැනුණා. ඒ නිසා මම දෙවියන්ට දක්වපු භක්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියා.

අරුතක් නැති ජීවිතයක්

දෙවිව සතුටු කරවන ආකාරයේ ජීවිතයක් ගත කරන්න මට කිසිම මඟ පෙන්වීමක් ලැබුණේ නැහැ. ඒ නිසා රාත්‍රී සමාජ ශාලාවලට ගිහිල්ලා අනාචාර, දාමරික ජීවිත ගත කරපු අයව ආශ්‍රය කරන්න මම පටන්ගත්තා. ඒ වගේ තැන්වල මිනිස්සු රණ්ඩු කරද්දී දම්වැල්, පිහි, වීදුරු, පුටු වගේ දේවල් ආයුධ වෙනුවට පාවිච්චි කළා. මම ඒ වගේ රණ්ඩුවලට හවුල් වුණේ නැතත් එක අවස්ථාවකදී ගුටියක් වැදිලා මට සිහිය නැතුව ගියා.

ඒ වගේ පරිසරයක් එපා වුණු නිසා අවසානයේදී මං උත්සාහ කළා ටිකක් නිහඬ සමාජ ශාලාවල වෙන්නේ මොනවද කියලා බලන්න. ඒ ස්ථාන මත්ද්‍රව්‍යවලට හරිම ප්‍රසිද්ධයි. මනසට සහනයක් ලැබෙයි කියලා හිතාගෙන මමත් ඒවා පාවිච්චි කළා. හැබැයි ඒකෙන් මගේ මනස තවත් වියවුල් වෙලා කාන්සාවක් ඇති වුණා.

මම ඒ වගේ ජීවිතයකින් සෑහීමට පත් වුණේ නැති වුණත් අන්තිමේදී මගේ මල්ලිවත් (ලුයිස්) කිට්ටු මිත්‍රයෙක් වූ මිගෙල්වත් ඒ ජීවිතේට හුරු කළා. අපි වගේම ඒ කාලේ හිටපු තවත් තරුණයන් ඒ දූෂිත සමාජ ක්‍රමයට ඇලිලයි හිටියේ. මත්ද්‍රව්‍යය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මම කැමති වුණා. අන්තිමේදී මම මගේ ආත්ම ගරුත්වය නැති කරගත්තා.

යෙහෝවා දෙවිගේ උපකාරය ලැබී

කොහොමවුණත් මම දෙවි කෙනෙක් ඉන්නවද, ජීවිතයට අරමුණක් තියෙනවාද කියන කාරණා ගැන යාළුවන් එක්ක කිහිප විටකම කතා කළා. දෙවි කෙනෙක් ඉන්නවාද කියලා හොයලා බලන ගමන්ම මගේ හැඟීම් බෙදාගන්න පුළුවන් යාළුවෙක්වත් මම හෙව්වා. මට තේරුණා මගේ වැඩපොළේ හිටපු අනිත් අයට වඩා ෆ්‍රැන්සිස්කෝ ගොඩක් වෙනස් කෙනෙක් කියලා. එයා හරිම අවංක, කාරුණික කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, එයා හැම තිස්සෙම හිටියේ හරිම සතුටින්. ඉතින් මම තීරණය කළා මගේ හැඟීම් ෆ්‍රැන්සිස්කෝ එක්ක බෙදාගන්න. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මගේ කතාව ඇහුවට පස්සේ එයා මට මත්ද්‍රව්‍යය ගැන සඳහන් වෙලා තිබුණු මුරටැඹ සඟරාවක් දුන්නා.

ඒ සඟරාව කියෙව්වට පස්සේ මම දෙවිට යාච්ඤා කරලා කිව්වා “ස්වාමිනි, මම දන්නවා ඔබ ඉන්න බව. මට ඕනේ ඔබව හොඳින් දැන හඳුනාගෙන ඔබගේ කැමැත්ත කරන්න. කරුණාකරලා ඒ සඳහා මට උදව් කරන්න” කියලා. ෆ්‍රැන්සිස්කෝ ඇතුළු තවත් සාක්ෂිකරුවන් දේවවචනය යොදාගෙන මාව දිරිගැන්නුවා. ඒ විතරක් නෙවෙයි දේවවචනය මත පදනම් ප්‍රකාශනත් ලබා දුන්නා. මට තේරුණා මම දෙවිගෙන් කරපු ඉල්ලීමට තමයි මේ උපකාර ලැබෙන්නේ කියලා. ඉතින් මේ ඉගෙනගත්ත දේවල් ගැන යාළුවන් එක්කයි, මල්ලි එක්කයි මම කතා කළා.

දවසක් ඩිස්කෝ සංදර්ශනයක් බලලා එන ගමන් මම යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙලා ඒ අයගේ හැසිරීම දිහා බලං හිටියා. එදා තමයි මට තේරුණේ මත්ද්‍රව්‍යය නිසා අපි කොච්චර නරක විදිහටද හැසිරිලා තියෙන්නේ කියලා. ඒ මොහොතෙම මම තීරණය කළා ඒ ජීවිත රටාවෙන් ඉවත් වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න.

මම ෆ්‍රැන්සිස්කෝට කිව්වා මට බයිබලයක් ඕනේ කියලා. ඉතින් එයා මට බයිබලයකුත් එක්ක සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය * කියන පොතත් දුන්නා. සෑම කඳුලක්ම පිස දමන බවටත්, මරණය පවා නැති කරන බවටත් දෙවි දීලා තියෙන පොරොන්දුව ගැන කියවද්දී මම තේරුම්ගත්තා මේක තමයි මිනිසුන්ව නිදහස් කරන සත්‍යය කියලා. (යොහන් 8:32; එළිදරව් 21:4) කාලයක් යද්දී මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල පවත්වපු රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. ඒ අය අතර තිබුණු මිත්‍රත්වයයි ප්‍රේමයයි දැකලා මට පුදුම හිතුණා.

මම රාජ්‍ය ශාලාවේ ලබපු අද්දැකීම ගැන ඉක්මනටම මල්ලිටයි යාළුවන්ටයි කිව්වා. ටික දවසකට පස්සේ අපි හැමෝම රාජ්‍ය ශාලාවේ රැස්වීමකට ගියා. අපි හිටිය පේළියට ඉස්සරහ පේළියේ ඉඳගෙන හිටපු ගෑනු ළමයෙක් අපි දිහා හැරිලා බලලා ඉක්මනටම අනිත් පැත්ත බලාගත්තා. කොණ්ඩේ වවාගත්තු හිපියන් වගේ හිටපු අපිව දැකලා ඒ ළමයා භය වෙන්න ඇති. ඒ නිසා එයා ආයෙත් අපි දිහා හැරිලා බැලුවේ නැහැ. හැබැයි අපි ඊළඟ සතියේ ටයි කෝට් ඇඳගෙන පිළිවෙළකට ගියාම සමහරවිට ඒ ගෑනු ළමයට පුදුම හිතෙන්න ඇති.

වැඩි කල් යන්න කලින් මමයි මගේ යාළුවයි (මිගෙල්) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වපු ලොකු රැස්වීමකටත් ගියා. ඒ අය අතරේ කිසිම වයස් භේදයක් නැතුව තිබුණු සහෝදරත්වය මම මීට කලින් කවදාවත් අද්දැකලා තිබුණේ නැහැ. මේ රැස්වීම පැවැත්තුවේ අපි මීට කලින් රොක් සංගීත සංදර්ශනයට සහභාගි වුණ ශාලාවේමයි. හැබැයි මේ අවස්ථාවේ තිබුණු වාතාවරණය සහ සංගීතය හරිම ගොඩනංවනසුලු මෙන්ම සිත්ගන්නා එකක්.

මායි මගේ යාළුවොයි බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. මාස අටකට විතර පස්සේ ඒ කියන්නේ 1974, ජූලි 26වෙනිදා මමයි මිගෙලුයි බව්තීස්ම වුණා. ඒ වෙද්දී අපි දෙන්නගෙම වයස අවුරුදු 20යි. මාස කීපයකට පස්සේ තවත් යාළුවෝ හතරදෙනෙක් බව්තීස්ම වුණා. බයිබලයෙන් මට ලැබුණු පුහුණුව නිසා ගොඩක් ඉවසිලිවන්තව ක්‍රියා කරපු මගේ අම්මගේ ගෙදර වැඩවලට උදව් කරන්නත්, මට ඉගෙනගන්න ලැබුණු සත්‍යය ගැන ඇය එක්ක කතා කරන්නත් මම පෙලඹුණා. ඒ නිසා මමයි අම්මයි අතරේ කිට්ටු බැඳීමක් ඇති වුණා. මම තීරණය කළා මගේ නංගිලා මල්ලිලාට උදව් කරන්න කාලය වෙන් කරන්න.

කාලයක් යද්දී මගේ අම්මයි, සහෝදර සහෝදරියනුයි බව්තීස්ම වුණා. හැබැයි එක මල්ලි කෙනෙක් විතරක් බව්තීස්ම වුණේ නැහැ. මම 1977දී සොලිඩැඩ්ව විවාහ කරගත්තා. අපි මුල් වතාවට රාජ්‍ය ශාලාවට ගිය වෙලේ අපි දිහා පුදුමයෙන් බැලුව ගෑනු ළමයා තමයි සොලිඩැඩ්. විවාහ වෙලා මාස කීපයකට පස්සේ අපි දෙන්නම පුරෝගාමීන් විදිහට සේවය කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කරන අයව තමයි පුරෝගාමීන් විදිහට හඳුන්වන්නේ.

මගේ නංගි නිදහස් වුණා

කුඩා කාලයේදී ලිංගික අතවරයට ලක්වීමෙන් මගේ නංගි (මාරිවී) ලබපු ඒ කටුක අද්දැකීම එයාගේ ජීවිතයට තදින්ම බලපෑවා. ඒ නිසා යෞවන කාලයේදීම එයා මත්ද්‍රව්‍යය, සොරකම හා ගණිකා වෘත්තිය වැනි නරක ජීවිතයකට හුරු වුණා. එයාට වයස අවුරුදු 23දී හිරේ යන්න සිද්ධ වුණත් එයා ඒ නරක ජීවිතෙන් ගොඩ ආවේ නැහැ.

ඒ වෙද්දී මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් විදිහට සේවය කරමින් හිටියා. වර්ෂ 1989දී මටයි මගේ බිරිඳටයි අලුත් පැවරුමක් ලැබුණා මාරිවී හිටපු බන්ධනාගාරය තිබුණු ප්‍රදේශයේ සේවය කරන්න. බලය ලත් නිලධාරීන් මාරිවීගේ පුතාව එයාගෙන් වෙන් කරලා තිබුණු නිසා එයාට ජීවත් වෙන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. එක දවසක් එයාව බලන්න ගියාම මම එයාගෙන් ඇහුවා අපි බයිබලය අධ්‍යයනය කරමුද කියලා. එයා ඒකට කැමති වුණා. බයිබල් පාඩම පටන් අරන් මාසෙකට විතර පස්සේ මත්ද්‍රව්‍ය පාවිච්චියත් දුම් පානය කරන එකත් එයා නතර කළා. ජීවිතයේ මෙවැනි වෙනස්කමක් කරන්න යෙහෝවා දෙවි ඇයට උපකාර කරපු විදිහ නම් හරිම පුදුමයි.—හෙබ්‍රෙව් 4:12.

මාරිවී බයිබලය පාඩම් කරන්න පටන් අරන් ටික කාලයක් යද්දී එයා ඉගෙනගන්න දේවල් ගැන අනිත් හිරකරුවන්ටත්, නිලධාරීන්ටත් කියන්න පටන්ගත්තා. එයාව වෙන සිරකුටියකට මාරු කළත් ඉගෙනගත්තු දේවල් ගැන අනිත් අයට දේශනා කරන එක නම් එයා නතර කළේ නැහැ. එක සිරකඳවුරකදී එයා සිරමැදිරියෙන්, සිරමැදිරියට ගිහිල්ලා දේශනා කළා. ගෙවුණු අවුරුදු කිහිපය තුළ විවිධ සිරකඳවුරුවල හිටිය සිරකරුවන් එක්ක බයිබල් පාඩම් ආරම්භ කරන්න මාරිවීට පුළුවන් වුණා.

දවසක් මාරිවී මට කිව්වා යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න කැමතියි කියලා. හැබැයි සිරකඳවුරෙන් එළියට යන්නවත් සිරකඳවුර තුළදී බව්තීස්ම වෙන්නවත් ඇයට අවසර ලැබුණේ නැහැ. මේ තත්වය මැද ඇය තවත් අවුරුදු හතරක් විඳදරාගැනීමෙන් කටයුතු කළා. රාජ්‍ය ශාලාවේ රැස්වීම් පවත්වන වෙලාවටම ඇයත් සිරමැදිරියේ ඉඳන් තනිවම රැස්වීම් පැවැත්තුවා. ඒක එයාට ලොකු උදව්වක් වුණා දිගටම ඇදහිලිවන්තව ඉන්න. ඊට අමතරව ඇය දිනපතා බයිබලය අධ්‍යයනය කිරීමටත් යාච්ඤා කිරීමටත් වෙලාව වෙන් කරගෙන තිබුණා.

කාලයක් යද්දී මාරිවීව අධි ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කළා. ඒ බන්ධනාගාරයේ පිහිනුම් තටාකයකුත් තිබුණා. තත්වයන් වෙනස් වුණු නිසා මාරිවී සිතුවා ඇයට බව්තීස්ම වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. ඇත්තෙන්ම ඇගේ බලාපොරොත්තුව ඉටු වුණා. මේ විදිහට තමයි මට අවස්ථාව ලැබුණේ ඇයගේ බව්තීස්ම කතාව ඉදිරිපත් කරන්න. නංගිගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවේදී ඇය සමඟ ඉන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.

මාරිවී කලින් ගත කළ ජීවිතය නිසා ඇයට ඒඩ්ස් රෝගය වැලඳුණා. කොහොමවුණත් ඇගේ හොඳ හැසිරීම නිසා නියම කරලා තිබුණ කාලයට කලින් 1994 මාර්තු මාසයේදී හිරෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. මාරිවීට පුළුවන් වුණා අවුරුදු දෙකක්ම අම්මත් එක්ක එකතු වෙලා ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. පස්සේ ඇය මිය ගියා.

කනස්සල්ලෙන් ගොඩ ඒම

කලින් ගත කළ ජීවිතයේ ප්‍රතිඵල මම තවමත් අත්විඳිනවා. මගේ තාත්තගෙන් මම අද්දැකපු දේවල් වගේම යෞවන වයසේදී මම කරපු දේවලුත් මගේ පෞද්ගලිකත්වයට තදින්ම බලපානවා. මම වැරදි කරලා තියෙනවා කියලත් මගේ කිසිම වටිනාකමක් නැහැ කියලත් වැඩිහිටියෙක් විදිහට මට හැඟිලා තියෙනවා. මම ගොඩක් කලකිරීමෙන් හිටපු අවස්ථාවලුත් තිබුණා. දේවවචනය තමයි ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන්න මට උපකාර කළේ. යෙසායා 1:18 සහ ගීතාවලිය 103:8-13 යන බයිබල් පද ගැන නිතරම ගැඹුරින් කල්පනා කිරීම හිත වද දෙන තත්වයන්ගෙන් ගොඩ එන්න උපකාරවත් වුණා.

මම කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියන හැඟීමෙන් ගොඩ එන්න යාච්ඤාවත් මට ගොඩක් උපකාරවත් වුණා. මම ගොඩක් අවස්ථාවලදී හැඬූ කඳුලින් යෙහෝවා දෙවිට යාච්ඤා කරලා තියෙනවා. බයිබලයේ 1 යොහන් 3:19, 20හි සඳහන් මෙම වදන් මාව තවත් ශක්තිමත් කළා. “මෙයින්, අප සත්‍යතාවෙන් වන බව දැනගන්නෙමු. තවද, ඔහු ඉදිරියෙහි අපේ සිත් ස්ථිර කරගනිමු. දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය. එහෙයින් අපේ සිත් අපට කුමක් ගැන දෝෂාරෝපණය කළත් අපේ සිත් අපි ස්ථිර කරගනිමු.”

‘තැළුණාවූ බිඳුණාවූ හදවතකින්’ මම දෙවිට යාච්ඤා කරද්දී මටම තේරුණා මම හිතපු තරම්ම මං නරක නැහැ කියලා. බයිබලයේ සහතික කරලා තියෙන්නේ සැබවින්ම යෙහෝවා දෙවිව සොයන, තමන්ගේ අතීත ක්‍රියාවන් ගැන පසුතැවිලි වී දෙවිගේ කැමැත්ත කරන අයව දෙවි කවදාවත් හෙළා දකින්නේ නැහැ කියලයි.—ගීතාවලිය 51:17, නව ලොව පරිවර්තනය, NW.

අධෛර්යය කරවන හැඟීම් මගේ මනසට එද්දී මම ඉක්මනින්ම ෆිලිප්පි 4:8හි සඳහන් වදන්වලට අනුව යහපත් සිතුවිලිවලින් මනස පුරවගන්නවා. ගීතාවලිය 23වන පරිච්ඡේදයයි කන්ද උඩ දේශනාවයි මට කටපාඩමින් කියන්න පුළුවන්. අධෛර්යය කරවන සිතුවිලි පහළ වුණාම ඒ පරිච්ඡේදවල තියෙන දේවල් මම මටම කියාගන්නවා. විශේෂයෙන්ම රෑට නින්ද යන්නේ නැති අවස්ථාවල එවැනි දේවල් මගේ මනසට ලොකු සහනයක් ගෙනැවිත් තියෙනවා.

අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් වගේම මගේ බිරිඳ මාව අගය කරද්දීත් මට ලොකු සහනයක් දැනෙනවා. මුලදී ඒ අය පවසන දිරිගන්වන වදන් මට පිළිගන්න අමාරු වුණත් ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරන’ බව තේරුම්ගන්න බයිබලය මට උපකාරවත් වුණා. (1 කොරින්ති 13:7) ඒ වගේම නිහතමානීව මගේ දුර්වලකම් හඳුනාගන්නත් මම පුරුදු වුණා.

අධෛර්යය කරවනසුලු හැඟීම් එක්ක පොරබැදීම නිසා මට පුළුවන් වෙලා තියෙනවා අන් අයව තේරුම්ගන්නාසුලු සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරන්න. මමත් මගේ බිරිඳත් මේ වෙනකොට අවුරුදු 30කට ආසන්න කාලයක් පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කිරීමේ නියැලිලා තියෙනවා. අනිත් අයට සේවය කිරීමෙන් ලැබෙන සතුට අධෛර්යය කරවන සිතුවිලිවලින් වගේම අමිහිරි අතීතය අමතක කර දාන්නත් ලොකු උදව්වක් වෙලා තියෙනවා.

යෙහෝවා දෙවි මට ආශීර්වාද කරලා තියෙන ආකාරය දිහා ආපහු හැරිලා බලද්දී ගීතිකාකාර දාවිත් වගේ මටත් මේ ආකාරයට කියන්න හිතෙනවා. “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. . . . ඔහු ඔබේ සියලු වැරදි කමා කරන්නේය. ඔහු ඔබේ සියලු ගැටලු විසඳන්නේය. ඔහු ඔබේ ජීවිතය මිනීවළෙන් ගලවාගන්නේය. ප්‍රේමණීය කරුණාව සහ දයාව නමැති ඔටුන්න ඔබට පළඳවන්නේය.”—ගීතාවලිය 103:1-4NW.

[පාදසටහන]

^ 14 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් එය නිකුත් වෙන්නේ නැහැ.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මම වැරදි කරලා තියෙනවා කියලත් මගේ කිසිම වටිනාකමක් නැහැ කියලත් මට හැඟිලා තියෙනවා. ඒ හැඟීම්වලින් ගොඩ එන්න දේවවචනය මට ගොඩක් උපකාරවත් වුණා

[27වන පිටුවේ පින්තූර]

ලුයිස් සහ මිගෙල් මගේ නරක ආදර්ශය වගේම හොඳ ආදර්ශය අනුගමනය කළා

[28, 29වන පිටුවේ පින්තූරය]

මෝර්සියෝ පවුල 1973දී

[29වන පිටුවේ පින්තූරය]

සිරකඳවුරේදී මාරිවී

[30වන පිටුවේ පින්තූරය]

මමයි මගේ බිරිඳයි