Skip to content

පටුනට යන්න

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාසහගත පුද්ගලයන් බොහෝවිට අනිත් අයව සැක කරන්නේ හොඳ හේතු නැතුවයි. එමෙන්ම ඔවුන් තමන්ට තියෙන දෙයින් සෑහීමට පත් නොවී අන් අය සතු දේවලට ආශා කරනවා.

පළමු සියවසේ කොරින්තියේ තිබූ ක්‍රිස්තියානි සභාවේ තමන්ගේ හපන්කම් කියාපාමින් තමන් වෙතට අවධානය ඇදගැනීමට උත්සාහ දැරූ අය සිටියා. ඔවුන් සභාව තුළ ප්‍රශ්න ඇති කළා පමණක් නොව ඊර්ෂ්‍යාව නිසා නිතරම උත්සාහ කළේ අනිත් අයට වඩා ඉදිරියෙන් සිටින්නයි. තවත් සමහරුන් වැරදි දේවල් කරපු එවැනි මිනිස්සුන්ව අනුගමනය කරන්නත් පටන්ගත්තා. මේ නිසා සභාවේ විවිධ කල්ලි ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සභාව බෙදී ගියා. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පෙන්නුම් කළේ සැබෑ ක්‍රිස්තියානීන් තුළ ඊර්ෂ්‍යාව නොතිබිය යුතු බවයි. (1 කොරින්ති 3:3; 2 කොරින්ති 12:20) දෙවිට ප්‍රේම කරන අය කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අනිත් අයව විශ්වාස කරන්නත් අන් අයගේ ශුභසිද්ධිය තකා වැඩ කරන්නත් පෙලඹෙනවා කියා පාවුල් පැහැදිලි කළා.—1 කොරින්ති 13:4, 5, 7.

ධර්මිෂ්ඨ පුද්ගලයෙක් තුළ ඊර්ෂ්‍යාව තිබීම කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව සාතන් වන යක්ෂයාගෙන් පැවතෙන ගුණාංගයක් වන අතර එය ගට්ටන ඇතිවීමටත් හේතු වෙනවා. එම ගුණාංගය අපේ සිතට නරක බලපෑමක් ඇති කරන නිසා ශුද්ධ බයිබලයේ බොහෝ තැන්වල ඊර්ෂ්‍යාවෙන් ඇති විය හැකි හානි ගැන අනතුරු අඟවා තිබෙනවා. යේසුස්ගේ සහෝදරයෙක් වූ යාකොබ් මෙසේ පැවසුවා . “ඔබේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාවත් විවාදශීලීකමත් ඇත්නම්, පුරසාරම් දොඩමින්ද සත්‍යයට විරුද්ධව බොරු කියමින්ද නොසිටින්න. එම ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන් වූවකි. මන්ද, ඊර්ෂ්‍යාව සහ දබර ඇති තැන, වියවුලත් සියලු ආකාර පිළිකුල්කමත් ඇත්තේය.”—යාකොබ් 3:14-16; රෝම 13:13; ගලාති 5:19-21.

ඊර්ෂ්‍යාව යහපත් ශරීර සෞඛ්‍යයට හානියක් සිදු කරන බව බයිබලයේ පවසන්නේ මෙසේයි. “සන්සුන් සිතක් ශරීරයට සුවයකි. නමුත් ඊර්ෂ්‍යාව නිසා ඇට දිරයි.” (හිතෝපදේශ 14:30, නව ලොව පරිවර්තනය, NW) මේ නරක ගුණාංගය ඇති වෙන්නේ කෙනෙක් තුළ සැකය හා වෛරය පැළපදියම් වීමෙනුයි. ඊර්ෂ්‍යාව කියන්නේ කේන්තියට හෝ වෛරයට වඩා දරුණු මෙන්ම භයානක ගුණාංගයක්. එය ඔඩු දුවන පිළිකාවක් හා සමානයි. ඊර්ෂ්‍යාව දිගු කාලයක් පුරා පවතින නිසා ඉන් මිදෙන්න පහසු නැහැ. එවැනි කෙනෙකුගේ සිත කැලඹී තිබීම හේතුවෙන් ඔහුට නිරවුල් මනසක් ඇතුව කටයුතු කරන්නත් බැහැ.—හිතෝපදේශ 27:4.

ඊර්ෂ්‍යාව නිසා කෙනෙක් දෙවිට විරුද්ධව පව් කිරීමට පවා පෙලඹිය හැකියි. උදාහරණයකට බයිබලයේ සඳහන් යෝසෙප්ගේ අර්ධ සහෝදරයන් දහදෙනාට සිදු වුණේ එයයි. (උත්පත්ති 37:11; ක්‍රියා 7:9) එම ගුණාංගය නිසා දාතාන්ගේ, අබිරාම්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත නැති වුණා හා සමානව බොහෝදෙනෙකුගේ ජීවිත නැති වීමටත් ඉඩ තිබෙනවා. (ගීතාවලිය 106:16, 17) ඊටත් වඩා භයානක දේ වුණේ ඊර්ෂ්‍යාව නිසා ක්‍රිස්තියානීන් නොවූ යුදෙව්වන් එදා සිටි යේසුස්ගේ අනුගාමිකයන් වූ අයට දරුණු ලෙස පීඩා කරමින් ඔවුන්ව ඝාතනය කිරීමට පවා කටයුතු කිරීමයි.—ක්‍රියා 13:45, 50; 14:19.

විවාහය තුළ ඊර්ෂ්‍යාව හා සැකය

ඊර්ෂ්‍යා කිරීම හෝ සුදුසු පදනමක් නැතුව අවිශ්වාස කිරීම වැරදියි. එය අකාරුණික ක්‍රියාවක්. සැමියා හෝ බිරිඳ තුළ ඊර්ෂ්‍යාව තිබෙන විට එකිනෙකාව සැක කරන්න පෙලඹෙන්න පුළුවන්. විවාහයක් දෙකඩ වී යෑමට පවා එය බලපෑ හැකියි.—1කොරින්ති 13:4, 7.

තම බිරිඳ අනාචාරයේ යෙදෙන්න ඇති කියා සැමියෙකු තුළ සැකයක් ඇති වුණොත් ඔහු කළ යුතු දේ මෝසෙස්ට දෙන ලද නීතියෙහි සඳහන් වී තිබුණා. ඔහුගේ සැකය තහවුරු කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනෙක් නොසිටියා නම් පත් කර තිබූ විනිශ්චයකරුවන්ටයි ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අවසර දී තිබුණේ. අනාචාරයේ යෙදුණු බවට තහවුරු වුණා නම් මරණ දඬුවම පවා නියම වීමට ඉඩ තිබුණා. නීතියට අනුව එම යුවළ යෙහෝවා දෙවිගේ නියෝජිතයා වූ පූජකයා ඉදිරියේ පෙනී සිටිය යුතුයි. එය හරියට යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටිනවා හා සමාන වුණා. මන්ද සිදු වී තිබෙන දේ ගැන සෑම තොරතුරක්ම දැන සිටින්නේ යෙහෝවා දෙවි පමණයි. ඇය අනාචාරයේ යෙදී තිබුණා නම් යෙහෝවා දෙවිගෙන් ඇයට දඬුවම් ලැබෙනවා. ඒ දඬුවම වූයේ දරුවන් බිහි කිරීමේ හැකියාව අහිමි වී යෑමයි. නමුත් සැමියාගේ සැකය පදනම් විරහිත එකක් නම් සැමියාට සිදු වුණා ඇය සමඟ ලිංගික ඇසුරේ යෙදීමෙන් ඇය නිර්දෝෂ බව පිළිගන්න. එමගින් ඇයට දරුවන් බිහි කිරීමට අවස්ථාව ලැබුණා.—ගණන් කතාව 5:11-31.

තරඟකාරී ස්වභාවය දෙවිගේ සේවකයන්ට සුදුසු නැහැ

අද සමාජය තුළ තරඟකාරිත්ව සුලබව දක්නට තිබෙනවා. නමුත් එය සුදුසු දෙයක් නොවෙයි. බයිබලයේ දේශනාකාරයා නම් පොතේ ලේඛකයා මෙසේ පැවසුවා. “ඔවුනොවුන් අතරේ ඇති තරඟකාරී ස්වභාවය නිසා වෙහෙස මහන්සි වී වැඩ කරන අයවද ඉතා දක්ෂ ලෙස වැඩ කරන අයවද මම දුටුවෙමි. මෙයින් කිසි පලක් නැත. මෙයද සුළඟ පසුපස හඹා යෑමකි.”—දේශනාකාරයා 4:4ද NW, ගලාති 5:26ද බලන්න.

අන් අයගේ සාර්ථකත්වය, ඔවුන් සතු දේවල් හෝ ඔවුන් අත් කරගෙන තිබෙන දේවල් ගැන ඊර්ෂ්‍යා වීමෙන් දෙවිගේ සේවකයන් තුළ තණ්හාවක් ඇති විය හැකියි. එවිට වැරදි ක්‍රම මගින් සාර්ථක වී තිබෙන අයට පවා ඊර්ෂ්‍යා කිරීමට පෙලඹෙන්න පුළුවන්. බයිබලයේ පෙන්නුම් කරන්නේ එසේ නොවිය යුතු බවයි. ඊට හේතුව එලෙස සාර්ථක වන අයට වැඩි කල් නොගොස් දෙවිගේ විනිශ්චයට ලක් වෙන්න සිදුවීමයි. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙයයි. “දුෂ්ටයන් කරන දේ නිසා කනස්සලු නොවන්න. අධර්මිෂ්ඨකම් කරන අය ගැන ඊර්ෂ්‍යා නොවන්න. මන්ද තණකොළ මෙන් ඔවුහු කෙටි කාලයකින් වියළී යන්නෝය.” (ගීතාවලිය 37:1, 2NW) එවැනි අයට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඔවුන්ගේ නරක ක්‍රියාවන් අනුගමනය කරමින් දෙවිට පිළිකුල් ක්‍රියාවල යෙදෙන්නත් ඉඩ තිබෙනවා.—හිතෝපදේශ 3:31, 32; 23:17; 24:1, 19ද, ගීතාවලිය 73:2, 3, 17-19, 21-23ද බලන්න.—Insight vol. 1, පිටු 1260-1261 ඇසුරෙනි.