Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?

දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?

දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද?

යේසුස් දේවරාජ්‍යය පිහිටුවන්නේ කවදාද කියා දැනගන්න ඔහුගේ ගෝලයන්ට ලොකු උවමනාවක් තිබුණා. ඒ නිසා “ස්වාමිනි, ඔබ ඊශ්‍රායෙලයට රාජ්‍යය නැවත පිහිටුවන්නේ මේ කාලයේදීද” කියා ඔවුන් යේසුස්ගෙන් ඇසුවා. (ක්‍රියා 1:6) එම ප්‍රශ්නය අසා දැනට අවුරුදු 2000ක් පමණ ගත වී තිබුණත් දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියා දැනගැනීමට අදටත් මිනිසුන් සිටින්නේ පුදුම උනන්දුවකින්.

යේසුස් නිතරම දේවරාජ්‍යය ගැන කතා කළ නිසා එය පිහුටුවන කාලය ගැනත් පැවසූ බවට සැකයක් නැහැ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කතා කළ අවස්ථා ගණනාවකදීම තම “පැමිණ සිටීම” ගැනත් ඔහු සඳහන් කළා. (මතෙව් 24:37) මේ පැමිණ සිටීමත් දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීමත් අතර කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. නමුත් යේසුස්ගේ පැමිණ සිටීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වී තිබෙන කරුණු හතරක් අපි දැන් සලකා බලමු.

1. යේසුස්ගේ පැමිණ සිටීම ආරම්භ වෙන්නේ ඔහුගේ මරණයෙන් බොහෝ කාලයකට පසුවයි. එක් අවස්ථාවක යේසුස් අනාවැකිමය ස්වරූපයක් ගත් උපමාවක් පැවසුවා. ඒ උපමාවේ ‘රාජ්‍ය බලය ලබාගෙන ආපසු එන පිණිස දුර දේශයකට’ ගිය මිනිසෙක් ගැන සඳහන් වෙනවා. යේසුස් තමාව සමාන කළේ ඒ මිනිසාටයි. (ලූක් 19:12) එම උපමාවේ සඳහන් වූ දේ ඉටු වූයේ කෙසේද කියා සලකා බලන්න. යේසුස් මිය ගොස් නැවතනැඟිටුවනු ලැබූ පසු ඔහු ‘දුර දේශයක්’ හා සමාන ස්වර්ගයට ගියා. එමෙන්ම තවත් උපමාවක ඔහු පැවසුවේ රාජ්‍ය බලයෙන් යුක්තව තමා පැමිණෙන්නේ ‘බොහෝ කලකට පසුව’ බවයි.—මතෙව් 25:19.

යේසුස් ස්වර්ගයට ගොස් යම් කාලයක් ගත වූ පසුව බයිබල් ලේඛකයෙක් වූ පාවුල් යේසුස් ගැන මෙවැනි දෙයක් පැවසුවා. ‘නමුත් මේ මිනිසා [යේසුස්], පව් උදෙසා සදහටම එක පූජාවක් ඔප්පු කර, දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තේය. එතැන් පටන් ඔහු සිය සතුරන්ව තම පා පුටුව කරන තුරු බලා සිටින්නේය.’ (හෙබ්‍රෙව් 10:12, 13) මින් පැහැදිලි වෙන්නේ ස්වර්ගයට යෑමෙන් පසු යේසුස්ට යම් කාලයක් පුරා බලා සිටීමට සිදු වූ බවයි. මේ බලා සිටීම අවසන් වුණේ යෙහෝවා දෙවි තම පුත් යේසුස්ව දේවරාජ්‍යයේ රජ ලෙස පත් කිරීමත් සමඟයි. ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ කාලය ආරම්භ වුණේ ඒ අවස්ථාවේ සිටයි. මේ පැමිණ සිටීම මිනිසුන්ට හැබැහින් දැකගන්න පුළුවන්ද?

2. ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම පියවි ඇසින් දැකිය නොහැකියි. යේසුස් තමාගේ පැමිණ සිටීම සම්බන්ධයෙන් ලකුණක් දුන් බව සැලකිල්ලට ගන්න. (මතෙව් 24:3) යේසුස්ගේ පැමිණ සිටීම සියලුදෙනාටම දැකගන්න පුළුවන් නම් අමුතුවෙන් ලකුණක් දීම අවශ්‍යද? නැහැ. එය උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හිතන්න ඔබ මුහුදු වෙරළට යනවා කියලා. ඔබ යද්දී පාර දිගට මුහුදු වෙරළට මඟ පෙන්වන සංඥා පුවරු තිබෙනවා. මුහුදු වෙරළට ගියායින් පසුව එහි “මුහුද” කියා සටහන් කර තිබෙන ලොකු පුවරුවක් තිබේවි කියා ඔබ බලාපොරොත්තු වෙනවාද?

දේවරාජ්‍යයේ පිහුටුවීම පොළොවේ සිටින අයට දැකගන්න බැරි නිසයි එය තේරුම්ගැනීමට යේසුස් ලකුණක් දුන්නේ. එය පොළොවේ සිදු වෙන දෙයක් නම් ලකුණක් දීම අවශ්‍ය වන්නේ නැහැ. යේසුස්ම පැවසුවේ ‘දෙවිගේ රාජ්‍යයේ පැමිණීම පැහැදිලි ලෙස දැකගන්න බැහැ’ කියායි. (ලූක් 17:20) එම ලකුණ දැකීමෙන් පොළොවේ සිටින අය යේසුස් පැමිණ සිටිනවා කියා දැනගන්නේ කෙසේද?

3. පොළොවේ කරදරකාරී කාලපරිච්ඡේදයක් ආරම්භ වී තිබීම යේසුස් පැමිණ සිටින බවට ලකුණක්. තමා ස්වර්ගයේ රජු ලෙස පෙනී සිටින විට පොළොවේ යුද්ධ, සාගත, වසංගත, භූමිකම්පා හා නීති විරෝධී ක්‍රියා බහුලව දකින්න ලැබේවි කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:7-12; ලූක් 21:10, 11) මෙවන් දුක්ඛිත තත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද? බයිබලයේ පැහැදිලි කර තිබෙන ආකාරයට යේසුස් ස්වර්ගයේ රජ වූ වහාම “මේ ලෝකයේ පාලකයා” වන යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාලයක් බව දැනගත් නිසා ඔහු සිටින්නේ මහත් කෝපයෙන්. (යොහන් 12:31; එළිදරව් 12:9, 12) මේ ලෝකයේ සිදු වෙන දේවලින් සාතන් කෝපයෙන් සිටින බවටත් යේසුස් දැන් ස්වර්ගයේ රජු ලෙස පෙනී සිටින බවටත් බහුල ලෙස සාක්ෂි සපයනවා. එය විශේෂයෙන්ම ඔප්පු වී තිබෙන්නේ 1914 සිටයි. ඉතිහාසඥයන් පවා පවසන්නේ ඒ වසරේ සිට ලොව පුරාම නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බවයි.

මෙය එතරම් හොඳ ආරංචියක් නෙවෙයි කියා කෙනෙක් සිතන්න පුළුවන්. කොහොමවුණත් මේ සියල්ලෙන් ඔප්පු වෙන්නේ දේවරාජ්‍යය දැන් ස්වර්ගයේ පාලනය ආරම්භ කර තිබෙන බවයි. ඉතා ළඟදීම එමගින් පොළොවද පාලනය කරනු ලබයි. දේවරාජ්‍යයේ පාලනය පිළිගෙන එහි යටත් වැසියන් වීමට නම් මුලින්ම ඒ රාජ්‍යය පිළිබඳව දැනුම ලබාගත යුතුයි. ඒ දැනුම මිනිසුන්ට ලැබෙන්නේ කොහොමද?

4. ලොව පුරාම රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම යේසුස් පැමිණ සිටින බවට ලකුණක්. තමා පැමිණ සිටින කාලය ‘නෝවාගේ දවස්වලට’ සමාන බව යේසුස් පැවසුවා. * (මතෙව් 24:37-39) නෝවා කළේ විශාල නැවක් සෑදීම විතරක් නොවෙයි. ඔහුව “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” ලෙසත් බයිබලයේ හඳුන්වනවා. (2 පේතෘස් 2:5) දෙවිගේ විනිශ්චය පැමිණෙනවා කියා නෝවා එදා සිටි මිනිසුන්ට දැනුම් දුන්නා. යේසුස් පැවසුවේ තමා පැමිණ සිටින කාලයේදී ඔහුගේ අනුගාමිකයන්ද ඒ හා සමාන කාර්යයක් කරමින් සිටියි කියායි. යේසුස් ඒ ගැන කලින්ම මෙසේ පවසා තිබුණා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.

අපි කලින් ලිපියේ සලකා බැලූ ආකාරයට දේවරාජ්‍යය මගින් පොළොවේ තිබෙන සියලුම මිනිස් පාලනයන් විනාශ කිරීමට නියමිතයි. මේ කාලයේදී පොළොව පුරාම සිටින මනුෂ්‍යයන්ට රාජ්‍යයේ ශුභාරංචිය දැනුම් දීමෙන් ස්වර්ගයේ පිහිටුවා තිබෙන මේ රාජ්‍යය ළඟදීම පොළොව පාලනය කිරීමට නියමිත බව සිහිගන්වනවා. එමෙන්ම පැමිණීමට තිබෙන විනාශයෙන් බේරී දේවරාජ්‍යයේ යටත් වැසියෙක් ලෙස ජීවත් වීමට අවස්ථාවත් එමගින් සැලසෙනවා. නමුත් වැදගත් වන්නේ රාජ්‍යයේ ශුභාරංචියට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද යන්නයි.

දේවරාජ්‍යය ඔබට ශුභ පණිවුඩයක්ද?

යේසුස් දේශනා කළ පණිවුඩය අප තුළ පුදුමාකාර බලාපොරොත්තුවක් ඇති කරනවා. එය වෙන කිසි බලාපොරොත්තුවකට සම කළ නොහැකියි. මීට වසර දහස් ගණනකට පෙර මුල්ම මිනිසා වූ ආදම් කැරළි ගැසූ අවස්ථාවේ දේවරාජ්‍යයක් පිහිටුවා සියල්ල යහපත් තත්වයකට ගෙන ඒමට දෙවි තීරණය කළා. එමගින් ධර්මිෂ්ඨ මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකාලයටම සතුටින් ජීවත් වීමේ ප්‍රස්තාව උදා වෙනවා. මේ රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පාලනය අරඹා තිබෙන බව දැනගන්න ලැබීම කොතරම් ලොකු සතුටක්ද! මෙය සිහිනයක් නොවෙයි. සැබවින්ම සිදු වන දෙයක්!

දැනටමත් දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් සතුරන් අතරේ පාලනය කරමින් සිටිනවා. (ගීතාවලිය 110:2) දෙවිගෙන් ඈත් වූ මේ දූෂිත ලෝකය තුළ දෙවි ගැන දැනගැනීමට සහ “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” ඔහුට නමස්කාර කිරීමට කැමති සියල්ලන්ව සොයමින් ගැලවුම්කරු හෙවත් මෙම පාලකයා දෙවිගේ ආශාව ඉටු කරමින් සිටිනවා. (යොහන් 4:24) දේවරාජ්‍යයේ පාලනය යටතේ සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව සෑම ජාතියකටම හා සෑම පසුබිමකම සිටින බාල මහලු සියලුදෙනාටම විවෘතයි. (ක්‍රියා 10:34, 35) ඔබ ඉදිරියේ විවෘතව තිබෙන මේ කදිම අවස්ථාව අත් කරගන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. ධර්මිෂ්ඨ පාලනයක් යටතේ සදහටම ප්‍රීතියෙන් ජීවත් වීමට ඔබ කැමති නම් දැන්ම දේවරාජ්‍යය ගැන ඉගෙනගන්න.—1 යොහන් 2:17.

[පාදසටහන]

^ 10 ඡේ. “පැමිණ සිටීම” යන යෙදුම සමහර බයිබල් පරිවර්තනවල වැරදියට දක්වා තිබෙන්නේ “ඊම,” “නැවත පැමිණීම” සහ “පුනරාගමනය” ලෙසයි. මේ සෑම යෙදුමකින්ම ඇඟවෙන්නේ කෙටි කාලයකින් සිදු වන දෙයක්. නමුත් යේසුස් තමාගේ පැමිණ සිටීම නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්මට එනම් යම් සිද්ධියකට පමණක් සමාන කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ තමාගේ පැමිණ සිටීම ‘නෝවාගේ දවස්වලට’ සමාන බවයි. විශේෂ දේවල් සිදු වන යම් කාල පරිච්ඡේදයක් එයින් අදහස් වෙනවා. යේසුස් පැමිණ සිටින කාලය තුළ මිනිසුන්ට විනිශ්චය පිළිබඳව අනතුරු ඇඟෙව්වත් නෝවාගේ දවස්වල මෙන් ඔවුන් දෛනික වැඩ කටයුතුවල ඇලී සිටින නිසා එය ගණන් ගන්නේ නැහැ.

[8, 9වන පිටුවේ පින්තූර]

දිනපතා අහන්න ලැබෙන නරක ආරංචිවලින් අඟවන්නේ ඉදිරියේදී යහපත් දේවල් සිදුවීමට නියමිත බවයි

[හිමිකම් විස්තර]

Antiaircraft gun: U.S. Army photo