Skip to content

පටුනට යන්න

අපේ පාඨකයන් වෙත

අපේ පාඨකයන් වෙත

අපේ පාඨකයන් වෙත

මේ කලාපයේ සිට මුරටැඹ සඟරාවේ යම් වෙනස්කම් සිදු වෙන බව ඔබට දැනුම් දෙන්න අපි කැමතියි. ඒවා මොනවාද කියා පැහැදිලි කිරීමට පෙර එහි වෙනස් නොවන අංගයන් ගැන සඳහන් කරන්නම්.

මේ සඟරාවේ නම එනම් මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රචාරය කරයි යන්න වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මුරටැඹ සඟරාවේ අරමුණ වන සැබෑ දෙවිව දිගටම ගෞරවයට පත් කිරීම සහ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දැනුම් දීම දිගටම සිදු වෙනවා. මේ සඟරාවේ 5 සිට 9 දක්වා පිටුවල සඳහන් ලිපි මගින් දේවරාජ්‍යය යනු කුමක්ද කියාත් එය පැමිණෙන්නේ කවදාද කියාත් සාකච්ඡා කරනවා. දශක ගණනාවක් පුරා ලෝක සිද්ධීන් බයිබල් අනාවැකිවල ඉටුවීමට සම්බන්ධ වෙන ආකාරය පෙන්නුම් කිරීමට මේ සඟරාව මහත් සේ උපකාරවත් වුණා. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගැනීමටත්, බයිබල් ඉගැන්වීම් තේරුම්ගැනීමටත් මේ සඟරාව දායක වී තිබෙනවා. එම කාර්යය ඉදිරියටත් එලෙසම සිදුවීමට නියමිතයි.

සෑම මසකම නිකුත් වන පළමු කලාපයේ දැකිය හැකි අලුත්ම අංගයන් කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු. *

ගැඹුරින් කල්පනා කර බැලීමට පොලඹවන ලිපි කිහිපයක්ම මේ සඟරාවේ දැකගන්න පුළුවන් වෙයි. උදාහරණයකට “ඔබ දැන සිටියාද?” යන ලිපියේ යම් බයිබල් වාර්තා තේරුම්ගැනීමට ඉවහල් වන පසුබිම් තොරතුරු දී තිබෙනවා. “දෙවිට ළං වෙන්න” යන ලිපියේ යම් බයිබල් වගන්තිවලින් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැකි දේ සාකච්ඡා කරනවා. “පාඨකයන් අසයි” යන ලිපියෙන් බයිබලයේ සඳහන් දේවල් සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. උදාහරණයකට බොහෝ මිනිසුන් සිතනවා ‘දේවරාජ්‍යය තිබෙන්නේ අපේ සිතේද’ කියා. මේ ප්‍රශ්නයට පිළිතුරු 13වන පිටුවෙන් ඔබට සොයාගන්න පුළුවන්.

මේ සඟරාවේ පවුලක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි ලිපිත් පළ වෙනවා. අවුරුද්දකට හතර වතාවක් පළ වෙන “පවුලේ සමඟියට අත්වැලක්” යන ලිපියේ පවුලක ඇති වන ගැටලු ගැන සාකච්ඡා කරන අතර ඒවා විසඳාගැනීමට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකි ආකාරයද පෙන්වා දෙනවා. “ඔබේ දරුවන්ට උගන්වන්න” යන ලිපිය සකස් කර තිබෙන්නේ දෙමව්පියන්ට දරුවන් සමඟ කියවීමටයි. “යොවුන් ඔබට” යන ලිපිය යෞවන යෞවනියන්ට බයිබලය අධ්‍යයනය කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට අත්වැලක් සපයනවා. එම ලිපි දෙකම පළ වෙන්නේ මාසයක් හැර මාසයක් පමණයි.

අවුරුද්දකට හතර වතාවක් පමණක් පළ වෙන ලිපිත් මේ සඟරාවට ඇතුළත් වෙනවා. “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු” යන ලිපිය ඉන් එකක්. එහි අපට ආදර්ශයට ගත හැකි බයිබල් චරිතයක් ගැන සඳහන් වෙනවා. උදාහරණයකට මේ සඟරාවේ 18 සිට 21 දක්වා පිටුවල අනාගතවක්තෘ එලියා ගැන කතා කරනවා. ඔහුගේ ඇදහිල්ල ආදර්ශයට ගත හැකි ආකාරය එහි පෙන්වා තිබෙනවා. “මා ලැබූ අද්දැකීම්” යන කොටසේ වෙනත් රටවලට ගොස් සේවය කරන දේවසේවකයන්ගේ සහ ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්තා සඳහන් වෙනවා. “යේසුස්ගෙන් ඉගෙනගනිමු” යන කොටසේ මූලික බයිබල් ඉගැන්වීම් සරලව පැහැදිලි කර තිබෙනවා.

බයිබලයට ගරු කරන මෙන්ම එහි ඇති ඉගැන්වීම් දැනගැනීමට කැමැත්තෙන් සිටින පාඨකයන් දිගටම මෙම සඟරාව කියවීමට පෙලඹෙන බව සැකයක් නැහැ. බයිබලයේ සඳහන් සත්‍යය දැනගැනීමට වූ ඔබගේ ආශාව සන්සිඳුවාලීමට මේ සඟරාව දායක වේවා යන්න අපේ පැතුමයි.

සඟරාවේ ප්‍රකාශකයන්

[පාදසටහන]

^ 4 ඡේ. සෑම මසකම මුරටැඹ සඟරාවේ කලාප දෙකක් නිකුත් කෙරෙනවා. මාසයේ 1වෙනිදා නිකුත් කරන මෙම කලාපය පොදු ජනයා සඳහා වන අතර 15වෙනිදා නිකුත් කරන්නේ පාඩම් කලාපයයි. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලදී අධ්‍යයනය කරන අතර ඊට සහභාගි වෙන ඕනෑම කෙනෙකුට ඉන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.