Skip to content

පටුනට යන්න

පරිණාමවාදය බයිබලයට එකඟද?

පරිණාමවාදය බයිබලයට එකඟද?

පරිණාමවාදය බයිබලයට එකඟද?

මිනිසාව බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගත්තද? ක්ෂුද්‍ර ජීවීන් මත්ස්‍යයන් බවට පත් වී පසුව මත්ස්‍යයන් උරගයන් වී උරගයන් ක්ෂීරපායින් වී ඉන්පසු ක්ෂීරපායින්ගෙන් වානරයන් බිහි වී වානරයන්ගෙන් අවසානයේදී මිනිසුන් බිහි විය යුතුයි කියා දෙවි අරමුණු කළාද? වර්තමානයේ සිටින සමහර විද්‍යාඥයන් හා ආගමික නායකයන් පරිණාමවාදය පිළිගන්නා අතරම බයිබලයේ සඳහන් පරිදි දෙවි මේ සියල්ල නිර්මාණය කළ බවත් විශ්වාස කරනවා. ඔවුන් පවසන්නේ දෙවි සියල්ල නිර්මාණය කළ බවට බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් විස්තරය උපමා කතාවක් බවයි. ‘සතුන් පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා බිහි වූ බවට ඇති මතය බයිබලයට එකඟද’ කියා සමහරවිට ඔබත් කල්පනා කර ඇති.

අපේ මූලාරම්භය හරි හැටි දැනගත්තොත් පමණයි අපි කවුද, අපේ අනාගතය කොයි වගේද, අපි ජීවත් විය යුත්තේ කෙසේද කියා පැහැදිලිව තේරුම්ගත හැකි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන හේතුව සහ මිනිස්වර්ගයා වෙනුවෙන් දෙවි කරන්න යන්නේ කුමක්ද කියලත් එමගින් අපි වටහාගන්නවා. දෙවි අපිව නිර්මාණය කළාද කියා සැකයක් තිබෙනවා නම් ඔහු සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න අපිට බැහැ. ඒ නිසා මිනිසාගේ මූලාරම්භය, අද අපි සිටින තත්වය හා මිනිසාගේ අනාගතය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා අපි සෝදිසි කර බලමු. එවිට අපට හැකියි පරිණාමවාදය බයිබලයට එකඟද නැද්ද කියා තේරුම්ගන්න.

මුල්ම මිනිසා පමණක් සිටියදී

පරිණාමවාදය පිළිගන්නා අය යම් අවදියක එක මිනිසෙක් පමණක් මිහිපිට සිටි බව විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කියා සිටින්නේ සතුන් කාලයක් පුරා පරිණාමය වීමෙන් මිනිසුන් බිහි වූ බවයි. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එහි පවසන්නේ සියලුම මිනිසුන් එක් මිනිසෙකුගෙන් පැවතෙන බවයි. ඒ මිනිසාගේ නම ආදම්. බයිබලයේ ආදම්ව විස්තර කර තිබෙන්නේ මනඃකල්පිත චරිතයක් ලෙස නොව සැබෑ පුද්ගලයෙක් ලෙසයි. ඔහුගේ බිරිඳගේ නම මෙන්ම ඔහුට සිටි සමහර දරුවන්ගේ නම්ද බයිබලයේ සඳහන් වෙනවා. ඔහු කරපු කියපු දේවල්, ඔහු ජීවත් වූ අවදිය සහ ඔහු මිය ගියේ කවදාද කියාත් එහි සවිස්තරාත්මකව වාර්තා වී තිබීමෙන් පැහැදිලි වෙන්නේ ඔහු සැබෑ පුද්ගලයෙක් බවයි. මුල්ම මිනිසා සම්බන්ධයෙන් බයිබලයේ ඇති වාර්තාව යේසුස් පවා පිළිගත්තා. ඔහු එම වාර්තාව සැලකුවේ නූගත් මිනිසුන් සඳහා ලියැවුණු උපමා කතාවක් ලෙස නෙවෙයි. ඒ නිසයි ඔහු එදා සිටි උගත් ආගමික නායකයන්ගෙන් මෙසේ ඇසුවේ. ‘ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බව ඔබ කියවා නැද්ද?’ (මතෙව් 19:3-5) පසුව යේසුස් උත්පත්ති 2:24හි ආදම් සහ ඒව සම්බන්ධයෙන් සඳහන්ව තිබූ වදන් උපුටා දැක්වූවා.

බයිබල් ලේඛකයෙක් හා ඉතා නිවැරදිව තොරතුරු වාර්තා කිරීමට වෙර දැරූ ඉතිහාසඥයෙක් වූ ලූක් පවා ආදම්ව යේසුස් මෙන් සැබෑ පුද්ගලයෙක් ලෙස හැඳින්වූවා. යේසුස් මුල්ම මිනිසා වූ ආදම්ගේ පෙළපතින් පැමිණි ආකාරය ඔහු සඳහන් කළා. (ලූක් 3:23-38) තවත් බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ද ග්‍රීසියේ උසස් පාසැල්වල අධ්‍යාපනය ලබා තිබූ දාර්ශනිකයන් ඉදිරියේ කතා කළ විට ඔවුන්ට මෙසේ පැවසුවා. ‘ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි, . . . මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස . . . එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.’ (ක්‍රියා 17:24-26) ඒ අනුව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙන්නේ අපි සියලුදෙනාම “එක මිනිසෙකුගෙන්” පැවතෙන බවයි. මිනිසා මුලින්ම සිටි තත්වය ගැන බයිබලයේ සඳහන් දේ පරිණාමවාදයට එකඟද කියා අපි දැන් සලකා බලමු.

පරිපූර්ණත්වය අහිමි වී

බයිබලයේ සඳහන් වෙන ආකාරයට දෙවි නිර්මාණය කළ මුල්ම මිනිසා සිටියේ පරිපූර්ණ තත්වයකයි. දෙවි කවදාවත් දෝෂයක් ඇතුව කිසි දෙයක් නිර්මාණය කරන්නේ නැහැ. හැම දෙයක්ම නිර්මාණය කිරීමෙන් පසු ඔහුට මේ විදිහට හැඟුණේ ඒ නිසයි. “දෙවි තම ස්වරූපයෙන් මනුෂ්‍යයාව සෑදුවේය. . . . ඉන්පසු දෙවි තමා සෑදු සියල්ල දෙස බැලුවේය. එය ඉතා හොඳ තත්වයක තිබුණේය.” (උත්පත්ති 1:27, 31, නව ලොව පරිවර්තනය, NW) පරිපූර්ණ මිනිසෙක් මොන වගේද?

පරිපූර්ණ මිනිසෙකුට නිදහස් කැමැත්ත තිබෙන අතර යෙහෝවා දෙවිගේ ගතිගුණ සම්පූර්ණයෙන්ම විදහා පෙන්වීමේ හැකියාවද තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවි මිනිසාව කිසි දෝෂයක්’ නැතුව සෑදූ නමුත් “මිනිසා හිතුමතේට ක්‍රියා කර එහි ප්‍රතිඑල විඳින බවයි.” (දේශනාකාරයා 7:29NW) පරිපූර්ණ මිනිසෙකු වූ ආදම් දෙවිට විරුද්ධව කැරලි ගැසූ නිසා පරිපූර්ණත්වය නැති කරගත්තා. ඔහුගෙන් පැවතෙන අපිටත් ඒ තත්වයම උරුම වුණා. ඒ නිසයි හරි දේ කරන්න ලොකු ආශාවක් තිබුණත් වැරදි දේම කරන්න අපි පෙලඹෙන්නේ. බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ද පැවසුවේ ‘මා කරන්නේ මා කරන්න කැමති දේ නොව මා ද්වේෂ කරන දේ’ කියායි.—රෝම 7:15.

බයිබලයේ සඳහන් වෙන ආකාරයට පරිපූර්ණ මිනිසෙකුට නිරෝගී සෞඛ්‍ය තත්වයක් ඇතුව නොමැරී ජීවත් වීමේ හැකියාව තිබෙනවා. ආදම් දෙවිට පිටුපෑවේ නැත්නම් ඔහු කවදාවත් මිය යන්නේ නැහැ. ඒ බව දෙවිම ඔහුට පැවසූ දේවලින් පැහැදිලි වෙනවා. (උත්පත්ති 2:16, 17; 3:22, 23) ආරම්භයේදීම කැරලි ගැසීමේ හෝ ලෙඩ වීමේ ස්වභාවය මිනිසා තුළ තිබුණා නම් “සියල්ල ඉතා යහපත් තත්වයක තිබුණු බව” දෙවි පවසන්නේ නැහැ. අපේ ශරීරය පුදුමාකාර විදිහට නිර්මාණය වී තිබුණත් අපි ලෙඩ වී දුර්වල වෙන්නේ පරිපූර්ණත්වයෙන් බොහෝ ඈත්ව සිටින නිසයි. පරිණාමවාදයට අනුව මිනිසා පහත් තත්වයේ සිට උසස් තත්වය දක්වා දියුණු වෙන සත්වයෙක්. නමුත් බයිබලයේ සඳහන් පරිදි මිනිසා පරිපූර්ණ තත්වයක සිට දුර්වල තත්වයකට පත් වී ඇති කෙනෙක්. මේ අනුව බලද්දී පරිණාමවාදය බයිබලයට එකඟ වෙන්නේ නැහැ.

පරිණාමය යොදාගෙන දෙවි මිනිසාව බිහි කළා කියන අදහස දෙවිගේ පෞද්ගලිකත්වයට ගැළපෙන්නේ නැහැ. ඔහු එවැනි දෙයක් කළා නම් ඉන් අදහස් වෙන්නේ අපි අද සිටින ලෙඩ දුක්වලින් පිරි මේ දුක්ඛිත තත්වයට අපව ගෙනැවිත් තිබෙන්නේ දෙවි බවයි. නමුත් ඔහු ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “දෙවි පර්වතයය. දෙවිගේ වැඩ සම්පූර්ණය. මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය. දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි. දෙවි සාධාරණය, ධර්මිෂ්ඨය. ඔවුහු ඔහු කෙරෙහි දූෂ්‍ය ලෙස ක්‍රියා කළෝය. ඔවුහු දෙවිගේ පුත්‍රයෝ නොවෙති. එය ඔවුන්ගේ කැළලය.” (ද්විතීය කතාව 32:4, 5) එමනිසා දෙවි පරිණාමයෙන් මිනිසාව බිහි කර මේ දුක්ඛිත තත්වයට ඔවුන්ව ඇද දැමුවා කියා කොහෙත්ම පවසන්න බැහැ. නමුත් මේ සියල්ලටම හේතුව මුල්ම මිනිසා දෙවිට අකීකරු වී පරිපූර්ණත්වය අහිමි කරගැනීමයි. අපි මෙතෙක් වේලා මුල්ම මිනිසා වූ ආදම් ගැන සලකා බැලුවා. දැන් අපි බලමු යේසුස් සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් තොරතුරු පරිණාමවාදයට එකඟද කියා.

පරිණාමවාදය හා ක්‍රිස්තියානි ධර්මය

‘ක්‍රිස්තුස් අපේ පාප උදෙසා මිය ගිය බව’ බයිබලයේ සඳහන් වෙනවා. එය ක්‍රිස්තියානි ධර්මයේ මූලික ඉගැන්වීමක්. (1 කොරින්ති 15:3; 1 පේතෘස් 3:18) ඒ ඉගැන්වීම පරිණාමවාදයට එකඟ වෙන්නේ නැහැ. ඒ ඇයි කියා දැනගැනීමට පෙර බයිබලයේ අපිව පව්කාරයන් ලෙස හැඳින්වීමට හේතුව සොයා බලමු.

අපිව පව්කාරයන් ලෙස හඳුන්වන්නේ ප්‍රේමය හා යුක්තිය වැනි දෙවිගේ ගතිගුණ අපිට සම්පූර්ණයෙන්ම විදහා පෙන්විය නොහැකි නිසයි. බයිබලයේ සඳහන් වෙන ආකාරයට ‘සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිනවා.’ (රෝම 3:23) මරණයට හේතුව පාපය බව බයිබලයේ පැහැදිලිව පෙන්වා දෙනවා. උදාහරණයකට 1 කොරින්ති 15:56හි සඳහන් වෙන්නේ ‘මරණය උපදවන විෂ දළ පාපය’ කියායි. එමෙන්ම මිනිසුන්ට ලෙඩ රෝග වැලඳීමට හේතුවත් පාපය බව යේසුස් අංශභාග රෝගියෙකුව සුව කළ අවස්ථාවේදී පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. ඔහු පැවසුවේ “ඔබේ පව් කමා කරන ලද්දේය” කියායි. ඒ මොහොතේම අංශභාග රෝගියාට සුවය ලැබුණා.—මතෙව් 9:2-7.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද? ආදම්ගෙන් අපිට උරුම වී තිබෙන පාපයෙන් අපව ගලවාගැනීම සඳහා වන්දියක් ලෙස යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා. යේසුස් හා ආදම් අතර ඇති වෙනස දක්වමින් බයිබලයේ පවසන්නේ මෙයයි. “ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්, ක්‍රිස්තුස් තුළ සියල්ලෝ ජීවත් කරනු ලබන්නෝය.” (1 කොරින්ති 15:22) මේ අනුව යේසුස් කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගෙන ඔහුට කීකරු වෙන ඕනෑම කෙනෙකුට ආදම් අහිමි කරගත් සදාකාල ජීවනය ලබාගන්න පුළුවන්.—යොහන් 3:16; රෝම 6:23.

පරිණාමවාදය ක්‍රිස්තියානි ධර්මය හා එකඟ වෙන්නේ නැත්තේ ඇයි කියා ඔබ දුටුවද? ‘ආදම් තුළ සියල්ලන් මැරෙන බව’ අපි පිළිගන්නේ නැත්නම් ‘ක්‍රිස්තුස් තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන බව’ අපි විශ්වාස කරන්නේ කොහොමද?

පරිණාමවාදය මිනිසුන්ගේ සිත්ගන්නේ ඇයි?

පරිණාමවාදය වැනි ඉගැන්වීම් ජනප්‍රිය වුණේ කෙසේද කියා බයිබලයේ පෙන්නුම් කරනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය. ඔවුහු සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය.” (2 තිමෝති 4:3, 4) පරිණාමවාදය සාමාන්‍යයෙන් විස්තර කර තිබෙන්නේ විද්‍යාත්මක යෙදුම්වලින් වුණත් එයට යම් ආගමික මුහුණුවරක් තිබෙනවා කියා පැවසිය හැකියි. ඊට හේතුව ජීවිතය හා දෙවි සම්බන්ධයෙන් මිනිසුන්ගේ සිත්වල යම් ආකල්ප ඇති කිරීමට එයට හැකිවීමයි. පරිණාමවාදය පිළිගන්නා අය දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කළත් දෙවි මිනිසුන්ව නිර්මාණය කළ බව නම් පිළිගන්නේ නැහැ. මේ මතය ආර්මාර්ථකාමී ලෙස තමන්ට ඕන ඕන දේවල් කිරීම සඳහා ඔවුන්ට මහත් පිටුවහලක් වී තිබෙනවා. එයට හේතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ නැත්නම් ඔහු කොහොමටවත් අපිට දඬුවම් කරන එකකුත් නැහැ කියා ඔවුන් සිතීමයි. මේ අනුව බලද්දී පරිණාමවාදය තම තමන්ට කැමති දේවල් කිරීමට මිනිසුන්ට රුකුලක් වන ඉගැන්වීමක් නිසා එය පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් හා සමානයි.

විද්‍යාව අතින් දැනුම් තේරුම් ඇති අයගේ පිළිගැනීමට ලක්වීමට ඇති ආශාව නිසා පරිණාමවාදය ගැන උගන්වන අය බොහෝවිට ඇත්ත ඇති සැටියෙන් දකිනවාට වඩා ‘තමන්ගේ ආශාවටයි’ ඉඩ දෙන්නේ. ජීවි සෛලවල සංකීර්ණ අන්තර් ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කිරීමට තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් යෙදෙවූ ජීව විද්‍යාඥ මයිකල් බීහී පවසන්නේ සෛලයේ සැකැස්ම පිළිබඳව පැහැදිලි කරන පරිණාමවාදීන් හරි පදනමක් නැතුව ඒ ගැන උගන්වන බවයි. ජීවීන් පරිණාමය වුණා නම්, එය ඇරඹුණේ සෛල තුළ තිබෙන පියවි ඇසටවත් නොපෙනෙන අණුවලින්ද? ඔහු මෙලෙස පවසනවා. “විද්‍යාවට අනුව නම් අණුවල පරිණාමයක් සිදු වන්නේ නැහැ. සෛලයක් තුළ තිබෙන සංකීර්ණ ජෛව රසායනික පද්ධතියේ එවැනි පරිණාමයක් සිදු වූ බවට හෝ ඉදිරියේදී සිදු වෙයි කියා හෝ දැක්වෙන කිසිම සඟරාවක්වත්, පොතක්වත් මේ තාක් විද්‍යා ක්ෂේත්‍රයේ නම් පළ කර නැහැ. . . . අණුවල පරිණාමය පිළිබඳ ඩාවින්ගේ ඉගැන්වීම පුරසාරම් දෙඩීමක් පමණයි.”

පරිණාමවාදය ඔප්පු කිරීමට සාක්ෂිවත් නැති කොට සමහරු ඒ ගැන මහා ලොකුවට කතා කරන්නේ ඇයි? ඒ ගැන බීහී මෙසේ පවසනවා. “ගෞරව නාම හිමි කරගෙන සිටින ඉතා වැදගත් විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනා ස්වභාවධර්මයට පිටින් සියල්ල නිර්මාණය කළ බලවත් කෙනෙක් සිටින බව පිළිගැනීමට කැමති නැහැ.

තමන් උගත් බව මවා පෑමට කැමති පූජක පක්ෂය පවා පරිණාමවාදය විශ්වාස කරනවා. පාවුල් රෝමයේ පිහිටි ක්‍රිස්තියානි සභාවට ලියූ ලිපියේ විස්තර කර තිබූ මිනිසුන්ට මේ පූජකයන්ව සමාන කරන්න පුළුවන්. ඔහු ලිව්වේ මෙලෙසයි. “දෙවි ගැන දැනගත හැකි දේ ඔවුන් අතරේ ප්‍රකාශ වී තිබේ. . . . ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට නැත. මන්ද, ඔවුන් දෙවිව දැන සිටියත්, ඔහුව දෙවි ලෙස සලකා මහිමයට පත් කළේවත් ඔහුට ස්තුති කළේවත් නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තර්ක විතර්ක නිරර්ථක ඒවා බවට පත් වී ඔවුන්ගේ අඥාන සිත් අඳුරු විය. තමන් ප්‍රඥාවන්තයයි තරයේ කියා සිටියත් ඔවුන් අඥාන වී ඇත.” (රෝම 1:19-22) මෙවන් අසත්‍ය දේවල් උගන්වන අයගෙන් ඔබට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

නිර්මාතෘ කෙනෙක් සිටින බවට සාක්ෂි

ඇදහිල්ල තිබීමට නම් ඊට අනුබල දෙන සාක්ෂි තිබිය යුතු බව බයිබලයේ මෙසේ කාවද්දා තිබෙනවා. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය. නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1) සියලු දේ නිර්මාණය කර තිබෙන දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි සොයාගත්තොත් පමණයි ඔහු කෙරෙහි ඇදහිල්ල තැබිය හැක්කේ. එවන් සාක්ෂි සොයාගත හැක්කේ කොහෙන්ද කියා බයිබලයේ සඳහන් වෙනවා.

බයිබල් ලේඛකයෙක් වූ දාවිත් වතාවක් මෙසේ ගායනා කළා. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! ඒ ගැන මා කල්පනා කර බලන විට මා තුළ මහත් ගරුබියක් ඇති වන්නේය.” (ගීතාවලිය 139:14NW) මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ව නිර්මාණය කර තිබෙන ආකාරය ගැන ගැඹුරින් කල්පනා කර බලද්දී නිර්මාණකරුගේ ප්‍රඥාව ගැන අපි පුදුමයට පත් වෙනවා. උදාහරණයකට අපේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සිරුරේ ඇති දහසකුත් පද්ධතීන් ක්‍රියා කරන ආකාරය දෙස බලන විට පැහැදිලි වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් අපිව නිර්මාණය කර ඇති බවයි. එමෙන්ම අපගේ විශ්වයත් ඉතා නිවැරදි ගණිතමය මිමිවලට අනුව පිහිටා තිබෙනවා. දාවිත් ඒ ගැන පැවසුවේ “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන් තලය ඔහු දෑතින් කළ දේට සාක්ෂි දෙයි” කියලයි.—ගීතාවලිය 19:1NW.

සියල්ල නිර්මාණය කළේ දෙවි බවට ඇති තරම් සාක්ෂි බයිබලයෙන් සොයාගන්න පුළුවන්. බයිබලයේ පොත් 66ක් තිබෙන අතර ඒ හැම පොතක්ම එකිනෙකට සම්බන්ධයි. ඉතා උසස් සදාචාරමය ප්‍රමිති මෙන්ම නොවරදින අනාවැකිද එහි ඇතුළත් වී තිබෙනවා. මීට අමතරව දුක් වේදනා පැවතීමට හේතුව, මිනිස් වර්ගයාගේ අනාගතය, සැබෑ සන්තෝෂය සොයාගත හැකි ආකාරය හා දේවරාජ්‍යය සම්බන්ධයෙන් තොරතුරුත් බයිබලයෙන් සොයාගන්න පුළුවන්. ඒවා ගැන සොයා බැලීමට කාලය වැය කිරීමෙන් බයිබලයේ කර්තෘ, අපිව නිර්මාණය කළ දෙවිම බව ඔබ තේරුම්ගනීවි. එවිට බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ට හැඟුණු මේ දේම ඔබටත් හැඟෙයි. “දෙවිගේ ආත්මික සම්පත් මෙන්ම ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද!”—රෝම 11:33.

නිර්මාතෘ කෙනෙක් සිටින බවට තිබෙන සාක්ෂි ගැන සොයා බලද්දී ඔබට ඔහු කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ප්‍රතිඵලයක් ලෙස බයිබලය කියවද්දී දෙවිම ඔබට කතා කරනවා කියා ඔබට හැඟේවි. ඔහු පවසන්නේ මෙයයි. “පොළොවත් එහි වැසියන්වත් මැවුවේ මමයි. අහසත් සේනාවක් බඳු තරකා සියල්ලත් මැවුවේ මාගේම දෑත්වලින්ය.” (යෙසායා 45:12NW) යෙහෝවා දෙවි සියල්ලේ නිර්මාතෘ බව සහතික කරගැනීමට ඔබට යම් උත්සාහයක් දරන්න සිදු වුණත් එය පසුතැවිල්ලට නොව ප්‍රීතියට හේතුවක් වන බව කිසිම සැකයක් නැහැ.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘දෙවි එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදූ බව’ පාවුල් උගත් ග්‍රීක් ජාතිකයන්ට පැවසුවා

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පරිණාමවාදයට අනුව මිනිසා පහත් තත්වයේ සිට උසස් තත්වය දක්වා දියුණු වෙන සත්වයෙක්. නමුත් බයිබලයට අනුව මිනිසා පරිපූර්ණ තත්වයක සිට දුර්වල තත්වයකට පත් වී ඇති කෙනෙක්

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“විද්‍යාවට අනුව නම් අණුවල පරිණාමයක් සිදු වන්නේ නැහැ”

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවමාන සියල්ල නිර්මාණය කර තිබෙන ආකාරයෙන් ඒවායේ නිර්මාතෘ කොතරම් ප්‍රඥාවන්තද කියා පැහැදිලි වෙනවා