Skip to content

පටුනට යන්න

දෙවිගේ පවුලට එක් වන්න

දෙවිගේ පවුලට එක් වන්න

දෙවිගේ පවුලට එක් වන්න

කොරියාවේ පැවති යුද්ධයකින් අවතැන් වූ පවුල් සාමාජිකයන්ව සොයා දීම සඳහා ඉන් අවුරුදු 30කට පමණ පසුව එම රටේ ගුවන්විදුලි ජාලය මගින් වැඩසටහනක් දියත් කළා. ප්‍රතිඵලයක් ලෙස අවතැන් වූ 11,000කට වඩා වැඩි පිරිසකට තම පවුල් හා නැවත එක් වෙන්න අවස්ථාව ලැබුණා. කොරියා ටයිම්ස් නම් පුවත්පතේ සඳහන් වුණේ “මීට කලින් කවදාවත් කොරියානු සෙනඟ මේ තරම් සතුටු කඳුළු හෙළපු දවසක් තිබිලා නැහැ” කියායි.

බ්‍රසීලයේ සිටි ළදරු සේසාර්ව ණයක් පියවීම සඳහා විකුණනු ලැබුවා. ඉන් වසර දහයකට පමණ පසුව ඔහුට තමන්ගේම මවව මුණගැසුණා. ඒ ගැන ඔහු කොතරම් සතුටු වුණාද කියනවා නම් තමාව හදාගත් පොහොසත් දෙමව්පියන්ව අත්හැර ඇය ළඟට යන්න ඔහු පෙලඹුණා.

කාලයකට පසු නැවතත් තම පවුල්වල සාමාජිකයන්ව දැකගන්න ලැබීම මොන තරම් සතුටක්ද! මිනිස් වර්ගයා ඛේදජනක ලෙස දෙවිගේ පවුලෙන් වෙන් වී ගිය ආකාරයත් යළි ඔවුන් එක් වී ප්‍රීතියෙන් සිටින ආකාරයත් බයිබලයේ විස්තර කර තිබෙනවා. එය සිදු වුණේ කෙසේද? දෙවිගේ පවුලට එක්වීමෙන් ඔබටත් ඒ ප්‍රීතිය අද්දැකිය හැක්කේ කෙසේද?

දෙවිගේ පවුල බෙදී ගිය ආකාරය

නිර්මාතෘ වූ යෙහෝවා දෙවි ගැන ගීතිකාකාර දාවිත් මෙසේ පැවසුවා. “ජීවිතයේ උල්පත ඔබය.” (ගීතාවලිය 36:9, නව ලොව පරිවර්තනය, NW) බුද්ධිමත්, විශ්වාසවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත විශ්වනීය පවුලක පියා වන්නේ යෙහෝවා දෙවියි. ඒ පවුලට ස්වර්ගයේ සිටින දේවදූතයන් හා ඔහුගේ දරුවන් විය හැකි පොළොවේ සිටින මිනිසුන්ද අයත් වෙනවා.

කලින් ලිපියේ සඳහන් කළ පරිදි පොළොවේ සිටි දෙවිගේ මුල්ම දරුවා වන ආදම්ගේ කැරලිගැසීම නිසා මුළු මිනිස් පවුලටම නිර්මාතෘ වන ප්‍රේමණීය පියාගෙන් ඈත්වීමට සිදු වුණා. (ලූක් 3:38) මේ කැරලිගැසීම හේතුවෙන් ආදම් තමාට පමණක් නොව තමාගෙන් පැවත එන්නන්ටත් දෙවිගේ දරුවන්ව සිටීමේ වරප්‍රසාදය අහිමි කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වී ඇති දේ තම සේවකයෙක් වූ මෝසෙස් මාර්ගයෙන් දෙවි හෙළි කළේ මෙලෙසයි. “විනාශකාරී මඟක් ඔස්සේ කැමැත්තෙන්ම ගොස් ඇත්තේ මිනිසාමය. ඔවුන් දෙවිගේ දරුවන් ලෙස ක්‍රියා කර නැත. වැරදිවලට වග කිව යුත්තේ ඔවුන්මය.” මිනිසුන් තුළ ‘වැරදි දේවල්’ කිරීමට තිබෙන නැඹුරුවාව නිසා ඔවුන් ශුද්ධ දෙවිගෙන් තමන්වම ඈත් කරගෙන තිබෙනවා. (ද්විතීය කතාව 32:4, 5NW; යෙසායා 6:3) ඒ නිසා මිනිසුන් සිටින්නේ පියෙක් නැති දරුවන්ගේ තත්වයකයි.—එෆීස 2:12.

මිනිස් වර්ගයා දෙවිගෙන් කොතරම් ඈත් වී තිබෙනවාද කියා ඒත්තුගැන්වීමට දෙවිගේ පවුලට අයිති නැති අයව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “සතුරන්” ලෙසයි. (රෝම 5:8, 10) මෙසේ දෙවිගෙන් ඈත් වූ මිනිස් වර්ගයා සාතන් නමැති යක්ෂයාගේ කෲර පාලනය යටතේ සිටින නිසාත් තමන්ට උරුම වී තිබෙන පාපය නිසාත් දුක් පීඩා අද්දකිමින් සිටිනවා. (රෝම 5:12; 1 යොහන් 5:19) මේ තත්වයේ සිටින මිනිසුන්ට ආදම් සහ ඒව පව් කරන්න කලින් සිටි තත්වයට නැවත පැමිණ දෙවිගේ දරුවන් වීමට හැකියාව තිබෙනවාද?

වෙන් වූ දරුවන්ව එක් රැස් කිරීම

මිනිසුන් පාපය උරුම කරගෙන සිටියත් යෙහෝවා දෙවි තමන්ට ප්‍රේම කරන අය වෙනුවෙන් යම් සැලැස්මක් දියත් කළා. (1 කොරින්ති 2:9) “දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ ලෝකයක් සමඟි කරගනිමින්, ඔවුන්ගේ වැරදි ඔවුන්ගේ ගණනට” නොතැබූ බවයි බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැහැදිලි කළේ. (2 කොරින්ති 5:19) කලින් ලිපියෙන් ඉගෙනගත් ආකාරයට යෙහෝවා දෙවි අපව පාපයෙන් මුදවාගැනීමට යේසුස්ව එව්වා. (මතෙව් 20:28; යොහන් 3:16) ඒ ගැන කෘතඥතාවකින් යුතුව යොහන් මෙසේ පැවසුවා. “අපි දෙවිගේ දරුවෝයයි කියන තරමටම පියාණන් කෙබඳු ප්‍රේමයක් අපට පෙන්වා ඇද්දැයි බලන්න.” (1 යොහන් 3:1) මෙලෙස කීකරු මිනිසුන්ට නැවතත් දෙවිගේ පවුලේ සාමාජිකයන් වීමට අවස්ථාව ලැබුණා.

දෙවිගේ පවුලට එකතු වන සියලුම මිනිසුන්ට ස්වර්ගීය පියාගේ රැකවරණය යටතේ පුදුමාකාර එකමුතුකමක් භුක්ති විඳීමට ලැබෙනවා. නමුත් බයිබලයේ පෙන්වන විදිහට ඔවුන්ව රැස් කරන්නේ කණ්ඩායම් දෙකකටයි. “[දෙවි] එය අරමුණු කළේ තමන් ප්‍රසන්න වූ දේට අනුවය. එම අරමුණ නම්, නියම කරන ලද කාලවල් සම්පූර්ණ වූ විට, පරිපාලනයක් ඇති කිරීමය. එනම්, ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කිරීමය.” (එෆීස 1:9, 10) දෙවි එවැනි දෙයක් සැලසුම් කළේ ඇයි?

යෙහෝවා දෙවි ඔහුගේ දරුවන්ව කණ්ඩායම් දෙකකට රැස් කිරීම ඔහුගේ පවුලේ එකමුතුකමට දායක වෙනවා. යෙහෝවා දෙවිගේ පවුල කොතරම් විශාලද කියනවා නම් ඔවුන් රටක වෙසෙන විශාල සෙනඟක් වගෙයි. ඕනෑම රටක නීතිය හා විනය රකිමින් මිනිසුන්ට සාමයෙන් සිටීමට යම් පිරිසකගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් සැබෑ සාමය ගෙනැවිත් නැහැ. ඊට වෙනස්ව දෙවි තම පවුල වෙනුවෙන් අංග සම්පූර්ණ ආණ්ඩුවක් පිහිටුවනවා. ස්වර්ගයේ පිහිටුවන එම ආණ්ඩුව සඳහා දෙවි තෝරාගන්නේ “ස්වර්ගයේ තිබෙන දේවල්” ලෙසින් හැඳින්වෙන මුල් කණ්ඩායමයි. ඔවුන් එහි සිට ‘පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතයි.’—එළිදරව් 5:10.

පොළොවේ සිටින දෙවිගේ දරුවන්

යෙහෝවා දෙවි ‘පොළොවේ තිබෙන දේවල්ද’ රැස් කරනවා. ඔහු එය කරන්නේ තමන්ගේ භූමික දරුවන් වීමට හැකි වන සේ පොළොව පුරා පැතිර සිටින මිලියන ගණන් සෙනඟව රැස් කිරීමෙනුයි. ඔවුන් විවිධ ජාතීන්ට අයත්ව සිටියත් කාරුණික පියෙක් වන දෙවි තමන්ගේ ප්‍රේමණීය මාර්ගයන් කියා දී ඔවුන්ව එකමුතු සෙනඟක් කරනවා. කෲර, ආත්මාර්ථකාමී, අනාචාරයේ හැසිරෙන අයටත්, දෙවිට අකීකරු වන සෙනඟටත් ‘තමා හා සමඟි වන්න’ කියා දෙවි ඇරයුම් කරනවා.—2 කොරින්ති 5:20.

මෙම ඇරයුම ප්‍රතික්ෂේප කරන අයට සිදු වන්නේ කුමක්ද? තම පවුලේ සාමය හා එකමුතුකම පවත්වාගැනීම සඳහා එවැනි අයට විරුද්ධව දෙවි දැඩි පියවර ගන්නා අතර ඔවුන්ට ‘විනිශ්චයේ හා විනාශයේ දවසක්’ තිබෙනවා. (2 පේතෘස් 3:7) දෙවි පොළොවේ සිටින කැරලිකාර සෙනඟව ඉවත් කළදාට දෙවිට කීකරු වන අයට මොන තරම් සහනයක් දැනේවිද!—ගීතාවලිය 37:10, 11.

එතැන් සිට වසර දාහක් පුරා සාමය පවතිනවා. දෙවිගේ ආරාධනාව පිළිගෙන ඔහුගේ දරුවන් වූ අයට ඒ කාලය තුළදී ක්‍රම ක්‍රමයෙන් පරිපූර්ණ ජීවිතයක් ලැබෙන අතර මිය ගිය අයවත් නැවත නැඟිටුවනවා. (යොහන් 5:28, 29; එළිදරව් 20:6; 21:3, 4) ‘[මනුෂ්‍ය] මැවිල්ලද දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබනවා’ කියා දෙවි දී තිබෙන පොරොන්දුව එදාට ඉටු වෙන බවට කිසිම සැකයක් නැහැ.—රෝම 8:21.

ඔබේ පියාණන් සමඟ යළි එක් වී

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ සේසාර් සහ තවත් කොරියානු ජාතිකයන් දහස් ගණනකට තමන්ගේ පවුල් සමඟ එක්වීම සඳහා පියවර ගන්න සිදු වුණා. ඔවුන්ට ගුවන්විදුලි වැඩසටහනට හවුල් වෙන්නත් සේසාර්ට තමාව හදාගත් දෙමව්පියන්ව අතහැර එන්නත් සිදු වුණා. එලෙසම ස්වර්ගික දෙවි හා සමඟි වී ඔහුගේ පවුලේ සාමාජිකයෙක් වීමට ඔබත් යම් පියවර ගත යුතුයි. ඒ මොනවාද?

ඔබේ පියා වන දෙවිට ළංවීමට නම් ඔහුගේ වචනය වන බයිබලය අධ්‍යයනය කර ඔහු කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් දැඩි විශ්වාසයක් ඇති කරගත යුතුයි. එවිට දෙවි කරන්න කියා පවසන දේවල් ඔබේම යහපතට දායක වන බව ඔබ තේරුම්ගනියි. එමෙන්ම ඔබට දෙවි ලබා දෙන උපදෙස් හා හික්මවීම් කැමැත්තෙන්ම පිළගැනීමද වැදගත්. එයට හේතුව බයිබලයේ මෙසේ පවසනවා. “පුත්‍රයන් සමඟ කටයුතු කරන්නාක් මෙන් දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේය. මන්ද, පියෙකු විසින් හික්මවනු නොලබන පුත්‍රයෙක් සිටීද?”—හෙබ්‍රෙව් 12:7.

එවැනි පියවර ගනිද්දී ඔබේ මුළු ජීවිත රටාවම වෙනස් වේවි. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන ආකාරයට “ඔබ ඔබේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වී, සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගත” යුතුයි. (එෆීස 4:23, 24) බයිබල් ලේඛකයෙක් වූ පේතෘස් කී මේ වදන් පිළිපදින්න. “ඔබ නොදැන සිටි කාලයේදී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න.”—1 පේතෘස් 1:14, නව අනුවාදය.

ඔබේම පවුලට එක් වෙන්න

සේසාර්ට ඔහුගේ සැබෑ මවව හමු වූ පසු ඔහුට තවත් සහෝදරියක් හා සහෝදරයෙක් සිටින බව දැනගැනීමට ලැබීම ඔහුට ලොකු සතුටක් වුණා. ඒ හා සමානව ඔබේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට ළං වෙද්දී ක්‍රිස්තියානි සභාව තුළ ඔබට තවත් සහෝදර සහෝදරියන් ගණනාවක් සිටින බව ඔබ දැනගනියි. ඔවුන් සමඟ ඇසුරු කරද්දී ඔබේම පවුලේ සාමාජිකයන්ට වඩා ඔවුන් ඔබට කිට්ටු බව දැනේවි.—ක්‍රියා 28:14, 15; හෙබ්‍රෙව් 10:24, 25.

ඔබේ සැබෑ පියා සමඟත් ඔබේ සහෝදර සහෝදරියන් සමඟත් එක්වීමට දී තිබෙන ඇරයුම ඔබටත් විවෘතයි. මෙසේ කිරීමෙන් සේසාර් සහ කොරියාවේ දහස් ගණනක් තම පවුල්වලට එකතු වීම නිසා අද්දැක්කා හා සමාන සතුටක් ඔබටත් අද්දකින්න පුළුවන්.

[8වන පිටුවේ පින්තූරය]

තම මව සමඟ සේසාර් වයස අවුරුදු 19දී

[10වන පිටුවේ පින්තූර]

දෙවිට ළංවීමට පියවර ගන්න