පවුලේ සමඟියට දායක වන “ප්‍රිය වචන”
පවුලේ සමඟියට දායක වන “ප්‍රිය වචන”
තම වාහනයට නැඟ එය පණගැන්වූ ඩේවිඩ් ඔහුගේ බිරිඳ එන තෙක් බලා සිටිනවා. ඇය ප්‍රමාද වෙද්දී සැරෙන් සැරේ ඔරලෝසුව දිහා බලන ඩේවිඩ්ට හොඳටම කේන්ති ගිහින්. ඒත් එක්කම ඔහුගේ බිරිඳ (ඩයෑන්) නිවසෙන් එළියට එනවා.
“මොකද ඔච්චර පරක්කු? හැම තිස්සෙම ඔහොම තමයි. කොහේ හරි යන්න ගියොත් වෙලාවට එන්නෙ නැහැ” කියා ඔහු සැරෙන් කිව්වා.
ඩයෑන්ට දුක හිතුණා. ඇය අඬාගෙන ආපහු නිවසට දිව්වා. ඩේවිඩ්ට තමන් කළේ මෝඩ වැඩක් කියලා තේරුණේ එවිටයි. කෝප වී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් තත්වය තවත් දරුණු වුණා. පණගන්වා තිබූ වාහනය නවතා දිග සුසුමක් හෙළූ ඔහු රථයෙන් බැස කරබාගෙන ගෙට ගියා.
මෙවැනි දෙයක් සිදුවීම අසාමාන්‍යද? සමහරවිට ඔබටත් මෙවැනි අද්දැකීම් ඇති. යමක් පවසා පසුව අපරාදේ එහෙම කිව්වේ කියා ඔබට හැඟී නැද්ද? හිතන්නේ බලන්නේ නැතුව කියන දේවල් නිසා අපිට බොහෝවිට පසුතැවෙන්න සිදු වෙනවා. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දෙන්න කලින් හොඳින් සිතයි” කියා බයිබලයේ සඳහන් ඔවදන ඉතා වටින්නේ එනිසයි.—හිතෝපදේශ 15:28, නව ලොව පරිවර්තනය, NW.
ඒත් අප කෝප වී, භය වී හෝ සිත රිදී සිටින අවස්ථාවක හොඳින් සිතා බලා කතා කරන එක නම් පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන් පවුලේ කෙනෙක් එක්ක කතා බහ කරද්දී බනින්න හෝ දොස් පවරන්න තිබෙන ඉඩ කඩ වැඩියි. සමහරවිට එහි ප්‍රතිඵලය වන්නේ සිත් රිදවීම් ඇති වී වාදයන් දක්වා දෙවල් දුර දිග යෑමයි.
එසේනම් මෙවැනි අවස්ථාවකදී ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු කළ හැක්කේ කෙසේද? අපේ හැඟීම් යටපත් කරගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් හොඳ උපදෙස් බයිබල් ලේඛකයෙක් වූ සලමොන්ගෙන් අපට ලබාගන්න පුළුවන්.
කියන්න කලින් හිතන්න
බයිබලයේ දේශනාකාරයා පොතේ ලේඛකයා වන සලමොන් ජීවිතයේ නිෂ්ඵලභාවය ගැන හෙළි කළා. “මම ජීවිතයට ද්වේෂ කළෙමි” කියා පැවසූ ඔහු එය ‘නිෂ්ඵලකමෙත් නිෂ්ඵලකමක්’ කියාද පැවසුවා. (දේශනාකාරයා 2:17; 12:8) නමුත් දේශනාකාරයා පොත පිරී තිබෙන්නේ කලකිරුණු වදන් පෙළකින් නම් නොවෙයි. ජීවිතයේ නරක පැත්ත ගැන පමණක් සඳහන් කිරීම නුසුදුසු බව ඔහු තේරුම්ගත්තා. එනිසයි ‘ප්‍රිය වචන සෙවීමටත්, සත්‍ය වචන නිසි ලෙස ලියා තැබීමටත් උත්සාහ කළා’ කියා ඔහු අවසානයේදී පැවසුවේ. (දේශනාකාරයා 12:10) ඔහු “මේ දේවල් ඉතා නිවැරදිව සුදුසුම වචන යොදා විස්තර කිරීමට උත්සාහ කළා” කියා තවත් පරිවර්තනයක සඳහන් වෙනවා.—Contemporary English Version
මින් පෙනී යන්නේ තමන්ගේ හැඟීම් පාලනය කරගත යුතු බව සලමොන් වටහාගෙන සිටි බවයි. ඔහුට නිතරම මෙසේ කල්පනා කරන්න සිදු වුණා.
‘මම ලියන්න යන දේ ඇත්තක්ද? මගේ කටින් පිට කරන වචන අනිත් අයට පිළිගන්න පුළුවන් ප්‍රිය වචනද?’ තමාට ඇති වූ කලකිරීමේ හැඟීම් යටපත් කරගෙන නිසි ලෙස සත්‍ය වචනය ලියන්න හැකි වුණේ ඔහු “ප්‍රිය වචන” සෙවූ නිසයි.දේශනාකාරයා පොත උසස් කෘතියක් වීමට බලපෑවේ එයයි. එමෙන්ම ජීවිතයේ හරය පිළිබඳ දෙවිගේ ප්‍රඥාවද එහි තිබෙනවා. (2 තිමෝති 3:16, 17) ජීවිතය ගැන දැඩි කලකිරීමක් ඇති වී තිබුණත් සලමොන් තමන්ට හැඟුණ දේ වචනයට නැඟූ ආකාරය, පවුලේ සාමාජිකයන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගන්න අපට උපකාරවත් වෙයි.
හැඟීම් පාලනය කළ හැකි ක්‍රමයක්
නිදසුනක් බලමු. ළමයෙක් තම ප්‍රගති වාර්තාව රැගෙන ගෙදර ආවා. ඔහුගේ මූණ හොඳටම මැළවිලා. ඔහු හැම විෂයකටම ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ගැන ඔහුගේ පියා සෝදිසි කරනවා. එක විෂයකට විතරක් ලකුණු හොඳටම අඩු වෙලා. පියාට හුඟක් කේන්ති ගියා. පුතා පාසැලෙන් දුන් ගෙදර වැඩ අතපසු කළ ආකාරය ඔහුගේ මතකයට නැඟුණා. “ඔයා මහ කම්මැළියෙක්! මේ විදිහට ගියොත් ඔයාට කවදාවත් හරියන්නේ නැහැ” කියලා බැනවදින්නයි තාත්තට හිතුණේ.
නමුත් ඊට කලින් ඔහු තමාගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මම හිතන දේ හරිද?’ ඇත්තටම සිදු වී තිබෙන දේ සහ තමාගේ හැඟීම් අතර වෙනස තේරුම්ගන්න මේ ප්‍රශ්නය ඔහුට උපකාරයක් වේවි. (හිතෝපදේශ 17:27) එක විෂයකට ලකුණු අඩු වූ පමණින් පුතාගේ මුළු ජීවිතයම අසාර්ථක වෙනවායයි කීම සාධාරණද? ඔහු සාමාන්‍යයෙන්ම කම්මැළි ළමයෙක්ද? නැත්නම් එම විෂය ඔහුට අමාරු නිසාද ඔහු ගෙදර වැඩ නොකළේ? සැමවිටම සාධාරණ වීමේ වැදගත්කම ගැන බයිබලයේ අවස්ථා ගණනාවකම සඳහන් වී තිබෙනවා. (තීතස් 3:2; යාකොබ් 3:17) දරුවෙකුව දිරිගැන්වීමට නම් දෙමාපියන් “සත්‍ය වචන නිසි ලෙස” කතා කළ යුතුයි.
තැනට සුදුසු වචන
තමන් කිව යුතු දේ පවා කියන්න ඕන කොහොමද කියා කල්පනා කළ පසු පියාට තමන්ගෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මගේ පුතාට පිළිගන්න පුළුවන් වෙන විදිහට මම මේක කියන්නේ කොහොමද?’ තැනට සුදුසු වචන සොයන එක එතරම් පහසු දෙයක් නොවන බව ඇත්තයි. නමුත් නහඹර වියේ සිටින දරුවන් එක් දෙයකින් අසාර්ථක වෙනවා නම් තමන් හැම අතින්ම අසාර්ථකයි කියා හිතන්න පෙලඹෙන බව දෙමාපියන් මතක තබාගත යුතුයි. දෙමාපියන් කල්පනාකාරීව කටයුතු නොකළොත් කුඩා මනසේ එවැනි සිතුවිලි පැළපදියම් විය හැකියි. කොලොස්සි 3:21හි [නව අනුවාදය] පවසන්නේ මෙයයි. “ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.”
“හැම තිස්සෙම” සහ “කවදාවත්” වැනි වචන භාවිත කිරීම කෙන්ද කන්ද කිරීමක් හා සමාන දෙයක්. “ඔයා කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ” කියා දෙමාපියෙක් දරුවෙකුට පැවසුවොත් තමන්ගේ වටිනාකමක් නැහැ කියා දරුවාත් වැරදි ලෙස සිතන්න පටන්ගනියි. මෙලෙස නිතර නිතර පැවසුවොත් කුමක් සිදු වෙයිද? ඔහු අධෛර්යයට පත් වෙයි. එමෙන්ම දරුවාට එසේ පැවසීම සැබෑවක්ද නොවෙයි.
වරද පෙන්වා දීමට කලින් හොඳ පැති ගැන කතා කිරීමයි වඩාත් සුදුසු වන්නේ. අප සලකා බලන නිදසුනේ පියාට හැකියි මෙවැනි දෙයක් පවසන්න. “පුතා ඔයාගේ ලකුණු අඩු විෂය ගැන ඔයා හුඟක් දුක් වෙනවා වගෙයි. ඒ ගැන එච්චර හිතන්න එපා. ඔයාට දෙන වැඩ සාමාන්‍යයෙන් ඔයා කරනවනේ. දැන් අපි බලමු මේ විෂයට ලකුණු අඩු වුණේ ඇයි කියලා.” තම පුතාට උපකාර කළ හැකි හොඳම විදිහ ගැන තීරණය කිරීමට පුතාගෙන් යම් ප්‍රශ්න අහලා ගැටලුවට හේතුව සොයාගත යුතුයි.
වහා කිපෙනවාට වඩා හොඳින් හිතලා බලලා එලෙස කාරුණිකව එළඹීමයි සුදුසුම දේ. ‘ප්‍රිය වචන යමෙකුට මිහිරිබවක්ද ඔහුගේ ඇටවලට සුවයක්ද ගෙන දෙයි’ කියා බයිබලයේ සහතික කර තිබෙනවා. (හිතෝපදේශ 16:24, NW) සාමකාමි ප්‍රේමණීය වාතාවරණයක් පවුලේ සියල්ලන්ගේම ප්‍රීතියට දායක වෙයි.
“මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි”
මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ සැමියා කළ යුතුව තිබුණේ කුමක්ද? කේන්ති ගෙන තම බිරිඳට බණිනවා වෙනුවට ඔහු “ප්‍රිය වචන” භාවිත කළා නම් තත්වය ඊට වඩා හොඳ වෙන්න ඉඩ තිබුණා නේද? එවැනි අවස්ථාවකට මුහුණ දෙන සැමියෙකු තමන්ගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘මගේ බිරිඳ වෙලාවට වැඩ කරන්න ඉගෙනගත යුතු බව හිතෝපදේශ 29:11.
ඇත්තයි. ඒත් එයා හැම තිස්සෙම ප්‍රමාද වෙනවා කියන එක ඇත්තක්ද? මේ වෙලාවේ එයාගේ වරද ඉස්මතු කරන එක හොඳද? කේන්ති ගෙන දොස් නැඟීමෙන් ඇය තම වරද හදාගනියිද?’ එවැනි ප්‍රශ්න අපෙන්ම අසාගැනීමෙන් ලෙන්ගතු අයගේ හිත් රිදවීමෙන් වැළකී සිටින්න අපට හැකියි.—පවුලේ සාමාජිකයන් අතර සිදු වන කතා බහ අවසන් වෙන්නේ වාදයකින් නම් කුමක් කිව හැකිද? බොහෝවිට අපි වචන පිට කරන්නේ හිතේ තිබෙන දේ අනුවයි. එමනිසා මානසික පීඩනයෙන් සිටින අවස්ථාවකදී අපි පවසන දෙයින් අපේ ඇතුළාන්ත ස්වභාවය බොහෝදුරට හෙළි වෙනවා. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (මතෙව් 12:34) වෙනත් විදිහකින් කියනවා නම් අපි පවසන දෙයින් අපේ ඇතුළාන්ත සිතුවිලි, ආශාවන් හා ආකල්පයන් ගැන යමක් කියා පානවා.
අපි අනාගතය දිහා බලන්නේ යථාර්ථවාදීව, ශුභවාදීව හා බලාපොරොත්තුවක් ඇතුවද? එසේනම් අපේ කතා බහෙන් හා වචන පිට කරන ස්වරයෙන් එය පිළිබිඹු වේවි. නමුත් අපි නම්‍යශීලී නොවන, අශුභවාදී හෝ විවේචනාත්මක පුද්ගලයන් නම් අපි කියන දෙයින් හෝ එය කියන ආකාරයෙන් අපි අන් අයව අධෛර්යයට පත් කළ හැකියි. අපේ සිතුවිලි හෝ අපේ කතාව අන් අයව කොතරම් අධෛර්යයට පත් කරනවාද කියා අප නොදන්නවා විය හැකියි. අපි කරන කියන දේ හරියි කියා සිතන්න පවා අපි පෙලඹෙන්න පුළුවන්. නමුත් අපවම රවටාගැනීමෙන් අපි වැළකිය යුතුයි.—හිතෝපදේශ 14:12.
අපේ සිතුවිලි සෝදිසි කර බලා නිවැරදි කරගත යුතු ඒවා මොනවාද කියා පෙන්වා දීමට දෙවිගේ වචනය වන බයිබලයට හැකියි. ඒ නිසා එය ලබා දීම ගැන අපි දෙවිට ස්තුතිවන්ත විය යුතුයි. (හෙබ්‍රෙව් 4:12; යාකොබ් 1:25) අපි කවුරු වුණත්, හැදී වැඩුණු පරිසරය කුමක් වුණත්, මොන ගතිගුණ තිබුණත් වුවමනාවක් තිබෙනවා නම් අපිට හැකියි අපි හිතන විදිහ වෙනස් කර, ඒ අනුව ක්‍රියා කරන්න.—එෆීස 4:23, 24.
අපි කතා බහ කරන ක්‍රමය සුදුසුද නැද්ද කියා තීරණය කිරීමට බයිබලයෙන් උපකාරයක් ලබනවාට අමතරව අන් අයගෙනුත් අප ගැන විමසිය හැකියි. උදාහරණයකට, ඔබ කතා කරන ක්‍රමය සුදුසුදැයි අවංකව පවසන්න කියා ඔබේ සැමියාගෙන්, බිරිඳගෙන් හෝ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබව හොඳින් දන්නා හඳුනන මිතුරෙකුගෙන් ඒ ගැන අසන්න. ඔවුන් පවසන දේ පිළිගෙන වෙනස්කම් කිරීමට නිහතමානිකම අවශ්‍යයි.
දෙවරක් සිතන්න
අන් අයව නොරිදවන ආකාරයෙන් කතා කිරීමට නම් අපි හිතෝපදේශ 16:23 [NW]හි පවසන දේ කළ යුතුයි. එහි පවසන්නේ මෙලෙසයි. “ප්‍රඥාවන්තයාගේ සිත ඔහුව පොලඹවන්නේ තීක්ෂ්ණ බුද්ධිය හොඳින් පාවිච්චි කර කතා කිරීමටයි. අන් අයගේ සිත් ඇදගන්නා ලෙස කතා කිරීමටද එය උදව් වෙයි.” අපේ හැඟීම් පාලනය කිරීම සැමවිටම පහසු දෙයක් නොවෙයි. නමුත් අන් අයව පහත් කරනවා හෝ ඔවුන්ට චෝදනා කරනවා වෙනුවට ඔවුන්ව තේරුම්ගන්නවා නම් පහසුවෙන්ම නිවැරදි වචන සොයාගත හැකියි.
වැරදි නොකරන කෙනෙක් මේ ලෝකේ නැහැ. (යාකොබ් 3:2) සමහරවිට හිතන්නේ බලන්නේ නැතුව අපි කතා කරනවා. (හිතෝපදේශ 12:18) නමුත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් කතා කිරීමට පෙර සිතන්නත්, අපේ ඕනෑ එපාකම්වලට වඩා අන් අයගේ හැඟීම් හා අවශ්‍යතාවන්වලට ඉඩ දෙන්නත් අපට හැකියි. (ෆිලිප්පි 2:4) සත්‍යතාවෙන් යුත් “ප්‍රිය වචන” කතා කිරීමට අපි අදිටන් කරගනිමු. විශේෂයෙන්ම පවුලේ අය සමඟ! එවිට අපේ කතාවෙන් සිත් රිදවීමක් සිදු වෙනවාට වඩා අපේ පවුලේ සාමාජිකයන් සමඟ සාමයෙන් සිටීමට අපට හැකි වෙයි.—රෝම 14:19.
[12වන පිටුවේ පින්තූරය]
පසුතැවෙන්න සිදු වෙන යමක් පැවසීමෙන් වළකින්නේ කෙසේද?