Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය යනු කුමක්ද?

දේවරාජ්‍යය යනු කුමක්ද?

දේවරාජ්‍යය යනු කුමක්ද?

යේසුස් දේශනා කළේ කුමක් ගැනද? යේසුස්ම කියා සිටියේ තමා දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන්න පැමිණි බවයි. (ලූක් 4:43) ඔහු දේවරාජ්‍යය ගැන කතා කරනවා මිනිසුන් නිතරම අසා තිබුණා. නමුත් එම තොරතුරු ඔවුන්ට තේරුම්ගන්න අපහසු වුණාද? දේවරාජ්‍යය කුමක්ද කියා ඔවුන් යේසුස්ගෙන් කවදා හෝ ඇසුවාද? එවැනි දෙයක් ශුභාරංචි පොත්වල වාර්තා වී නැහැ. ඉන් පැහැදිලි වෙන්නේ එදා සිටි මිනිසුන් දේවරාජ්‍යය ගැන යමක් දැන සිටි බව නොවෙයිද?

පුරාණයේ සිටි යුදෙව්වන් භාවිත කළ ශුද්ධ ලියවිලිවල දේවරාජ්‍යය කියන්නේ සැබෑ දෙයක් බව පැහැදිලිව විස්තර කර තිබුණා. එමෙන්ම දේවරාජ්‍යය මගින් සිදු කරන දේත් එහි සඳහන් වී තිබුණා. අද අපිට දේවරාජ්‍යය ගැන ඊටත් වඩා වැඩි තොරතුරු බයිබලයෙන් දැනගත හැකියි. දැන් අපි දේවරාජ්‍යය ගැන බයිබලයේ සඳහන් කරුණු හතක් ගැන සලකා බලමු. ඉන් පළමු කරුණු තුන යුදෙව්වන් දැන සිටියේ යේසුස් පැමිණීමටත් පෙර සිටයි. ඊළඟ කරුණු තුන යේසුස් විසින් හෝ ඔහුගේ අනුගාමිකයන් විසින් මුල් සියවසේදී උගන්වනු ලැබුවා. අවසාන කරුණ සම්බන්ධයෙන් වර්තමානයේ පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා.

1. දේවරාජ්‍යය සදහටම පවතින සැබෑ ආණ්ඩුවක්. ඇදහිලිවන්ත මිනිස් වර්ගයාව ගලවාගැනීම සඳහා දෙවි යම් ‘තැනැත්තෙකුව’ එවන බව බයිබලයේ මුල්ම අනාවැකියේ සඳහන් වී තිබෙනවා. එම තැනැත්තා ආදම්, ඒව හා සාතන් සිදු කළ කැරැල්ල නිසා ඇති වී තිබෙන සියලුම නරක ප්‍රතිඵලවලට නිමාවක් ගෙනෙනවා. (උත්පත්ති 3:15, නව ලොව පරිවර්තනය, NW) එම අනාවැකිය පවසා බොහෝ කලකට පසු මෙම “තැනැත්තා” නොහොත් ගැලවුම්කරු රාජ්‍යයක් කෙරෙහි රජකම් කිරීමට යන බව ඇදහිලිවන්ත රජෙක් වූ දාවිත්ට හෙළි කරනු ලැබුවා. එය දාවිත්ට කුතුහලය දනවන දෙයක් වුණා. මෙම රාජ්‍යය සදාකාලයටම පවතින එකක් වන නිසා එය අනිකුත් සෑම රාජ්‍යයකටම වඩා වෙනස්.—2 සාමුවෙල් 7:12-14.

2. දේවරාජ්‍යය සියලුම මිනිස් ආණ්ඩු නැති කර දමයි. බයිබලයේ සඳහන් අනාගතවක්තෘවරයෙක් වූ දානියෙල්ට දර්ශනයක් දකින්න දෙවි සැලැස්සුවා. අතීතයේ සිට අද දක්වා විවිධ ලෝක අධිරාජ්‍යයන් නැඟී සිටින ආකාරය හා ඒවා වැටී යන ආකාරය ඔහු දැක්කා. දර්ශනයේ අවසානයේදී ඔහු දුටුවේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔහු එය මෙසේ වාර්තා කරනවා. “ඒ [අවසාන] රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනු ඇත. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.” මේ අනුව බලන කල යුද්ධවලට, කුරිරුකම්වලට හා දූෂණයට වගකිව යුතු සියලුම පාලනයන් දේවරාජ්‍යය මගින් සදහටම විනාශ කර දමනවා. දානියෙල් පවසන ආකාරයට මෙම රාජ්‍යය වැඩි කල් නොගොස් මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. (දානියෙල් 2:44, 45NW) මෙය සැබවින්ම සිදු වෙනවා. එදාට පවතින්නේ දේවරාජ්‍යය පමණයි. වෙන කිසිම ආණ්ඩු ක්‍රමයක් පවතින්නේ නැහැ. *

3. දේවරාජ්‍යය මගින් යුද්ධ, අසනීප, සාගත හා මරණය පවා නැති කර දමනවා. දේවරාජ්‍යය මගින් පොළොව උදෙසා කිරීමට යන දේ බයිබලයේ හෙළි කර තිබෙනවා. මිනිස් ආණ්ඩුවලට කළ නොහැකි දේවල් එමගින් ඉටු කරනවා. උදාහරණයකට දේවරාජ්‍යය ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවතා’ යුධෝපකරණ සියල්ලම විනාශ කර දමනවා. (ගීතාවලිය 46:9NW) එදාට ‘කිසිවෙක් මා ලෙඩින් කියා පවසන්නේ නැති’ නිසා වෛද්‍යවරුන්වත්, රෝහල්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. (යෙසායා 33:24NW) “පොළොව ධාන්‍යවලින් පිරී” පවතින නිසා සාගත, ආහාර හිඟකම්, මන්දපෝෂණය හා සාගින්න සදහටම නැති වී යනවා. (ගීතාවලිය 72:16NW) මරණය නමැති සතුරාව පහ කර දමන නිසා මෝචරිවත්, අවමංගල්‍යයන්වත්, රෑ එළි වෙන තුරු නිදි මැරීමවත්, මිනි පිට්ටනිවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එය බයිබලයේ මෙසේ සහතික කරනවා. දෙවි “සදහටම මරණය ගිල දමන්නේය. ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8NW.

4. දේවරාජ්‍යයේ පාලකයාව තෝරාගෙන තිබෙන්නේ දෙවි විසින්මයි. යේසුස්ව පාලකයා ලෙස තේරුවේ මිනිසුන් නොවෙයි. එමෙන්ම යේසුස්ම පාලකයා බවට තමාව පත් කරගත්තෙත් නැහැ. මේ පාලකයාව ක්‍රිස්තුස් නොහොත් “අභිෂේක ලත් තැනැත්තා” (හෙබ්‍රෙව් භාෂාවට අනුව මෙසියස්) ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යය පාලනය කිරීමේ විශේෂ පැවරුම සඳහා යෙහෝවා දෙවි ඔහුව තෝරාගෙන තිබෙන බවයි. මෙම පාලකයා ගැන දෙවිම මෙසේ පවසා තිබුණා. “මෙන්න! මාගේ පූර්ණ සහායද මාගේ අනුමැතියද ඇති සේවකයා! මා තෝරාගත් තැනැත්තා ඔහුයි. මාගේ බලය ඔහුට දී තිබේ. ඔහු ජාතීන්ට යුක්තිය ඉටු කර දෙයි.” (යෙසායා 42:1NW; මතෙව් 12: 17, 18) මිනිසුන් වෙනුවෙන් සිටිය යුතු හොඳම පාලකයාව තේරීමට අපේ නිර්මාතෘට තරම් හැකියාව තිබෙන්නේ වෙන කාටද?

5. දේවරාජ්‍යයේ පාලකයා තමාගේ සුදුසුකම් සියලුම මිනිසුන් ඉදිරියේ ඔප්පු කර පෙන්නුවා. අනාවැකිවල පවසා තිබූ ආකාරයට නාසරෙත්හි යේසුස් ගැලවුම්කරු බව ඔප්පු වුණා. ඔහු ඉපදුණේ දෙවි සැලසුම් කර තිබූ පෙළපතින්මයි. (උත්පත්ති 22:18; 1 ලේකම් 17:11; මතෙව් 1:1) එමෙන්ම ගැලවුම්කරු හැටියට ඔහු කරන්න යන දේ ගැන සියවස් ගණනාවකට කලින් අනාවැකි පළ කර තිබුණා. ඔහු පොළොවේ සිටියදී ඒ අනාවැකි ඉටු කළා. පැමිණීමට නියමිතව සිටි ගැලවුම්කරු යේසුස් බව යෙහෝවා දෙවිම ස්වර්ගයේ සිට පැවසුවා. එමෙන්ම දේවදූතයනුත් ඔහු ගැලවුම්කරු ලෙස පිළිගත්තා. යේසුස් සියදහස් ගණන් මිනිසුන්ගේ ඇස් පනාපිටම නොයෙකුත් බලවත් ක්‍රියා කළ විට ඔවුන් තේරුම්ගත්තා යේසුස් මේවා සිදු කරන්නේ දෙවිගේ බලයෙන් බව. * යේසුස් මිනිසුන්ට පිහිට වුණේ ඒ සඳහා ඔහුට බලය තිබුණු නිසා පමණක් නොව නමුත් මහත් ආශාවක්ද තිබූ නිසයි. (මතෙව් 8:1-3) ඔහු පරාර්ථකාමී, දයානුකම්පිත, නිර්භීත මෙන්ම නිහතමානී කෙනෙක්. සියලුදෙනාටම කියවා බැලීම සඳහා ඔහුගේ ජීවිත කතාව බයිබලයේ වාර්තා වී තිබෙනවා.

6. දේවරාජ්‍යයේ පාලනයට යේසුස් සමඟ තවත් 1,44,000දෙනෙක් එකතු වෙනවා. තම ගෝලයන් ඇතුළු තවත් අය ස්වර්ගයේදී තමන් සමඟ හවුල් පාලකයන් ලෙස කටයුතු කිරීමට යන බව යේසුස් පවසා තිබුණා. යේසුස් ඒ අයව හැඳින්වූයේ “කුඩා රැළ” ලෙසයි. (ලූක් 12:32) මේ කුඩා රැළට 1,44,000ක් අයත් බව යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන්ට පසු කාලයකදී දන්වනු ලැබුවා. ඔවුන්ට ස්වර්ගයේදී යේසුස් සමඟ හවුල් වී රජවරුන් ලෙස පාලනය කිරීමේ හා පූජකයන් ලෙස සේවය කිරීමේ විශේෂ පැවරුම ලැබෙනවා.—එළිදරව් 5:9, 10; 14:1, 3.

7. දේවරාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පාලනය අරඹා තිබෙන අතර එය මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. මේ හත්වන කාරණයත් අපේ ප්‍රීතියට බොහෝ සේ බලපානවා. යේසුස්ව දැනටමත් ස්වර්ගයේ රජු හැටියට පත් කර තිබෙන බව බයිබලයේ ඇති තරම් සාක්ෂි තිබෙනවා. මේ වෙද්දිත් යේසුස් ස්වර්ගයේ රජු ලෙස කටයුතු කරන අතර ඉතා ඉක්මනින්ම පොළොව කෙරෙහිත් ඔහුගේ පාලනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එවිට ඉහත සඳහන් කළ ප්‍රීතිය ගෙන දෙන අනාවැකි ඉටු වෙන ආකාරය අපිට දැකගත හැකි වෙයි. නමුත් දේවරාජ්‍යය දැනටමත් පාලනය අරඹා තිබෙන බව අපට ස්ථිර විය හැක්කේ කෙසේද? එමෙන්ම දේවරාජ්‍යය පොළොව පාලනය කිරීමට පටන්ගන්නේ කවදාද?

[පාදසටහන්වල]

^ 5 ඡේ. දේවරාජ්‍යය අපේ සිතේ තිබෙන දෙයක් බව බොහෝදෙනෙකුට උගන්වා ඇතත් මෙම අනාවැකිය හා තවත් අනාවැකි මගින් පෙන්වන්නේ එය එසේ නොවන බවයි. දහතුන්වන පිටුවේ “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.

^ 8 ඡේ. මතෙව් 3:17; ලූක් 2:10-14; යොහන් 6:5-14 යන බයිබල් පද කියවා බලන්න.