Skip to content

පටුනට යන්න

අපි ආවේ කොහෙන්ද?

අපි ආවේ කොහෙන්ද?

අපි ආවේ කොහෙන්ද?

පිළිතුර දැනගැනීම වැදගත් ඇයි? වැඩිදෙනෙක් විශ්වාස කරන්නේ මිහිමත ජීවය අහම්බෙන් ඇති වුණා කියායි. ජීවිතයේ අර්ථය සොයන හැඟීම් දැනීම් ඇති බුද්ධිමත් මිනිස් වර්ගයා අහම්බෙන් ඇති වූ පරිණාමයේ ප්‍රතිඵලයක් කියා ඔවුන් සිතනවා.

නමුත් මේ ගැන සිතන්න. අපි බිහි වුණේ පරිණාමයෙන් නම්, අපිව නිර්මාණය කළ බුද්ධිමත් කෙනෙක් නැත්නම් මුළු මිනිස් සංහතියම සිටින්නේ අනාථ වූ තත්වයක නේද? ඉන් අදහස් වෙන්නේ අපේ ප්‍රශ්න ගැටලු විසඳාගැනීම සඳහා පිහිට පැතිය හැකි මිනිස් ප්‍රඥාව ඉක්මවා ගිය කෙනෙක් නැහැ කියන එකයි. එසේනම් අපට සිදු වන්නේ ස්වාභාවික විපත් වැළැක්වීමටත් දේශපාලනික ගැටලු සහ අපේ පෞද්ගලික ප්‍රශ්න පවා විසඳාගැනීමටත් මිනිසාගේ පිහිට පැතීමටයි.

ඒ ගැන සිතද්දී ඔබට සහනයක් දැනෙනවාද? නැත්නම් මිනිසුන්ට වඩා බුද්ධිමත් කෙනෙකුගේ පිහිට අපිට අවශ්‍යයි කියා ඔබ සිතනවාද? එවැනි කෙනෙකුගේ උපකාරය ලැබීම හොඳයි කියා ඔබ සිතන්නේ නැද්ද?

ශුද්ධ බයිබලයේ පවසන්නේ . . .

බයිබලයේ සඳහන් වෙන්නේ මුළු විශ්වයටම අධිපති දෙවි අපිව නිර්මාණය කළ බවයි. අපි අහම්බෙන් ඇති වූ, හැඟීම් දැනීම් නැති පරිණාමයේ ප්‍රතිඵලයක් නෙවෙයි. ඊට වෙනස්ව අපි ආදරණීය බුද්ධිමත් පියෙකුගේ දරුවන්. ඒ ගැන බයිබලයේ දී තිබෙන විස්තරය මතු දැක්වෙනවා.

උත්පත්ති 1:27, නව ලොව පරිවර්තනය, NW.  “දෙවි තම ස්වරූපයෙන් මනුෂ්‍යයාව සෑදුවේය. දෙවිගේම ස්වරූපයෙන් මනුෂ්‍යයාව සෑදුවේය. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.”

ගීතාවලිය 139:14NW.  “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! ඒ ගැන මා කල්පනා කර බලන විට මා තුළ මහත් ගරුබියක් ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ක්‍රියා පුදුමාකාරය. මම එය හොඳින් දනිමි.”

මතෙව් 19:4-6. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”

ක්‍රියා 17:24, 25. “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන බැවින්, අතින් සෑදූ දේවස්ථානවල වාසය කරන්නේ නැත. යම් දෙයකින් අඩුවක් ඇති කෙනෙකු මෙන් ඔහුට මිනිස් අත්වලින් උපස්ථාන ලබන්නද අවශ්‍ය නැත. මන්ද, සියලුදෙනාටම ජීවනයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුමය.”

එළිදරව් 4:11. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.”

සැනසීම ලැබෙන පිළිතුරක් ශුද්ධ බයිබලයෙන්!

“පොළොවේ සෑම පවුලකටම නම ලැබී ඇත්තේ” දෙවිගෙන් බව දැන සිටීම අපි අන් අයට සලකන ආකාරයට බලපානවා. (එෆීස 3:15) අපිට, අපි ගැන මෙන්ම අපේ ප්‍රශ්න ගැන හැඟෙන ආකාරයටද එය බලපානවා. එම දැනුම අපි සිතන විදිහ වෙනස් කරගැනීමට දායක වෙන පැති දෙකක් ගැන දැන් අපි බලමු.

බැරෑරුම් තීරණ ගන්න සිදු වන විට වෙනස්වනසුලු මිනිස් අදහස් මත රඳා සිටිනවා වෙනුවට ලොකු විශ්වාසයකින් අපට බයිබලය වෙත හැරෙන්න පුළුවන්. ඊට හේතුව “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්” එනම් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවී තිබීමයි. ඒ නිසා ‘ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් එය ප්‍රයෝජනවත්. එමගින් දෙවිගේ මිනිසාට පූර්ණ සමර්ථකමක් ඇතුව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටින්න පුළුවන්.’—2 තිමෝති 3:16, 17.

බයිබලයේ ඇති මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගැනීම නිතරම පහසු කාර්යයක් නොවෙයි. එහි ඇති උපදෙස් පිළිපදින විට අපේ සිත කියන දේට හාත්පසින්ම වෙනස් විදිහකට කටයුතු කරන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදී අපිට සිත පාලනය කරගන්න සිදු වෙනවා. (උත්පත්ති 8:21) නමුත් අපිව නිර්මාණය කළේ ස්වර්ගයේ සිටින ප්‍රේමණීය පියෙක් බව පිළිගන්නවා නම් අපේම ප්‍රයෝජනය සඳහා කළ යුතු දේ කියා දීමට ඔහුට හැකි බවත් අපි තේරුම්ගන්නවා. (යෙසායා 55:9) එමනිසා ඔහු අපට මෙවන් පොරොන්දුවක් දී තිබෙනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. දිවි මඟේ ඔබ තබන සෑම පියවරකදීම ඔහුව සිහි කරන්න. එවිට ඔහු යා යුතු නිසි මඟ පෙන්වා ඔබේ දිවිය සාර්ථක කරනු ඇත.” (හිතෝපදේශ 3:5, 6NW) අපි ඒ උපදෙස හිතට ගන්නවා නම් හොඳ තීරණ ගන්නත් ගැටලු නිසා ඇති වන කනස්සල්ල අවම කරගන්නත් හැකි වෙනවා.

අන් අය අපව පහත් කොට සලකද්දී අපිට හිතෙන්න පුළුවන් අපේ ජාතිය හෝ සංස්කෘතිය පහත් නිසයි එහෙම වෙන්නේ කියලා. නමුත් “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන” බවත් ‘සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නා’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 10:34, 35) දෙවි සියලුදෙනාටම සලකන්නේ එකම විදිහටයි කියලා අපි දන්නවා නම් ජාතිය හෝ සංස්කෘතිය නිසා අපි අපිවම පහත් කොට සලකන්නේ නැහැ.

මේ අවබෝධය නිසා අපි කවදාවත් වෙන ජාතියකට අයිති කෙනෙකුව පහත් කරන්නෙත් නැහැ. එමෙන්ම “මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, [දෙවි] එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය” කියාද බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:26) මුළු මිනිස් වර්ගයාම එක මිනිසෙකුගෙන් පැමිණෙනවා නම් එක ජාතියක් තව ජාතියකට වඩා උසස් වෙන්නේ නැහැ කියා අපි තේරුම්ගන්නවා.

අපිව නිර්මාණය කළ සැලකිලිමත් දෙවි කෙනෙක් සිටින බව දැන සිටීම අපේ සිතට මොන තරම් සහනයක්ද! නමුත් අපේ සිතේ මේ සහනය දිගටම තබාගන්න නම් අපි කළ යුතු දෙයක් තිබෙනවා.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිස් වර්ගයා බිහි වුණේ පරිණාමයෙන්ද?

[5වන පිටුවේ පින්තූරය]

අපිව නිර්මාණය කළ දෙවි අපි ගැන සැලකිල්ලෙන් සිටින බව දැන සිටීම ලොකු සැනසීමක්