Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි

යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි

යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි

යෙහෝවා දෙවිට හැකියි ඉදිරියේදී සිදු වන දේවල් ගැන ඉතා නිවැරදිව කියන්න. ඒ නිසා ඔහු තමා ගැනම මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “එකම දෙවි මමයි. මා හා සමාන තවත් දෙවි කෙනෙක් නැත. මා අවසානයේදී සිදු වන දේ කලින් කියන, තවමත් සිදු වී නැති දේවල් බොහෝ කාලයකට ප්‍රථමයෙන් පවසන, ‘අරමුණු කළ දේ ඒ අයුරින්ම ඉටු කරන’ තැනැත්තාණන්ය.”—යෙසායා 46:9, 10, නව ලොව පරිවර්තනය, NW.

මිනිසුන්ට අනාගතය ගැන නිවැරදිව කියන්න බැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා අනාවැකිවලින් පිරි පොතක් වන බයිබලයේ කර්තෘ දෙවිද කියා සොයා බැලීමට සත්‍යය ගැන උනන්දුවක් දක්වන අය තුළ පෙලඹවීමක් ඇති විය යුතුයි. මේ ලිපියෙන් අපි දැනටමත් ඉටු වී තිබෙන අනාවැකි කිහිපයක් ගැන සලකා බලමු.

ඉපැරණි ජාතීන් ගැන අනාවැකි

ඒදොම්වරුන්, මෝවබ්වරුන් හා අම්මොන්වරුන් සදහටම පොළොවෙන් තුරන් වී යන බව දෙවි කලින්ම පවසා තිබුණා. (යෙරෙමියා 48:42; 49:17, 18; 51:24-26; ඔබදියා 8, 18; ශෙපනියා 2:8, 9) අද වෙද්දී මේ කිසිම ජාතියක් පොළොවේ නැහැ. දෙවි පැවසූ ලෙසම ඔවුන් නැති වී ගිහින්. මෙයින් පෙනී යන්නේ දෙවි පවසන අනාවැකි නිවැරදිව ඉටු වෙන බවයි.

මොන තරම් බලවත් රාජ්‍යයක් වුණත් කවදා හෝ විනාශ වී යනවා කියා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් විනාශ වීමට නියමිත රාජ්‍යයන් ගැන පවසනවාට අමතරව ඒවා විනාශ වෙන ආකාරයත් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට බැබිලෝනියානු අධිරාජ්‍යය වැටෙන බව සඳහන් කරනවාට අමතරව එය වටලනු ලබන්නේ මේදීය ජාතිකයන් බවත් එම හමුදාවේ ප්‍රධානියා කෝරෙෂ් බවත් බයිබලයේ පුරෝකථනය කර තිබුණා. ඒ විතරක් නෙවෙයි නුවරේ ආරක්ෂාව සඳහා ඒ වටා තිබුණු ගංගාවේ වතුර පවා සිඳී යෑමට සලස්වනවා කියාද එහි සඳහන් වුණා.—යෙසායා 13:17-19; 44:27–45:1.

නමුත් පරාජයට පත් වූ සෑම ජාතියක්ම සදහටම නැති වී යන බව බයිබලයේ සඳහන් වී නැහැ. උදාහරණයකට යෙරුසලම් නගරය විනාශ කර එහි සිටි යුදෙව්වන්ව බැබිලෝනිවරුන් වහලුන් ලෙස ගෙන යන බව දෙවි පැවසුවා. සාමාන්‍යයෙන් බැබිලෝනිවරුන් වහලුන්ව ලෙහෙසියෙන් නිදහස් කරන්නේ නැහැ. නමුත් දෙවි පැවසූ ලෙසම යුදෙව්වන් නැවතත් තම මව් බිමට පැමිණියා. (යෙරෙමියා 24:4-7; 29:10; 30:18, 19) ඒ නිසා අදටත් ජාතියක් වශයෙන් යුදෙව් සෙනඟක් මිහි මත සිටිනවා.

ඊජිප්තුව කලක් ලෝක අධිරාජ්‍යයක් ලෙස නම් දරා සිටියත් එය බලයෙන් පහත වැටෙන අතර “කාලයක් ගත වූ පසු සෙනඟ කලින් සිටියාක් මෙන් නැවතත් ඊජිප්තුවේ ජීවත්” වනවා කියා දෙවි පවසා තිබුණා. ඉන්පසු මෙම ඉපැරණි ලෝක අධිරාජ්‍යය “දුර්වල රාජ්‍යයක්” වන බවත් දෙවි පවසා තිබුණා. (යෙරෙමියා 46:25, 26; එසකියෙල් 29:14, 15NW) දෙවි පැවසූ දේ ඒ විදිහටම සිදු වුණා. ඊට අමතරව ග්‍රීසියද බලයෙන් වැටෙන බව දෙවි පවසා තිබුණත් එය සදහටම විනාශ වී යනවා කියා ඔහු පැවසුවේ නැහැ. මේ අනුව යම් ජාතියක් පොළොවෙන් තුරන් වී යනවා කියා දෙවි පැවසුවා නම් එය එලෙසම සිදු වුණා. අනිත් අතට යම් ජාතියක් විනාශ වුණත් එය සදහටම නැති වී නොයන බවට දෙවි පැවසුවා නම් එයත් ඒ ආකාරයෙන්ම සිදු වුණා. එයින් ඔප්පු වෙන්නේ බයිබලයේ ඇති අනාවැකි ඉතා නිවැරදි මෙන්ම විශ්වාස කළ හැකි ඒවා බවයි.

පුදුම දනවන තොරතුරු

බැබිලෝනියානු අධිරාජ්‍යය වැටෙන ආකාරය සම්බන්ධයෙන් දෙවි ඉතා නිවැරදිව තොරතුරු හෙළි කර තිබූ අයුරු අපි කලින් සලකා බැලුවා. ඒ හා සමානව තීර් නුවර විනාශ වෙන ආකාරය ගැනත් දෙවි අනාවැකි පැවසුවා. බයිබලයේ එසකියෙල් පොතේ සඳහන් වන්නේ තීර් නුවර විනාශ වූ විට ඉතිරි වන ගල්, ලී හා දූවිලි ‘මුහුදේ හෙළන’ බවයි. (එසකියෙල් 26:4, 5, 12) මේ අනාවැකිය ක්‍රිස්තු පූර්ව 332දී ඉටු වූ ආකාරය සලකා බලන්න. තීර් ජාතිකයන්ගේ ගොඩබිමෙහි පිහිටි නුවර විනාශ වී ගොස් තිබුණු නිසා එහි සුන්බුන් මුහුදට හෙළන ලෙස මහ ඇලෙක්සැන්ඩර් රජ නියෝග කළා. එසේ කිරීමෙන් ගොඩබිමේ සිට මුහුද හරහා ගොස් තීර් ජාතිකයන්ට අයිති දූපත් නගරය අල්ලාගැනීම සඳහා පාරක් සාදාගන්න ඔවුන් සැලසුම් කළා. ඒ සැලැස්ම සාර්ථක වූ අතර තීර් ජාතිකයන්ගේ දූපත් නගරය අල්ලාගනු ලැබුවා.

බයිබලයේ දානියෙල් 8:5-8, 21, 22 සහ 11:3, 4 යන ඡේදවල ඉතා බලවත් ‘ග්‍රීසියේ රජෙක්’ ගැන සඳහන් වෙනවා. ඔහු කොතරම් බලවත් වුණත් අකල් මරණයකට ලක් වී පසුව ඔහුගේ පෙළපතට අයිති නැති සෙන්පතීන් හතරදෙනෙකු අතරේ රාජ්‍යය බෙදී යන බවත් එහි සඳහන් වුණා. මේ අනාවැකිය පවසා වසර 200කටත් වඩා වැඩි කාලයක් ගත වූ පසු එහි සඳහන් වුණු ග්‍රීසියේ බලවත් රජ මහ ඇලෙක්සැන්ඩර් බව ඔප්පු වුණා. පවසා තිබූ ආකාරයටම ඔහු හදිසියේම මිය ගියා. ඒ බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍යය පසුව ඔහුගේ පෙළපතට අයිති නැති සෙන්පතීන් හතරදෙනෙක් අතරේ බෙදී ගියා.

දානියෙල් පැවසූ ඒ අනාවැකිය ලියා තිබෙන්නේ එම සිද්ධියෙන් පසුව බව සමහර විවේචකයන් කියා සිටිනවා. අපි මදකට දානියෙල් පොතේ සඳහන් වී තිබෙන ඒ අනාවැකියට අවධානය දෙමු. එය ඇත්තෙන්ම පුදුම කරවන අනාවැකියක්. නමුත් ඉතිහාසයේ සිදු වූ දෙයක් අනාවැකියක් ලෙස දක්වා තිබෙනවා නම් ඒ අනාවැකියේ යම් කැපී පෙනෙන අඩුවක් තිබෙනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද? පාඨකයන්ව පුදුමයට පත් කරවන අටියෙන් කෙනෙක් එම අනාවැකිය ලිව්වා නම්, ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු රජකම ලබාගැනීමට උත්සාහ දැරූ ඔහුගේ පුතුන් දෙදෙනාව මරා දැමූ බව ඔහු සඳහන් කළේ නැත්තේ ඇයි? සෙන්පතීන් අතර රාජ්‍යය බෙදෙන්න යම් කාලයක් ගත වූ බව එහි සඳහන් නොකළේ ඇයි? අඩුම තරමින් ග්‍රීසියේ බලවත් රජුගේ නම සහ සෙන්පතීන් හතරදෙනාගේ නම්වත් ඒ අනාවැකියට ඇතුළත් කරන්න තිබුණා නේද?

බයිබලයේ ඇති අනාවැකි ලියැවී තිබෙන්නේ අදාළ සිද්ධීන්වලට පසුවයි කියා විවේචකයන් කරන චෝදනාව අද ඊයේ පටන්ගත් දෙයක් නෙවෙයි. දෙවි පවසන අනාවැකි ඉටු විය හැකි බවට තිබෙන සාක්ෂි ගැන සොයා බලන්නේ නැතුව ඔවුන් නිගමනය කර තිබෙන්නේ අනාගතය ගැන කලින් කියන්න බැහැ කියා. ඒ නිසා එම චෝදනාවට කිසිම පදනමක් නැහැ. එවන් අය බයිබලය දෙවිගේ වචනය ලෙස පිළිගන්නේ නැති නිසා එහි සඳහන් දේවල් දිහා බලන්නේ මිනිස් කෝණයෙන් පමණයි. නමුත් යෙහෝවා දෙවි බයිබලයේ කර්තෘ තමන් බව පෙන්වීම සඳහා ප්‍රඥාවන්ත ලෙස අවශ්‍ය තරම් අනාවැකි එහි ඇතුළත් කර තිබෙනවා. *

බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වී තිබෙන ආකාරය ගැන ගැඹුරින් කල්පනා කරද්දී ඔබට දෙවි කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වෙයි. බයිබල් අනාවැකි ඉටු වී තිබෙන ආකාරය ගැන දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 200වෙනි පිටුවේ ඇති වගුව අධ්‍යයනය කරන්න ඔබට පුළුවන්. * නමුත් උඩින් පල්ලෙන් එය අධ්‍යයනය කරන්න එපා. ඒ වෙනුවට දෙවි කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කරගැනීමේ අරමුණින් එය අධ්‍යයනය කරන්න. එසේ කරද්දී දෙවි පවසන අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙන ආකාරය ගැන ගැඹුරින් කල්පනා කරන්න.

[පාදසටහන්වල]

^ 13 ඡේ. බයිබලයේ සඳහන් අනාවැකි සම්බන්ධයෙන් නඟා ඇති චෝදනාවලට පදනමක් නැති බව දැනගැනීම සඳහා ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ 106 සිට 111 පිටු බලන්න.—යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 14 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

ජීවිතයට අනර්ඝ ප්‍රතිපත්ති

ලෝක අධිරාජ්‍යයන්වල නැඟීම හා වැටීම ගැන ඉතා නිවැරදිව පැවසුවේ දෙවියි. බයිබලයේ තිබෙන ජීවිතයට ඉතා වටිනා ප්‍රතිපත්ති ලබා දී තිබෙන්නෙත් ඔහුමයි. එයින් කිහිපයක් මතු දැක්වෙනවා.

කෙනෙක් වපුරන දේමයි කපාගන්නේ.ගලාති 6:7.

ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් අද්දැකිය හැකියි.ක්‍රියා 20:35.

නියම සන්තෝෂය ලැබෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමෙනුයි.මතෙව් 5:3.

ඔබ එම ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්තොත් සාර්ථකත්වය හා ප්‍රීතිය අද්දකින බවට කිසිම සැකයක් නැහැ.

[22, 23වන පිටුවේ පින්තූර]

මේ ජාතීන් සදහටම පොළොවෙන් තුරන් වී යන බව දෙවි පැවසුවා

ඒදොම්

බැබිලෝනිය

මේ ජාතීන් සදහටම විනාශ වෙනවා කියා දෙවි පැවසුවේ නැහැ

ග්‍රීසිය

ඊජිප්තුව

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

WHO photo by Edouard Boubat

[23වන පිටුවේ පින්තූරය]

මහ ඇලෙක්සැන්ඩර් රජ