Skip to content

පටුනට යන්න

‘ඔහු මාව ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යනවා’

‘ඔහු මාව ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යනවා’

‘ඔහු මාව ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යනවා’

ඔල්ගා කැම්බල්

මම වසර 60ක පූර්ණකාලීන සේවය සම්පූර්ණ කළාම මගේ නංගි (එමලි) මට සුබ පතලා ලියුමක් එව්වා. මගේ ආදර්ශය එයාටත් හරි මාර්ගයේ යන්න උදව් වෙලා තියෙනවා කියලා ඒ ලියුමේ ලියලා තිබුණා. මං තරුණ කාලේ ජීවිතය ගත කරපු විදිහ ගැනත්, ඒ කාලේ තෝරගත්ත සේවය මේ වෙන තුරුම කරගෙන ආවේ කොහොමද කියලත් දැන් ඕගොල්ලන්ට කියන්නම්.

මම ඉපදුණේ 1927 ජනවාරි 19වෙනිදා බටහිර කැනඩාවේ වාකා නගරයේ යුක්‍රේනියානු පවුලකයි. අපේ පවුලේ ළමයි අටදෙනෙක් හිටියා. මම තමයි හයවෙනියා. මගේ නිවුන් සහෝදරයා (බිල්) තමයි හත්වෙනියා. අපේ තාත්තාට තිබුණා පොඩි ගොවිපොළක්. තාත්තා ගොඩක් මහන්සි වෙලා ඒකේ වැඩ කරද්දී පුංචි කාලේ ඉඳලම අපිත් තාත්තාට උදව් කළා. අපේ අම්මා ආතරයිටිස් රෝගයෙන් දුක් වින්දත් අපිව හොඳට බලාගත්තා. අන්තිමේදී ඇගේ රෝගය දරුණු වෙලා වයස අවුරුදු 37දී ඇය මිය ගියා. එතකොට මට අවුරුදු හතරයි.

අම්මා මැරිලා මාස හයකට පස්සේ තාත්තා ආපහු විවාහ වුණා. ඒ නිසා තවත් සහෝදරියන් පස්දෙනෙක් අපේ පවුලට එකතු වුණා. ඉතින් අපේ පවුලේ සණ්ඩු සරුවල් පවා ඇති වුණා. මම උත්සාහ කළේ කුඩම්මා එක්ක හොඳින් ඉන්නයි. ඒත් මගේ අයියාට (ජෝන්) නම් ඒක එච්චර ලේසි වුණේ නැහැ.

එක්දාස් නවසිය තිස්ගණන්වල අගභාගයේදී මමයි බිලුයි ඉස්කෝලේ යන්න පටන්ගත්ත නිසා ගෙදර තිබුණ ඒ කටුක තත්වයෙන් ටිකක් මිදෙන්න පුළුවන් වුණා. ඒ කාලේදි දෙවනි ලෝක මහ යුද්ධෙ පටන්ගන්න ලකුණුත් තිබුණා. ඒ නිසා රට පුරාම දේශාභිමානී හැඟීම් පැතිරෙන්න පටන්ගත්තා. දවසක් ඉස්කෝලේ ගුරුවරියක් ළමයින්ට කිව්වා ජාතික කොඩියට ආචාර කරන්න කියලා. හැබැයි පංතියේ හිටිය එක ගෑනු ළමයෙක් ඒක කළේ නැහැ. ඒ නිසා අනිත් ළමයි එයාට එක එක දේවල් කිව්වා. ඒත් එයාගේ නිර්භීතකම දැකලා මට පුදුම හිතුණා. ඒ නිසා මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා එහෙම කළේ කියලා. එතකොට එයා කිව්වා මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා දෙවිට විතරයි භක්තිය පිරිනමන්නේ කියලා.—නික්මයාම 20:2, 3; ක්‍රියා 5:29.

නිවස හැර යෑම

මට 1943දී ප්‍රින්ස් ඇල්බට්වල රැකියාවක් ලැබුණා. එහෙදී කරන්න තිබුණේ බීම බෝතල් පෙට්ටිවලට පටවලා ඒවා ගෙනිහින් බෙදන්නයි. ඒ දවස්වල මට ලොකු ආසාවක් තිබුණා දෙවි ගැන ඉගෙනගන්න. ඒ නිසා මම බයිබලයක් සල්ලිවලට ගත්තා. හැබැයි ඒකෙ තිබුණ කිසි දෙයක් තේරුණේ නැති නිසා මට ඇඬුණා. මම දැනගෙන හිටියේ පරමණ්ඩලේ යාච්ඤාව විතරයි.—මතෙව් 6:9-13.

මම නැවතිලා හිටිය ගෙදර අයිතිකාරිය කතෝලික භක්තිකයෙක්. එයා හරිම අහංකාර විදිහට කිව්වා ගෙදරට ආපු “බයිබල් නෝනා” කෙනෙක්ව බැනලා එලවගත්තා කියලා. ‘එයා ඒ වගේ දෙයක් කොහොම කළාද’ කියලා මට හිතාගන්නත් බැරි වුණා. සති කීපයකට පස්සේ ඉරිදා දවසක මට අසනීප වුණ නිසා මම පල්ලි ගියේ නැහැ. එදත් අර “බයිබල් නෝනා” අපේ ගෙදරට ආවා.

එයා මගෙන් ඇහුවා “ඔයා යාච්ඤා කරනවාද” කියලා.

මම කිව්වා “පරමණ්ඩලේ යාච්ඤාව” නම් කියනවා කියලා.

එයා ඒ යාච්ඤාවේ තේරුම පැහැදිලි කරලා දෙද්දී මම හොඳට අහගෙන හිටියා. ඊළඟ බදාදා ආයෙත් එන්නම් කියලා එයා පොරොන්දු වුණා.

ගෙදර අයිති කෙනා ආවම, මම හරිම ආසාවෙන් කිව්වා අර “බයිබල් නෝනා” අදත් ඇවිත් ගියා කියලා. එතකොට එයා හරිම කේන්තියෙන් කිව්වා “එයා ආපහු ආවොත් ඔය දෙන්නවම මම මෙහෙන් පන්නනවා” කියලා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වූ ඒ “බයිබල් නෝනාව” මම හොයාගෙන ගියා. මට දැනගන්න ලැබුණා එයාගේ නම රැම්පල් කියලා. එයාව හම්බ වුණාම සිද්ධ වුණ දේ මම එයාට කිව්වා. බයිබලේ තියෙන හැම දෙයක්ම කියලා දෙන්න පුළුවන්ද කියල මම එයාගෙන් ඇහුවම එයා මට ගොඩක් දේවල් කියලා දුන්නා. දෙවි දුෂ්ටයන්ව විනාශ කරලා නෝවාවයි එයාගේ පවුලේ අයවයි බේරගත්තු විදිහත් ඒ කාලේ අද කාලේට සමාන වෙන විදිහත් පැහැදිලි කළා.—මතෙව් 24:37-39; 2 පේතෘස් 2:5; 3:5-7, 12.

ඒ සාකච්ඡාවෙන් පස්සේ රැම්පල් මට මෙහෙම කිව්වා. “ඔයා බයිබලයේ තියෙන දේවල් සත්‍යයි කියලා පිළිගන්න බව පේනවා. ඒ නිසා තව සති දෙකකින් තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමේදී බව්තීස්ම වෙන්න.” එදා මුළු රෑම මම ඒ ගැන කල්පනා කළා. මට හිතුණේ බව්තීස්මය කියන්නේ බැරෑරුම් පියවරක් කියලයි. මට ඕන වුණේ කොහොම හරි දෙවිට සේවය කරන්න. මම බයිබලය ගැන එච්චර දැනගෙන හිටියේ නැතත් 1943 ඔක්තෝබර් 15වෙනිදා මම බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු 16යි.

එහා කොණේ සිට මෙහා කොණට

නොවැම්බර් මාසේදී මගේ අයියා (ෆ්‍රෙඩ්) කිව්වා ටොරොන්ටෝවල තට්ටු තුනේ ගෙදරක වැඩ කරන්න කෙනෙක්ව ඕන වෙලා තියෙනවා කියලා. එයත් නැවතිලා හිටයේ ඒ ගෙදරමයි. ඉතින් මට නිදහසේ දෙවිට සේවය කරන්න ලැබෙයි කියලා හිතපු නිසා මම එහෙට ගියා. එහෙ යන්න කලින් මම මගේ අක්කාව (ඈන්) මුණගැහුණා. ඒ වෙලාවේ එයා මට කිව්වා එයයි අනිත් අක්කයි (ඩොරිස්) සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා. එතකොට මම ඒගොල්ලන්ට කිව්වා මම දැනටමත් බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් කියලා!

මායි මගේ නංගියි (එමිලි) කෝච්චියෙන් ටොරොන්ටෝවලට ගියාම මල්ලි (බිල්) ඇවිත් අපිව ෆ්‍රෙඩුයි, ජෝනුයි නැවතිලා හිටිය ගෙදරට එක්කගෙන ගියා. මම ෆ්‍රෙඩ්ගෙන් ඇහුවා තව කවුද එහෙ නැවතිලා ඉන්නේ කියලා. එතකොට එයා කිව්වා “ඔයාට මතකද අපේ ගෙවල් ළඟ හිටපු ඇලෙක්ස්ව, එයත් ඉන්නේ උඩ තට්ටුවෙ. එයාගේ මොළේ හොඳ නැද්ද කොහෙද, එයා සාක්ෂිකරුවන් එක්කත් ආශ්‍රය කරනවා” කියලා. සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරනවා කියද්දී මට ලොකු සතුටක් දැනුණා.

අයියලා ප්‍රශ්න කරන්න කලින් යන එක හොඳයි කියලා මට හිතුණ නිසා මම එදා රෑම ඇලෙක්ස්ව මුණගැහිලා එයත් එක්කම රැස්වීමට ගියා. කල් යද්දී මම දේශනා සේවයේ යන්නත් පටන්ගත්තා. මම ඉගෙනගෙන තිබුණ යුක්‍රේනියානු භාෂාවෙන්ම දේශනා කරන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වුණා.

මම නිතරම වගේ බිල්ගේ කාමරේට මුරටැඹ සඟරා දැම්ම නිසා එයා හරිම ආසාවෙන් ඒවා කියෙව්වා. ඊට පස්සේ එයා බටහිර කැනඩාවේ පදිංචියට ගියා. මම එයාට තැපෑලෙන් දිගටම මුරටැඹ සඟරා යැව්වා. එයා වැඩිය කතා බහ කරන කෙනෙක් නොවුණත් මං කළ දේ අගය කරලා පිටු දහයක ලියුමක් මට එව්වා. කාලයක් ගියාට පස්සේ එයත් බව්තීස්ම වෙලා යෙහෝවා දෙවිට සේවය කරන අවේක්ෂකයෙක් වුණා. මගේ සහෝදර සහෝදරියන් පස්දෙනෙක්ම ඒ කියන්නේ බිල්, ඈන්, ෆ්‍රෙඩ්, ඩොරිස් සහ එමිලි සාක්ෂිකරුවන් වුණ එක ගැන මට දැනුණේ පුදුම සතුටක්.

වර්ෂ 1945 මැයි 22වෙනිදා කැනේඩියානු රජය සාක්ෂිකරුවන්ට දමා තිබුණු තහංචිය ඉවත් කළා. * එදා තමයි මම දැනගත්තේ ඒ රටේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණ බව. මමයි මගේ යාළුවයි (ජූඩි ලූකස්) තීරණය කළා ප්‍රංශ භාෂාව කතා කරන ක්වෙබෙක්වලට ගිහින් පූර්ණකාලීන දේවසේවකයන් විදිහට සේවය කරන්න. අපේ තීරණය ගැන අක්කයි නංගියි (ඩොරිසුයි, එමිලියි) දැනගත්තම ඒගොල්ලොත් තීරණය කළා ඒ මහද්වීපයේම අනිත් දිශාවේ තිබුණ වැන්කුවර්වලට ගිහින් පූර්ණකාලීනව දේවසේවයේ යෙදෙන්න.

ක්විබෙක්වලදී පීඩා

ක්විබෙක්වලට ගියාට පස්සේ මට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙ හිටපු සාක්ෂිකරුවන්ට දේශනා සේවයේ යන්න අමාරු තත්වයකුයි තිබුණේ. * එහෙ හිටපු සාක්ෂිකරුවන්ට අනිත් ආගම්වලින් සිද්ධ වුණ අසාධාරණය ගැන විස්තර කරපු පත්‍රිකාවක් අපි බෙදාහැරියා. ඒ නිසා මහජනයාටත් සාක්ෂිකරුවන්ට සිද්ධ වෙන අසාධාරණය දැනගන්න පුළුවන් වුණා.—Quebec’s Burning Hate for God and Christ and Freedom Is the Shame of All Canada.

අපි එක දිගට දවස් 16ක්ම පාන්දර දෙකට ගිහින් දොරවල් යටින් ඒ පත්‍රිකාව දැම්මා. එක අවස්ථාවකදී අපිට ආරංචි වුණා පොලිසිය අපිව අල්ලගන්න එනවා කියලා. එතකොට අපි ඉක්මනටම හැංගුණා. ඒ වුණත් ඊළඟ දවසේ අපි පාරට ඇවිත් මුරටැඹ හා පිබිදෙව්! සඟරා බෙදාහැරියා. කල් යද්දී පොලිසිය අපිව කීපවතාවක්ම අත්අඩංගුවට ගත්තා. කොයි වෙලාවක හරි අත්අඩංගුවට ගනියි කියලා හිතපු නිසා මම දත් බුරුසුවත් බෑග් එකේම දාගෙන හිටියා.

වර්ෂ 1946 නොවැම්බර් මාසයේදී බෘක්ලින්වලින් සහෝදර නේතන් නෝර් අපිව මුණගැහෙන්න ආවා. ක්විබෙක්වල සේවය කරපු පූර්ණකාලීන දේවසේවකයන් 64දෙනාට දකුණු ලන්සින්වල තිබුණු ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න කියලා ඔහු ආරාධනා කළා. ඒ පාසැලේදී මාස පහක් පුරා අපි බයිබලය ගැන ගැඹුරින් අධ්‍යයනය කළා. ඊට පස්සේ අපිව 1947 අගෝස්තු මාසයේ ක්විබෙක්වල තවත් සභා ආරම්භ කරන්න පිටත් කරහැරියා.

දේවසේවයෙන් හොඳ ප්‍රතිඵල

මාවයි තවත් තනිකඩ සහෝදරියන් තුන්දෙනෙකුවයි ෂෙයබෲක් නගරයට යැව්වා. අපි ප්‍රංශ භාෂාව ඉගෙනගන්න ගොඩක් මහන්සි වුණා. දවල් කෑම ගන්න සල්ලි නැති වෙලාවට අපි ගෙදර ගිහින් පාඩම් කළා. මං එක්ක හිටපු ලින්ඩෝර්ස්ට හොඳට ව්‍යාකරණ පුළුවන්. ඉංග්‍රීසි ව්‍යාකරණ හොඳට ඉගෙනගත්තොත් ප්‍රංශ භාෂාව ඉගෙනගන්න ලේසි නිසා එයා මට ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්නුවා.

වික්ටෝරියාවිලේවල ලබපු අද්දැකීම් නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නගරයේ මිනිස්සු 15,000ක් විතර හිටියා. එහේ හිටපු වැඩිදෙනෙක් ප්‍රංශ භාෂාව කතා කරපු නිසා අපිට තවත් හොඳට ඒ භාෂාව ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. එහෙ සේවය කරපු මුල් සතියේ හැමෝම වගේ අපි කියපු පණිවිඩය පිළි අරන් අපෙන් පොත් පත් ගත්තා. හැබැයි අපි ආයිත් ඒ ප්‍රදේශයට යද්දී ඒ අය දොර ජනෙල් වහගෙන ඇතුළට වෙලා හිටියා. අපි කල්පනා කළා ඇයි කියලා.

ඒ පළාතේ හිටපු පූජකයා මිනිසුන්ට අවවාද කරලා තිබුණා අපි කියපු දේවලට ඇහුම්කන් දෙන්න එපා කියලා. ඒ නිසා පොඩි ළමයි අපේ පස්සෙන් ඇවිත් අපිට ගල් ගැහුවා. ඒ වුණත් බයිබල් පණිවිඩයට උනන්දුවක් දක්වපු අය කිව්වා රෑට ඇවිත් අපිට බයිබලය කියලා දෙන්න කියලා. ටිකෙන් ටික බයිබල් සත්‍යය තේරුම් ගත්තම කවුරු මොනවා කිව්වත් බයිබලය පාඩම් කරන එක ඔවුන් නතර කළේ නැහැ.

මගේ සහෝදරියනුයි මමයි 1950 ගණන්වලදී ආපහු වාකාවලට ආවා. එහේ රාජ්‍යශාලාවේ රැස්වීමකදී දේශනා සේවයෙ ලබපු අද්දැකීම් ගැන අපි කිව්වා. එක සහෝදරයෙක් අපි ළඟට ඇවිත් “ඕගොල්ලන්ගේ අම්මා නැවත නැඟිට්ටාම ඕගොල්ලනුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙලා ඉන්න එක ගැන ගොඩක් සතුටු වෙයි!” කියලා කිව්වා. අපේ අම්මත් මීට කලින් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා තියෙනවා කියලා එයා කිව්වම අපේ ඇස්වලට කඳුළු ආවා. අම්මගේ අසනීපේ නිසා මෙච්චර ඉක්මනට මැරුණේ නැත්නම් අනිවාර්යයෙන්ම එයා අපිටත් බයිබලය ගැන කියලා දෙයි.

විවාහයෙන් පසු කළ සේවය

වර්ෂ 1956දී මර්ටොන් කැම්බල්ව මට මුණගැහුණා. දෙවනි ලෝක මහා යුද්ධෙ කාලේදී පැති ගත්තේ නැති නිසා එයාට මාස 27ක්ම හිරේ ඉන්න වුණාලු. එයා අවුරුදු දහයක් විතර බෘක්ලින්වල සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සේවය කරලා තියෙනවා. එයාට ගොඩක් හොඳ ගතිගුණ තිබුණ නිසා මට හිතුණා එයා හොඳ සැමියෙක් වෙයි කියලා. මාස ගාණක් තිස්සේ අපි දෙන්නා ලියුම් හුවමාරු කළා. ඊට පස්සේ අපේ බැඳීම ආදරයකට පෙරළුණා.

මමයි මර්ටොනුයි විවාහ වුණේ 1960 සැප්තැම්බර් 24වෙනිදායි. යෙහෝවා දෙවි සමඟ හොඳ සම්බන්ධයක් තියෙන සැමියෙක් එක්ක අවුරුදු 47ක්ම ජීවත් වෙන්න ලැබීම මට ලොකු ආශීර්වාදයක්. මර්ටොන් අවුරුදු 58ක්ම ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ සේවා අංශයේ වැඩ කරලා තියෙනවා. ඒ වගේම මමත් අවුරුදු 30කට වඩා බෘක්ලින්වල බෙතෙල් නිවසේ අමුත්තන්ට වෙන් කරලා තිබුණු කාමර වගේම විශාල රැස්වීම් ශාලාත් අලංකාර කරමින් සේවය කළා. වර්ෂ 1995දී මටයි මර්ටොන්ටයි නිව් යෝර්ක්වලින් කිලෝමීටර් 110ක් දුරින් තිබුණ පැටසන් වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ සේවය කරන්න අවස්ථාව ලැබුණා.

අවුරුදු 12දී ගෙදරින් පිට වුණාට පස්සේ මගේම සහෝදරියන් එක්ක මේ වගේ දෙවිට නමස්කාර කරන අය අතරට එන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මම ගොඩක් ආසාවෙන් ඉන්නේ යෙහෝවා දෙවි පොරොන්දු කරලා තියෙන පාරාදීසය එනකල්. එදාට අපේ පවුලේ හැමෝටම පුළුවන් වෙයි අපේ අම්මට කියන්න එයා හිටපු නැති කාලේ යෙහෝවා දෙවි අපිව කොච්චර හොඳින් බලාගත්තද කියලා. ඇත්තටම ඔහු අපිව ‘ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යෑම’ ගැන අපි හුඟක් සතුටු වෙනවා.—ගීතාවලිය 23:3.

[පාදසටහන්වල]

^ 21 ඡේ. යුධමය හා දේශපාලන කටයුතුවලට මැදිහත් නොවීම නිසා කැනඩාවේ රජය 1940 ජූලි 4වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය තහනම් කළා.

^ 23 ඡේ. ක්විබෙක්වල සාක්ෂිකරුවන්ට ආගම්වලින් පැමිණි පීඩා ගැන වැඩි විස්තර සඳහා 2000 අප්‍රියෙල් 22 පිබිදෙව් සඟරාවේ 20-23 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැහැ.

[27වන පිටුවේ පින්තූර]

මගේ දෙමාපියන් සහ අපි ජීවත් වූ නිවස

[29වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1952දී ඔටාවාවල දේශනා සේවයේ ගිය කණ්ඩායම සමඟ

[29වන පිටුවේ පින්තූරය]

මගේ සහෝදර සහෝදරියන් සමඟ (වමේ සිට දකුණට) ඈන්, මේරි, ෆ්‍රෙඩ්, ඩොරිස්, ජෝන්, මම, බිල් සහ එමිලි

[29වන පිටුවේ පින්තූරය]

මර්ටොනුයි මමයි