Skip to content

පටුනට යන්න

කලකිරුණත් සතුටින් සිටිය හැකියි

කලකිරුණත් සතුටින් සිටිය හැකියි

කලකිරුණත් සතුටින් සිටිය හැකියි

කෙදිනකවත් කලකිරීමක් ඇති නොවුණු කෙනෙක් ඉන්නවද? අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි පවා ශෝකයට පත් වී තිබෙනවා. උදාහරණයකට ඔහු ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගෙන ඔවුන්ට බොහෝසෙයින් ආශීර්වාද කළා. ඒ වුණත් ‘ඔවුන් නැවත නැවත දෙවිව පරීක්ෂා කරමින් ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තාණන් වන දෙවිට දුක් දුන්න’ බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 78:41, නව ලොව පරිවර්තනය, NW) එහි ඔහුව හඳුන්වා තිබෙන්නේ ‘සන්තෝෂවත් දෙවි’ ලෙසයි.—1 තිමෝති 1:11.

කලකිරීමට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. අපේ සතුට සොරාගැනීමට ඒවාට ඉඩ නොදිය හැක්කේ කෙසේද?

කලකිරීමට හේතු වන දේවල්

අපි කවුරුත් හදිසි අනතුරකට, අපරාධයකට හෝ අසනීපයකට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසයි ‘නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට’ අපි හැමෝටම මුහුණ දෙන්න සිදු වෙනවා කියා දෙවිගේ වචනය වන බයිබලයේ පවසන්නේ. (දේශනාකාරයා 9:11NW) එමෙන්ම “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වීම නිසා සිත කලකිරෙන්නේය” කියාත් එහි පවසනවා. (හිතෝපදේශ 13:12NW) යම් හොඳ දෙයක් ගැන බලාපොරොත්තුවෙන් සිටිද්දී අපට සතුටක් දැනුණත් එය ඉටු වුණේ නැත්නම් ඇති වෙන්නේ කලකිරීමක්. උදාහරණයකට ඩංකන්ගේ * අද්දැකීම සලකා බලන්න. වෙනත් රටකට ගොස් දේවසේවයේ යෙදෙන්න ඔහුට ලොකු ආශාවක් තිබුණා. එම ආශාව ඉටු වුණත් අවුරුදු ගාණකට පස්සේ ඔහුටත් ඔහුගේ බිරිඳටත් එම සේවයෙන් සමුගන්න සිදු වුණා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මට මේ තරම් ලොකු කලකිරීමක් ඇති වුණේ ජීවිතේ මුල් වතාවටයි. කිසිම දේකින් වැඩක් නැහැ කියලා මට හිතුණා.” ක්ලාරාගේ අද්දැකීමත් සලකා බලන්න. ඇය මෙසේ පවසනවා. “මීට අවුරුදු ගාණකට කලින් මට ඉපදෙන්න හිටපු දරුවා මාස හතෙන් ගබ්සා වුණා. හැබැයි අදටත් පිරිමි ළමයෙක් වේදිකාවේ කතාවක් ඉදිරිපත් කරද්දී මට මගේ පුතාව මතක් වෙනවා. ‘එයා හිටියා නම් දැන් එයත් මේ වයසෙනේ.’” මේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කලකිරීමක් නිසා ඇති වෙන වේදනාව සෑහෙන කාලයක් පුරා පවතින්න පුළුවන් බවයි.

කෙනෙක් ඔබේ සිත රිදෙව්වොත්, ප්‍රේම සම්බන්ධයක් කැඩී ගියොත්, විවාහය දෙකඩ වුණොත්, දරුවෙක් නොමඟ ගියොත්, මිතුරෙක් විශ්වාසය කඩ කළොත් හෝ මිතුරෙක් කළගුණ නොසැලකුවොත් වේදනාවක් දැනෙන්න පුළුවන්. අපි ජීවත් වන්නේ අඩු පාඩුකම් තිබෙන මිනිසුන්ගෙන් පිරි ලෝකයකයි. ඒ නිසා ඕනෑම වෙලාවක කලකිරීම් ඇති විය හැකියි.

අපේ අතින්ම සිදු වෙන වැරදිත් කලකිරීමට හේතු වෙනවා. උදාහරණයකට විභාගයකින් අසමත් වීම, රැකියාවක් සොයාගන්න අපොහොසත් වීම, කෙනෙක්ගේ හිත දිනාගන්න බැරි වීම ආදී හේතු නිසා කලකිරෙන්න පුළුවන්. අපිට ගොඩක් කිට්ටු කෙනෙක් දෙවිගේ නමස්කාරයෙන් ඈත් වුණොත් ඒ අවස්ථාවේදීත් කලකිරෙන්න පුළුවන්. මේරී ඇගේ අද්දැකීම මෙසේ පවසනවා. “මගේ දුව හරිම උනන්දුවෙන් දෙවිට සේවය කරනවා වගෙයි පේන්න තිබුණේ. මම හිතුවා මමත් එයාට හොඳ ආදර්ශයක් තිබ්බා කියලා. හැබැයි එයා දෙවිටත් පවුලේ අයටත් පිටුපෑවම මට ලොකු කලකිරීමක් ඇති වුණා. සතුටු වෙන්න තව හේතු තිබුණත් ඒ එකකින්වත් මට කිසිම සතුටක් ලැබුණේ නැහැ.”

එවැනි කලකිරෙන සිද්ධීන්වලදී අපි ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? පිළිතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවි එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ ආකාරය සලකා බලමු.

විසඳුම සොයන්න

යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළ නිර්මාණය කර ඔවුන්ට අවශ්‍ය හැම දෙයක්ම ලබා දුන්නත් ඔවුන් දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. (උත්පත්ති 2 සහ 3 පරිච්ඡේද) එම යුවළට ඉපදුණු මුල්ම පිරිමි දරුවා වූ කායින්ද දෙවිගේ උපදෙස් ගණනකටවත් නොගෙන ඔහුගේම සහෝදරයාව ඝාතනය කළා. (උත්පත්ති 4:1-8) මෙවැනි තත්වයන්වලදී යෙහෝවා දෙවිට කොපමණ දුකක් දැනෙන්න ඇද්ද?

ශෝකයක් ඇති කරවන එවන් තත්වයන්වලදී වුණත් යෙහෝවා දෙවි සතුටින් සිටියේ ඇයි? පරිපූර්ණ කීකරු මිනිසුන්ගෙන් පොළොව පිරවීම සඳහා වූ තම අරමුණ ඉටු කිරීමට දෙවි ක්‍රියා කරමින් සිටින නිසයි. (යොහන් 5:17) මිනිසුන්ව ගලවාගැනීම සඳහා තම පුත්‍රයාව පොළොවට එවීමත් ස්වර්ගයේ දේවරාජ්‍ය පිහිටුවීමත් ඊට ඇතුළත්. (මතෙව් 6:9, 10; රෝම 5:18, 19) උද්ගත වූ ප්‍රශ්නය ගැන හිත හිතා ඉන්නවා වෙනුවට යෙහෝවා දෙවි ප්‍රශ්නෙට විසඳුම සෙව්වා.

කරගන්න බැරි වුණු දේවල් ගැන සිතමින් ලත වෙනවා වෙනුවට බයිබලයේ අපව දිරිගන්වා තිබෙන්නේ කළ හැකි දේවල් කෙරෙහි සිත යොදවන්න කියායි. එහි පවසන්නේ මෙසේයි. “සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

සුදුසු ආකල්පයක් ඇතුව සිටින්න

බලාපොරොත්තු නොවූ ලෙස අපේ ජීවිතය කනපිට පෙරළෙන දේවල් සිදු වෙන්න පුළුවන්. උදාහරණයකට රැකියාව නැති වීම, සහකරු හෝ සහකාරිය අහිමි වීම, ක්‍රිස්තියානි සභාව තුළ දැරූ වරප්‍රසාද ගිලිහී යෑම වැනි දේවල් සිදු විය හැකිය. අපේ සෞඛ්‍යය දුර්වල වෙන්නත් නිවස හෝ මිතුරන් අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මෙවැනි වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

එවැනි තත්වයන්වලදී වැදගත් දේවලට මුල් තැන දී කටයුතු කිරීම ප්‍රයෝජනවත් බව සමහරු පවසනවා. උදාහරණයකට මුලදී සඳහන් කළ ඩංකන් පැවසුවේ මෙයයි. “කලින් කරපු විදිහට වෙන රටකට ගිහින් දේවසේවයේ යෙදෙන්න බැහැ කියලා මටයි මගේ බිරිඳටයි තේරුණාම අපි හොඳටම කලකිරුණා. අපි තීරණය කළා වැදගත් දේවල් දෙකකට මුල් තැන දෙන්න. ඒ තමයි අපේ අම්මව හොඳට බලාගැනීම සහ පූර්ණකාලීන දේවසේවය දිගටම කරගෙන යෑම. ඉතින් වෙන තීරණ ගන්න සිද්ධ වුණාම අපි මුල් තැන දීපු කාරණා දෙකට ඒවා බලපාන්නේ කොහොමද කියලත් සලකලා බැලුවා. ඒ නිසා සුදුසු තීරණ ගන්න අපිට පුළුවන් වුණා.”

සාමාන්‍යයෙන් යම් කලකිරීමකට මුහුණ දෙද්දී නිතරම අපි පෙලඹෙන්නේ අසුභවාදීව හිතන්නයි. උදාහරණයකට දරුවෙකුව හදා වඩාගනිද්දී, රැකියාවක් සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගන්න ප්‍රයත්නයක් දරද්දී හෝ වෙනත් රටක දේවසේවයේ හවුල් වෙද්දී හිතපු තරම් සාර්ථක ප්‍රතිඵල නොලැබිය හැකියි. එවැනි අවස්ථාවලදී ‘මම අසාර්ථකයි’ කියලා අපිටම හැඟෙන්න පුළුවන්. මිනිස් වර්ගයාගේ ආරම්භයේදීම දේවල් වැරදුණු නිසා දෙවිත් අසාර්ථක කෙනෙක් වුණා කියා පවසන්න බැහැ. එසේනම් හිතන තරම් ඉක්මනට හොඳ ප්‍රතිඵල නොලැබුණු පමණින් අපි අසාර්ථකයි කියා සිතීම සුදුසු නැහැ.—ද්විතීය කතාව 32:4, 5.

අපිව කලකිරෙන විදිහට කවුරු හරි යමක් කළොත් තදින් ක්‍රියා කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. නමුත් දෙවි එසේ කරන්නේ නැහැ. උදාහරණයකට දාවිත් රජ ස්ත්‍රියක් සමඟ අනාචාරයේ යෙදී ඒ ස්ත්‍රියගේ සැමියාව මරණයට පත් කළ අවස්ථාවේ දාවිත් ගැන දෙවිට කලකිරීමක් ඇති වුණා. නමුත් දාවිත් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි වෙනවා දුටු දෙවි දිගටම තම සේවකයෙක් හැටියට දාවිත්ව යොදාගත්තා. ඇදහිලිවන්ත යෙහෝෂාපාට් රජත් දෙවිට විරුද්ධ වූ ජාතීන් සමඟ මිත්‍රකම් ඇති කරගෙන දෙවිට පිටුපෑවා. නමුත් තම අනාගතවක්තෘ කෙනෙක් මාර්ගයෙන් දෙවි ඔහුට පැවසුවේ “ඔබ කළ දේ නිසා යෙහෝවා දෙවි ඔබ ගැන උදහස් වී සිටිනවා. ඒ වුණත් ඔබ යහපත් දේවලුත් කර තිබෙනවා” කියායි. (2 ලේකම් 19:2, 3NW) යෙහෝෂාපාට් රජ එක වරදක් කළ නිසාම දෙවි ඔහුව ද්‍රෝහියෙක් ලෙස සැලකුවේ නැහැ. ඒ හා සමානව අපේ මිතුරන් හිත රිදෙන දේවල් කරද්දී අපි දැඩි විදිහට ක්‍රියා කරන්නේ නැත්නම් අපේ මිතුදම් සැමදා පවතියි. ඔවුන් තුළ යම් හොඳ ගතිගුණත් තිබෙන බව අපි මතක තබාගත යුතුයි.—කොලොස්සි 3:13.

කලකිරීම් ඇති වන සිද්ධීන් ඉදිරි ගමන සාර්ථක කරගැනීමට ඉවහල් වෙනවා කියා සැලකිය හැකියි. අපි යම් පාපයක් කළාම අපි තුළම කලකිරීමක් ඇති වෙනවා. නමුත් නිසි පියවර අරන් ඒවා හදාගන්නවා නම් ඒ තත්වයෙන් ගොඩ එන්න පුළුවන්. දාවිත් රජට තම වැරදි ගැන කලකිරීමක් ඇති වුණු අවස්ථාවේ ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “දවස පුරා මට දැනුණු වේදනාව නිසා මාගේ ඇට කටු දිරන්නට පටන්ගත්තේය . . . මම මාගේ පාපය [දෙවි] ඉදිරියේ පිළිගත්තෙමි. . . එවිට [දෙවි] මාගේ පාප කමා කළේය.” (ගීතාවලිය 32:3-5NW) අපි දෙවිට අවශ්‍ය විදිහට ජීවත් වෙලා නෑ කියා හැඟෙනවා නම් දෙවිගෙන් සමාව ඉල්ලා අපේ වැරදි හදාගෙන ඔහුගේ ආඥා අනුව ජීවත් වීමට දැඩි අධිෂ්ඨානයක් ගත යුතුයි.—1 යොහන් 2:1, 2.

කලකිරීම්වලට මුහුණ දීම සඳහා සූදානම් වෙන්න

ඉදිරියේදීත් හැමෝටම කලකිරීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවාට මුහුණ දෙන්න කල්තියාම සූදානම් විය හැක්කේ කෙසේද? මහලු වියේ පසුවන ක්‍රිස්තියානියෙක් වන බෲනෝට ජීවිතය මුළුමනින්ම වෙනස් කරන්න සිදු වූ දුෂ්කර අද්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු මෙසේ පවසනවා. “ඒ දේට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවි එක්ක තිබුණ සම්බන්ධතාව ශක්තිමත්ව තියාගන්න මම දිගටම උත්සාහ කරපු නිසයි. දුක් වේදනාවලට දෙවි ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා මම ඉගෙනගෙන තිබුණා. සෑහෙන කාලයක ඉඳන් යෙහෝවා දෙවිත් එක්ක කිට්ටු සම්බන්ධතාවකුත් ගොඩ නඟාගෙන තිබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. කලකිරිලා හිටපු අවස්ථාවේදී යෙහෝවා දෙවි මාත් එක්ක ඉන්නවා කියලා දැනගෙන හිටපු එක මට ලොකු ශක්තියක් වුණා.”

අනාගතය ගැන හිතද්දී අපිට එක දෙයක් ගැන විශ්වාසයෙන් ඉන්න පුළුවන්. අපිම කරගත්තු දෙයක් නිසා හෝ අනිත් අය කරපු දෙයක් නිසා හෝ කලකිරීමක් ඇති වුණත් දෙවි නම් කවදාවත් අපව කලකිරවන්නේ නැහැ. දෙවිගේ නාමය වන යෙහෝවා යන්නෙහි අර්ථය “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා” බව දෙවිම හෙළි කළා. (නික්මයාම 3:14NW) ඒ නමේ අර්ථයට අනුව දෙවි දෙන පොරොන්දු ඉටු කිරීම සඳහා ඔහුට ඕනෑම දෙයක් සිදු කළ හැකි බව අපට නිසැකයි. දේවරාජ්‍යය මගින් තම කැමැත්ත “ස්වර්යෙහි මෙන් පොළොවෙහිද සිදු” කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “මරණයටවත්, ජීවනයටවත් දේවදූතයන්ටවත්, ආණ්ඩුවලටවත්, . . . වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව මට සම්පූර්ණයෙන්ම විශ්වාසය.”—මතෙව් 6:10; රෝම 8:38, 39.

යෙසායා නම් අනාගතවක්තෘ මාර්ගයෙන් දෙවි දුන් මෙම පොරොන්දුව ඉටු වෙන බවට නිසැකකමක් තබාගන්න පුළුවන්. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ නැවත මතක් වන්නේ නැත.” (යෙසායා 65:17NW) ශෝකය හා කලකිරීම නැති කාලයක් ගෙනෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. අමිහිරි මතකයන් අතීතයට පමණක් සීමා වූ දේවල් බවට පත් වෙනවා. එය මොන තරම් ප්‍රීතිමත් අපේක්ෂාවක්ද!

[පාදසටහන]

^ 5 ඡේ. නම් වෙනස් කර ඇත.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හිතන තරම් ඉක්මනට හොඳ ප්‍රතිඵල නොලැබුණු පමණින් අපි අසාර්ථකයි කියා හිතන්න බැහැ

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කරගන්න බැරි වුණු දේවල් ගැන සිතමින් ලත වෙනවා වෙනුවට බයිබලයේ අපව දිරිගන්වා තිබෙන්නේ කළ හැකි දේවල් කෙරෙහි සිත යොදවන්න කියායි

[15වන පිටුවේ පින්තූර]

මිනිසුන් වැරදි කළත් දෙවි සතුටින් සිටින්නේ තම අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙන නිසයි

[16වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නමස්කාරයට මුල් තැන දීම කලකිරීම්වලට මුහුණ දිය හැකි හොඳම ක්‍රමයයි